Wednesday, 7 October 2026

කසාද බැන්දයින් පස්සේ කඩෙන් කෑම අකැප ද? - රසික සූරියආරච්චි



ඇතැම් පාසල් දිනයක උදේ අම්මා සාදා දුන් රොටියක සීනි ටිකක් තවරා විවේක කාලයේ දී කෑමට නිවසේ සිට රැගෙන ගිය ද, කුඩා කල සිටම මා ප්‍රිය කෙරුවේ පාසලේ කැන්ටිමෙන් මාළු පාන් ගෙඩියක් ගිල දැමීමටයි. තේ බීමට ප්‍රියක් නොතිබුණු ඒ සමයේ මා කෑමෙන් පසු කළේ පයිප්පයකට කට අල්ලා බඩේ ඉතුරු හරිය වැසෙන්නට වතුර බීමයි.

පාසලෙන් පසු වසර හතරක් පේරාදෙණියේ ගත කළ ජීවිතය තනිකරම කඩේ කෑමවලින් ගෙවී ගියේය. මුල් රැකියාව තනිකඩ බෝඩිමක ගතවුණි. කෑම කඩෙන් ය. පසු කලෙක මගේ දෙවන රැකියා ස්ථානයට මා දිනපතා ගියේ නිවසේ සිටම වුව ද, ඒ උදේ තේ කෝප්පයකින් පමණක් සප්පායම් වීමෙනි. වැඩපොළේ කැන්ටිමෙන් උදේට කිරට පිසූ තලපත් මාළු සමග පාන් කෑම ද, දිවා ආහාරයට මාණ්ඩලික නිලධාරී “ලන්ච් ක්ලබ්” එකෙන් කෑම ද මගේ චර්යාව විය.

තෙවෙනි රැකියාව කළ ස්ථානයේ තිබූ ආපන ශාලාවේ පාතරාසය සඳහා තිබුණේ සීනි බනිස් පමණක් නිසා මම උදේට නිවසෙන් ආහාර අනුභව කර සේවයට යාමට පුරුදු වුණෙමි. එහෙත් දිවා ආහාරය නම් දිගටම මා ගත්තේ එක්කෝ වැඩපොල අසලට කෑම පාර්සල් රැගෙන පැමිණෙන බත් අම්මා ගෙනි, නැතිනම් නුවර පාරෙන් එහා පැත්තේ තිබූ හෝටලයෙනි.

කාලය ගෙවී ගියේය. මම විවාහකයෙකු බවට පත්වීමි.

බැඳපු අලුත අපේ පදිංචිය පිළියන්දල ය. බිරිඳ රැකියාව කළේ ගම්පහ ය, මා සේවය කළේ දළුගම ය. අපි උදෑසන හයට පමණ නිවසින් පිටත්වීමු. උදෑසන කෑම ලෙස ගත්තේ කොටුවේ බස් ගුණසිංහ පුර බස්නැවතුමට යන පාරේ කඩයකින් මාළු පාන් ය. දවල් කෑමේ කිසිදු වෙනසක් සිදු නොවුණි. හවස් වී ආපසු නිවසට ගිය පසු නම් අපි රිසි සේ “හෝම් මේඩ්” කෑවෙමු.

මේ කාලයේ එක් දිනක දිවා ආහාරය වේලාවේ මම සේවා ස්ථානය අසල නුවර පාර තරණය කර, පාරේ අනෙත් පස වූ හෝටලයෙන් කෑම පාර්සලයක් මිලට ගෙන, ආපසු කන්ද දිගේ සේවා ස්ථානය වෙත ඇදෙමින් සිටියෙමි. මා ඉදිරියට එමින් සිටියේ කලක සිට මා දන්නා හඳුනන නමුත් ටික කලෙකින් මුණ නොගැසුණු හිතවතෙකි.



“ආයිබෝං, ආයිබෝං, කොහොමද වාසදේස? මොකද අද මේ වැඩට එන්න දවල් වෙලා?” මගේ අතේ තිබූ බත් පාර්සලය දෙස බලමින් ඔහු මගෙන් විමසීය.

“හොඳින් ඉන්නවා ආයිබෝං, වරදක් නෑ. මං මේ බත් ගෙඩියක් ගන්න පහළට බැස්සා!” මම පිළිතුරු දුන්නෙමි.

මා හිතවතා ගේ ඇස් උඩ ගියේය.

“මොනවා! උඹ මේ ළඟදී කසාද බැන්දා කියලා කිව්වා නේද? කසාඳ බැඳලත් කඩෙන් ද උඹ කන්නේ?” ඔහු විමසූයේ සැබවින්ම විස්මය කැටිවුණු ස්වරයකිනි.

එපමණක් ද නොවේ, “ඇයි නෝනා උයන ඒවා රහ නැද්ද?” කියා ද ඔහු මගෙන් විමසීය.

මගේ හිතවතාගේ කතා විලාසයෙන් මට හැඟුණේ ඔහු මා ඇමතූවේ ගණිකා නිවාසයක සිට එළියට බසින විවාහයෙකු ඇමතීමට සුදුසු ආකාරයෙන් කියා ය.

කසාද බැන්දායින් පසුව ද කඩෙන් කෑම ගැනීමෙන් මා කර තිබුණේ ඒ “කාමේසුමිච්චාරාව” තරමටම වාගේ දරුණු පාපයක් බව ඔහුගේ කතා විලාසයෙන් ධ්වනිත විය.

ඒ සමගම මා සිතට නැගුණේ, හරියට ඒ වෙලාවටම වාගේ තමන්ගේ සේවා ස්ථානය අසල කඩයකින් බත් පාර්සලයක් මිල දී ගනිමින් සිටින්නට ඇති මා ප්‍රිය බිරිඳ තම ඇස ගැසුණා නම් මගේ හිතවතාගේ බිරිඳ මොනවායින් මොනවා නොසිතාවි ද යන්නයි!

- රසික සූරියආරච්චි
rasika.h.suriyaarachchi@gmail.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි