
කවියක් ලියන්නට ගියෙමි
කුඹුරට
වේගයෙන් වැඩ කරන මිනිසුන් දුටිමි
නැත ඉඩක්
ප්රිය වදනක් බෙදාගන්නට
කවියක් ලියන්නට ගියෙමි
බස් නැවතුමට
මලු ඔසොවාගත්
දරුවන් කිහිලි ගන්වාගත්
මගී දන විඩාවෙනි
දෑස් ඉවතට පා කරමින
කවියක් ලියන්නට ගියෙමි
රෝහලට
පෝලිම්වල කේඩෑරි මුහුණු ය
කෑ කෝ ගහන නිල ඇඳුම් ය
තැන තැන
කවියක් ලියන්නට ගියෙමි
පාසැලට
මැලවුණු මල් කැකුළු ය
උදා හමුවක
නිදිබර ගුරුවරු ය
කවියක් ලියන්නට ගියෙමි
නගරයට
වාහන තදබදය තදටම
නළා හූ හඬ කරදර
එල්ලා බුම්මා ගත් මුහුණු ය
පියවර සෙමෙන් ඔසොවමි ආපසු
මා නිවසන ගම් පියසට
තණකොළ මල් හිස වනමිනි
සුළං දැලක් නිදැල්ලේ නටමිනි
ඇහිඳ යමි
අඩුව පුරවන්නට සඳ එළිය...
-නයෝමි අමරසිංහ
namarasinghe78@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.