
මෙතෙක් කතාව: පළමුවෙනි කොටස, දෙවෙනි කොටස
නිලිනි සහ සෙනරත් නැවත දේවාල භූමියට දෙසට ගියහ. ඔවුන් එහි පය තබන විට, මුළු පරිශ්රය පුරාම පැතිර තිබුණේ උදේ වරුවේ දේව පූජාව අවසන් වූ සැහැල්ලු, නිශ්ශබ්ද වාතාවරණයකි. දැල් වූ කපුරු සුවඳත්, හඳුන්කූරු දුමාරයත් තවමත් අවට වාතයේ රැඳී තිබුණි. ඔවුන් දෙදෙනා පියවර මැන ආවේ මීට පෙර තමන් හා සුහදව කතාබස් කළ වයෝවෘද්ධ දේවගැතිවරයා සොයාගැනීමේ අපේක්ෂාවෙනි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් දේවාල මළුවේ දී ම ඔවුනට ඔහුව මුණ ගැසුණි.
"මාමේ..." නිලිනි තම මුවඟට නැඟුණු ළැදියාවෙන් පිරි සිනහව පෙරදැරි කරගෙන ඔහු අමතා කතා කළාය. "අපි අර හාමුදුරුවන්ව මුණගැහිලා රංවල දෙවියන් ගැන සෑහෙන තොරතුරු ටිකක් අහලා දැනගත්තා. දැන් අපිට දැනගන්න ඕනෑ වෙන්නේ දෙවියන් වෙනුවෙන් කෙරෙන පුදපූජා සහ වත්පිළිවෙත් මොනවාද කියන එකයි. ඒකයි අපි ආයෙමත් මාමාව හමු වෙන්න ආවේ."
දේවගැතිවරයා ඔවුන් දෙස බලා සෙනෙහස්බර සිනහවක් පෑවේය. ඔහුගේ දෑස් තුළ වූයේ දීර්ඝ කාලීන භක්තියක සහ අත්දැකීම් බහුල බවක සලකුණුය.
"ඒක ගොඩක් හොඳයි නෝනා..." ඔහු සිය කටහඬ අවදි කළේය. "රංවල දෙවියන් වෙනුවෙන් කෙරෙන පූජා කර්ම රාශියක් මේ පළාතේ තියෙනවා. බලන්න, ඔය දේවාලය ඉස්සරහ තියෙන පින් පෙට්ටිය දිහා... ඒකට කාසියක් දාන එකත් දෙවියන්ගෙන් පිහිට පතා කෙරෙන සරල, ඒත් බලවත් පූජාවක්. ඒකට කියන්නේ 'පඬුරු පූජාව' කියලා."
ඔහු දේවාල මන්දිරය දෙසට අත දිගු කරමින්, රංවල දෙවිඳුන් කෙරෙහි ගැමියන් තුළ ඇති අචල විශ්වාසය ගැන තවදුරටත් විස්තර කරන්නට විය.
"ජීවිතේට ලෙඩක් දුකක්, කරදරයක් හිරිහැරයක් වුණාම මේ කැලණි මිටියාවතේ මිනිස්සු දුවගෙන එන්නේ රංවල දෙවියන් ළඟට. හැමෝම තමන්ගේ දුක්ගැනවිල්ල කියලා බාරහාර වෙනවා. මේ බාරහාර වීම දේවාලයටම ඇවිත් කරන්න ඕනෑ නෑ, තමන්ගේ නිවසේදීම වුණත් කරන්න පුළුවන්. පිරිසිදු කාසියක් අරගෙන, කහ දියරෙන් සෝදලා, පිරිසිදු සුදු රෙදි කැබැල්ලක ඔතනවා. ඊටපස්සේ තමන්ගේ අභිප්රාය, ඒ කියන්නේ තමන්ට ඉටු වෙන්න ඕනෑ දේ හදවතින්ම සිහිපත් කරලා, ඒ පඬුර ගෙයි උසස් තැනක ගැටගහලා තියනවා."
ඔහු මොහොතක් නතර වී, තරුණ යුවළගේ මුහුණුවල ඇඳී ඇති කුතුහලය දෙස බලා මෘදු ලෙස සිනාසුණේය.
"ඉතින්... බලාපොරොත්තු වුණ ඉල්ලීම ඉටු වුණාට පස්සේ, බාර වුණ විදිහටම දේවාලයට ඇවිත් පූජා වට්ටියක් තියලා, 'ප්රාණයට ප්රාණයක්' විදිහට පූජා පවත්වලා, එහෙමත් නැත්නම් රිදී කඩුවක් දේවාලයට පූජා කරලා ඒ බාරයෙන් නිදහස් වෙන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි, නෝනා... රංවල දෙවියන් වෙනුවෙන් දිනපතාම රෑ කාලයට තමන්ගේ ගෙවල් ඉස්සරහ පුහුල් පහනක් දැල්වීම මේ කැලණි මිටියාවතේ ගැමියන් අතර තවමත් නොකැඩී පවතින චාරිත්රයක්. ඒ පහන් ආලෝකය නිසා නිරන්තරයෙන්ම දේව පිහිට, ආරක්ෂාව ඒ නිවෙස්වලට ලැබෙනවා කියලයි ගැමියන් විශ්වාස කරන්නේ."
කතාව නිම කළ දේවගැතිවරයා, "එන්නකෝ මාත් එක්ක..." යැයි පවසමින් ඒ තරුණ යුවළ කැඳවාගෙන දේවාලයේ පැති මණ්ඩපයක් දෙසට පියනැඟුවේය. එහි එක් කෙළවරක, එල්ලා තිබූ 'පුහුල් පහන්' පෙළක් ඔහු ඔවුන්ට පෙන්වා සිටියේය.
"රංවල දෙවියන් වෙනුවෙන්ම විතරක් ම වෙන් වුණු සුවිශේෂී පූජා කර්මයක් තමයි නෝනා මේ මෙතැන සිද්ධ කරලා තියෙන්නේ..." දේවගැතිවරයා ආඩම්බරයෙන් මෙන් පැවසුවේය. "මේකට කියන්නේ 'පුහුල් පහන් පූජාව' කියලා. සමහර අය තමන්ට හෝ පවුලේ කෙනෙකුට ලෙඩක් දුකක් ඇතිවුණාම පුහුල් පහන් හතක්, දාහතරක්, එහෙමත් නැත්නම් විසිඑකක් විදිහට පූජා කරන්න බාර වෙනවා. ඒ ප්රාර්ථනාව ඉටු වුණාට පස්සේ තමන්ගේ නිවසේ, මේ දේවාල භූමියේ, එහෙමත් නැත්නම් මඟී ජනතාව ගැවසෙන ප්රධාන මාර්ග දෙපස මේ විදියට පුහුල් පහන් දල්වලා තබන එක ගැමි සිරිතක්."
ඔහු අසල එල්ලා තිබූ පුහුල් පහනක් අතට ගෙන එය නිර්මාණය කර ඇති අපූර්ව ආකාරය තරුණ යුවළට පැහැදිලි කරන්නට විය.
"බලන්නකෝ, මේක හදන්නේ අපි හැමෝම දන්න අළු පුහුල් ගෙඩියෙන් නෙවෙයි. මේකට කියන්නේ 'පුහුල් පහන' කියලා වුණාට, මේක හදන්නේ උණ ලීයෙන් සහ ගොක්කොළවලින්."
ඔහු උණ බටයක් අතට ගෙන පෙන්වමින් තවදුරටත් විස්තර කළේය.
"මුලින්ම පුරුක් දෙකක් තියෙන විදියට උණ බටයකින් කොටසක් කපා ගන්නවා. ඊට පස්සේ තියුණු පිහියක් අරගෙන, ඒ පුරුක් දෙක මැදින් පිහිටි උණ බටය සිහින් තීරු කිහිපයකට පලා ගන්නවා. හැබැයි දෙකෙළවරේ තියෙන පුරුක් දෙක තුවාල වෙන්න දෙන්නේ නෑ."
"ඊට පස්සේ මාමේ...?" නිලිනි දැඩි කුතුහලයකින් යුතුව ඇසුවාය.
"ඊට පස්සේ මෙන්න මේ වගේ වටකුරු දරණුවක් හදාගන්නවා. පලපු උණ බටයේ මධ්යයෙන් මේ දරණුව ඇතුළට රිංගවලා, උණ පතුරු ඈත් කරලා තද කළාම... මෙන්න බලන්න, හරියට අළු පුහුල් ගෙඩියක හැඩය නිරායාසයෙන්ම මතු වෙනවා."
ඔහු පලා තිබූ උණ පතුරු දෙපසට විහිදුවා, ඒ මැදට දරණුව තබා තද කර පෙන්වූයේය. සැබවින්ම එය දැන් පුහුල් ගෙඩියක හැඩය ගෙන තිබුණි.
"ඊළඟ පියවර තමයි මේක හැඩ කරන එක," දේවගැතිවරයා අසල තිබූ ලා දළු ගොක්කොළ කිහිපයක් අතට ගත්තේය. "ගොක්කොළ ටිකක් අරගෙන, උණ බට සැකිල්ල වටේට එක පෙළට තියලා, උණ බටයේ එක කෙළවරකින් සිහින් බෙලි පට්ටයකින් හෝ ලණුවකින් තද කරලා බඳිනවා. ඊටපස්සේ ඒ ගොක්කොළ දිග හැරලා, මුළු උණ බට සැකිල්ලම වැහෙන විදිහට වටේටම තියලා, අනෙක් කෙළවරත් ඒ විදිහටම ගැටගහනවා. දැන් මේක ලස්සන ගොක්කොළ කූඩුවක් වගේ. පහන පත්තු කරන්නේ, මේ ගොක්කොළ පතුරු මඳක් ඈත් කරලා, මේ කූඩුව ඇතුළේ දැල්වූ මැටි පහනක් රඳවලා තැබීමෙන්."
ගැමි තාක්ෂණයේ සහ පාරම්පරික දේව විශ්වාසයේ සුසංයෝගයෙන් නිමැවෙන මේ අපූර්ව "පුහුල් පහන" සකසන ආකාරය, නිලිනි කිසිදු පියවරක් මගනොහැර තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරගත්තාය. ඇගේ දෑස් තුළ දිස්වූයේ සාර්ථකත්වයේ සේයාවකි.
"මාමේ, රංවල දෙවියන් ගැන අතීතයේ ඉඳන් කියැවෙන කෝල්මුර කවි මේ පළාතේ ඇති නේද? අපිට පුළුවන් ද ඒ වගේ පැරණි කවි සොයාගන්න...?"
ලෝකයේ හැම දෙවි කෙනෙක් වෙනුවෙන්ම භක්තිමත් පිරිස විසින් ප්රබන්ධ කරන ලද බැති කවි සහ යාතිකා පවතින බව නිලිනි පොතපතින් කියවා තිබුණාය. රංවල දෙවිඳුන් උදෙසා ගැයෙන, ගැමි සුවඳ රැඳුණු ඒ සුවිශේෂී 'කෝල්මුර කවි' සොයාගැනීම ඇගේ ක්ෂේත්රෙ ගවේෂණයේ ඊළඟ ප්රධාන අරමුණ විය.
"කෝල්මුර කවි පොත් මේ ගම්වල ඉන්න පැරණි උදවිය ළඟ තවමත් සුරැකිව තිබෙනවා නෝනා. ඔය රංවල පැත්තේ ඉන්නවා ගුණසේන මහත්තයා කියලා කෙනෙක්. එයා හමු වුණොත් ඔය කියන කෝල්මුර කවි ටික අහලා දැනගන්න විතරක් නෙවෙයි, ලියාගන්නත් පුළුවන් වේවි."
දේවගැතිවරයා මඳක් කල්පනා කරමින් සිට පැවසුවේය.
ඒ අගනා හෝඩුවාව ඔස්සේ ක්රියාත්මක වූ නිලිනි සහ සෙනරත් වහාම මෝටර් සයිකලයට නැඟී ගුණසේන මහතා සොයා රංවල ගම බලා පිටත් වූහ. තාර පාර නිම වී, ගම්වාසීන්ගෙන් මඟ විමසමින් ඔවුන් ඇතුළු වූයේ වෙල් යායක් මැදින් වැටී තිබූ රළු වැලි පාරකට ය. කරල් බර වුණු කෙත්යායෙන් හමා ආ සිසිල් සුළඟ ගත දැවටෙද්දී, ඈතින් පෙනෙන ඕවිටක නිසලව ඉදි කර තිබූ ගුණසේන මහතාගේ ගැමි නිවස ඔවුන්ගේ නෙත ගැටුණි.
සෙනරත් මෝටර් සයිකලය නතර කළේ නිවස වටා බැඳ තිබූ වැටේ ඉදි කඩුල්ල අසලය.
"ගුණසේන මාමේ... ගුණසේන මාමා ඉන්නවාදෝ..." සෙනරත් කඩුල්ල ළඟ සිට කිහිප වරක්ම හඬගා ඇමතුවේය.
මොහොතකින්, සරමකින් සහ අත්කොට බනියමකින් සැරසුණු මැදි වියේ පසුවන තේජවන්ත පෙනුමක් ඇති ගැමියෙක් නිවසේ ඉස්තෝප්පුවේ සිට මිදුලට බැස ආවේය. ඔහු නන්නාඳුනන තරුණ යුවළ දෙස බැලුවේ මඳ කුතුහලයකිනි. සෙනරත් කඩුල්ලේ හරස් පොල්ල මඳක් පහත් කර, නිලිනිටත් ඉඩ සලසමින් වත්ත ඇතුළට පියනැඟුවේය.
"මාමේ, අපි ආවේ රංවල දෙවියන්ගේ කෝල්මුර කවි ටිකක් අහලා දැනගන්න. දේවාලයේදී තමයි අපිට කිව්වේ මේවා ගැන හොඳටම දන්නේ ගුණසේන මාමා කියලා. මේ නංගි රංවල දෙවියන්ගේ ඉතිහාසය ගැන තොරතුරු සොයන කෙනෙක්."
සෙනරත් තමන් පැමිණි කරුණ පැහැදිලි කළේය.
ඒ සමඟම නිලිනි ද වැට කඩුල්ලෙන් ඇතුළු වී ගුණසේන මහතා ඉදිරියට පැමිණියාය.
"එහෙනම් හොඳයි... ඇතුළට එන්නකෝ ළමයි..." තරුණ යුවළගේ අරමුණ වටහාගත් ගුණසේන මහතාගේ මුහුණේ ප්රසන්න සිනහවක් මතු විය. "මම රංවල මුත්තාගේ කෝල්මුර කවි හොඳට දන්නවා. මගේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ නිතරම ගායනා කරපු කවි පංතියක් මට අද වගේ මතකයි. මම ඒ කවි ටික මේ ළමයින්ට කියා දෙන්නම්..."
ගුණසේන මහතා ඉතාමත් ආදරයෙන් සෙනරත් සහ නිලිනි නිවස තුළට කැඳවාගෙන ගොස්, සාලයේ වූ ලී පුටුවල අසුන් පැනවීය. ඉන්පසු ඔහුගේ ගැඹුරු හඬකින් හා ගැමි තාලයෙන් රංවල දෙවිඳුන්ගේ කෝල්මුර කවි ගායනාව සාලය සිසාරා රැව්දෙන්නට විය.
සතක් සලන් ගිගිරි වළලු මිණි සිලම්බු වලට බැල්ම
බුලත් යහන් අලුත් කරන් බට පඳුරට නිතර බැල්ම
මතක් කළේ රංවල දෙව් මල් යහනට වැඩම වන්න
අපට ඉතින් තෙද බල ඇති රංවල දෙවියෝ වඩින්න
දෑලේ පිරිවර දෙනමක් සමග වඩිනවා
මෙකලේ දෙව් වැඩිය දාට පිහිට ලැබෙනවා
අගේ කරපු ලොව නරයින් දුකෙන් මිදෙනවා
සීලෙ උතුම් රංවල දෙව් යහනෙ වඩිනවා
අගේ වඩන රංවල දෙවියන්නේ
නුගේ විමානේ වාසෙ කරන්නේ
ගඟේ දොළේ දෙවි දිවැස් බලන්නේ
අගේ අහන් රංවල දෙවියන්නේ
රන්වන් සළු ගෙන නිති පළඳින්නේ
රන්වන් සෝලුව අතේ දරන්නේ
රන්වන් පාටින් රුව දිලිසෙන්නේ
රංවල දෙව් මල් යහන වඩින්නේ

කවි ගායනා කරන අතර ගුණසේන මහතාගේ ඇස්වල කඳුළු පිරී හැඟීම්බරවන අයුරු නිලිනි දුටුවා ය. ඇය ඔහු ගායනා කරන කවි තම ස්මාර්ට් ෆෝනයේ රෙකෝඩ්කර ගත්තා ය.
"කවි ගායනාව නම් ඇත්තටම හරිම අගෙයි ගුණසේන මාමේ... මේ කවිවලින් කියැවෙනවා වගේම, රංවල දෙවියන් ගැන ලස්සන ජනකතාත් මේ ගමේ ඇති නේද? මාමා දන්න කියන ඒ වගේ කතාන්දර එහෙම නැද්ද අපිට අහගන්න?" සෙනරත් පැවසුවේ අවංක අගය කිරීමක ස්වරයෙනි. ඔහු කවියාගෙන් තව තවත් තොරතුරු මතු කරගැනීමට දන්නා දක්ෂයෙකි.
"මොකද නැත්තේ පුතේ..." ගුණසේන මහතා සිය මතක අතීතය අවදි කරමින් උදෑසන අව් රැල්ල වැටුණු මිදුල දෙස බැලුවේය. "රංවල දෙවියන් දේවත්වයට පත් වෙන්න කලින් මේ ගමේ මිනිස්සු අතරේ ජීවත් වුණු සාමාන්ය මනුස්සයෙක්. ඒ කාලේ ඔහුව හැඳින්නුවේ 'රංවලරාල' නමින්. ඔහුගේ ළඟම මිත්රයා තමයි 'අස්වත්තෙරාල'. ඒ දෙන්නා ජීවත් වුණේ අද අපි මේ කියන රංවල සහ අස්වත්ත කියන ගම් දෙකේ."
"නියමයිනේ? කියමුකෝ බලන්න මාමේ ඒ අපූරු කතන්දරේ!"
සෙනරත් දැඩි උනන්දුවකින් යුතුව පවසමින්, අසල සිටි නිලිනි දෙස බලා ඇසක් ඉඟි කළේය. තමන් සොයන ඉතිහාසයේ සැබෑ අක් මුල් සොයාගැනීමට මේ හොඳම අවස්ථාව බව ඒ ඉඟියෙන් වැටහුණි. නිලිනි ද හිස සලා එය අනුමත කළාය.
- පියතිලක හල්පෙ
thisaraherath742@gmail.com
නවකතාවේ සිව්වෙනි කොටස: ලබන ඉරිදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.