Wednesday, 4 November 2026

කවුද බොලේ මේ කල්‍යාණී? - රසික සූරියආරච්චි



දශක දෙකකටත් වඩා පෙර මා සහභාගී වූ අධ්‍යාපනික සම්මන්ත්‍රණයක දී දේශනයක් පැවැත්වූ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල ගිනිගේ, මිනිසා කණ්ඩායම් ලෙස ජීවත්වීම් පටන් ගැනීම, ගම්මාන සහ නගර ප්‍රදේශ බිහිවීම, ඒ ප්‍රජාවන් අතර සම්බන්ධතා ඇතිවීම යනා දී මානව විද්‍යාත්මක ඓතිහාසික කරුණු හා පරිගණක ජාල තාක්ෂණය බිහිවීම සහ අන්තර්ජාලය යැයි වැරදියට සිංහලෙන් හැඳින්වෙන ඉන්ටර්නෙට් ඇතිවීම සසඳමින් අපූරු කතාවක් කළේය.

ඒ 2002 වර්ෂයයි. ඉන්ටර්නෙට් අවකාශයේ අද බලවත්ම මාධ්‍යය ලෙස පැවසිය හැකි සමාජ සම්බන්ධතා ජාල ඒ කාලය වන විට කරළියට පැමිණ නොතිබුණි.

සමාජ සම්න්බන්ධතා ජාල යන වචනය අප සමහරෙකුට ආගන්තුක එකක් සේ දැනෙන්නට ඉඩ ඇතත්, ෆේස්බුක් යන්න උදාහරණයක් ලෙස කී පමණින් ඒ ආගන්තුක බව පහව යනු ඇතැයි සිතමි.

ෆේස්බුක් යනු අද භාවිත වෙන සමාජ සම්බන්ධතා ජාලවලින් එකක් පමණි. අනෙකුත් මේ වර්ගයේ ජාල අතර ට්විටර්, ලින්ක්ඩ්-ඉන්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට්, ඉන්ස්ටග්‍රෑම් යනාදිය වේ. නමුත් ෆේස්බුක් යනු එයින් වැඩිම සාමාජිකයින් සංඛ්‍යාවක් ඉන්නා, එනිසා ම, බලවත්ම ජාලයයි. අද වන විට ෆේස්බුක් ජාලයේ සාමාජිකයෝ බිලියන තුනකටත් වඩා සිටිති. මෙය ලෝක ජනගහනයෙන් 40% තරම් වූ පිරිසකි. ඔවුන්ගෙන් බිලියන දෙකක්ට වඩා වැඩි පිරිසක් දිනපතාම ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරති.

වසර 2004 දී මාක් ෂුකර්බර්ග් නමැති තරුණයා විසින් අරඹන ලද ෆේස්බුක් සමාජ සම්බන්ධතා ජාලය සඳහා සිංහලෙන් සමහරු වත්පොත කියා ද, තවත් අය මුහුණු පොත හෙවත් මූණූපොත කියා ද, තවත් අය මුවපොත කියා ද කියන ලියන නමුත්, ෆේස්බුක් යන්න කෑලි කඩා පරිවර්තනය කළ හැකි වචනයක් නොව, තනිවචනයක් සහ වෙළද නාමයක් නිසා එය සිංහලෙන් ද ලිවිය යුත්තේ තනි වචනයක් ලෙස ෆේස්බුක් කියා ය.

මුලින් මයිස්පේස් (myspace) නම් සමාජ සම්බන්ධතා ජාලයට සම්බන්ධ වූ මා, ෆේස්බුක් ගිණුමක් ඇරඹුවේ වසර 2008 දී පමණ ය. ඒ කාලය වන විට ලාංකිකයින් අතරින් ෆේස්බුක් එක වැඩියෙන්ම ජනප්‍රිය වී තිබුණේ ලංකාවේ සිටින්නන් අතරට වඩා ලංකාවෙන් පිටත සිටින ලාංකිකයින් අතර ය. ක්‍රමක්‍රමයෙන් අන්තර්ජාල පහසුකම් වැඩිවෙනවාත් සමග ම, විශේෂයෙන්ම, අන්තර්ජාල සම්බන්ධතා ඇති ජංගම දුරකථන ලංකාවේ බහුලවීමත් සමග ම, මේ තත්ත්වය කෙමෙන් වෙනස් වෙන්නට පටන් ගත්තේ ය. මේ වන විට ලංකාවේ ෆේස්බුක් ගිණුමක් ඇති පිරිස මිලියන දහයක් පමණ වන බව පැවැසේ. මෙයින් අති බහුතරයක්, එනම් 60% පමණ, වයස 18-35 අතර තරුණ කොටස් බව පැවසේ.

එය එසේ වුව ද, වයස අසූ තුනක් ජීවත් වූ මගෙ මෑණියන්ට ද, තම ජීවිතවල අටවෙනි දශකය ගෙවන ඇගේ බාල සොහොයුරියන්ට ද ෆේස්බුක් ගිණුම් ඇති බව කිව යුතුයි.

ෆේස්බුක් ගැන නොදන්නා අය වැරදීමකින් හෝ සිටී නම්, ඔවුන් ගේ දැනගැනීම පිණිස සුළු විස්තරයක් මෙන්න.

ෆේස්බුක් ගිණුමකින් කෙරෙනුයේ ඒ හරහා ඔබ කලින් දන්නා හඳුනන අය මෙන්ම මෙතෙක් නොදන්නා අය සමගත් ඉන්ටර්නෙට් ඔස්සේ අතථ්‍ය මිතුරු සම්බන්ධතා පවත්වාගෙන යෑමයි. එමගින් එකිනෙකා ගේ තොරතුරු, අදහස්, ඡායාරූප යනාදිය තමන්ට රිසි පරිදි බෙදා හදාගත හැකිවේ. එනිසා, නිරතුරුව හමුනොවන මිතුරන් සහ ඥාතීන් සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකි වේ. එපමණක් නොව, කලින් දන්නා නොහඳුනන නව මිතුරන් ඇති කර ගැනීමට ද, කලින් දැන සිටි නමුත් විවිධ හේතු නිසා දුරස් වී සම්බන්ධතා නැති වී ගිය පැරණි මිතුරන් සහ ඥාතීන් ද නැවත අතථ්‍යව මුණ ගැසීමට ද හැකිවේ.

මේ අනුව බලන කල, ලෝකය කුඩා වී විශ්ව ගම්මානයක් බිහි වී ඇත යන අදහසට මේ සමාජ සම්බන්ධතා ජාල මගින් සපයා ඇත්තේ නොබිඳිය හැකි තර්කයකි.

සාමාන්‍ය ජීවිතයේ දී සමාජයේ අනෙකුත් අය හා හැසිරෙන ආකාරය අනුව මනුෂ්‍යයින් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එක් කොටසක් සමාජශීලි හෙවත් බහීර්වර්තක පුද්ගලයින් ය. අනෙක් කොටස සමාජ ආශ්‍රය එතරම් ප්‍රිය නොකරන, තමන් ගේ පාඩුවේ නිශ්ශබ්දව සිටීමට වැඩි කැමැත්තක් දක්වන අන්තර්වර්තික පිරිස ය.

ෆේස්බුක් වැනි සමාජ ජාල සම්බන්ධයෙන් ද, ඉහත මූලික මිනිස් කොට්ඨාස දෙකට අයත් පුද්ගලයින් ගේ හැසිරීම දෙ ආකාර වේ. කෙටියෙන් කියතොත්, සමාජ ජාල භාවිත කරන්නේ, ඒ හරහා වත්මන් මිතුරන් සමග තම තොරතුරු බෙදා ගන්නේ, අලුත් මිතුරන් හා සබඳකම් ඇති කර ගන්නේ පෙර කී සමාජශීලී කණ්ඩායමේ පිරිස් ය. අන්තර්වර්තිකයෝ බහුතරයක් මේ සමාජ සම්බන්ධතා ජාලවලින් මුළුමනින් ම ඈත් වී සිටිති. විවිධ හේතු නිසා, නොකරම බැරි කමට, ඒ හා සම්බන්ධ වෙන අය වෙතොත් ඔවුන් ද, ඒ සම්බන්ධ කටයුතු අවම මට්ටමේ තබා ගැනීම සාමාන්‍ය සිරිතයි.

දශක කිහිපයක් තිස්සේ මා හොඳින් හඳුනන සාමා මේ කණ්ඩායම් දෙකේ සංකලනයක් යැයි කිව හැක. සැබෑ ජීවිතයේ දී කොතරම් සමාජශීලී වුවත්, තම සම වයසේ මිතුරු මිතුරියන් සෑම දෙනාම පාහේ ෆේස්බුක් ගිණුම් අරඹා තොරතුරු හුවමාරු කරගනිමින් සතුටක් ලැබුව ද, ඒ ගැන විහිළුවකට හෝ සිතුවේ ඇය නොවේ.

"අනේ මට නම් ඕනෑ නෑ මගේ ෆෝටෝ එක එක්කෙනාට බලන්න ඉන්ටර්නෙට් එක දාන්න. කොහොමත් ඔය ෆේස්බුක් එක කියන්නේ ඕපාදූප හොයන අයට හොඳ තැනක් විතරයි!," මේ සම්බන්ධයෙන් ඇගේ මතයවිය.

ෆේස්බුක් ගිණුමක් අලුතින් පටන් ගන්නා අයට, ඒ මොහොතේ ම කළ හැකි එක් දෙයක් වෙනුයේ, තම විද්‍යුත් තැපැල් ගොනුවේ විද්‍යුත් ලිපිනයන් ඇති සියලු දෙනාට ම එක්වර විද්‍යුත් ලිපියක් යවමින් තමන් සමග ෆේස්බුක් තුළින් සම්බන්ධවෙන ලෙස ඉල්ලා සිටීමයි. මෙය ස්වයංක්‍රීයව මෙන් සිදුවෙන්නකි.

තමන් හොඳින් දන්නා හඳුනන අයගෙන් මේ ආකාරයේ ඉල්ලීම් සාමාට ඕනෑ තරම් ලැබී ඇත. ඒ සෑම විටම ඇය කළේ, ඒවා නොසලකා හැරීමයි. ෆේස්බුක් යනු ඇයට දිගින් දිගටම ස්වයංවාරණ කලාපයක් ම විය.

එක් දිනක් උදෑසන තම විද්‍යුත් තැපැල් ගොනුව පරීක්ෂා කිරීමේ දී සාමා දුටුවේ තවත් එවැනි ඉල්ලීමක් ලැබී ඇති බවයි. කලකට පසු ලැබුණු මේ ඉල්ලීම ඒවා තිබුණේ කල්‍යාණී නමැත්තියක විසිනි.

සාමාට එක්වරම සිතට නැගුණු ප්‍රශ්නය වූයේ "කවුද බොලේ මේ කල්‍යාණී?" යන්නයි.

තමන් වෙසෙන සිඩ්නි නගරය අසල දන්නා කියන කල්‍යාණී කෙනෙක් නැත.

ලංකාවේ සේවය කළ ස්ථානයකවත් ආශ්‍රය කළ කල්‍යාණියෙක් නැත.

දශක කිහිපයකට පෙර තමන් ඉගෙන ගත් විශ්වවිද්‍යාලයේ මිතුරියන් අතර ද කල්‍යාණියක් ගැන සාමාට සිතා ගත නොහැක.

"කවුද බොලේ මේ කල්‍යාණී?"

එදින රාත්‍රියේ ලංකාවේ සිට තම මෑණියන්ගෙන් සාමාට ලැබුණු දුරකථන ඇමතුමකින් පසු සියල්ල පැහැදිලි විය.

තමන් ෆේස්බුක් ගිණුමක් ඇරඹූ බවත්, සාමාට ද ඒ හරහා තමන් සමග සම්බන්ධ වෙන ලෙසත් ඉල්ලන පෙර කී විද්‍යුත්ලිපිය ස්වයංක්‍රීයව ඒවා තිබුණේ සාමා ගේ මෑණියන් වන කල්‍යාණී ගේ ෆේස්බුක් ගිණුමෙනි!

දියණියට පෙර මෑණියන් ෆේස්බුක් එක දික්විජය කර තිබුණි.

ෆේස්බුක් ගිණුමක් ඇරඹූ සම වයසේ කල්‍යාණියක් ගැන සිතමින් සිටි සාමාට තම මෑණියන් ගේ නම ද කල්‍යාණී බව අමතක වීම එක් අතකට පුදුමයක් නොවේ!

- රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්