Sunday, 30 August 2026

​ඉන්ද්‍රජාලික කවියා - ඉන්දිකා තිලකුමාර

Indika 2.jpeg

උදේ හවසට නොවරදිනා
සුබ ම පැතුමක සැඟවිලා
නෙතින් නෙත නොබලා
දුරින් දුර හිඳ හිනැහෙනා

සිතින් සිත අල්ලා
උඩ ම අත්තක රන්දා
මායා රැහැණක පටලා
දැහැන් බිඳිනට මාන බලනා

මනුසත් හැඟුම් පිරික්සා
බරසාර කවියක සඟවනා
නුඹ තමයි ඒ
ඉන්ද්‍රජාලික කවියා

- ඉන්දිකා තිලකුමාර
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

​සිත්තරාගේ අවුරුදු තෑග්ග - ඩබ්ලිව්. ජේ. වීරසිරි ද සිල්වා

Weerasiri.jpeg

මිගාරගේ චිත්‍රකලා ගුරුවරයා වූයේ විදුහල්පතිවරයෙකු වූ තම පියාය. වෘත්තීය චිත්‍ර ශිල්පියෙකු ලෙස අනාගතයේ ක්‍රියා කිරීම ඔහුගේ කැමැත්ත විය. ඒ සඳහා දෙමව්පියන්ගේ විරෝධයක් ද නොවීය. පාසලේ දී පැවැත්වූ චිත්‍ර තරග වල දී ඔහු කීපවරක් ම ජයග්‍රහණය ලැබූ අතර චිත්‍ර කලාව පිළිබඳ සැලකිය යුතු තරම් ඉගෙනීමක් ලැබූ පසු ඔහු පාසලෙන් අස් විය.

වසරක් ගිය පසු මිගාර තම ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය අගනුවර කලාගාරයක පැවත්වීය. එය ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් වියහැකි යැයි ඔහු ද නොසිතුවේය. සම්මානනීය ප්‍රබුද්ධ කලාකරුවන් පිරිසගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශනය විවෘත වූ අතර විශාල ජන සමූහයක් චිත්‍ර නැරඹීමට පැමිණ සිටියහ. චිත්‍ර නරඹූ රසිකයින්ගේ අදහස් හා ගුණ දොස් පුවත්පත් වල පළවීම හේතුවෙන් එයට විශාල ප්‍රචාරයක් ද ලැබී තිබුණි.

පළමු දිනයේ පැමිණ සිටි පිරිස අතර සිටි එක් තරුණියක් තමාගේ එක් චිත්‍රයක් දෙස විස්මයෙන් යුතුව බලා සිටින අයුරු මිගාර දුටුවේය. දෑත් අල්ලා ගෙන මංමාවතක ඇවිද යන පෙම් යුවලක් එම චිත්‍රයෙන් නිරූපණය විය. ඇය වඩා උස් නොවූ සිරුරක් ඇති වයස විසි දෙකක් පමණ විය හැකි සිත් ඇද ගන්නා සුළු පෙනුමක් ඇති තරුණියෙකි. වටකුරු මුහුණෙහි යම් ශෝකීයභාවයක් රැඳී තිබිණි. එම බාහිර පෙනුමට වඩා ඇයගේ සිත අභ්‍යන්තරය මුහුණින් පිළිබිඹු වන්නේ යැයි මිගාරට සිතිණි. තම සිතෙහි ඇඳි ඇයගේ රූපය දළ සටහනක් ලෙස කඩදාසියක ඇඳ ගත්තේය.

සතියක් පුරා පැවති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි චිත්‍ර කලාව හදාරන පාසල් සිසුන් ද, සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ සිසුන් ද පැමිණ දිය සායම් හා තෙල් සායම් චිත්‍ර පිළිබඳ යම් විමසීම් කළ අතර ඒ සඳහා මිගාර විසින් ඉතා ලෙන්ගතුව ඔවුන් හට කරුණු පැහැදිලි කර දුන්නේය. ප්‍රදර්ශන කුටිය තුළ තබා තිබූ සමරු සටහන් පොතේ චිත්‍ර නැරඹූ රසිකයින් ලියූ සටහන් කියවීමෙන් මිගාර මහත් සතුටක් ලැබීය. එය ඔහුට උත්තේජනයක් විය.

චිත්‍ර ප්‍රදර්ශනයේ අවසාන දිනය එළඹිණි. පළමු දින පැමිණ සිටි තරුණිය මෙදින ද පැමිණ සිටියාය. ඇය සුපුරුදු පරිදි දෑත් අල්ලා ගෙන මංමාවතක ඇවිද යන පෙම් යුවලක් දක්වන චිත්‍රය ළඟ නතර විය. එම චිත්‍රය වම් පසින් වූ චිත්‍රය දැක ඇය විස්මයට පත් විය.

"මේ මම ම නේ ද? පළමු දවසේ නොතිබුණු චිත්‍රයක් නේ..."

"ඔව්, සිතෙහි ඇඳි රුව චිත්‍රයට නැගුවා," මිගාරගේ පිළිතුරෙන් ඇය ලැජ්ජාශීලීව බිම බලා ගත්තාය.

ඇය නමින් ස්වර්ණා විය. ඇයගේ දෙමව්පියෝ වත්පොහොසත්කම් ඇති අය නොවූවත් දුප්පත් නොවූහ. කෙටි කලක ඇසුරෙන් පසු දෙදෙනා විවාහ වූ අතර දෙපාර්ශවයේ දෙමව්පියෝ ඊට විරුද්ධ නොවූහ. එදා මෙදා තුර පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශන වල දී මිගාරට සෙවනැල්ලක් සේ පසුපසින් සිට සහය දක්වන ලද්දේ තම බිරිඳ වූ ස්වර්ණා විසිනි.

පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද නිවසේ ඉස්තෝප්පුවට යාබදව පිහිටි කාමරය ඔහු සිතුවම් ඇඳීම සඳහා යොදා ගත්තේය. කාමරය තුළට වී සිතුවම් ඇඳීමේ දී ඔහුට කිසිවෙකුගෙන් බාධාවක් ඇති නොවීමට බිරිඳ වග බලා ගත්තාය. මිගාර සිතුවම් අඳින අවස්ථාවේ දී ඔහුගේ දරු දෙදෙනාට ද කාමරයට ඇතුල්වීමට ඈ ඉඩ නොදුන්නාය.

ස්වාධීන චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමෙන් පමණක් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන හෙයින් රැකියාවක් කළ යුතු යැයි ඔහු තීරණය කළේය. පුවත්පත් කීපයක සිත්තරෙකු ලෙස සේවය කළ ඔහු රටේ ජනප්‍රිය ශිල්පියෙකු වූ හෙයින් විවිධ ආයතන ගණනාවක් ඔහුගේ සේවය ලබා ගැනීමට උත්සුක විය. අගනුවර පිහිටි කලාගාර කිහිපයක චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූ හෙයින් කොල්ලුපිටිය හන්දිය ආසන්නයේ පිහිටි ආයතනයක ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ඔහුව පත් කර ගත්තේ ඔහුගේ ජනප්‍රියතාවය නිසාය. ඔහු අඳින ලද පොස්ටර්, වෙළඳ දැන්වීම් රට පුරා සෑම නගරයක ම දක්නට ලැබීම ඔහු ගැන ඔහුටම ආඩම්බරයක් ඇති විය. මිගාර වසර ගණනාවක් එම ආයතනයේ සේවය කළ අතර නිවසේ සියලු වැඩ කටයුතු හා දරු දෙන්නාගේ කටයුතු බිරිඳ නොපිරිහෙළා ඉටු කළාය.

මිගාර නොසිතු මොහොතක ස්වර්ණාගේ දෙපා අප්‍රාණික තත්ත්වයට පත් වූයේ ඇයට වැළඳුණු ස්නායු ආබාධයක් හේතුවෙනි. එම නිසා ඇයට රෝද පුටුවක ආධාරය පැතීමට සිදු විය. එහෙත් ඇය රෝද පුටුවේ සිටිය දී කළ හැකි වැඩ කටයුතු වලින් තම ස්වාමියාට සහය විය. තම ඇඳ අසළ ඇති දුරකථනයෙන් මිගාරට එන ඇමතුම් වලට පිළිතුරු දෙන්නේ ඇය වන අතර, එම ඇමතුම් මිගාරට නැවත මතක් කරන්නේ ද ඇය විසිනි.

කොල්ලුපිටිය මංසන්ධියේ විසල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පිහිටි තම කාර්යාලයෙන් දහවල් කෑම විවේකයේ දී බැහැරව යන්නේ සිතුවම් ඇඳීමට අවශ්‍ය තීන්ත හා පින්සල් වැනි අත්‍යාවශ්‍ය දෙයක් මිල දී ගැනීමේ අපේක්ෂාවෙනි. අවුරුදු සමය ආරම්භ වී ඇති නිසා පදික වේදිකාව වෙළඳුන්ගෙන් මෙන්ම ජනයාගෙන් පිරී පැවතිණ. වෙළඳුන්ගේ මුවින් පිටවන ලාබයි... ලාබයි... ලාබයි... යන වදන් වලට රැවටෙන ජනයා එම ස්ථාන වල එක පොදියට එක් රොක් වෙති.

දිනපතා කාර්යාලයට යන මගෙහි ඉන්ධන පිරවුම් හල අසළ ඇති කඩපිලෙහි වැඩිහිටි කාන්තාවක් බිම ඇනතබා ගෙන සිටින්නීය. මෙම දර්ශනය මිගාරගේ නෙතට හුරු දසුනකි. ඇය දිනපතා එම ස්ථානයේ රැඳී සිටියේ කවුරු හෝ මුදලක් පරිත්‍යාග කරතියි යන අපේක්ෂාවෙනි. එහෙත් කිසි විටෙකත් අත පාමින් මුදලක් නොඉල්ලයි. මෙදින මිගාර දිවා විවේකයේ දී කාර්යාලයෙන් පිටත් වූයේ සිංහල අවුරුද්ද ආසන්න හෙයින් තම බිරිඳට ඇඳුමක් හෝ ගවුම් රෙද්දක් මිල දී ගැනීමේ අපේක්ෂාවෙනි. කාර්යාලයෙන් ගාලු පාරට ඇවිත් ධර්මපාල මාවත පසු කර ගාලු මුවදොර දෙසට ඇවිද ගියේ අසළ වූ රෙදි සාප්පුවක් වෙතය.

"කාන්තාවන්ට රෙදි ගන්නවා කියන්නේ මහ ලොකු යුද්ධයක්," මිගාරට සිතුණි.

ඔහු රෙදි සාප්පුවට ඇතුල් වූයේය. සාප්පුවේ සේවකයෙකු ගවුම් රෙදි ඔතන ලද රෝල් කීපයක් වීදුරු අල්මාරිය මත තැබුවේ කැමති මෝස්තරයක් තෝරා ගන්නා ලෙස අඟවමිනි. රෙදි රෝල් අතරින් රතුපාට ලොකු මල් මෝස්තරයක් ඇති ගවුම් රෙද්දක් තෝරා ගත්තේ බිරිඳ කැමති වේ යැයි සිතු නිසාවෙනි.

මිගාර තම කාර්යාල බෑගයේ දමා තිබූ පාර්සලය රෝද පුටුවේ වාඩිවී සිටි ස්වර්ණාගේ ඔඩොක්කුව වෙත තැබුවේ සිනාමුසු මුහුණින් යුතුවය.

"ගවුම් රෙද්ද ලස්සන ද?" මිගාර ඇසුවේය.

"රෙදි වර්ගය නම් හොඳයි, එත් රතු ලොකු මල් මෝස්තරයට මම කැමති නැහැ, මම කැමති පොඩි මල් ඇති සෞම්‍ය පාට වලටයි," බිරිඳ ගවුම් රෙද්ද අතගගා කීවාය.

"ඔයාට බැරි ද මේ ගවුම් රෙද්ද මාරු කර වෙන පාටක් ගේන්න?"

"බලමු," ස්වර්ණාගේ ප්‍රශ්නයට මිගාර වැනෙන උත්තරයක් දුන්නේය.

පසුදින දහවල් කෑම පැයේ දී ගවුම් රෙදි පාර්සලය අතට ගත් මිගාර "පීස් එකකින් කපාපු රෙද්දක් මාරු කරලා දෙයි ද? ගෑනුන්ට නං මේ වගේ වැඩ කරන්න ලේසියි," ඔහු තමාටම මුමුණා ගත්තේය.

"අනික කපාපු රෙද්දක් කාට ද විකුණන්නේ කඩකාරයාට යකා නගී ද දන්නේ නැහැ," දහසක් සිතුවිලි මැද දැඩි හිරු රශ්මියෙන් ද දැවෙමින් කල්පනා කරමින් මිගාර ඉදිරියට ගමන් කළේය.

ඉන්ධන පිරවුම්හල අසළ කොට බැම්මේ වාඩි වී සිටි වැඩිහිටි කාන්තාව මිගාර දුටුවේය. ඔහු ඇය ළඟ නතර විය. ඇය බයාදු බැල්මෙන් බලා සිටියාය.

මිගාර තම අතෙහි වූ පාර්සලය ඇගේ වෙව්ලන දෑත මත තබමින්, "අම්මේ ඕක චීත්ත රෙද්දක් අවුරුද්දට මගෙන් තෑග්ගක්..."

ඉමහත් සොම්නසින් පාර්සලය හැර බැලූ අච්චි අම්මා "අනේ පුතේ කවුද අපිට අලුත් රෙදි අරන් දෙන්නේ... පුතාට බුදු සරණයි!" කියමින් සතර දිසාවටම වඳින්න පටන් ගත්තාය.

මිගාරට හිතේ තිබුණ ලොකු බරක් නිදහස් වූවාක් මෙන් දැනුණි.

ඔහු ඉමහත් සතුටින් ස්වර්ණාට පොඩි මල් වැටුණු අළුත් චීත්ත රෙද්දක් මිල දී ගැනීමට නැවත රෙදි සාප්පුවට ඇතුළු විය.

ඩබ්ලිව්. ජේ. වීරසිරි ද සිල්වා
desilva.weerasiri@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

මෙනුවර - අචිනි අනෝමා දසනායක

Achini.jpeg

සී මැදුරු කවුළු පියන්
වසන්නෙපා දේවී
නුවර වැවේ දිය පෙළහර
හැමදාමත් රඟා වී

වැව් ඉවුරේ තුරුපත් පෙළ
සඟවන්නට එපා සිසල
ඔය සිසිලස බෙදාගන්න
කවුරුන් හෝ ඒ වී

වළා බැම්ම කිමද තැවී
බලා ඉන්නේ සොවින් බලා
තවත් සෙනඟ මේ වගේම
තනි රකින්න ඒ වී

අදත් හෙටත් මතු මතුවත්
පෙරහැර නිම නොවේ වී
කවුරුන් හෝ යළි එනතුරු
නුවරත් මඟ බලා වී

- අචිනි අනෝමා දසනායක
anukadasa@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

​අළු - ගයත්‍රී

Gayathri.jpeg

අවන් හල් දොර අතරින්
කපුරු මල් හිනැහුනා
ඒ පුසුඹ උරා ගත්
ඔබේ වත
වෙන අතක පැටලුණා
ඇසිල්ලක පමාවෙන්
දුම් වැටිය ගිලිහුණා
ඔබ නොඑන බව දැනී
මගෙ හිතත් අළු වුණා
ටිකෙන් ටික කළුවර වුණා
අළු බදුන පිරී ඉතිරී  ගියා
 
ගයත්‍රී 

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

ඉසුඹු චාරිකා - චාන්දනී දේවිකා පුංචිහේවා

Chandrani.jpeg

ජයදේව මදුරුවා බයිසිකලය රැගෙන අවුත් මිදුලේ උගුරැස්ස ගස යට නතර කළේය. සෝමලතා කාමරයේ ජනෙල් කූරු අතරින් එබී බැලුවා ය.

"ආයෙමත් මේ කොහේ යන්නද? උදේට රවුමයි, හවසට රවුමයි ගෙදර එනකන් ඇගේ ලේ වතුර වෙලා..." සෝමලතා පහත් හඬින් එසේ පැවසුවා ය. අනතුරුව ඕ නැවතත් කාමරයේ අතු ගෑමට පටන් ගත්තා ය.

"මේක යස වැඩක්. බයවෙන්න මං පොඩි දරුවෙක් ද?" ජයදේව එසේ පැවසුවේ සරදමට මෙනි. එහෙත් තවත් දිගින් දිගටම කතා කරන්නට ගියහොත් පසුගිය දිනවල දී මෙන් සෝමලතා නැවතත් කෝපයට පත්වනු ඇතැයි ජයදේවට සිතුණි. තම අතැති රෙදි කැබැල්ලෙන් ජයදේව නැවතත් මදුරුවා බයිසිකලය පිස දමන්නට විය. එසේ පිස දමන අතරතුර ඔහු රෙදි කැබැල්ල කීප වරක් ඉතා තදින් ගැසුවේ ය. වාතයට මුසු වූ දූවිලි පුසුඹ ජයදේවගේ නැහැය වෙළා ගත්තේ ය. දූවිලි තට්ටු පිටින් බයිසිකලේ පුරා බැඳී ඇති සේ ඔහුට දැනුණි. ඊයේ උදේ වරුවේද මෙලෙස ජයදේව බයිසිකලයේ පිස දැම්මේ ය. සවස් කාලයේ ඔහු බයිසිකලය හොඳින් පිරිමදිමින් සේදුවේ ය.

"කොච්චර පිහ දැම්මත් වැඩක් නෑ, මේ දූවිල්ලත් එක්ක. පැයක් දෙකක් යනකොට ආයෙමත් දූවිලි..." ජයදේව කියාගත්තේ තමාටම ය.

"ආ... ජයදේව සීයා... පීප්... පී... පී...ප්... බෘෘම්..." පහළ ගෙදර පොඩ්ඩා කොහේදෝ සිට දුවගෙන ආවේ ය.

"ෂා.. ෂෝක් නේ සීයා? මාවත් රවුමක් එක්ක යනව ද?" පොඩ්ඩා ඉස්පාසුවක් නොමැතිව කතා කළේ ය.

පොඩ්ඩාගේ ඉල්ලීමත් සමගම ජයදේවගේ සිතට ආවේ තමා කෙරෙහි මෙතෙක් නොවු ගර්වයකි. කිසිදු දිනක පොඩ්ඩා මෙලෙස ඔහුට සමීපව කතාබහක යෙදි නොමැත. පසුගිය කාලයේ බොහෝ කාර්යයන් සඳහා ජයදේව නගරයට ගමන් කරනු ලැබුවේ පොඩ්ඩාගේ නිවස පසු කරගෙන ය. ඒ පා ගමනින් ය. එවන් දිනවල පොඩ්ඩා නිවසේ ගේට්ටුව අසල රැඳී සිටිය ද ජයදේව සමඟ වචනයක් දෙකක්වත් කතා නොකළේ ය. පොඩ්ඩා නිතරම ජයදේව මග හැරියේ ය. ජයදේව රැකියාවෙන් විශ්‍රාම ගොස් දැනට මාස හයකට වඩා කාලයක් ගත වී නොමැත. විශ්‍රාම ලැබූ මුල් කාලයේ බැවින් ඒ දිනවල ජයදේවට දැනුණේ විශාල කාන්සියකි. එම කාන්සිය මගහරවා ගැනීමට පොඩ්ඩා හෝ කතාවට ඈඳා ගැනීමට ජයදේව උත්සාහ දැරුවේ ය. කිසිම දිනක එය සාර්ථක නොවූයේ ය. එහෙත් පසුගිය දින කිහිපයේම පොඩ්ඩා ජයදේව සොයා පැමිණ සැලකිල්ලෙන් කතාබහ කරන්නට වූයේ ය. පොඩ්ඩා පමණක් නොව අහළ පහළ සැවොම ජයදේව දෙස බලනුයේ වෙනදා නොමැති සැලකිල්ලකිනි.

"ඔන්න හෙට නම් මාව රවුමක් එක්කගෙන යන්නම ඕනි. හොඳද සීයා..." පොඩ්ඩා බැගෑපත් ලෙස ඉල්ලුවේ ය. ජයදේව බයිසිකලයේ හැඩලය හොඳින් පිස දමන්නට විය.

"බලමු, බලමු," ජයදේව පැවසුවේ නොසැලකිල්ලෙනි. පොඩ්ඩාගේ ඉල්ලීම ඉටු කිරීම තරමක් පමා කිරීමට ජයදේව ඉටා ගත්තේ ය.

"ඔය හැමෝම දාගෙන ගියාම මේකෙ අගයත් අඩුවෙනවා. ඔව්... ඔව්... මාත් දැන් වැඩ කරන්න ඕන හිතලා බලලා..." ජයදේව තමාටම කියා ගත්තේ ය.

"සීයා මේක රීකන්ඩිෂන් එකක් වගේ නේද?" පොඩ්ඩා ඇසුවේ අනවශ්‍ය ප්‍රශ්නයකි.

"පොඩ්ඩටත් ඕන නැති දෙයක් නෑ!" ජයදේව සිතින් පොඩ්ඩාට බැණ වැදුණේ ය. තමාගේ බයිසිකලය පහත් කොට කතා කිරීමට පොඩ්ඩා උත්සාහ දරන සෙයකි.

"සීයේ... මේ මදුරුවා බයිසිකල් එකක් නේද? ඇයි සීයේ මේවට මදුරුවා බයිසිකල් කියන්නේ? මදුරුවෙකුගේ හැඩයක්වත් නෑ... නේද? ඒක නෙවෙයි සීයේ පරණ එකක් නිසා ගණනත් අඩුවෙන්නැති නේද?" පොඩ්ඩා ළඟ ප්‍රශ්න වැලකි. ජයදේව කරමින් සිටි කාර්යය පසෙක දමා පොඩ්ඩා දෙස බැලුවේ ය.

"පරණ ඒවා නං ඔය ඕන තරම් තියෙන්නේ. ඒත් පොඩ්ඩො පරණ එකක් නම් මං ගන්න හිතුවෙවත් නෑ. යාළුවෙකුගේ සාප්පුවකින් ගත්ත නිසා ටිකක් අඩුවට ලැබුණා. මේක 48 සී සී. මේකට... ලක්ෂ එකහමාරකට එහා ගියා!" තමා මිලදී ගත් බයිසිකලය අලුත් එකක් නොවන බවත්, එය මිල දී ගත්තේ වෙළඳපොළ මිලටත් වඩා අඩු මුදලකට බවත් කීමට ජයදේවගේ සිත ඉඩ නොදෙයි. මෙම බයිසිකලය ජයදේවට මහාර්ඝ වස්තුවකි. එයා පහත් තත්ත්වයට දමා කතා කිරීමට තබා සිතීමටවත් ඔහුට කළ නොහැකි ය.

"පාටත් ලස්සනයි නේද පොඩ්ඩෝ? බ්ලූ කලර්.. මගේ තේරීම හොඳයි නේද? ඩොක්ටර් සෙනෙවිරත්නගේ කාර් එකක් මේ පාටමයි." ජයදේව නොනවත්වා කතා කළේ ය.

"පාට නම් වැදගත් සීයා. ඒ වගේම ලස්සනයි," පොඩ්ඩා පැවසුවේ ය.

"නිවාඩු ඇති වෙලාවක පොඩ්ඩවත් රවුමක් දෙකක් එක්ක ගෙන බැරියැ..." ජයදේව නොසැලකිල්ලෙන් මෙන් පැවසුවේ ය.

"අම්මා කතා කරනවා. මං ගිහින් එන්නම් සීයා... පීප්... පී... පී...ප්... බෘෘම්..." පොඩ්ඩා තම නිවස දෙසට දිව ගියේ ය. පොඩ්ඩාගේ වයසේ සිට ජයදේවගේ ජීවිතයේ තිබූ අපේක්ෂාවක් දැනට සති කිහිපයකට පෙර ඉටු විය. මෙවර ඔහු තමා අපේක්ෂාව ඉටුකර ගැනීම ඒකායන අරමුණ බවට පත්කර ගත්තේ ය.

කපා දමා තිබූ පොල් කඳක කොටසක් බයිසිකලයකට ආදේශ කරමින් කුඩා කාලයේ ජයදේව මෝටර් බයිසිකලයක හිමිකරුවෙක් විය. එසේ පොල් කඳ මත වාඩි වී සිහින ලොවක් තුළ බයිසිකල් ධාවනය කිරීමට ගොස් දිනක් ජයදේව බිම පතිත වී තුවාල වූයේ ය. එදින මවගෙන් ඔහුට ලැබුණේ කෙදිනකවත් අමතක නොවන වේවැල් පහර හත අටකි.

නැවතත් මෝටර් බයිසිකලයක් පිළිබඳව සිහිනය ජයදේවගේ සිතට ආවේ තරුණ අවධියේ දී ය. ඒ ඔහු රැකියාව කිරීමට පටන් ගත් මුල් කාලය ය. එක් වතාවක් ඔහු ඒ සඳහා තම වැටුපෙන් ණය මුදලක් ද ලබා ගත්තේ ය. එම ණය මුදලින් එකල තිබූ හොණ්ඩා වර්ගයේ මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමට ජයදේව තම මිතුරෙකු සමග කතාබහ කරගෙන තිබුණි. එහෙත්.. ජයදේවට තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පවු‍ලේ කිසිවෙකුගෙන්වත් සහයෝගයක් නොලැබුණි.

"මොනවටද පොඩි පුතේ උඹට මෝටර් සයිකලයක්? රස්සාවට යනවා කියලා ඈතක යනව ද? උඹ ඔය දඬුමොනරේ ගත්තොත් ගෙදර එනකන් මගේ ඇඟේ ලේ වතුර වේවි. හිතේ බයට මං මැරිලා යාවි."

මෝටර් බයිසිකලයක් ගැනීමට උත්සාහ දැරූ පළමු අවස්ථාවේදීම ජයදේවගේ මව දැක්වූයේ එබදු අදහසකි. අවසානයේ ජයදේව තම මවගේ අදහසට අවනත වූවා ය. ඉන්පසු අවස්ථා කිහිපයකම ජයදේව මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමට උත්සාහ දැරී ය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම මව හෝ පියා ඔහුට ඒ සඳහා අවසර නොදුන්නේ ය.

"උඹව රස්සාවක් කරන තත්ත්වයට ලොකු මහත් කෙරුවේ අපේ හිතේ ධෛර්යයට. උඹ දැන් හදන්නේ ඔය අතපය කඩාගන්න ද?" මෝටර් බයිසිකලයක් ගැනීමට තමා සූදානම් වන බවක් දැනුණු සෑම අවස්ථාවකම ජයදේවගේ පියා එලෙස පවසමින් ඔහුගේ අදහස සිතින් බැහැර කිරීමට උත්සාහ දැරුවේ ය. පවුලේ බාලයා වූ ඔහුට මව සහ පියාගේ පමණක් නොව අනෙකුත් සහෝදර සහෝදරියන්ගේද අදහස් වලට ගරු කිරීමට සිදුවිය.

"ඔන්න ඔය අදහස අතහැර දමන්න මල්ලියේ... අම්මා කියන දේත් ඇත්තක් තියනවනේ. බලන්න එහා ගෙදර සිරිමෙවන්. බයික් එකෙන් වැටිලා අවුරුද්දකට කී පාරත් තුවාල කරගන්නවද කියලා..." ලොකු අක්කා තම මවගේ අදහස තහවුරුවන සේ නිතරම කතා කළා ය. පවුලේ සැම දෙනාගේම මෙවැනි අදහස් නිසා ජයදේවට තම සිතැඟි වලට අනුව ක්‍රියා කරන්නට තරම් ධෛර්යයක් නොතිබුණි.

ඒ කාලයේ අද මෙන් සුලබව මෝටර් බයිසිකල් භාවිතයක් ද නොවීය. එවැනි දෙයක් මිලදී ගැනීමට හැකියාවක් තිබුණේ ද සමාජයේ එක්තරා කොටසකට පමණි. මෝටර් බයිසිකලයකට හිමිකම් කීම සමාජයේ යම්කිසි තත්ත්වයක් ලැබීමට ද හේතුවක් විය හැකි යැයි ජයදේවට බොහෝ විට සිතුණි. මෝටර් බයිසිකලයක් ගැනීම සම්බන්ධයෙන් ජයදේවගේ සිතේ ඒ දිනවල තිබූ බලාපොරොත්තුවට එක් හේතුවක් වූයේ ඔහුගේ යටි සිතේ තිබූ ඒ හැඟීම විය යුතු ය.

"ඊයෙත් එන්න කියලා හිතුවට කෝ වෙලාවක් ලැබුනේ නෑ නේ… ඉතින්... ඉතින්... මිස්ටර් ජයදේව කොහොමද බයික් එක?" වීරසේකර තමා අසලට එන තුරුම ජයදේව ඔහුව නොදුටුවේ ය.

"දැනට නම් කරදරයක් නෑ මිස්ටර් වීරසේකර. මං උදේ ටවුන් එකට ගිහින් ආවා. විනාඩි දහයක් ගියේ නෑ..." ජයදේව පැවසූවේ ය.

"බයික් එකක් තියෙන එක හරි ප්‍රයෝජනයි මිස්ටර් ජයදේව. මම නම් මැරි කළ අලුතමයි බයික් එකක් ගත්තේ," වීරසේකරේ ඒ පැවසුවේ තමාට ඇනුම් පදයක් දැයි ජයදේවට සිතුණි.

"කෝ මේ අපේ වයිෆ්ගේ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ නේ... තවමත් හිත හොඳ නැහැ මාත් එක්ක, බයික් එකක් ගත්තා කියලා..." ජයදේව කතාව වෙනතකට හැරවීය.

"දන්නෙ නැද්ද එයාලගේ හැටි? ඕවා ගණන් ගන්න එපා, මිස්ටර් ජයදේව. ටික දවසක් ගියාම ඔක්කොම හරි යාවි..." වීරසේකර පහත් හඬින් එසේ පවසා ආපසු හැරී ගියේ ය.

ජයදේවට පෙර දින සිදුවීම සිහිපත් විය. සෝමලතා බයිසිකලය අසල සිටගෙන සිටියා ය. ඈ සිටියේ ජයදේවට පිටුපා බැවින් ඇය ඔහුව නොදුටුවා ය. මොහොතක් බයිසිකලය දෙස බලා සිටි, ඇය හෙමිහිට එය පිරිමැද්දා ය. වීරසේකර පවසන ලෙසට ඇයගේ මේ නොරිස්සුම් සහගත බව තවත් දින කිහිපයකින් මගහැරී යනු ඇත.

සෝමලතා සමග විවාහ වු අලුත ද නැවතත් මෝටර් බයිසිකලයක් ගැනීමේ අවශ්‍යතාවය ජයදේවට දැනුණි. ඒ නිසාම ජයදේව ඒ පිළිබඳව සෝමලතා සමඟ කතාබහ කළේ ය.

"හදිසියකට ගමනක් බිමනක් යන්න කියලා වාහනයක් නෑ. බස්වලට හිටගෙන ඉඳලා ඇතිවෙනවා. මං හිතාගෙන ඉන්නේ බයික් එකක් ගන්න කියලයි." විවාහ වී පළමු වසර කිහිපය තුළදී කීප වතාවක්ම ජය දේව මෝටර් බයිසිකලයක් ගැනීමට උත්සාහ දැරීය. එහෙත් තම අදහස පිළිබඳව සෝමලතා කිසිසේත්ම කැමැත්තක් දැක්වුවේ නැත.

"මෝටර් බයිසිකලයක්...?" පළමු වතාවට එම අදහස පිළිබඳව පැවසූ දිනයේ සෝමලතා බියපත් වූ විලසින් ජයදේව දෙස බලා සිටියා ය.

"ඔයාට පිස්සුද ඔය යකඩ ගොඩක් එක්ක සෙල්ලම් කරන්න...? අනේ ඔන්න ගන්න තියා හිතන්නවත් එපා..." සෝමලතා බැගෑපත්ව ඔහුගෙන් අයැද සිටියා ය. එපමණක් නොව සති ගණනක් ඈ ඒ අදහසේ බියකරු පැත්ත පිළිබඳව දිගට දිගින් දිගටම කතා කළා ය.

"අපේ පුංචි අම්මගේ පුතා මෝටර් බයික් එකක් ගත්තා. සතියයි… ඇක්සිඩන්ට් එකක් වුණා. ඔයා දන්නවනේ අදටත් එයා වීල් චෙයාර් එකේ."

එකල සෝමලතාගේ අකමැත්ත නොතැකු ජයදේව මෝටර් බයිසිකලයක් ගැනීම කළ යුතු යැයි අධිෂ්ඨාන කර ගත්තේ ය. අවුරුදු ගණනාවක් ඉතිරි කර ගත් මුදලින් කොටසක් මෝටර් බයිසිකලයක් සඳහා වැය කිරීමට සූදානම් වූයේ ය. සාප්පු කීපයකට ගිය ජයදේව සුදුසු මෝටර් බයිසිකලයක් ගැනීමට වෙහෙස විය. මේ බව දැනගත් සෝමලතා ජයදේව ගේ අභිප්‍රාය පිළිබඳව ඔහුගේ නිවසට ද සැලකර සිටියා ය. ඒ පිළිබඳව දැනගත් මොහොතේම මව ජයදේව සොයා ආවේ ය.

"මොනවද පොඩි පුතේ.. උඹ මේ කරන්න හදන වැඩ? උඔට මොනවා හරි දෙයක් වුනොත් මේ කෙල්ලට යන කල මොකක් ද?" කලබලයෙන් නිවසට පැමිණි මව ඇසුවා ය.

සුපුරුදු පරිදි ජයදේවට තමාගේ ආශාව නැවත පසෙක දමන්නට සිදු විය. එහෙත් වරින් වර එම ආශාව ඔහුගේ සිත තුළින් ඉස්මතු වන්නට විය. තම පවුලට දූ පුතුන් සතර දෙනකු එකතු වූවාට පසුව ද මෝටර් බයිසිකලයක් ගැනීමට ජයදේව උත්සාහ කළේ ය. ඒ වන විට සෝමලතා එම අදහස ප්‍රතික්ෂේප කිරීමට තවත් හේතු එකතු කරගෙන සිටියා ය.

"ඔය සෙල්ලම් වැඩ වලට සල්ලි විසිකළාම මේ ළමයින්ගේ ඉගෙනීමේ වැඩ කොහොමද කරන්නේ?" සෝමලතා පවසන අදහස සත්‍යයක් බව ජයදේවට ද වැටහිණි.

දූ පුතුන්ගේ ඉගෙනීමේ වැඩ කටයුතුවලට සෑහෙන මුදලක් යෙදවීමට ජයදේවට සිදු විය. ලොකු පුතා ඒ වනවිට උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියේ ය. ඔහු විශ්වවිද්‍යාලයට තේරුණහොත් ඒ සඳහා තවත් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. පොඩි පුතා සහ දූවරු දෙදෙනාත් ඉගෙනීමට දක්ෂයන් වූ බැවින් ඔවුන් වෙනුවෙන්ද මුදලක් වෙන් කළ යුතු බව ජයදේව දැන සිටියා ය. ගේදොර වියහියදම් ද දිනෙන් දින ඉහළ ගොස් ය. රජයේ රැකියාවෙන් ලැබෙන වැටුප පමණක් මේ සියල්ල වෙනුවෙන් වැය කළ යුත්තේ කල්පනාකාරී බවකින් යුතුව බව ජයදේවට අවබෝධ වුයේ ය. එබැවින් කුඩා කාලයේ සිට සිතෙහි තිබූ ඒ බලාපොරොත්තුව අමතක කර දැමීමට ජයදේව තීරණය කළේ ය.

එතැන් පටන් දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඉන් අනතුරුව ඔවුන්ගේ විවාහ කටයුතු සාර්ථක කිරීමට ජයදේව යත්න දැරුවේ ය. ඒ සියල්ල අවසාන වන විට ජයදේව රැකියාවෙන් ඉසුඹුලන කාල වකවානුව ද පැමිණ තිබුණි. දැනට මාස කිහිපයකට පෙර විශ්‍රාම ලැබූ ජයදේවට වෙනදා නොදැනුණු කාන්සියක් දැනෙන්නට විය. නිවසේ සිටින්නේ ඔහුත් සෝමලතාත් පමණි.

පසුගිය මාසයක පමණ කාලයේ සිට ජයදේවගේ සිතේ නැවතත් මෝටර් බයිසිකලයක් පිළිබඳව ආශාව මතුවෙන්නට පටන් ගත්තේ ය. ජයදේව මෝටර් බයිසිකලය පිළිබඳ සිහිනයේ නැවත නැවත සැරිසරුවේ ය. ඔහුගේ වයස අනුව රියදුරු බලපත්‍රයක් ගැනීම දුෂ්කර බව ජයදේවට වැටහිණි. එහෙත්, මදුරුවා බයිසිකලය ධාවනය සඳහා රියැදුරු බලපත්‍රයක් අනවශ්‍ය බව ඔහු දැන සිටියේ ය. අවසානයේ ජයදේව එවන් බයිසිකලයක් තමා සතු කර ගත යුතු යැයි තීරණය කළේ ය. ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම ජයදේව කතා කළේ වීරසේකර සමඟ ය.

"මං හිතාගෙන ඉන්නේ බයිසිකලයක් ගන්න මිස්ටර් වීරසේකර.."

"හොඳ අයිඩියා එක මිස්ටර් ජයදේව. ගන්නවනම් මගේ වර්ගයේ මදුරුවා බයික් එකක් ගන්න. අරගෙනත් අවුරුදු තුන හතරක් වෙනවා අද වෙනකම් රෙපෙයාර් එකකට දමල නෑ..."

ජයදේව වීරසේකර සමඟ නගරයේ සාප්පු කීපයකටම ගියේ ය. එහෙත්.. මිල ගණන් පිළිබඳව විමසූ ජයදේවට තම අතැති මුදල අලුත්ම බයිසිකලයක් මිල දී ගැනීමට තරම් ප්‍රමාණවත් නොවී ය. අවසානයේදී මිතුරෙකුගේ මාර්ගයෙන් පාවිච්චි කළ බයිසිකලයක් මිලදී ගැනීමට ජයදේව තීරණය කළේ ය.

"මේ මොනවටද මේ? ඔය වයසට මේ වගේ දෙයක් මෙල්ල කරගන්න පුළුවන්ද හැබෑට...?" නිවසට මදුරුවා බයිසිකලය ගෙන එනතුරු සෝමලතා ඒ බව නොදැන සිටියා ය. එබැවින් පුදුමයට පත් වූ සෝමලතා කෝපයත්, වේදනාවත් මිශ්‍ර වු හඬකින් එසේ පැවසුවා ය.

"මේ මිස්ටර් වීරසේකරත් පදින්නේ? මොකෝ මට හයිය හත්තිය නෑ කියලද හිතාගෙන ඉන්නේ...?" ජයදේව සිනාසීමට තැත්කරමින් එදින එසේ පැවසුවේ ඇගේ සිත සැහැල්ලු කිරීමට ය.

"පෙන්ෂන් ගිය මිනිස්සුන්ට ලයිසන් දේවියැ. තල්ලු කරගෙන තමයි යන්න වෙන්නේ..." සෝමලතා සරදමට එලෙස කීවා ය.

"ලයිසන් ඕනේ නෑ මිසිස් ජයදේව මේ මදුරුවට. පිටේ නඟින්න විතරයි ඕනේ. ඔය කිව්වට හෙට අනිද්ද බලන්න බැරියැ මිසිස් ජයදේවත් බයිසිකලේ පිටිපස්සේ නැගලා ගමන් යන හැටි..." සෝමලතා පැවසූ දෙයට පිළිතුරු දුන්නේ වීරසේකරය.

එදින සිට ඇය ජයදේව සමග කතාබහ නොකළා ය. ජයදේවට කෑම බීම සකස් කර දුන්න ද, වෙනදා මෙන් "කෑම කන්න" යැයි ඇරයුම් කිරීම මඟ හැරියා ය. ඇ සිටියේ ජයදේව සමඟ නොමනාපයෙනි.

බයිසිකලය මිල දී ගැනීමත් සමඟ ජීවිතයේ තිබූ විශාල අඩුවක් සම්පූර්ණ වූවා සේ ජයදේවගේ සිතට දැනුණි. බයිසිකලය නිවසට ගෙන එන ලද්දේ වීරසේකර විසිනි. තමාට බයිසිකලය ධාවනය කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන ලෙස ජයදේව, වීරසේකරගෙන් ඉල්ලා සිටියේය. වීරසේකර පසුදා සවසම ජයදේවගේ නිවසට ආවේ ය. ජයදේව බයිසිකලයට නැඟ හැඩලය අල්ලා ගත්තේ ය. වීරසේකර පිටුපස අසුනේ වාඩි විය. ජයදේවගේ සිතට දැනුණේ තරමක චකිතයකි.

සිතට ආ චකිතය මැඩගෙන ජයදේව බයිසිකලය ක්‍රියාත්මක කළේ ය. වේගයෙන් ඉදිරියට ඇදී ගිය බයිසිකලය ජයදේව හසුරුවා ගත්තේ අසීරුවෙනි.

"ඕව ගණන් ගන්න එපා මිස්ටර් ජයදේව වැටි වැටී තමයි ඉගෙන ගන්න ඕන..." ජයදේව ධෛර්යමත් කරමින් විරසේකර පැවසුවේ ය.

ගෙවල් පේළි අතර ඇති අතුරු පාරවල් දිගේ ජයදේව බයිසිකලය පැදගෙන ගියේ ය. වරෙක කාණුවක වැටී පෙරළෙන්නට ගිය බයිසිකලය තවත් වරෙක තාප්පයක වැදී නතර විය. දින කිහිපයක් යන විට ඔහුට තනියම බයිසිකලය හසුරුවා ගැනීමට හැකි විය. දිනක් ජයදේව වීරසේකරගේ සහය නොමැතිව බයිසිකලය පැදවීමට ඉටා ගත්තේය. ජයදේවට තමා ගැනම ඇතිවූයේ ආඩම්බරය මුසු වූ සතුටකි.

එදින ජයදේව ආපසු එන විටදී සෝමලතා ගේට්ටුව අසලට වී පාර දෙස නෙත් යොමා ගෙන සිටියා ය. ඇය සිටියේ වෙනදාට වඩා කෝපයකින් බව ජයදේවට දැනුණි.

"කරන්න පුළුවන් දෙයක් එපාය කරන්න...? අතපය කඩාගෙන බේරුනොත් ඇති..." සෝමලතා පැවසුවා ය.

"තව ටික දවසකින් ටවුමට ගිහින් එමු. දැන්.. බස්වල යන්න ඕන නැහැ..." ජයදේව පැවසුවේ සෝමලතාගේ සිත වෙනස් කිරිමට ය.

"අපෝ… අතපය කඩාගන්න මට නම් බැහැ..." එවෙලෙහි සෝමලතා උස් හඬින් පැවසුවා ය.

බයිසිකලේ ගෙනා මුල් දවස් දෙක තුන තුළ සෝමලතා එක මොහොතක්වත් නිහඬව නොසිටියා ය. ගේ ඇතුලේ එහා මෙහා යමින් ඈ ජයදේවට ඇසෙන්නට බොහෝ දේ කීවා ය. එහෙත් කිහිප දිනකට පසුව ඇගේ හැසිරීම වෙනස් විය. යන්තමින් ගේදොර වැඩ කරන සෝමලතා එක තැනකට වී කාලය ගත කිරීමට පටන් ගත්තා ය. ඈ වෙනදා මෙන් ජයදේව සමග කතාබහ ද නොකළා ය. සෑම දිනකම උදෑසන පිබිදෙන සෝමලතා දැන් දහවල් වනතුරු නිදාගන්නී ය. රාත්‍රී කාලයට ඈ වෙනදාට වඩා කලින් නින්දට යන්නී ය. ජයදේවට අවශ්‍ය කෑම බීම සකස් කර දුන්න ද ඇය වෙනදා මෙන් ඔහුට කෑම කන්න යැයි ඇරයුම් නො කළා ය.

සෝමලතා මෙලහකටත් කුස්සියට වී කුමක් හෝ වැඩක යෙදී ඇතැයි ජයදේවට සිතුණි. අද උදෑසන සෝමලතා ඔහු අතට තේ කෝප්පය පිළිගැන්වුවා ය. ඒ සති දෙකකට පමණ පසුව ය.

"එළියට බැහැලා ගියාම ගෙදර එනකන් ඉන්න ඕනි හිතේ ගින්දරෙන්..." සෝමලතා එවෙලෙහි බිම බලාගෙන කීවා ය.

ඒ හඬෙහි ගැබ් වී තිබුණේ දුක්බර බවක් ද නැත්නම් අසරණ බවක් දැයි ජයදේවට සිතා ගත නොහැකි විය. මේ දින කිහිපයට ඇගේ මුහුණ තව තවත් වැහැරී ගොස් ඇති සේ ජයදේවට පෙනුණි. තැනින් තැන සුදු වී ඇති ඇගේ කෙස් රොදවල් කිහිපය ඇගේ මුහුණ තවත් වියපත් කර ඇති සේ ය. ඇගේ දෑතේ නහරවල් කීපයක් උඩට ඉලිප්පී ඇති අන්දම ජයදේව දුටුවේ ය.

"ලොකු පුතාල හෙට එනවා කියන්නේ. ටවුමෙන් මොනවත් ගෙනාවොත් හොඳයි නේද...?" සෝමලතාගේ හඬින් ජයදේව තිගැස්සුණි. ඇයගේ වතෙහි ඇත්තේ සන්සුන් බවකි. සෝමලතා ආහාර පිළියෙළ කිරීමේ දී නිවසට අවශ්‍ය දෑ පිළිබඳ ලැයිස්තුවක් ඔහු අතට දුන්නාය.

"දෙන්නම යමු… ටවුමට ගිහින්... ඕන කරන දේවල් අරගෙන එමු..." ජයදේව පැවසුවේ ය.

සෝමලතාගේ වත පුරා වූයේ ලැජ්ජාශීලී සිහින් සිනාවකි. ජයදේවත් සෝමලතාත් නිවස තුළට ගොස් කඩිනමින් සූදානම් වී ආහ.

"පරිස්සමෙන්..." මදුරුවා බයිසිකලය පිටුපස අසුනට නැඟ ගත් සෝමලතා මුමුණන හඬ ජයදේවට ඇසුණි. ජයදේව මදුරුවා බයිසිකලය ක්‍රියාත්මක කොට ගෙමිදුලෙන් පිට වූයේ ය. සුළං පොදි විත් ජයදේවගේ මුහුණ සිප ගත්තේ ය. ගෙවල් දොරවල් ආපස්සට දිව ගියේ ය. හැඬලය අපහසුවෙන් හසුරුවමින් ජයදේව බයිසිකලය ඉදිරියටම ධාවනය කළේය.

මදුරුවා බයිසිකලය සමඟ ජයදේවගේ සිත ද ඉදිරියට ඇදී යන්නට විය. මෙතෙක් සිතේ තිබූ කාන්සිය මග දෙපස නතර වන්නා සේ ද ගුරු පාරේ ඈත කෙළවරේ සිට සතුට ඔහුට අත වනන්නා සේ ද ජයදේවට පෙනුණි.

- චාන්දනී  දේවිකා පුංචිහේවා
chandanidevikapunchihewa@gmail.com 

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Saturday, 29 August 2026

හදේ කොතැනක හෝ හිඳී ඔබ - කරු කහටපිටිය



පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා හද තනි වෙනා මොහොතින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් ඔබ මැකී යනු මතකෙන්



මේ ගීතය ගායනා කරනු ලබන්නේ පරාජිත පෙම්වතෙකු විසිනි. පෙම්වතිය විසින් ඔහු හුදකලා කර වෙන් වී යාමේ විරහා වේදනා හැඟීම් ධ්වනිත කරන වියෝ ගීතයකි.

"මගේ හදවත තුළ කොතැනක හෝ නිදා නො නිදා මෙන් නිහඬව ඔබ පසුවන බව මට දැනෙයි. මා පෙළීම සඳහා හොඳ ම වෙලාව උදාවන තෙක් කල්යල් බල බලා නුඹ සිටී. නිසි වෙලාව උදා වූ විගස නුඹගේ මායම් සිනහව පා, සැනසිලි සුවවිඳිමින් පසු වූ මගේ සන්සුන් හදවත අවුල් කරමින් මගේ මනස පීඩාවට පත් කරනු ඇත" ඔහු කියයි.

"වෙලා හස රැහැනින්” රමණීය හැඟීම් ධ්වනිත කරනා කාව්‍යෝක්තියකි. ඇගේ සිනහව නමැති රැහැන් පොටින් ඔහුගේ හදවත දැඩිව වෙලා වද දෙන විලාසයෙහි මනෝරූප මවයි. ඒ කාව්‍යය චින්තනය ගීතයෙහි භාෂාවෙහි කලාත්මක අගය විදහා පායි.

ඉහත සඳහන් රමණීය කාව්‍යෝක්ති තුනෙන් ධ්වනිත වන පරිදි ඔහුගේ හදවත තුළ පෙම්වතිය සැඟවී සිටින්නී ය. එහෙත් ජීවමාන පෙම්වතියට ඔහුගේ හදවත තුළ සැඟව සිටිය නො හැක. එය පැහැදිලි සත්‍යයකි. එසේ නම් ගීතයෙන් ධ්වනිත වන ව්‍යංග්‍යාර්ථය කුමක් ද? පෙම්වතිය තමාගෙන් වෙන්ව යාම ගීතය ගයන පෙම්වතාට ඉවසා දරා ගත නොහැකි වියෝගයකි. ගීතයෙන් ධ්වනිත වන්නේ ඈ පිළිබඳ මතකය ඔහුගේ මනස තුළ තවමත් ඉතා ප්‍රබල ලෙස පවතින විලාසයෙහි රමණීයත්වයයි.

දිවා කාලයෙහි රැකියා ව්‍යාපාර කටයුතු හා වෙනත් ජීවන කටයුතු අතර පෙම්වතා කාර්ය බහුලව නියුක්ත වීම ජීවිතයෙහි ස්වභාවයකි. සැන්දෑව නිවස බලා පැමිණ තනි යහනෙහි සැතපී විවේක සුව විඳිනා මොහොතයි. "බලා අවසර සොයා කල් දැන" හදවතේ වෙසෙන පෙම්වතිය බල බලා සිටින අවස්ථාව එයයි. නිරායාසයෙන් ම පෙම්වතාගේ මනසට පෙම්වතිය සමඟ ගෙවූ ප්‍රේමණීය ජීවිතයේ අතීත සුන්දර මතක සටහන් පෙළට මතකයට නැගෙයි. ඒ සොඳුරු අතීතය සිහිපත් වීම පෙම්වතාට දැන් දරා ගත නො හැකි හිරිහැරයකි. ප්‍රබල මානසික පීඩාවකි.

"බැස යන හිරු සැන්දෑවට මුහුදුබත් වන්නේ එකවර නොවේ. අහසත්, සාගරයත් අතර ඇති රත් පැහැ සිතිජ රේඛාවෙහි ගිලෙමින් නැවත මතු වෙමින් රත් පැහැ හිරු මුහුදු බත් වන්නේ ක්‍රම ක්‍රමයෙනි. එලෙස නුඹත් මගෙන් වෙන් ගියේ මට දස වද දිදී මගේ හදවත කාලයක් තිස්සේ වරින්වර පාරවා රිදවීමෙන් පසුවයි,” යන අරුත් දෙන පදවැලෙන් පෙම්වතාගේ අසරණභාවය පිළිබඳ දැඩි සානුකම්පිත හැඟීම් ගීතය රස විඳින ශ්‍රාවක මනස තුළ පහළ කරයි.

ප්‍රේමය, ආදරය උතුම් මානුෂික හැඟීම් වේ. එහෙත් මේ ගීතය ගයන පරාජිත පෙම්වතාට එය රුදුරු ජීවන වද හිංසාවකි. "දස දහස් ගණනින් යුත් ප්‍රාර්ථනා බල මහිමයෙන්, මගේ දෑසෙහි ඉනූ කඳුළ මිදෙන්නට පෙර නුඹ පිළිබඳ මගේ මනස තුළ ඇති සියලු මතක සටහන් මැකී යත්වා!" යැයි පෙම්වතා ප්‍රබල අන්දමින් ප්‍රාර්ථනා කරයි.

පෙම්වතාගේ හදවත මෙතරම් ආවේගී සංවේදනවලින් පෙළෙන්නේ ඇයගෙන් වෙන් වීමේ දුක ඔහුට දරා ගත නො හැකි නිසයි. ඒ තුළින් රමණීය ලෙස ධ්වනිත වන්නේ ගීතය ගයන පෙම්වතාගේ මනස තුළ එම පෙම්වතිය පිළිබඳ තවමත් කෙතරම් ප්‍රේමයක් ආදරයක් සැඟවී පවතින්නේ ද යන විස්මිත හැඟීමයි.

ගීතයෙහි භාෂාව: "හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්", "බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින්", "සයුර ඉම රත් සිතිජ රේඛාවේ, මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ", "පෙළයි මා මුදා සුව දැහැනින්" යන කාව්‍යයෝක්ති නිර්මාණය කර ඇති භාෂාව රමණීය හැඟීම් ධ්වනිත කරයි. රසික මනස තුළ අවස්ථාවෙහි මනෝරූප මැවීමට සමත් උසස් භාෂාව, විචිත්‍ර සෞන්දර්යාත්මක ගුණයෙන් අලංකාර වේ.

ගී තනුව හා සංගීත නිර්මාණය: පෙම්වතාගේ මනස තුළ ඇති ප්‍රබල විරහා වේදනා, වඩා රමණීය ලෙස ධ්වනිත කිරීම සඳහා ගී තනුව හා සංගීත නිර්මාණය සමත් වේ, ඉතා ආශාවෙන් ගීතයට සවන් දීම සඳහා ශ්‍රාවකයා පොළඹවයි.

ගායනය: සුනිල් එදිරි සිංහයන්ගේ උචිත ගායනය, දුක්බර හැඟීම් තීව්‍ර ලෙස ශ්‍රාවක සවන වෙත යොමු කරයි. "හදේ කොතැනක හෝ” විචිත්‍ර සෞන්දර්යාත්මක ගුණයෙන් පිරි විරහ ගීතයකි.

- කරු කහටපිටිය
karunasena_k@yahoo.com.au

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

වැසි අතරින් - ලෝචනී අමරසූරිය



පාට පාට මල් අතරින්
එකම මලක් දුටුවා...
ඒ මල නොදැනිම හෙමිහිට
හිනා වෙවී උන්නා...
හදිස්සියේ වැටුණු වැස්ස
මොන මොනවද කීවා...
මටත් නොකී රහස් රැසක්
වැස්සට දියවූවා...

- ලෝචනී අමරසූරිය
lochaniamarasooriya733@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

දමනය - එස්. එම්. ජයසූරිය



පව් දොස් දුරලා
දම්සක් සුතුරෙන්
සිත දමනය වූ සද
සැලි සැලි යන
බෝපත් අතරින්
දුටුවෙමි ඇසළ සඳ

- එස්. එම්. ජයසූරිය
smjayasuriyalaw@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

ගස් - ජයන්තා මිහිඳුකුලසූරිය



උපත දුන් ගසට ම
පොහොර වන
දුඹුරු පත්

- ජයන්තා මිහිඳුකුලසූරිය
jayanthamihindu@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

​රම්‍ය සඳ ඔබයි - රංජිත් ද සිල්වා

Ranjith - Nanda.jpeg
ගලන ගඟක සුදු මුදු පෙණ මතු කෙරුනී
හදවිල කැළඹි පෙම් ජල රේඛා මැවුණී
රුක් අත්තන මලට බඹරුන් එනු පෙනුණී
ලය මඩලේ රන් දෙවොලක් යළි තැනුනී

අදටත් පවන හමමින් මන දිරි බන්දා
අවියක් වගේ සවියකි ඔබෙ හඬ නන්දා
ආරාධනා ස්වර දැහැනේ අපි රන්දා
අරලිය ලන්ද සතුටින් සඳ රැස් වින්දා

කඩමන්ඩියේ දොළ අයිනේ රිදී හඬයි
කලා වැවේ දිය දෝතේ සිසිල ඔබයි
සරුංගලේ හැඩ කෙරුවේ ඔබේ හඬයි
ගී අඹරේ නොබසින සඳ රැජින ඔබයි

- රංජිත් ද සිල්වා
ransil04@yahoo.co.nz 

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

​නෑවිත් ඉන්නම වෙනවා නුඹට - රංජිත් කිරිඇල්ල

Kiriella 1.jpeg
උන් තව පොඩි එවුන් දෙපයට වාරු නැතී
සංකාවෙන් තවම මං ගැන බලන් ඇතී
මං එන්නේම නැති බව දන්නැතුව ඇතී
පිං මදි වුණි ද කරුමෙ ද වැටහෙන්නෙ නැතී

නුඹටත් හති නොවෙද තනි බර දරාලා
මට දැනෙනවා සෝ ළතැවුල් මැවීලා
එනමුදු ඔය හිසේ බර ගොඩ ගැසීලා
ඉවසා ඉන්න දරුවන් ගැන හිතාලා

සංසාරේ මෙහෙමමයි ළත වෙන්න එපා
සංකා දැනී සිත බිඳවා ගන්න එපා
පුංචි පැටව් ටික තනි කරලන්න එපා
මං ආවට, කලින් නුඹ නම් එන්න එපා!

- රංජිත් කිරිඇල්ල
ran.kiri60@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

විවාහ සැමරුම - ශාමලී පූර්ණිමා



මල් වැටුණු සොදුරු මාවත් මතින් නැත සරදම් සිහින මැව්වේ
වැල්ලේ මාලිගා නොව සැබෑවන අරමුණටයි පියවර නැගුවේ
කටු පඳුරු, නිරුදක කතර හා පොරබැඳ සොඳුරු සිහින ගොඩනැගුවේ
දෙදෙනාම එකව එක මඟ නොබියව ආ නිසා ය බාධක ජය ලැබුවේ

ආදර, කරුණා, ගුණ මතින් අපේ ආදර ගස දළු ලා වැඩුණේ
දරු කැල එකව මව් පදවි ලද දා වැඩි විය සෙනෙහේ පිරි ආලේ
විරසක වුවත් බත් මුට්ටිය ඉදෙන තුරු වෙන් කරන්ට නොහැක්කේ
තෙවැනි ඇසක් විවර වුව ද අප නොව පසු බැස්සේ

බඳිමු සිහින සදා නොවෙනස් ආදර පැතුම් පෙරදැරිව
තනනෙමු ගඩොලින් ගඩොල නැගි පියසක් හිමි නිර්මල මැදුර
දායාද කරමු රටකට බරක් නොවන වටිනා දරු පරපුර
ඉන්නෙමු සදා යහගුණ, දම්, කුසලින් පුරවා දිවියම මියෙන තුරා

- ශාමලී පූර්ණිමා
poornimamuthukumarana8@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Friday, 28 August 2026

​මාලිනිය නන්දා​ - කළණ දිසානායක

Kalana Nanda Malini.jpeg

දුක් ගැහැට මැදි කරන්
නොසැලී මුහුණ දී
අල්ප දිවියක් ගෙවූ
චරිතයක් වූ උතුම්
වේ ය මාලිනිය නන්දා

අයුක්තිය අසාධාරණය
අදමිටු පාලනය
විසල් වූ හඬක් විය
විරුද්ධව නැගී සිටි
දිරිය කත
වේ ය නන්දා මාලිනිය

හදවත පහන් කළ
කැළඹුණු සිත් සතන්
සමත් වූ සනසන්න
සහිත වූ පද වැල්
විසල් වූ හඬක් විය
නන්දා මාලිනිය සතු

නික්ම ගිය ඒ කත
සේවය නිමාකර
නාමය ඉතිරිකර
සුබ ගමන් සුබ ගමන්
මාලිනිය නන්දා!

කළණ දිසානායක

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

​ඔබ අහස - මාලතී රූපිකා පුංචිහේවා

Malathi 3.jpeg

මැදියම් රාත්‍රියේ
ගුවන් යානයක හඬ
එහි නියමුවා ඔබ ය
අනුමාන කරමි මම

ගිරි ශිඛර ඉහළින්
වලා තිර පීරද්දි
ඉඳහිටක හෝ සිතට
මා ඇවිත් යනවා ද?

ඔබ අහස, මම පො⁣ළොව
ලොව පැවසුවේ එලෙස
එහි අරුත වැඩි බරට
අද දැනෙනවා සිතට...

- මාලතී රූපිකා පුංචිහේවා .
malirupi17@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

​සඳ තරුත් එක්ක පෙමින් බැඳුණු වේලේ - අනුරුද්ධ වැලිගමගේ

Anuruddha - Sep.jpeg

සඳ තරුත් එක්ක පෙමින් බැඳුණු වේලේ
හරි ලැජ්ජාවෙන් අහස බලපු තාලේ
ඒ මල් උයනෙදි ඔබ සිපගත් වේලේ
ගස් අතරින් සඳ දුටුව ලු ආලේ

ඇවිද ගිහින් වයස ගියපු තාලේ
මතක ගමන් යළි එන යන තාලේ
ඉර බහින දසුන සිතුවම් කළ ආලේ
ඔබෙ සුවඳ තවම තියෙන්නෙ හිත පතුලේ

වෙරළ කොනක තොල් මතුරපු තාලේ
කළ කතා එදා බොළඳ වැඩි ද බාලේ
මුහුද එදා හොරෙන් බලපු තාලේ
මැවෙන, මැකෙන සිත්තම් පෙළ ආලේ

- අනුරුද්ධ වැලිගමගේ

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

බැමි නැති බැඳීම් - අනුරුද්ධ වැලිගමගේ

Anuruddha.jpeg

"තමුසෙ නම් හරිම එළ හරකෙක් ඕයි. ‘ඒ ලෙවල් වලට අයිලන්ඩ් ෆස්ට්’ වෙලා, නම්බු ගහපු උගතට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මම දැන් එවපු, වට්ස් ඇප් ෆොටෝ එක දැක්කද?" ලංකාවෙ ඉන්න ලොකු අක්කා තරහෙන් කියාගෙන, කියාගෙන ගියා.

චාමර පුදුමෙන් වගේ වටපිට බැලුවෙ ඒ සද්දේ කාටවත් ඇහුණද දැනගන්න වගේ. චාමර හිටියේ කෝච්චියේ, උදේ වැඩට යන ගමන්.

"වරුණි, ඔහොම කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ," දහම් අයියා කියනවත් චාමරට ඇහුණා.

චාමර වට්ස් ඇප් එකට එබිල බැලුවේ මොකක්ද එවල තියෙන ෆොටෝ එක කියලා බලන්න.

ඒක තාරුකී එක්ක ටොරොන්ටෝ නගරයේ ‘ඊටන් සෙන්ටර්’ එකේ නත්තල් ගහ ගාව වාඩිවෙලා ඉන්න ෆොටෝ එකක්.

"මල්ලී කවුද කියනව, ඔය ෆොටෝ එකේ ඉන්නෙ කියල? සාරංගා තමයි මට මේක එව්වෙ. ඒ හින්දා මේක මට ඉර හඳ වගේ විශ්වාසයි."

"මම දන්න කෙනෙක්, තාරුකී කියලා..." චාමර කිව්වෙ එච්චරයි.

"තාරුකී නෙමෙයි ඕයි ඕකි මාරකී. ඔය බඩ්ඩ කවුද කියලා තමුසෙ දන්නෙම නැද්ද? අපි කොහොමද හලෝ රෙදි ඇඳගෙන පාරේ යන්නෙ?"

"මම දන්නෙ එයා එමිරේට්ස් එකේ ‘එයා හොස්ටස්’ කෙනෙක් කියලා විතරයි. අනික මට මොකටද එයා ගැන වෙන දේවල්?"

"අනේ හලෝ, ඕකි අර අමුතු කොණ්ඩේ තියෙන සිලෝන් ටීම් එකේ ක්‍රිකටර් බැන්දෙ ලෝකෙට ම මඟුල් කියලා. අවුරුදු දෙකක් ගියෙ නෑ මඟුල කඩාගෙන ගෙදර ගියේ දුවෙකුත් එක්ක. එක එකත් එක්ක රවුම් ගහනවා කියල ඕකිට පුකට පයින් ගහල එලෙව්ව කියලයි කට්ටිය නම් කිව්වේ."

"අක්කේ ඔයත් අම්මා කෙනෙක් නේද? ගෑනු කෙනෙකුට ගරුසරු ඇතිව කතා කරන්න ඉගෙනගෙන නැද්ද?"

"මෙන්න මහ ලොකු උගතා කතා කරනවා දහම්. හලෝ, මට මේක මේ ගරු සරුකම් පාන්න යන වෙලාවක් නෙමෙයි. මට සහෝදරකම ලොකුයි ඊට වැඩිය. ඒ තරහටයි මං මේ කියන්නේ. හ්ම් මට දැන් තේරෙනවා ඇයි මෙයාට මෙච්චර තරහයන්නේ කියලා. තමුසේ එහෙනම් ඕන නාඩගමක් නටා ගන්නවා, ඔය නල්ලමලේ බඩුවත් එක්ක," ලොක්කි කතාව නැවැත්තුවේ (ආවේගයටත් වඩා වැඩි වේගෙන්!) තරහෙන් පිපිරී පිපිරී.

චාමර වැඩට ගියත් හිත හොඳටම සවුත්තු වෙලා තිබ්බේ. "හ්ම් සාරංගා අක්කා තමයි පත්තු කරලා තියෙන්නේ. එයා ඒ දවස්වල හැදුවෙ එයාගෙ නංගිව බන්දලා දෙන්න. අනේ අනේ පන්සලේ මහ උපාසිකාව කරන වැඩ," චාමර තමන්ටම කියාගත්තා.

"I hope you have a wonderful day!"

තාරු ගේ පුරුදු වට්ස්ඇප් පණිවිඩය ඇවිත්. දැන් තමයි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න ඇත්තේ චාමර එහෙම හිතුවා.

හවස තාරුකී කතා කරනකොටත් චාමර හිටියේ හොඳ මානසික තත්ත්වයකින් නෙමෙයි. ඒ හින්ද කෙටි සංවාදයකින් කතාබහ ඉවර කළේ ඔළුව කැක්කුමයි කියලා තාරුකී සිංගප්පූරුවෙන් ගෙනත් දීපු හර්බල් ඔයිල් බෝතලෙන් ටිකක් නළලට හලාගෙන.

චාමර අපර්ණාගෙන් දික්කසාද වෙලා දැන් අවුරුදු හතරක්. ලොකු දුව විශ්වවිද්‍යාලේ දෙවෙනි අවුරුද්දෙ. පුතා එකොළහේ පන්තියේ. අවුරුදු හතරක් අපර්ණා එක්ක යාළුවෙලා ඉඳලයි බැන්දේ. කැම්පස් එකේ දෙවැනි අවුරුද්දෙ තමයි සෙට්වුණේ. අලුතින් කැම්පස් එකට ආපු ‘නැවෙන්’ බාගත්ත කෙනෙක්. එංගලන්තෙ අවුරුදු පහක්, කැනඩාවේ අවුරුදු පහක් ජීවත් වුණාට පස්සේ තමයි දෙන්නට දෙන්නගෙ නොගැලපීම් දැනෙන්න පටන් ගත්තෙ.

එයාගෙ අම්මා තාත්තා ගෙන්න ගත්ත එක තමයි ඒවට මුල කියලයි ලොකු අක්කා කියන්නෙ. කොහොමත් ඒ කාලේ ඉඳළම අක්කා ඒ සම්බන්දෙට කැමැත්තක් තිබුණෙ නැහැ. ඒකට තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න අපර්ණා වැරදි ද, රස්සාවේ වැඩවලට ලෝකෙ වටේ ගිය, අඩුවෙන් ගෙදර හිටපු තමන් වැරදි ද හොයන්න, චාමර කවදාවත් උත්සාහයක් ගෙන නෑ. ලෝයර් කිව්වේ එකට ඉන්න බැරිනම් වෙන්වෙන්න කියල යි.

ලොකු අක්ක කිව්වේ ළමයි දෙන්න හන්දා අල්ලගෙන ඉන්න කියලයි. ඒත් පොඩි අක්කා නම් කිව්වේ මල්ලිට විඳවනවා කියලා තේරෙනවා නම් තීරණයක් ගන්න, ජීවිතේ කෙටියි, ඒ හින්දා දුකෙන් එකට ඉඳලා වැඩක් නෑ කියලයි.

සෙනසුරාදා උදේම චාමර හිතුවේ, පොඩ්ඩක් පොඩි අක්කට කතා කරන්න ඕන කියල. එයා ඉන්නෙ එංගලන්තෙ, වෙලාව වෙනස පැය පහයි. දැන් එයාට දවල්. චාමරගෙ හොඳම යාළුවා තමයි පොඩි අක්කා. ඒ වගේම එයා දෙයක් දිහා බලන විදිහටත් චාමර කැමතියි. ලොකු අක්කා වගේ සම්ප්‍රදායිකත් නැහැ. කලබල වෙන්නෙත් නැහැ.

"මොකද මේ අපිව මතක් වෙලා? මම ඒත් හිතුව අද නම් කතා කරයි කියලා. ඊයේ ලොක්කී මටත් බැනගෙන බැනගෙන ගියා නෙ, තමුසෙ තමයි පුංචි කාලේ ඉඳන්ම ඕකව හුරතල් කළේ කියලා. දානවා දානවා තමුසෙගෙ කැමරා එක. මට තමුසේගේ මූණ බලාගෙන කතා කරන්න ඕන."

"මරු කතා නෙ ඔයත් කියන්නෙ. මම ඔයාට ගිය සතියේ කතා කළා නෙ. එහෙනම් ඔයා වැඩේ දන්නවා."

"දන්නව කියන්නේ ලොක්කි දැන් මේක ‘පත්තු කරලා’ තියෙන්නෙ නැතිවෙන්න ම! කවුද හලෝ ඔය ලස්සන ගෑණු ළමයා?"

"තාරුකී." චාමරගෙ මූණ දිලිසුණා.

"ලස්සන නමක්, ළමයත් ලස්සනයි. කොහෙන්ද හොයාගත්තේ? අම්මා, තමුසගේ මූණෙ තියෙන පෙම් පාට!"

“ඔයාට මතකද මම ගිය අවුරුද්දේ අම්මා බලන්න ලංකාවට ගියා. ගිහින් එන ෆ්ලයිට් එකේ තමයි එයා වැඩකළේ. එයා පොර්ට් එකේ මම චෙකින් වෙන්න වාඩිවෙලා ඉන්නකොට සුමේධයා කතා කලා. මම දැක්කා ‘කෲ’ එකේ අයත් ‘ශිෆ්ට්’ එක මාරු වෙන්න ඇවිත් ඉන්නවා. මම සිංහලෙන් කෝල් එක ගන්නව ඇහිලා ඇවිත් ලංකාවෙ ද කියලා කතා කළා. සීට් එකත් ‘බිස්නස් ක්ලාස් එකට අප්ග්‍රේඩ්’ කලා.

"හ්ම්... එහෙනම් දැන් කාලයක් තිස්සේ දන්නව වගේ."

"එයා සති දෙකකට සැරයක් ටොරොන්ටෝ ෆ්ලයිට් එකේ වැඩ. ඩුබායිවල තනියෙම ලු ඉන්නෙ. ඉතින් එතකොට හම්බවෙනවා. ඇයි මම එදා ඔයාට කියන්න හැදුවේ... ඔයා ඉතින් වෙන මොකද්ද කියාගෙන ගියා නේ. මම ඒ පාර නොකියා හිටියා."

"එතකොට ‘චාමර පොඩි වීකුඹුර මහත්තයා’ ලොකු අක්කා කියන විදියට නම් හොඳටම මඩ නාගෙනයි ඉන්නේ."

"ඒ කිව්වේ?"

"ඇයි කොල්ලෝ... අක්කට ඒ ළමයගෙ ඔක්කොම වැරදිම නේ පේන්නේ. එයාගෙ දුවට තාම අවුරුදු දාසයයි ලු. එයත් ඇඟ එළියෙ දාගෙන ලංකාවේ මොඩ්ලින් කරනවා කියලා කිව්වේ. ටීවී ඇඩ් වලත් ඉන්නව ලු."

"අක්කේ මට ඒ ළමයාගේ අතීතෙවත්, දුව කරන කියන දේවල්වත් වැඩක් නැහැ නෙ? අනික තාම මම ආශ්‍රය කරනවා විතරයි නේ? අපර්ණා මාත් එක්ක හිටපු විදිහට මම කවදාවත්ම හිතුව ද අපි දෙන්නට වෙන් වෙන්න වෙයි කියලා? දැන්වත් ඔය පිට පොත්තෙන් මිනිස්සු මනින එක නවත්වන්න ඕන. කොහෙද අපට ලොක්කිට ඕව කියල දෙන්න බැහැ නෙ!"

"මල්ලි මිනිස්සු, ගෑනු කියන්නේ හැමදාම එකම විදියට ඉන්න අය නෙමෙයි. හැඟීම්, සිතිවිලි, පරිසරය වගේම වෙනස් වෙනවා කියල තමයි මං මේ ළඟදි පොතක කියෙව්වේ," පොඩි අක්කා කියාගෙන ගියේ දාර්ශනික කතාවක්.

"මට තාරුගෙ වරදක් පේන්නේ නැහැ. අපි දෙන්නම ට්‍රැවල් කරන්න කැමතියි. ප්ලේන්වලට, කාර්වලට වගේ ම ක්‍රිකට්වලටත් කැමතියි. ඒ හින්ද අපට කතා කරන්න ගොඩක් සමාන දේවල් තියෙනවා. අනික තාම ආශ්‍රය කරන්න අරන් වැඩි කලක් නැති නිසා මම එයා ගැන දන්නෙත් බොහොම පොඩි දේවල් ටිකක් විතරයි. එයා ටොරොන්ටෝ ෆ්ලයිට් එකේ එනකොට, ආපහු යන්නෙ, ඊළග දවසෙ ෆ්ලයිට් එකේ. ඒ ගොල්ලො නවාතැන් ගන්න හෝටලේ තියෙන්නේ අපේ ඔෆිස් එක ගාව. ඉතිං අපි ඒ ළඟ තැනක දි හම්බවෙනවා, කොහේ හරි ළග තැනක ෂෝ එකක්, ගේම් එකක් බලන්න යනවා. කොහෙන් හරි කනවා. එයා හෝටලේට යනවා. මම ආයෙමත් තනිකමත් එක්ක ගෙදර යනවා එච්චරයි..."

"මල්ලී, ඔයත් තරුත් දෙන්නම දැන් වැඩිහිටි අය නෙ. ඒවගේම දෙන්නටම පරණ කසාදවලින් ළමයි ඉන්නවා. ඒ කියල ඔය දෙන්නා දුක් විඳින්න ඕනෙ කියල මම කියන්නෑ. ඒත් ළමයින්ටත් අවනම්බු නොවෙන විදිහට, කරන දෙයක් පරිස්සමින් කරන්න මට කියන්න තියෙන්නේ එච්චරයි," පොඩි අක්කා පුරුදු විදිහටම 'බුදු සරණයි' කියලා කතාව නැවැත්තුවා.

"I am coming to Toronto on Monday. If you are free, I would love to meet up somewhere." (මම සඳුදා ටොරොන්ටෝ වලට එනවා. ඔයාට වේලාවක් තියෙනවා නම්, කොහෙදී හරි මුණගැහෙමුද?)

තාරු පණිවිඩයක් එවල තිබුන ඉරිදා උදේ.

එයාලා නවතින හෝටලේට වැඩි ඈතක් නැති තැනක දී හම්බවෙන්න කතා කරගත්තා. තරූ ඇවිත් තිබුණේ චාමර කැමතිම සෙන්ට් බෝතලයකුත් අරගෙන.

"මම හිතුවා ඔයා මේකට කැමති වෙයි කියලා ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ, මහන්සියි අනේ. ඒත් ඔයා දැක්කම මහන්සිය නැතුව යනවා," තරූ කිව්වේ ඇස් කරකව කරකවා.

"එහෙනම් ඉතින් නිදාගන්න තිබුන නෙ, මොනවා හරි ගෙන්නගෙන කාලා. හෙට දවල්ට ආයෙ ෆ්ලයිට් එක තියෙනවා නේ?"

"නෑ නිකම් නිදාගත්තට වැඩිය හිතට සහනයක් දැනෙනවා ඔයත් එක්ක කතා කරල ගියහම. ඇරත් දැන් අවුරුදු ගානක් තනියෙම ඉඳල, ඇතිවෙලා!"

"හ්ම්, එහෙනම් ඔයා කියන්න, මොනවද අලුත් තොරතුරු? මගේ නම් පුරුදු දේවල්ම තමා. ඔෆිස් යනවා. ගෙදර එනවා."

"හ්ම් අළුත් දෙයක්... ගිය සතියෙ මගේ යාළුවෙක් එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක රින් රෝඩ් එකේ ටුවර් එකක් කලා වෑන් එකක් අරගෙන. ෆොටෝ පෙන්නුවා... කියල වැඩක් නෑ අනේ. හරිම ලස්සනයි. මම ගොඩක් තැන්වලට ගිහින් තියනව, ඒත් අයිස්ලන්තෙට ගිහිල්ල නෑ. ඔයා ගිහින් තියෙනවද?"

"නෑ මමත් අයිස්ලන්තෙට ගිහින් නැහැ. ඒක මගෙත් බකට් ලිස්ට් එකේ තියෙන තැනක්."

"ඔයා එනව නම් අපි දෙන්නා මේ සමර් එකේ සති දෙකකට අයිස්ලන්තේ රින් රෝඩ් ටුවර් එකක් කරමු ද? වියදම් මගෙ ගානෙ. ඔයා එනවා නේ?"

"හ්ම් මම බලල කියන්නම්. හැබැයි ඔයා මොනවත් පෝෂල් මීඩියා දාන්නේ නෑ නේ?"

"ඔයාට මම එදා කිව්වේ, දැන් මම සෝශල් මීඩියා ගිය කාලයක් මතක නෑ. සතුට පෙන්නන අය තමයි ඒ වගේ දේවල් ‘පෝස්ට්’ කරන්නෙ. සතුට විඳින අයට එහෙම කරන්න ඕන නෑ, මට සල්ලි දේපල ඕන තරම් තියෙනවා, නැත්තෙ සතුටයි නිදහසයි, විතරයි. මම දැන් හොයන්නේ ඒවා. මම සෝශල් මීඩියා මායාවෙන් මිදිලා සෑහෙන කලක්."

"සතුට තමයි හොයාගන්න අමාරුම දේ. මිනිස්සු සල්ලිවලින් සතුට ගන්න පුළුවන් කියලනේ හිතන් ඉන්නේ. ඒත් ඒක රැවටිල්ලක් කියල තේරෙන්න සෑහෙන කලක් යනවා," චාමර කිව්වේ දාර්ශනිකයෙකු වගේ.

"මම තව අවුරුදු දෙකකින් පෙන්ෂන් යනවා. ලංකාවෙ, ඩුබායිවල දේපල වගේම බැංකුවේ සල්ලිත් තියෙනවා. මට නැත්තෙ සතුට විතරයි. ඔයා හොඳයි වගේ කියලා හිතෙනවා. අපි ටිකක් ආශ්‍රය කරල බලමු ද? No strings attached (කොන්දේසි නෑ, ප්‍රතිඋපකාර බලාපොරොත්තුවක් නෑ)."

මාස තුනකට පස්සේ දවසක චාමර මෝටර් හෝම් එකක පිටිපස්සේ දොර ඇරලා ඈත පේන හිමකන්ද දිහාවේ බලාගෙන ඉන්නවා. රෑ එකොළහ වුණත් අයිස්ලන්තෙට තාමත් ඉර එළිය. තාරුකී පූසි පැටියෙක් වගේ චාමරට තුරුල් වෙලා. ගමන් මහන්සියට නින්ද ගිහින් වගේ. ඒත් හීන් හිනාවක් මූණෙ ඇඳිල තියෙන නිසා එයත් සතුටින් ඉන්න බව චාමරට හිතෙනවා.

“No strings attached!" තාරු ගේ කියමන චාමරට මතක් වුනේ ඒත් එක්කමයි. කසාද සහතිකවලට සතුට එකතු කරලා තියන්න පුළුවන් ද? ජීවිතේ වෙනස් කරගන්න තාරුත් එක්ක පුළුවන් වෙයි ද?" චාමරත් දොර වහලා පොරවන රෙද්ද ඇතුළට ගුලිවුණා.

- අනුරුද්ධ වැලිගමගේ

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

ආයෙ අපි හමුවෙමු ද? - රුවන් ඩී අළුබෝමුල්ලගේ

Ruwan D.jpeg
දෑස් මත තියාගෙන දෑස්
ළංකරන් මූණු
ඩෙස්ක් එකේ දෙපැත්තේ ඉඳගෙන
හැමදාම මොහොතක්
අපි හිටිය මතක ද?
දෙතොල් මත තවරමින් මඳ සිනා
මුවින් නොදොඩා දෙඩූ ආදරය
තාම ළඟ තියෙනවද?
කාලෙකින් මතක්වුණෙ
ඉදෙන්නත් ගිහිල්ලා ඉහ නිකට
දරුවන්ගෙ දරුවනුත්
යනව දැන් ඉස්කෝලෙ
කමක් නෑ මොහොතකට
සිනාවක් ගේන්නට
ආයෙ අපි හමුවෙමු ද?

රුවන් ඩී අළුබෝමුල්ලගේ 

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

රෝගියා - ෂර්මිලා බංදුනී දංවත්ත

Banduni.jpeg
පාන්දර ඉඳන්ම ඇදහැලුණු වරුසාවත් එක්ක තරංග නැගිට්ටේ වස කම්මැලිකමකින්. ඒ තුන්වෙනි පාරටත් ෆෝන් එකේ එලාම් එක වැදුණට පස්සේ. එලාම් එක වැදි වැදිත් නෑහුණා වගේ නිදාගන්න තරංග දක්ෂයි. තවදුරටත් නිදාගෙන ඉඳලා හරියන්නේ නැති නිසා තරංග කකුල් දෙක බිමට දාලා ඇඳේ ඉඳගත්තා. ෆේස්බුක් එකේ තිබුණු පෝස්ට් එකකින් තමයි එක පාරටම ඇඳෙන් නැගිටින්න හොඳ නැහැ කියන එක ඉගෙනගත්තේ. එදා ඉඳන් මොන තරම් පරක්කු වෙලා තිබුණත් කකුල් දෙක පහළට දාලා ටික වෙලාවක් ඇඳ උඩ ඉඳගෙන ඉඳලා තමයි තරංග නැගිට්ටේ.

සමහර දවසට අචිනි තේක දෙන්න එනකොටත් තරංග නිදි. ඒ වගේ දවසට අචිනි කාමරයට එන්නේ දොරත් හයියෙන් හප්පගෙන. ඒ සද්දෙට උඩ ගිහිල්ලා ඇහැරුණත් ළඟකදි ඉඳන් තරංග ඇඳෙන් බහින්නේ අනුමත ක්‍රමයටමයි.

“මළ විකාර මට අරෙහෙ කුස්සියේ යුද්දේ. තව තේකත් කාමරයට ම ගෙනත් දෙන්න වෙලා. තව ටික දවසක් යනකොට දත් ටිකත් මද්දන්න කියයි ද දන්නේ නැහැ.”

කලින් දවසේ ටිකක් සැරෙන් අචිනි කියපු කතාව මතක් වෙලා තරංග ඉක්මනටම බාත්රූම් එකට ගියා. රෑ මැදත් නැගිටලා එක පාරක් ගියත් තද මුත්‍රා බරකුත් තරංගට තිබුණා.

බාත්රූම් එකට ගිහින් කමෝඩ් එකේ පියන උස්සලා බලනකොට කළු කූඹි එකයි. උදේ පාන්දරම පවක් කරගන්නත් බැහැ. "ෆ්ලෂ්" කළොත් කූඹි ටික එක ගුලියට හේදිලා යාවි. ඒත් ඒ වෙනකොට මුත්‍රා පිටවෙන තත්වයටම ඇවිත්. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිව මොහොතක් හිටපු තරංග "සිස්ටන්" එකේ බොත්තම එබුවේ අහක බලාගෙන. කළු වලාකුළක් වගේ කැරකි කැරකී ගොස් අතුරුදන් වුණු කූඹි ගැන තරංගට දැනුණේ කණගාටුවක්.

දත් මැදලා මූණත් හෝදගෙන කුස්සියට යනකොට අචිනි තේ හදනවා. අම්මා හොදි හැඳිගානවා. බත් හැළිය විතරක් දර ලිපේ ඉදෙන සුවඳ දැනුණා.

බඳින්න ඉස්සර නම් තරංග අචිනිට කිව්වේ, “අපි දෙන්නම උදේට නැගිටලා උයාගමු,” කියලයි. ඒත් උයන එකේ රඟේ කවදාවත්ම අත් විඳලා නොතිබුණු තරංගට හරියට පොල් ටිකක්වත් ගාගන්න පුළුවන් වුණේ නැහැ.

“එහෙනම් මම උයන්නම්. ඔයා තේ හදන්න,” අචිනි දෙවෙනි දවසෙම කිව්වා.

තේ හැදිල්ලත් හිතන තරම්ම ලේසි නැති බව තේරුණේ තමන් හදපු පල් වතුර තමන්ටම බී ගන්න බැරි වුණාට පස්සෙයි.

“උඹලා අහකට වෙයල්ලා. මෙච්චර කලක් පාන්දරින් නැගිටලා උයපු විදියටම ඉස්සරහටත් මමම උයන්නම්.”

අම්මා කිව්වේ සතියක්ම ඉවසගෙන ඉඳලා. ඒ මාසෙම උයන කළමනා අචිනි සතියෙන් ඉවරකළාට පස්සේ. ඒත් අචිනි පාන්දරම නැගිටලා අම්මට උදව් වෙන එක නම් නැවැත්තුවේ නැහැ. මූලික තැන අම්මට දීලා අත් උදව් දෙන එක විතරක් කළා. ඒකෙන් නැන්දම්මා ලේලි සමගියත් රැකුණා.

“ඔයා දැක්කද අද කමෝඩ් එකේ හිටපු කළු කූඹි රොත්ත?” කුස්සියේ තියෙන පුටුවක වාඩි වෙලා තේක බොන ගමන් තරංග අචිනිගෙන් ඇහුවා.

“නෑ, මම ගියේ එළියේ තියන ටොයිලට් එකට,” අචිනි කිව්වා.

කොහොමත්ම අචිනියි, අම්මයි පාවිච්චි කළේ කුස්සියට අල්ලලා හදලා තියෙන ටොයිලට් එක. නෑවෙත් එතනම ෂවර් එකක් අල්ලලා තියෙන කෑල්ලේ. ඒ විදියට පුරුදු වුණේ වැඩට යනකොට ඉක්මන් නිසා. නැත්නම් එක්කෙනෙක් එළියට එනකම් ඉන්න ඕනෑ අනිත් එක්කෙනාට යන්න.

“අපේ ක්ලිනික් එකේ නම් කියන්නේ වැසිකිළි පෝච්චියේ කළු කූඹි ඉන්නවනම් ඒක පාවිච්චි කරන එක්කෙනාට දියවැඩියාව තියෙන බව හඳුනගන්න ලක්ෂණයක් කියලයි.” අවුරුදු ගණනාවක ක්ලිනික් ඉතිහාසයක් තියෙන තරංගගේ අම්මා කිව්වා. ඒත් අම්මට තිබුණේ ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් දෙක විතරයි. ඊට අමතරව හන්දි අමාරුව.

“දෙයියන්ගේ පිහිටෙන් මට දියවැඩියාව නැහැ,” අම්මා හැමෝම එක්ක කිව්වේ තමාට තියෙන උපාධියක් පිළිබඳව කියන්නාක් මෙන් සතුටින්.

“අම්මට පිස්සු. මෙහෙ කොහෙද දියවැඩියා කාරයෝ. මේ වැස්ස කාලේ කූඹි කමෝඩ් එක අස්සට රිංගනවා බිත්තර දාන්න.” එහෙම කියන ගමන් තරංග කුස්සියෙන් පිට වුණේ තේ බීපු කෝප්පය එහෙමම මේසය උඩ තියෙන්න ඇරලා. ඒක දැකපු අචිනි ගේ මූණට නොරිස්සුම් සහගත පෙනුමක් එක් වුණත් මොකවත් කියන්න ගියේ නැහැ.

කඩිමුඩියේ උයපු බත් පෙට්ටි දෙකකට බෙදුවෙත් අම්මා. උදේට කාලා යන්න ගෙවල් දෙක තුනකට එහා තියෙන කඩයෙන් ඉඳිආප්ප ගෙනාවේ තරංග. මොනවා තිබුණත් උදේට ඉඳිආප්ප කන්න තරංගට පොල් සම්බෝල ඕනමයි. ඉක්මනට, ඉක්මනට පොල් සම්බෝලය තලපු අචිනි ඇඟ හෝදගන්න කුස්සිය ළඟ තියෙන බාත්රූම් එකට වැදුණා.

ඒ ඩිංගට නාගත්ත තරංග, අචිනි මැදලා තිබුණු කලිසමයි, කමිසෙයි, ඇඳගෙන, සපත්තුත් දාන්න අරගෙන. එතකොටත් අචිනි යට සායයි හැට්ටෙයි පිටින්. හැමදාමත් ඔහොමයි. ඉක්මනට ඇඳගන්න තරංග ඊළඟට හදිසි කරනවා යන්න. අචිනිට තව ටිකක් ප්‍රමාද වෙලා, ගෙදරින් පිටවුණත් බස් එකෙන් යන්න වෙලාව ඇති. තරංග මෝටර් සයිකලය ටවුමේ දාලා කෝච්චියෙන් කොළඹ යන්නත් ඕනෑ. ඒත් අචිනි කැමති තරංග එක්කම බයිසිකලයෙන් ඉස්කෝලේ ළඟට යන්නයි. බස් එකේ ගියොත් ඉස්කෝලේ ළඟින් බහින්න වෙන්නේ සාරිය බාගෙට ගලවගෙන. ඒ වෙලාවට බස්වල ඒ තරම් සෙනග.

“අපි යනවා අම්මේ,” අචිනි එළියට බහිනකොටත් තරංග බයිසිකලයේ වාඩි වෙලා. බෑග් තුන හතරකුත් එල්ලගෙන අචිනි බයිසිකලයට නගිනකොට තරංගට “උහ්,” ගෑවුණා.

“ඇයි තවම කකුල රිදෙනව ද?” අචිනි ඇහුවා.

“ඔව්. කකුලට බර එනකොට රිදෙනවා.”

“දැන් සතියක් විතර වුණා. ඔය පුංචි තුවාලය තවම හොඳ නැද්ද? ඒක නේ කෝටුව ඇනුණු දවසෙම මම කිව්වේ දොස්තර ළඟට ගිහින් බෙහෙත් දාගන්න කියලා.”

“මං හිතන්නේ දවසෙම සපත්තු දාගෙන ඉන්න නිසා වෙන්න ඇති. සපත්තුවලට තුවාලෙ තැම්බෙනවා. ඒකයි තුවාලය හොඳ වෙන්න පරක්කු. අදත් බලලා දොස්තර ළඟට යනවා.”

“මොනවා වුණත් එදාමයි බෙහෙත් දාගන්න තිබුණේ. ඔය වගේ තුවාලවලින් තමයි විෂබීජ යන්නේ. කෝ ඔයා ඇහුවේ නැහැ නේ,” අචිනි නෝක්කාඩු කිව්වා.

“ඔය පුංචි තුවාලවලට කවුද අනේ බෙහෙත් දාන්නේ?” කියන ගමන් තරංග බයිසිකලය පාරට ගත්තා.

අචිනිව ඉස්කෝලේ ළඟින් බස්සවගෙන මෝටර් සයිකලය වෙනදා නවත්තන්න නැවතුම් පොළට දාලා වෙලාවට ස්ටේෂන් එකට ආවත් කෝච්චිය ප්‍රමාදවුණා. තරංග ඔෆිස් එකට එනකොට අටයි පනහට කිට්ටුයි. ඔෆිස් එකේ පේන්න තිබුණේ වෙනදා නැති කලබලකාරී ස්වභාවයක්. තැන තැන රැස් වී කතාකරන්නන් මිසක රාජකාරියේ යෙදෙන කවුරුවත් නම් දකින්න ලැබුණේ නැහැ. යමක් සිදු වී ඇති බව තරංගට ඉවෙන් මෙන් දැනුණා.

“මොකක්ද වෙලා තියෙන්නේ?” ඇහුවේ කාර්යාල කාර්ය සහයක අජන්තගෙන්. අජන්ත නොදන්නා කිසිවක් කාර්යාල තුළ සිදුවීමට හැකියාවක් තිබුණේ නැහැ.

“සමරදිවාකර මහත්තයා ආන්තරා වෙලා.”

“මොනවා?” ඇරගත් කට වහගන්න අමතකව තරංග වටපිට බැලුවේ පුදුමයෙන්.

සමරදිවාකර මහත්තයා තරංග වැඩකරන විගණන අංශයේ ප්‍රධානියා. වයස පනස් පහක් විතර ඇති. සති දෙකක විතර වෙලේ ඉඳන් වැඩට ආවේ නැත්තේ අසනීප බව දන්වමිනුයි. ඔෆීස් එකේ කීප දෙනෙක් රෝහලට ගිහින් බලලා ආවත් තරංගට නම් යන්න බැරිවුණා.

කට්ටිය කතා වුණේ වැඩ ඇරිලා කෙළින්ම මළ ගෙදරට යන්නයි. ලයිස්තුවට තමන්ගේ නමත් ඇතුල් කළ තරංග අචිනිට කතාකරලා තමන් අද ගෙදර එන්න ප්‍රමාද වෙන බව කිව්වා. දවල් දොළහා පහුවුණත් කවුරුවත් රාජකාරිය කරන වගක් නම් පේන්න තිබුණේ නැහැ. තැන තැන පැවැත්වෙන සාකච්ඡා, රෝග විනිශ්චය, මරණ පරීක්ෂණ ඇරෙන්න විවිධ රාජකාරී සඳහා පැමිණෙන්නන් ගැන ඒ තරම් තැකීමක් තිබුණේ නැහැ. තරංග නම් තමන්ගේ පාඩුවේ ලිපිගොනු අතර සැරිසැරුවා.

සුභ සාධක සංගමය මාර්ගයෙන් ගෙන්වාගත් බස් රථයෙන් මළ ගෙදරට යනකොට අඳුරු වැටෙන්නත් කිට්ටුයි. ඉඩ කඩ ඇති වත්තක් මැද ඉදිවූ දෙමහල් නිවසේ සාලයේ මල් ගොමුවක් මැද සමරදිවාකර මහත්තයා නිදා සිටියේ කවදාවත්ම කාර්යාලයේදී නොදැකපු තරම් සාමකාමී මුහුණකින්. දේහයට ආචාර කළ පැමිණි පිරිස එළියේ තනා ඇති "කැනපියේ" තිබුණු පුටුවල වාඩි වුණා. ටික වේලාවකින් පැමිණි පිරිස හා කතාබහ කිරීමට පැමිණියේ සමරදිවාකර මහත්මියයි.

පිරිසට ඇයගෙන් දැනගන්න බොහොම කරුණු කාරණා තිබුණා. වැඩිපුරම ප්‍රශ්න තිබුණේ කාන්තා පාර්ශවයටයි. සියල්ලන්ගෙම ප්‍රශ්නවලට සමරදිවාකර මහත්මිය පොදුවේ පිළිතුරු දුන්නේ හැඬූ කඳුළෙන්. තරංග නිහඬව අසා සිටියා මිසක තමන්ගේ ප්‍රශ්නයත් ඇයට ඉදිරිපත් කර ඇය වෙහෙසන්න හිතුවේ නැහැ.

“මහත්තයට කාලෙක ඉඳලම සීනි තිබිලා තියෙනවා. කිව්වට ඇහුවේ නැහැ. පනහා පනිනකොටම ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න කියලා මම කට කැඩෙනකම් කිව්වා. ඇහුවේ නැහැ. සද්දන්ත මනුස්සයා වුණාට පොඩි ළමයෙක් වගෙයි. ලේ ගන්නවට එහෙම හරිම බයයි. ඒ නිසාම දවසින් දවස කල් දැම්මා.

සති දෙක තුනකට ඉස්සරවෙලා කකුලේ වළලු කරට ඉහළින් පොඩි තුවාලයක් හැදුණා. මහත්තයා නම් කිව්වේ මදුරුවෙක් කාලා කැසුවා කියලයි. ඇත්තටම ඇහැට පේන තරමේ තුවාලයක් තිබුණෙත් නැහැ. දවස් දෙක තුනක් යනකොට එතන රතු වෙලා, කකුල ඉදිමිලා, ඉවසන්න බැරි වේදනාවකුත් එක්කම උණ ගත්තා. රතු ගතිය එන්න එන්නම වැඩි වුණා. ෆැමිලි ඩොක්ටර්ට පෙන්නුවහම කිව්වේ, විෂබීජයක් ගිහින් වගේ කියලයි. පස්සේ වදෙන් පොරෙන් කැමති කරවගෙන බ්ලඩ් චෙක් කරලා බලනකොට සීනි හාරසිය ගණනට නැගලා. ඒ පාර ප්‍රයිවට් හොස්පිටල් එකකට ඇඩ්මිට් කළා. ඒ වෙනකොටත් තුවාලය ඔඩු දුවලා. දියපට්ටත් මතුවෙලා. කකුල දනහිස ළඟින් අයින් කරන්න වෙයි කියලා ඩොක්ටර්ස්ලා කිව්වා.

ඒකට මෙයා හුඟක් බය වුණා. මානසිකවත් වැටුණා. කකුල අයින් කරන්න තිබුණේ අද. ඊයේ දවල් හාට් ඇටෑක් එකක් ආවා. එතනින්ම අයි සී යූ එකට ඇඩ්මිට් කළා. රෑ අටට විතර තවත් ඇටෑක් එකක් ඇවිත් ඒකෙන්ම නැතිවුණා. ඔක්කොටම හේතුව සීනි තමයි,” මිසිස් සමරදිවාකර සුදු පාට ලේන්සුවකින් කඳුළු පිහදාගත්තා.

“එතකොට රෝග ලක්ෂණ එහෙම මොකුත්ම පේන්න තිබුණේ නැද්ද මිසිස් සමරදිවාකර?” පිරිසේ කෙනෙක් ඇහුවා.

“දැන් තමයි ඒවා මතක් වෙන්නේ. මෙයාට හරියට තිබහා හැදුණා. ඒ වගේම පැණි රස කන්න පෙරේතයි. පොඩි ළමයෙක් වගේ කේක්, අයිස්ක්‍රීම් එහෙම ගෙනත් තියාගෙන කනවා. ඒත් මට නිකමටවත් මෙහෙම දෙයක් හිතුණේ නැහැ. රෑට සැරයක්, දෙසරයක් නැගිටලා යූරින් පාස් කරනවා. මම මේ ඔයාලටත් දැනගන්නයි කියන්නේ. බාත්රූම් එකේ කමෝඩ් එකේ නිතර කළු කූඹි හිටියා. ඒකත් ඩයබිටිස්වල ලක්ෂණයක් ලු,” මිසිස් සමරදිවාකර බර කරලා කිව්වා.

තරංගගේ ඇඟ හිරි වැටිලා ගියා. ඒ අද උදේ පාන්දර කමෝඩ් එකේ කූඹි හිටි හැටි මතක් වෙලා. තමන්ගේ ඇඟට ඇනලා, ප්‍රියංග, “අපි දැන් යමු ද?” කියලා අහනවාවත් තරංගට දැනුණේ නැහැ.

ආපහු එන අතරේ බස් රියේ කතාවුණු එකම මාතෘකාව දියවැඩියාව. හැමෝම කතා කළේ තමන් වෛද්‍ය විද්‍යාවෙන් කෙළ පැමිණිලා වගෙයි. දියවැඩියාවේ රෝග ලක්ෂණ, රෝගයට හේතු, සුදුසු කෑම බීම වගේම අත් බෙහෙතුත් දන්න දන්න විදියට ඉදිරිපත් වුණා. තරංග සුපුරුදු නිශ්ශබ්දතාවයෙන්ම සියල්ල අහගෙන හිටියා.

වෙනදා ගෙදර එන දුම්රිය මගහැරුණු නිසා එදා තරංග ආවේ ගාලු යන බස් එකක. ඇඟේ තෙහෙට්ටුවටත් එක්ක නින්ද ගිහින් ඇහැරෙනකොට වාද්දුවත් පහුවෙලා. කළුතර ටවුමෙන් බැහැලා මෝටර් සයිකලයත් අරගෙන ගෙදර එනකොට වෙලාව නවයයි. අචිනි, වැරන්ඩා එකට වෙලා බලාගෙන ඉන්නවා.

ගෙට ගොඩවුණු හැටියෙම “වොෂ් එකක් දාගෙන එන්නම්,” කියාගෙන බාත්රූම් එකට රිංග ගත්ත තරංග බැලුවේ කමෝඩ් එකේ කූඹි ඉන්නව ද කියන එකයි. හිතුවා වගේම කමෝඩ් එකේ සීට් එක යට කූඹි දහයක් පහලවක් විතර හිටියා. තරංගගේ හිත හොඳටම නරක් වුණා.

"මටත් සීනි වෙන්න ඇති. කකුලේ පුංචි තුවාලයත් මේතරම් කලක් අල්ලගෙන ඉන්නේ ඒ නිසා වෙන්න ඇති," තරංග හිතුවා.

“ඔයා අද අපේ කාමරේ බාත්රූම් එක පාවිච්චි කළා ද?” එළියට ආපු තරංග, අචිනිගෙන් ඇහුවා.

“නෑ අනේ අම්මයි, මායි වැඩිපුර පාවිච්චි කරන්නේ කුස්සිය ළඟ තියෙන එක නේ. නිතරම හෝදන්න පිරිසිදු කරන්න ඕන නිසා බාත්රූම් දෙකම පාවිච්චි කරන එක කරදරයි. ඇයි ඔයා එහෙම ඇහුවේ?”

“නෑ, කොමඩ් එකේ කළු කූඹි හිටියා, ඒකයි.”

තරංග නිහඬව කෑම කන්න පටන්ගත්තා. රෑ කෑමට අචිනි හදලා තිබුණේ නූඩ්ල්ස් එක්ක චිකන් කරි. වෙනදා ආසාවෙන් නූඩ්ල්ස් කන තරංග එදා බෙදාගත්තේ හැන්දයි.

“මොකද අනේ මේ චුට්ටක් බෙදාගෙන? තව ටිකක් බෙදාගන්නකෝ.” අචිනි තව හැන්දක් බෙදන්න හැදුවත් තරංග ඉඩ දුන්නේ නැහැ.

“එපා, එපා. රෑට වැඩිය පිටි කෑම කන්න හොඳ නැහැ. පිටි කියන්නෙත් සීනි ම නේ. දැන් මට තිහ පැනල නේ. ටිකක් පරිස්සම් වෙන්න ඕන. නැත්නම් සමරදිවාකර මහත්තයට වුණු දේ තමයි වෙන්නේ.”

“ඇයි, මොකද වුණේ?”

තරංග, සමරදිවාකර මහත්තයාගේ විස්තරය අචිනි එක්ක කිව්වා. ඔක්කොම අහගෙන හිටපු අචිනි, “අපිට ඔය ලක්ෂණ එකක්වත් නැහැ නේ?” කියමින් සැහැල්ලුවෙන් ඉඳුල් පිඟන් දෙකත් අරගෙන නැගිට්ටා.

වෙනදා හැමදාම සිකුරාදා හවසට අරගෙන එන අයිස්ක්‍රීම්, යෝගට් වගේ අතුරුපසක් එදා අරගෙන එන්න තරංගට අමතක වෙන්න ඇති කියලා අචිනිට හිතුණේ රෑ කෑම කෑවට පස්සෙයි. දවස් දෙකකට ඉස්සර අල්ලපු ගෙදර රුවිනිලා කතරගම ගිහින් එනකොට ගෙනත් දීපු කළු දොදොල් කෑල්ලක් කපලා තරංගට දීපු අචිනි කෑල්ලක් කෑවා.

“අනේ එපා. මටනම් එපා,” වෙනදා කළු දොදොල්වලට පෙරේත තරංග කිව්වේ වස කෝප්පයක් අතේ තිබ්බා වගේ බයකින්.

අචිනි පුදුමයෙන් වගේ තරංගගේ මූණ දිහා බලාගෙන ඉඳලා ඒ කෑල්ලත් කටේ දාගන්න හදනකොටම, “එපා, එපා, ඔයා කන්නත් එපා,” තරංග සැරෙන් කිව්වා.

“ඇයි අනේ, මේකට මොකුත් වෙලා නැහැ නේ, මේ හොඳට තියෙන්නේ. අපි ඊයේ රෑත් කෑවේ,” අචිනි කිව්වා.

“ඕවයේ හරියට සීනි. මීට පස්සේ අපි සීනිවලින් පරිස්සම් වෙන්න ඕනෑ. හොඳටම වැඩියි අපේ ගෙදර සීනි පාවිච්චිය. හෙට ඉඳලා මගේ තේ එකට සීනි දාන්න එපා.”

“ඒ පාර තව කරදරයක්. දැන් ඉතින් මෙයාට වෙනමම තේ හදන්න එපැයි. මට නම් සීනි නැතිව බොන්න බැහැ,” අචිනි හිතින් හිතුවත් කියන්න ගියේ නැහැ.

වාර විභාගය අවසන්වීමත් සමගම උත්තර පත්තර මිටි ගොඩගැහිලා. පහුවදා උදේ පාන්දර නැගිටින්න්න ඕනෑ නැති නිසා අචිනි උත්තර පත්තර මිටියක් බලලා කාමරයට යනකොටත් තරංග අවධියෙන්. අචිනි කාමරයට එනවා වත් තරංගට දැනුණේ නැහැ. ඒ තරමටම යූ ටියූබ් එකේ තියෙන දියවැඩියාව ගැන වැඩසටහනක ඇලිලා. අචිනි ලයිට් එක නිවාගෙන ඇඳට ගියත් තරංග නිදාගන්නා බවක් පේන්න තිබුණේ නැහැ. එතකොට දොළහත් පහුවෙලා.

“කෙහෙම්මල් දියවැඩියාවක් ගැන හොය හොය ඉන්නවා. බැඳලා අවුරුදු තුනක් වෙන්න ඇවිල්ලා. දරුවෙක් නැත්තේ මොකද කියලා හොයලා බලන්න කිසිම උනන්දුවක් නැහැ,” නොරිස්සුමකින් හිත පුරවගත්ත අචිනි වචනයක්වත් පිට නොකර රෙද්දත් පොරවගෙන අනිත් පැත්තට හැරුණා. ෆෝන් එකේ තිරය නිවා දමපු තරංගත් අචිනිගේ පැත්තට හැරුණා.

“අපේ තාත්තට දියවැඩියාව තිබුණ ද?” සෙනසුරාදා උදේ තරංග, අම්මගෙන් ඇහුවා.

“තිබුණ ද, නැද්ද නම් දන්නේ නෑ. තාත්තා නැතිවෙනකොට හතලිහක්වත් නැහැනේ. ඒ කාලේ ඕවා චෙක් කරලා බලන සිරිතක් තිබුණෙත් නැහැනේ,” අම්මා කිව්වා.

තරංගගේ තාත්තා මැරුණේ ඇක්සිඩන්ට් එකකින්.

“ඇත්තටම තාත්තට දියවැඩියාව තිබුණ ද දන්නෙත් නැහැ. අම්මට නොතිබුණත් තාත්තගේ පරම්පරාවෙන් එන්න ඉඩ තියෙනවා. ඒ පරම්පරාව එක්ක අපි සම්බන්ධයකුත් නැහැ නේ,” තරංගගේ හිතට ආවේ චකිතයක්.

ඒ එක්කම පෙරදා රාත්‍රියේ දෙපාරක්ම නැගිටලා මුත්‍රා කරන්න ගිය බවකුත් මතක්වුණා.

“ඔය වැස්ස නිසා හීතලට,” අචිනි කිව්වේ එහෙම.

එදා ගෙදරට ඕනෑ බඩු ගන්න තරංග ටවුමට ගියේ තනියම. ඒ අචිනි ප්‍රශ්න පත්තර ගොඩකට යටවෙලා හිටපු හින්දා. අචිනි ලියලා දීපු ලයිස්තුවෙන් බාගයක් විතරම සෞඛ්‍ය හේතු මත කපා හරින්න තරංගට සිද්ධවුණා. ඒ වෙනුවට කඩල, මුං ඇට, කොල්ලු එහෙම එකතු වුණා. "මුනිරත්න බෙහෙත් බඩු" කඩය ළඟින් යනකොටයි තරංගට කොතල හිඹුටු මතක්වුණේ.

“දියවැඩියාවට කියාපු බෙහෙත,” බලපු වීඩියෝ එකක තිබුණා. කඩේට ගොඩවැදුණු තරංග කොතල හිඹුටු කැල්ලකුත් අරගෙන බෑග් එකේ දාගත්තා. පල්ලිය ඉස්සරහා පලා විකුණන ආච්චිලා තරංගව හොඳට අඳුනනවා.

“දියවැඩියාවට ගුණයි,” එහෙම හිතපු තරංග එතනින් තෙබු කොළ මිටි දෙකක්ම ගත්තා. ගෙදර එනකොට මල්ල වෙනදාට වඩා බරයි.

බඩු අස්කරනකොට අචිනිගේ මූණ මැලවුණා.

“මොනවද අනේ මේ. ලියලා දීපු එවයින් බාගයක්වත් ගෙනත් නෑ. වෙන මොනවද වල් පල් ටිකක් උස්සගෙන ඇවිත්. හැමදාම ඇට කන්න පුළුවන් ද?” අචිනි පිප්පුවා. තරංග සුපුරුදු විදියටම නිහඬව හිටියා.

පහුවදා ඉඳලම උදේට කෑමට තිබුණේ කවුපි, කඩල, මුං ඇට. ඒවා තැම්බීම අමතර කරදරයක් වුණත් සතියක් දෙකක් යනකොට අචිනිගේ ඇඟ හැඩවුණා. බරත් අඩුවුණා. මොන හේතුවකින් හරි තරංගගේ කකුලේ තුවාලයත් සුවවුණා. වැස්සත් නැවතුණා. කළු කූඹින්ගේ ඒමත් නැවතුණා. ඒත් රෑට පාරක්, දෙපාරක් නැගිටලා වතුර බොන එකයි, මුත්‍රා පිටකරන එකයි නම් දිගටම තිබුණා.

“තව ටිකක් පරිස්සම් වුණොත් ඒකත් හරියයි,” තරංග අචිනිට කිව්වා.

“ඔයාට පිස්සු. නැති ලෙඩකට බය වෙවී ඉන්නේ, ගිහින් ලේ එකක් බලාගන්න කෝ. මට නම් දැන් පැණිරසක් නොකා ඉඳලා ඇඟටත් පණ නෑ වගේ,” අචිනි කිව්වා.

“නෑ තව ටිකක් පරිස්සම් වෙලාම ගිහින් බලනවා. එහෙම හොඳයි රිපෝට් නරක් වුණොත් දොස්තර ළඟටත් යන්න වෙනවා. බෙහෙත් බොන්නත් වෙනවා. ඒවා කරදර වැඩ. මම ම කොහොම හරි මේ ලෙඩේ හොඳ කරගන්නවා,” තරංග කිව්වේ තමන්ට දියවැඩියාව තියනවැයි කියන අදහසේම ඉඳගෙනයි.

තරංගගේ ඇඟත් බලා ඉද්දිම කෙට්ටු වුණා. පොඩියට නෙරලා තිබුණු බඩත් බැහැලා ගියා.

“ඇයි සීනි ද?” දකින දකින අය ඇහුවා. ඒ වෙලාවට නම් තරංග ටිකක් ගැස්සිලා ගියා.

“ඇත්තටම මට සීනි ද?” තරංගට හිතුණා.

මිදුලේ කොනක තියෙන කාගෙවත් ඇල්ම බැල්ම නොලබපු කාමරංකා ගහටත් වටිනාකමක් ලැබිලා. කාමරංකා ගැන යූ ටියුබ් වැඩසටහනක් බැලුවට පස්සේ තරංග කාමරංකා ගහ තමන්ගේ තනි අයිතියට පවරා ගත්තා.

“කාමරංකා නිතරම කන්න එපා කියලා කිලිනික් එකේ කතා වුණා. සීනි අඩුවෙලාම යනව ලු,” අම්මා කිව්වත් තරංග ඉන් පසුබට වුණේ නැහැ. දවසට ගෙඩි දෙකක්වත් කෑවා. හවස ගෙදර ආපු ගමන් බොන තේ කෝප්පය නතරකරලා අම්මා තම්බලා තියන කොතල හිඹුටු කෝප්පයක් බිව්වා.

නිවී හැනහිල්ලේ දවස් ගතවුණා. එදත් සිකුරාදා දවසක්. උදේ නැගිටිනකොටම තරංගට ඇඟට හරි නැති ගතියක් දැනුණා. අචිනි නම් කිව්වේ නිවාඩුත් තියෙන නිසා ගෙදර ඉන්න කියලයි. ඒත් අත්‍යාවශ්‍ය විගණන වාර්තාවක වැඩ අවසන් කරලා බාරදෙන්න තිබුණු නිසා තරංග වැඩට ගියා. උදේ දහයට විතර ඔළුව කැරකෙන ගතියක් දැනුනත් වතුර ටිකක් බීලා මේසෙට ඔළුව ගහගෙන හිටියා මිසක් කාටවත් කියන්න ගියේ නැහැ. වාර්තාව හදලා බාරදීලා පුටුවට ඇවිත් වාඩිවෙනවා විතරයි තරංගට මතක. මුළු ඔෆීස් එකම කරකැවෙන්න පටන්ගත්තා. තද සීතලක් ඇඟට දැනුණා. විදුලි පංකාව තම වේගය වැඩි කරගෙන තිබුණා. තරංග තම පුටුවේ පැත්තකට ඇලවෙලා ගියා.

තරංගගේ අමුත්ත මුලින්ම දැක්කේ අජන්ත. ඔෆීස් එකේ වාහනයකින්ම තරංගව ජාතික රෝහලට අරගෙන ගියා. එතකොට තරංග මළකඳක් වගේ සීතල වෙලා. කෙළින්ම ගත්තේ දැඩි සත්කාර ඒකකයට.

අචිනිට පණිවිඩය එනකොට ඉස්කෝලේ ඇරුණා විතරයි. ඉස්කෝලෙම උගන්වන පිරිමි ගුරුවරයෙකුගේ වාහනයක තවත් ගුරුවරියන් දෙන්නෙක් එක්ක අචිනි ඉස්පිරිතාලෙට ආවා. අචිනිලා එනකොට තරංගට සිහිය ඇවිල්ලා. ඒත් හොඳටම දුර්වලයි. කතාකරගන්නවත් පණ නැහැ.

වෛද්‍යවරු, අචිනිගෙන් තරංගගේ රෝග ඉතිහාසය ගැන ඇහුවා. අචිනි කිව්වේ තමන් දන්නා කාලෙ දි නම් තරංගට හෙම්බිරිස්සාවකට එහා උණක්වත් හැදී නැති බවයි.

පරීක්ෂණ වාර්තා ලැබුණෙත් ඒ වෙලාවෙම යි. ඒ පරීක්ෂණ වාර්තාවලට අනුව තරංගගේ රෝගයට හේතුව ලෙස දක්වලා තිබුණේ, "රුධිරයේ සීනි මට්ටම තිබිය යුතු සීමාවට වඩා බෙහෙවින් අඩුවීම" ලෙසයි.

- ෂර්මිලා බංදුනී දංවත්ත  

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Saturday, 15 August 2026

සිසිල සඟරාව - අගෝස්තු 2026

සිසිල සඟරාවේ අගෝස්තු 2026 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - අගෝස්තු 2026 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - ජූලි 2026

සිසිල සඟරාවේ ජූලි 2026 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - ජූලි 2026 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - ජූනි 2026

සිසිල සඟරාවේ ජූනි 2026 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - ජූනි 2026 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - මැයි 2026

සිසිල සඟරාවේ මැයි 2026 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - මැයි 2026 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - අප්‍රියෙල් 2026

සිසිල සඟරාවේ අප්‍රියෙල් 2026 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - අප්‍රියෙල් 2026 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - මාර්තු 2026

සිසිල සඟරාවේ මාර්තු 2026 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - මාර්තු 2026 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - පෙබරවාරි 2026

සිසිල සඟරාවේ පෙබරවාරි 2026 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - පෙබරවාරි 2026 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - ජනවාරි 2026

සිසිල සඟරාවේ ජනවාරි 2026 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - ජනවාරි 2026 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - දෙසැම්බර් 2025

සිසිල සඟරාවේ දෙසැම්බර් 2025 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - දෙසැම්බර් 2025 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - නොවැම්බර් 2025

සිසිල සඟරාවේ නොවැම්බර් 2025 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - නොවැම්බර් 2025 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - ඔක්තෝබර් 2025

සිසිල සඟරාවේ ඔක්තෝබර් 2025 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - ඔක්තෝබර් 2025 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - සැප්තැම්බර් 2025

සිසිල සඟරාවේ සැප්තැම්බර් 2025 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - සැප්තැම්බර් 2025 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com

සිසිල සඟරාව - අගෝස්තු 2025

සිසිල සඟරාවේ අගෝස්තු 2025 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - අගෝස්තු 2025 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි
eMail: sangarawa.sisila@gmail.com