
අපේ වැඩිහිටි පරම්පරාවල අති බහුතරයක් පිරිමින් ළමා කාලයේ දී හැදී ඇත්තේ ඔවුන්ගේ අම්මලා නිවසේ දී උයා දුන් රසමසවුල් රිසි සේ වළඳමිනි. නමුත්, ඒ කෑම වර්ග සාදන ආකාරය ගැන ඔව්හු කිසිදු අත් හුරුවක් හෝ ඉගෙනගැනීමක් හෝ නොලද්දාහ.
එයට ම සරිලන ලෙස අපේ වැඩිහිටි පරම්පරාවල ගැහැණු ළමා කාලයේ සිට ම, බත් හැලියට නිවැරදි ප්‍රමාණයට වතුර එකතු කර රොස් නොවී, බෙරි නොවී, උයාගන්නා ආකාරයේ සිට හොද්දට ලුණු ඇඹුල් දමන විදිය දක්වා ද, කිරි ටොෆී හැදීමේ සිට පැණි කැවුමේ කොණ්ඩය බැඳීම දක්වා ද තම අම්මලාගෙන් ඉගෙනගත් අය වෙති.
අපේ කාලය වන විට ද, මගේ අත්දැකීම අනුව පවසතොත්, පිරිමි ළමෝ අම්මලාට පොල් බෑයක් ගා දීම හෝ බෝන්චි ටිකක් සුද්දකර දීම හැරුණු විට වෙනත් කුස්සියේ වැඩකට සම්මාදම් නොවූහ. ඒ සමගම, ශිෂ්‍යත්වේ, සාපේ. ඌපේ යනා දී විභාගවල තරගකාරීත්වය කෙමෙන් වැඩිවීමත්, පාසලෙන් පසු ඉතිරිවන කාලය ටියුෂන් ව්‍යාපාරයේ ග්‍රහණයට අසුවීම නිසා නැති නාස්ති වීමත් සමගම ගැහැණු ළමෝ ද කුස්සියෙන් ක්‍රමක්‍රමයෙන් ඈත්වන්නට වූහ. ඇත්තටම කියනවා නම් බොහෝ විට සිදුවූයේ අම්මලා විසින් ගැහැණු ළමුන් කුස්සියෙන් ඈත් කිරීමයි.
මේ ගැහැණු ළමයින්ගෙන් අති බහුතරය, විභාග-අභාගවලින් පසුව, කෙදිනක හෝ විවාහ සංස්ථාවේ රැකියාව පටන් ගන්නට පෙර, තමන්ගේ අම්මාලාගෙන් ද, නගරයේ කුකරි පන්තිවලින් ද, ඉවුම් පිහුම් පිළිබඳ කඩිනම් පාඨමාලා හදාරන්නට අනිවාර්යෙන් ම පෙළඹුනහ. එහෙත්. පිරිමින් ගැන කියනවා නම්, කලාතුරකින් දුර පලාතකට රැකියාවකට ගොස් තට්ට තනියම ජිවත් වෙන්නට ලැබුණු අයෙකු හැර, කට්ට සම්බෝලයක්වත් හදා ගන්නට ඉගෙන ගත්තේ එහෙමත් එකෙකු පමණි.
සරල ඉවුම්-පිහුම් ශ්‍රිතයකට අනුව පිරිමින් වර්ගීකරණය කළහොත් අපට සුවිශේෂී කොටස් හතරක් හඳුණාගත හැකි ය.
මුලින්ම ඉන්නේ ඉවුම් පිහුම්වලට හැකියාවකුත්, උනන්දුවකුත් ඇති මා වැන්නෝ ය. සිය බිරින්දෑවරුන් ගේ ඉමහත් ප්‍රසාදයට සහ හාදු වර්ෂාවලට නිරතුරු බඳුන්වන මේ පිරිස, සමස්ත පිරිමි ගහණයෙන් ඉතා සුළුතරයක් වෙති.
රමණී නෝනා සමග විවාහ වී, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර "අපි දෙන්නයි, දරු දෙන්නයි" මොඩලයේ කුඩා පවුලක් බවට පත් වූ මා මිත්‍ර රත්නායක මහත්තයා අයත්වන්නේ ඉවුම් පිහුම් වැඩවලට හැකියාවක් නැතත් උනන්දුවක් නම් ඇති දෙවෙනි වර්ගයේ පිරිසට ය.
හැකියාව ඇතත්, උනන්දුවක් නොමැති පිරිමින් වර්ගයක් ද වෙති. ඔවුන්ගේ ඒ උනන්දුව නැතිකම ඇත්තක් ද, නැතිනම් ආත්මාර්තකාමී රඟපෑමක් ද, යන්න දන්නේ ඔවුන්ම පමණකි.
ඉවීමට හැකියාවක් නැති, එසේම කිසිදු උනන්දුවක් ද නැති පිරිස බොහෝ ය. ඔවුන් ගැන ලිවීමට වචන නාස්ති කිරීම ද මහා පාපයක් බව, මේ ලිපිය කියවන එවැන්නන් ගේ බිරින්දෑවරු එක හඬින් පවසනු නොඅනුමාන ය.
* * *
ඉවුම් පිහුම්වලට තමන්ගේ ඇති උනන්දුවෙන් ප්‍රයෝජනයක් ගන්නට රත්නායක මහත්තයාට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණේ, තම දෙවෙනි දරුවා තරමක ලොකු මහත් වී රමණී නෝනා සති අන්තවල රැකියාවක් කරන්නට පටන් ගත් පසු ය.
මුලදි මුලදී රමණී නෝනා ම, සෙනසුරාදා සහ ඉරිදා ආහාරය සඳහා ඇති තරම් මාළු-පිණි වර්ග කලින් සාදා ශීතකරණයේ ගබඩා කළ ද, පසුව ඇයට ඇති වූ කාර්ය බහුලත්වය නිසාත්, තමාගේ ඉවුම් පිහුම් කටයුතුවලට තිබුණු සැබෑ උනන්දුව නිසාත් රත්නායක මහතා ද, බිරිඳ සති අන්තයේ දිනවල වැඩට ගිය පසු දිවා කාලයේ දී, හොද්දක් දෙකක් උයන්නට පටන් ගත්තේ ය.
මුලදි, මුල දී රත්නායක මහත්තයා ඉව්වේ පරිප්පු ය. රමණි නෝනා තම සැමියා විසින් උයන ලද ඒ පරිප්පු කෑමට අප්‍රිය බවක් නොදැක්වූයෙන්, රත්නායක මහත්තයා ගේ උනන්දුව පරිප්පුවෙන්, බෝංචි වලට වැඩි දියුණුවිය. ඔහු ගේ ඊලඟ අභිප්‍රාය වූයේ, රෙස්ටෝරන්ට් කොලිටියේ කෑමක් ඉවීමයි. මෙහි දී රත්නායක මහත්තයා ගේ සිත ඇදී ගියේ වරක් දෙවරක් නිවස අසල ටවුමේ ඉන්දියානු ආපන ශාලාවෙන් මිළට ගෙන රස විඳි ඉන්දියානු ආරේ චිකන් කරි වර්ගය පිසීමටයි.
අන්තර්ජාලය පිරික්සා බැලූ රත්නායක මත්තයාට කවුදෝ ඉන්දියන් ජාතික කාන්තාවක් විසින් සකසන ලද ඒ ආකාරයේ චිකන් කරියක් සාදන්නට අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුව සහ සාදන ක්‍රමය ඇතුලත් පත්‍රිකාවක් හෙවත් රෙසිපියක් මුද්‍රණය කර ගන්නට හැකි විය. අවශ්‍ය කළමනා සියල්ල සූදානම් කරගෙන ඒ සතියේ සෙනසුරාදා හවස් වරුවේ ඔහු කුස්සියට ගියේ "අද චිකන් කරි සාදා රමණී නෝනා විශ්මයට පත්කරවමී," යන අදිටනෙනි.
මුලින්ම කළ යුතුව තිබුණේ කුකුල් මස් කැබලිවලට කපා, ලුනු, කහ, විනාකිරි, යෝගට් යනාදිය මිශ්‍රකර කෑම වට්ටෝරුවේ ලිය වී තිබුණු ආකාරයට ශීතකරණයේ පැය භාගයක් පමණ තැබීමටයි.
ඉන් පසු නියමිතව තිබුණේ. කපාගත් බොම්බයි ලූණු, මිරිස් කුඩු, ඉන්දියානු තුනපහ කුඩු එකට මිශ්‍ර කර මදක් තෙලෙන් බැද ගැනීමටයි. එම මිශ්‍රණය ලිපෙන් බා "කීප්-අ-සයිඩ්" නැතහොත් “පසෙකින් තබන්න” යනුවෙන් ද කෑම වට්ටෝරුවේ ලිය වී තිබුණි.
ඉහත දෙපියවර සම්පුර්ණ කළ රත්නායක මහත්තයා ඊලඟට රෙසිපියේ තුන්වෙනි පියවරට පිවිස, ශීතකරණයේ තිබූ මස් භාජනය රැගෙන, එයට කරපිංචා, කුරුඳු, යනාදී ද්‍රව්‍ය කිහිපයක් එකතු කර මුලින් මදක් තෙම්පරාදු කර ඉන් පසුව වතුර ද එක්කර උයන්නට විය.
මිනිත්තු විස්සක් පමණ මද ගින්නේ උයාගත යුතු බව කෑම වට්ටෝරුවේ සඳහන් වී තිබුණි.
හරියටම ඒ විනාඩි විස්ස ගෙවෙන විට ම වාගේ රමණී නෝනා සේවය නිමවා නිවසට පැමිණියා ය.
"ආ රත්නේ ඔයා උයන්න පටන් ගත්ත ද? මොනවද මේ ලිපේ?" ඇය කුස්සියට පිවිසුනේ එලෙස විමසමිනි.
"මං අද හදන්නේ අර අපි ඉන්දියන් රෙස්ටෝරන්ට් එකෙන් කාපු විකන් ජාතිය. රෙසිපි එක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කර ගත්තා. දැන් ඉදිලා ඉවර ඇති මයෙ හිතේ!" රත්නායක මහත්තයා ආඩම්බරයෙන් පැවසීය.
"කෝ බලන්න, කෝ බලන්න!" කියමින් රමණී නෝනා ලිප උඩ ඉදෙමින් තිබූ සාස්පානේ මූඩිය හැර බැලුවා ය.
"කෝ රත්නේ, මේකේ වැඩි සුවඳක් නෑ නේ? අනික හොද්දේ පාටත් නිකං අමුතුයි. ඔයා මේකට මිරිස් හෙම දැම්මේ නැද්ද?"
"මං සේරම රෙසිපියේ තිබුණු විදියට අකුරක් නෑර කළා!" රත්නායක මහත්තයා නොබියව කියා සිටියේ ය. “ඔහොම තමයි එහෙනං මේ රෙසිපියෙන් ඔය චිකන් කරි එක හැදෙනවා ඇත්තේ!”
වටපිට බැලූ රමණී නෝනාගේ නෙත ගැටුණේ දිසියක දමන ලද තෙම්පරාදු කරන ලද මිශ්‍රණයකි.
"මේ මොනවද රත්නේ මේ?" ඇය ඇසුවා ය.
ඒ දෙස බැලූ රත්නායක මහත්තයාට හීන්දාඩිය නොදැම්මා පමණි.
"මළ කෙලියයි!" ඔහුට ඉබේම කියවිණි. "අර මික්ස් කරලා, තෙම්පරාදු කරලා, ඊට පස්සේ කීප්-අ-සයිඩ් කරපු මේ මිශ්‍රණය චිකන් කරි එකට දැම්මේ නෑ නේද?"
තමා අතින් මේ වරද සිදු වූයේ කෙලෙසදැයි සොයා බැලූ රත්නායක මහත්තයාට තේරුම් ගියේ මිශ්‍රණය තෙම්පරාදු කර "කීප්-අ-සයිඩ්" කියා රෙසිපියේ කියා තිබුණාට, එය මස් හොද්දට එකතු කරන්නට ය කියා කිසි තැනක සඳහන්ව නැති බවයි.
කෙසේ හෝ වේවා, රමණී නෝනාගේ වාසනාවට මෙන්, රත්නායක මහත්තයාට ඉවුම් පිහුම් සඳහා ඇති උනන්දුව මේ කුකරි පාඩමින් පසු තවත් වැඩි වුණා මිස අඩු වූයේ නම් නැත!
අද වන විට රත්නායක මහත්තයා චිකන් කොර්මා, චිකන් ටික්කා මසාලා, චිකන් රෝගන් ජොෂ් පමණක් නොව, බටර් චිකන් ඉවීමට ද කෙළ පැමිණියෙක් බව රමණී නෝනා පවසන්නී ය.

- රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.