Thursday, 15 October 2026

විජේ මාමා - ඉන්දිකා තිලකුමාර



උදේ පාන්දර ගෙදරින් ආවට මොකද ඉස්පිරිතාලේ ළඟින් බහින කොට සායනවල හරියට දොරක් වත් ඇරලා තිබුණේ නෑ. උදේ අටට සායනය පටන් ගන්න තව පැය භාගෙකටත් වඩා තිබුණු නිසා මං වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය පැත්තට ආවේ මොනවා හරි බඩට දා ගන්න. ආයෙ වැඩ පටන් ගත්තට පස්සෙ නම් දෙක වෙනකම් වතුර එකක් බොන්නවත් නැගිටිනවා බොරු. අම්මා උදේ පාන්දර නැගිටලා බත් එකක් බැඳලා දුන්නාට, එච්චර උදේ පාන්දර උදේ කෑම ගන්න මට කම්මැලි හිතුණා.

කැන්ටිමේ මල්ලිගේ රෝස් පාන් කාලා, උණු උණු ප්ලේන්ටියකුත් බීලා, සායනය ළඟට එන කොටයි කණිෂ්ඨ සේවකයෙක් ඇවිත් සායනයේ දොර ඇරියේ.

"මෙච්චර උදෙන් යන්නේ ක්ලිනික් එක අරින්න ද පුතේ? ඔන්න ඔහේ දවල් වෙලා බස් එකක යන්න," උදේ බත් එක අතට දෙන ගමන් අම්මා කියපු හැටි මට මතක් වුණා.

අම්මා එහෙම කියන්න ඇත්තේ පාන්දර කෝච්චියේ යන්න මං මහන්සි වෙන හැටි බලා ඉන්න බැරිව වෙන්න ඕනේ. ඒ වෙන කොට මාසික ගෙවීමේ පදනමකට පොඩි වාහනයක් අරන් තිබුණට මං දුර ගමන්වලට ඒක පාවිච්චි කළේ නෑ.

"මං කොහොමත් කෝච්චියෙ යන්න ආසයි අම්මා බස් එකට වඩා. අනික උදේම ගියාම මහන්සිත් නෑ. කළින් ගියොත් සර් එනකම් මොනවා හරි වැඩක් කරගන්න බැරියැ," අම්මාට දුක හිතෙයි කියලා මං කිව්වා.

"අර විජේ මාමාත් කතා කළා පුතේ එයැයිගේ යාළුවෙක් මහ ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. පුළුවන් නම් පොඩ්ඩක් බලන්නකෝ ," අම්මා මතක් කළා.

විජේ මාමා කියන්නේ අම්මගේ ඥාති සහෝදරයෙක්. තරුණ කාලේ බිඳ වැටුණු ප්‍රේම සම්බන්ධයක් නිසා ජීවිතකාලේ ම තනිකඩව ඉන්න කෙනෙක්. වෘත්තියෙන් ඔහු රියදුරෙක්. මහා ලොකු රස්සාවක් නොකළාට, අතේ මිටේ සල්ලි ගැවසුණු, කාල බීල කාටත් උදව්-පදව් කරගෙන හිටිය කෙනෙක්. ඉස්සර මං පන්තියේ පළමුවෙනියා වෙච්ච වෙලාවට, ශිෂ්‍යත්වේ පාස් වෙච්ච වෙලාවෙ, නොවරදවාම පුංචි තෑග්ගක් මගේ අතේ තියපු කෙනෙක්. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ වුණත් මුදලින්-හදලින් මට උදව්-උපකාර කළ කෙනෙක්.

ඒ වුණාට විජේ මාමාගේ දැන හැඳුනුම්කම් එක්ක, ලෙඩවුණු එයාගේ ඥාති මිත්‍රාදින්ගෙයි, ඔවුන්ගේ පවුල්වල අයගෙයි ලෙඩට දුකට බලන එක මට මහා කරදරයක් වෙලා තිබුණේ.

"අනේ පුතේ මගේ යාළුවෙකුගේ පවුලගේ කිරි අප්පච්චි නාවලපිටියේ ඉස්පිරිතාලෙට ඇතුල් කරලා ඉන්නවා. දැන් දවස් ගාණක් කන්නෙ බොන්නෙ නෑ ලු. පොඩ්ඩක් බලල විස්තර කියනවද?" ඔහු විටෙක කියනවා.

"අනේ පුතේ මගේ හොඳ යාළුවෙකුට පොඩි කරදරයක් වෙලා. මිනිහගේ වාහනේ හැප්පුණු කොල්ලට අමාරු ලු. පුතාගේ යාළුවෙකුට කියලා අපේ මිනිහවත් පොඩ්ඩක් ඉස්පිරිතාලේ නවත්තා ගන්න පුළුවන් වෙයිද?" තවත් විටෙක ඔහු ඉල්ලන්නේ අපේ වෘත්තීය සාරධර්ම වලට පටහැණි ඉල්ලීමක්.

විජේ මාමා හිතුවේ මං දොස්තරකෙනෙකු නිසා ලංකාවෙ ඉස්පිරිතාලවල ඉන්න සේරම දොස්තරල මගේ යාළුවො කියලයි. දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව දක්වා ඕනෑම ඉස්පිරිතාලෙක ඉන්න ලෙඩෙක් එක දුරකථන ඇමතුමකින් ගොඩදාන්න මට පුළුවන් ය කියලයි. මුලදී, මුලදී විජේ මාමා කියන, කියන ඕනැ තැනකට ගිහින් හරි, කෝල් එකක් දීලා හරි එයාගේ ලෙඩ්ඩුන්ගේ වැඩවලට උදව් කළාවුණාට පස්සෙ, පස්සෙ මං ඒවා මඟහැරියා. වැඩ පිට දාලා දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොදී හිටියා. ඒ වුණාට විඡේ මාමා අම්මට කතා කරල උදව්වක් ඉල්ලුවාම මට කර අරින්න බැරිවෙනවා. ඒ වගේ වෙලාවට මං ඉතින් පුළුවන් දෙයක් කරලා දෙනවා.

වෙලාව වැඩියි කියලා දැන දැනම මං පාන්දර කෝච්චියේ ආවේ, සඳුදා උදේම පරක්කු වෙලා ගිහින් නිකම් සර්ගේ උදහසට ලක් වෙන්න ඕන නෑ කියලා මට හිතුණ නිසා.

කෝච්චියෙ යන්න ආසයි කියලා මම අම්මා එක්ක කිව්වට මොකද සඳුදා උදේ කොළඹ එන ගමන මට තිත්ත වෙලා තිබුණේ. ඇත්තටම ඒ වෙන කොට මං හිටියේ මේ මාස තුන යන කම් ඇඟිලි ගැන ගැන.

එහෙමයි කියලා මං කාලේ නාස්ති කළේ නෑ. හුඟාක් වෙලාවට මං දුම්රියේදිත් මොනවා හරි අලුත් දෙයක් කියවා ගත්තා. මට ඕන වුණේ කොහොම හරි එක පාරින්ම විභාගේ පාස් වෙලා මගේ විදේශ පුහුණුවට යන්න. කවදාහරි හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න.

"යකඩෝ! ඈතම ඉඳන් එන ධනුක මහත්තයා නේ අද ඉස්සරෝම වෙලා ඇවිත් තියෙන්නේ," දොර අරින ගමන් කණිෂ්ඨ සේවකයා කිව්වා.

ඔහු ඒ කතාව කිව්වෙ අගය කිරීමකට ද නැත්නම් ඔහුටත් කළින් මං වැඩට ඒම ගැන උපහාසයට ද කියලා මට හිතා ගන්න බැරි වුණා.

මට ඉතින් වැඩ නම් කොච්චර කළත් ගාණක් නෑ. මං තවම තනිකඩයා නිසා එකට වැඩ කරපු ජේෂ්ඨ, කණිෂ්ඨ වෛද්‍යවරු කව්රුත් "අනේ මල්ලී! අනේ අයියා!" ගාගෙන ළමයි පන්තිවලට දාන්න, ඉස්කෝලෙන් ගන්න, දෙමාපිය රැස්වීම් ආදී එකී මෙකී නොකී වැඩවලට යන්න කළින් පනින්න ඕන වුණාම, මට පොඩ්ඩක් බලන්න කියලා ෂේප් වෙලා ගිය වෙලාවල් තිබුණා.

පේරාදෙණියෙ ඉඳිද්දි නම් මං ඉතින් කෑම පැයේදී ගියේ රෝහල් පුස්තකාලෙට විතරයි. කෙටි සායනික පුහුණුවට කොළඹ ආවට පස්සෙ නම් ඉඩක් ලැබුණ වෙලාවට මං ආස දෙයක් කළා. ජාතික රෝහල අවට ඒ වගේ රස්තියාදු ගහන්න වටින චිත්‍ර ප්‍රදර්ශන, නාට්‍ය, සංගීත ප්‍රසංග, පොත් දොරට වැඩුම් වගේ දේවල් ඕනවටත් වඩා තිබුණා. සතියේ දවස් පහ ගෙවිලා යනවා ඒ නිසා දැනුණේ ම නැති තරම්.

සර් එනකොට මම අළුත් ලෙඩ්ඩුන්ගේ සායනික ඉතිහාසය සටහන් කරලා, අවශ්‍ය පරීක්ෂණවලටත් යොමු කරලා, වැඩ බාගෙට බාගයක් ඉවර කරලා තිබුණේ.

රෝගින්ගේ ප්‍රතිකාර සැලස්ම සාකච්ඡා කරන වෙලාවෙ සර් මගෙ සැලස්මට අලුත් යමක් එකතු කරේම නැති ගානයි.

"ධනුක වගේ හොඳට වැඩ කරන්න," කියලා දවසක් මාත් එක්ක වැඩ කරන අනිත් රෙජිස්ට්‍රාර්වරියටත් සර් කියලා තිබුණා.

දවල්ට බත් කාලා මං සලාකා එක පැත්තට ඇවිද ගෙන ගියේ මගේ ෆෝන් එකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දා ගන්න. අලුතෙන් එකක් ගන්න කල් තව ටික කාලයක් පරණ එකම පාවිච්චි කරනවා කියලා මං හිතුවෙ මකුළු දැල වගේ ඉරි තළලා තිබුණු පෝන් එක දිහා බලලා.

පාර පැනලා එහා පැත්තට යන්න හදන කොට මිනිස්සු සු ගාල එක් රොක් වෙලා ඉන්නවා මට දකින්නට ලැබුණා.

තෙල්-බේත්කාරයෙක් හරි ඔය මොනවා හරි විකුණන වෙළෙන්දෙක් වෙන්න ඇතියි කියලයි මට මුලින් හිතුණේ. කිට්ටු වෙලා බලද්දී ඒ මිනිහෙක් කියලා මට පෙනුණා.

"කාලකණ්ණි මේ මහ දවල් බීලා අගුපිල්වල වැටිලා ඉන්නවා," කියලා කව්දෝ බැණ බැණ යනවා මට ඇහුණා.

කෝකටත් කියලා තව ටිකක් කිට්ටු කරලා බැලුවාමයි, වම් අතේ මැණික් කටුව ළඟින් දමයන්ති කියලා ලියලා, කෙල්ලෙක්ගේ රූපයක් එක්ක තිබුණු පච්චෙ දැක්කේ. ඒ වගේ පච්චයක් තියෙන එක ම කෙනායි මං නම් දන්නේ. ඒ අපේ විජේ මාමා විතරයි.

විජේ මාමා නේන්නම්. කිලිටියට කිලුටේ සරම් කඩමාල්ලක් ඇඳලා, ඒ වගේම පරණ සායම් ගිය කමිසෙකුත් ඇඳලා. හරියට කොණ්ඩෙ, රැවුලවත් කපලා නෑ. අර මිනිහ කිව්ව වගේ බීලා වෙන්නැති. බොන්න බැරි මිනිහනේ. ඊට හපන් බිව්වම දාන පාට්! මිනිහට ඉංග්‍රීසි මතක් වෙන්නෙ බිව්වම. එකම දේ දහ පාරක් කිය කියා. ඒ මදිවට ඇඬිල්ලයි, ඉඹිල්ලයි එකම නාඩගමයි. දැන් ගිහින් කතා කරොත් මගෙත් සායම යයි. වෙරි හිඳුණාම නැගිටලා යන්නැතෑ.

එහෙම හිතලා පය ඉක්මන් කරලා එතනින් ගියාට මොකද මං කළේ හරි වැඩක් ද කියලා මම කල්පනා කළා. තකහනියේ කොළඹ එක්කන් ඇවිල්ලා, විශ්වවිද්‍යාලේ පළමු වසරට අවශ්‍ය නැවුම් සුවඳ හමන පාඩම් පොත් මට අරන් දුන්නේ අර පාර අයිනේ වැටිලා හිටිය මිනිසා නේද කියලා මතක් වෙන කොට මට මං ගැනම ලැජ්ජාවක් ඇතිවුණා. ආපහු එනින් ගමන වත් මිනිහට මොකද කියලා බලම්දෝ යි නැද්දෝ යි මගේ සිතත් සමඟම වාද කරමින්,ඉක්මනට මගේ වැඩෙත් කර ගෙන ආපහු එද්දී එතන එහෙම කලබලයක් තිබුණෙ නෑ.

ඇති යාන්තම් කියලා මම අඩියට දෙකට ආපහු ඉස්පිරිතාලෙට දිව්වෙ හවසට රෝගීන් කීප දෙනෙකුටම එන්න කියලා දින දීල තිබුණ නිසයි.

එදා රෑ නවාතැනට ආවට පස්සෙත් දවල් සිද්ධිය මගෙ හිතේ කැකෑරුණේ ඇහැට වැටුණු වැලි කැටේ වගේ. ඒ වෙලාවෙ කර ඇරියට මොකද මං කළේ මහ සවුත්තු වැඩක් කියලා මගේ හිත මටම දොස් පවරන්න පටන් ගත්තා.

හැම තිස්සේම මන්තරේ වගේ ජප නොකළාට අම්මාගේ කියමනක් මට මතක් වුණා.

"පුතේ අපි මහන්සි වෙන්න ඕනේ රහසින්වත් පවක් නොකර ඉන්න. අපි දිහා කව්රු බලා හිටියත් නැතත්, හැම වෙලේම අපට හිතට දැනෙන හරි දේ කරන්න. ඒකෙන් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ," මගේ හිතේ මුල්ලක ඉඳන් අම්මා කොදුරණවා මට ඇසුණා.

මගේ ගුරුවරුන්ගෙන්, වෘත්තීය සගයින්ගෙන්, ලෙඩ්ඩුන්ගෙන්, කණිෂ්ඨ සේවකයන්ගෙන් හැම කාර්තුවේ දී ම පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය එකතු කරගන්නා පෝරම වල ලියවුණු "විශිෂ්ටයි", "අති විශිෂ්ටයි" වගේ අගැයීම් මොන තරම් බොරුවක් ද කියලා මට කල්පනාවුණා. රෑ දෙගොඩ හරියක් වෙනකම් නින්දක් නැතිව ඇඳේ එහාට මෙහාට පෙරළි පෙරළී හිටියට, මටත් ඒ සිද්ධිය ඊට පස්සෙ අමතකවෙලා ගියා.

අම්මා කතා කළේ සිකුරාදා උදේ.

"පුතේ අපිත් මේ කොළඹ එන්න කියලා."

"අපි කිව්වේ?" මං ඇහුවා.

"තාත්තයි, මමයි."

"ඇයි අම්මා හදිස්සියේ? මං ඉතින් හෙට හවසට කොහොමත් ගෙදර එනව නේ." මං හිතුවේ අම්මා මාව බලන්න කොළඹ එනවා කියලා.

"පුතාට අපි එක්ක හෝමාගම යන්න එන්න පුළුවන් නේද? ගමේ මරණයක් වෙලා නේ?" අම්මා ඇහැව්වා.

"ඒ කව්ද?"

"විජේ මාමා. අපිට ආරංචි නුනට මල්ලි අසනීප වෙලා මහ ඉස්පිරිතාලේ ඉඳලා තියෙනවා. ඊයේ රෑ දැඩි සත්කාරෙදි නැති වෙලා තියෙන්නේ."

"අනේ ඉතින් ගෑනියෙක් ඉන්නව කියල ද දරු මල්ලෙක් ඉන්නවා කියල ද," අම්මා විස්සෝප වුණා.

"මොකක් දෝ වැඩකට කොළඹ ආ ගමන් හාට් ඇටැක් එකක් ඇවිත් පාරේ වැටිලා ඉඳලා තියෙනවා. බීලා වෙන්නැති කියලා කවුරුත් වැඩිය ළං වෙලා නැහැ. පස්සෙන් පහු ත්‍රීවීලර් එළවන ළමයි වගයක් ඉස්පිරිතාලේට බාර දීල තියෙන්නේ."

ගමේ දී මුණ ගැසුණු දවසක, එදත් ලාවට සප්පායම් වෙලා හිටිය විජේ මාමා වැනි වැනී ඇවිත් මගේ අත් දෙක ඉඹ ඉඹ කිව්ව දේ මට මතක් වුණා.

"මයෙ දෙයියා උඹ ලොකු දොස්තර කෙනෙක් වුණාට පස්සේ, මේ නාකි විජේ මාමා එනවා උඹෙන් බේත් ගන්න. අම්මප මං කිව්වොත් කිව්වා. අනිවාර්යයෙන් එනවා. ලොකු දොස්තර මහත්තයෙක් වුණාම මේ විජේ මාමා එනවා උඹෙන් බේත් ගන්න."

ඒ වුණාට මට බැරිවුණා විජේ මාමට බේත් ටිකක් දෙන්න. වෙලාවට රෝහල් ගත කරන්න. එතැනම ඉඳලත්, අම්මා කතා කරලා කියන කම් හාංකවිසියක්වත් ඒ ගැන දැන ගෙන හිටියෙත් නෑ නේ?

එදා පාරේ වැටිලා හිටි වෙලේ ළඟට ගියා නම් විජේ මාමව බේර ගන්න තිබුණ ද? එහෙම බේර ගත්තා නම් ඊට පස්සේ දරු මල්ලෙක් නැති විජේ මාමව බලා ගන්නේ කව්ද?

උත්තර නැති ප්‍රශ්න වැලක් මගේ හිතේ ඇඳිලා, මැකිලා යද්දී එහා පැත්තෙන් අම්මාගේ හඬ මට ඇහුණා.

"පුතේ පුතේ පුතාට ඇහෙනවා ද?"

"සිග්නල් නෑ වගේ ඇහෙන් නැතිව ගියා," අම්මා කියනවා මට ඇහුණා.

- ඉන්දිකා තිලකුමාර
ithilakumara@yahoo.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්