
පාසල් යෑම ඇරඹුණු හෝඩියේ පන්තියේ දී භාවිතා කරන්නට පටන් ගත් ගල්ලෑල්ලෙන් සහ ගල්කූරෙන්තුනේ පන්තියේ දී ඇක්සයිස් පොතට සහ පැන්සලට උසස් වීමක් ලද අපි, පහේ පන්තියේ දී ඒ මිනිරන් පැන්සලෙන් තීන්ත පෑනට උසස්වීමු.
එතෙක් භාවිතා කළ පිටු හතළිහේ සාමාන්ය ප්රමාණයේ ඇක්සයිස් පොත් වෙනුවට අප හයේ පන්තියේ සිට ලිවීම සඳහා සාපේක්ෂව කොළ විශාල සංඛ්යාවක් ඇතිමොනිටර් පොත් භාවිතා කරන්නට පටන් ගත්ත ද, තීන්ත පෑන් වෙනුවට හුරුබුහුටි බෝල්පොයින්ට් කාබන් පෑන් භාවිතා කරන්නට පටන් ගත්ත ද, මට නම් ඊළඟට ලැබුණු සැබෑම උසස්වීම වූයේ උසස් පෙළ හÞරන්නට ගිය පසු සිදු වූ මොනිටර් පොතෙන් හාෆ්-ෂීට්වලට ලද උසස්වීමයි.
එය, ඒ කාලයේ දී ම සිදුවුණු කොට කලිසමෙන් දිග කලිසමට මාරුවීම හා සමාන පිම්මක් විය.
අප සැම දන්නා පරිදි හාෆ්-ෂීට් යනුවෙන් අදහස් කෙරෙනුයේ, විශේෂයෙන්ම ඒ දිනවල කාර්යාලවල ලිපි යතුරු ලිවීම සඳහා භාවිතා කරන ලද, ඒ-4 ප්රමාණයේ සුදු පැහැති කඩදාසි වේ. ඒ දිනවල මේවා වාලච්චේනේ පිහිටි කඩදාසි සංස්ථා කම්හලේ නිෂ්පාදනය කෙරුණු බව හාෆ්-ෂීට් වෙළඳ පොළට නිකුත් කරන බණ්ඩලවල මුද්රණය කර තිබුණි.
සාමාන්යයෙන් නිවෙස්වල ලිපි කටයුතු සඳහා භාවිතා වූයේ එක්කෝ ඇක්සයිස් පොතක මැදින් කඩා ගත් කොළ ය. නැති නම් හාෆ්-ෂීට්වලටත් විශාල වූ ප්රමාණයේ ෆූල්ස් කැප් නමින් හැඳින්වුණු රූල් සහිත කොළ ය.
මොනිටර් පොත්වල ලියනවාට වඩා මා හාෆ්-ෂීට්වල සටහන් ලිවීම ප්රිය කරන්නට හේතු කිහිපයක්ම තිබුණි.
පොත් නිපදවන්නා සලකුණු කර ඇති තනිරූල්, කොටුරූල් ඉරි අතරේ ම අපට හිරවන්නට අවශ්ය නැත. එක් දිනක් පාසල් යන්නට නොහැකි වූ විට ඒ සඳහා පිටු කීයක් ඉඩ හරින්න ද? යන ප්රශ්නය ද මෙහි දී පැන නොනගී. හාෆ්-ෂීට් භාවිතා කරන මිතුරන් අතර ණයට දෙන්නටත්, ණයට ගන්නටත් හැකි නිසාමොනිටර් පොතක් ගෙදර අමතක වූ විට ඇතිවන ලොකු ප්රශ්නය ද නැත.
ඒ සේරමටත් වඩා වෙනදා මෙන් මොනිටර් පොත් ගොන්නක් වෙනුවටසටහන් ලියන හාෆ්-ෂීට් බහා ලූ කාඩ්බෝඩ් ෆයිල් කවරයක් පමණක් රැගෙන විශ්වවිද්යාල සිසුන් සේ සිංහ සෙයියාවෙන් අපට පාසල් යා හැක.
අනිත් වැදගත් කාරණය වූයේ මොනිටර් පොත්වල මිල හා සසඳන විට හාෆ්-ෂීට්වල මිල සැලකිය යුතු තරම් වැඩි නොවීමයි.
පාසල් දිවියේ උසස් පෙළ සමය ද, විශ්වවිද්යාලවල ගත කළ කාලය ද හාෆ්-ෂීට් අතරම ගෙවී ගියේය. පසුව එළැඹි මා රැකියා කළ සමයේ දී මා අතින් වූ එකම ලිවීම වූයේ ඉඳහිට ලියවෙන කවියක් පමණි. පුදුමයකට මෙන් ඒ සඳහා මා භාවිතා කිරීමට පෙළඹී තිබුණේ මොනිටර් පොතකි. එයට හේතුව වූයේ කොළ කැබලිවල ලියවෙන දේ එකට එක් කර තබා ගැනීමේ තිබුණු ප්රායෝගික අපහසුවයි.
මේ කාලයේ එක් සති අන්තයේ දිනක මට මගේ ඥාති නිවසකට යාමට සිදුවිය. මේ නිවසේ සිටි මගේ ඥාති සොහොයුරා ඒ දිනවල සාමාන්ය පෙළ විභාගය සමත්ව, උසස් පෙළ හැදෑරීම අරඹන්ට නියමිතව තිබුණි. ඥාති නිවසට ගෙන යන බිස්කට්, කෙසෙල්වලට අමතරව ඥාති සොහොයුරාට තෑගි දීම සඳහා යමක් මිල දී ගැනීමට මට අවශ්ය විය. මට එක්වරම සිහියට ආවේ ඔහුට දිය හැකි හොඳම ත්යාගය හාෆ්-ෂීට් බවයි.
නගරයේ පොත් කඩයකට ගොඩ වැදුණු මා හාෆ්-ෂීට් බණ්ඩලයකුත්, සටහන් බහාලීමට මෙන්ම, හාෆ්-ෂීට්වල ලිවීමේ දී ආධාරකයක් ලෙස භාවිතා කිරීමට ද හැකි ඝන ප්ලාස්ටික් ෆයිල් කවරයකුත්, විවිධ වර්ණයේ පෑන් කිහිපයකුත් මිලට ගත්තෙමි.
ඒ සඳහා මා මුදල් ගෙවන කවුන්ටරය අසලට ගිය විට එහි දී මා දුටුවේ මා එවකට සේවය කළ ආයතනයේ ම සේවයේ නියුතුව සිටි ලිපිකරු මහතෙකි. ඔහු එහි කවුන්ටරයේ සිටි පුද්ගලයා ගේ මිතුරෙක් සේ හැඟිණි.
"හලෝ කොහොම ද?" කියා ඔහු මා සමග සිනාසී කතා කළ ය.
එකෙණෙහිම ඔහුගේ නෙත ගැටුණේ මා අත තිබු හාෆ්-ෂීට් බණ්ඩලය ඇතුළු ලිපිද්රව්ය භාණ්ඩ කිහිපයයි. ඒ දුටු විගස ඔහුගේ දෙනෙත් විස්මයාර්ථයක් දක්වමින් විසල් වෙනවා පෙනුණි.
"ආ! හාෆ්-ෂීට් කඩෙනුත් ගන්නවා ද?" ඔහුගේ මුවට ක්ෂණයකින් නැගුණු වදන් පෙළ එය විය.
ඒ ප්රශ්නය ඇසීමට හේතුව ගැන ඊට වඩා වැඩි විස්තර කිරීමක් අවශ්ය නොවේ යැයි සිතමි.
- රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.