Saturday, 3 October 2026

අනාගත ආහාර හිඟයට විසඳුම “මුහුදු ඇල්ගී”? - දයාරත්න වීරසේකර



ලෝක ජනගහනය අසීමිත ලෙස වැඩිවීම පැවතීම අර්බුද රාශියකට හේතුවක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2023 වර්ෂයේ දී අනතුරු හැඟවීය. ආහාර හිඟය එයින් ප්‍රධානතම අර්බුදයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව, 2022 නොවැම්බර් මස 15 වන දින ලෝක ජනගහනය බිලියන 8 සීමාව පසුකළේය. ඒ අවස්ථාව වනවිට මෙතෙක් ලෝකයේ වැඩිම ජනගහනය වාර්තා කළ චීනය අබිබවා ඉන්දියාව පෙරමුණට පැමිණ තිබුණි.

කෙසේ වෙතත්, 2020 වර්ෂයේ සිට ලෝක ජනගහනය වාර්ෂික වැඩිවේමේ ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මේ ප්‍රක්ෂේපණ අනුව 2030 වසර වනවිට ලෝක ජනගහනය බිලියන 8.5 ක් සහ 2050 වනවිට බිලියන 9.7 ක් පමණ විය හැකි බව ඇස්තමේන්තු කර ඇත. වැඩිවන ජනගහනය, 2080 දී බිලියන 10.4 පමණ වී, වසර 2100 දක්වාම එම මට්ටමේ පැවතිය හැකිබවට ද පෙරැයීමක් කර තිබේ.


ලෝක ජනගහන වර්ධනය 1900 සිට 2022 දක්වා (https://reflector.uindy.edu/)

එක්සත් ජාතීන්ගේ ම තවත් අධ්‍යයනයකට අනුව වසර 2100 වනවිට ලෝක ජනගහනය සඳහා අවශ්‍ය ආහාර ප්‍රමාණය ලබාගැනීම පිණිස ආහාර නිෂ්පාදනය දෙගුණයකින් වැඩිකළ යුතුවේ. මෙසේ ආහාර නිෂ්පාදනය වැඩි කරගැනීම සඳහා තවත් වගා බිම් අක්කර බිලියන 1.4 (570,000 hectares) පමණ අවශ්‍ය වන බව ද ගණනය කර තිබේ.

මෙතරම් විශාල භුමි ප්‍රමාණයක් නව කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවීම කිසිසේත් කළ නොහැක. දැනටමත් උග්‍ර තත්ත්වයකට පැමිණ තිබෙන ගෝලීය උණුසුම්වීම තරමක් දුරටවත් මැඩ පැවැත්වීම සඳහා, වැඩි වැඩියෙන් වනාන්තර වගා කිරීමේ අවශ්‍යතාවය ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්වා දී තිබේ. දේශගුණ විපර්යාස මැඩලීම සහ ජීවී විශේෂ වඳවීයාම වැළැක්වීම සඳහාත්, ප්‍රභාසංස්ලේෂණය මගින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම මගින් ජෛව විවිධත්වය සමතුලිත මට්ටමක තබා ගැනීමටත් වනාන්තර වලින් සිදුවන මෙහෙවර අති විශාල ය. මේ නිසා, ආහාර වගා බිම් සඳහා වැඩිදුරටත් වනාන්තර එළිකිරීම මගින් ගැටලුව වඩාත් උග්‍රවනු ඇත.

අනාගතයේ දී ජනගහන වර්ධනය නිසා ඇතිවිය හැකි ආහාර හිඟයකට මුහුණ දීම සඳහා කළ හැකි එක්‌ පිළියමක් ලෙස, මුහුදේ බහුලව වැඩෙන ඇල්ගී ශාක (Algae) වැනි ශාක, මිනිසාගේ ආහාර ලෙස භාවිතා කිරීම පිළිබඳව දැන් විද්‍යාඥයින්ගේ සිත් යොමු වෙමින් පවතී.

එක්සත් ජාතීන් විසින් 1994 දී සම්මත කරගන්නා ලද මුහුදු කලාපවල අයිතිය පිළිබඳ සම්මුතිය අනුව, ලෝකයේ සෑම රටකට ම, සාගර සහ මුහුදු සම්පත් ප්‍රයෝජනයට ගැනීම සඳහා විශේෂ සාගර ආර්ථික කලාපය බැගින් වෙන්කර තිබේ. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයට වර්ග කිලෝමීටර් මිලියන 4.3 ක්, ඔස්ට්‍රේලියාවට වර්ග කිලෝමීටර් මිලියන 5.97 ආදි වශයෙන් මුහුදු සීමා බෙදී ගොස් ඇත. කුඩා රටක් වන ශ්‍රී ලංකාවට වර්ග කිලෝමීටර් 532,619 පමණ සාගර කලාපයකට හිමිකම තිබේ.


(https://www.frdc.com.au/) and (https://ebrary.net/)

නවීන ක්‍රමෝපාය අනුව ඉතා හොඳින් සකස්කර ආහාර වශයෙන් ගත හැකි, ඇල්ගී විශේෂ රාශියක් තම මුහුදු කලාපවල වගාකිරීම සඳහා, දැනටමත් රටවල් කිහිපයක්ම පියවර ගනිමින් සිටින බව ප්‍රකාශිතය.

සුවිශේෂී ජෛව විවිධත්වයක් සහිත මුහුදු ඇල්ගී ශාක ප්‍රජාව
ආහාර හිඟයක් වැනි බැරෑරුම් උපද්‍රවයක දී, සම්ප්‍රදායික ආහාර වෙනුවට මුහුදු ඇල්ගී පාදක නිෂ්පාදන සඳහා විද්‍යාඥයින් යොමුවනුයේ, ඒවායේ ඇති පරිසර හිතකාමී සුවිශේෂී ලක්ෂණ රාශියක් නිසා ය.

ස්වරූපය අනුව, මහා ඇල්ගී සහ ක්ෂුද්‍ර ඇල්ගී යනුවෙන් ඇල්ගී ප්‍රභේද දෙකකි.

ප්‍රමාණයෙන් මයික්‍රෝමීටර් (μm) 2 සිට 200 දක්වා වන ඇල්ගී ක්ෂුද්‍ර ඇල්ගී වන අතර, මීට වඩා විශාල ප්‍රභේද මහා ඇල්ගී ලෙස හැඳින්වේ. සමහර මහා ඇල්ගී විශේෂ දිගින් මීටර් අටක් දහයක් පමණ වැඩෙන බව ද නිරීක්ෂණය කර තිබේ. සාගර සහ මුහුදුවල ඉතාමත් වැදගත් ජෛව පද්ධතියක් වන ප්ලවාංගවල (planktons) ද, සැලකියයුතු ප්‍රතිශතයක් ක්ෂුද්‍ර ඇල්ගී අන්තර්ගත වේ.

පොදුවේ සියලුම මහා ඇල්ගී විශේෂ වල හරිතප්‍රද අඩංගු වන බැවින්, ඒවා සුවිශේෂී ප්‍රභාසංශ්ලේෂක, නැතහොත් ආහාර නිෂ්පාදක තලස ශාක (Thallophyta) ලෙස සැලකේ.

ප්‍රධාන මහා ඇල්ගී ප්‍රභේද තුනකි. භෞතික වර්ණය අනුව මේවා හරිත ඇල්ගී (Chlorophyta), දුඹුරු ඇල්ගී, (Phaeophyta) සහ රක්ත ඇල්ගී (Rhodophyta) යනුවෙන් නම්කර ඇත. පියවි ඇසට පෙනෙන මුහුදු ඇල්ගී සියල්ලම පාහේ ඈත අතීතයේ සිටම “මුහුදු වල්පැළෑටි” (sea weeds) ලෙස හැඳින්වේ. එහෙත් ජපානය ඇතුළු ආසියානු රටවල සහ උතුරු යුරෝපීය රටවල් කිහිපයක විවිධ ආහාර වර්ග සකස් කර ගැනීම සඳහා දිගු කලක සිට මුහුදු ඇල්ගී භාවිතාවේ. ගොඩබිම වැඩෙන සාමාන්‍ය ශාකවල මෙන් ශක්තිමත්ව ඍජුව පිහිටීම සඳහා අවශ්‍ය වන ස්ථුල කෝනස්තර (collenchyma) වැනි දෘඪස්තර පටක මුහුදු ඇල්ගීවල නොතිබීම ද විශේෂ ලක්ෂණයකි. මේ නිසා මෙම ශාක මුහුදු පතුලේ ගල් පර හෝ කොරල් පර වැනි ආධාරකයකට සවිවී ජලයේ ඉල්පෙමින් ඍජුව පවතී.


(Google Gemini)

හරිත ඇල්ගී
වෙරළට සමීප ගල්පර සහ කොරල් පර සහිත නොගැඹුරු මුහුදේ බහුලව වැඩෙන හරිත ඇල්ගී අතර ප්‍රධාන වනුයේ, මුහුදු සලාදකොළ (sea lettuce) යන අන්වර්ථ නාමයකින්ද හඳුන්වනු ලබන, Ulva හරිත ඇල්ගී ශාකයයි. මෙහි විශේෂ 80 ක් පමණ ආහාර වශයෙන් භාවිත වේ. අන්තර් ජාතික ආහාරවිද්‍යා සහ පෝෂණ සඟරාවේ, 2024 ජුලි මාසයේ පළකර ඇති ලිපියක මාතෘකාව වශයෙන් The green seaweed Ulva: tomorrow’s “wheat of the sea” යනුවෙන් සඳහන් කරමින් Ulva මුහුදු ශාකය මිනිස් ආහාරයේ ප්‍රධාන ධාන්‍ය වර්ගයක් වන තිරිඟුවලට සංසන්දනය කර තිබෙනුයේ එහි ඇති ඉමහත් පෝෂ්‍ය සංඝටක නිසා ය.

දුඹුරු ඇල්ගී
මේ ඇල්ගී විශේෂවලට දුඹුරු වර්ණය ලැබෙනුයේ ඒවායේ අන්තර්ගත fucoxanthin වර්ණකය නිසා ය. දුඹුරු පැහැති මෙම වර්ණකය මගින් හරිතප්‍රද ආවරණය වන නිසා එම ශාක බාහිරව දුඹුරු පැහැයෙන් දකින්නට ලැබේ. බොහෝවිට මුහුදු රැළ සමග පාවී විත්, ගොඩ ගැසෙන sargassum සහ එවැනි දුඹුරු ඇල්ගී සමහරවිට වෙරළෙහි දැකිය හැක. විශාලතම මුහුදු දුඹුරු ඇල්ගී වන Kelp සහ Laminaria විශේෂ, තරමක් ගැඹුරු මුහුදේ "ඇල්ගී වනාන්තර" ලෙස බහුලව වැඩේ.

රක්ත ඇල්ගී
සුර්යාලෝකය මඳ වශයෙන් ලැබෙන තරමක් ගැඹුරු මුහුදේ ජීවත්වීම සඳහා විශේෂයෙන් සකස් වූ අනුවර්තන සහිත රක්ත ඇල්ගී, කලින් සඳහන් කළ වෙනත් විශේෂ තරමට විශාලව නොවැඩේ. මෙම කාණ්ඩයට අයත් Gracilaria වැනි, ඇල්ගී විශේෂ වලට රක්ත පැහැය ලැබෙනුයේ, ඒවායේ සෛල වල අඩංගු, phycoerythrin සහ phycocyanin වැනි රතු පැහැති වර්ණක නිසා ය. මෙම රක්ත ඇල්ගී විශේෂ ද කලාතුරකින් වෙරළට පාවී තිබෙනු දකින්නට ලැබේ.

මුහුදු ඇල්ගී පරිසර හිතකාමී ශාක ප්‍රජාවකි
සාගර සහ මුහුදුවල ස්වභාවික ප්‍රශස්ත භාවය නැතහොත් එම පරිසර පද්ධතිවල ‘සෞඛ්‍ය සම්පන්න භාවය’ පවත්වා ගැනීම සඳහා මුහුදු ඇල්ගී මගින් කෙරෙන මෙහෙවර අති විශාල ය. අන්වීක්ෂීය ප්‍රභාසංස්ලේෂක ප්ලවාංගවල (planktons) සිට, මීටර දහයකටත් වැඩි දිගකින් යුක්ත විශාල kelp ශාකවලින් සමන්විත වී "සාගර වනාන්තර" දක්වා විහිදී යන මුහුදු ඇල්ගී, ආශ්චර්යමත් ශාක ප්‍රජාවකි. මෙම තලස ශාක, විවිධ ආකාරයට මිනිසාගේ ආහාර වශයෙන් ගත හැකිය. ඒවා මගින් බොහෝ සාමුද්‍රික ජීවීන්ට රැකවරණය සැලසෙන අතරම මුහුදු ඇල්ගී ඉතාමත් සංකීර්ණ කරදිය ආහාරදාමවල නිෂ්පාදකයෝ ද වෙති.

එමෙන්ම පෘථිවියේ ඇති ප්‍රයෝජ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් 50% පමණ ලැබෙනුයේ, මුහුදු ඇල්ගීවලින් බව ද ගණනය කර තිබේ. මුහුදු ඇල්ගී සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ ශාන්ත බාර්බරා සමුද්‍ර සන්ධිය අවට මුහුදේ කරන ලද සමීක්ෂණයකට අනුව, ඒ පරිසරයේ මහා ඇල්ගී විශේෂ 82 ක් හඳුනාගෙන ඇති අතර, එම ජලජ ඇල්ගී වියන මගින් රැකවරණය ලබා එම පරිසරයෙන් ආහාර ද ලබා ගනිමින් ජීවත්වන අපෘෂ්ඨවංශී ජීවීන් සහ මත්ස්‍යයින් වැනි පෘෂ්ඨවංශී විශේෂ ද අති විශාල සංඛ්‍යාවක් සිටින බව නිරීක්ෂණය කර තිබේ. මුහුදු ඇල්ගී වනාන්තර මගින් සිදුවන මෙම සුවිශේෂී මෙහෙවර සහ ගොඩබිම තිබෙන ස්වභාවික වනාන්තර මගින් ඉටුකරනු ලබන කර්ත්ව්‍යය ද බොහෝදුරට ඒකාකාර වේ.


මුහුදු ඇල්ගී වනාන්තරයක් (wikipedia)

එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි පහසුවෙන් ජෛවහායනයට (biodegradable) ලක්වන "ප්ලාස්ටික්" වර්ග ඇතුළු නිෂ්පාදන රාශියක මූලික අමුද්‍රව්‍යය ද මුහුදු ඇල්ගී වේ. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් යම්කිසි ප්‍රමාණයක් මුහුදු ජලයේ අවශෝෂණය වීම නිසා, එම ජලයේ ආම්ලිකතාව වැඩිවිය හැකිය. මෙසේ සිදුවීම මුහුදු ජීවීන්ට අහිතකර වේ. එහෙත් මුහුදු ඇල්ගීවල ප්‍රභාසංස්ලේෂණය සඳහා ජලයේ ද්‍රාවණය වී ඇති කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නා බැවින්, මුහුදු ජලයේ pH අගය පාලනය වීම මගින් වැදගත් පරිසර හිතකාමී කෘතියක් ද සිදුවේ. මෙම ක්‍රියාවලියේ දී මුක්ත වන ඔක්සිජන් ජලජ ජීවීන්ගේ ස්වසනය සඳහා ප්‍රයෝජ්‍යවීම ද ඉමහත් වාසියකි.

ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන, ගවපට්ටි වැනි සත්ත්ව පාලන කටයුතුවල දී, විශේෂයෙන්ම ගවයින්ට ආවේණික, තණ හෝ පිදුරු මිශ්‍ර භෝජන විලාසය නිසා එම සතුන්ගේ ආමාශය තුළ හටගන්නා මීතේන් වායුව වායු ගෝලයට මුසුවේ. මීතේන් වායුව කාබන්ඩයොක්සයිඩ් වායුවටත් වඩා අධික ලෙස ගෝලීය උණුසුම්වීමට තුඩු දෙන වායුවකි. මෑත දී කර ඇති පර්යේෂණ අනුව, Asparagopsis taxiformis නමැති රක්ත ඇල්ගී විශේෂය ගව ආහාර සමග මිශ්‍ර කල විට ගවයින්ගේ ආමාශයේ මීතේන් හටගැනීම 90% පමණ අඩුවන බව නිරීක්ෂණය කර තිබේ. මේ ආකාරයට මීතේන් වායුව මුක්තවීම සීමා කිරීමට නව ක්‍රමවේදයක් පහසුවෙන්ම ලබාගතහැකි වීම ගව පට්ටි පාලන කටයුතු සම්බන්ධව සුබදායී ආරංචියක් ලෙස සැලකිය හැකිය.

මුහුදු ඇල්ගී, අයඩීන් (Iodine) මූලද්‍රව්‍යය බහුලව අඩංගු ස්වාභාවික ප්‍රභවයක් ලෙස හඳුනාගෙන තිබේ. මිනිසාගේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් "තයිරොක්සීන්" (thyroxine) වැනි හෝර්මෝන නිපදවීම සඳහා අයඩින් අවශ්‍ය ය. ආහාරයේ අයඩින් ඌනතාව නිසා කුඩා දරුවන්ගේ වර්ධනය අඩාලවීම සහ වැඩිහිටියන්ගේ ගලගණ්ඩ (goitre) රෝගය වැළඳීමට ද හේතු වේ. මුහුදු ඇල්ගී ආශ්‍රීතව නිෂ්පාදනය කරනු ලබන අතිරේක ආහාර මගින් මෙම රෝගී තත්ත්ව මගහරවා ගත හැක.

දැනට බොහෝ ආහාර වර්ග දැවටීම සඳහාත්, එමෙන්ම වෙනත් විවිධ භාණ්ඩ සුරක්ෂිතව ඇසුරුම් කිරීම සඳහාත් විශාල වශයෙන් භාවිත කරනුයේ පෙට්‍රෝලියම් පාදක ප්ලාස්ටික් නිෂ්පාදන වේ. මෙම ද්‍රව්‍ය අතිශයින් පරිසරයට හානිකර ය. සමහර ප්ලාස්ටික් වර්ග වියෝජනය වීමට වසර සියගණනක් ගත වේ. එමෙන්ම ප්ලාස්ටික් මගින් සිදු වී ඇති පරිසර දූෂණය ප්‍රකෘතිමත් කිරීමට නොහැකි තරමේ තත්ත්වයකට පත් වී ඇත. මෙම ව්‍යසනකාරී උපද්‍රවය මගහරවා ගැනීම පිණිස ද මුහුදු ඇල්ගී භාවිත කළ හැකි බව පර්යේෂණවලින් ඔප්පු වී තිබේ. දැනටමත් නොයෙකුත් මුහුදු ඇල්ගීවල අඩංගු සංකීර්ණ දිගු කාබන් දාම සහිත කාබෝහයිඩ්‍රේට නැතහොත් පොලිසැකරයිඩ භාවිතා කර කඩිනමින් ජෛව වියෝජනය සිදුවන "ස්වාභාවික ප්ලාස්ටික්" නිපදවා තිබේ.

විශාල ජෛව විවවිධත්වයක් සහිත මුහුදු ඇල්ගී ගැන සලකා බලන විට අනාගතයේ දී ඇතිවිය හැකි ආහාර හිඟයකට ඒවා පිළියමක් වන්නා සේ ම, ඖෂධ නිෂ්පාදනය, සත්ත්ව ආහාර වැඩිදියුණු කිරීම, ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනුවට පරිසර හිතකාමී නිෂ්පාදන එළිදැක්වීම වැනි විවිධ ධනාත්මක පිවිසුම් නිසා ගෝලීය උණුසුම්වීම අඩුකර ගැනීමට ද අස්වැසුමක් ලබාගතහැකි වේ යැයි සිතේ.

- දයාරත්න වීරසේකර
dayawee2@yahoo.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි