Sunday, 30 August 2026

ඉසුඹු චාරිකා - චාන්දනී දේවිකා පුංචිහේවා

Chandrani.jpeg

ජයදේව මදුරුවා බයිසිකලය රැගෙන අවුත් මිදුලේ උගුරැස්ස ගස යට නතර කළේය. සෝමලතා කාමරයේ ජනෙල් කූරු අතරින් එබී බැලුවා ය.

"ආයෙමත් මේ කොහේ යන්නද? උදේට රවුමයි, හවසට රවුමයි ගෙදර එනකන් ඇගේ ලේ වතුර වෙලා..." සෝමලතා පහත් හඬින් එසේ පැවසුවා ය. අනතුරුව ඕ නැවතත් කාමරයේ අතු ගෑමට පටන් ගත්තා ය.

"මේක යස වැඩක්. බයවෙන්න මං පොඩි දරුවෙක් ද?" ජයදේව එසේ පැවසුවේ සරදමට මෙනි. එහෙත් තවත් දිගින් දිගටම කතා කරන්නට ගියහොත් පසුගිය දිනවල දී මෙන් සෝමලතා නැවතත් කෝපයට පත්වනු ඇතැයි ජයදේවට සිතුණි. තම අතැති රෙදි කැබැල්ලෙන් ජයදේව නැවතත් මදුරුවා බයිසිකලය පිස දමන්නට විය. එසේ පිස දමන අතරතුර ඔහු රෙදි කැබැල්ල කීප වරක් ඉතා තදින් ගැසුවේ ය. වාතයට මුසු වූ දූවිලි පුසුඹ ජයදේවගේ නැහැය වෙළා ගත්තේ ය. දූවිලි තට්ටු පිටින් බයිසිකලේ පුරා බැඳී ඇති සේ ඔහුට දැනුණි. ඊයේ උදේ වරුවේද මෙලෙස ජයදේව බයිසිකලයේ පිස දැම්මේ ය. සවස් කාලයේ ඔහු බයිසිකලය හොඳින් පිරිමදිමින් සේදුවේ ය.

"කොච්චර පිහ දැම්මත් වැඩක් නෑ, මේ දූවිල්ලත් එක්ක. පැයක් දෙකක් යනකොට ආයෙමත් දූවිලි..." ජයදේව කියාගත්තේ තමාටම ය.

"ආ... ජයදේව සීයා... පීප්... පී... පී...ප්... බෘෘම්..." පහළ ගෙදර පොඩ්ඩා කොහේදෝ සිට දුවගෙන ආවේ ය.

"ෂා.. ෂෝක් නේ සීයා? මාවත් රවුමක් එක්ක යනව ද?" පොඩ්ඩා ඉස්පාසුවක් නොමැතිව කතා කළේ ය.

පොඩ්ඩාගේ ඉල්ලීමත් සමගම ජයදේවගේ සිතට ආවේ තමා කෙරෙහි මෙතෙක් නොවු ගර්වයකි. කිසිදු දිනක පොඩ්ඩා මෙලෙස ඔහුට සමීපව කතාබහක යෙදි නොමැත. පසුගිය කාලයේ බොහෝ කාර්යයන් සඳහා ජයදේව නගරයට ගමන් කරනු ලැබුවේ පොඩ්ඩාගේ නිවස පසු කරගෙන ය. ඒ පා ගමනින් ය. එවන් දිනවල පොඩ්ඩා නිවසේ ගේට්ටුව අසල රැඳී සිටිය ද ජයදේව සමඟ වචනයක් දෙකක්වත් කතා නොකළේ ය. පොඩ්ඩා නිතරම ජයදේව මග හැරියේ ය. ජයදේව රැකියාවෙන් විශ්‍රාම ගොස් දැනට මාස හයකට වඩා කාලයක් ගත වී නොමැත. විශ්‍රාම ලැබූ මුල් කාලයේ බැවින් ඒ දිනවල ජයදේවට දැනුණේ විශාල කාන්සියකි. එම කාන්සිය මගහරවා ගැනීමට පොඩ්ඩා හෝ කතාවට ඈඳා ගැනීමට ජයදේව උත්සාහ දැරුවේ ය. කිසිම දිනක එය සාර්ථක නොවූයේ ය. එහෙත් පසුගිය දින කිහිපයේම පොඩ්ඩා ජයදේව සොයා පැමිණ සැලකිල්ලෙන් කතාබහ කරන්නට වූයේ ය. පොඩ්ඩා පමණක් නොව අහළ පහළ සැවොම ජයදේව දෙස බලනුයේ වෙනදා නොමැති සැලකිල්ලකිනි.

"ඔන්න හෙට නම් මාව රවුමක් එක්කගෙන යන්නම ඕනි. හොඳද සීයා..." පොඩ්ඩා බැගෑපත් ලෙස ඉල්ලුවේ ය. ජයදේව බයිසිකලයේ හැඩලය හොඳින් පිස දමන්නට විය.

"බලමු, බලමු," ජයදේව පැවසුවේ නොසැලකිල්ලෙනි. පොඩ්ඩාගේ ඉල්ලීම ඉටු කිරීම තරමක් පමා කිරීමට ජයදේව ඉටා ගත්තේ ය.

"ඔය හැමෝම දාගෙන ගියාම මේකෙ අගයත් අඩුවෙනවා. ඔව්... ඔව්... මාත් දැන් වැඩ කරන්න ඕන හිතලා බලලා..." ජයදේව තමාටම කියා ගත්තේ ය.

"සීයා මේක රීකන්ඩිෂන් එකක් වගේ නේද?" පොඩ්ඩා ඇසුවේ අනවශ්‍ය ප්‍රශ්නයකි.

"පොඩ්ඩටත් ඕන නැති දෙයක් නෑ!" ජයදේව සිතින් පොඩ්ඩාට බැණ වැදුණේ ය. තමාගේ බයිසිකලය පහත් කොට කතා කිරීමට පොඩ්ඩා උත්සාහ දරන සෙයකි.

"සීයේ... මේ මදුරුවා බයිසිකල් එකක් නේද? ඇයි සීයේ මේවට මදුරුවා බයිසිකල් කියන්නේ? මදුරුවෙකුගේ හැඩයක්වත් නෑ... නේද? ඒක නෙවෙයි සීයේ පරණ එකක් නිසා ගණනත් අඩුවෙන්නැති නේද?" පොඩ්ඩා ළඟ ප්‍රශ්න වැලකි. ජයදේව කරමින් සිටි කාර්යය පසෙක දමා පොඩ්ඩා දෙස බැලුවේ ය.

"පරණ ඒවා නං ඔය ඕන තරම් තියෙන්නේ. ඒත් පොඩ්ඩො පරණ එකක් නම් මං ගන්න හිතුවෙවත් නෑ. යාළුවෙකුගේ සාප්පුවකින් ගත්ත නිසා ටිකක් අඩුවට ලැබුණා. මේක 48 සී සී. මේකට... ලක්ෂ එකහමාරකට එහා ගියා!" තමා මිලදී ගත් බයිසිකලය අලුත් එකක් නොවන බවත්, එය මිල දී ගත්තේ වෙළඳපොළ මිලටත් වඩා අඩු මුදලකට බවත් කීමට ජයදේවගේ සිත ඉඩ නොදෙයි. මෙම බයිසිකලය ජයදේවට මහාර්ඝ වස්තුවකි. එයා පහත් තත්ත්වයට දමා කතා කිරීමට තබා සිතීමටවත් ඔහුට කළ නොහැකි ය.

"පාටත් ලස්සනයි නේද පොඩ්ඩෝ? බ්ලූ කලර්.. මගේ තේරීම හොඳයි නේද? ඩොක්ටර් සෙනෙවිරත්නගේ කාර් එකක් මේ පාටමයි." ජයදේව නොනවත්වා කතා කළේ ය.

"පාට නම් වැදගත් සීයා. ඒ වගේම ලස්සනයි," පොඩ්ඩා පැවසුවේ ය.

"නිවාඩු ඇති වෙලාවක පොඩ්ඩවත් රවුමක් දෙකක් එක්ක ගෙන බැරියැ..." ජයදේව නොසැලකිල්ලෙන් මෙන් පැවසුවේ ය.

"අම්මා කතා කරනවා. මං ගිහින් එන්නම් සීයා... පීප්... පී... පී...ප්... බෘෘම්..." පොඩ්ඩා තම නිවස දෙසට දිව ගියේ ය. පොඩ්ඩාගේ වයසේ සිට ජයදේවගේ ජීවිතයේ තිබූ අපේක්ෂාවක් දැනට සති කිහිපයකට පෙර ඉටු විය. මෙවර ඔහු තමා අපේක්ෂාව ඉටුකර ගැනීම ඒකායන අරමුණ බවට පත්කර ගත්තේ ය.

කපා දමා තිබූ පොල් කඳක කොටසක් බයිසිකලයකට ආදේශ කරමින් කුඩා කාලයේ ජයදේව මෝටර් බයිසිකලයක හිමිකරුවෙක් විය. එසේ පොල් කඳ මත වාඩි වී සිහින ලොවක් තුළ බයිසිකල් ධාවනය කිරීමට ගොස් දිනක් ජයදේව බිම පතිත වී තුවාල වූයේ ය. එදින මවගෙන් ඔහුට ලැබුණේ කෙදිනකවත් අමතක නොවන වේවැල් පහර හත අටකි.

නැවතත් මෝටර් බයිසිකලයක් පිළිබඳව සිහිනය ජයදේවගේ සිතට ආවේ තරුණ අවධියේ දී ය. ඒ ඔහු රැකියාව කිරීමට පටන් ගත් මුල් කාලය ය. එක් වතාවක් ඔහු ඒ සඳහා තම වැටුපෙන් ණය මුදලක් ද ලබා ගත්තේ ය. එම ණය මුදලින් එකල තිබූ හොණ්ඩා වර්ගයේ මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමට ජයදේව තම මිතුරෙකු සමග කතාබහ කරගෙන තිබුණි. එහෙත්.. ජයදේවට තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පවු‍ලේ කිසිවෙකුගෙන්වත් සහයෝගයක් නොලැබුණි.

"මොනවටද පොඩි පුතේ උඹට මෝටර් සයිකලයක්? රස්සාවට යනවා කියලා ඈතක යනව ද? උඹ ඔය දඬුමොනරේ ගත්තොත් ගෙදර එනකන් මගේ ඇඟේ ලේ වතුර වේවි. හිතේ බයට මං මැරිලා යාවි."

මෝටර් බයිසිකලයක් ගැනීමට උත්සාහ දැරූ පළමු අවස්ථාවේදීම ජයදේවගේ මව දැක්වූයේ එබදු අදහසකි. අවසානයේ ජයදේව තම මවගේ අදහසට අවනත වූවා ය. ඉන්පසු අවස්ථා කිහිපයකම ජයදේව මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමට උත්සාහ දැරී ය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම මව හෝ පියා ඔහුට ඒ සඳහා අවසර නොදුන්නේ ය.

"උඹව රස්සාවක් කරන තත්ත්වයට ලොකු මහත් කෙරුවේ අපේ හිතේ ධෛර්යයට. උඹ දැන් හදන්නේ ඔය අතපය කඩාගන්න ද?" මෝටර් බයිසිකලයක් ගැනීමට තමා සූදානම් වන බවක් දැනුණු සෑම අවස්ථාවකම ජයදේවගේ පියා එලෙස පවසමින් ඔහුගේ අදහස සිතින් බැහැර කිරීමට උත්සාහ දැරුවේ ය. පවුලේ බාලයා වූ ඔහුට මව සහ පියාගේ පමණක් නොව අනෙකුත් සහෝදර සහෝදරියන්ගේද අදහස් වලට ගරු කිරීමට සිදුවිය.

"ඔන්න ඔය අදහස අතහැර දමන්න මල්ලියේ... අම්මා කියන දේත් ඇත්තක් තියනවනේ. බලන්න එහා ගෙදර සිරිමෙවන්. බයික් එකෙන් වැටිලා අවුරුද්දකට කී පාරත් තුවාල කරගන්නවද කියලා..." ලොකු අක්කා තම මවගේ අදහස තහවුරුවන සේ නිතරම කතා කළා ය. පවුලේ සැම දෙනාගේම මෙවැනි අදහස් නිසා ජයදේවට තම සිතැඟි වලට අනුව ක්‍රියා කරන්නට තරම් ධෛර්යයක් නොතිබුණි.

ඒ කාලයේ අද මෙන් සුලබව මෝටර් බයිසිකල් භාවිතයක් ද නොවීය. එවැනි දෙයක් මිලදී ගැනීමට හැකියාවක් තිබුණේ ද සමාජයේ එක්තරා කොටසකට පමණි. මෝටර් බයිසිකලයකට හිමිකම් කීම සමාජයේ යම්කිසි තත්ත්වයක් ලැබීමට ද හේතුවක් විය හැකි යැයි ජයදේවට බොහෝ විට සිතුණි. මෝටර් බයිසිකලයක් ගැනීම සම්බන්ධයෙන් ජයදේවගේ සිතේ ඒ දිනවල තිබූ බලාපොරොත්තුවට එක් හේතුවක් වූයේ ඔහුගේ යටි සිතේ තිබූ ඒ හැඟීම විය යුතු ය.

"ඊයෙත් එන්න කියලා හිතුවට කෝ වෙලාවක් ලැබුනේ නෑ නේ… ඉතින්... ඉතින්... මිස්ටර් ජයදේව කොහොමද බයික් එක?" වීරසේකර තමා අසලට එන තුරුම ජයදේව ඔහුව නොදුටුවේ ය.

"දැනට නම් කරදරයක් නෑ මිස්ටර් වීරසේකර. මං උදේ ටවුන් එකට ගිහින් ආවා. විනාඩි දහයක් ගියේ නෑ..." ජයදේව පැවසූවේ ය.

"බයික් එකක් තියෙන එක හරි ප්‍රයෝජනයි මිස්ටර් ජයදේව. මම නම් මැරි කළ අලුතමයි බයික් එකක් ගත්තේ," වීරසේකරේ ඒ පැවසුවේ තමාට ඇනුම් පදයක් දැයි ජයදේවට සිතුණි.

"කෝ මේ අපේ වයිෆ්ගේ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ නේ... තවමත් හිත හොඳ නැහැ මාත් එක්ක, බයික් එකක් ගත්තා කියලා..." ජයදේව කතාව වෙනතකට හැරවීය.

"දන්නෙ නැද්ද එයාලගේ හැටි? ඕවා ගණන් ගන්න එපා, මිස්ටර් ජයදේව. ටික දවසක් ගියාම ඔක්කොම හරි යාවි..." වීරසේකර පහත් හඬින් එසේ පවසා ආපසු හැරී ගියේ ය.

ජයදේවට පෙර දින සිදුවීම සිහිපත් විය. සෝමලතා බයිසිකලය අසල සිටගෙන සිටියා ය. ඈ සිටියේ ජයදේවට පිටුපා බැවින් ඇය ඔහුව නොදුටුවා ය. මොහොතක් බයිසිකලය දෙස බලා සිටි, ඇය හෙමිහිට එය පිරිමැද්දා ය. වීරසේකර පවසන ලෙසට ඇයගේ මේ නොරිස්සුම් සහගත බව තවත් දින කිහිපයකින් මගහැරී යනු ඇත.

සෝමලතා සමග විවාහ වු අලුත ද නැවතත් මෝටර් බයිසිකලයක් ගැනීමේ අවශ්‍යතාවය ජයදේවට දැනුණි. ඒ නිසාම ජයදේව ඒ පිළිබඳව සෝමලතා සමඟ කතාබහ කළේ ය.

"හදිසියකට ගමනක් බිමනක් යන්න කියලා වාහනයක් නෑ. බස්වලට හිටගෙන ඉඳලා ඇතිවෙනවා. මං හිතාගෙන ඉන්නේ බයික් එකක් ගන්න කියලයි." විවාහ වී පළමු වසර කිහිපය තුළදී කීප වතාවක්ම ජය දේව මෝටර් බයිසිකලයක් ගැනීමට උත්සාහ දැරීය. එහෙත් තම අදහස පිළිබඳව සෝමලතා කිසිසේත්ම කැමැත්තක් දැක්වුවේ නැත.

"මෝටර් බයිසිකලයක්...?" පළමු වතාවට එම අදහස පිළිබඳව පැවසූ දිනයේ සෝමලතා බියපත් වූ විලසින් ජයදේව දෙස බලා සිටියා ය.

"ඔයාට පිස්සුද ඔය යකඩ ගොඩක් එක්ක සෙල්ලම් කරන්න...? අනේ ඔන්න ගන්න තියා හිතන්නවත් එපා..." සෝමලතා බැගෑපත්ව ඔහුගෙන් අයැද සිටියා ය. එපමණක් නොව සති ගණනක් ඈ ඒ අදහසේ බියකරු පැත්ත පිළිබඳව දිගට දිගින් දිගටම කතා කළා ය.

"අපේ පුංචි අම්මගේ පුතා මෝටර් බයික් එකක් ගත්තා. සතියයි… ඇක්සිඩන්ට් එකක් වුණා. ඔයා දන්නවනේ අදටත් එයා වීල් චෙයාර් එකේ."

එකල සෝමලතාගේ අකමැත්ත නොතැකු ජයදේව මෝටර් බයිසිකලයක් ගැනීම කළ යුතු යැයි අධිෂ්ඨාන කර ගත්තේ ය. අවුරුදු ගණනාවක් ඉතිරි කර ගත් මුදලින් කොටසක් මෝටර් බයිසිකලයක් සඳහා වැය කිරීමට සූදානම් වූයේ ය. සාප්පු කීපයකට ගිය ජයදේව සුදුසු මෝටර් බයිසිකලයක් ගැනීමට වෙහෙස විය. මේ බව දැනගත් සෝමලතා ජයදේව ගේ අභිප්‍රාය පිළිබඳව ඔහුගේ නිවසට ද සැලකර සිටියා ය. ඒ පිළිබඳව දැනගත් මොහොතේම මව ජයදේව සොයා ආවේ ය.

"මොනවද පොඩි පුතේ.. උඹ මේ කරන්න හදන වැඩ? උඔට මොනවා හරි දෙයක් වුනොත් මේ කෙල්ලට යන කල මොකක් ද?" කලබලයෙන් නිවසට පැමිණි මව ඇසුවා ය.

සුපුරුදු පරිදි ජයදේවට තමාගේ ආශාව නැවත පසෙක දමන්නට සිදු විය. එහෙත් වරින් වර එම ආශාව ඔහුගේ සිත තුළින් ඉස්මතු වන්නට විය. තම පවුලට දූ පුතුන් සතර දෙනකු එකතු වූවාට පසුව ද මෝටර් බයිසිකලයක් ගැනීමට ජයදේව උත්සාහ කළේ ය. ඒ වන විට සෝමලතා එම අදහස ප්‍රතික්ෂේප කිරීමට තවත් හේතු එකතු කරගෙන සිටියා ය.

"ඔය සෙල්ලම් වැඩ වලට සල්ලි විසිකළාම මේ ළමයින්ගේ ඉගෙනීමේ වැඩ කොහොමද කරන්නේ?" සෝමලතා පවසන අදහස සත්‍යයක් බව ජයදේවට ද වැටහිණි.

දූ පුතුන්ගේ ඉගෙනීමේ වැඩ කටයුතුවලට සෑහෙන මුදලක් යෙදවීමට ජයදේවට සිදු විය. ලොකු පුතා ඒ වනවිට උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියේ ය. ඔහු විශ්වවිද්‍යාලයට තේරුණහොත් ඒ සඳහා තවත් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. පොඩි පුතා සහ දූවරු දෙදෙනාත් ඉගෙනීමට දක්ෂයන් වූ බැවින් ඔවුන් වෙනුවෙන්ද මුදලක් වෙන් කළ යුතු බව ජයදේව දැන සිටියා ය. ගේදොර වියහියදම් ද දිනෙන් දින ඉහළ ගොස් ය. රජයේ රැකියාවෙන් ලැබෙන වැටුප පමණක් මේ සියල්ල වෙනුවෙන් වැය කළ යුත්තේ කල්පනාකාරී බවකින් යුතුව බව ජයදේවට අවබෝධ වුයේ ය. එබැවින් කුඩා කාලයේ සිට සිතෙහි තිබූ ඒ බලාපොරොත්තුව අමතක කර දැමීමට ජයදේව තීරණය කළේ ය.

එතැන් පටන් දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඉන් අනතුරුව ඔවුන්ගේ විවාහ කටයුතු සාර්ථක කිරීමට ජයදේව යත්න දැරුවේ ය. ඒ සියල්ල අවසාන වන විට ජයදේව රැකියාවෙන් ඉසුඹුලන කාල වකවානුව ද පැමිණ තිබුණි. දැනට මාස කිහිපයකට පෙර විශ්‍රාම ලැබූ ජයදේවට වෙනදා නොදැනුණු කාන්සියක් දැනෙන්නට විය. නිවසේ සිටින්නේ ඔහුත් සෝමලතාත් පමණි.

පසුගිය මාසයක පමණ කාලයේ සිට ජයදේවගේ සිතේ නැවතත් මෝටර් බයිසිකලයක් පිළිබඳව ආශාව මතුවෙන්නට පටන් ගත්තේ ය. ජයදේව මෝටර් බයිසිකලය පිළිබඳ සිහිනයේ නැවත නැවත සැරිසරුවේ ය. ඔහුගේ වයස අනුව රියදුරු බලපත්‍රයක් ගැනීම දුෂ්කර බව ජයදේවට වැටහිණි. එහෙත්, මදුරුවා බයිසිකලය ධාවනය සඳහා රියැදුරු බලපත්‍රයක් අනවශ්‍ය බව ඔහු දැන සිටියේ ය. අවසානයේ ජයදේව එවන් බයිසිකලයක් තමා සතු කර ගත යුතු යැයි තීරණය කළේ ය. ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම ජයදේව කතා කළේ වීරසේකර සමඟ ය.

"මං හිතාගෙන ඉන්නේ බයිසිකලයක් ගන්න මිස්ටර් වීරසේකර.."

"හොඳ අයිඩියා එක මිස්ටර් ජයදේව. ගන්නවනම් මගේ වර්ගයේ මදුරුවා බයික් එකක් ගන්න. අරගෙනත් අවුරුදු තුන හතරක් වෙනවා අද වෙනකම් රෙපෙයාර් එකකට දමල නෑ..."

ජයදේව වීරසේකර සමඟ නගරයේ සාප්පු කීපයකටම ගියේ ය. එහෙත්.. මිල ගණන් පිළිබඳව විමසූ ජයදේවට තම අතැති මුදල අලුත්ම බයිසිකලයක් මිල දී ගැනීමට තරම් ප්‍රමාණවත් නොවී ය. අවසානයේදී මිතුරෙකුගේ මාර්ගයෙන් පාවිච්චි කළ බයිසිකලයක් මිලදී ගැනීමට ජයදේව තීරණය කළේ ය.

"මේ මොනවටද මේ? ඔය වයසට මේ වගේ දෙයක් මෙල්ල කරගන්න පුළුවන්ද හැබෑට...?" නිවසට මදුරුවා බයිසිකලය ගෙන එනතුරු සෝමලතා ඒ බව නොදැන සිටියා ය. එබැවින් පුදුමයට පත් වූ සෝමලතා කෝපයත්, වේදනාවත් මිශ්‍ර වු හඬකින් එසේ පැවසුවා ය.

"මේ මිස්ටර් වීරසේකරත් පදින්නේ? මොකෝ මට හයිය හත්තිය නෑ කියලද හිතාගෙන ඉන්නේ...?" ජයදේව සිනාසීමට තැත්කරමින් එදින එසේ පැවසුවේ ඇගේ සිත සැහැල්ලු කිරීමට ය.

"පෙන්ෂන් ගිය මිනිස්සුන්ට ලයිසන් දේවියැ. තල්ලු කරගෙන තමයි යන්න වෙන්නේ..." සෝමලතා සරදමට එලෙස කීවා ය.

"ලයිසන් ඕනේ නෑ මිසිස් ජයදේව මේ මදුරුවට. පිටේ නඟින්න විතරයි ඕනේ. ඔය කිව්වට හෙට අනිද්ද බලන්න බැරියැ මිසිස් ජයදේවත් බයිසිකලේ පිටිපස්සේ නැගලා ගමන් යන හැටි..." සෝමලතා පැවසූ දෙයට පිළිතුරු දුන්නේ වීරසේකරය.

එදින සිට ඇය ජයදේව සමග කතාබහ නොකළා ය. ජයදේවට කෑම බීම සකස් කර දුන්න ද, වෙනදා මෙන් "කෑම කන්න" යැයි ඇරයුම් කිරීම මඟ හැරියා ය. ඇ සිටියේ ජයදේව සමඟ නොමනාපයෙනි.

බයිසිකලය මිල දී ගැනීමත් සමඟ ජීවිතයේ තිබූ විශාල අඩුවක් සම්පූර්ණ වූවා සේ ජයදේවගේ සිතට දැනුණි. බයිසිකලය නිවසට ගෙන එන ලද්දේ වීරසේකර විසිනි. තමාට බයිසිකලය ධාවනය කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන ලෙස ජයදේව, වීරසේකරගෙන් ඉල්ලා සිටියේය. වීරසේකර පසුදා සවසම ජයදේවගේ නිවසට ආවේ ය. ජයදේව බයිසිකලයට නැඟ හැඩලය අල්ලා ගත්තේ ය. වීරසේකර පිටුපස අසුනේ වාඩි විය. ජයදේවගේ සිතට දැනුණේ තරමක චකිතයකි.

සිතට ආ චකිතය මැඩගෙන ජයදේව බයිසිකලය ක්‍රියාත්මක කළේ ය. වේගයෙන් ඉදිරියට ඇදී ගිය බයිසිකලය ජයදේව හසුරුවා ගත්තේ අසීරුවෙනි.

"ඕව ගණන් ගන්න එපා මිස්ටර් ජයදේව වැටි වැටී තමයි ඉගෙන ගන්න ඕන..." ජයදේව ධෛර්යමත් කරමින් විරසේකර පැවසුවේ ය.

ගෙවල් පේළි අතර ඇති අතුරු පාරවල් දිගේ ජයදේව බයිසිකලය පැදගෙන ගියේ ය. වරෙක කාණුවක වැටී පෙරළෙන්නට ගිය බයිසිකලය තවත් වරෙක තාප්පයක වැදී නතර විය. දින කිහිපයක් යන විට ඔහුට තනියම බයිසිකලය හසුරුවා ගැනීමට හැකි විය. දිනක් ජයදේව වීරසේකරගේ සහය නොමැතිව බයිසිකලය පැදවීමට ඉටා ගත්තේය. ජයදේවට තමා ගැනම ඇතිවූයේ ආඩම්බරය මුසු වූ සතුටකි.

එදින ජයදේව ආපසු එන විටදී සෝමලතා ගේට්ටුව අසලට වී පාර දෙස නෙත් යොමා ගෙන සිටියා ය. ඇය සිටියේ වෙනදාට වඩා කෝපයකින් බව ජයදේවට දැනුණි.

"කරන්න පුළුවන් දෙයක් එපාය කරන්න...? අතපය කඩාගෙන බේරුනොත් ඇති..." සෝමලතා පැවසුවා ය.

"තව ටික දවසකින් ටවුමට ගිහින් එමු. දැන්.. බස්වල යන්න ඕන නැහැ..." ජයදේව පැවසුවේ සෝමලතාගේ සිත වෙනස් කිරිමට ය.

"අපෝ… අතපය කඩාගන්න මට නම් බැහැ..." එවෙලෙහි සෝමලතා උස් හඬින් පැවසුවා ය.

බයිසිකලේ ගෙනා මුල් දවස් දෙක තුන තුළ සෝමලතා එක මොහොතක්වත් නිහඬව නොසිටියා ය. ගේ ඇතුලේ එහා මෙහා යමින් ඈ ජයදේවට ඇසෙන්නට බොහෝ දේ කීවා ය. එහෙත් කිහිප දිනකට පසුව ඇගේ හැසිරීම වෙනස් විය. යන්තමින් ගේදොර වැඩ කරන සෝමලතා එක තැනකට වී කාලය ගත කිරීමට පටන් ගත්තා ය. ඈ වෙනදා මෙන් ජයදේව සමග කතාබහ ද නොකළා ය. සෑම දිනකම උදෑසන පිබිදෙන සෝමලතා දැන් දහවල් වනතුරු නිදාගන්නී ය. රාත්‍රී කාලයට ඈ වෙනදාට වඩා කලින් නින්දට යන්නී ය. ජයදේවට අවශ්‍ය කෑම බීම සකස් කර දුන්න ද ඇය වෙනදා මෙන් ඔහුට කෑම කන්න යැයි ඇරයුම් නො කළා ය.

සෝමලතා මෙලහකටත් කුස්සියට වී කුමක් හෝ වැඩක යෙදී ඇතැයි ජයදේවට සිතුණි. අද උදෑසන සෝමලතා ඔහු අතට තේ කෝප්පය පිළිගැන්වුවා ය. ඒ සති දෙකකට පමණ පසුව ය.

"එළියට බැහැලා ගියාම ගෙදර එනකන් ඉන්න ඕනි හිතේ ගින්දරෙන්..." සෝමලතා එවෙලෙහි බිම බලාගෙන කීවා ය.

ඒ හඬෙහි ගැබ් වී තිබුණේ දුක්බර බවක් ද නැත්නම් අසරණ බවක් දැයි ජයදේවට සිතා ගත නොහැකි විය. මේ දින කිහිපයට ඇගේ මුහුණ තව තවත් වැහැරී ගොස් ඇති සේ ජයදේවට පෙනුණි. තැනින් තැන සුදු වී ඇති ඇගේ කෙස් රොදවල් කිහිපය ඇගේ මුහුණ තවත් වියපත් කර ඇති සේ ය. ඇගේ දෑතේ නහරවල් කීපයක් උඩට ඉලිප්පී ඇති අන්දම ජයදේව දුටුවේ ය.

"ලොකු පුතාල හෙට එනවා කියන්නේ. ටවුමෙන් මොනවත් ගෙනාවොත් හොඳයි නේද...?" සෝමලතාගේ හඬින් ජයදේව තිගැස්සුණි. ඇයගේ වතෙහි ඇත්තේ සන්සුන් බවකි. සෝමලතා ආහාර පිළියෙළ කිරීමේ දී නිවසට අවශ්‍ය දෑ පිළිබඳ ලැයිස්තුවක් ඔහු අතට දුන්නාය.

"දෙන්නම යමු… ටවුමට ගිහින්... ඕන කරන දේවල් අරගෙන එමු..." ජයදේව පැවසුවේ ය.

සෝමලතාගේ වත පුරා වූයේ ලැජ්ජාශීලී සිහින් සිනාවකි. ජයදේවත් සෝමලතාත් නිවස තුළට ගොස් කඩිනමින් සූදානම් වී ආහ.

"පරිස්සමෙන්..." මදුරුවා බයිසිකලය පිටුපස අසුනට නැඟ ගත් සෝමලතා මුමුණන හඬ ජයදේවට ඇසුණි. ජයදේව මදුරුවා බයිසිකලය ක්‍රියාත්මක කොට ගෙමිදුලෙන් පිට වූයේ ය. සුළං පොදි විත් ජයදේවගේ මුහුණ සිප ගත්තේ ය. ගෙවල් දොරවල් ආපස්සට දිව ගියේ ය. හැඬලය අපහසුවෙන් හසුරුවමින් ජයදේව බයිසිකලය ඉදිරියටම ධාවනය කළේය.

මදුරුවා බයිසිකලය සමඟ ජයදේවගේ සිත ද ඉදිරියට ඇදී යන්නට විය. මෙතෙක් සිතේ තිබූ කාන්සිය මග දෙපස නතර වන්නා සේ ද ගුරු පාරේ ඈත කෙළවරේ සිට සතුට ඔහුට අත වනන්නා සේ ද ජයදේවට පෙනුණි.

- චාන්දනී  දේවිකා පුංචිහේවා
chandanidevikapunchihewa@gmail.com 

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.