
"අයිසේ තමුසෙලාගේ පත්තරේ නම් සුපර්. ඒත් ඒකේ ලින්ක් එක ක්ලික් කරපු ගමන් මතු වෙන්නේ අර යකාගේ රූපෙ නෙ. ඕකා මිනී පෙට්ටියක් වුණත් කාට හරි විකුණන්න දක්ෂයි. අපේ සිංහල එවුන්ටත් ඉතින් අපේ අයව මතක නෑ නෙ," සුසන්ත ඇඹුල්දෙණිය කියාගෙන ගිය හරිම ආවේගයකින්.
ජයන්ත ඒ ටික අහගෙන හිටියෙ කට කොනකින් හිනාවෙන ගමන්.
"සුසන්ත කලක් ලංකාවෙන් කැනඩාවට ආපු අයට ගෙවල් විකුණපු කෙනෙක්. කාලයක් පත්තරේකුත් කලා ලු. ඒත් දැන් මිනිහගේ ට්‍රැක් අවුට්. ජාතියයි, ආගමයි හින්දා බිස්නස් කරපු කාල ඉවරයිනෙ මල්ලි. ගෙයක් ගන්න කොට ඉතින් ඒ වැඩේට මහන්සි වෙන අය ගාවට නේ මිනිස්සු යන්නේ... නැද්ද මල්ලි?" සේන අය්යා කිව්වේ ජයන්ත ඔය ටික කියපු ගමන්.
ජයන්තට වරුණ කියපු කතාවකුත් මතක්වුණා. "මචං ඕකා ළඟදි පටන් ගත්ත නෙ වට්සැප් කැම්පේන් එකක්. පටන් ගත්ත ගමන් සිංහල කියල නමක් දාලයි පටන් ගත්තේ. පොර හිතුවේ එතකොට කට්ටිය එකතුවෙයි කියල. අන්තිමේදී වැඩේ පත්තුවුණා. දැන් මිනිස්සුන් ජාති ආගම් බෙදිල්ලෙන් අවුස්සන්න බැහැ නෙ?"
"ඒක ඇත්ත," ජයන්ත තමන්ටම කියා ගත්තා. "ලංකාවෙත් දැන් ඒ වගේ කණ්ඩායම්වලට යන එන මං නැතිවෙලා තියෙන්නේ ඒ හන්දයි."
ඒ අතරේ කාවින්ද තවත් කතාවක් කිව්වා.
"මං මගේ ජීප් එක ගත්ත ගමන් පන්සලට ගියා නේ පිරිත් නූලක් බැඳගන්න. මෙන්න සුසන්තය කඩාගෙන මා ගාවට ඇවිල්ලා. මරු මණ්ඩිය, ඔයාගෙ යාලුවෙක්ගෙ ද මල්ලී? බර ගාණක් වටිනවා මේ වගේ එකක්. අනික මේ පාට? කියලා කිව්වා"
"ඉතින්?"
"ඉතින් කියන්නේ මං අලුතෙන් ගත්තා කිව්වම පොරගේ මූණ අළු පාට වෙලා ගියේ ඉරිසියාවට. මට ඒවෙලේ තමයි හිතුණේ ආච්චිලා ඇස් වහ කට වහ කියල දේවල් ගැන කියන්නෙ කට කහනවට නෙමෙයි කියලා!"
"සමහර මිනිස්සු මහන්සි වෙන්න කැමති නෑ. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සු ලබාගන්න දේවල්වලට පුදුම ඉරිසියාවක් තියෙන්නේ. ජයන්තගේ හිතට එක එක දේවල් ගලාගෙන එනව. පොත්පත්වල ලියල තියන දේවල් තරම් සැබෑ ලෝකෙ සුන්දර නැහැ නෙ. හිනාවෙලා කතා කරාට පිටරට ගියත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා නැහැ," ජයන්ත හිතුවා.
"ඔයාට මතකද අපි සනත් අයියගෙ දුවගේ වෙඩින් එකට ගියා?"
"ඔව් එයා අර හැන්ඩ්සම් ටැමිල් බෝයි කෙනෙක් නෙ බැන්දෙ."
"හරියට හරි. දන්නවද සුසන්ත රට වටේ කියාගෙන ගිහින් තියෙන්නෙ මොනාද කියලා?"
"අපිට මොකටද බං ඒව. උන් දෙන්නා හොඳට පවුල් කනව නේ. මේ ළඟදි පන්සලේදී පොඩි උන් දෙන්නෙක් එක්ක ඇවිත් කොහොම අන්කල් කියලත් ඇහුවා."
"ඒක තමයි. ඒ දවස්වල ඕක රට වටේ කිය කියා ගිහින් තියෙන්නෙ සනත් සිංහලයින්ව පාවා දුන්න ද්‍රෝහියෙක් කියලා."
"ඕකට සමහරු නං කියන්නේ ලිං මැඩි මානසිකත්වය කියලා, හැබැයි ඉතින් අපිට ඕන නම් ඕකට ගොබ්බකම කියන්නත් පුළුවන්."
දෙන්නම විනාඩි ගාණක් හිනාවුණේ ඒකෙ තියෙන ප්‍රාථමික අදහස් නිසා වෙන්න ඇති.
ඔය අතරේ ජයන්තට සේන අහපු තවත් දෙයක් මතක්වුණා.
"මල්ලි උඹ ඔය සංචාර විස්තරවල ලියන තැන්වලට ඇත්තටම ගිහින් තියෙනවද? බොරු නැතුව කියපන් උඹ ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන නේද ලියන්නේ?"
"ඇයි අයියා එහෙම අහන්නේ?"
"උඹ නිකම් පණ පිහිටවල ලියන විදියට අපිටත් ඊරිසියා හිතෙනවා. අපි මේ අවුරුදු දෙකකට සැරයක් ලංකාවට යන්නෙත් අම්බානක් ණය වෙලා. එහෙව් එකේ ඉතින් අපට නම් කවදාවත් ඔය වගේ තැන් වලට යන්න හම්බවෙයිද?"
ජයන්ත කිසි වචනයක් නොකිව්වෙ එහෙම ගමන් යන්න ජයන්තයි, කසුනියි ගහන ගේම ගැන කාටවත් කියල වැඩක් නැති නිසා.
දවසක් පන්සලේ දහම් පාසලේ රැස්වීමක් තිබ්බා. ඒ ළමයින්ට ප්‍රජා සේවාව සහ ඉගෙනීමේ වැදගත්කම පුරුදු කරන අදහසින් ලංකාවේ ළමයි වගේකට ශිෂ්‍යත්ව කීපයක් දෙන්න. කට්ටියම එකතුවෙලා දෙමව්පියන්ගේ කමිටුවක්වත් කරගත්තා. සුසන්ත තමයි හාමුදුරුවෝ ඉස්සරහා වැඩේ ලීඩ් කරන්න බාරගත්තේ.
හාමුදුරුවෝ ගියාට පස්සෙ මෙන්න පොර ඇවිල්ල කට්ටියට මෙහෙම කිව්වා. "මල්ලිලා මම ඉතින් ගෙවල් විකුණන වැඩ හින්ද වීක් එන්ඩ්වලට බිසි නෙ. හොයගොල්ලෝ ඕක කරගෙන යන්න. ඕන වෙලාවක මට කෝල් එකක් දෙන්න. දන්නවනෙ ඕන එකකට මම ඉන්නවා."
කට්ටියම මහන්සි වෙලා වැඩේ කරගෙන ගියා. සුසන්තත් ඉඳලා හිටලා ඇවිත් විස්තර දැනගෙන යනවා. අන්තිමේ දි අරමුදලක් එකතු කරල කට්ටියම ශිෂ්‍යත්ව කිහිපයක් දෙන්න සූදානම් කළා. ඒ අතරෙ පාවිච්චි කළ ලැප්ටොප් දෙකකුත් හොයා ගත්තා.
වැඩේ ඉවර වෙනකොට මෙන්න සුසන්ත දුවගෙන ඇවිල්ලා කියනවා, "මල්ලි මම ලංකාවට යනවා වැඩකට. හොංකොං හරහා යන්නේ. මට පුළුවනි ඔය ළමයින්ට ඔය සල්ලි ටික ගෙනිහින් දෙන්න. මම හොංකොංවලින් තෑගි ටිකකුත් ගන්නංකො ඒ ළමයින්ට."
හාමුදුරුවන්ගේ එකඟතාවයෙන් ඒ මුදල් වෙන වෙනම ලෑස්ති කරල, සහතික, ලියකියවිලි වගේම ළමයිනට පෙන්නන්න ෆොටෝ ටිකක් ගහන්න කෙනෙකුත්, ඉස්කෝලෙකුත් ලෑස්ති කලා. සති දෙකකට පස්සේ ලංකාවේ සිංහල පත්තරේක ලිපියක් පළවෙලා තිබුණා එකේ හෙඩිම වුණේ "කැනඩාවේ ව්‍යාපාරික සුසන්ත ඇඹුල්දෙණිය මහතාගෙන් දිළිඳු දරුවන්ට ශිෂ්‍යත්ව දහයක් සහ පරිගණක" කියලා.
බොරුවට ආගම, ජාතිය පෙන්නන්න හදන අයගෙන් තමයි වැඩියෙන්ම පරිස්සම වෙන්න ඕනෑ පුතා." වීරසේකර අංකල්ගේ වචන ජයන්තට සිහිවුණා.
"මේ රටේ එක එක දේවල්වලට එක එක සංගම් තියෙනවා. සමහර ඒවාට රජයේ අරමුදල්වලින් ආධාර ලැබෙනවා. ඒ නිසා කාලෙන් කාලෙට විවිධ වැඩසටහන් සංවිධානය කරන්න වෙනවා," රවී කියාගෙන ගියේ ළඟදි තිබුණු උත්සවයක් ගැන කියන්න.
"ඉතින්?"
කට්ටියම අහගෙන හිටියේ ඊළඟට මොකක්ද කියන්න යන්නෙ කියලා.
"අර සංගමයේ අය ලංකාවෙ ටීවී එකේ ඉන්න ජනප්‍රිය දේශකයෙක් ගෙන්නුවා නේ. ලංකාවෙදි නම් පොර දෙන්නේ මාර ටෝක්. සුදු බැනියම ඇඳලා, හරිම සිල්වතා වගේ තමයි. හැබැයි සමහරු කසුකුසු ගානවලු කැම්පස් එකේ ගෑණු ළමයින්ටත් බේරිලා ඉන්න බැරිවුණා කියලා."
"හරි, හරි අපිට මතකයි. ඒ අර ඩෙනිමක් ගහගෙන ටී ෂර්ට් එකක් දාගෙන උත්සවයට ආපු මහත්තයා නෙ. පොර දුන්නේ ගැලරි ටෝක් එකක් ඇට්ටි හැලෙන්න. අපරාදේ සිංහල භාෂාව ගැන දේශනයක් අහන්න බලන් හිටපු අය ගෙවල්වලට ගියේ, අපෙත් කාලෙ කෑවා, මොනවට වියදම් කරලා ලංකාවෙන් මෙහෙට ගෙන්නුවද? මෙතැනට එන්නෙ නැතුව සෙනසුරාදා ගෙදර හිටියනම් වැඩක් වත් කරගන්න තිබුණා," කියලයි, සාලිය කතාව සම්පූර්ණ කළා.
ජයන්තට ඒ ගැන තවත් කතාවක් මතක් වුණා. ඒ තමයි එතුමා එක්ක සිංහල භාෂාව ගැන රූපවාහිනී වැඩසටහනක් කරන්න උත්සාහ ගත්ත හැටි.
"බෑ බං... ඌ අල්ලන්න බෑ. මම කතා කළාම අද රෑ රාධිකාලගෙ ගෙදර පාටියක් ලු. හෙට උදේ නිම්මි එක්ක නයගරා බලන්න යන්න ඕන ලු. දවල්ට සී එන් ටවර් 360 රෙස්ටුරන්ට් එකේ සසන්තිල එක්ක ලන්ච් කියල කිව්වා, වැඩේ අතහැරලා දාමු බං. ඌ ඇවිල්ලා තියෙන්නෙ අමුතු ගමනක්," සංජීව වැඩේ අත ඇරලා දැම්මේ එහෙමයි.
ජයන්තට මතක්වුණේ ප්‍රොෆෙසර් ජේ.බී.! අනේ මනුස්සයා වැඩසටහනට ආවේ ඊළඟ දවසේ ෆ්ලයිට් එක තියේද්දි. ඇවිල්ලා කිව්වටත් වැඩිය වෙලා වැඩේට ගත කළේ "ඔයගොල්ලන්ට ඉතින් අපෙන් ඉන්ටෙව් ගන්න චාන්ස් හම්බ වෙන්නෙ නැහැනෙ. මම ෆ්ලයිට් එකේ නින්ද කවර් කර ගන්නම්," කියලයි.
- අනුරුද්ධ වැලිගමගේ
anuruddhawe@yahoo.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.