Saturday, 28 November 2026

අනේ මේ ඒ දිසාපාමොක්ම ද? - එස්. එම්. ජයසූරිය



සීනුව නාදවිය ඉස්කෝලේ වහලා
අටේ පන්තියට තාමත් ඉස්කෝලේ
බිව්වා වතුර බුලියක් තිබහට ම
නෑ බඩගින්න දැන් නම් අහලකවත්
අමතර පන්තියේ දරුවන් හතළිහකි
කෑවා, නොකෑවා බඩගින්නේ ඉන්නේ
සිතියම් අභ්‍යාසය කරවනවා
ඔළුවට ගනීවි ද මන්දා හරියටම
ඉරත් ඔන්න අවරට යනවා
පන්තිය නවත්වමු පාරට අලි එනවා
අනේ මේ ඒ දිසාපාමොක්ම ද?

සෙයිලම බලන්නට ආශා හිතිලා දරුවන්ට
ගත්තා කලාපෙන් අවසරය
"මහත්තයා ගන්න ඕන අවදානම"
දුන්නා රතු එළියක් කලාපයෙන්
මිහිරට දෙන්න සල්ලි නැහැ ට්‍රිප් එකට
ඒකත් දුන්නා හැමදෙනාට නොදැනෙන්න
අනේ මේ ඒ දිසාපාමොක්ම ද?

උදේ දෙකයි පිටවෙනකොට ඉස්කෝලෙන්
කමල් එක්ක ප්‍රේමා මිසුත්
කියලා දෙනවා සෙයිලම ගැන දරුවන්ට
අනුපාතයට වැඩියෙන් ගිය කසුන් සර්
පොකට්ටුවත් හිස් කරගෙන ඔහේ එනවා
හැබැයි ඉතිං විගණනයක් නැහැ ඒවට
මොකද ඉතිං පාඩුවක් ද ආණ්ඩුවට?
කරක් ගහලා සෙයිලමේ රෑ වෙනකම්
දරුවෝ එක්ක ආයි ආවා ඉස්කෝලෙට
රෑ දොළහයි වෙලාව දැන් ටක්කෙට ම
අනේ මේ ඒ දිසාපාමොක්ම ද?

- එස්. එම්. ජයසූරිය
smjayasuriyalaw@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Friday, 27 November 2026

අමල්බිසෝ දොර හරීවි, දුර හිතපන් මගෙ පුතේ - රංජිත් කිරිඇල්ල



යන්න ඕනැම හින්දාම නම්
ඉතින් පලයන් මගෙ පුතේ
බැන්ද අලුතම නුඹේ පියබඳ
දමා දුරු රටකට මෙසේ

බිඳෙන බඳුනක් තබන පිළිවෙල
කියා දිය යුතු නෑ වගේ
ඈලියාවට යන්න හැකි දේ
සීරුවෙන් රැකපන් පුතේ

රට තොටේ මඟ තොටේ ඇසෙනා
බසට කන් දීපන් පුතේ
ඉසුරු සම්පත් පලක් වේවිද
බන්ධනය බිඳුණොත් එසේ

ඉපිද දලුලන හැඟුම් දාමය
ගුළි කරනු කෙලෙසද සිතේ
අමල් බිසවුන් නාරිතැයි දොර
නුඹට නොහැඟේ දෝ පුතේ

- රංජිත් කිරිඇල්ල
ran.kiri60@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Thursday, 26 November 2026

වන්දනාව - එච්. එම්. පියතිලක හල්පෙ



ගුණවර්ධන මහතා තම පැරණි හාන්සි පුටුවේ වාඩි වී සිටියේය. අසල කුඩා මේසය මත දඹදිව වන්දනාවේ දී ලබාගත් පින්තූර ඇල්බමය තිබුණි. ඔහු එය අතට ගෙන ඉන් එක් ඡායාරූපයක් දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. එය සාරානාත්හි ධම්මික ස්තූපය අසල දී ඔහුත්, බිරිඳත්, එහිදී හමු වී මිතුරන් වූ දයාරත්න මහතාත් එකට සිට සිනාසෙමින් ගත් ඡායාරූපයකි.

“මහත්තයා... මේ තේ එක බොන්න.” ගුණවර්ධන මහත්මිය තේ තැටිය රැගෙන ඉස්තෝප්පුවට පැමිණියාය. ඇය ඇඳ සිටියේ ඇයට සුපුරුදු සරල චීත්ත රෙද්ද සහ හැට්ටයයි. ඇගේ මුහුණේ තිබූ අසහනකාරී බව මැකී ගොස්, ඒ වෙනුවට ගුරුවරියකට සුදුසු සන්සුන් බවක් සහ කරුණාවක් එහි සටහන්ව තිබුණි.

“දන්නවද නෝනා... මේ පින්තූරේ බලනකොට මට හිතෙනවා, අපි ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ගත්ත පින්තූරවල අපි හිටියේ හිනාව මවාගෙන කියලා. ඒත් මෙතන තියෙන්නේ නියම අවංක හිනාවක්,” ගුණවර්ධන මහතා ඇයට පින්තූරය පෙන්වමින් තේ උගුරක් තොල ගෑවේය. ඒ අවස්ථාවේ නිවස ඉදිරිපිට පාරේ පාපැදියකින් යමින් සිටි තරුණයෙක් නතර විය.

“සර්... අසනීපෙන් හිටියා කියලා ආරංචි වුණා. දැන් කොහොමද?” ඔහු ඉතා ගෞරවයෙන් විමසීය.

“දැන් හොඳයි ළමයෝ... අපි දඹදිවත් ගිහින් ආවා,” ගුණවර්ධන මහතා සිනාසෙමින් පිළිතුරු දුන්නේය. තරුණයා ගිය පසු ගුණවර්ධන මහත්මිය හෙමින් සිනාසුණාය.

“පුතා දොස්තර කෙනෙක් වුණාට, අපේ හිතේ අමාරුවට බෙහෙත් තියෙන්නේ මේ වගේ මිනිස්සුන්ගේ වචනයක මහත්තයා. ඕස්ට්‍රේලියාවේ මාලිගාවට වඩා මේ පරණ පොඩි ගේ මට සැපයි,” ඇය පැවසුවාය.

* * *

දඹදිව වන්දනාවේ ගොස් සිටියදී ගුණවර්ධන මහතාට තමා මෙන්ම විශ්‍රාම ලබා සිටි ග්‍රාම නිලධාරීවරයෙකු වූ දයාරත්න මහතා හමුවිය. සම වයසේ, සම අදහස් දැරූ ඔවුන් දෙදෙනා ඉක්මනින් ම මිතුරන් බවට පත්වූහ.

සැඳෑ හිරු රැස් දඹදිව සාරානාත් පුදබිමේ ගඩොල් පවුරු මතට පතිත වූයේ බැතිමතුන්ගේ ගත දවමිනි. නව මූලගන්ධකුටි විහාරයේ තණ පලස මත වාඩි වී සිටි ගුණවර්ධන මහතාට, තමා අසල හුන් දයාරත්න මහතාගේ මුහුණේ මතු වූ සැහැල්ලු සිනහව දැකගත හැකිවිය. රජයේ නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ගිය අභිමානය තවමත් ඔහුගේ කෙළින් වූ උරහිස් මත ශේෂව තිබුණි.

“අපි ගිය මාසේ නිවාඩුවකට ඕස්ට්‍රේලියාවේ ගියා, මහත්මයා. එහෙ මෙහෙ වගේ නෙවෙයි හරි දියුණුයි. රටත් හරිම ලස්සනයි... පාරවල්වල දූවිලි පොදක් නෑ. හැමදේම සිස්ටම් එකට සිද්ධ වෙන්නේ,” ගුණවර්ධන මහතා තම ඕස්ට්‍රේලියානු සංචාරයේ අසිරිය ගැන දයාරත්න මහතා සමග පැවසීය. ඔහුගේ එකම පුතු එහි විශේෂඥ වෛද්‍යවරයෙකි. ලේලිය ද වෛද්‍යවරියකි. පවුලේ අභිමානය මුහුදෙන් එතෙරට පියාඹා ගොස් තිබුණි.

“ඉතින් ඒ වගේ රටක ඉන්න ලැබෙන එකත් වාසනාවක් නෙවෙයි ද මහත්මයා?” දයාරත්න මහතා විමසීය.

ගුණවර්ධන මහතා මොහොතක් නිහඬ විය. ඔහුගේ දෑස් ඈත පෙනෙන ධම්මික ස්තූපය දෙසට යොමු විය. “වාසනාව කියන දේ මැනෙන්නේ මොකෙන්ද කියලා මට දැන් තේරෙනවා මහත්මයා. එහෙ ගෙවල් මාළිගා වගේ තමයි. ඒත් ඒ මාළිගාවල දොරවල් වැහුණාම හරිම නිහඬයි. අපේ පුතාත්, ලේලියත් වැඩට යනවා. මුනුබුරා ඉස්කෝලෙට, අපි දෙන්නා දවසම මාළිගාව ඇතුළේ හිරවෙලා,” ඔහු සුසුමක් හෙලුවේය.

“පුතා අපිට හරිම ආදරෙයි. ඕනෑම දෙයක් ගෙනත් දෙනවා. ඒත් එයාට අපිත් එක්ක කතා කරන්න වෙලාවක් නෑ. එයාට ලෙඩ්ඩු බලන්න යන්න තියෙනවා. නිවාඩු දවස්වලට එයාලා පවුල් පිටින් යාළුවෝ එක්ක රවුම් ගහන්න යනවා. අන්තිමේදී අපිට ඉතිරි වුණේ එහෙ තියෙන පන්සලකට ගිහින් ලංකාවේ හිටපු අනිත් මහලු මිනිස්සුත් එක්ක හුදකලාව බෙදාගත්ත එක විතරයි.”

ඕස්ට්‍රේලියාව තරුණ දරුවන්ට පාරාදීසයක් වුවත් මහලු දෙමාපියන්ට එය ගමේ ගෙදර ඉස්තෝප්පුව තරම් සුන්දර තැනක් නොවන බව දයාරත්න මහතාට වැටහුණි.

“අපි දරුවන්ට ඉගැන්නුවේ හරිම අමාරුවෙන්. ස්කොලර්ෂිප් එක්සෑම් එකේ ඉඳන් විශ්වවිද්‍යාලේ යන කල්ම අපේ හීනෙවුණේ පුතා දොස්තර කෙනෙක් වෙන එක. එයා දොස්තර වුණා. ඒත් ඒ දොස්තරව අපිට අහිමිවුණා. දැන් එයා අයිති ඕස්ට්‍රේලියාවට. අපිට ඉතිරිවුණේ එයා එවන සල්ලියි, මාසෙකට දෙකකට සැරයක් දෙන වීඩියෝ කෝල් එකයි විතරයි.”

ගුණවර්ධන මහතාගේ දෑස්වල කඳුළු දිලිසෙන්නට විය. රත්නපුරේ දුෂ්කර පාසලක ගුරුවරියක ලෙස සේවය කළ ඔහුගේ බිරිඳ, වන්දනා නඩයට සිසිල් පැන් බෙදා දෙන පෝලිමේ ඉන්නා දෙස ඔහු බලා සිටියේය.

"දයාරත්න මහත්මයා, අපි ඉස්සර රත්නපුරේ උගන්වන කාලේ කොච්චර දුක් වින්ද ද? ඒත් ඒ කාලේ අපිට හීනයක් තිබුණා. අද ඒ හීනය හැබෑ වෙලා. ඒත් ඒ හීනය ඇතුළේ අපි නෑ. එකයි මම කියන්නේ, මේ දඹදිව පාරවල්වල දූවිලි තිබුණට, මිනිසුන්ගේ දාඩිය ගඳ තිබුණට, මෙතන තියෙන තෙරපීම ඇතුළේ ලොකු ජීවයක් තියෙනවා කියලා. අපිට ඕන වුණේ සැප විඳින්න නෙවෙයි, මිනිස්සු මැද්දේ මැරෙන්නයි."

සාරානාත්හි සැඳෑ වන්දනාව සඳහා ඝණ්ඨා නාදය ඇසෙන්නට විය. අවටින් ඇසෙන රථවාහන නළා හඬ සහ මිනිස් කෝලාහලය මැද ගුණවර්ධන මහතා සෙමින් නැඟී සිටියේය.

"දැන් මට ඕනෑ කරන්නේ පුතාගේ සල්ලි නෙවෙයි දයාරත්න මහත්මයා, මගේම පුතා. එහෙත් මගේ මළගමට උර දෙන්න පුතා ලංකාවට ඒවිද කියන එකත් දැන් මට සැකයි."

ඔහු සෙමින් සීරුමාරුවෙන් පියගැට පෙළ බැස යද්දී, ඒ වයෝවෘද්ධ සෙවනැල්ල මූලගන්ධකුටි විහාර බිම මත දිගු වී වැටී තිබුණි. ඒ සෙවනැල්ල ඕස්ට්‍රේලියාවේ පිරිසිදු මාවත්වලට වඩා මේ දූවිලි පිරි පින් බිමට ආකර්ෂණය වන බව දයාරත්න මහතාට සිතුණි.

සාරානාත්හි අහස රන්වන් පැහැයෙන් බැබලුණි. ඒ මතින් ඇදී යන සැඳෑ වලාකුළු මෙන් ගුණවර්ධන මහතාගේ සිතේ තිබෙන මතකයන් එහා මෙහා විසිරී ගියේය. ඔහු තම අත රැඳි පිරිත් නූල් ගැටගැසූ මැණික් කටුව දෙස බලා සිටියේ දැඩි කල්පනාවකිනි.

"බලන්න දයාරත්න මහත්මයා, මම ගුරුවරයෙක් වෙලා හිටපු කාලේ, මගේ පන්තියේ ළමයෙක් අසනීප වුණාම මමයි, මගේ නෝනයි ඒ ළමයාව බයිසිකලේ තියාගෙන ඉස්පිරිතාලෙට අරන් ගියා. එදා අපේ හිතේ තිබුණේ පුදුම සැහැල්ලුවක්. අද මගේම පුතා ඕස්ට්‍රේලියාවේ ලොකු ඉස්පිරිතාලෙක ලෙඩ්ඩු දහස් ගණනක් සුව කරනවා. ඒත් එයාගේ තාත්තට හිතේ අමාරුවක් හැදුණාම බෙහෙත් ගන්න වෙලා තියෙන්නේ මේ වගේ වන්දනා නඩයක ඉන්න ඔබ වගේ අඳුනගත්තු අලුත් යාළුවෙක්ගෙන්."

ඔහු සෙමින් සිය හඬ අවදි කළේය. ඔහුගේ හඬේ වූයේ උපහාසාත්මක වේදනාවකි.

"ඕස්ට්‍රේලියාවේදී පුතා මාව එක්කන් ගියා ඔපෙරා හවුස් එක බලන්න. සිඩ්නි වරායේ මුහුදට නෙරා ගිය බිම්කඩක පිහිටි ඒ සුදු සහ ක්‍රීම් පැහැති ගොඩනැගිල්ල ඇත්තටම හරි අපූරුයි. ඒ දිහා බලන් ඉන්නකොට මට මතක් වුණේ අපේ ගමේ පන්සලේ සුදු හුණු ගාපු චෛත්‍යය. ඒක ඒ තරම් ලස්සන නැතුව ඇති, ඒත් එක ළඟ මට මගේම කියලා හැඟීමක් දැනෙනවා. මෙල්බර්න්වල සීතල මට දරාගන්න බැරි වුණා. ඒ සීතල මීදුම ඇතුළේ මට මාවම නැතිවුණා වගේ දැනුණා. එහෙ කවුරුවත් අපිව අඳුනන්නේ නෑ. පාරේ යන මනුස්සයෙක්ට 'හිනාවක්' දෙන්න තරම් ඒ මිනිස්සුන්ට වෙලාවක් නෑ."

ගුණවර්ධන මහතා සිය අත රැඳි වතුර බෝතලය කටට ළංකර වතුර උගුරක් බීවේය.

"පුතාගේ ගෙදර තිබුණේ ලොකු රූපවාහිනියක්. ඒකේ ලෝකේ හැම රටකම චැනල් පේනවා. ඒත් මගේ නෝනා බලාගෙන හිටියේ ලංකාවේ ප්‍රවෘත්ති යනකල්. හවසට ටෙලිනාට්‍යයක් බලලා ගමේ මිනිස්සුන්ට බැණ බැණ හරි ඉන්න තිබුණා නම් එක ඒ මාලිගාවට වඩා සැපයි කියලා, මට රහසින් කිව්වා. අපි දෙන්නා එහෙ රෑට නිදාගත්තේ හරිම බයෙන්. අපි මැරුණොත් පුතාට එක දැනගන්න වෙන්නේ පහුවදා උදේ වැඩට යන්න කලින් කාමරේට එබුණොත් විතරයි."

කයින් දියුණු ලෝකයක හිර වී, සිතින් නොදියුණු පින්බිමක සැනසීම සෙවීමේ අරගලය ඔහුගේ මුහුණේ රැළි අතරින් දයාරත්න මහතාට කියවිය හැකිවිය.

"දඹදිව එන්න ප්ලේන් එකට නගිද්දී පුතා මගේ අත තද කරලා අල්ලගෙන කිව්වා 'තාත්තේ පරිස්සමින් ගිහින් එන්න' කියලා. එයාගේ ඇස්වලත් කඳුළු තිබුණා දයාරත්න මහත්මයා. මම දන්නවා එයා නරක දරුවෙක් නෙවෙයි. එයාට අපිව දාලා යන්න වුවමනාවකුත් තිබුණේ නෑ. ඒත් මේ 'අධ්‍යාපනය' කියන රේස් එකේ දුවලා දුවලා එයා නතර වුණේ අපිට ළඟාවෙන්න බැරි තරම් ඈතක. අපිමයි එයාව ඒ රේස් එකට දැම්මේ. අපිමයි එයාව දොස්තර කෙනෙක් කරන්න රත්නපුරේ කඳු පල්ලම් දිගේ ඇවිද්දෙව්වේ. දැන් දිනලත් අපි පැරදිලා."

ඈතින් ඇසෙන සාධු නාදයත් සමග ගුණවර්ධන මහතා නැගිට්ටේය. ඔහුගේ සුදු සරම සැඳෑ සුළඟට ලෙළදුන්නේය.

"දයාරත්න මහත්මයා, මම මේ ගමන ආවේ වඳින්න විතරක් නෙවෙයි. මගේ හිතේ තියෙන මේ බර බුදු හාමුදුරුවෝ ගාව තියලා යන්න. ලංකාවට ගියාම මම ආයෙත් මගේ ගමේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා පාරේ යන එන මිනිස්සු දිහා බලන් ඉන්නවා. ඒ මිනිස්සු මගෙන් 'කොහොමද ගුණවර්ධන මහත්මයා' කියලා අහද්දී දැනෙන සතුට ඕස්ට්‍රේලියාවේ ඩොලර් ලක්ෂයකටවත් ගන්න බෑ."

ඔහු සිනාසුණේය. ඒ සිනහව වසර ගණනාවකට පසු ඔහුගේ මුහුණට පැමිණි අව්‍යාජ සිනහවක් බව දයාරත්න මහතාට තහවුරු විය. "අහිමි වුණේ පුතා නෙවෙයි මහත්මයා... අපේ ජීවිතෙයි. දැන්වත් ඒක ආපහු හොයාගන්න ඕනේ," ඔහු කීවේය.

ගුණවර්ධන මහතා නැඟිට සෙමින් පිය මනින්නට විය. සාරානාත්හි පෞරාණික ගල් ටැඹක් අසලින් ඔහු නොපෙනී යන තෙක් දයාරත්න මහතා බලා සිටියේය. මිනිසෙකුට ඕනෑම රටක ජීවත් විය හැකි වුවත්, ඔහුගේ 'ආත්මය' රැඳෙන්නේ ඔහුට ආදරය කරන මිනිසුන් සහ ඔහුගේ මුල් පවතින පසෙහි පමණක් බව සාරානාත්හි සැඳෑ අඳුර දයාරත්න මහතාට රහසින් කියා දුන්නේය.

සාරානාත්හි පින්බිමේ ඇති මෘදු සුළඟ, ගුණවර්ධන මහත්මියගේ මුහුණේ වැදී ඉවතට ඇදී ගියේය. ඇය තම සුදු සාරි පොටින් මුහුණේ තැවුණු දූවිලි පිසදා ගත්තාය. ගුණවර්ධන මහතා දයාරත්න මහතා සමග කතාබහක නිරතව සිටියදී, ඇය නිහඬවම අතීතයට පියමන් කළාය.

"රත්නපුරේ විතානගම..." ඇය රහසින් මෙන් මිමිණුවාය.

* * *

ඒ 1974 වර්ෂය ඇගේ මනසේ මැවුණේ ඊයේ මෙනි. එදා ඇය තරුණ ගුරුවරියකි. රත්නපුරේ කඳු පල්ලම් දිගේ, මඩ තැවුණු පාරවල් මැදින් විතානගම කණිෂ්ඨ විද්‍යාලයට ඇය ගියේ දහසක් බලාපොරොත්තු පෙරදැරිවය. පන්තියේ සිටි පාපහන් නොමැති, වැරහැලි ඇඳි දරුවන්ගේ දෑස්වල තිබූ ඒ නිහඬ ආදරය අද ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල ඇති කිසිදු වටිනා වස්තුවක නැති බව ඇයට හිතුණි.

"එදා මම ඉගැන්නුවේ ඒ දරුවන්ට ලෝකය දකින්න... ඒත් මම දැනගෙන හිටියේ නෑ, ලෝකය දකිද්දී මගේම පුතා මට අහිමි වෙයි කියලා," ඇය තමාටම කියා ගත්තාය.

ඇයට මතක් වූයේ ඕස්ට්‍රේලියාවේ පුතාගේ නිවසේ තිබූ 'මොඩර්න්' කුස්සියයි. එහි සියල්ල තිබුණි. බොත්තමක් එබූ සැනින් කෝපි සැකසෙන මැෂින්, විදුලියෙන් ක්‍රියාකරන උඳුන්... ඒත් ඒ කුස්සියේ රත්නපුරේ අහළ පහළ ගෙවල්වලින් එන 'කොහොමද ටීචර්?' කියන හඬ තිබුණේ නැත. විතානගම පදිංචි වී සිටි කාලයේ, ගසක ඵළගත් කොස් ගෙඩියක්, අසල ගෙදරකින් එවන මැල්ලුම් මිටක් තුළ තිබූ ඒ මනුස්සකමේ සුවඳ මේ දියුණු රටවල වායුසමනය කළ කාමර ඇතුළේ නැත.

"පුතාගේ නෝනත් දොස්තර කෙනෙක්. හරිම කාර්යබහුලයි. ගෙදර හැමදේම තියෙන්නේ ප්ලාස්ටික් පෙට්ටිවල. කෑමත් 'ෆ්‍රීසර්' එකෙන් අරන් රත් කරලා කන්නේ. මට ඕන වුණේ මගේ අතින් පුතාට ව්‍යංජනයක් උයලා දෙන්න. ඒත් ඒ කුස්සියේ මට තියෙන්නෙත් අමුත්තෙකුගේ තැනක්," ඇය සුසුමක් හෙළුවාය. ඈතින් පෙනෙන සාරානාත් කෞතුකාගාරය දෙස බලන විට ඇයට හිතුණේ තමාත් දැන් ඒ කෞතුකාගාරයේ ඇති පැරණි වස්තුවක් වැනි බවයි. වටිනාකමක් තිබුණත්, කිසිවෙකුට අල්ලන්නට බැරි, වීදුරු පෙට්ටියක දැමූ වස්තුවක් මෙන් ඇය ඕස්ට්‍රේලියාවේදී හුදකලා වූවාය.

"අපේ පුතා අපිට සැලකුවේ නැහැ කියලා මම කාටවත් කියන්නේ නැහැ. එයා අපිට රජ සැප දුන්නා. ඒත් මට රජ සැපට වඩා ඕන වුණේ පුතාගේ දරුවා මගේ උකුලේ තියාගෙන 'අඹ ඇට පැන පැන' සෙල්ලම් කරන්න. ඒ ළමයට සිංහල පුළුවන් වුණාට, එයාට ලංකාවේ ආච්චිගේ කතන්දරවලට වඩා අයිපෑඩ් එකේ තියෙන කාටූන් වටිනවා."

ගුණවර්ධන මහත්මිය සෙමින් නැගිට තම ස්වාමියා අසලට ගියාය. ඇය ඔහුගේ දෑස් දෙස බැලුවාය. ඒ දෑස්වල තිබූ අපරාජිත අභිමානය ඇය හොඳින් හඳුනයි.

"යමු නෝනා... අපිට දැන් වඳින්න වේලාව හරි," ගුණවර්ධන මහතා ඇගේ අතින් අල්ලා ගත්තේය.

"දන්නවද මහත්තයා... අපි දඹදිව ආවේ පුතා අපිට මේ ටිකට් එක අරන් දුන්න නිසයි. ඒත් මේ වන්දනාව ඇතුළේ මම හොයන්නේ බුදු හාමුදුරුවන්ව විතරක් නෙවෙයි. මම මේ දූවිලි අතරේ හොයන්නේ අර රත්නපුරේ හිටපු, අනුන්ගේ දරුවන්ට අකුරු උගන්වලා සතුටු වුණු පරණ 'ගුරුතුමියව'. මට ආපහු ඒ ගෑනු මනුස්සයාව ඕනේ," ඇය සෙමින් කීවාය.

ගුණවර්ධන මහතා ඇගේ දෑත තද කර අල්ලා ගත්තේය. ඔවුන් දෙදෙනා සාරානාත්හි සැඳෑ ආලෝකය මැදින් පිය මනින්නට වූහ. ඔවුන් දෙදෙනාම දැන් එකම සත්‍යයක් වටහාගෙන සිටිති. ලෝකය ජය ගැනීම යනු දරුවන් ඉහළටම යැවීම පමණක් නොව, අවසානයේ තමන්ට තමන්වවත් ඉතිරි කර ගැනීමයි.

* * *

රාත්‍රිය එළඹෙමින් තිබුණි. ගුණවර්ධන මහතා තම ජංගම දුරකථනය අතට ගත්තේය. එහි ඕස්ට්‍රේලියාවේ සිටින පුතාගෙන් පණිවිඩයක් ලැබී තිබුණි.

"තාත්තේ, අම්මේ... ඔයාලා ඔහෙ සතුටින් ඉන්නවා නේද? ඊළඟ නිවාඩුවට අපි ගෙදර එන්න බලන්නම්."

ඔහු ඒ පණිවිඩය බිරිඳට පෙන්වීය. ඇය එය කියවා සුසුමක් හෙළා අහස දෙස බැලුවාය.

"එන්න පුතේ... උඹ ආවාම මම උඹට ඒ කාලේ වගේම වට්ටක්කා කළුපොල් මාළුවක් උයලා දෙන්නම්. උඹේ ඔය දොස්තර පට්ටම ගේට්ටුවෙන් එළියේ තියලා, මගේ පරණ පුතා වෙලා ගේ ඇතුළට වරෙන්,"

ඇය හිමින් පවසනු ගුණවර්ධන මහතාට ඇසුණි. ගුණවර්ධන මහතා දුරකථනය පසෙකින් තැබුවේය. ඔහුගේ ජීවිතයේ මතකයන් තැන්පත් කිරීමට කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයකට වඩා ඔහුගේ හදවත විශාල බව ඔහු වටහාගෙන තිබුණි.

ගොම්මන් අඳුර මැද හොරණ මිල්ලනිය වෙල්යායෙන් ඇසෙන මැඬි හඬත්, පන්සලේ ඝණ්ඨා නාදයත් සමග ඔවුන් දෙදෙනා නිවස තුළට පිය නැගූහ. අහිමි වූ සිහින ගැන වැළපෙනවා වෙනුවට, ඉතිරි වී ඇති ජීවිතය ආදරයෙන් වැළඳ ගැනීමට ඔවුහු තීරණය කර සිටියහ. ඉතිරිව ඇති ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දැල්වූයේය.

- එච්. එම්. පියතිලක හල්පෙ
thisaraherath742@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Wednesday, 25 November 2026

සබකෝලය සහ මනමාල බිය - රසික සූරියආරච්චි



කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ මා සමග හතරවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවන් අතරින් මට දැන් දශක කිහිපයකට පසුව සිහිවෙන්නේ කිහිප දෙනෙකු ගේ නම් පමණි. ඉංගිරිසි භාෂා ගුරුවරයෙකු වූ විතානගේ ආනන්ද ජයතිලක, පසුව කුමන ජීවනෝපායක යෙදුනේදැයි මා නොදන්නා අක්මීමනගේ දොන් සිසිර ප්‍රේමකුමාර මෙන්ම හෘදරෝග විශේෂඥ වෛද්‍යවරියක වන රාජිකා පොද්දල්ගොඩ ද මේ පන්තියේ සිටි බව මගේ මතකයේ ඇත. ලයනල්, සුගත් සහ නිමල් ගුණරත්න යන නම් ද ඒ සමගම සිහියට නැගේ.

හතරවෙනි ශ්‍රේණියේ දී අපේ පන්තිය භාර ගුරුවරිය වූයේ මැ. පෙ. රූපසිංහ යි. කොණ්ඩය කළු නොකළ ඇය ඒ දිනවල විශ්‍රාම වයසට ළංවී සිටින්නට ඇති ය කියා මට සිතේ. ඇගේ නමේ සිංහල මුලකුරුවලින් අදහස් කෙරුණේ මැගිලින් පෙරේරා යැයි අපේ තාත්තා කී බවක් ද මගේ මතකයේ ඇත. නිවැරදිව නොදනිමි.

කණිෂ්ඨ විද්‍යාලයේ වැඩි වශයෙන්ම සේවය කළේ ගුරුවරියන් ය. අප ඔවුන් ඇමතුවේ ටීචර් යන වදනින් ය. පිරිමි ගුරුවරුන් සිටියේ දෙතුන් දෙනෙකි. ඔවුන් අතරින් කලිසම් අඳින අයට සර් කියා අමතන ලද අතර (වෙනත් පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කළ) මගේ පියා මෙන් ජාතික ඇඳුම ඇඳි ගුරුවරුන් අමතනු ලැබුවේ මහත්තයා යනුවෙනි.

එක් දිනක් මැ.පෙ. රූපසිංහ ටීචර් අප අමතා, එදින සිට මසකට වරක් පන්තියේ සමිතියක් පැවැත්වෙන බව අපට දැනුම් දුන්නා ය. මෙය සමහර විට ඊට කලින් වසරේ පාසලට පත්ව ආ නව මුල් ගුරුවරයා වූ ව. අ. දයාරත්න (විදුහල්පති ලා සිටියේ ඉහළ පාසල්වල ය. කණිෂ්ඨ පාඨශාලාවල ලොක්කන් හැඳින්වුණේ මුල් ගුරු හෝ ලොකු මහත්තයා හෝ කියා ය) ගේ නියෝගයක් අනුව වූ දෙයක් විය හැක.

සමිතියක් යනු කුමක්දැයි මා නම් දැන ගත්තේ එදා ය. අපේ ටීචර් අපට විස්තර කර දුන් ආකාරයට, එය පන්තියේ සිසු සිසුවියන් ගේ රැස්වීමකි. මෙහිදී සිසුන් විසින් කවි, ගීත ගැයීම සහ කතා පැවැත්වීම යනාදිය කළ යුතුය.

සමිතියේ මූලාසනය හෙවත් සභාපති තනතුර නිල බලයෙන් හිමිවූයේ පන්තිය භාර ටීචර්ට යි. සමිතිය සඳහා ලේකම්වරයෙකු සිසු-සිසුවියන් අතරින් පත් කර ගත යුතු යැයි ද ටීචර් අපට සැළ කර සිටියා ය.

පන්ති කාමරයේ පිරිමි ළමුන් ගේ පැත්තේ ඉදිරිපස ආසනවල සිටියේ ආනන්ද, සිසිර සහ මා බව මට මතක ය. ලේකම්වරයෙකු ගැන ටීචර් කියූ සැණින් තම මුව විවර කළ දෙවෙනි පේළියේ සිටි ලයනල් රසික හොඳයි! යැයි පවසා එලෙසින් මගේ නම මේ තනතුර සඳහා යෝජනා කළේය. වෙනත් යෝජනා නොමැති වූයෙන් මා ඒ තනතුරට නිතරගයෙන් පත් වුණෙමි.

පන්තියේ සමිතියේ ලේකම් ලෙස මගේ කාර්යභාරය කුමක් දැයි මැ. පෙ. රූපසිංහ ටීචර් මට විස්තර කර දෙන්නට ඇත.

ඊළඟට පන්තියේ සිසුන් ඇමතූ අපේ ටීචර් ඉල්ලා සිටියේ අද සමිතිවාරයේ දී කවි, ගී ගායනා කරන්නට, කතා පවත්වන්නට කැමති සිසුන්ට ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන ලෙසත්, ඊළඟ සතියේ එසේ කරන්නට කැමැත්තේ නම්, තමන් ගේ නම් සහ විස්තර අපේ පන්තියේ සමිතියේ අභිනව ලේකම් රසිකට පවසන ලෙසත් ය.

ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් කිහිප දෙනෙකු ම එදා කවි ගායනා කළ බව සහ සමිතියේ විස්තර සහ ඊළඟ මාසය සඳහා ඉදිරිපත් වූවන් ගේ තොරතුරු ද මා වෙනත් විෂයයක් සඳහා වූ අභ්‍යාස පොතට අග පිටුවේ සඳහන් කර ගත් බව ද මට මතක ය.

නිවසට ගිය පසු මා කියූ මේ විස්තරය ඇසූ අම්මා ද කියා සිටියේ මා ලේකම් ලෙස සමිතියේ වාර්තාවක් ඊළඟ සභා වාරයට ඉදිරිපත් කළ යුතු බවයි.

එකී වාර්තාව ලිවිය යුතු ආකාරය පිළිබඳව තාත්තා මට උපදෙස් දුන්නේය.

"වර්ෂ එක්දහස් නමසිය හැත්තෑ හතරේ පෙබරවා මස අටවෙනිදා (සිකුරාදා), කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ හතරවෙනි ශ්‍රේණිය ඒ පන්තියේ දී පවත්වන්නට යෙදුණු ශිෂ්‍ය සමිතියේ වාර්තාවයි මේ."

"මෙදින රැස්වීමේ මුලසුන උසුලන ලද්දේ මැ.පෙ. රූපසිංහ ගුරුතුමිය විසිනි. ශිෂ්‍ය සමිතිය ආරම්භ කිරීමේ වැදගත්කම ගැන සිසුන්ට කියා දුන් ඇය, සෑම මාසයකටම වරක් සමිතිය පැවැත්වෙන බවත්, මෙහිදී කවි, ගීත ගායනා කිරීමට හෝ කතන්දර කීමට හෝ විවිධ මාතෘකා යටතේ කතා පැවැත්වීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බවත් පැවසූවා ය."

"සමිතියේ ලේකම් තනතුරට, රසික හරිශ්චන්ද්‍ර ගේ නම ලයනල් (රණසිංහ) විසින් යෝජනා කරන ලද අතර ආනන්ද ජයතිලක විසින් ස්ථිර කරන ලදී. වෙනත් නාම යෝජනා නොවූයෙන් හතරවෙනි ශ්‍රේණියේ ඒ පන්තියේ ශිෂ්‍ය සමිතියේ ලේකම් තනතුරට රසික හරිශ්චන්ද්‍ර නිතරඟයෙන් තේරී පත්විය."

"දැන් ඔය විදියට එදා සමිතියේ දී වුණු සේරම විස්තර ලියපං විස්තර එක්ක. අන්තිමට වාර්තා කළේ උඹය කියලා උඹේ නම එකතු කරපං!" තාත්තා කිව්වේ ය.

මේ වාර්තාව ලිවීම අකුරු, වචන, වාක්‍ය සහ භාෂාව සලකන කළ මට මහා ලොකු දෙයක් නොවීය. අලුත් අභ්‍යාස පොතක් ගත් මම, පෙර කී මුල් විස්තරයට අමතරව තවත් වාක්‍ය කිහිපයකින් එතැන් සිට සමිතියේ අවසානය දක්වා සිදුවුණු දේ, කවි, ගීත ගායනා කළ, කතන්දර කියූ සිසු සිසුවියන් ගේ නම් සහ විස්තර ද සහිතව ගලපා ලියූවෙමි.

මාසයක් ගෙවී අපේ සමිතියේ දෙවන සභා වාරය උදාවිය.

"අපේ සමිතියේ ලේකම්, රසික නේද? දැන් එහෙනම්, රසික ඉස්සරහට ඇවිත් ඒ ලියපු වාර්තාව කියවන්න," මැ.පෙ. රූපසිංහ ගුරුවරිය එදා සිකුරාදා අපරභාගයේ දී අපේ සමිතිය ආරම්භ කරමින් කීවා ය.

මට කිසිසේත් ම, හිඳගෙන සිටි ආසනයෙන් නැගිට පන්තියේ ඉදිරියට යාමට සිත හදා ගත නොහැකි විය.

මා ලියූ වාර්තාවේ අඩුපාඩුවක් තිබේද? මා එය ලියා අවසාන කළා මිස පන්ති භාර ගුරුවරියට හෝ අඩු වශයෙන් තාත්තාට හෝ පෙන්නුවේ නැත. මා මේ වාර්තාව පන්තියේ ඉදිරියට ගොස් කියවන්නේ කෙසේද?

මා පැකිළෙනු දුටු මැ.පෙ. රූපසිංහ ගුරුවරිය "ඇයි රසික වාර්තාව ලිව්වේ නැද්ද?" කියා මගෙන් විමසූවා ය.

සිතේ පිරි සබකෝලය, බිඳ වැටුණු ආත්ම විශ්වාසය, ලැජ්ජාව, බිය, බඩේ සමනල්ලු, නළලේ දා බිඳු යනාදී සියලු අකලංචි මැදින් ම මට මගේ ගැලවුම් මාර්ගය ඒ වචන තුළින් පෙනුණි.

"ඔව් ටීචර්! ලියන්න බැරි වුණා!" මම මුමුණා කීවෙමි.

"හොඳයි, අද මුල් දවස නේ, කමක් නෑ, අද සමිතියේ වෙන දේවල්වල විස්තර හොඳින් ලියා ගෙන අද ම වාර්තාව ලියන්න," කියා ඇය මා බේරා ගත්තා ය.

මේ සිද්ධිය හා සම්බන්ධව මගේ මතකයේ හොඳින් රැඳී ඇත්තේ තව එක දර්ශනයක් පමණි.

ඒ, පිටුපස පේළියේ සිටි ලයනල් (රණසිංහ) දෙසට හැරුණු ආනන්ද ජයතිලක සහ සිසිර ප්‍රේමකුමාර දෙදෙනා, මගේ ඒ අසමත් වීම තමන්ට වූ මහා ලජ්ජාවක් සේ සිතා දෝ "මේ ලයියා තමයි සේරම කළේ!" යැයි ලයියාට දෝෂාරෝපණය කරන්නට පටන් ගැනීමයි.

සමිතියේ ලේකම් වීම විශාල ගෞරවණීය කාරණයක් බවත්, මා ඒ ගෞරවය කෙලෙසූ බව සහ එය ඉතා කනගාටුදායක කරුණක් බවත් මගේ මිතුරන් වූ ආනන්ද ජයතිලක සහ සිසිර ප්‍රේමකුමාර දෙදෙනා සිතන බව මට එවෙලේ සිතුණි.

මම එදිනම සවස් වරුවේ, මුල් වර කළාටත් වඩා හොඳින්, අක්‍ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ ගැන දන්නා තරමින් සැලකිලිමත් වෙමින් දෙවෙනි සමිතියේ වාර්තාව ලියූවෙමි. තුන්වෙනි සභා වාරයේ දී මම ඒ වාර්තාව වැඩි අපහසුවකින් තොරව කියවීමි.

මගේ ඒ සබකෝලය ටික දිනකින් අඩු වී ගිය ද, තව අවුරුදු දෙක තුනකට පසු ගැටවර වයසට පා තැබූ කාලයේ දී වෙනත් ආකාරයක කෝලයක් වැළඳී, එය සෑහෙන කාලයක් තිස්සේ ජීවිතයට වද දුන්නේ ය. මේ දෙවන කෝලය නම්, සම වයසේ කෙල්ලෙකු සමග වචනයක් හෝ කතා කිරීමට ඇතිවෙන බියයි, ලජ්ජාවයි, අපහසුවයි.

මෙය සාමාන්‍යයෙන් ගැටවර වයසට එළැඹෙන බොහෝ පිරිමි ළමුන්ට වැළඳෙන සුවිශේෂී රෝගී තත්වයකි. මේ සංකීර්ණය ලේඛක ලියනගේ අමරකීර්ති විසින් තම අටවක පුත්තු නම් රාජ්‍ය සම්මානලාභී නවකතාවේ දී හඳුන්වා දී ඇත්තේ මනමාල බිය යනුවෙනි.

ඔබට මනමාල බිය වැළඳුණු විට එය දැන ගත හැකි මූලික රෝග ලක්‍ෂණ වෙන්නේ ගැහැණු ළමයෙකු දුටු විට, මුව ගොළුවීම, පිපාසයක් දැනීම, මදක් දහඩිය දැමීම, කකුල් වෙව්ලීම, හදවත සැලෙන නාදය කනට ඇසීම යනාදියයි.

එසේම, ඕනෑම ගැහැණු ළමයෙකු සමග කතා කිරීමට අදාළව මනමාල බිය බලපාන්නේ නැත. එහි බලපෑමේ තීව‍්‍රතාවය අදාළ ගැහැණු ළමයා කෙරෙහි ඔබේ සිතේ ඇති මනමාලකමට සමානුපාතිකව අඩු වැඩි වේ.

ඒ සමගම, මේ මනමාල බිය නමැති රෝගී තත්වය වැළදෙන්නේ පිරිමි ළමයින්ට පමණක් බව ද කිව යුතුය. මේ සම්බන්ධයෙන් ලෙ මිසරාබ්ල නම් ලෝ ප්‍රකට නවකතාවෙහි එහි රචක වික්ටර් හියුගෝ මෙසේ පවසයි.

සැබෑ ආලයෙන් පෙළෙන පිරිමියෙකු ගේ ප්‍රථම රෝග ලක්‍ෂණය වෙන්නේ බියගුලුබවමුත් තරුණ කාන්තාවක ගේ නම් එය එඩිතරබව වේ. මෙය පුදුමයක් වුව ද ඉතා සරල කරුණකි. මේ එකිනෙකා කෙරෙහි යොමුවන විරුද්ධ ලිංගිකයින් අනෙකා ගේ ගතිගුණ ආරූඪ කරගන්නා ආකාරයයි.

මගේ ඒ සබකෝලය හතරවෙනි ශ්‍රේණියේ දී ම පහව ගිය ද, ගැටවර වියේ දී වැළඳුණු මගේ මනමාල බිය නම් විශ්වවිද්‍යාලයේ දෙවන වසර මැද දක්වා ම පැවතුණි.

රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com



මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

වියපත් නොවේ හීනය - ගයත්‍රී



කාලය ගෙවෙනා තරමට
හීනත් වියපත් නොවේ දෝ?
හදවත තුළ සැඟවූ පැතුම්
කවදා මල් පිපේ දෝ?

ජීවිතයේ ඉතිරි දිනේ
මගේ ම ලෙස ගෙවන්නම්
අහිමි ව ගිය ඒ නිදහස
සිනා මලින් සොයන්නම්

වැස්ස වැටෙන වීදි දිගේ
තෙමී තෙමී ඇවිදින්නම්
වීදි දිගේ මල් උයනක
මල් සුවඳත් විඳගන්නම්

තරුණ වියේ බැඳුණු වැටත්
හෙමින්, හෙමින් බිඳින්නම්
කිසිවකු නොදුටු මගේ ලොවට
හිරු කිරණ ද කැඳවන්නම්

හෙට දවසට ඉතිරි කරපු
සතුට අදම විඳින්නම්
ජීවිතයම කවියක් කර
මගේ තනුව ගයන්නම්

ලෝකය මට කියන කතා
සුළඟට මුසු කරන්නම්
අමතක වූ පුංචි සතුටු
යළිත් සොයා විඳින්නම්

- ගයත්‍රී
subhagaperera@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Tuesday, 24 November 2026

ලියන මහත්තයා - ඩබ්ලිව්. ජේ. වීරසිරි ද සිල්වා



"කොළඹ කෝච්චිය ළඟයි, ඉක්මනට යන්න," දුම්රිය ස්ථානයට පා ගමනින් යන මිතුරන් තිදෙනාට ඉදිරියට හමු වූ අසල්වාසියෙක් කිව්වේ ය. මිතුරන් තිදෙනා ගමන ඉක්මන් කළෝය. ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔවුන් තිදෙනා ම අගනුවර එකිනෙකට වෙනස් කාර්යාලවල සේවය කරති.

කොළඹ රැකියා සඳහා ගම්පියසින් දිනපතා දුම්රියට පියනගන මිතුරන් තිදෙනා අතරින් කරුණාදාස විශේෂ ය. ඔහු පුවත්පත් කාර්යාලයක සේවය කළ ලේඛකයෙකි. ගම්වැසියන් ඔහු හඳුන්වන්නේ “ලියන මහත්තයා” ලෙස ය. කාලවර්ණ, එතරම් උස නොමැති, නිතර මුහුණේ සිනාවක් රැඳි ඔහු රටේ සුපතල පුවත්පතක ලේඛකයෙකු ලෙස සේවය කළ අතර ඔහුගේ ලිපි පුවත්පතේ පළ වූයේ නම ඉදිරියෙන් ගමේ නම ද සමඟ ය. කරුණාදාස ගම්වැසියන් සමඟ කුළුපගව ඇසුරු කළ අතර ඔහු හමුවන කාටත් නෑකමක් කියා කතා කළේ ය.

අඹ යාළුවෝ තිදෙනා, එක මග ගමන් කළ ද, විවිධ ගතිපැවතුම් ඇති පුද්ගලයෝ වූහ. වික්‍රමපාල රජයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළේ ය. රැලි වුණු කොණ්ඩය පිටුපසට පීරා ඇති මිල්ටන් රාජ්‍ය සංස්ථාවක ලිපිකරුවෙකි. නිතර කියවීමට හුරුවූ කරුණාදාස අතේ කුමන විෂයකට හෝ අදාළ පොතක් රැඳී තිබුණි. නිවසේ ද පොත් රැසක් ගොඩගසා ඇත. ඔහු සම්මාන ලබාගත් අවස්ථාවල ඡායාරූප නිවසේ බිත්තිවල එල්ලා තිබේ.

ඇතැම්හු දුටු පමණින් ඔහුගෙන් පොත් ඉල්ලති. ඒ කියවීමට ම දැයි කිව නොහැක. දුටු දුටු තැන පොත් ඉල්ලන අයට නම් කරුණාදාසගෙන් පොතක් ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ ය.

"මහා කුණු ලෝබයා... කවදාවත් පොතක් නම් ඉල්ල ගන්න බැහැ. හරියට ඇඟෙන් ඇටයක් දෙන්න වෙනවා වාගෙයි," ඇතමෙක් මුවින් නොබැණ හිතින් බැණ බැණ යති. පොත් කියවන අයට නම් පොත් ඉල්ලා ගන්න අමාරුවක් නැත.

ඔහු පදිංචි බංගලාවත්ත නිවසේ සිට බස් පාරට යන පටු වැලි පාර අමුතු සිරියාවක් ගෙන දෙයි. එම පාරෙහි දෙවැටේ මිදෙල්ල ගස්වලින් වැටුණු රතුවන් මල් පෙති නිසා රතු පලසක් එළන ලද සේ ඇතැම් දිනෙක දිස්වේ. එතැන් සිට ප්‍රධාන පාර හරහා වෙරළාසන්නයේ ඇති දුම්රියපළට යා යුතුය.

කරුණාදාස හා වික්‍රමපාල ඔවුනොවුන්ට කතා කිරීමේ පහසුවට හා ලෙන්ගතුකමට කෙටි නමින් ඇමතුවත් මිල්ටන්ට එම්. එස්. යැයි කිව්වෝ ය.

"කරු... ඔයාට එම්. එස්. ගේ වෙඩින් එක කිව්වා ද?" වික්‍රමපාල ඇසුවේය. "ඔව්... වික්‍රම ඔයාට කිව්වේ නැද්ද?"

"මටත් කාඩ් එකක් දුන්නා..."

විවාහ උත්සවයේ දී මනමාලයාව කැපී පෙනුණේ ඔහු මෙතෙක් ඇඳි ජාතික ඇඳුම අතහැර දිගු කලිසමට මාරුවීම නිසා ය. උත්සවයේ දී වික්‍රමපාල ඇඳ සිටියේ ද දිගු කලිසමකි. ඒ ඔහු ද තව ටික දිනකින් විවාහ වන නිසා බව ඔහු කරූට පැවසුවේය.

මිතුරන් තිදෙනාම ජාතික ඇඳුම ඇඳ ගත් ඡායාරූපයක් තම නිවසේ බිත්තියේ එල්ලා තිබූ බව කරුණාදාසට මතක ය. යාළුවන් තිදෙනාම ඉගෙනුම ලැබුවේ ද ගමේ පාසලේ ය. වික්‍රමපාල හා මිල්ටන් දෙදෙනා ද පොතපත කියවීමට මහත් ආශාවක් දැක්වූහ.

හිටිවන කවි කීමට රුසියකු වුව ද මිල්ටන් තම හැකියාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත්තේ ය. ඇතැම් විට අනෙක් මිතුරාගෙන් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් සිදුවුවහොත් මිල්ටන් හිටිවන කවියකින් ඇනුම්පදයක් කියයි. එම කවිය ඇසූ අනෙක් මිතුරෝ කොක්හඬලා සිනාසෙති. කිසි දිනක ඔවුනොවුන් අතර පුද්ගලික අමනාපකම් නොවිය. ඔවුන් තිදෙනා නොයෙක් ශාස්ත්‍රීය දේ ගැන කතා කළහ. එම කතාබහ අවසන් වන්නේ සාහිත්‍යමය හා විනෝදකාමී රසගුලාවකින් ය. මේ විනෝදකාමී එකතුවීම වික්‍රමපාලගේ හා මිල්ටන්ගේ විවාහයෙන් පසු ටිකෙන් ටික අඩුවී ගියේ ය.

කරුණාදාසගේ ජීවිතයේ ප්‍රධාන ශක්තිය වූයේ අම්මා ය. විවාහයට උනන්දුවක් නොදක්වා මවගේ දුක්-සැප බැලීම ඔහුගේ ප්‍රථම කාර්යය විය. උදෑසන සිට රාත්‍රිය දක්වා වැඩ අතරතුර ද මවට ආහාර පිළියෙල කිරීම, ඖෂධ සූදානම් කිරීම, ඇයගේ පහසුව සැලසීම ඔහුගේ දිනචරියාව විය.

"පුතේ දැන් උඹේ කල දවසත් පහුවෙලා, කසාදයක් කර ගනින්. මමනං තව ටික කලකින් මැරිලා යයි. එතකොට උඹ තනිවෙනවානේ බං," කරුණාදාසගේ අම්මා නිතර කිව්වා ය. හැරමිටියේ ආධාරයෙන් ගේ තුළ ඇවිද ගියත් ඇය මිදුලේ ඇවිදීමට නොයයි. ඇය ගේ ඇතුළේ බිත්තිය අල්ලා ගෙන ඇවිදීමේ දී බිත්තියේ ඇඳුණු ඇඟිලි පාරවල් බිත්ති පිරිසිදු කිරීමේදීවත් මකා දැමීමට කරුණාදාස අකමැති විය.

රැකියාවට යාමට පෙර කරුණාදාස උදෙන්ම අම්මාගේ මුවදෝවා, උදේට හා දහවලට කෑම සකස් කර, ඒවා වෙන්වෙන්ව තබා, වතුර පවා ගැනීමට පහසු වන සේ පිළියෙල කර තබා යයි. ඔහු සවස වැඩ අවසන්ව එනතෙක් අසල නිවසක ඥාති කාන්තාවක අම්මාගේ දුක සැප බැලීම කරුණාදාසට මහත් සැනසීමක් ගෙන දුන්නේ ය.

කෝච්චිය ප්‍රමාද වූ දිනක කරුණාදාස නිවසට එනවිට පළාතම කළුවර වෙලා ය. අම්මා විතරක් තනියම ගෙදර සිටියා ය. ළඟ ගෙදරක ඥාති දුවෙකු පැමිණ චිමිනි ලාම්පුව පත්තු කර දී තිබුණි. කලාතුරකින් ගෙදරක තමයි ඒ දිනවල පැට්‍රෝමැක්ස් ලාම්පුවක් තිබුණේ.

"මල්ලීයේ අපේ පැට්‍රෝමැක්ස් එකේ මැන්ටලය කැඩිලා, නිපල් එක ළඟින් ගින්දර පිටවෙනවා. සවස් වරුවක ඇවිත් හදලා දෙන්න කෝ," කරුණාදාස අසල්වැසි පිරිමි ළමයෙකුට කිව්වේ ලෙන්ගතුකමිනි. කියවීමට ආශාවක් දැක්වූ ඒ තරුණයා නිරන්තරයෙන් කරුණාදාසගෙන් පොත් ඉල්ලාගෙන ගොස් කියවීමට පුරුදුව සිටි අයෙකි.

කාර්යාලයේ වැඩ අවසන් වී ගෙදරට පැමිණි මොහොතේ සිට කරුණාදාස ගෙදර වැඩ පටන්ගනී. ඒ තමාට හා අම්මාට රාත්‍රී කෑම සකස් කිරීම හා ඊළඟ දින වැඩට යාමට පෙර අම්මාට උදේ හා දවල් කෑම සකස් කිරීමට අවශ්‍ය කළමනා සූදානම් කිරීමයි. රාත්‍රී කෑමෙන් පසු අම්මා නිදාගැනීමෙන් අනතුරුව මැද සාලයේ පැට්‍රෝමැක්ස් ලාම්පුව නිවා දමන අතර තම කාමරයේ චිමිනි ලාම්පුව දල්වා තම ලිවීමේ කටයුතුවල නිරතවීම සිරිත ය. ඒ බව අසල්වාසීන් ද දන්නා කරුණකි.

"ලියන මහත්තයා... ඊයේ රෑ නිදා ගත්තේ නැද්ද... දෙගොඩ යාමේ බල්ලෝ බුරන සද්දේට මම එළියට ආවා... කාමරයේ ලාම්පුව පත්තුවුණා ඒ වෙලාවෙත්..."

"ඔව්... මම ඊයේ රෑ වැඩ කළා."

ලේඛන කලාවේ නිරත හිතවත් මිතුරන්ගේ පොතක් දොරට වැඩිමේ උත්සවයක් වේ නම් කරුණාදාස එයට නොවරදවාම සහභාගි විය.

මිල්ටන් විවාහයෙන් පසු ඔහු කරුණාදාස සමඟ තිබූ හිතවත්කම හා මිත්‍රත්වය පළුදුවීමට හේතුවක් වූයේ සුරාවට ඇබ්බැහිවීම නිසාවෙනි. තමාට ලැබෙන වැටුපෙන් වැඩි කොටසක් මත්පැන්වලට වියදම් කිරීම නිසා මිල්ටන්ගේ පවුලේ අගහිඟකම් වැඩි වූ අතර බිරිඳ සමඟ අඬදබර ද වැඩිවිය. ඔහු ඇතැම් දිනෙක වෙරිමතින් නිවසට පැමිණ බිරිඳට හා ළමයින්ට පහරදීම නිසා ළමයි රැකවරණය පතා කරුණාදාසගේ නිවසේ හැංගී සිටියෝය. එවිට මිල්ටන් කරුණාදාසගේ නිවසට පැමිණ ඔහුට බැණවදියි. ඒ තම බිරිඳව කරුණාදාසට පවාදෙමිනි. "වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා," යැයි සිතූ කරුණාදාස කිසිත් නොකියා සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්තේ ය.

දැඩි ලෙස ගිලන් වූ කරුණාදාසගේ මව බැලීමට වික්‍රමපාල පැමිණිය ද, මිල්ටන් නොආවේ ය. කවුරු ආවත්, නැතත් කරුණාදාස කිසිවෙකු සමඟ අමනාප නොවී සිටීමට වගබලා ගත්තේ ය.

අම්මාගේ සියලු ඕනෑ-එපාකම් ගැන සොයාබැලීම නිසා "පුතේ උඹට වරදින්නේ නැහැ, උඹට දෙවියන්ගේම පිහිටයි," යනුවෙන් අම්මා කරුණාදාසට නිතර ආශිර්වාද කළාය.

පත්තර කන්තෝරුවේ වැඩ කරන අතරතුර ඔහු අම්මාගේ සෙනෙහස ගැන අනන්තවත් කවි ලිව්වේ ය. කෙටිකතා, නවකතා ලිව්වේ ය. එහෙත් එම කවි, කතා කියවීමට අම්මාට නොහැකි ය. ඒ ඇය අකුරු නොදන්නා නිසා ය. එහෙත් ඇය පුතාගේ පොත් අතගා එහි පිටකවරයේ ලස්සන දුටුවා ය. ඔහු පුවත්පත්වලට ලියූ කෙටිකතා එකතු කර කෙටිකතා සංග්‍රහයක් නිකුත් කළේය. එය ඉතා රසවත්ය. එහි නිර්මාණවල චරිත නිර්ව්‍යාජ ය.

"මහත්තයාගේ පොත ලස්සනයි," පොත කියවූ අයෙකු කරුණාදාසට පැවසූ විට ඔහුගේ මුහුණ සතුටින් පිරී අහිංසක ලෙස හිස පහත් කොට සිනාසුණේ ය.

වසර ගණනාවක් කළ සේවයෙන් පසුව පත්තර කන්තෝරුවෙන් විශ්‍රාම ගිය ද ඔහු ඇබ්බැහි වී සිටි පොත්පත් කියවීමේ හා ලිවීමේ කාර්යය අවසන් කළේ නැත. විශ්‍රාම සුවයෙන් පසුවුව ද කරුණාදාසගේ ලිපියක් හෝ කවියක් ඉරිදා පුවත්පත්වල පළවීම අරුමයක් නොවිය.

කරුණාදාසගේ අම්මා ඉතා දරුණු ලෙස අසනීපවී නිවසට ආසන්න නගරයේ මහා රෝහලේ නවත්වන ලදි. අම්මා ළඟ සිටි ඥාති දියණිය උයා දෙන කෑම ටික රැගෙන ඔහු දිනපතා ම අම්මා බලන්නට රෝහලට ගියේය. කරුණාදාසගේ අම්මා රෝහලේදී මිය ගියා ය.

"ලියන මහත්තයලාගේ අම්මාගේ මළගෙදරට ආව කාර් පාර දිගේ නවත්වලා."

"ලියන මහත්තයාව සලකා ගෙන කන්තෝරුවල මිනිස්සු එනවනේ," තව අයෙකු කිව්වේය.

අම්මා ගැන නොදත් අය පවා කරුණාදාසගේ යහපත් ගුණ ගැන සිතා අම්මාත් එසේ ගුණ යහපත් මාතාවක්යැයි අනුමානයෙන් ඇගේ ගුණ කිව්වෝ ය.

විශාල ජන සමුහයක සහභාගිත්වයෙන් කරුණාදාසගේ අම්මාගේ අවසන් කටයුතු පොදු සුසාන භූමියේදී සිදුකරන ලදි. අනතුරුව කරුණාදාස හා ඥාති දියණිය නිවසේ තනිවූහ.

අම්මා බිත්තිය අල්ලා ගෙන ඇවිදීමේදී ඇඳුණු ඇඟිලි පාරවල් තවමත් ජීවමාන ය. ඒවා ඔහු අතගා බැලී ය. එය බිත්තියේ ඇඳි සිහිවටනයක් සේ තබා ගැනීමට ඔහු ඉටා ගත්තේ ය.

විශ්‍රාම ගත් පසු කරුණාදාස පෙරට වඩා පොත් කියවන්නටත් පොත් ලියන්නටත් පටන් ගත්තේ ය. ඔහුට ලැබෙන කතෘභාග සහ විශ්‍රාම වැටුප හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නොවි ය. එම මුදල් ප්‍රමාණවත් නොවුවත් එය ඔවුහු අපහසුවෙන් පිරිමසා ගත්හ.

කලාතුරකින් ඉරිදා දිනවල පැරණි මිතුරන් ඔහු හමුවීමට පැමිණෙන විට ඔහු ඉතා ප්‍රීතියෙන් එම දවස ගෙවා දැමුවේ ය.

එදා ජව වේගයෙන් කොළඹ යාමට දුම්රිය ස්ථානයට පිය නැඟූ මිතුරන් තිදෙනාගෙන් දැන් ජීවත්ව සිටින්නේ කරුණාදාස පමණි. අවශ්‍යතාවයකට පොත් ප්‍රකාශකයින් හමුවීමට කොළඹ යාමට හැර ඔහු දුම්රියෙන් ගමන් නොකරයි.

කරුණාදාස තම අම්මාට බොහෝ ආදරයෙන් සැලකුවේ ය. අම්මාගේ වියෝව හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට මෙන්ම කායික පීඩාවකට ද පත්විය. ඒ හේතුවෙන් කරුණාදාස වරින් වර රෝගී විය. ඒ සඳහා ප්‍රතිකාර ගත්තද එතරම් සුවයක් නොවීය. තමාට ඇවිදීමට නොහැකි මෙන්ම ශබ්ද නඟා කතා කිරීමට ද නොහැකිවීම ගැන බෙහෙවින් දුක්විය. බෙහෙත් සඳහා වැඩි මුදලක් වැයවීම නිසා මුදල් අගහිඟ ඇතිවුවද ඔහුගේ දුක සැප බැලීමට හා ප්‍රතිකාර කිරීමට ඥාති දියණිය සිටීම විශාල පහසුවකි. නිවසේ ඇතුළත වැඩක යෙදමින් සිටි ඇය පිටතින් ඇසූ කටහඬ නිසා පාර දෙසට ආවා ය.

"බෝතල්... පත්තර... ප්ලාස්ටික් පරණ කඩදාසි... පරණ යකඩ..., බෝතල්... පත්තර... ප්ලාස්ටික්... පරණ කඩදාසි... පරණ යකඩ..."

"නවතින්න... නවතින්න..., කීයද ගන්නේ," කරුණාදාසගේ ඥාති දියණිය පරණ බඩු එකතු කරන මිනිසාගෙන් ඇසුවේ කරුණාදාසගෙන් ද නොවිමසා ය.

පරණ පත්තර හා කඩදාසිවලට ගත හැකි පොත් විශාල ප්‍රමාණයක් මිදුලේ ගොඩගැසුවේ, මිනිසා එක් අතකින් එල්ලා ගෙන සිටින බැලන්සයේ කටුව දෙස බලමින්ය. එහි බර ප්‍රමාණය ළඟ කටුව නතර වී ඇත. පරණ පත්තර හා පොත් විකිණීමෙන් ලද මුදල අතෙහි ගුලි කර ගනිමින් ඇය නිවසට ඇතුළු වූවා ය.

විවර වූ දෙනතින් යුතුව කරුණාදාස ඇය දෙස බැලුවේ විමතියෙනි. කුමක් හෝ පැවසීමට ඔහු උත්සාහ කරන බව වටහා ගතහැකි වූ නමුදු ඔහුගෙන් ශබ්දය පිට නොවූ නිසා නිශ්චිත යමක් තේරුම් ගැනීමට අපහසුවිය.

සෙලවෙන දෙතොලින් "පොත්... පොත්..." යැයි කියනු ඇතැයි වටහාගත හැකිවූ නමුදු පියවුණු දෙනෙතින් එය ද නිශ්චය නොවීය.

- ඩබ්ලිව්. ජේ. වීරසිරි ද සිල්වා
desilva.weerasiri@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Monday, 23 November 2026

ඈත එපිට ගම්මානෙන් - කරුණාසේන කහටපිටිය



ගායනය: සනත් නන්දසිරි
පද රචනය: සුනිල් සරත් පෙරේරා
සංගීත නිර්මාණය: සනත් නන්දසිරි

ඈත එපිට ගම්මානෙන් නැග එන
බට ලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද?
ඇය නිදි නොමැති පැලේ

මලානිකව හඳ එළිය ගලා එන
අම්බලමක හෙවනේ
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ

වේදනාව නෙතු අගට ගලා ලා
ඉකිලන නිහඬ රැයේ
නීල නුවන් තරු කැට බොඳවෙනවා
කාටත් හොර රහසේ

ඈත එපිට පිටිසර ගම්මානයක සැන්දෑවට වාදනය කරන බට ලී නලාවෙහි හඬ ඉතා දුරට ඇසේ. පරිසරයේ ඇති පාලු නිහඬතාවය බටලී නළා හඬ කියා පායි. එහි පැල්පතක වාසය කරන තරුණ ළඳක් නින්දට නොගොස් බට ලී හඬට සවන් යොමා පැලෙහි දොරකඩට වී දැඩි ඇල්මකින් ළතවෙමින් පසුවන්නීය.

ගීතය ගායනා කරන තැනැත්තා, රාත්‍රිය ගතකරන්නේ ඇගේ පැල අසබඩ පිහිටි පාලු අම්බලම ය. ඔහු අම්බලමට වී පාලුවේ තනිවම වෙසෙමින්, ඇය වෙසෙන පැල්පතේ දොරටුව තුළින් පිටතට විහිදෙන මලානික ආලෝකය දෙස මහත් අනුකම්පාවෙන් විමසිල්ලෙන් බලා සිටියි, බට නලාවෙහි මිහිරි හඬට සේම, එය වාදනය කරන තරුණයා කෙරෙහි ද හදවත පිරි ප්‍රේමයෙන් ඇය පසුවන බැව් ඔහුට හොඳින් වැටහී ඇත.

සුමිහිරි නළා හඬට සවන් යොමා සිටින ඇගේ නෙත් කොනින් කඳුළු වෑහෙන අයුරු ඔහුට පෙනෙයි. නිහඬ රාත්‍රියෙහි ඇගේ නෙත් කඳුළින් පිරියයි. ඒ තුළින් ද්වනිතවන්නේ බට්නලා වාදනය කරන තරුණයා කෙරෙහි ඇගේ හදවත තුළ බලවත් ප්‍රේමයක් සහ ආදර හැඟීම් පිරී පැවතියත් ඒ හැඟීම් ඔහුට ප්‍රකාශ කිරීමට ඇයට ශක්තියක් නැති බවයි. ඒ නිසා නීල තරු කැට දෙකක් බඳු ඇගේ දෑස රාත්‍රී කාලයේ කඳුළින් පිරී යන දුක්බර විලාශය කිසිවෙකුටත් නොපෙනී රහසේ සිදුවේ. අසරණ ගැමි තරුණිය තමාගේ සිත තුළ පවතින ප්‍රේමය ප්‍රකාශ කිරීමට නොහැකිවීමේ ආවේගයෙන් දැඩිව පෙළෙන දුක්බර විලාශය මේ ගීතයෙන් රමණීය ලෙස ධ්වනිත වේ.

තනුව හා සංගීත නිර්මාණය: තනු හා සංගීත නිර්මාණය සැලසුම් කර ඇත්තේ දිළිඳු පැලක වෙසෙන අසරණ තරුණියගේ හදවතෙහි සැඟවී ඇති දුකින් පිරි හැඟීම් රමණීය අන්දමින් ධ්වනිත වන අයුරිනි. වයලීන සහ ගිටාර් වාදනය ඉතා දුක්බර හැඟීම් මතුකරයි. ඒ සමඟ ඇසෙන බට නළා වාදනය ඇගේ හදවතේ පිරී දුක්බර හැඟීම් ප්‍රබල රමණීය ආකාරයෙන් ශ්‍රාවක මනස වෙත රැගෙන එයි.

ගායනය: සනත් නන්දසිරි සංගීතඥයාගේ ගායනය, පිටිසර ගැමි ළඳගේ හද තුළ පිරි ශෝකජනක දුක්බර හැඟීම් ශ්‍රාවක සවන් වෙත රමණීය ලෙස යොමු කරයි. උසස් ගායනයකි. තනුව හා සංගීත නිර්මාණය, ගායනය ගැමි තරුණියගේ හදවත තුල ඇති දුක්බර හැඟීම් ධ්වනිත කරන, කලාත්මක නිර්මාණයකි.

- කරුණාසේන කහටපිටිය
karunasena_k@yahoo.com.au



මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Sunday, 22 November 2026

කැලණි නදිය ගලා බසී (නවකතාව) : අටවෙනි කොටස - එච්. එම්. පියතිලක හල්පෙ



මෙතෙක් කතාව: පළමුවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස,
හතරවෙනි කොටස, පස්වෙනි කොටස, හයවෙනි කොටස, හත්වෙනි කොටස

රංකිරි රාළ ගේ වැඩිමහලු සොහොයුරිය රන්දොහාමි ය. වැඩිවිය පැමිණීමෙන් පසු ඇය වරින්වර රෝගී වූවාය. ප්‍රසිද්ධ වෙදුන්ගෙන් පවා ප්‍රතිකාර කළ නමුත් රෝගය නිෂ්ඨාවට සුවපත් වන බවක් දැකගත නොහැකි විය.

“මේ ළමයාට දැන් වෙදුන් කී දෙනෙකුගෙන් නම් වෙදකම් කළා ද? තවම හරිහැටි සුවයක් නහැ නෙ. අදත් ඔන්න ඔළුව හොල්ලමින් මොනවාද දොඩවනවා. මට පෙනෙන්නෙ මේ ළමයාට යක්‍ෂ දෝෂයක් ඇති වෙලා වාගෙ. නරක ද කට්ටඬියෙක් ගෙන්වලා තොවිලයක් කෙරුවොත්?”

රංකිරි රාළ ගේ මව පියා ගෙන් විසුවේ දිවා ආහාරයෙන් පසු ඔවුන් නිවසේ මැද සාලයේ වාඩි වී බුලත් විටකින් සප්පායම්වන අතරතුරදීය. එහෙත් පියාගෙන් එයට ප්‍රතිචාරයක් නො ලැබිණ. මේ අවස්ථාවේ රංකිරි රාළ කට ඉස්සර කළේ ය. දැන් ඔහු විසි හැවිරිදි වියෙහි පසුවන හොඳින් වැඩුණු පැහැපත් සිරුරක් ඇති තරුණයෙකි.

“අම්මේ, රංහාමි මාමගෙ දුවටත් යකෙක් වැහිල මාතරින් ගුරුන්නාන්සෙ කෙනෙක් ගෙන්වලා තොවිලයක් කෙරුවා. දැන් ඒ අක්කට හොඳට ම ගුණයි. අපිත් ඒ ගුරුන්නාන්සෙ ගෙන්වල අපේ අක්කටත් ප්‍රතිකාර කරවමු.”

රංකිරි රාළ මව සමග කියන විස්තරය ගුරුහාමි සාවධානව අසා සිටියේ ය. ඔහු කියන පරිදි කට්ටඬියෙකු ගෙන්වා ක්‍ෂාන්තිකර්මයක් කරවීමෙන් තම දියණිය ද සුවපත්කර ගත හැකි වෙතැයි ගුරුහාමි තුළ දැඩි විශ්වාසයක් ඇති විය. ඒ අතර තම තරුණ පුත්‍රයා අක්කන්ඩිය කෙරෙහි දක්වන උනන්දුව ගැන ඔහුගේ සිතෙහි සතුටක් ද, පවුලේ අය වෙනුවෙන් තමාගේ අවධානය අඩුවී තිබීම ගැන සිත් තැවුලක් ද හටගත්තේ ය. එම සතුට හා සිත්තැවුල මොහොතකට යටපත්කර ගත් ගුරුහාමි යකැදුරෙකු ගෙන්වා තම දියණියට ප්‍රතිකාර කරන්නට ද, එම යාගයේ වැඩි වගකීමක් රංකිරි රාළ වෙත පවරන්නට අදහස් කළේ ය.

“එහෙනම් පුතා ඒ ගුරුන්නාන්සෙ හමුවලා කතාකරගෙන එන්න. වැඩි දවසක් අරින්න හොඳ නෑ. උන්නැහේට එන්න පුළුවන් ළඟම දිනය යොදා ගන්න.”

“හොඳමයි අප්පච්චි. මාතර ඇදුරා කීවාට ඔහු පදිංචිව සිටින්නේ නෙළුම්දෙණියේ. මම රංහාමි මාමා හමුවී පාර අසා ගන්නම්. හෙට උදේ පාන්දරින් ම පිටත් වුණොත් ඉර හැරෙන්නට පෙර නෙළුම්දෙණියට යා ගන්න පුළුවනි.”

පසුදා උදෑසනම අවදි වූ රංකිරි රාළ ගමනට සූදානම් වූයේ ය. මව විසින් සකස් කර දුන් රසවත් බත් ගෙඩියක් ද, පිපාසයට පැන් පුරවා ගත් ලබු කැටයක් ද, ඇදුරාට දිය යුතු පුද පඬුරු ද ඔහු තමාගේ උරහිසේ එල්ලා ගත් ඔලගුව තුළ බහා ගත්තේ ය. ඔහු නිවසින් එළියට පියවර තැබුවේ නෙළුම්දෙණිය බලා යන්නට ය.

රංවල ගම්මානයෙන් පිටත් වූ රංකිරි රාළ සතර කෝරළය හරහා වැටී තිබුණු, අඩි පාරවල් හා බොරලු පාරවල් දිගේ ධෛර්යයෙන් යුතුව ඉදිරියට ඇදුණේ ය. හිරු අවරට යන හෝරාව වන විට ඔහුගේ පාදවලට මෙන්ම ගතට ද දැනුණේ විඩාවකි. වාසනාවකට මෙන්, ඒ අසලම වූ නෙළුම්දෙණිය අම්බලම ඔහුගේ නෙත ගැටුණි.

හිස්ව පැවති අම්බලමේ සෙවණට ගොඩවැදුණු ඔහු, උරහිසින් ඔලගුව ගලවා බිම තබා, ලබු කැටයෙන් පැන් උගුරක් බී පවස නිවා ගත්තේ ය. ඉන්පසු බත් ගෙඩිය ලිහා කුස පුරවා ගත් ඔහු, විඩාව නිවා ගැනීම පිණිස අම්බලමේ පිල මත ඇලවී මඳ වේලාවක් දෑස් පියා ගත්තේ ය.

ඔහු නිදා සිටි අම්බලම අසල වූ වෙල්යායේ වැඩකරමින් සිටි ගොවියෙකු තමා උදැල්ල ද කර තබාගෙන පාර දෙසට පැමිණෙමින් සිටියේ ය. මඩ තැවරුණු ගතින් යුතු ඒ ගැමියා දුටු වහාම රංකිරි රාළ පිලෙන් නැඟිට ඔහු ඇමතුවේ ය.

"මාමේ, මං මේ ආවේ නෙළුම්දෙණියේ ඉන්න මාතර කට්ටඩි උන්නැහේ මුණගැහෙන්නයි. මාමා දන්නවාද ඒ උන්නැහේ ඉන්න තැන?"

ගොවියා කරේ තිබූ උදැල්ල බිම තබා, රංකිරි රාළ දෙස උනන්දුවෙන් බැලුවේ ය.

"ආ, මේ ළමයා ඔය කියන්නේ සේදිරිස් ගුරුන්නාන්සේ ගැන වෙන්න ඇති. බලි තොවිල් කරන කෙනෙකුට කියලා මේ මුළු පළාතටම ඉන්නේ උන්නැහේ විතරයි. එන්න මාත් එක්ක යන්න. මමත් මේ යන්නේ ඒ කිට්ටුවටමයි."

ගැමියාගේ සුහදශීලී මඟපෙන්වීම ඔස්සේ රංකිරි රාළ ඇදුරාගේ නිවස වෙත පිය නැඟුවේ ය.

නෙළුම්දෙණිය ගමේ කෙළවරක පිහිටි, රෑස්ස ගල්වල අතු පතරින් වැසුණු නිවසක ඉස්තෝප්පුවේ සේදිරිස් ගුරුන්නාන්සේ වාඩි වී සිටියේ ය. පාර දෙසින් තරුණයෙකු පැමිණෙනු දුටු ඔහු ඉදිරියට ආවේ ය. තරුණයාගේ පෙනුම, ඇඳුම් පැළඳුම් සහ තේජවන්ත ගමන දුටු සේදිරිස් ඇදුරාට වැටහුණේ මොහු වංශවත්, වැදගත් පවුලක කෙනෙකු බවයි.

ගෙයින් මිදුලට බට ඇදුරා, හිසෙහි බැඳ සිටි ලේන්සුව ලිහා අතට ගෙන, ගෞරවාන්විතව මඳක් ඉදිරියට නැමී කථා කළේය.

"මුන්නැහේ කොහෙන්ද මේ එන්නේ?"

"ගුරුන්නාන්සේ, මං එන්නේ රංවල ඉඳලා. පත්තායමේ ලේකම් ගුරුහාමි නිලමේ තමයි මගේ අප්පච්චි," රංකිරි රාළ ඉතා යටහත් පහත් ලෙස දෑත් එක්කර, තමා කවුදැයි හඳුන්වා දුන්නේ ය.

පත්තායමේ ලේකම් ගුරුහාමි නිලමේගේ නම ඇසූ සැණින් සේදිරිස් ගුරුන්නාන්සේගේ දෑස් පුදුමයෙන් විශාල විය. ඔහුගේ මුහුණේ භක්තිමත් සහ ලෙන්ගතු සිනහවක් මතුවිය.

"අප්පා, එහෙම කියන්ඩ එපා යැ! එහෙනම් මේ අපේ 'රංකිරි පොඩි නිලමේ' වෙන්න ඇති! එන්න, එන්න... ගෙට ඇතුළට. වාඩින්න පොඩි නිලමේ..." ඇදුරා මහත් වූ ගරුසරුවෙන් යුක්තව රංකිරිරාළව නිවස තුළට පිළිගත්තේ ය. පත්තායමේ ලේකම් නිලමේතුමා තමාට කලකට පෙර කළ උදව් උපකාර සිහිපත් කළ සේදිරිස් ගුරුන්නාන්සේ, රන්දෝහාමි මැණිකේගේ රෝගය සුවකිරීම සඳහා තමාගේ උපරිම ශක්තිය යොදවා යාග හෝම පවත්වන බවට පොඩි නිලමේ ඉදිරියේ සපථ කළේ ය.

රංකිරිරාළගේ සිතට දැනුනේ මහත් සහනයකි. අක්කාගේ සුවය උදෙසා කරන මහා මංගල්‍යයේ පළමු පියවර සාර්ථකවී ඇති බව ඔහුට හැඟුණි.

සේදිරිස් ගුරුන්නාන්සේ ගේ නිවසේ පිල උඩ වාඩිවී රංකිරි රාළ තම සහෝදරියගේ අමුතු රෝගී තත්ත්වය විස්තර කරන්නට විය.

"ගුරුන්නාන්සේ, මගේ අක්කණ්ඩියට යක්ෂ දෝෂයක් ඇතිවෙලා. වෙලාවකට තනිවම කියවනවා. කෙම්මුර දවස්වලට බෙර හඬක් ඇහුනොත් ඔළුව කරකවනවා, හරියට කපු රාළ කෙනෙක් මායම් වෙනවා වගේ..." රංකිරි රාළ ඉතා ඕනෑකමින් රෝග ලක්ෂණ විස්තර කළේය.

ගුරුන්නාන්සේ දෑස් පියාගෙන මඳ වේලාවක් කල්පනා කළේය. ඉන්පසු උගුර පාදා ගැඹුරු හඬින් කතාකළේය.

"ඔය කියන විස්තරය අහගෙන ඉන්නකොට මට හිතෙන්නේ අක්කණ්ඩියට කළුකුමාර යක්ෂයාගේ බැල්ම වැටී තිබෙන බවයි. පුංචි නිලමේ කළුකුමාරයා ගැන අසා තිබෙනවා ද?"

"අසා නම් තිබෙනවා ගුරුන්නාන්සේ, ඒත් වැඩි විස්තරයක් දන්නේ නැහැ," රංකිරි රාළ කුතුහලයෙන් පිළිතුරු දුන්නේය. ගුරුන්නාන්සේ කළුකුමාර යක්ෂයාගේ බිහිසුණු රූපය මැවෙන ලෙස විස්තර කරන්නට විය.

"කළුකුමාර යක්ෂයා කළුම කළුයි. කටින් වක් වූ දළ දෙකක් මතු වී පෙනෙනවා. ඔහුට අත් හතරක් තිබෙනවා. ඒ අත් හතරෙන් කළු මුගුරක්, ගිනි පන්දමක්, රුවන් කැඩපතක් සහ මරාගත් ඇතෙකුගේ මළකුණක් දරා සිටිනවා. ඉණේ කෙටේරියක් ගසාගෙන, කරේ මල් මාලාවක් පළඳා, සිරුර වටා නාගයෙකු පටලවාගෙනයි ඔහු ඉන්නේ. කළුකුමාරයා ගමන් කරන්නේ කළු ගොන් වාහනයෙන්."

රංකිරි රාළ මේ විස්තර අසා මවිත විය. ගුරුන්නාන්සේ තවදුරටත් පැහැදිලි කළේ, තරුණ සහ හුදෙකලාව වසන කාන්තාවන්ට කළුකුමාරයා දිෂ්ටි හෙළන බවත්, එවිට ඔවුන් තුළ "ඔල්මාද" ගති මතු වන බවත් ය.

යක්ෂයාගේ දරුණුකම වටහාගත් රංකිරි රාළ, තවදුරටත් ප්‍රමාද නොවී තොවිලය පැවැත්වීම සඳහා සුදුසුම දිනයක් වෙන් කරවා ගත්තේය. ගුරුන්නාන්සේ විසින් යාගයට අවශ්‍ය කරන බඩු බාහිරාදිය, එනම්, පුවක් මල්, පන්දම්, දුම්මල, කුකුළෙක්, රඹ පත් සහ විවිධ පූජා ද්‍රව්‍ය ඇතුළත් දිගු ලැයිස්තුවක් රංකිරි රාළ අතට පත් කළේය.

"මේ ද්‍රව්‍ය ටික අඩුපාඩුවක් නැතිව ලෑස්ති කරගන්න පුංචි නිලමේ. මම නියමිත දවසේ රෑට රංවලට එන්නම්. අපි කොහොම හරි අක්කණ්ඩියව මේ විපත්තියෙන් බේරාගමු," ගුරුන්නාන්සේ දැඩි විශ්වාසයෙන් පැවසීය.

සිතේ තිබූ බර මඳක් සැහැල්ලු කරගත් රංකිරි රාළ, නැවතත් සතර කෝරළය හරහා තම ගම්බිම් බලා පිය නැඟුවේය. ඒ, සිය සහෝදරියගේ ජීවිතයට වැටී ඇති අඳුරු සෙවණැල්ල මකා දමා, නැවතත් තම නිවසට සිනහව රැගෙන ඒමේ තිර අදිටනින් යුතුව ය.

පියතිලක හල්පෙ
thisaraherath742@gmail.com



නවකතාවේ නවවෙනි කොටස: ලබන ඉරිදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

ටිකක් ඉවසමු - රුවන් ඩී අළුබෝමුල්ලගේ



දක්කන්න කෙවිට මොකටද පාර තියෙන කොට
පීල්ලට වැටුනනං යන්න හැකි ඉදිරියට
එහෙම වුණු පළියට ම අනෙක් උන් දකින්නට
නැති වුණොත් ඇස්, ඉතිං සොරි තමයි අපි, අපිට

පෘතුගීසි පන්නලා ලන්දේසි ගෙන්නගත්
ලන්දේසි පන්නලා ඉංග‍්‍රීසි ගෙන්නගත්
යුගය අමිහිරි තමයි ඉඟුරු දී මිරිස් ගත්
ඒ ස්වරය වයයි දෝ හදවතේ සියුම් තත්

කනමැදිරි එළිය මහ එළියක් ද අඳුරකට
සඳ එන්නෙ නෑ තමයි අමාවක අහසකට
කළු මදින විට අපෝහක වාද එක ගොඩට
ගුල්ලො ගහවි ද මන්ද රත්තරන් මාලයට

වැටුණු විට නැගිටින්න බොහෝ අපහසු තමයි
නොයෙක් දේ හිිතෙනවා සැක සහිත තැන් බොහොයි
එහෙම නැතුවම සැපට ගමන යනවා බොරුයි
ටික කලක් රිදෙනවා ඉවසන්න වෙනවමයි

- රුවන් ඩී අළුබෝමුල්ලගේ
ruwand7@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Saturday, 21 November 2026

පිවිතුරු ය පළමු පෙම (නවකතාව) : තුන්වෙනි කොටස - සශිකා නිරෝෂි මහලියනගේ



මෙතෙක් කතාව: පළමුවෙනි කොටස, දෙවෙනි කොටස

අද තුන්වෙනි කොටස: පූජනී කුඩා කුස්සි කෑල්ල වෙත ගොස් බඩු මල්ල කුස්සියේ බිම තබමින් කුස්සියේම පසෙකට වන්නට බැඳ තිබුණ වැලෙන් අම්මාගේ චීත්තයක් ගෙන ඉණට ඇද ගත්තා ය. පසුව බෑගය තුළ තිබූ පරිප්පු මල්ල ගෙන ඉන් දෙමිටක් ගෙන නෑඹිලියට දමා සෝදන්නට වූවා ය. ඇය පසුපස කුස්සියට පැමිණි දේවේන්ද්‍ර ඉක්මනින් වැඩෙහි නිරත වන ඇය දෙස බලාගෙන සිටියේ නිහඬව ය. ඔහු හෙමිහිට මෙතෙක් වෙලා සාක්කුවේ තිබුණ ඇය වෙනුවෙන් රැගෙන ආ චොක්ලට් පෙත්ත ඈ වෙත දිගු කළේ ය. ඇය එක්වරක් එදෙස බලා ඉවත බලා ගත්තා ය.

"මට එපා ඔයාම කන එකයි ඇත්තේ," ඇය කෝපයෙන් ඉවත බලාගෙන පැවසුවා ය.

"මම විහිළුවක් කළේ ඔච්චර කේන්ති ගන්න එපා."

පූජනී උපහාසයෙන් යුතුව සිනාසුණා ය. "අපි මහ ගෑනු හින්දා චොක්ලට් කන්න තහංචිනේ?"

"කවුද එහෙම කිව්වේ?" දේවේන්ද්‍ර ඇසුවේ ඇගේ දිගු දෑස දෙස බලාගෙන ය.

"ටිකකට කලින් කෙනෙක් කිව්වේ එහෙමනේ? තවම පොඩි ළමයෙක් වෙච්චි ඔයා ඔය චොක්ලට් පෙත්ත කන්න."

"පූජනී ඔයා හොඳටම දන්නවා මම ඔයාට නොදී යමක් නොකන බව," ඔහු ඇගේ දෑස් දෙස එක එල්ලේ බලන ගමන් පැවසුවේ ය. ඒ මොහොතේ ඇය ද ඔහු දෙස බැලූවා ය.

මොහොතකට ඔවුන් දෙදෙනාගේ සිව් නෙත් එකට හමු වුණි. ඔහුගේ දෑස් මේ මෑතක සිට අමුතුම කතාවක් පවසන බව හඳුනාගෙන සිටි දෑස් වහා ඒ දෑස්වලින් මුදවා ගත් ඕ වළඳකට පරිප්පු ටික දමා හොද්දට අවශ්‍ය පහේ ටික කපන්නට බිම ඇන තියා ගත්තා ය. ඒ අතර ඔහු චොක්ලට් පෙත්ත ගෙන ඇගේ මුව වෙත ළං කළේ ය. ඔහුගේ ක්‍රියාවෙන් මඳක් අන්දමන්ද වූ පූජනී ඔහු කෙරෙහි අනුකම්පාවක් ඉපදුණ බැවින් චොක්ලට් පෙත්තෙන් හරි අඩක් මුවට ගෙන ඔහු දෙස බැලුවා ය.

"ඉතුරු බාගෙ දේවේන්ද්‍ර අයියා කන්න."

"මට චොක්ලට් පෙත්තක් තියෙනවා. මේක ඔයාම කන්න."

ඔහු චොක්ලට් පෙති අඩ ඇය අත තබා සාක්කුවෙන් ඔහුගේ චොක්ලට් පෙත්ත ගෙන එහි ඇසුරම ඉවත් කර කටට දමා ගත්තේ සිනාසෙමින් ය. පූජනී ද මොහොතක් ඔහු දෙස බලමින් සිනාසුණා ය. කම්කටොලු පිරි ජීවිතයකට ලැබෙන මෙවන් වූ සැනසුමත් ඔවුන්ට මහමෙරක් නොවේදැයි පූජනී සිතන්නට වූවා ය.

දේවේන්ද්‍ර ද ලද සුළු මොහොතින් ඇය දෙස බලාගෙන සිටියේ සිතෙහි දළු ලා නැඟෙන ප්‍රේමයෙන් සිත පුරවාගෙන ය. පූජනී කඩිනමින් පරිප්පු හොද්ද සූදානම් කර අවසානයේ පාන් පෙති කපන අතර නංගිලා සතුටින් සෙල්ලම් කරන හඬ නිවෙස දෙසින් ඇසෙන්නට වූවේ ය. ඔවුන් මෙතරම් සතුටට පත්ව ඇත්තේ අද දවස දෙවේලක් කුස පුරවා ගත හැකි බැවින් නොවේදැයි සිතත් ම ඇගේ මුවින් සුසුමක් පිට වූවේ නොදැනුවත්වම ය. ඇගේ සුසුම් හඬින් එතැන රැඳි සිටි දේවේන්ද්‍ර හැරී ඇය දෙස බැලූවේ ය.

"නංගිලා පව්," ඇය හෙමින් ඔහු දෙස බලමින් මිමුණුවා ය.

"නංගිලා විතරද පව්?" ඔහු ඇය දෙස බලමින් විමසුවේ ය. ඔහු ඇසූ පැනය කුමක්ද යන්න වැටහුණ බැවින් පූජනීට තමා ගැනම මහත් කනගාටුවක් ඉපදුණේ නිරායාසයෙන් ය.

"එහෙම බැලුවොත් අපි ඔක්කොම පව් පූජනී," දේවේන්ද්‍ර සුසුමක් වාතලයට එක් කරමින් මිමුණුවේ ය.

"ඔව් දේවේන්ද්‍ර අයියේ. අපි ඔක්කොම පව්!" ඇය ද ඔහු කී වදනම නැවත පුනරුච්චාරණය කළා ය. දෙදෙනාම ටික වෙලාවක් නිසොල්මනේ සිටියේ ඔවුන්ගේ සිත් අසරණව ගිලන් වූ බැවින් ය. පූජනී ගේ නෙත් කෙවෙනි තුළින් පිටතට පනින්නට බලා හිඳින කඳුළු ඇය නෙත් තුළ ගබ්සා කර ගත්තේ ඔවුන්ගේ ජීවන ගැටලුවලට කඳුළින් පිළිතුරු සොයා ගැනීම අපහසු බව දත් බැවින් ය. ඇය ඉක්මනින් ප්ලාස්ටික් පිඟන් දෙකක් රැගෙන පරිප්පු හොඳි බෙදා කැපූ පාන් පෙති දෙකක් රැගෙන නංගිලා සොයාගෙන ගියා ය.

"ආ... දැන් ඔය නැටිල්ල පස්සට දාලා කාලා ඉඳහල්ලා."

අක්කා අත රැඳි කෑම පිඟන් දුටු සැණින් කුඩා දැරියන් සතුටින් අත්පොළසන් දෙන්නට වූහ. ඔවුන් තිදෙනාම දිවගෙන ඇවිත් පිඟන් දෙකට පොර කන්නට වූහ.

"මොකද මේ දැඟලිල්ල පොඩ්ඩක් හිටපල්ලා මම දෙනකම්." පැවසූ පූජනී පිඟන් දෙක ලොකු දැරියන් දෙදෙනා අතට දී කුඩා දැරිය ඔසවා ගන්නා ගමන් තොටිල්ල දෙසට කර පොවා බැලූවා ය. කුඩා මල්ලී කුස පිරුණා නැතා සුව නින්දක පසුවෙමින් සිටියේ ය. පූජනී මඳ වෙලාවක් ඔහු දෙස බලා හිඳ කුස්සිය වෙත ගියා ය. දේවේන්ද්‍ර ඒ වනවිටත් ලොකු කල්පනාවක සිටියේ ය. පූජනී තවත් පිඟානක් ගෙන එයට හොඳි බෙදා පාන් පෙත්තක් සමඟ ඔහුට දුන්නේ ය. ඔහු එය අතට ගෙන පූජනී අතට වී හිඳින සිය සොහොයුරිය දෙස බැලූවේ ය. ඇය එක කුස උපන් තමන්ගේ එකම නැඟණිය බව සැබෑ ය. එහෙත් ඇගේ පියා සෝමදාස මහප්පා ය. එබැවින් ඇයත් තමාත් අතර යම් බැඳීමක් වෙත්නම් ඒ මව හා ඇති බැඳීම පමණක් නොවේදැයි දේවේන්ද්‍රට සිතුණි. තමන්ට නොලැබුණ අධ්‍යාපනය නැඟණියටවත් ලබා දිය හැකිනම් කොතරම් අගනේදැයි දේවේන්ද්‍ර සිතුවේ පාන් කෑල්ලක් හොඳිවල පොඟවා එය කුඩා නැඟණියගේ මුවට ළං කරන අතර ය.

"මගේ චූටි නංගිත් පාන් කෑල්ලක් කමු." දැරිය ද සිය සොහොයුරා අතින් පාන් කෑල්ල කටට ගත්තේ පුංචි කුරුලු පැටියෙකු විලස ය.

"මම මෙයාට පාන් කවන්නම්. අයියා කන්න." පූජනී ඔහු දෙස බලමින් පැවසුවා ය.

"අයියා අතින් කන්න මගේ නංගි ආසයි නේද පැටියෝ?" දේවේන්ද්‍ර දැරිය සුරතල් කරමින් අසන විට කුඩා දැරිය පාන් ඉල්ලන්නට මෙන් සිඟති මුව ඇරියා ය. දේවේන්ද්‍ර තවත් පාන් කැබැල්ලක් ගෙන හොඳිවල තවරා ඇගේ මුවෙහි තැබුවේ ය.

"මම මේ කල්පනා කරන්නේ පූජනී අපිට ඉගෙන ගන්න බැරිවුණ එකේ මේ තුන් හතර දෙනාටවත් උගන්වගන්න පුළුවන්නම් කියලා."

"මමත් හැම වෙලාවෙම හිතන්නේ ඔය ගැන තමයි අයියේ. ඒත් උන්ටත් කවදා හරි යන්න වෙන්නේ අපි ගිය බෝට්ටුවෙම තමයි."

"ඒකනම් එහෙම තමයි අපිට ඉගෙනීමේ අගය වැටහුණාට අපේ නූගත් වැඩිහිටියන්ට ඒ ගැන තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඇරත් ඒගොල්ලො ඒ දේවල් තේරුම් ගත්තත් ළමයින්ට උගන්වන්න තරම් ආර්ථිකමය තත්තවයක් ඒ අය ළඟ නැහැ."

"ඒකනම් එහෙම තමයි අයියේ." පූජනී කම්පිත ලෙස පවසමින් ඔහු දෙස බැලූවා ය. දේවේන්ද්‍ර ද ඇය දෙස බැලූවේ කම්පිතව ය. ඒ බැල්ම තුළ වූවේ කියා ගත නොහැකි වේදනාවකි.

"මම කල්පනා කරන්නේ මේගොල්ලන්ව හරියට අකුරක් ගලපාගෙන ලියන්න කියවන්න පුළුවන් වෙනකම්වත් ඉස්කෝලේ යවන්න පුළුවන්නම් කියලා." පූජනී කීවේ වචන බර කරමින් ය.

"ඔව් එහෙම හරි යවා ගන්න පුළුවන්නම් වටිනවා තමයි."

"ඒත් එයාලට ඕන ඉගෙන ගන්න නෙමෙයි දැන්මම හම්බ කරන්නනේ අයියේ," පූජනී කීවේ ශෝකාකූලව ය.

"මේ අය පව් පූජනී. එයාලට දැනෙන හැඟෙන දේ තමයි ඔය කියන්නේ. ඒගොල්ලන්ට ලොකුවටම දැනෙන එකම දේ බඩගින්න. ඔය අද පාන් කෑල්ලක් හරියට කන්න හම්බ වුණේ වේල් කීයකටද පස්සේද කියලා ඔයාම හිතලා බලන්න."

පූජනී බර සුසුමක් අතහැරියේ ඈත ආකාශය දෙස බලාගෙන ය. දේවේන්ද්‍ර පවසන පරිදි පෙරදා උදෑසන බිව් හාල් කැඳ කෝප්පයෙන් පසු මේ ඔවුන්ට කෑමක් ලැබුණා ම ය. තමන්ගේ පවුල පමණක් නොව මෙහි ජීවත් වන්නන්ගේ ජීවිත ද මීට වඩා වෙනස් නොවේ.

"අපිට මේ නරකාදියෙන් ගැලවීමක් ඇත්තෙම නැද්ද අයියේ?"

"ඒකම තමයි මමත් මේ හැම වෙලාවෙම හිතන්නේ. අපි එක්කෙනෙක්ට හරි මෙතැනින් ගැලවෙන්න පුළුවන්නම් අනික් අයවත් ගලවගන්න බැරි වෙන එකක් නැහැ. ඒත් කොහාමද එහෙම කරන්නේ කියලා හිතා ගන්න බැහැ පූජනී."

"මටනම් වෙලාවකට හිතයි අම්මලා වගේ ගෙයක වැඩකාරකමකට හරි යන්න." පූජනී කීවා නොව තමාටම කියා ගත්තා ය.

"උඹට පිස්සු ද බං?" දේවේන්ද්‍ර ඇසුවේ තැති ගත් විලසිනි.

"ඔව් වෙලාවකට මට පිස්සුත් ඇති." පූජනී කෝපයෙන් කීවා ය.

"ගෙවල්වල වැඩකාරකමටවත් උඹලා අපි වගේ වයසින් අඩු පොඩි උන් ගන්නේ නැහැ පූජනී."

"මෙයා දන්න දේවල් අප්පා," පූජනී කීවේ පාන් කෑල්ලක් කන ගමන් ය.

"මේ රටේ නීතියට අනුව පොඩි වයසේ ළමයි මෙහෙකාරකමට ගන්නේ නැහැ," පැවසූ දේවේන්ද්‍ර මඳක් කල්පනා කරන්නට වූවේ ය.

"අද අයියා වැඩක්පලක් හොයා ගන්න යන්නේ නැතෙයි?" පූජනී හදිසියේ යමක් සිහිවූ පරිදි ඇසුවා ය.

"යන්න නම් ඕන." දේවෙන්ද්‍ර පිළිතුරු දුන්නේ පෙර හුන් කල්පනාවෙන්ම ය.

"මම මේ කල්පනා කෙරුවේ පූජනී. සල්ලි ටිකක් හොයාගෙන නිකවැරටියේ බාප්පා ළඟට යන්න කියලා." ඔහු කී වදන් ඇසුණ පූජනී තිගැස්සී මෙන් ඔහු දෙස බැලූවා ය.

"ඒ මක්කටද දේවේන්ද්‍ර අයියා නිකවැරටි යන්න හිතුවේ හදිසියේ?"

"බාප්පාගේ හේනේ කුඹුරේ වැඩට හරි උදව් වෙලා කීයක් හරි හොයා ගන්න පුළුවන් නේ."

ඇය එයට කිසිත් නොකීවා ය. ඇගේ නිහඬබව ඔහුට ගෙන දුන්නේ සන්තාපයකි. ඇය තමා නිකවැරටි යාම ගැන සිතා දුකට පත්ව ඇතැයි සිතු දේවේන්ද්‍ර හඬ අවදි කළේ ය.

"මම නිකවැරටි යනව කිව්වාම පූජනීට දුකයි නේද?"

"ඔව්," පූජනී කෙටියෙන් උත්තර දුන්නා ය.

"මම එහෙම ගියත් අද හෙටම යන්නේ නැහැ බං. උඹ හිත සංකා කර නොගෙන හිටපන්. හැබැයි ගියාට පස්සේ දෙතුන් මාසයකට සැරයක් තමයි එන්න වෙන්නේ." දේවේන්ද්‍ර එවදන් පවසා නිම වන්නට පෙර නිවස දෙසින් ඇසුණේ පූජනී ගේ මලණුවන් හඬන ශබ්දය යි.

පූජනී පිඟාන පසෙකලා නැඟණියත් රැගෙන එදෙසට දිව ගියා ය.



නවකතාවේ හතරවෙනි කොටස: ලබන සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.

- සශිකා නිරෝෂි මහලියනගේ
sashikamahaliyanage@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

මල් සිත් - මාලතී රූපිකා පුංචිහේවා



අළුත් බෝනික්කා
ඇසුරුම තුළ...

අත කැඩුණු
බෝනික්කා
තුරුලට ගෙන
නිදි යහන වෙත
පිය නඟන දියණිය...

- මාලතී රූපිකා පුංචිහේවා
malirupi17@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Friday, 20 November 2026

ඔයා මට හීනෙනුත් රැව්වා - කැළුම් චතුරංග



ඇයි ඔච්චර මහත් වෙලා
ජිම් එකකටවත් යන්නෙ නැද්ද?
මම ඔයාගෙන් ඇහුවා
ජිම් යන්න!
ඔයා මට හීනෙනුත් රැව්වා.
තම්බගෙන බතක්, කරියක්
තුන් වේල කන එක ම කලාවක්
ඔයා මට බැණ බැණ ම කිව්වා.

සේකරගේ "ප්‍රබුද්ධ" මං ළඟ තිබුණා
යසෝදාට ඔයා කැමති නැති බව මට කිව්වා
අහිංසක හිනාවක් එක්කම.

මාවත් ඇදගෙන දවසක්
ගම්පහ "මේඛලා" එකට
"ආදරණීය වස්සානය" බලන්න ඔයා ගියා
මතකද,
කඳුළු ඇස් දෙකේ පුරෝගෙන ඔයා මං දිහා බැලුවා?

අහම්බෙන් ලිප්ටන් වටරවුමෙදි
මං ඔයාව දැක්කා
හොඳටම මහත් වෙලා!
ඉස්සරහින් ආව යාචකයෙකුට
බෑගයෙන් අරන් රුපියල් සීයක් දුන්නා
චූටි මල් හිනාවකුත් එක්කම
හිත හැදෙන්න ආදරෙන් කතා කළා.
වටරවුම පහුවෙද්දී
ඔයා පාර පැනලා ගිහින්.
කැබින් එකේ පන්දාහේ කොළ වගයක්
මට සරදමට හිනාවුණා!

- කැළුම් චතුරංග
akvchathuranga@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Thursday, 19 November 2026

තණ අග පණ බිඳු - පත්මසිරි ප්‍රනාන්දු



මගේ හිස මත ඇති විදුලි පංකාව භ්‍රමණය වන්නේ විදුලි වේගයෙන්. සිවිලිමේ ඇති මකුළු දැලක පැටලුණු පුංචි සතෙක් ඒ වේගයට ඔරොත්තු දීගත නොහැකි ව වෙව්ලමින් ඉන්නවා. තව මොහොතකින් එන මකුළුවාට අර පුංචි සතා බිලිවෙනවා. ඉතිරි වෙන්නේ ලේ උරා බිවු රොඩ්ඩ පමණයි.

"දෙයියනේ අපේ ජීවිතත් ඒ වගේ ම නේ?"

කඩදාසි කොළ කිහිපයක් සුළගේ යන්නට වුණා. හරියට මට සමච්චල් කරන්න වගේ. "අනේ මම මෙතන නොවේ නම් කීතු කීතු කරල දානවා."

"අයිසේ වීරසේන තමුසෙගේ කණත් දැන් ඇහෙන් නෑ නේද?" මගේ සිතුවිලි ලෝකය බිම් බෝම්බයකට හසුවුණා වගේ පිපිරී දෙදුරුම් කෑවා.

"සර්," මම යන්තමින් මිමිනුවා. "සර්," මගේ වචන මට ඔලොක්කුවට හිනාවුණා. "නෑ සර්, සර් වැඩක් හින්දයි මම මෙහෙම හිටියේ," බැගෑපත් වුණා මම.

උපැස් යුවළ මේසය පසකින් තබු ලොක්කා රැවුල මදක් අතගා මගේ දිහාවට හැරුණේ තමන්ගේ අතට අසුවුණු මී පැටවකු ඩැහැගත් බළලකු ස්වරූපයෙන්. "අයිසේ වීරසේන හැමදාම මෙහෙම වැඩ කරන්න බැහැනේ? අයිසේ බලනවා දැන් තමුසෙගේ වැඩ කිසි කමකට නෑනේ? නමුත් ඉස්සර කොච්චර හොදට වැඩ කරපු මිනිහෙක්ද? බැන්දා විතරයි ඔක්කොම ඉවරයි. කියනවා මොක ද වයිෆ්ගෙන් කරදර ද?"

"නැහැ නැහැ සර්," ඒ අහිංසක ගෑනිව අල්ලන්න පුළුවන් ද? "එහෙම එකක් නැහැ සර්,"

"එහෙනන් මොකක්ද අයිසේ තමුසෙට තියෙන ප්‍රශ්නේ? ඇයි දැන් තමුසෙගෙ වැඩ මෙච්චර ප්‍රමාද?"

ලොක්කාගේ ගෝරනාඩුවට ඉවසාගෙන ඉන්නට බැරි නිසා මම, "නෑ ඕන දෙයක් වෙච්චදෙන්, අද ලොක්කට මගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරනවා," කියල හිතුවා.

"මේකයි සර්..." මුමුණන්න ගත්තා මම.

ඒත් ඊළඟ මොහොතේ ටෙලිෆෝනය ඉඩ දුන්නේ නැහැ එයට.

රිසීවරය අතට ගත් ලොක්කා "හලෝ..." තවත් මොහොතක දී "යස් සර්..."

වීදුරු කුටියෙන් එළියට යන්නට ලොක්කා මට අතින් සංඥාවක් දුන්නා. මගේ දුක් ගැනවිල්ල ලත්තැනම ලොප්වුණා.

මම වීදුරු කුටියෙන් එළියට ආවේ රටක් රාජ්‍යයක් අහිමි වුණු ලෙසින්, කන්තොරුවේ ලියන මේසයේ හිටිය එකා දෙන්නා මට හොරෙන් මගේ දිහා බලනවා දැක්කා මම.

කෙළින්ම ආ මම මේසය මත ලිපිගොනු දිහා බැලුවා. මට ම පුදුමයි. වෙනදා මගේ මේසය මත ලිපිගොනු නිස්කාරණේ ළතවෙමින් තිබුණේ නෑ. මේසය මත ගුලිවුණු කොළ කැබලි තිබුණේ නැහැ. මට මා ගැන සිහින් ලැජ්ජාවක් ඇතිවුණා. වාඩිවුණා මගේ පුටුවේ මම. පටන් ගත්තා ශුද්ධ පවිත්‍ර කරන්ට පළමුව මගේ මේසය. ඈත කොනේ හිටිය අපේ කාර්යාලයේ පියන් ඥානසේන දුවගෙන ආවා මා ළඟට. "වීරසේන මහත්තයා නිකං ඉන්න. මම අස් කරලා දෙන්නම්." මගේ මේසය ඔහු පවර ගත්තා.

"වීරේ යමු ද තේ එකක් බොන්ට?" මා පසුපස හැරී බැලුවා. දයා.

"යමු!"

"සර්, මට පෝරේසස් එකක්," ඥානසේන ඉල්ලීමක් කළා.

"යමන් ඔන්න අද මගේ ගානේ," දයා තේ ඕඩර් කළා.

"ඒක හොදයි බැරි වෙලාවත් මට තේ ගන්න උනානම් වස ලැජ්ජාව, බස් ගාස්තුව විතරයි අතේ තියෙන්නේ," එහෙම හිතුණා මට.

තේ කෝප්පය තොල ගාන ගමන් "කියාපන්, කියාපන් වීරේ මොකද්ද උඹට තියෙන ප්‍රශ්න," දයා බොහොම හෘදයාංගම ලෙස අහනවා.

"උඹ දන්නවනේ මේව ගැන හිතල ම වැඩ අතපසු වෙලා. ලොක්කගෙන් බැණුම්, මචං පොඩි එකා හැම තිස්සේ ම අසනීපෙන්, වයිෆ්ට ජීවිත කාලෙටම හොඳ නොවෙන ඔළුවේ කැක්කුමක්. තව සුමානෙකින් මඟුල් මුද්ද උගසට සින්න වෙනවා. ඔන්න මචං මට තියෙන ප්‍රශ්න. මේවා ගැන හිතල ම මට දැන් ජීවිතෙත් එපා වෙලා."

"ගණන් ගන්න එපා මස්සිනා. අපිටත් වඩා අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු තව කොච්චර නම් ඉන්නවා ද? ට්‍රයි කරපන් වෙඩිං රිං එක බේරගන්න," අවසාන තේ උගුර කටේ හලාගන්න ගමන් දයා කියනවා.

ඇත්තට ම අපට වඩා ජීවිතේ ගැට ගහගන්න අමාරුවෙන් දඟලන මිනිස්සු මේ පුංචි රටේ කොතරම් ඇද්ද? අඩු ම තරමේ මාසේ අන්තිමට කීයක් හරි මීට මොලවා ගන්න තරමේ රස්සාවක් අපට තියෙනවා. ඒත් ඒකත් නැති ගස්ගෙඩි කඩන මිනිස්සු, කුලී වැඩ කරන මිනිස්සු, මොනතරම් අමාරුවෙන් ද ජීවත් වෙන්නේ.

"මහත්තය මාව යවල පොල් කැඩෙව්වාට දැන් සමහරක් ආණ්ඩුවේ මහත්තුරු පොල් කඩාගන්නේ ඒ ගොල්ලන්මයි," දවසක් ගෙදර තියෙන පොල්ගස් දෙකේ පොල් කඩන්න ආපු සිරිදාස කියූ අයුරු මතක් වෙනවා මට.

ඒ කතාව මොනතරම් ඇත්තක් ද කියල සිරිදාසම හිතාගන්න ඇත්තේ, ඊළඟ මාසේ පොල් කඩන්න ආවම "මොකද ගහේ පොල් නැත්තේ? පහුගිය සුමානෙ චාලි මේ පැත්තේ ආවද?" යි සිරිදාස සිය සගයා ගැන විපරම් කරද්දී මම එළියටවත් නාවේ සිරිදාසගේ බඩට ගැහුවා කියන හැඟීම මගේ හිත මුදුනට ආපු නිසාවෙන්.

"සර් මේ පයිල් එක සී. සී. මහත්මයා දෙන්න කිව්වා," ඥානසේනගේ හඬින් අවදි වුණ මම, "හ්ම්, ආ... ඊළඟ සැරේ එනකොට අද පත්තරේ ගේන්න ඥානසේන." යැයි කිව්වා.

"හ්ම් හොඳමයි සර්."

දහවල් කෑම විවේකය එන තෙක් ම මේසය මත වූ ලිපිගොනු එකින් එක බලා රාජකාරි නිම කරන්නට හැකිවුණා මට. මගේ හිතට දැනුණේ කාලෙක දී නොලැබූ සතුටක්, "කාර්යක්ෂම සේවය. හ්ම්."

මම පත්තරය අතට ගෙන අරමුණක් නොමැතිව කියවන්නට පටන් ගත්තා. මොනව ද කියවන්න තියෙන්නෙ? වෙනදා පත්තරේ අග පිටුවේ තිබ්බ දෑ සියල්ල ම මුල් පිටුවට ඇවිත්, මල පත්තරයක්. කී දාහකගෙ මරණ එක ම පිටුවක ගොනු කරලා ද? බුදුහාමුදුරුවොයි, ක්‍රිස්තුස්වහන්සේයි, මහමද්තුමයි එකවිට පහළ වුණත් පුළුවන් වේවි ද මේ මරණ නවත්තන්න? ධර්මය අධර්මය වෙලා.

මේ අතරින් විසිරී ගිය මගේ දෙනෙත් වචන දෙකක් වෙත එක වේගයෙන් නතරවුණා. අලුත් අරමුණක්. "ලේ ඕනෑ." සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්, හදිසි අනතුරක්, සල්ලි, ලේ ඕනෑ. තවත් පමාවෙන්න නරකයි. ගෙදර ප්‍රශ්න විසඳගන්න පොටක් පෑදීගෙන එනවා. මඟුල් මුද්ද මාත් එක්ක හිනාවුණා.

කෙටි නිවාඩුවක් ලබාගත් මා කෙළින් ම ගියේ මහ ඉස්පිරිතාලෙට.

"අනේ බුදු මහත්තයෝ මගේ පුතා සනීප කරල දෙන්න. අපේ පවුල රක්ෂා කරන්නෙ ඔය ළමයා." වයසක ගැහැනියකගේ විලාපයට මම පොඩ්ඩක් හැරිල බැලුවා.

"මොකද ඒ?" මම අසල සිටි හෙදියකගෙන් ඇහුවා.

"ලොකු ඇක්සිඩන්ට් එකක්, එයාගෙ ලෙඩාට අන්තිමයි. ලේ ඕනෑ. කවුරු ලේ දෙන්න ද, මැරිල යයි."

"මොකක් ද වර්ගය?"

"ඕ පොසිටිව්."

"දෙයියනේ! මුදලාලිගෙ පුතාගෙ ජාතියමයි."

"මහත්තයා හරි ද?" මුදලාලි කලබලයෙන් අහනවා.

"අනේ බුදු මහත්තුරු කවුරුවත් නෑ මගේ පුතාව සනීප කරල දෙන්න. හයියෝ අපි ඉඳල වැඩක් නෑ, පුතාට මොනවහරි වුණොත්," අම්මාගේ විලාපය මගේ සවන් මත යගුලියකින් ගසන්නා සේ දැනෙනවා.

"මහත්තය ඉක්මන් කරමු." සල්ලි දැමූ ලියුම් කවරයක් අතේ තියාගෙන මුදලාලි.

"මගේ ඇඟේ තියෙන ලේ කළඳ හරි අරගෙන පුතාට දෙන්න මහත්තයෝ." අම්මගේ විලාපය තවමත්.

විවේකාගාරයෙන් එළියට ආ මම වටපිට බැලුවේ මඳක් අපහසුවෙන්.

"මහත්තයා කරපු උදව්ව අමතක කරන්නැහැ. නිවාඩු වෙලාවක අපේ ගෙදර එන්න." ලියුම් කවරයක් මගේ සාක්කුවට දාන ගමන් මුදලාලි කියනවා.

"විලියම් මේ මහත්තයා ගෙදරට ඇරලලා එනවා." සුඛෝපභෝගී බෙන්ස් රථයක් දෙසට අත දිගුකළ මුදලාලි, "එහෙනම් මහත්තයා පස්සෙ මුණ ගැසෙමු!"

මළ මිනියක් සේ ඇවිදගෙන ආ මා බෙන්ස් රථයට ගොඩවුණා. සාක්කුවේ තිබුණ ලියුම් කවරය රුපියල් පන්දාහේ කොළ දෙකක් මා දෙස බලා හිනාවුණා. මාත් හිනාවුණා.

"මගේ පුතාව බේරගන්න කවුරුවත් නෑ." වයසක අම්මා තමා දැන සිටි සත්‍යය කෑ ගහල කියන හඬ ඒ අතරින් මට ඇහෙන්න ගත්තා.

- පත්මසිරි ප්‍රනාන්දු
pathmafdo@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

දහම කියවීම, භාවනා වැඩීම සහ ජීවිතයට අදාළ කරගැනීම - පරිවර්තනය හා විවරණය: ජනක ධර්මබන්ධු



ඕස්ට්‍රේලියාවේ SuttaCentral ව්‍යාපෘතියේ භන්තේ සුජාතෝ හිමියන්ගේ සංවාදයක් ඇසුරෙන් ලියූ විවරණයකි.

පූර්විකාව

පර්ත් නගරයේ දී, 1966 දී, උපත ලැබූ, උපන් නමින් Anthony Best වූ භන්තේ සුජාතෝ, 1986 දී පර්ත්හි රොක් සංගීත කණ්ඩායමක් වූ Martha’s Vineyard ආරම්භ කළහ. එය හුදෙක් දේශීය අවන්හල්වල සංගීතය සැපයූ කණ්ඩායමක් පමණක් නොවී ය. අසූව දශකයේ අග භාගයේ සහ අනූව දශකයේ මුල් භාගයේ දී ඕස්ට්‍රේලියානු ජනප්‍රිය සංගීත ක්ෂේත්‍රයේ සැලකිය යුතු ස්ථානයක් එම කණ්ඩායමට හිමිව තිබිණි. The Triffids, The Go-Betweens, Paul Kelly, INXS, Eurythmics සහ Simply Red වැනි ප්‍රකට සංගීත ශිල්පීන් හා කණ්ඩායම් ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග පැවැත්වූ අවස්ථාවල, ඔවුන්ගේ සහායක සංගීත කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට Martha’s Vineyard කණ්ඩායමට නිතර අවස්ථා ලැබිණි.

වර්ෂ 1994 දී භන්තේ සුජාතෝ සිය සංගීත වෘත්තිය අතහැර Wat Banana හි බෞද්ධ භික්ෂුවක් බවට පත්වූහ. වසර කිහිපයකට පසු උන්වහන්සේ නැවත පර්ත් නගරයට පැමිණ, Bodhinyana Monastery හි අජාන් බ්‍රහ්ම් හිමියන් යටතේ අධ්‍යයනය කළහ. ඉන් අනතුරුව, 2003 දී නිව් සවුත් වේල්ස්හි Santi Forest Monastery ආරම්භ කළහ.

අද එය මුල් බෞද්ධ ග්‍රන්ථ අධ්‍යයනය සඳහා වැදගත් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

සම්පූර්ණ, නිරවද්‍ය සහ සරල ඉංග්‍රීසියෙන් කළ බුදුදහම සම්බන්ධ පාලි ග්‍රන්ථ පරිවර්තනයක් සියලු දෙනාටම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකි විය යුතු බව 2015 දී වටහාගත් උන්වහන්සේ, එම දැවැන්ත කාර්යයට අත ගැසූහ. ඒ Rob Bucknell සහ John Kelly සමඟ එක්ව SuttaCentral ආරම්භකිරීමෙනි. වසර තුනකට ආසන්න කාලයක් හුදෙකලාව ගත කරමින් එම කාර්යයේ නිරත වූ උන්වහන්සේ, 2018 වන විට ප්‍රධාන නිකාය හතරේ පරිවර්තන සම්පූර්ණ කළ අතර, 2021 වන විට ඛුද්දක නිකායේ මුල් ග්‍රන්ථවල පරිවර්තන ද නිම කළහ.

අද SuttaCentral (https://suttacentral.net/) මුල් බෞද්ධ ග්‍රන්ථ අධ්‍යයනය සඳහා වැදගත් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

භන්තේ සුජාතෝ 2019 දී සිඩ්නි නගරයට ගොස් Lokanta Vihara පිහිටුවූහ. දේශගුණික විපර්යාස, ගෝලීයකරණය වූ පරිභෝජනය, පාරිභෝගිකවාදය සහ දේශපාලන කැළඹීම්වලින් හැඩගැසෙන වර්තමාන යුගයක, බෞද්ධ ඉගැන්වීම් අනුව ජීවත්වීම යනු කුමක්දැයි ගවේෂණය කිරීම එහි එක් ප්‍රධාන අරමුණකි.

මේ ලිපිය සම්පාදනය කර ඇත්තේ 2026 සැප්තැම්බර් මාසයේ දී භන්තේ සුජාතෝ හිමියන් බුදුදහම පිළිබඳ Clear Mountain Monastery Podcast YouTube නාලිකාවේ අජාන් කොවිලෝ හිමියන් සමඟ පැවැත්වූ සංවාදයක් ඇසුරෙනි.

එම YouTube වීඩියෝව (https://youtu.be/dJvntE6aw-s) නරඹන ලෙස මම ඔබට උනන්දුවෙන් නිර්දේශ කරමි.



01. හැඳින්වීම

බුදුදහම ගැන කතා කරන විට අපට නිතර හමුවන්නේ පැති දෙකකි. එක් පැත්තක පොතපත, පාලි වචන සහ පරම්පරාවෙන් ලැබුණු විවරණ තිබේ. අනෙක් පැත්තේ භාවනාව, සිතේ ඇති වන වෙනස්කම් සහ ජීවිතයේ දුක සමඟ කටයුතු කිරීම තිබේ. මේ දෙක එකිනෙකට සම්බන්ධ කරගන්නේ කෙසේද? පොතක සඳහන් දෙයක් ගැන ප්‍රශ්න කිරීම ශ්‍රද්ධාවට හානියක් ද? එසේත් නැතිනම් ධර්මය වඩා හොඳින් තේරුම් ගැනීමට එය උපකාරයක් ද?

මේ යූටියුබ් සංවාදයේදී භන්තේ සුජාතෝ හිමියන් මේ ප්‍රශ්න වෙත පිවිසෙන්නේ සූත්‍ර පරිවර්තකයකු මෙන්ම භාවනාවට කැපවුණු භික්ෂුවක ලෙස ය. උන්වහන්සේගේ අදහස්වල වැදගත්කම ඇත්තේ පැරණි ග්‍රන්ථවලට විරුද්ධව නව මතයක් ඉදිරිපත් කිරීම තුළ නොවේ. සූත්‍රවලට ගරු කරන අතරම ඒවා විමසා බැලීමටත්, සම්ප්‍රදායෙන් ප්‍රයෝජන ගන්නා අතරම එයට කොටු නොවීමටත්, ධර්මය හුදු දැනුමකට පමණක් සීමා නොකර ජීවිතයට අදාළ කරගැනීමටත් හැකි බව පෙන්වා දීම තුළ ය.

02. පොතට පෙර පැමිණි අත්දැකීම

සුජාතෝ හිමියන්ගේ ධර්ම ගමන මුලින්ම ආරම්භ වූයේ විශාල පොත් ගොඩක් කියවීමෙන් නොව, තායිලන්තයේ මාසයක භාවනා වැඩසටහනකට සහභාගිවීමෙනි. එහි දී තමන්ට ලැබුණේ ඉතා සරල උපදෙස් කිහිපයක් පමණක් වූ බව උන්වහන්සේ සිහිපත් කරති. හිඳගන්නා ආකාරය, උදරයේ චලනය කෙරෙහි අවධානය යොමු කිරීම සහ තම අත්දැකීම් දැන හඳුනාගැනීම වැනි දේ ඉගැන්වූ නමුත්, විශාල න්‍යායික පද්ධතියක් මුලින්ම ඉදිරිපත් කර තිබුණේ නැත. එහි සිටි ගුරුවරු සුජාතෝ හිමියන් උනන්දු කළේ භාවනා කිරීමට ය.

ඉන්පසු කියවීමට ලැබුණු පොත් කිහිපයකට වඩා සූත්‍ර කියවීම උන්වහන්සේගේ සිතට තදින් දැනුණි. සියල්ල තේරුණේ නැත. එහෙත් ඒවායේ කිසියම් සජීවී බවක් උන්වහන්සේට දැනුණි. කවුරුන් හෝ තමන් අත්විඳි දෙයක් ඉතා සෘජුව පවසනවා වැනි හැඟීමක් එහි තිබිණි. උන්වහන්සේ මෙය ඉදිරිපත් කරන්නේ තමන්ට ඇති වූ පෞද්ගලික ආකර්ෂණයක් ලෙස මිස, සූත්‍රවල ඓතිහාසික සත්‍යතාව තහවුරු කරන සාක්ෂියක් ලෙස නොවේ.

කියවීම ඉදිරියට යන විට ප්‍රශ්න ද මතුවිය. භාවනා වැඩසටහන්වල නිතර ඇසෙන අවධාරණයන් සහ සූත්‍රවල නිතර හමුවන අවධාරණයන් හැමවිටම එක සමාන ලෙස පෙනුණේ නැත. විශේෂයෙන් ධ්‍යානය පිළිබඳ සූත්‍රවල දක්වා ඇති අවධාරණය උන්වහන්සේගේ අවධානයට ලක්විය. එතැන් සිට භාවනාව සහ සූත්‍ර කියවීම වෙනම කටයුතු දෙකක් නොව, එකිනෙක විමසා බලන මාර්ග දෙකක් බවට පත්විය.

03. ධර්මය කාටත් විවෘත කිරීම

SuttaCentral බිහිවීම ගැන උන්වහන්සේ කරන ප්‍රකාශය ද මේ විමසුමට සම්බන්ධ ය. මුලින්ම තිබුණේ පාලි සූත්‍ර සහ චීන භාෂාවෙන් සුරැකුණු ඒවාට සමාන දේශනා එකිනෙකට ගලපා බැලීමට සකස් කළ වගු ය. ඒවා පොතක් ලෙස පළ කරනවාට වඩා වෙබ් අඩවියක තැබීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතීමෙන් මෙම කාර්යය ආරම්භවිය. පසුව වෙනත් වෙබ් අඩවිවලට ලබා දුන් සබැඳි ක්‍රියා නොකරන විට, පාඨ තමන්ගේම වෙබ් අඩවියේ සුරැකීමේ අවශ්‍යතාව ද මතුවිය.

ඒ සමඟ තවත් අරමුණක් පැහැදිලිවිය. ධර්මය කියවීමට කැමැති කෙනකුට එය පහසුවෙන්, නොමිලේ සහ තේරුම්ගත හැකි භාෂාවකින් ලබාගත හැකි විය යුතු ය. උන්වහන්සේගේ පරිවර්තන කටයුතුවලදී නිරවද්‍යතාව මෙන්ම, එකම අදහස හැකි තරම් සංගත ලෙස ඉදිරිපත් කිරීම ද වැදගත්විය. එකම පාලි යෙදුම එකම අර්ථයෙන් නැවත, නැවත යෙදෙන විට, එය සෑම තැනකම වෙනස් ලෙස පරිවර්තනය කිරීමෙන් මුල් පාඨයේ නොතිබූ වෙනසක් පාඨකයාට පෙනෙන්නට පුළුවන.

එයින් අදහස් කරන්නේ සෑම වචනයක්ම සෑම තැනකදීම එකම ඉංග්‍රීසි වචනයකින් පරිවර්තනය කළ යුතු බව නොවේ. අවධානය යොමු වන්නේ එකම අදහස ප්‍රකාශ කරන යෙදුම්වල අර්ථ සම්බන්ධතාව රැකගැනීම කෙරෙහි ය. ඩිජිටල් තාක්ෂණය නිසා එය එක් පොතකට සීමා නොකර විශාල පාඨ එකතුවක් පුරා ක්‍රියාත්මක කළ හැකි බව උන්වහන්සේ පෙන්වා දෙති. මෙහි යටින් ඇත්තේ ධර්මය තවත් විශාල පිරිසකට ළඟා කරවීමේ උත්සාහයකි.

04. එකම දේශනාවේ විවිධ සටහන්

සංවාදයේ ඊළඟ වැදගත් කරුණ වන්නේ සූත්‍ර අප වෙත පැමිණි ආකාරයයි. සුජාතෝ හිමියන් පැහැදිලි කරන පරිදි, මුල් බෞද්ධ ප්‍රජාව දේශනා මතක තබාගෙන පවත්වාගෙන ගිය අතර, එම ක්‍රියාවලියේදී යම් වෙනස්කම් ඇති වීමට ඉඩ තිබිණි. පසුව විවිධ සම්ප්‍රදායන් තම තමන්ගේ පාඨ එකතු සකස් කළහ. ශ්‍රී ලංකාවේ සුරැකුණු පාලි සම්ප්‍රදාය ඒ අතර අපට වඩාත් හුරුපුරුදු එකකි. චීන භාෂාවෙන් සුරැකුණු ආගමික පාඨවල ද ඒවාට සමාන්තර දේශනා හමුවන බව උන්වහන්සේ විස්තර කරති.

මෙවැනි දේශනා දෙකක් පැත්තෙන් පැත්ත තබා කියවීමෙන් සමානකම් මෙන්ම වෙනස්කම් ද පෙනෙයි. සුජාතෝ හිමියන්ට වඩාත් වැදගත් වන්නේ වෙනස්කම් පමණක් නොව, විවිධ මාර්ගවලින් සුරැකුණු පාඨ අතර පොදු ඉගැන්වීමක් හඳුනාගත හැකිවීම ය. තමන් කළ අධ්‍යයන නිසා පාලි සූත්‍රවල මුල් බෞද්ධ ඉගැන්වීම් සුරැකී ඇති බවට තිබූ විශ්වාසය අඩුවූවාට වඩා වැඩි වූ බව ද උන්වහන්සේ කියති.

එහෙත් මෙහි සීමාවක් තිබේ. පාඨ දෙකක් සමාන වූ පමණින් ඒවායේ සෑම වචනයක්ම බුදුරජාණන් වහන්සේගේ මුවින් එලෙසම පිටවූ බව තහවුරු කළ නොහැක. උන්වහන්සේ පැහැදිලිව කියන්නේ මෙවැනි සැසඳීම්වලින් වඩාත් විශ්වාසයෙන් ළඟා විය හැක්කේ එම පාඨ සම්ප්‍රදායන් එකිනෙකින් වෙන්වීමට පෙර පැවති පොදු අවධියකට බව ය. එය බුද්ධ කාලය වෙත සෘජුව ම ළඟා වීමකට සමාන නොවේ.

මෙම පර්යේෂණ ක්‍රමය බටහිර විද්වතුන්ගේ කටයුත්තක් පමණක් ලෙස දැකීමත් උන්වහන්සේ ප්‍රශ්න කරති. ජපන් සහ තායිවාන විද්වතුන්ගේ කාර්යයන් ද ඒ සඳහා වැදගත් පදනමක් සැපයූ බව සංවාදයේදී සිහිපත් කරති. මෙතැනින් මතුවන්නේ තම සම්ප්‍රදායට ආදරය කිරීම සහ වෙනත් සම්ප්‍රදායකින් ඉගෙනගැනීම එකිනෙකට විරුද්ධ විය යුතු නැති බව ය.

05. සතිපට්ඨානය ගැන නැවත සිතීම

සතිපට්ඨාන සූත්‍රය ගැන උන්වහන්සේ ඉදිරිපත් කරන කියවීම සංවාදයේ වඩාත් සිතන්නට සලස්වන කොටසකි. කාය, වේදනා, චිත්ත සහ ධම්ම යන සතර සතිපට්ඨාන යටතේ භාවනා විෂයයන් ඉදිරිපත් කෙරෙන ආකාරය උන්වහන්සේ සාකච්ඡා කරති. තමන්ගේ සැසඳීමේ දී වැදගත් වූයේ එක් එක් භාවනා ක්‍රමය පමණක් නොව, ඒවා එකට ගොනුකර ඇති පිළිවෙළ සහ නැවත නැවත යෙදෙන වාක්‍ය ඛණ්ඩයන් ද බව පැවසේ.

අපට ලැබී ඇති පාලි සතිපට්ඨාන සූත්‍රයේ සැකැස්ම පසුකාලීනව වර්ධනය වූ එකක් විය හැකි බව උන්වහන්සේගේ අදහසයි. මෙය හොඳින් වෙන්කර තේරුම්ගත යුතු කරුණකි. උන්වහන්සේ කියන්නේ එහි ඇති සියලුම භාවනා උපදෙස් පසුකාලීනව නිපදවූ බව නොවේ. පැරණි ඉගැන්වීම් කිහිපයක් එකට සකස් කර ඇති ආකාරය පසුකාලීනව ඇති වූවක් විය හැකි බව ය. අන්තර්ගතයේ පැරණිකම සහ එහි වර්තමාන සැකැස්මේ පැරණිකම යනු එකම ප්‍රශ්නයක් නොවේ.

විශේෂයෙන් හටගැනීම හා නැතිවීම නිරීක්ෂණය කිරීමට දෙන උපදෙස් සෑම කොටසකටම නැවත යෙදීමෙන්, භාවනාවේ සෑම පියවරක දී ම විදර්ශනාව එකම ආකාරයකින් කළ යුතු යැයි හැඟීමක් ඇති විය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙති. වෙනත් සමාන්තර පාඨවල එම සැකැස්ම එලෙසම නොපෙනෙන බවත්, එය තමන්ගේ භාවනා අවබෝධය නැවත සලකා බැලීමට හේතු වූ බවත් කියති.

උන්වහන්සේගේ කියවීමේ දී මුල් කොටස්වල සිත සන්සුන් කිරීම, ප්‍රසන්න කිරීම සහ එකඟ කිරීම වැනි පැතිවලට වැඩි ඉඩක් ලැබෙයි. අනිත්‍යතාව පිළිබඳ විමසුම පසුව වඩා පැහැදිලිව ඉදිරියට එයි. ආනාපානසති භාවනාව පිළිබඳ විස්තරය ද මේ අදහස සමඟ සම්බන්ධ කර බලති. එහෙත් මෙය සෑම කෙනකුටම අදාළ වන දැඩි අනුපිළිවෙලක් බව හෝ මුල් අවධියේ අනිත්‍යතාව දැකීම වැරදි බව හෝ උන්වහන්සේ නොකියති.

මෙතැනින් මතුවන පුළුල් අදහසවන්නේ පාඨයක සැකැස්ම අපේ භාවනා අවබෝධයට බලපෑ හැකි බව ය. එහෙත් පාඨ දෙකක වෙනසක් දුටු පමණින් එකක් ඉවත දැමීම ද උන්වහන්සේගේ ක්‍රමය නොවේ. අනෙක් දේශනා සමඟ එය සම්බන්ධ වන ආකාරය ද බැලිය යුතු ය. සතිපට්ඨානය පිළිබඳ මේ අදහස් සංවාදයේ ඉදිරිපත් වන්නේ සුජාතෝ හිමියන්ගේ අධ්‍යයනයෙන් පැමිණි නිගමන ලෙස මිස, සියල්ලන්ම එකඟ වූ අවසාන තීන්දුවක් ලෙස නොවේ.

06. විමසීමෙන් ශ්‍රද්ධාව බිඳෙනවා ද?

පැරණි පාඨයක ඇති වෙනස්කම් ගැන දැනගැනීම ඇතැම් අයට අපහසුවක් විය හැක. තමන් විශ්වාස කළ දේ ගැන සැකයක් ඇති වීමෙන් භාවනාවට තිබූ උනන්දුවත් අඩු විය හැකිදැයි සංවාදයේදී ප්‍රශ්නයක් නැඟෙයි. සුජාතෝ හිමියන්ගේ පිළිතුර සියලු දෙනාටම එකම අධ්‍යයන වැඩසටහනක් නියම කිරීම නොවේ. කෙනකුට එවැනි විමසුමක් ප්‍රයෝජනවත් විය හැකි අතර, තවත් කෙනකුට එය අවශ්‍ය නොවිය හැක. සෑම භාවනා කරන්නකුම පාඨ පර්යේෂකයකු විය යුතු නැත.

විමසීමෙන් ශ්‍රද්ධාව දුර්වලවීම පමණක් නොව, එය නැවත ශක්තිමත්වීමත් සිදුවිය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙති. කාන්තාවන් අවමානයට ලක් කරන ආකාරයේ යෙදුමක් කියවූ කාන්තාවකට ධර්මය පිළිබඳ අපහසුවක් ඇතිවිය හැකි බව උදාහරණයක් ලෙස ගනිති. එම පාඨය වෙනත් සමාන්තර එකතුවල හමුනොවන බව දැනගැනීමෙන්, ඇයට එය වෙනත් ආකාරයකින් තේරුම් ගැනීමට ඉඩ සැලසෙනු ඇතැයි උන්වහන්සේ කියති. මෙහිදී ශ්‍රද්ධාව යනු ප්‍රශ්නවලින් ආරක්ෂා කර තැබිය යුතු දෙයක් නොව, විමසීමට ශක්තිය ලබා දෙන දෙයක් ලෙස පෙනෙයි.

සාමාන්‍ය පාඨකයාට සහ ධර්මය උගන්වන අයට තිබෙන වගකීම් ද උන්වහන්සේ වෙන්කර දක්වති. සෑම කෙනකුම විශාල අධ්‍යයනයක නිරත විය යුතු නැති නමුත්, ධර්මය උගන්වන අය තමන් උගන්වන දේ සූත්‍රවල ඉදිරිපත් වන්නේ කෙසේදැයි දැන සිටිය යුතු බව තදින් අවධාරණය කරති. දැනුම වැඩිවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම දැනුම භාවිත කරන ආකාරය පිළිබඳ ප්‍රඥාවක් ද තිබිය යුතු ය.

07. පසුව ලියැවුණු නිසාම ඉවත දැමිය යුතු ද?

මුල් සූත්‍රවලට වැඩි අවධානයක් දීම යනු අභිධර්මය, අටුවා හෝ විසුද්ධිමග්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමක් නොවන බවත් සංවාදයෙන් පැහැදිලි වෙයි. විවිධ සම්ප්‍රදායන්ගේ අභිධර්ම පාඨ අතර වෙනස්කම් තිබෙන බව සුජාතෝ හිමියන් කියති. එහෙත් ඒ සියල්ල එකිනෙකට විරුද්ධ ඉගැන්වීම් නොවන බව ද සිහිපත් කරති. ඇතැම් වෙනස්කම් එකම ධර්ම කරුණු වෙනස් ආකාරයකින් සකස් කර පැහැදිලි කිරීමේ ප්‍රතිඵල විය හැකිය.

විසුද්ධිමග්ගය ගැන කතා කරන විට උන්වහන්සේ එහි භාවනා උපදෙස්වල වටිනාකම පිළිගනිති. භාවනාවට සුදුසු ස්ථානයක් තෝරාගැනීම සහ භාවනාවේ දී ඇති වන ගැටලු සමඟ කටයුතු කිරීම වැනි ප්‍රායෝගික කරුණු එහි විස්තර කෙරෙන බව අගය කරති. එබැවින්, යම් ග්‍රන්ථයක් පසුකාලීනව රචනාවූවක් වීම සහ එය ප්‍රයෝජනවත් නොවීම අතර සරල සමාන ලකුණක් තැබිය නොහැක.

මේ ආකල්පයෙන් මතුවන්නේ සම්ප්‍රදාය රැකීම සහ විමසීම අතරින් එකක් තෝරාගත යුතු නැති බව ය. සූත්‍රය, අටුවාව සහ පසුකාලීන භාවනා විවරණය එකම තට්ටුවක නොතබා, ඒ ඒ දේ ඉටු කරන කාර්යය හඳුනාගත හැකි ය. එවිට පැරණි දේට ගරු කිරීම නිසා ප්‍රශ්න කිරීම නවත්වන්නටත්, ප්‍රශ්න කරන නිසා පැරණි සියල්ල ඉවත දමන්නටත් අවශ්‍ය නැත.

08. ධ්‍යානය සහ අපේ බලාපොරොත්තුවේ දිග පළල

ධ්‍යානය අවශ්‍යදැයි ඇසූ විට සුජාතෝ හිමියන් පැහැදිලි පිළිතුරක් දෙති. උන්වහන්සේගේ කියවීම අනුව එය බෞද්ධ පුහුණුවේ අත්‍යවශ්‍ය කොටසකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළු විවිධ ඉගැන්වීම්වල සමාධියට හිමිවන ස්ථානය උන්වහන්සේ අවධාරණය කරති. ධ්‍යානය හා පංච නීවරණ පහවීම එකිනෙකින් වෙන් කළ නොහැකි පැති දෙකක් ලෙස විස්තර කරති. මේ කොටස ඉදිරිපත් වන්නේ උන්වහන්සේගේ පැහැදිලි ස්ථාවරය ලෙස ය.

නමුත් උන්වහන්සේ වැඩි වේලාවක් වැයකරන්නේ ධ්‍යානය පිළිබඳ තාක්ෂණික නිර්වචනවලට නොව, අප ධර්ම මාර්ගය දෙස බලන ආකාරය පිළිබඳව ය. මාර්ගයේ තිබෙන ගැඹුරු අරමුණු අපහසු යැයි හැඟෙන නිසා ඒවා කුඩා කරගැනීමට අප පෙලඹෙනවාදැයි උන්වහන්සේ අසති. තමන් ශිෂ්‍යයකුව සිටියදී විභාගය සමත්වීමට කළ යුතු අවම වැඩ ප්‍රමාණය ගැන සිතූ ආකාරය සිහිපත් කරමින්, ධර්මයත් එලෙස බැලීමේ සීමාව උන්වහන්සේ පෙන්වා දෙති.

මෙහි අදහස මිනිසුන්ට ළඟාවිය නොහැකි ඉලක්ක පෙන්වා ඔවුන් අසරණ කිරීම නොවේ. තමන් විසින් තමන් ගැන තබාගෙන සිටින සීමා අවසාන සත්‍යයන් නොවන බව දැකීම ය. සුජාතෝ හිමියන්ගේ විවරණයේ දී බුදුරජාණන්වහන්සේ, මිනිසාගේ වෙනස්වීමේ හැකියාව ඉතා ඉහළින් තැබූ ශාස්තෘවරයකු ලෙස මතුවෙති. අපට දැන් සිතාගත නොහැකි තරමේ හැකියාවක් අප තුළ තිබිය හැකි බවට ධර්ම මාර්ගය අපට යෝජනා කරයි.

ඒ නිසා වැදගත් ප්‍රශ්නය වන්නේ අවම වශයෙන් කුමක් කර ගැලවිය හැකි ද යන්න නොව, කුමන ගැඹුරක් දක්වා වර්ධනය විය හැකි ද යන්න ය. එය එකවර කළ යුතු විශාල පිම්මක් ලෙසත් උන්වහන්සේ නොපෙන්වති. අරමුණ උසස් වුවත්, ඒ වෙත යාමට ගත හැකි පියවර තිබේ. සෑහීමට පත්වීම, වර්ධනය කිරීම වැනි දෙයකින් එම ගමන ආරම්භ කළ හැකි බව උන්වහන්සේ කියති.

09. අතහැරීම තුළම ලැබෙන ප්‍රීතිය

ධර්ම මාර්ගය ගැන මේ කතාවේ ඇති තවත් වැදගත් අවධාරණයක් වන්නේ ප්‍රීතියයි. අතහැරීම යනු සියල්ල අහිමි කරගෙන අසතුටින් සිටීමක් නොවන බව සුජාතෝ හිමියන්ගේ විවරණයෙන් පෙනෙයි. යමක් අතහරින විට තවත් දෙයක් ලැබෙයි. බැඳීම් අඩු වන විට නිදහසත්, සිතේ බර අඩුවන විට සැහැල්ලුවත්, සෑහීමට පත්වීම වැඩිවන විට තෘප්තියත් ලැබිය හැකි ය.

ඒ නිසා භාවනාව යනු දිගු කාලයක් දුක් විඳ, අවසානයේ ධ්‍යානය ත්‍යාගයක් ලෙස ලබාගන්නා වැඩසටහනක් නොවන බව උන්වහන්සේ කියති. මඟ ගමන් කරන අතරතුර දී ද ජීවිතය වෙනස් විය යුතු ය. තමන් සමඟ වඩා සුවපහසුවෙන් සිටීමට හැකිවීම, අන් අය සමඟ සිටීම වඩා ප්‍රසන්නවීම, සිත පැහැදිලිවීම සහ වැඩි නිදහසක් දැනීම එහි කොටස් ලෙස උන්වහන්සේ දක්වති.

මේ අදහස නිසා උසස් අරමුණක් සහ දෛනික ජීවිතයේ කුඩා පියවර අතර සම්බන්ධයක් ඇති වෙයි. ගමනේ අවසානය ගැන පමණක් කතා කරනවා වෙනුවට, අද තමන් ජීවත් වන ආකාරය වෙනස්වන්නේ කෙසේදැයි බලන්නට ඉඩ ලැබෙයි. සුජාතෝ හිමියන් අවධාරණය කරන පරිවර්තනය පොතකින් දැනගන්නා දෙයකට පමණක් සීමා නොවන්නේ ඒ නිසා ය.

10. සූත්‍රය මැද තබාගෙන ලෝකය දෙස බැලීම

සංවාදයේ අවසානයේ සූත්‍ර පමණක් කියවිය යුතුදැයි ප්‍රශ්නයක් නැඟෙයි. සුජාතෝ හිමියන්ගේ පිළිතුර නැවතත් පුද්ගලයා අනුව වෙනස් වේ. කෙනකුට සූත්‍ර පිළිබඳ හොඳ පදනමක් ඇති කරගැනීම අවශ්‍ය විය හැකි ය. තවත් කෙනකු ඒවාම කියවමින් දෘඪ සහ පටු අදහස්වලට කොටු වී සිටී නම්, වෙනත් දේ ද කියවා තම දැක්ම පුළුල් කරගැනීම වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බව උන්වහන්සේ කියති.

සූත්‍රවල කෙටි උපදෙස්වලට අමතරව, මුල් කාලයේ පුද්ගලික භාවනා උපදෙස්, කතා සහ පැහැදිලි කිරීම් ද තිබෙන්නට ඇතැයි උන්වහන්සේ සිතති. අද ඒ සියල්ල අපට ලිඛිතව ලැබී තිබෙනවා යැයි කිව නොහැක. ජාතක කතා, අටුවා සහ විනයේ කතා ගැන උන්වහන්සේ කරන සඳහන් කිරීම්වලින් මතුවන්නේ, බෞද්ධ ජීවිතය හුදෙක් කෙටි ධර්ම ප්‍රකාශ එකතුවකට සීමා නොවූ බව වටහාගැනීමේ උත්සාහයකි. මුල් කාලයේ ලිඛිතව සුරැකී නොතිබූ පැහැදිලි කිරීම් පිළිබඳ කරන යෝජනාව උන්වහන්සේ ම ඉදිරිපත් කරන්නේ අනුමානයක් ලෙස ය.

බුදුරජාණන්වහන්සේ කතා කළේ කාට ද, ඔවුන්ගේ ගැටලු මොනවා ද, ඔවුන්ට හුරු වූ වචන සහ අදහස් මොනවාද යන්න තේරුම් ගැනීමට තමන් උනන්දු බව ද උන්වහන්සේ කියති. දේශනාවක වචන පමණක් නොව, එම වචන පැවසුණු මිනිස් පසුබිමත් වැදගත් ය. ධර්මය සමාජයෙන් පිටත තබා ඇති වියුක්ත ඉගැන්වීමක් නොව, ගැටලුවක් ඇති මිනිසකු වෙත යොමු වූ ඉගැන්වීමක් ලෙස කියවීමට මෙය ආරාධනා කරයි.

ඒ සමඟම අපේ කාලයත් තේරුම්ගත යුතු ය. පැරණි මිනිසුන්ගේ ගැටලු සහ අපේ ගැටලු අතර ඇති සම්බන්ධය දකින්නට නොහැකි නම්, කියවීම අතීතය පිළිබඳ දැනුමක් ලබාගැනීමට පමණක් සීමා විය හැකි ය. සුජාතෝ හිමියන් යෝජනා කරන්නේ සූත්‍ර මූලික පදනම කරගන්නා අතරම, ඒවා බිහි වූ සංස්කෘතිය, ඒවා සුරැකුණු සම්ප්‍රදාය සහ අප ජීවත් වන ලෝකය පිළිබඳවත් විවෘතව ඉගෙනගන්නා ආකල්පයකි.

සංවාදය අවසානයේ ඉතිරිවන්නේ සියල්ල පිළිගන්නා අන්ධ භක්තියක් හෝ සියල්ල සැකකරන ආකල්පයක් නොවේ. ගෞරවයෙන් කියවීම, නිදහසේ විමසීම සහ අවංකව පුහුණු වීම එකිනෙකට සහාය දෙන මඟක් ලෙස මෙහි මතු වෙයි. සම්ප්‍රදායේ ඇති වටිනාකම දකින්නටත්, තමන්ට හුරුපුරුදු අදහසක් නැවත විමසා බලන්නටත්, තවමත් නොතේරෙන දෙයක් ඉක්මනින් ප්‍රතික්ෂේප නොකරන්නටත් එහි ඉඩ තිබේ.

මෙම කතාව අපට ඉදිරිපත් කරන වැදගත්ම ප්‍රශ්නය වන්නේ ධර්මය ගැන අප කොපමණ දේ දන්නවා ද යන්න පමණක් නොවේ. ඒ දැනුම නිසා අපේ සිතට, අපේ බැඳීම්වලට සහ අප ජීවත් වන ආකාරයට සිදුවන්නේ කුමක්ද යන්න ය.

සූත්‍ර කියවීමත් භාවනාවත් අපේ ජීවිතයට මඟ එළියක් කරගත හැකි වන්නේ ඒ ප්‍රශ්නයේ ගැඹුර සහ පුළුල් බව නිසි ලෙස වටහාගැනීමෙනි.

- ජනක ධර්මබන්ධු
jan.dharmabandu@gmail.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Wednesday, 18 November 2026

මොනවද බං උඹ කැම්පස් එකේ දී කෙරුවේ? - රසික සූරියආරච්චි



සිංහල භාෂාවෙන් කතා බහ කරන විට තවකෙකු ඇමතීමට භාවිතා කළ හැකි විකල්ප වචන රාශියකි. "ඔයා", "උඹ", "මචං", "මහත්තයා", "තමුසේ", "ඕයි", "අයිසේ", "සර්", "තමුන්නාන්සේ" සහ "ඔබතුමා" යනු ඉන් ප්‍රධාන ඒවා ය. මීට අමතරව, "අවසර", "ඩාලිං", "ඩියර්", "ලව්", "පැටියා", "පණ", "වස්තුව" වැනි සුවිශේෂී පුද්ගලයින් සඳහා සුවිශේෂී අවස්ථාවල දී භාවිතයේ යෙදෙන වචන ද වේ.

"ඔයා", "මචං", "උඹ" යන වචන තුන සැලකුවහොත් අපේ මිතුරන් සඳහා අප ඒවා භාවිතා කිරීම, ඒ මිතුරුකමේ ශක්තිය පෙන්නුම් කරන යම් මිනුමක් සේ සැලකිය හැකි යැයි මම සිතමි. "ඔයා", "මචං", "උඹ" වචන තුන මා භාවිතා කරන ආකාරය ගැන කිවහොත්, මා සමස්තයක් ලෙස සියලුම කාන්තාවන් අමතා ඇත්තේ ද, වත්මනෙහි අමතන්නේ ද "ඔයා" කියා ය. "උඹ" හෝ "මචං" කීමට හැකි ආකාරයේ මිතුරියක් මට කිසි දිනෙක සිට නැත. ඉදිරියේ දී සිටිනු ඇතැයි ද නොසිතමි.

මිතුරන් සම්බන්ධයෙන් ගතහොත් "ඔයා" කියා පටන් ගෙන "මචං" වී පසුව "උඹ" දක්වා ද වර්ධනය වූ මිතුරුකම් බොහෝ ය. නමුත්, "මචං" ගෙන් ඔබ්බට මෙන් ම, "ඔයා" ගෙන් ඔබ්බට වර්ධනය නොවූ මිතුරුකම් ද සමහර විට දශක ගණනාවක් තිස්සේ පවතී. එයට මූලික ම හේතුව ලෙස මා දකින්නේ අදාළ පුද්ගලයා සහ මා අතර ඇති සමානකම්වල අඩුවැඩිකම් ය. එවැනි සමානකම් ඉතාමත් වැඩි නම් පැය කිහිපයක් ඇතුළත වුව "ඔයා" ගේ සිට "මචං" හරහා "උඹ" දක්වා මිතුරුකම දියුණුවීමට ඉඩකඩ ඇත.

තවෙකෙකුට කරන විහිළු, සරදම්, උපහාස ගැන ද මට ඇත්තේ මේ ආකාරයේ ම විශ්ලේෂණයකි. මිතුරුකමක් නැති නම් සරල විහිළුවක් හෝ කළ නොහැක. මිතුරුකමේ ශක්තියට අනුලෝමව සමානුපාතිකව කළ හැකි විහිළුවේ, සරදමේ හෝ උපහාසයේ දැඩිකම වැඩි වේ.

ඒ සීමාව නොදැන කරණ විහිළු, සරදම්, උපහාස අවසන් වෙන්නේ ඇස් රතුවීමෙනි, මිතුරුකම නැතිවීමෙනි.

මට සංජය මුණ ගැසුණේ මගේ දෙවෙනි රැකියාවේ දී ය. අධ්‍යයන පීඨ දෙකක නමුත් එකම විශ්වවිද්‍යාලයේ එකම කාල සීමාවල ඉගෙන ගත් සිසුන් වූව ද අප දෙදෙනා විශ්වවිද්‍යාලය ඇතුළත දී කිසි දිනෙක මුණ ගැසී නොතිබුණි. අප දෙදෙනා වෙනත් අධ්‍යයන පාඨමාලා හැදෑරූ අය වීමට වඩා, අප එකිනෙකා නොදැන සිටීමට හේතු ලෙස දැක්විය හැක්කේ ඔහු මට වඩා වසරක් කණිෂ්ඨ වීමත්, මා මෙන් නොව ඔහු නිවසේ සිට දිනපතා විශ්වවිද්‍යාලයට පැමිණි සිසුවෙකු වීමත් ය.

උපාධිධාරීන් කිහිප දෙනෙකු බඳවා ගන්නා ලද කළමනාකරණ පුහුණු වැඩ සටහනක අප දෙදෙනා සේවය ඇරඹුයේ එකම දිනයේ ය. කොළඹ පිහිටි විශාල පරිමාවේ සමාගමක් නිසා කාර්යාලය ඇතුළේ අප අතර කතාබහ සිදුවූයේ අනිවාර්යෙන් ම ඉංගිරිසියෙනි. අප අතර ඇති සමානකම් නිසා ස්වාභාවිකව ම මිතුරුකමක් ඇරඹී එය තරමක් වර්ධනය විය. කාර්යාල කටයුතුවලින් පරිබාහිරව, දිවා ආහාර අනුභවය වැනි අවස්ථාවල දී අප සිංහලෙන් කතා කළ ද, අපේ මිතුරුකම පැවතියේ "ඔයා" අවස්ථාවේ යැයි සිතමි.

සති කිහිපයක් කොළඹ කාර්යාලයේ ගත කිරීමෙන් පසු අප දෙදෙනාව සමාගමේ ප්‍රදේශ දෙකක පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වෙත යොමු කරන ලදී.

යළිත් සති කිහිපයකට පසු අප ප්‍රධාන කාර්යාලයේ දී හමුවූ විට අපේ මිතුරුකම "මචං" අදියර දක්වා වර්ධනය වී තිබුණි. එය "උඹ" තත්වය දක්වා වැඩි දියුණු වූයේ ඉන් සතියකට පමණ පසු අප දෙදෙනාට එක ම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ස්ථාන දෙකක පුහුණුව සඳහා යාමට සිදුවීමත් සමගයි.

උදයේ වෙනම සේවා ස්ථානයට ගිය ද, අප දෙදෙනා එහි සිටි අනෙකුත් කළමනාකරුවන් සමග තේ පැන් බීවේ, දිවා ආහාරය ගත්තේ එකට ය. සවස සේවය අවසන්ව කොළඹ බලා ආවේ ද එකම වෑන් රථයේ ය. මේ කාලය තුළ සංජය මගේ ඉතා හොඳ මිතුරෙක් බවට පත් වූයේ නිරායාසයෙනි. "උඹ" සහ "මචං" නමින් ඇමතීම පමණක් නොව, එකිනෙකා විහිළු, සරදම්, උපහාස කර ගැනීම ද සාමාන්‍යය බවට පත්විය.

එක් දිනක් කම්හලේ සේවය කළ තවකෙකු සමග, ඔහු ගේ මේසය අසල දී, සංජය සහ මා සුහද කතා බහක නිරත වී සිටියේ තව මොහොතකින් වෑන් රථය පැමිණි විගස සේවය නිමවා යාමට නියමිත බැවිනි. සංජය සිටියේ මේසයට අත් දෙක තබා එයට බර දී ගෙන ය. ඔහුගේ දෑතේ ම නහරයක් බැගින් ඉලිප්පී මතු වී තිබෙනු පෙනුණි.

"මේ මොකද මේ?" අනෙකා සංජයගෙන් විමසීය.

"අනේ මන්දා, මගේ කකුල්වලත් මේ වගේ නහර ඉලිප්පිලා තියෙනවා," සංජය පැවසීය.

"ගංජා ගැහැව්වාම ඔහොම තමයි මචං!" මම කීවෙමි. ඒ මගේ කටට මුලින්ම ආ වචන පෙළ මිස සිතා මතා කීවක් නොවේ. ගංජා බොන්නන් ගේ අත්වල පාදවල නහර එලෙස ඉලිප්පෙනවා ද? මම අද වෙනතුරු නොදන්නෙමි.

සංජය එය නො ඇසුණා මෙන් සිටි නිසා, මම නැවතත් "මචං, උඹ ඔය ගංජා ගහන එක අතහැරියා නම් ඕක නැතිවෙලා යාවි" කියා කීවෙමි.

සංජය මුවින් නොබැණ සිටියේ ය.

මට සංජයගෙන් සම්බුව ලැබුණේ පසුවදා ය.

අප අතර විවිධාකාරයේ විහිළු, සරදම්, උපහාස ඊට පෙර හුවමාරු වී තිබුණු නිසා, මා කී ඒ වදන් කිහිපයට කෝප වී ඔහු මට බැණ වැදීම මට පුදුමයක් වුණත්, ඒ පුදුමය මැකී ගියේ සංජය ඊළඟට කී දෙයිනි.

"උඹ මොනවද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩු තරමේ ටෙනිස්වත් ගැහැව්වා ද?"

ඒ කතාව ඇසූ මා ක්‍ෂණයකින් ම නැගි සිනහව නවත්වා ගත්තේ ඉතා අසීරුවෙනි. ඒ සමගම ඒ ප්‍රකාශයේ සමාජ-දේශපාලන පදනම වැටහී සිත ඇතුළතින් මා කෙතරම් අන්ධභූත වී ද යත්, මට සංජය ගේ පැනයට නිසි පිළිතුරක් දීමට නොහැකි විය.

නොදන්නා අය ගේ දැනගැනීම පිණිස කියනවා නම්, අද තත්වය කෙසේද කියා මා නොදන්නා නමුත්, මා මේ කියන අසුව දශකයේ මැද භාගයේ දී නම් විශ්වවිද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩාව කළ සිසුන් පිරිස අතළොස්සක් පමණක් විය. එය ඉහළ පන්තියේ ක්‍රීඩාවකි. මට අපහාසයක් ලෙස ඒ ප්‍රශ්නය ඇසීම තුළින් හෙළිවූයේ සංජය ගේ සමාජ පසුබිම සහ ලෝකය පිළිබඳ ඇති දැනුමේ අඩුවයි.

ඒ සමගම කිව යුත්තේ, මා පසුව දැනගත් පරිදි, එදා සංජය කෝප වී ඇත්තේ මගේ සරදම් වදන් අපහාසයක් ලෙසින් සැලකීම නිසා ම නොව, අප සමග සිටි තුන්වැන්නා සමග සංජය ගේ "මචං" හෝ "උඹ" මට්ටමට වර්ධනය වූ මිතුරුකමක් නොතිබුණු නිසායි.

මෙය මා මුලින් සඳහන් කළ මිතුරු කම මැනීමේ මිණුම් දඩු වූ "ඔයා" - "මචං" - "උඹ" මිනුම සහ විහිළු - සරදම් - උපහාස මට්ටමේ මිනුම යන මිනුම් ද්වය ම එකට අදාළ වූ අවස්ථාවකි.



- රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්