Wednesday, 11 November 2026

දුක තමයි රංජනී! - රසික සූරියආරච්චි



ඉහත දැක්වෙන “දුක තමයි රංජනී” යන යෙදුම තත්කාලීන ලාංකික සිංහල ජනවහරේ භාවිතා වෙන්නකි. මෙහි මූලාශ්‍රය හෝ නිරුක්තිය මා හරි හැටි නොදනිතත්, බොහෝ විට මෙය ජනප්‍රිය ටෙලි නාට්‍යයක චරිතයක් නිතරම කියූ වදන් පෙළක් වෙන්නට ඉඩ තිබේ. මා අසා ඇති පරිදි මෙහි පිළිතුරු පදවැල වෙන්නේ “අනේ මන්දා සරත්” යන්නයි.

දශකයකටත් වඩා කාලයක් මා වාසය කළ අපේ ගම් පළාතේ කලාකාමී පිරිසක් එක් වී පිහිටුවා ගත් මහා කලා කවයක් විය. මේ ස්වේච්ඡා සංගමය මගින් දිගු කාලයක් තිස්සේ ප්‍රදේශයේ සංස්කෘතිය වෙනුවෙන් කළ වැඩ කටයුතු රාශියක් වේ. කලා කවයේ සාමාජිකයෝ ද, පොදුවේ සිංහල සාහිත්‍යයට, නර්තන, රංගන, ගායන, වාදන කලාවන්ට තම හැකි අයුරින් සේවය කළෝය.

මේ කලා කවයෙන් දැන් වසර කිහිපයක කලින් ඉතා වැදගත් අළුත් ව්‍යාපෘතියක් ඇරඹිණි. එය නම්, වසර අවසානයේ පවත්වන කලා කවයේ සාමාජික සාදයේ දී, ඒ වසරේ පොත් පත් ලියූ, ගී තැටි බිහි කළ, නාට්‍ය වේදිකාගත කිරීම සහ වෙනත් විවිධ කලා කටයුතු කළ අයව තවත් දිරි ගන්වනු පිණිස සහ ඔවුන්ගේ සේවය අගය කරනු පිණිස සමරු ඵලකයක් ප්‍රදානය කිරීමයි.

මේ වැඩ පිළිවෙල අරඹා දෙවන වසර අවසානයේ දී පැවැත්වුණු වාර්ෂික සාදයේ දී, මේ ආකාරයේ ඵලකයක් මට ද ලැබුණි. ඒ මා එක්තරා පොතක් ලියා පල කිරීම අගැයීම පිණිස ය. හොඳ වේලාවට මේ සම්මාන ප්‍රදානයේ දී අගැයීමට ලක් කෙරෙන්නේ කලා කවයේ සාමාජිකයෙකු ගේ පොතක් ලියා පළ කිරීමේ කර්තව්‍යය පමණි. පොතේ ඇති වැදගත්කම ගැන සැලකිල්ලක් නොදැක්වේ.

වසරක් ගෙවී තවත් වසරක අවසානය එළැඹිණි.

කුමන හෝ හේතුවක් නිසා ඒ වසරේ දී පැවති සාමාජික සාදයේ දී මේ සාමාජික කෘති අගැයීමේ අංගය දක්නට නොලැබිණි.

තවත් මාස ගණනකට පසුව අපේ කලා කවයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විණි. එහි දී, වසරේ ප්‍රගති වාර්තා ඉදිරිපත් කළායින් පසුව එළැඹෙන සාකච්ඡා වාරයේ දී, මා මේ පිළිබඳව ප්‍රශ්නයක් ගෙවී යන වසරේ කලා කවයේ නායකත්වය දැරූ සහෘදයාට යොමු කළෙමි.

“පසුගිය වසර තුළ දී අපේ සාමාජිකයින් විසින් එළිදක්වනු ලැබූ කලා කෘති අගැයීම පසුගිය වාර්ෂික සාදයේ දී නොකළේ ඇයි?” ඒ මා ඇසු සරල ප්‍රශ්නයයි.

ඒ ඇගැයීමේ ක්‍රියාවලිය, කලා කවය විසින් අතහැර දමා නැති බවත්, සිදු කෙරුණේ කල් දැමීමත් පමණක් බවත්, නුදුරු දිනයක දී පැවත්වෙන වාර්ෂික සුහද සාදයේ දී ගිය වසරේ සහ මේ වසරේ කලා කෘති සඳහා ඇගයීම් උත්සව දෙකම එකට පවත්වන බවත් මට පිළිතුර ලෙස ලැබුණි.

“ඒ වගකීම මම පුද්ගලිකව බාර ගන්නවා!” තම සේවා කාලය නිමවන සභාපති වැඩිදුරටත් පැවසීය.

මේ කර්තව්‍යය ඒ වන විට පුරා අවුරුද්දක් ම ප්‍රමාද වී ඇත්තේ වුව ද, “බෙටර් ලේට් දෑන් නෙවර්!” යැයි කියවෙන කියමනට ද අනුව, සභාපති ගෙන් මට ලැබුණු ඒ පිළිතුර සතුටුදායක පිළිතුරක් විය.

ඒ රැස්වීමෙන් ටික දිනකට පසු මට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ හිටපු සභාපතිගෙනි.

“රසික, මේ පාර පැවැත්වෙන වාර්ෂික සාදයේ දී, අර කලාකෘති ඇගයීමේ අංගයට ගිය වසරේ නම් ලයිස්තුව හදන්නට බාර වෙලා තියෙන්නේ මටයි. මට කියන්නකෝ ඔහේ ලියපු පොත ගැන විස්තර?” හිටපු සභාපති මගෙන් ඉල්ලීමක් කළේය.

“මොන පොත ද? මං ලියපු එකම පොත ලියලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි නේ! ඒක මීට අවුරුදු දෙකකට කලින් තියපු උත්සවයේ දී පැවැත්වුණු ඇගයීමට අයිති වුණා නේ!” මම පැවසූයෙමි.

“මං හිතුවේ රසික ගිය අවුරුද්දේ අළුත් පොතක් ලිව්වාය කියලයි.”

“ඇයි හිටපු සභාපති ඔයා එහෙම හිතුවේ? මං අලුත් පොතක් ලිව්වා නං ඔහේට පිටපතක් නොදී ඉන්නේ නෑ නොවැ?”

“නෑ ඉතිං, රසික එදා අර රැස්වීමේ දී මේ කලාකෘති ඇගයීම ගිය අවුරුද්දේ නොපැවැත්වීම ගැන ප්‍රශ්න කළා නේ, ඒකයි මං හිතුවේ රසිකත් පොතක් ලියලා ය කියලා!”

මට ඇතිවුණු හැඟීම විස්තර කළ යුතු හොඳම ක්‍රමය මෙලෙස වේ.

“දුක තමයි රංජනී!”

“අනේ හිටපු සභාපති, මට ලැබෙන්න තිබුණු දෙයක් නොලැබුණු හින්දා නොවෙයි, මට ලැබිලා, අනෙක් අයට නොලැබුණු හින්දයි මං ඒ ප්‍රශ්න කෙරුවේ!”

“ආ, ඇත්තද?”

ඒ දුරකථන කතාබහ එතැනින්ම අවසාන විය.

මේ සිද්ධිය අනුසාරයෙන් අපට කතාබහ කළ හැකි ප්‍රධානම කරුණ නම් මෙයයි.

අප බොහො දෙනෙක් සිතනුයේ, තමන් වගේ ම අන් අයත් යම් හඬක් නගන්නේ තමන් ගේ වාසියට පමණක්ය කියායි. තමන්ට නොව, අනුන්ට වෙන අසාධාරණකම් ගැන කතා කරන අයත් සිටිනා බව එවැන්නෝ නො දනිති.

කරුණු එසේ හෙයින්, තමන් ට අවාසියක් වුණත් අනුන් ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන අය ඉන්නා බවත්, ඒ එක්කම, තමන් ගේ මතය ඊට හාත්පසින් ම වෙනස් වුණත් වෙනත් අයට ඔවුන් ගේ මත දැරීමට ඇති අයිතිය වෙනුවෙන් කතා කරන අය ඉන්නා බවත් දැන ගැනීම, ඒ පිරිසට සිහිය විකල්වෙන තත්වයක් වෙනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ යැයි සිතමි.

“අනේ මන්දා සරත්!”

- රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්