
(පළමුවෙනි කොටස: https://sisilamagazine.blogspot.com/2026/10/blog-post_04.html)
ආවාස ගෙය ඉදිරිපිට වූ මල් පාත්තිවලට සාත්තු කරමින්, ඒවායේ වල්පැල උදුරමින් සිටි තරුණ පොඩි හාමුදුරුවන්ව ඔවුන්ට ඈතදීම දැකගත හැකි විය. උන්වහන්සේගේ මුහුණෙන් පෙනුණේ පැවිදි සුසිරිතෙන් ඔප්නැංවුණු ශාන්ත පෙනුමකි.
නිලිනි සහ සෙනරත් දෙදෙනා තම පාවහන් ගලවා පසෙකින් තබා, ආවාස ගෙයි පියගැටපෙළ නැඟ මැද මිදුලට ගොඩවූහ. පැමිණි අමුත්තන් දුටු පොඩි හාමුදුරුවෝ, තම කාර්යය නතර කර නැගිට ඔවුන් සිටි දෙසට වැඩම කළහ. නිලිනි සහ සෙනරත් දණගසා උන්වහන්සේගේ දෙපා නැමදූහ.
"තෙරුවන් සරණයි..."
පොඩි හාමුදුරුවෝ ඔවුන්ගේ හිසට උඩින් දකුණත දිගුකර සන්සුන් ස්වරයෙන් ආශීර්වාද කළහ.
"අපේ හාමුදුරුවනේ, අපි මේ පැත්තේ ආවේ දේවාලය ගැන විස්තර ටිකක් හොයාගන්න. මගේ තීසිස් එකට මාතෘකාව වෙලා තියෙන්නෙ රංවල දේව වන්දනාව සහ ඒ ආශ්‍රිත ජන ඇදහිලි අධ්‍යයනය කිරීම," නිලිනි තමන් පැමිණි ශාස්ත්‍රීය අරමුණ ඉතා පැහැදිලිව, ගෞරව පූර්වකව සන්නිවේදනය කළාය. පොඩි හාමුදුරුවන්ගේ මුහුණේ මඳ සිනහවක් ඇඳුණි.
"එතකොට මේ අක්කා කොහේද? කැලණිය කැම්පස් එකේ ද?"
"එහෙමයි සාදු... මං අවසාන වසරේ ඉගෙනගන්නේ. නාට්‍ය හා රංග කලාව තමයි මගේ විශේෂ උපාධි විෂයය."
"හොඳයි, හොඳයි... මං ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ. එහෙනම් ඉතින් මේ ඇත්තෝ ඔය බංකුවෙන් වාඩි වෙන්නකෝ."
සංඝාවාසය ඉදිරිපිට, මළුවේ සෙවණ සලසන මහා වෘක්ෂයක් යට තැන්පත්කර තිබූ කොන්ක්‍රීට් ආසනය පෙන්වමින් උන්වහන්සේ වදාළහ. ස්වාමීන් වහන්සේ අසුන්ගත් පසු, නිලිනි සහ සෙනරත් ද උන්වහන්සේ වැඩසිටි අසුන ඉදිරිපිට වූ අනෙක් බංකුව මත වාඩි වූහ. මුලින්ම ආගිය තොරතුරු සහ සුවදුක් විමසා බැලූ උන්වහන්සේ, ඉන්පසු නිලිනි බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන මාතෘකාවට අවතීර්ණ වූහ.
"රංවල දෙවියන් කියලා අද ජනතාව වන්දනාමාන කළාට උන්වහන්සේ ඈත අතීතයේ මේ රංවල ගමේ ජීවත් වුණු සාමාන්‍ය උපාසක මහත්මයෙක්. උදේ හවා පන්සල් ගිය, ගමටම හිතැති ඒ උත්තමයා මරණයෙන් පස්සේ තමයි මේ පළාතේ මිනිස්සුන්ගේ ගෞරවය නිසා දේවත්වයට පත්වුණේ. ජීවතුන් අතර ඉන්න කාලේ කවුරුත් ඔහුව හැඳින්වූයේ 'රංවල රාළ' නමින්."
පොඩි හාමුදුරුවන්ගේ හඬ මළුව පුරා දෝංකාර දුන්නේ යම් ගුප්ත බවක් ද කැටිකරගනිමිනි.
"ඒ කාලේ කැලණි ගඟ කියන්නේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක්. ගඟ දිගේ ඉහළටත් පහළටත් යන ඔරු, පාරුවල ආරක්ෂාව වෙනුවෙන් රංවල රාළ කළේ අනුපමේය මෙහෙවරක්. ඒ දවස්වල කළුවර වැටුණාම ගඟේ යන පාරු, දිය යට තියෙන සැඟවුණු ගල් පර්වතවල හැපිලා නිතරම අනතුරුවලට ලක්වුණා. විශේෂයෙන්ම කැලණි විහාරය වන්දනා කරන්න පාරුවලින් ආපු අහිංසක උපාසක උපාසිකාවන් කීදෙනෙක් නම් මේ දියකඳට බිලිවෙලා ඇත්ද? රංවල රාළත් ගඟේ ඔරු පදින තොටියෙක්. මේ විපත බලාගෙන ඉන්න බැරිම තැන, ඔහු ගඟේ අනෙක් තොටියන්වත් එකතු කරගෙන සංවිධානය වුණා. කැලණි ගඟ මැද තියෙන අනතුරුදායක ගල් පර්වත උඩ, හැමදාම රෑට පුහුල් පහන් පත්තු කරලා තියන්න ඔහු කටයුතු කළා. ඒ ආලෝකය නිසා අනතුරුදායක තැන් මඟ හරන්න තොටියන්ට පුළුවන් උනා. ඉතින් ගඟේ සිද්ධ වුණු අනතුරු බොහෝදුරට නැතිවෙලා ගියා."
පොඩි හාමුදුරුවන් පැවසූ සෑම වදනක්ම තම සටහන් පොතේ ලියාගනිමින් සිටි නිලිනි, මොහොතකට තම පෑන සටහන් පොතෙන් ඉවතට ගත්තාය. ඇගේ දෑස් තුළ වූයේ පර්යේෂණාත්මක කුතුහලයකි.
"අපේ හාමුදුරුවනේ... එතකොට රංවල දෙවියන්ගේ රූපකාය, නැත්නම් පෙනුම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ලංකාවේ අනිත් දේව ප්‍රතිමාවලින්, රංවල දේව ප්‍රතිමාව වෙන් කරලා අඳුරගන්නේ කොහොමද?" ඇය පොඩි හාමුදුරුවන් දෙසට හැරී තමන්ට වඩාත්ම අත්‍යවශ්‍ය වූ ගැටලුව විමසුවාය.
"කැලණි මිටියාවතේ හුඟක් ගම්මානවල, මංසන්ධි අසල, වගේම පාලම් දෙපස රංවල දෙවියන්ගේ දේවාල හෝ කුඩා දේව රූප ඉදිකරලා තියෙනවා, ඔය ඇත්තන්ට දකින්න ලැබෙන්න ඇති," පොඩි හාමුදුරුවෝ සන්සුන්ව පැහැදිලි කරන්නට වූහ.
"මේ ප්‍රතිමා දෙස හොඳින් බැලුවොත් අපිට ප්‍රධාන ස්වරූප දෙකක් හඳුනාගන්න පුළුවන්. එකක් 'දේව ස්වරූපය', අනෙක 'මනුෂ්‍ය ස්වරූපය'. දේව ස්වරූපයෙන් නෙලා තිබෙන ප්‍රතිමාවලින් නිරූපණය කරන්නේ ඉතාමත් පැහැපත්, තේජවන්ත තරුණ කුමාරයෙක්. ඔහුගේ යටි කයට ඇන්දන් ඉන්නේ පිරිසිදු සුදු පැහැති දෝතියක්. ඉණ වටා අලංකාර බඳපටියක්, එහෙමත් නැත්නම් 'මේඛලා දාමයක්' පළඳලා තියෙනවා. ළය ප්‍රදේශය වසා තිබෙන්නේ අත්කොට හැට්ටයකින්. උරහිස මතින් ඉතා සිනිදු සුදු සළුවක් දමා තිබෙන අතර, හිස බැඳි තලප්පාවේ ඉදිරිපස හරියටම මැදින් දිදුලන මාණික්‍යයක් බැබළෙනවා."
නිලිනි තම සටහන් පොත දෙස බලාගෙනම හිස සලා එය අනුමත කළාය.
"අපේ හාමුදුරුවනේ... හැබැයි මේ ප්‍රධාන දේවාලය ඇතුළේ තියෙන්නේ වයස්ගත උපාසක මහත්මයෙක්ගේ වගේ ප්‍රතිමාවක් නේද?" ඉන්පසු ඇය දේවාල ගර්භය තුළ තිබෙනු දුටු ප්‍රතිමාව ගැන විමසුවාය.
"ඔව්... ඒ තමයි රංවල දෙවියන්ගේ 'මනුෂ්‍ය ස්වරූපය'. මේ ප්‍රතිමාවෙන් නිරූපණය කරන්නේ වයස්ගත, සිල්වත් උපාසකවරයෙක්. ඔහු සුදු පැහැති වේට්ටියක් හැඳ, නිරාවරණය වූ උඩුකය සුදු උතුරු සළුවකින් විනීතව වසාගෙන සිටිනවා. ගෙලෙහි පැළඳ සිටින්නේ නවගුණවැලක්. එක් අතක සැරයටියක්, සෝලුලීයක් හෝ පැරණි පුස්තකයක් රඳවාගෙන සිටිනවා," පොඩි හාමුදුරුවෝ සිනාසෙමින් වදාළහ.
"මේ ස්වරූපය අපේ ගැමි සංස්කෘතියේ ඉන්න කඩවර හෝ සූනියම් වගේ සාමාන්‍ය ගම්භාර දෙවි කෙනෙකුගේ පෙනුමට ගොඩක් සමානයි. සත්කෝරළේ පැත්තේ වන්දනා කරන 'කබලා දේව' ප්‍රතිමාත් බොහෝ විට නිර්මාණය කරලා තියෙන්නේ මේ වයස්ගත උපාසක ස්වරූපයටම තමයි."
උන්වහන්සේගේ ඒ ගැඹුරු ශාස්ත්‍රීය විග්‍රහය, නිලිනිගේ පර්යේෂණ පොතේ පිටු අතර පමණක් නොව, ඇගේ සිතේ මැවෙමින් තිබූ 'රංවල ඇත්තෝ' ඓතිහාසික අන්දරයේ චරිතාංග සමඟද අපූරුවට බද්ධ වෙමින් තිබුණි.
"අපේ හාමුදුරුවනේ... එතකොට රංවල දෙවියන්ගේ අඩවිය, එහෙමත් නැත්නම් බල ප්‍රදේශය විහිදිලා තියෙන්නේ කොයි හරියේද?"
නිලිනි තම පෑන සටහන් පොත මත තබාගෙන, උන්වහන්සේගේ මුවින් නික්මෙන ඊළඟ ඓතිහාසික සාක්ෂිය ලියාගන්නට සූදානම් වූවාය. පොඩි හාමුදුරුවෝ ඈත පෙනෙන කැලණි නදී තීරය දෙස දෑස් යොමු කරමින් පිළිතුරු දුන්හ.
"සාමාන්‍ය ජන පිළිගැනීම සහ ඉතිහාස කරුණු අනුව නම්, දුම්බුකඩුව වක්කලමේ ඉඳලා කැලණි ගඟ දිගේ කැලණි විහාර තොටුපළ වෙනකම් තමා රංවල දෙවියන්ගේ ප්‍රධාන අඩවිය විදිහට සැලකෙන්නේ. පැරණි කෝල්මුර කවිවල සඳහන් වෙන විදිහට, ගඟේ එගොඩ ගම් තිස් දෙකකුත්, මෙගොඩ ගම් තිස් දෙකකුත් එකතු වෙලා හැදුණු 'ගම් හැට හතරක්' රංවල දෙවියන්ගේ නින්දගම් සීමාවට අයිති වෙනවා. හැබැයි අද වෙනකොට ඒ සීමාවල් තවත් පුළුල් වෙලා. මුළු සියනෑ කෝරළය පුරාමත්, හේවාගම් කෝරළය පුරාමත් රංවල දෙවියන්ගේ අණසක සහ ගෞරවය එක වගේ පැතිරිලා තියෙනවා."
පොඩි හාමුදුරුවන්ගෙන් ලැබුණු වටිනා තොරතුරු සමුදාය සටහන් කරගත් නිලිනි සහ සෙනරත්, උන්වහන්සේට නැවත වතාවක් වැඳ නමස්කාර කර සමුගත්හ.
ඔවුහු නැවතත් දේවාල මළුව දෙසට පියනැඟූහ. ඒ එන අතරමඟදී, දේවාල භූමියේ කෙළවරක තනා තිබූ තාවකාලික මඩුවක් තුළ විශාල පිරිසක් එක්රැස්වී කිසියම් කාර්යයක නිරතව සිටින අයුරු ඔවුනට දැකගත හැකි විය. ලිප මත තැබූ දැවැන්ත හැළියක බත් ඉදෙමින් තිබූ අතර, ඉන් නික්මුණු සුවඳ අවට වාතයට මුසුවෙමින් පැවතුණි. පසෙක තිබූ ලී මේසයක් මත කපා පිරිසිදු කරගත් නැවුම් එළවළු, අල වර්ග මෙන්ම වියළි කරවල දමා තිබූ මැටි භාජන කිහිපයක් පිළිවෙළකට තබා තිබුණි.

"මොකක්ද අනේ, මෙතන සිද්ධ වෙන්නේ?" කුතුහලයෙන් පිරුණු නිලිනි, සෙමින් සෙමින් එතැන රැස්ව සිටි ගැමි කාන්තාවන් අතරට ගොස් ආදරණීය ස්වරයකින් විමසුවාය. එතැන සිටි මැදිවියේ කාන්තාවක නිලිනි දෙස බලා සුහදව කරුණු පැහැදිලි කරන්නට වූවාය.
"අද දේව දානය උයන දවස නේ? නෝනා... මේ වගේ දේවල්වල් පිරිමි උදවිය මූලික වෙලා තමයි කරන්නේ. අපි ඉතින් එළවළු ටික කපලා දීලා අත්උදව් දෙනවා විතරයි. අද හාර පන්සීයකට විතර මෙතන බත් ඉදෙනවා."
ඇය හැන්දකින් වළඳ කූරුගාන පිරිමින් දෙස බලමින්, දේවාලයේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවද රහසක් පැවසුවාය.
"මේ දානෙට මස්, මාළු, බිත්තර වගේ දේවල් ගන්න සපුරා තහනම්. ඒ වගේම අළුකෙසෙල්, පුහුල් වගේ එළවළුත් දේව දානෙට ගන්නේ නැහැ. උයනකොට කටේ ගාලා ලුණු ඇඹුල් බලන්නෙත් නැහැ, ඒක මේවායේ හැටි. කෑම ඔක්කොම පිළියෙල කරලා ඉවර වුණාම මුලින්ම බුද්ධ පූජාවයි, ඊට පස්සේ දේව පූජාවයි පවත්වනවා. ඊට පස්සේ තමයි මෙතනට එන හැම බැතිමතෙකුටම දානය බෙදලා දෙන්නේ." ඇය සිනාසෙමින් නිලිනිගේත්, සෙනරත්ගේත් මුහුණු දෙස බැලුවාය.
"දානය පිළියෙල කරනවා වගේම, මේ දේව අඩවියට ඇවිත් දානය පින් සිතින් වළඳන එකත් දෙවියන්ට පින් පිරෙන සත්ක්‍රියාවක් හැටියටයි අපේ උදවිය සලකන්නේ. ඒ හින්දා නෝනලාත් ඉක්මනට නොගිහින්, දානෙන් ටිකක් කාලම යන්න." එතැන සිටි අනෙක් ගැමියන් ද ඉතාමත් ආගන්තුක සත්කාරශීලීව, ඒ ආරාධනාව කරන ලෙසින් නිලිනි සහ සෙනරත් දෙස බලා සිනාසුණහ.
- පියතිලක හල්පෙ
thisaraherath742@gmail.com
තෙවෙනි කොටස: ලබන ඉරිදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.