
"අද සමරසේකර මහත්තයා ගෙදර යන්න නැද්ද ?" සිරිනන්ද විදුලි පංකා නිවා දමමින් ජනෙල් වසාදමමින් හඬ නගා තමා අමතනු ඇසීමෙන් දේවක පියවි සිහියට ආවේය.
"මහත්තය සනීප නැද්ද?"
මඳ සිනාවක් පා සිය බෑගය අතටගත් දේවක සමරසේකර සිය කාර්යාලය සිසාරා බලා පියගැට පෙළ බසින්නට විය. ඊයේ රෑද අද උදෑසන ද නිවසේ දී සුමාලි සහ තමා අතර සිදුවූයේ කෙතරම් අවාසනාවන්ත සිදුවීම් මාලාවක් ද? ඇය හඬා වැලපමින් තමාගේ ජීවිතය ඇදවැටුණු ආගාධය ගැන දිගින් දිගට ම දේවකට ශාප කරන්නට වූවාය. නිවස ඉදිකිරීම සඳහා ණය මුදලක් ලබාගත්, පෞද්ගලික මුල්‍ය සමාගම විසින් එවන ලද අවසන් නිවේදනය, ගෙට ගොඩවන විට ම දේවක අතට දුන් සුමාලි ණය ලයිස්තුව කියවන්නට වූවාය. රන් ආභරණ වෙන්දේසිවීමට ආසන්න යැයි සඳහන් වූ දැනුම්දීම් ද, ස්කූටරය ලීසිං කළ කොම්පැණියෙන් ලද පණිවිඩද ගොන්නක් ද අතැතිව අතෝරක් නැතිව ඇය කළ දෙස් දෙවොල් තැබීම මහන්සියෙන් ගෙට ගොඩ වූ දේවකගේ කෝපයට හේතුවිය. එහෙත් ඒ කිසිවක් නෑසුණා සේ නාන කාමරයට රිංගාගත් දේවක උවමනාවෙන් ම වැඩි කාලයක් එහි ගත කළේ ඒ කරච්චලය මඟ හැරීමට ය. ඔහු එළියට එද්දී ලොකු දුව සාදා ගෙනැවිත් තැබූ තේ කෝප්පය ඇල් වී තිබුණි.
"කට වහගෙන බිල්ලා වගේ හිටියොත් සේරම හරි," සුමාලි නැවත පටන් ගත්තාය. ලොකු දුව, නංගී සමඟ කාමරයට වී ජනේලයෙන් එපිට බලා සිටිනු දොර රෙද්ද මෑත්කර බැලූ විට දුටු දේවකගේ සිත දැවී ගියේ දරුවන් දෙදෙනාගේ මුහුණුවල වූ අසරණ විලාසය දැකීමෙනි. වැරදුණේ කොතැනදැයි නිනව් නැත. රැකියාව කරන ආයතනයෙන් ද ණයක් ලබාගෙන ඇති බැවින් ඔහු අතට ලැබෙන්නේ වැටුපෙන් භාගයකි. කෙසේ නම් මේ ණය කන්දරාවෙන් ගැලවෙන්නදැයි දහ අතේ සිතුවද සිදු වූයේ තව තවත් ඒ උගුලේම සිරවීම පමණකි. සුමාලි කුලී ඇඳුම් මසා උපයාගන්නා මුදලින් දරු දෙදෙනාගේ වියදම් ද ගෙදර කෑම වියදම ද පිරිමසාගනී.
දේවක මත්පැන් සිගරට් පාවිච්චි නොකරයි. "කුණා" යැයි ඇතම් මිතුරන් මුහුණටම කීව ද සිනාසුණා මිස දේවක කෝප වූයේ නැත. දැන් ඔවුන්ගේ විවාහ ජීවිතයට පහළොස් වසරකි.
ගමේ උන්නානම් මෙවැනි දුක්ඛිත ජීවිතයක් ගතකරන්නට වෙන්නේ නැතැයි දේවකට නිතරම සිතෙයි.
කිතුල්ගලින් එහා ගිනිගත්හේනට කිට්ටු තමා හැදී වැඩුණු ඒ සුන්දර ගම්පියසත්, ගස් කොළන්වලින් වැසුණු, නිරන්තර මීදුමින් වෙලුනු කඳු පෙළත් දේවකට සිහිපත් වෙයි. අම්මා අප්පච්චි හා අක්කලා දෙදෙනා සමඟ ගතකළ ඒ සරල සුන්දර නිස්කලංක ජීවිතය ගැන මතකය හද පාරවයි. ගමෙන් පිටවී නගරයට පැමිණ බෝඩිමක නැවතී රැකියාවට යද්දී බස් නැවතුම්පොළේ දී දැක හඳුනාගෙන ටික කලකින් සුමාලිව විවාහ කරගන්නට දේවකට සිදුවිය. ගමේ පාසලේදීවත් ගැහැණු ළමයකු හා හාදවීමට දේවකට එතරම් ඕනෑකමක් තිබුණේ නැත. නාගරික තරුණියක වූ සුමාලිගේ දඟකාර ගති පැවතුම් ද, ඉතා අලංකාර ලෙස ඇඳුම් පැළඳුම් හැඳ උජාරුවෙන් හැසිරෙන ඇගේ නාගරික විලාසය ද දේවකගේ නෙත් සිත් පැහැර ගත්තේය. මිත්‍ර වූ විගසම ඇගේ නිවසට ආගිය ගමනේ දී, ඇතැම් දවස්වල ඇගේ නිවසේ රැය ගතකිරීම කෙළවර වූයේ සුමාලි ගැබ් ගැනීමෙනි. දේවකගේ දෙමව්පියන්ගෙන් එය රහසක් කොට හදිසි විවාහයකට යාමට ඔහුට සිදුවිය. විවාහය ගැන ගමට ගොස් අම්මාට කී විට ඇය හඬා වැටුණේ විවාහ නොවූ අක්කලා දෙදෙන ගැනවත් නොසිතා කරගත් විවාහය ගැන නම පුත්‍රයාට බැණ වදිමිනි. ඒ නොමනාපයේ පිහිටෙන් සිදුව තිබූ අබග්ගය වසාගන්න සුමාලිට සහ ඇගේ මවට ඉඩ සැලසුණි.
ටික කලකින් අමනාපකම් දුරු වී බිරිඳ සමඟ ගමට ගිය දේවකට ඕනෑ වූයේ අම්මලා සමඟ පෙර සේම සතුටින් ගමේ ජීවත්වීමටයි. නිවස අසලින් නව නිවසක් තනාගැනීමට අප්පච්චී සහ අම්මා උදව් කරන්නම් කීව ද, සුමාලි අකමැති විය. ඇයට අවශ්‍ය වූයේ නගරයේ සුවපහසුවට ජීවත්වීමටයි. ඇගේ අම්මා විසින් ඇයට දුන් පර්චස් දහයක ඉඩම් කෑල්ලේ නිවසක් ගොඩනැගීම ඇගේ අභිප්‍රාය වී ය. ගම නිසසංසල සුන්දරත්වයෙන් අනූන වූයේ වුව ද දෛනික ජීවිතයේදී එහි ඇති දුෂ්කරතා විඳදරාගැනීමට සුමාලි කැමති වූයේ නැත. කුස පිළිසිඳි දරුවා ගැන බොහෝ බලාපොරොත්තු ඈ තුළ විය. ඒවා ගැන දේවක හා කතාකරද්දී ඔහු දැක්වූ අලස ප්‍රතිචාර හමුවේ සුමාලි පසුබට වූයේ නැත.
නගරයේ මිනිසුන්ගේ ජීවිතවලට හාත්පසින්ම වෙනස් වූ ගමේ ඇවතුම්, පැවතුම් සුමාලිට රුචිවූයේ නැත. නිවාඩු දවස්වල තරමක් දහවල් වන තුරු කාමරයේ දොරවසාගෙන නිදාගැනීම උදයේම එන යන අසල්වැසි ගැහැණුන් පවා ප්‍රශ්න කරයි. තේ හදාගෙන ගොස් නයිටියට උඩින් දමාගත් හවුස්කෝට් එක පිටින්ම මිදුලේ බංකුව වී දේවක සමීපව හිඳගෙන හිඳිම ඔහුගේ මවත් පියාත් රිස්සුවේ නැත.
"මද්දහනක් වෙනකම් නිදියනව මදිවට බාගෙට හෙළුවෙන් අර මිදුලෙ තුරුල්කරගෙන නටන මේ නෙයියාඩගම මොකක්ද පුතේ?" අම්මා කුස්සියේ දී දේවකට දොස් කියනු සුමාලිට ඇසුණි.
"මෙතන ගෑණු ළමිස්සියො දෙන්නෙක් ඉන්නවා ඒක මතක තියා ගනින්," තාත්තා ද අත්වැල අල්ලයි. සුමාලි මූණ එල්ලාගෙන කාමරය වැදෙයි. දේවක අම්මලා සමඟ කතාබහ කරමින් දවස ගෙවන්නේ කිසිවක් නොසිදුවූ ලෙසිනි. දේවක නිශ්ශබ්දව සිදුවන්නක් සිදුවන්න හරිමින් සිටීම සුමාලිට නොඉවසුම් දෙයි. ඒ පවුල තුල තමා ආගන්තුකයෙකැයි ඇයට ඒත්තු ගියෙන් නගරයේ තමාට හුරුපුරුදු පරිසරයේ ජීවත් වීමට සුමාලි දැඩිව ගත් තීරණයට ද දේවක එතරම් විරුද්ධත්වයක් පෑවේ නැත.
පවුලේ එකම පිරිමි දරුවාවූ දේවක ගමෙන් පිටවීම ඔහුගේ මව්පියන්ගේ දැඩි කනස්සල්ලට හේතුවිය. ඒ ඈත ගම්බද ජීවන රටාව හා මුසුවීම ආටෝප සහිත ජීවිතයකට හුරුවී සිටි සුමාලිට ද පහසු වූයේ නැත. කෙසේ හෝ පළමු දරුවා බිහිකිරීමට තම මව ළඟට ආ ඇය නැවත ගමට ගියේ නැත.
එතැන් සිට ඇරඹුණු කාල වකවානුව තුළ ජීවිතය කෙතරම් අවුල් සහගත වූයේදැයි දේවක සිහිපත් කළේ දැඩි ශෝකයෙනි. ගෙදර යාමට දුම්රියපොළ දක්වා ඇවිදගෙන ආ දේවක අසල කඩයකට ගොඩවැදී තේ එකක් ඇණවුම් කළේය. අද දවස තුළ දී සූදානම් කරන ලද ලියකියවිලි නැවත අතටගෙන පරීක්ෂා කළ දේවක සෙමෙන් තේ කෝප්පය බොන්නට වූයේ සියල්ල විසඳගත්තේය යන සතුටිනි. තමා වෙනදා යන දුම්රිය, ස්ටේෂමට ළඟාවෙන හඬත්, ගැඹුරු නළාව හඬවමින් පිටවයන ශබ්දයත් එදෙසට හරවාගත් හිසින් යුතුව දේවක අසා සිටියේ අඩසිහියෙනි. ඒ දුම්රිය පිටව ගියපසු ගෙදරට නොයෑම ස්ථිර වූවාක් මෙන් හැඟීමක් ඔහුගේ සිතෙහි උපන්නේය.
දේවකට සිටි එකම මිත්‍රයා වූ සමන්ත දුම්රිය ගමනේ දී ඔහුගේ මුණ ගැසුනෙකි. දුම්රියේ මිතුරු සමාගම් හා එතරම් හාදකමක් සමන්තට ද නොවීය. පුද්ගලික සමාගමක ඉහළ තනතුරක් හෙබවූව ද නිහමානී මිනිසකු වූ සමන්ත, දේවක සමඟ මිතුරු වූයේ ගමනේ යෙදෙද්දී කියවූ පොත් හුවමාරුව නිසා ය. ජීවිතයේ යථා ස්වභාවය ගැන කතාබහ කරන්න හැකිවීම දෙමිතුරන්ගේ බැඳීම වඩාත් සමීප කළේය. කෙමෙන් කාලය ගතවෙද්දී දේවකගේ බාහිර ස්වරූපය මෙන්ම ඇතුළාන්තය ද දුක්ඛිත පෙනුමකින් යුතුවීම සමන්ත නිරීක්ෂණය කළේය.
"ඇයි මචං මොකක් හරි අවුලක් ද?" සමන්තගේ මුහුණ දෙස ඍජුව බලා සිටි දේවකගේ දෑස් කඳුළු පටලයකින් වැසීගිය ද, සිතතුළ ඔබා මැඩගෙන උන් වේදනාව දෑසින් උතුරා යන්නට නොදී මඳක් නිහඬව සිටි ඔහු මිත්‍රයා සමඟ තමාගේ ජීවිතයේ දෝමනස්ස බෙදාගන්න පුරුදු වූයේ එදා සිට ය. සමන්ත දෙතුන් වරක් මුදලින් උපකාර කළේ ද දේවක එය ප්‍රතික්ෂේප කරද්දී දැඩි පෙරැත්තයෙන් ඒ සඳහා කැමති කරවාගෙන ය. මිතුරා සුපුරුදු ලෙස ඒ දුම්රියට ගොඩවෙද්දී තමාව සොයන්නට ඇත. ඉකියක් උගුරේ සිරවී ඇත. ඔහු ඇඟිලි තුඩු තබා දෑස් වසාගත්තේය.
තේ කෝප්පය අවසන් වූව ද එතැනම වාඩිවී සිටි මිනිසා දෙස දෙතුන්වරක් බලමින් එහාට මෙහාට ගිය වේටර් කුඩා දීසියක දැමූ බිල ගෙනැවිත් තැබුවේය. මුදල් එහි තබා කඩෙන් එළියට ආ දේවක සෙමෙන් ස්ටේෂන් එක දෙසට ඇවිද යන්නට විය.
ලොකු දුවගේ අහිංසක දෑස ද, සැමදාම රෑ තමාගේ තුරුලේ නිදාගන්නා බාල දියණියගේ සිනිඳු මෘදු ස්පර්ශය ද දේවකට සිහිවෙයි. ඒ විශාල නිවස තනන්නට ජීවිතයම බිලිදුන්න ද ඔහු ඒ ගෘහය තුළ ක්ෂුද්‍ර ජීවියකු විය. සුමාලිගේ රළු පරළු හැසිරීම ද, නිරන්තරයෙන් ඇතිවූ අඬදබරද නිසා දේවකට නිවස පෙනුණේ අපායක් මෙනි. දරුවන් දෙදෙනාගේ ඇසුරින් මඳ අස්වැසිල්ලක් ලැබුණද, අඹුසැමියෝ වෛරක්කාරයන් මෙන් හැසිරෙන්න වූහ. ධෛර්යවන්ත ගැහැණියක වුව ද අවට ලෝකයට පෙනෙන්නට ඉහළින් ජීවත්වීමට ඇති ආශාව නිසා ඇය දේවකට බලපෑම් කරමින් කෙසේ හෝ තම අපේක්ෂාවන් ඉටු කරගන්නට යුහුසුළු වූවාය.
නිවස වටා තාප්පයක් බැඳ කළුපාට ගේට්ටුවක් දැමූ පසු තිරරෙදි දැමීම සහ කුඩා ගෙවත්ත අලංකාර කිරීමට ඇය තම රන් මාලය විකුණා දැම්මේ, "ඔය උලව්ව පෙට්ටියේ තියාගෙන ඉන්නේ මොන මඟුලකට ද?" යැයි දේවකට ඇහෙන්නට කියමිනි. දේවක එය සුමාලිට ගෙනැවිත් දුන්නේ ඔවුන් විවාහ වූ අලුත ය. ඉඳහිට මංගල උත්සවයකට යනවිට සුමාලි ඒ මාලය කර පැළඳි විට දේවකගේ සිතට දැනුණේ ආඩම්බරය මුසු සතුටකි.
දේවකලා ගේ ගෙදර තිබුණු සියුම් කැටයමින් නිම වූ කවිච්චිය සහ පබිලියන් ඇඳ, දේවක නව නිවසට ගෙවැදුණූ පසුව අප්පච්චී විසින් නැවත පොලිෂ් කොට ලොරියක පටවාගෙනවිත් මිදුලේ නතර කරන තුරු දේවක දැන සිටියේ නැත. සුමාලිගේ දෙමව්පියන් ද ඉදිරියේ අප්පච්චි ඒවා දේවකට දුන්නේ තමන්ගේ අත්තම්මලාගෙන් තමා ලද පැරණි ගෘහ භාන්ඩවල පාරම්පරික වටිනාකම ගැන උජාරුවෙන් කියමිනි. දිනෙක දේවක වැඩ ඇරී ගෙදර එද්දී සාලයේ තිබුණු කවිච්චියත් මැද කාමරයේ තිබුණු ඇඳත් සුමාලි පරණ බඩු කඩයකට විකූණා තිබිණි.
නිම්හිම් නැති කෝපයෙන් වෙව්ලමින් දේවක සුමාලිගේ කම්මුලට පහරක් දුන්නේය. කොස්ස අතටගත් සුමාලි පෙරළා ගැසූ පහරින් දේවකගේ නළල පැළී ලේ ගලන්නට විය. බියටපත් දැරියන් දෙදෙන මරහඬ තලන්නට විය. නුදුරු නිවසේ සිටි සුමාලිගේ අම්මාත් අයියාත් දිව ආවෝය. සුමාලි දෙස් දෙවොල් තබමින් වැලපෙන්නට වූයේ මහහඬිනි. පණ බේරාගැනීමට තමාට එසේ කරන්න සිදුවූ වග අන් අයට ඒත්තු ගැන්වීමට සුමාලි කරන රඟපෑම ඇගේ අයියා ගණන් ගත්තේ නැත.
බෙහෙත් දැමීමෙන් නළල සුව වූව ද දේවකගේ සිත දැඩි ලෙස ගිලන් වන්නට විය. ණය තුරුස් එන්න එන්න වැඩි වීමත් නිතර නිතර සන්ඩු දබර වැඩිවීමත් එක සමානව වර්ධනය විය. මේ සියලු සිදුවීම් දැන් දේවකට එක පෙළට සිහිපත්වෙයි. ඊයෙ සවස ද සිදුවූයේ එවැනිම දබරයකි. සුමාලි නොනවත්වා බැණ වදින්න වූයේ ණයකාරයන් ගෙදර එන වග කියමිනි.
අම්මාත් අප්පච්චීත් මියගියේ කලකට පෙර ය. අක්කලා විවාහ නොවූ අතර උමතු රෝගයක් වැළඳුණු ලොකු අක්කා මියගියේ අංගොඩ රෝහලේ දී ය. පොඩි අක්කා වූ රසාදරී නිවසේ තනිව වෙසෙයි. දේවකට ගමට පැමිණ ගේදොර භාරගන්නා ලෙස ලියුමකින් ද, වරක්, දෙවරක් ආගිය වෙලාවල දී ද ඇය ඉල්ලා සිටියාය. දසසිල් මාතාවක් වන්නට බලාපොරොත්තුව ඉන්නා බැවින් නීත්‍යානුකූලව දේපල පවරා දෙන්නට එන්නැයි ඈ කළ ඉල්ලීම සුමාලිට සිනහවට කාරණයක් විය.
"මම යයි ඔය බූත බංගලාවට, වන කැලේ, නොදකිං," ඈ පවසන්නේ දේවකට ඇසෙන්නට ය.
කෙසේ හෝ මේ ණය උගුලෙන් මිදිය යුතුය. දරු දෙදෙනාත් සමඟ ගමේ පදිංචියට ගියහොත් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා යැයි දේවක විශ්වාස කළේය. දහවලේ කෙතරම් බහින්බස් වුව ද සුමාලි සමඟ මේගැන කතා කරන්නට දේවක දරුවන් නිදන තුරු ඉවසා සිටියේය. කුලී ඇඳුමක බොත්තම් අල්ලමින් සිටින තම බිරිඳ දෙස බලා සිටි දේවකට දුක සිතුණි.
"සුමාලි," දේවක ඇයට ළං වී කතා කළේ තැන්පත් ස්වරයෙනි. "අපි ගමට යමු, මේ ගේ විකුණලා ණය බේරලා දාමු, අපට පොඩි වාහනයක් ගන්නත් පුළුවන්."
දේවක කළ මේ යෝජනාවෙන් දණ්ඩෙන් පහර කෑ සැපින්නක ලෙස ඇය කෝපාවිෂ්ඨව නැගී සිටියාය.
"මොකක් ?" සුමාලිගේ දෑස් ගොරොක් මද සේ ය.
"අර පිස්සු විමානෙට? තමුසෙ යනවා. උඹලගෙ පවුලටම පිස්සු. ගිහින් මැරියන්කො. එතකොට හම්බවෙන එකෙන් මම මේ දරුවො එක්ක ණය ටික බේරගන්නම්."
දේවකගේ හිසට තද පහරක් වැදුනාක් මෙන් ඔහු වික්ෂිප්ත විය. ඈ පැවසුවේ සත්‍යයක් නොවේද?
නිදිවර්ජිත රාත්‍රිය දේවකව බොහෝ ඈත රැගෙන ගියේය.
දරුවෝ පාසල් යන්න සූදානම් වෙති. සුමාලි කුස්සියේ වැඩකරමින් සිටියි. තමාගේ දෙපා නමදින දැරියන් සිපගත් දේවක සතුටින් නිවසින් පිටවිය. බොහෝ කලකට පසු සිත සැහැල්ලූ වී ඇත.
"ඊළඟට පැමිණෙන්නේ මාතර බලා යන සීඝ්‍රගාමී දුම්රියයි," යකඩ කට දැනුම් දෙයි. යළිත් වේදිකාව කලබල වන්නට විය. සියළු ලියකියවිලි සහිත කන්කෝරු බෑගය බංකුව මත තබා සිහිනයෙන් අවදිවූවාක් මෙන් දේවක සමරසේකර දුම්රිය වේදිකාව දිගේ පහළට බසින්නට විය.
සුමාලිත් ,දරුවනුත් සිනාසෙමින් තමා දෙසට ඇවිද එති. අම්මා, අප්පච්චී, අක්කලා සියල්ලෝ සතුටිනි. රේල් පාරට ගොඩවූ දේවක ජංගම දුරකථනය කනට තබාගෙන කොළඹ දෙසට ඇවිද යන්න විය. දෙපස සුනාමියෙන් සුන් වූ නිවෙස් පාළුවට ගොසිනි. මහ සාගරය ශාන්ත ස්වභාවයක් ඉසිලීය. වංගුවෙන් මතුවූ දුම්රිය නළාව දිගින් දිගටම හඬන්නට විය.
"කාවද හැපුණා," ඇදීගිය දුම්රිය නතර වූ පසු මිනිස්සු දුම්රියෙන් බැස එදෙසට දිවයන්නට වූහ.
"ෆෝන් එක කණේ තියාගෙන ආවෙ," රියැදුරා සිය සගයාට කීවේය.
"අද පරක්කු වෙයි," කියමින් මිනිස්සු යළි දුම්රියට ගොඩවූහ.
- සුලේඛා විතානගේ
sulekhawithanagemal@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.