Thursday, 26 November 2026

වන්දනාව - එච්. එම්. පියතිලක හල්පෙ



ගුණවර්ධන මහතා තම පැරණි හාන්සි පුටුවේ වාඩි වී සිටියේය. අසල කුඩා මේසය මත දඹදිව වන්දනාවේ දී ලබාගත් පින්තූර ඇල්බමය තිබුණි. ඔහු එය අතට ගෙන ඉන් එක් ඡායාරූපයක් දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. එය සාරානාත්හි ධම්මික ස්තූපය අසල දී ඔහුත්, බිරිඳත්, එහිදී හමු වී මිතුරන් වූ දයාරත්න මහතාත් එකට සිට සිනාසෙමින් ගත් ඡායාරූපයකි.

“මහත්තයා... මේ තේ එක බොන්න.” ගුණවර්ධන මහත්මිය තේ තැටිය රැගෙන ඉස්තෝප්පුවට පැමිණියාය. ඇය ඇඳ සිටියේ ඇයට සුපුරුදු සරල චීත්ත රෙද්ද සහ හැට්ටයයි. ඇගේ මුහුණේ තිබූ අසහනකාරී බව මැකී ගොස්, ඒ වෙනුවට ගුරුවරියකට සුදුසු සන්සුන් බවක් සහ කරුණාවක් එහි සටහන්ව තිබුණි.

“දන්නවද නෝනා... මේ පින්තූරේ බලනකොට මට හිතෙනවා, අපි ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ගත්ත පින්තූරවල අපි හිටියේ හිනාව මවාගෙන කියලා. ඒත් මෙතන තියෙන්නේ නියම අවංක හිනාවක්,” ගුණවර්ධන මහතා ඇයට පින්තූරය පෙන්වමින් තේ උගුරක් තොල ගෑවේය. ඒ අවස්ථාවේ නිවස ඉදිරිපිට පාරේ පාපැදියකින් යමින් සිටි තරුණයෙක් නතර විය.

“සර්... අසනීපෙන් හිටියා කියලා ආරංචි වුණා. දැන් කොහොමද?” ඔහු ඉතා ගෞරවයෙන් විමසීය.

“දැන් හොඳයි ළමයෝ... අපි දඹදිවත් ගිහින් ආවා,” ගුණවර්ධන මහතා සිනාසෙමින් පිළිතුරු දුන්නේය. තරුණයා ගිය පසු ගුණවර්ධන මහත්මිය හෙමින් සිනාසුණාය.

“පුතා දොස්තර කෙනෙක් වුණාට, අපේ හිතේ අමාරුවට බෙහෙත් තියෙන්නේ මේ වගේ මිනිස්සුන්ගේ වචනයක මහත්තයා. ඕස්ට්‍රේලියාවේ මාලිගාවට වඩා මේ පරණ පොඩි ගේ මට සැපයි,” ඇය පැවසුවාය.

* * *

දඹදිව වන්දනාවේ ගොස් සිටියදී ගුණවර්ධන මහතාට තමා මෙන්ම විශ්‍රාම ලබා සිටි ග්‍රාම නිලධාරීවරයෙකු වූ දයාරත්න මහතා හමුවිය. සම වයසේ, සම අදහස් දැරූ ඔවුන් දෙදෙනා ඉක්මනින් ම මිතුරන් බවට පත්වූහ.

සැඳෑ හිරු රැස් දඹදිව සාරානාත් පුදබිමේ ගඩොල් පවුරු මතට පතිත වූයේ බැතිමතුන්ගේ ගත දවමිනි. නව මූලගන්ධකුටි විහාරයේ තණ පලස මත වාඩි වී සිටි ගුණවර්ධන මහතාට, තමා අසල හුන් දයාරත්න මහතාගේ මුහුණේ මතු වූ සැහැල්ලු සිනහව දැකගත හැකිවිය. රජයේ නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ගිය අභිමානය තවමත් ඔහුගේ කෙළින් වූ උරහිස් මත ශේෂව තිබුණි.

“අපි ගිය මාසේ නිවාඩුවකට ඕස්ට්‍රේලියාවේ ගියා, මහත්මයා. එහෙ මෙහෙ වගේ නෙවෙයි හරි දියුණුයි. රටත් හරිම ලස්සනයි... පාරවල්වල දූවිලි පොදක් නෑ. හැමදේම සිස්ටම් එකට සිද්ධ වෙන්නේ,” ගුණවර්ධන මහතා තම ඕස්ට්‍රේලියානු සංචාරයේ අසිරිය ගැන දයාරත්න මහතා සමග පැවසීය. ඔහුගේ එකම පුතු එහි විශේෂඥ වෛද්‍යවරයෙකි. ලේලිය ද වෛද්‍යවරියකි. පවුලේ අභිමානය මුහුදෙන් එතෙරට පියාඹා ගොස් තිබුණි.

“ඉතින් ඒ වගේ රටක ඉන්න ලැබෙන එකත් වාසනාවක් නෙවෙයි ද මහත්මයා?” දයාරත්න මහතා විමසීය.

ගුණවර්ධන මහතා මොහොතක් නිහඬ විය. ඔහුගේ දෑස් ඈත පෙනෙන ධම්මික ස්තූපය දෙසට යොමු විය. “වාසනාව කියන දේ මැනෙන්නේ මොකෙන්ද කියලා මට දැන් තේරෙනවා මහත්මයා. එහෙ ගෙවල් මාළිගා වගේ තමයි. ඒත් ඒ මාළිගාවල දොරවල් වැහුණාම හරිම නිහඬයි. අපේ පුතාත්, ලේලියත් වැඩට යනවා. මුනුබුරා ඉස්කෝලෙට, අපි දෙන්නා දවසම මාළිගාව ඇතුළේ හිරවෙලා,” ඔහු සුසුමක් හෙලුවේය.

“පුතා අපිට හරිම ආදරෙයි. ඕනෑම දෙයක් ගෙනත් දෙනවා. ඒත් එයාට අපිත් එක්ක කතා කරන්න වෙලාවක් නෑ. එයාට ලෙඩ්ඩු බලන්න යන්න තියෙනවා. නිවාඩු දවස්වලට එයාලා පවුල් පිටින් යාළුවෝ එක්ක රවුම් ගහන්න යනවා. අන්තිමේදී අපිට ඉතිරි වුණේ එහෙ තියෙන පන්සලකට ගිහින් ලංකාවේ හිටපු අනිත් මහලු මිනිස්සුත් එක්ක හුදකලාව බෙදාගත්ත එක විතරයි.”

ඕස්ට්‍රේලියාව තරුණ දරුවන්ට පාරාදීසයක් වුවත් මහලු දෙමාපියන්ට එය ගමේ ගෙදර ඉස්තෝප්පුව තරම් සුන්දර තැනක් නොවන බව දයාරත්න මහතාට වැටහුණි.

“අපි දරුවන්ට ඉගැන්නුවේ හරිම අමාරුවෙන්. ස්කොලර්ෂිප් එක්සෑම් එකේ ඉඳන් විශ්වවිද්‍යාලේ යන කල්ම අපේ හීනෙවුණේ පුතා දොස්තර කෙනෙක් වෙන එක. එයා දොස්තර වුණා. ඒත් ඒ දොස්තරව අපිට අහිමිවුණා. දැන් එයා අයිති ඕස්ට්‍රේලියාවට. අපිට ඉතිරිවුණේ එයා එවන සල්ලියි, මාසෙකට දෙකකට සැරයක් දෙන වීඩියෝ කෝල් එකයි විතරයි.”

ගුණවර්ධන මහතාගේ දෑස්වල කඳුළු දිලිසෙන්නට විය. රත්නපුරේ දුෂ්කර පාසලක ගුරුවරියක ලෙස සේවය කළ ඔහුගේ බිරිඳ, වන්දනා නඩයට සිසිල් පැන් බෙදා දෙන පෝලිමේ ඉන්නා දෙස ඔහු බලා සිටියේය.

"දයාරත්න මහත්මයා, අපි ඉස්සර රත්නපුරේ උගන්වන කාලේ කොච්චර දුක් වින්ද ද? ඒත් ඒ කාලේ අපිට හීනයක් තිබුණා. අද ඒ හීනය හැබෑ වෙලා. ඒත් ඒ හීනය ඇතුළේ අපි නෑ. එකයි මම කියන්නේ, මේ දඹදිව පාරවල්වල දූවිලි තිබුණට, මිනිසුන්ගේ දාඩිය ගඳ තිබුණට, මෙතන තියෙන තෙරපීම ඇතුළේ ලොකු ජීවයක් තියෙනවා කියලා. අපිට ඕන වුණේ සැප විඳින්න නෙවෙයි, මිනිස්සු මැද්දේ මැරෙන්නයි."

සාරානාත්හි සැඳෑ වන්දනාව සඳහා ඝණ්ඨා නාදය ඇසෙන්නට විය. අවටින් ඇසෙන රථවාහන නළා හඬ සහ මිනිස් කෝලාහලය මැද ගුණවර්ධන මහතා සෙමින් නැඟී සිටියේය.

"දැන් මට ඕනෑ කරන්නේ පුතාගේ සල්ලි නෙවෙයි දයාරත්න මහත්මයා, මගේම පුතා. එහෙත් මගේ මළගමට උර දෙන්න පුතා ලංකාවට ඒවිද කියන එකත් දැන් මට සැකයි."

ඔහු සෙමින් සීරුමාරුවෙන් පියගැට පෙළ බැස යද්දී, ඒ වයෝවෘද්ධ සෙවනැල්ල මූලගන්ධකුටි විහාර බිම මත දිගු වී වැටී තිබුණි. ඒ සෙවනැල්ල ඕස්ට්‍රේලියාවේ පිරිසිදු මාවත්වලට වඩා මේ දූවිලි පිරි පින් බිමට ආකර්ෂණය වන බව දයාරත්න මහතාට සිතුණි.

සාරානාත්හි අහස රන්වන් පැහැයෙන් බැබලුණි. ඒ මතින් ඇදී යන සැඳෑ වලාකුළු මෙන් ගුණවර්ධන මහතාගේ සිතේ තිබෙන මතකයන් එහා මෙහා විසිරී ගියේය. ඔහු තම අත රැඳි පිරිත් නූල් ගැටගැසූ මැණික් කටුව දෙස බලා සිටියේ දැඩි කල්පනාවකිනි.

"බලන්න දයාරත්න මහත්මයා, මම ගුරුවරයෙක් වෙලා හිටපු කාලේ, මගේ පන්තියේ ළමයෙක් අසනීප වුණාම මමයි, මගේ නෝනයි ඒ ළමයාව බයිසිකලේ තියාගෙන ඉස්පිරිතාලෙට අරන් ගියා. එදා අපේ හිතේ තිබුණේ පුදුම සැහැල්ලුවක්. අද මගේම පුතා ඕස්ට්‍රේලියාවේ ලොකු ඉස්පිරිතාලෙක ලෙඩ්ඩු දහස් ගණනක් සුව කරනවා. ඒත් එයාගේ තාත්තට හිතේ අමාරුවක් හැදුණාම බෙහෙත් ගන්න වෙලා තියෙන්නේ මේ වගේ වන්දනා නඩයක ඉන්න ඔබ වගේ අඳුනගත්තු අලුත් යාළුවෙක්ගෙන්."

ඔහු සෙමින් සිය හඬ අවදි කළේය. ඔහුගේ හඬේ වූයේ උපහාසාත්මක වේදනාවකි.

"ඕස්ට්‍රේලියාවේදී පුතා මාව එක්කන් ගියා ඔපෙරා හවුස් එක බලන්න. සිඩ්නි වරායේ මුහුදට නෙරා ගිය බිම්කඩක පිහිටි ඒ සුදු සහ ක්‍රීම් පැහැති ගොඩනැගිල්ල ඇත්තටම හරි අපූරුයි. ඒ දිහා බලන් ඉන්නකොට මට මතක් වුණේ අපේ ගමේ පන්සලේ සුදු හුණු ගාපු චෛත්‍යය. ඒක ඒ තරම් ලස්සන නැතුව ඇති, ඒත් එක ළඟ මට මගේම කියලා හැඟීමක් දැනෙනවා. මෙල්බර්න්වල සීතල මට දරාගන්න බැරි වුණා. ඒ සීතල මීදුම ඇතුළේ මට මාවම නැතිවුණා වගේ දැනුණා. එහෙ කවුරුවත් අපිව අඳුනන්නේ නෑ. පාරේ යන මනුස්සයෙක්ට 'හිනාවක්' දෙන්න තරම් ඒ මිනිස්සුන්ට වෙලාවක් නෑ."

ගුණවර්ධන මහතා සිය අත රැඳි වතුර බෝතලය කටට ළංකර වතුර උගුරක් බීවේය.

"පුතාගේ ගෙදර තිබුණේ ලොකු රූපවාහිනියක්. ඒකේ ලෝකේ හැම රටකම චැනල් පේනවා. ඒත් මගේ නෝනා බලාගෙන හිටියේ ලංකාවේ ප්‍රවෘත්ති යනකල්. හවසට ටෙලිනාට්‍යයක් බලලා ගමේ මිනිස්සුන්ට බැණ බැණ හරි ඉන්න තිබුණා නම් එක ඒ මාලිගාවට වඩා සැපයි කියලා, මට රහසින් කිව්වා. අපි දෙන්නා එහෙ රෑට නිදාගත්තේ හරිම බයෙන්. අපි මැරුණොත් පුතාට එක දැනගන්න වෙන්නේ පහුවදා උදේ වැඩට යන්න කලින් කාමරේට එබුණොත් විතරයි."

කයින් දියුණු ලෝකයක හිර වී, සිතින් නොදියුණු පින්බිමක සැනසීම සෙවීමේ අරගලය ඔහුගේ මුහුණේ රැළි අතරින් දයාරත්න මහතාට කියවිය හැකිවිය.

"දඹදිව එන්න ප්ලේන් එකට නගිද්දී පුතා මගේ අත තද කරලා අල්ලගෙන කිව්වා 'තාත්තේ පරිස්සමින් ගිහින් එන්න' කියලා. එයාගේ ඇස්වලත් කඳුළු තිබුණා දයාරත්න මහත්මයා. මම දන්නවා එයා නරක දරුවෙක් නෙවෙයි. එයාට අපිව දාලා යන්න වුවමනාවකුත් තිබුණේ නෑ. ඒත් මේ 'අධ්‍යාපනය' කියන රේස් එකේ දුවලා දුවලා එයා නතර වුණේ අපිට ළඟාවෙන්න බැරි තරම් ඈතක. අපිමයි එයාව ඒ රේස් එකට දැම්මේ. අපිමයි එයාව දොස්තර කෙනෙක් කරන්න රත්නපුරේ කඳු පල්ලම් දිගේ ඇවිද්දෙව්වේ. දැන් දිනලත් අපි පැරදිලා."

ඈතින් ඇසෙන සාධු නාදයත් සමග ගුණවර්ධන මහතා නැගිට්ටේය. ඔහුගේ සුදු සරම සැඳෑ සුළඟට ලෙළදුන්නේය.

"දයාරත්න මහත්මයා, මම මේ ගමන ආවේ වඳින්න විතරක් නෙවෙයි. මගේ හිතේ තියෙන මේ බර බුදු හාමුදුරුවෝ ගාව තියලා යන්න. ලංකාවට ගියාම මම ආයෙත් මගේ ගමේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා පාරේ යන එන මිනිස්සු දිහා බලන් ඉන්නවා. ඒ මිනිස්සු මගෙන් 'කොහොමද ගුණවර්ධන මහත්මයා' කියලා අහද්දී දැනෙන සතුට ඕස්ට්‍රේලියාවේ ඩොලර් ලක්ෂයකටවත් ගන්න බෑ."

ඔහු සිනාසුණේය. ඒ සිනහව වසර ගණනාවකට පසු ඔහුගේ මුහුණට පැමිණි අව්‍යාජ සිනහවක් බව දයාරත්න මහතාට තහවුරු විය. "අහිමි වුණේ පුතා නෙවෙයි මහත්මයා... අපේ ජීවිතෙයි. දැන්වත් ඒක ආපහු හොයාගන්න ඕනේ," ඔහු කීවේය.

ගුණවර්ධන මහතා නැඟිට සෙමින් පිය මනින්නට විය. සාරානාත්හි පෞරාණික ගල් ටැඹක් අසලින් ඔහු නොපෙනී යන තෙක් දයාරත්න මහතා බලා සිටියේය. මිනිසෙකුට ඕනෑම රටක ජීවත් විය හැකි වුවත්, ඔහුගේ 'ආත්මය' රැඳෙන්නේ ඔහුට ආදරය කරන මිනිසුන් සහ ඔහුගේ මුල් පවතින පසෙහි පමණක් බව සාරානාත්හි සැඳෑ අඳුර දයාරත්න මහතාට රහසින් කියා දුන්නේය.

සාරානාත්හි පින්බිමේ ඇති මෘදු සුළඟ, ගුණවර්ධන මහත්මියගේ මුහුණේ වැදී ඉවතට ඇදී ගියේය. ඇය තම සුදු සාරි පොටින් මුහුණේ තැවුණු දූවිලි පිසදා ගත්තාය. ගුණවර්ධන මහතා දයාරත්න මහතා සමග කතාබහක නිරතව සිටියදී, ඇය නිහඬවම අතීතයට පියමන් කළාය.

"රත්නපුරේ විතානගම..." ඇය රහසින් මෙන් මිමිණුවාය.

* * *

ඒ 1974 වර්ෂය ඇගේ මනසේ මැවුණේ ඊයේ මෙනි. එදා ඇය තරුණ ගුරුවරියකි. රත්නපුරේ කඳු පල්ලම් දිගේ, මඩ තැවුණු පාරවල් මැදින් විතානගම කණිෂ්ඨ විද්‍යාලයට ඇය ගියේ දහසක් බලාපොරොත්තු පෙරදැරිවය. පන්තියේ සිටි පාපහන් නොමැති, වැරහැලි ඇඳි දරුවන්ගේ දෑස්වල තිබූ ඒ නිහඬ ආදරය අද ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල ඇති කිසිදු වටිනා වස්තුවක නැති බව ඇයට හිතුණි.

"එදා මම ඉගැන්නුවේ ඒ දරුවන්ට ලෝකය දකින්න... ඒත් මම දැනගෙන හිටියේ නෑ, ලෝකය දකිද්දී මගේම පුතා මට අහිමි වෙයි කියලා," ඇය තමාටම කියා ගත්තාය.

ඇයට මතක් වූයේ ඕස්ට්‍රේලියාවේ පුතාගේ නිවසේ තිබූ 'මොඩර්න්' කුස්සියයි. එහි සියල්ල තිබුණි. බොත්තමක් එබූ සැනින් කෝපි සැකසෙන මැෂින්, විදුලියෙන් ක්‍රියාකරන උඳුන්... ඒත් ඒ කුස්සියේ රත්නපුරේ අහළ පහළ ගෙවල්වලින් එන 'කොහොමද ටීචර්?' කියන හඬ තිබුණේ නැත. විතානගම පදිංචි වී සිටි කාලයේ, ගසක ඵළගත් කොස් ගෙඩියක්, අසල ගෙදරකින් එවන මැල්ලුම් මිටක් තුළ තිබූ ඒ මනුස්සකමේ සුවඳ මේ දියුණු රටවල වායුසමනය කළ කාමර ඇතුළේ නැත.

"පුතාගේ නෝනත් දොස්තර කෙනෙක්. හරිම කාර්යබහුලයි. ගෙදර හැමදේම තියෙන්නේ ප්ලාස්ටික් පෙට්ටිවල. කෑමත් 'ෆ්‍රීසර්' එකෙන් අරන් රත් කරලා කන්නේ. මට ඕන වුණේ මගේ අතින් පුතාට ව්‍යංජනයක් උයලා දෙන්න. ඒත් ඒ කුස්සියේ මට තියෙන්නෙත් අමුත්තෙකුගේ තැනක්," ඇය සුසුමක් හෙළුවාය. ඈතින් පෙනෙන සාරානාත් කෞතුකාගාරය දෙස බලන විට ඇයට හිතුණේ තමාත් දැන් ඒ කෞතුකාගාරයේ ඇති පැරණි වස්තුවක් වැනි බවයි. වටිනාකමක් තිබුණත්, කිසිවෙකුට අල්ලන්නට බැරි, වීදුරු පෙට්ටියක දැමූ වස්තුවක් මෙන් ඇය ඕස්ට්‍රේලියාවේදී හුදකලා වූවාය.

"අපේ පුතා අපිට සැලකුවේ නැහැ කියලා මම කාටවත් කියන්නේ නැහැ. එයා අපිට රජ සැප දුන්නා. ඒත් මට රජ සැපට වඩා ඕන වුණේ පුතාගේ දරුවා මගේ උකුලේ තියාගෙන 'අඹ ඇට පැන පැන' සෙල්ලම් කරන්න. ඒ ළමයට සිංහල පුළුවන් වුණාට, එයාට ලංකාවේ ආච්චිගේ කතන්දරවලට වඩා අයිපෑඩ් එකේ තියෙන කාටූන් වටිනවා."

ගුණවර්ධන මහත්මිය සෙමින් නැගිට තම ස්වාමියා අසලට ගියාය. ඇය ඔහුගේ දෑස් දෙස බැලුවාය. ඒ දෑස්වල තිබූ අපරාජිත අභිමානය ඇය හොඳින් හඳුනයි.

"යමු නෝනා... අපිට දැන් වඳින්න වේලාව හරි," ගුණවර්ධන මහතා ඇගේ අතින් අල්ලා ගත්තේය.

"දන්නවද මහත්තයා... අපි දඹදිව ආවේ පුතා අපිට මේ ටිකට් එක අරන් දුන්න නිසයි. ඒත් මේ වන්දනාව ඇතුළේ මම හොයන්නේ බුදු හාමුදුරුවන්ව විතරක් නෙවෙයි. මම මේ දූවිලි අතරේ හොයන්නේ අර රත්නපුරේ හිටපු, අනුන්ගේ දරුවන්ට අකුරු උගන්වලා සතුටු වුණු පරණ 'ගුරුතුමියව'. මට ආපහු ඒ ගෑනු මනුස්සයාව ඕනේ," ඇය සෙමින් කීවාය.

ගුණවර්ධන මහතා ඇගේ දෑත තද කර අල්ලා ගත්තේය. ඔවුන් දෙදෙනා සාරානාත්හි සැඳෑ ආලෝකය මැදින් පිය මනින්නට වූහ. ඔවුන් දෙදෙනාම දැන් එකම සත්‍යයක් වටහාගෙන සිටිති. ලෝකය ජය ගැනීම යනු දරුවන් ඉහළටම යැවීම පමණක් නොව, අවසානයේ තමන්ට තමන්වවත් ඉතිරි කර ගැනීමයි.

* * *

රාත්‍රිය එළඹෙමින් තිබුණි. ගුණවර්ධන මහතා තම ජංගම දුරකථනය අතට ගත්තේය. එහි ඕස්ට්‍රේලියාවේ සිටින පුතාගෙන් පණිවිඩයක් ලැබී තිබුණි.

"තාත්තේ, අම්මේ... ඔයාලා ඔහෙ සතුටින් ඉන්නවා නේද? ඊළඟ නිවාඩුවට අපි ගෙදර එන්න බලන්නම්."

ඔහු ඒ පණිවිඩය බිරිඳට පෙන්වීය. ඇය එය කියවා සුසුමක් හෙළා අහස දෙස බැලුවාය.

"එන්න පුතේ... උඹ ආවාම මම උඹට ඒ කාලේ වගේම වට්ටක්කා කළුපොල් මාළුවක් උයලා දෙන්නම්. උඹේ ඔය දොස්තර පට්ටම ගේට්ටුවෙන් එළියේ තියලා, මගේ පරණ පුතා වෙලා ගේ ඇතුළට වරෙන්,"

ඇය හිමින් පවසනු ගුණවර්ධන මහතාට ඇසුණි. ගුණවර්ධන මහතා දුරකථනය පසෙකින් තැබුවේය. ඔහුගේ ජීවිතයේ මතකයන් තැන්පත් කිරීමට කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයකට වඩා ඔහුගේ හදවත විශාල බව ඔහු වටහාගෙන තිබුණි.

ගොම්මන් අඳුර මැද හොරණ මිල්ලනිය වෙල්යායෙන් ඇසෙන මැඬි හඬත්, පන්සලේ ඝණ්ඨා නාදයත් සමග ඔවුන් දෙදෙනා නිවස තුළට පිය නැගූහ. අහිමි වූ සිහින ගැන වැළපෙනවා වෙනුවට, ඉතිරි වී ඇති ජීවිතය ආදරයෙන් වැළඳ ගැනීමට ඔවුහු තීරණය කර සිටියහ. ඉතිරිව ඇති ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දැල්වූයේය.

- එච්. එම්. පියතිලක හල්පෙ
thisaraherath742@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්