Sunday, 30 August 2026

ශාක DNA සංස්කරණය මගින් ගෝලීය උණුසුම් වීම අඩු කිරීම - දයාරත්න වීරසේකර



පෘථිවිවාසී සෑම ජීවීයෙකුට ම පාහේ අවශ්‍ය ආහාර සැපයෙනුයේ ශාක මගින් සිදුකරන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මගිනි. මෙම ක්‍රියාවලියේ දී හරිත ශාකවල අන්තර්ගත හරිතප්‍රද මගින් ග්‍රහණය කරගන්නා සූර්ය ශක්තිය උපයෝගී කරගනිමින් වායු ගෝලයේ ඇති CO2 සහ පොළොවෙන් ලබාගන්නා ජලය අතර සිදුවන ප්‍රතික්‍රියාව හේතුවෙන් ජීවීන්ගේ ආහාරයේ ප්‍රධාන සංඝටකයක් වන කාබෝහයිඩ්‍රේට නිෂ්පාදනය වේ. ඒ ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ වූවත්, එමගින් සිදුවන රසායනික ප්‍රතික්‍රියාව, 6CO2 + 6H2O → C6H12O6 + 6O2 ලෙස, සරල සමීකරණයකින් දැක්විය හැක. මෙහි දී කාබන්ඩයොක්සයිඩ් අණු හයක් සහ ජලය අණු හයක් ප්‍රතික්‍රියා කර කාබෝහයිඩ්‍රේට (ග්ලුකෝස්) අණු හයක් නිපදවේ. මෙම ප්‍රතික්‍රියාවේ අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් අණු හයක් මුදාහැරීම ද සිදුවේ. ("අණු" යන වචනය වෙනුවට "මවුල" යන්න යෙදීම වඩාත් නිවැරදිය.)

වසර මිලියන ගණනක් තිස්සේ, පෘථිවි ජෛව ගෝලය තුළ සිදු වී ඇති ඉහත ක්‍රියාවලිය හේතුවෙන් වායුගෝලයේ CO2 සහ O2 අතර අනුපාතය බොහෝ දුරට සමතුලිත තත්ත්වයක තිබුණු බවට අනුමාන කළ හැකි සාක්ෂි ලැබී තිබේ. එසේ වුව ද, දහඅටවන ශත වර්ෂයේ අවසාන දශකවල ආරම්භ වූ කර්මාන්ත විප්ලවයත් (industrial revolution) සමග කාබනික ෆොසිල ඉන්ධන බහුලව දහනය කිරීම නිසා CO2 අධික වශයෙන් වායුගෝලයට මුක්ත වීමෙන් පෙර පැවති එම වායු සමතුලිතාව ක්‍රමක්‍රමයෙන් හීන වන්නට විය.

මෙම අසමතුලිතතාව නිසා සිදුවන ඉතාමත් පීඩාකාරී ගෝලීය උණුසුම් වීම වර්තමානයේ දී සීමාමායිම් ඉක්‌මවා උග්‍ර ව්‍යසනයක් බවට පත් වී තිබෙන බව පර්යේෂකයින්ගේ අධ්‍යයන මගින් සනාථ කර තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change - IPCC) විසින් පෙන්වා දී ඇති ආකාරයට දිනෙන් දින ව්‍යාකුල තත්ත්වයට පත්වන ගෝලීය උණුසුම් වීම "ෆොසිල ඉන්ධන දැවීම නතර කිරීමෙන් පමණක්ම, කිසිසේත් වැලැක්විය නොහැකි බව" නිගමනය කර තිබේ.

මේ උවදුරෙන් මිදීම සඳහා ගතහැකි ඉතාමත් කාලෝචිත ප්‍රයත්නය වනුයේ වායු ගෝලයේ ඇති අතිරික්ත CO2 ග්‍රහණය කර වෙනත් ස්ථානයක සුරක්ෂිතව ගබඩා කර තැබීම බව තීරණය වී තිබේ. මෙම දැවැන්ත පරිශ්‍රමය සඳහා හරිත ශාකවල ස්වාභාවික ප්‍රභාසංස්ලේෂණ යාන්ත්‍රණයම ඉතාමත් යෝග්‍ය මෙවලමක් ලෙස උපයෝගී කරගත හැකි බව හඳුනාගෙන ඇත.

හරිත ශාක විසින් සූර්ය කිරණ ඇසුරෙන් ශක්තිය ලබාගැනීම අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වී තිබේ. එමෙන්ම එම ක්‍රමවේදය මගින් වසරකට වායු ගෝලයෙන් CO2 ටොන් බිලියන ගණනක් අවශෝෂණය කර ගන්නා බව ද ගණනය කර තිබේ. මෙසේ ලැබෙන කාබන්වලින් අඩක් පමණ ශාකවල වායව කොටස් සහ මූල පද්ධතිය වර්ධනය සඳහා වැය වී, තවත් කොටසක් පොළොවේ පස් අංශු අතර තිර වී, සමහරවිට වසර සිය ගණනක් නොවෙනස්ව එලෙසම පවතී. එහෙත්, නව තාක්ෂණික මිනුම් අනුව ස්වාභාවික ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මගින් CO2 අවශෝෂණය කර ගැනීම බොහෝ දුරට අකාර්යක්ෂම බව මෑත දී කර ඇති විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

සූර්ය විකිරණ වර්ණාවලියේ 45% පමණ ප්‍රභාසංස්ලේෂණය සඳහා හිතකර කිරණ වේ. එහෙත් විද්‍යාත්මකව ගණනය කර ඇති ආකාරයට ශාකවල සියලුම පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා ප්‍රයෝජනයට ගැනෙනුයේ සුර්ය විකිරණයෙන් 3% සිට 6% වැනි අඩු ප්‍රතිශතයක් පමණකි. මෙසේ වීමට හේතු වනුයේ ශාකවල ජීනොම (genome) සැකැස්ම අනුව සීමාසාධක බලපෑමක් ඇති නිසා ය. මෙම සාධක අතර සූර්ය කිරණ පරාවර්තනය වීම කාලගුණය අනුව සිදුවන වෙනස්වීම්, ශාකවල ශ්වසන ක්‍රියාවලිය වැනි බාහිර සාධක මෙන් ම, DNA දාමවල ඇති ගති ලක්ෂණවලට අදාළ ජානවල බලපැවැත්වෙන යම් අභ්‍යන්තර සීමාවන් ද ඇත.

නව තාක්ෂණ ක්‍රමවේද මගින් ශාක ප්‍රභාසංස්ලේෂණ වේගය ඉහළ ප්‍රතිශතයකට නැංවිය හැකි බවට විද්‍යාගාර පරීක්ෂණවලින් ඉතාමත් සතුටුදායක ප්‍රතිඵල ලැබී ඇත.

මෙම නව පිවිසුම් මගින් විශේෂයෙන්ම:
මිනිස් පරිභෝජනය සඳහා ප්‍රයෝජනවත් වන භෝග වර්ගවල, ජීනෝම සංස්කරණ මගින් ප්‍රභාසංස්ලේෂණ වේගය වැඩි කළ විට භෝග පලදාව ද වැඩිකර ගැනීමෙන් ආහාර සුරක්ෂිතභාවය ද වැඩිදියුණු කර ගැනීම,
සහ
ශාකවල මුල් පද්ධතියට ආදේශ කර ගත හැකි නව ජීනෝම සංස්කරණ මගින් සකස් කරගත හැකි DNA දාම වලට හිතකර ජාන කෘතිමව එකතු කිරීමෙන් මුල් පද්ධතිය සංවර්ධනය කර ගැනීම මගින් වැඩිපුර CO2 ප්‍රමාණයක් පසෙහි තිරකර ගැනීමටද අවස්ථාවක් උදා කරගැනීම,
යන වාසි සහගත කරුණු පිළිබඳව විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇත.

ශාකයක සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලිය



භුමිය මතුපිට වැඩෙන ඕනෑම හරිත ශාකයක සිදුවන ස්වසනය සහ ප්‍රභාසංස්ලේෂණය වැනි ක්‍රියාවලියට සමගාමීව, තවත් අත්‍යාවශ්‍ය විවිධ ක්‍රියාවලි ශාකයේ මුල් පද්ධතිය පිහිටා ඇති භුමියේ පාංශු පරිසරයේ දී ද සිදුවේ. මෙහි දී ගැඩවිල් පණුවන්, පාංශු වටපණුවන් වැනි පියවි ඇසට පෙනෙන ජීවීන් මෙන් ම, හිතකර බැක්ටීරියා සහ දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන් ද විශාල මෙහෙවරක් සිදුකරති.

බොහෝවිට පසෙහි ජීවත්වන මේ ජීවීන් පෝෂණය ලබා ගන්නේ දිරාපත් වෙමින් පවතින ඓන්ද්‍රීය ද්‍රව්‍ය ආහාරයට ගනිමිනි. මේ නිසා හියුමස්, කොළ රොඩු වැනි ඓන්ද්‍රීය ද්‍රව්‍ය බහුලව අඩංගු පස, සරු පසක් ලෙස සැලකේ. මෙවැනි පාංශු පරිසරයක සිටින කුදු මහත් ජීවීන් ශාක මුල් පද්ධතිය සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය අතර සිදුවන අන්තර් සම්බන්ධතා රාශියකින් එකට බැඳී පවතී. එසේ පවතින සබඳතා ගොඩ නැගී තිබෙනුයේ ශාක විසින් සිදුකරනු ලබන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය පාදක කරගනිමිනි.

ඉහත සඳහන් කළ ආකාරයට ශාක ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ඉහළ මට්ටමකට ගෙන ඒමෙන් සහ ශාකවල මුල් පද්ධතිය සංවර්ධනය කිරිමෙන්, හිතකර පාංශු ජීවීන් බහුතරයකට වඩාත් ප්‍රශස්ත වටපිටාවක් සකස් කර දීමට හැක. එවිට එම ශාකවලට වායුගෝලීය CO2 වැඩිවැඩියෙන් ග්‍රහණය කරගෙන පසෙහි තිරගත කර ගැනීමටත් හැකිවනු ඇත.

ඒ සමගම, විශේෂයෙන්ම මිනිසාගේ ආහාරයෙන් වැඩි ප්‍රතිශතයක් සපයන, ධාන්‍ය භෝග වර්ගවල ප්‍රභාසංස්ලේෂණ වේගය වැඩි කිරීම මගින් ඵලදාව වැඩිවීම නිසා ආහාර සුරක්ෂිතතාවය ද ඉහළ නැංවෙනු ඇත.

"ජිනෝම සංස්කරණ" ජෛව තාක්ෂණය

දැනට දශක තුනකට පමණ ඉහත දී ලොවට හඳුන්වා දී ඇති, "ජාන විකරණය කරන ලද ජීවීන්" (genetically modified organisms - GMO) යන සංකල්පය යටතේ නිර්මාණය කරන ලද ආහාරවල ගුණාත්මකබව පිළිබඳව ජනතාව තුළ තරමක සැක සංකා ඇතිවූ හෙයින් ඉක්මනටම ඒවායේ ජනප්‍රියතාවය අඩු වී බොහෝ දුරට නිෂ්පාදනයෙන් ඉවත් කර තිබේ. මීට පසු 2012 වසරේ දී ඇමෙරිකානු ජීව විද්‍යාඥයින් දෙදෙනෙකු වන Jennifer Doudna සහ Emmanuelle Charpentier විසින් හඳුන්වාදෙන ලද "ජීනෝම සංස්කරණ" (genome editing) නව ජෛව තාක්ෂණ ක්‍රමවේදය ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී. ‘CRISPR/Cas9’ යන කෙටි යෙදුමෙන් දැක්වෙන මෙම තාක්ෂණය, "Clustered, Regularly Interspaced Short Palindromic Repeats and CRISPR-associated protein 9" යන සංකීර්ණ විද්‍යාත්මක නාමයකින් විස්තර කර තිබේ.

ඉතාමත් සංකීර්ණ මෙම තාක්ෂණයේ මූලධර්මය වනුයේ, යම්කිසි සුවිශේෂී අවශ්‍යතාවයක් සඳහා තෝරාගන්නා ලද ජීවියෙකුගේ, DNA දාමයක එක්තරා ස්ථානයක ඇති, ජීවියාට අවැඩක් සිදුවේ යැයි හඳුනාගෙන තිබෙන (අනවශ්‍යයයි හැඟෙන) ජාන සමූහයක් ඉවත් කර ඒ වෙනුවට අත්‍යාවශ්‍ය ආගන්තුක ජාන එම ස්ථානයට බද්ධකර සංස්කරණය කිරීමයි. මෙම ජෛව තාක්ෂණය හඳුන්වාදීම උදෙසා එම විද්‍යාඥවරියන් දෙදෙනාට 2020 වර්ෂයේ රසායන විද්‍යාව පිළිබඳ "නොබේල් ත්‍යාගය" පිරිනමා ඇත. (විද්‍යාත්මක සොයාගැනීමක් සඳහා ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙකු හවුලේ නොබේල් ත්‍යාගය ලබාගත් ප්‍රථම අවස්ථාව ලෙසටද මෙය ඉතිහාසගතවී තිබේ.)

මෙහි දී අපේ අවධානය යොමුවනුයේ, CRISPR/Cas9 ජෛව තාක්ෂණය උපයෝගී කර ගනිමින්, ශාක ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම මගින් වායු ගෝලයේ අධික ලෙස එක්රැස්වෙමින් පවතින CO2 ඉවත්කිරීමත්, ඒ සමගම කෘෂිභෝගවල ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහාත් මෙම ක්‍රමවේදය භාවිතය ගැන ය.

ආරම්භයේ දී මේ තාක්ෂණය භාවිතකර තිබෙන්නේ, බඩඉරිඟු (corn) වැනි පහසුවෙන් වගාකළ හැකි ඉක්මණින් ඵලදාව ලැබෙන ධාන්‍ය ශාක සංවර්ධනය සඳහා ය. පසුව, වී වගාව සඳහාත් යොදා සාර්ථක ක්ෂේත්‍ර අධ්‍යයන ප්‍රතිඵල ලැබී ඇත. CRISPR/Cas9 ජෛව තාක්ෂණය භාවිතයේ දී අදාළ ශාක ජීනොමයේ අඩංගු, යෝජිත පර්යේෂණය අනුව තීරණයවන ජාන හඳුනාගෙන, ඒවා කපා ඉවත් කර, බලාපොරොත්තු වන අභිවර්ධනයට හිතකර, ආගන්තුක ජානයක් එම ස්ථානයට බද්ධ කරනු ලැබේ.



ජීනොමයේ කොටසක් කතුරකින් කපා ඉවත්කර වඩාත් හිතකර කොටසක් ආදේශ කිරීම නැතහොත් "කපා ඇලවීම" (cut and paste) වැනි අවස්ථාවක් ලෙස මෙම කාර්යය දැක්විය හැකිය. ඒ නිසා, මේ සුවිශේෂී මෙවලම "රසායනික කතුරක්" ලෙස සැලකිය හැකිය.

ඉතාමත් සියුම් ආකාරයට සිදුකරනු ලබන මේ ජාන සංස්කරණ ක්‍රියාවලිය ඉහත රූ සටහන මගින් සරලව පැහැදිලි කෙරේ. මෙහි දැක්වෙනුයේ, විස්තර කිරීමේ පහසුව සඳහා යොදාගත්, ජීනොමයක ඇති DNA දාම කොටසක රේඛාචිත්‍රමය (diagrammatic) සටහනකි. අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඉවත් කිරීම පිණිස හඳුනාගත් එහි ඇති ජාන ගොනුවක් ‘A’ ලෙස නම් කර තිබේ. අහිතකර හෝ ඉවත් කළහැකියයි තීරණය කර ඇති මෙම අනවශ්‍ය ජාන ගොනුව කපා හැරීම සඳහා "CRISPR/Cas9 කතුර" භාවිත කෙරේ. එසේ කපා ඉවත් කරන ‘A’ කොටස වෙනුවට වඩාත් හිතකර වේයයි හඳුනාගෙන ඇති ආගන්තුක ‘B’ ජාන ගොනුව ලබාගෙන කපා වෙන්කළ ස්ථානයට බද්ධ කර DNA දාමය සංස්කරණය කරනු ලැබේ. මෙසේ සංස්කරණය කරන ලද ශාක වලින් ලබාගන්නා බීජ ක්ෂේත්‍රයේ රෝපණය කිරීමෙන් පසු ලැබෙන ශාක පිළිබඳ අධ්‍යයනවල දී ලැබෙන ප්‍රතිඵල අනුව ඒ බීජවල ගුණාත්මක භාවය පිළිබඳ තීරණයකට එළඹිය හැකිය.

මේ ආකාරයට ශාක පත්‍ර මගින් කෙරෙන ප්‍රභාසංස්ලේෂණ ශීඝ්‍රතාව ඉහළ නැංවීමට සමගාමීව, එම ක්‍රමවේදයම භාවිත කර, ශාක මුල් පද්ධතිය පසෙහි වඩාත් ගැඹුරට විසිරී යාමට හැකිවන ආකාරයට වර්ධනය කර ගැනීමටත් හැකි බව සොයාගෙන තිබේ. මෙසේ නිෂ්පාදනය කරගන්නා වඩාත් කාර්යක්ෂම ප්‍රභාසංස්ලේෂණයක් සිදුකරන බීජ භාවිත කරන ගොවියාට වැඩි අස්වැන්නක් ලැබීම නිසා ඔහුගේ අතමිටද සරුවී, මහත් ප්‍රබෝධයක් ලැබීමද මෙම ක්‍රමවේදයේ එක්තරා වාසියකි. ඒ සමගම වායු ගෝලයෙන් CO2 අති විශාල ප්‍රමාණයක් තිරකර භුගත කිරීමට සැලැස්වීම මගින් ගෝලීය උණුසුම්වීම පාලනය කිරීම සඳහා ඉවහල්වන අගනා මෙහෙවරක් ද සැලසේ.

ඉදල් ඉරිඟු (Sorghum bicolor) ශාක වගාවක් යොදා ගනිමින් මේ සම්බන්ධව කරන ලද පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. මේ ක්‍රියාවලිය පියවරෙන් පියවරට සිදුකරනු ලබන ආකාරය මේ සමග ඇති සටහනේ දැක්වේ. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානයේ (FAO) තොරතුරුවලට අනුව ලෝකයේ රටවල් සියයක පමණ සිටින ජනගහනයෙන් මිලියන 750 ක පමණ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය වශයෙන් ගන්නා ධාන්‍ය වර්ගය ඉදල් ඉරිඟු වේ.



ජිනෝම සංස්කරණය කරනලද මෙම කෘෂි භෝගය උදාහරණයක් ලෙස ගෙන එමගින් සිදුවන ශාක පරිවෘත්තීය ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි අවස්ථා තුනකින් දැක්විය හැක.

1. මෙහි ඇති ගොවිබිමෙහි වායව පරිසරය සහ පාංශු පරිසරය පැහැදිලිව දක්වා තිබේ. හොඳින් සුර්යාලෝකය ලැබෙන නිසා ශාක සරුවට වැඩී ඇත. මේ ශාකවල ජාන සංස්කරණය කරනලද පුළුල් පත්‍ර මගින් සිදුවන උපරිම ප්‍රභාසංස්ලේෂණය මගින් වායුගෝලයේ CO2 වැඩි වැඩියෙන් ග්‍රහණය කරගනී.

2. ප්‍රභාසංස්ලේෂණය මගින් තිර කර ගන්නා කාබන්, ජාන සංස්කරණය මගින් සංවර්ධනය කළ, පසෙහි ගැඹුරට වර්ධනය වී ඇති, මුල් මගින් පාංශු පරිසරයට ගෙනයනු ලැබේ.

3. පාංශු පරිසරයේ ජීවත්වන විවිධ ජීවීන්, ශාක මුල් පද්ධතිය සහ පස් අංශු අතර සිදුවන අන්තර්ක්‍රියා මගින් පසෙහි ඇති ඓන්ද්‍රීය ද්‍රව්‍ය වියෝජනය කර, ඒවා ප්‍රයෝජ්‍ය කාබනික සංයෝග බවට පත්කර පාංශු පරිසරයේ ස්ථිරව තැන්පත් කරති.

ක්‍රමවේදයේ වර්තමාන තත්ත්වය

CRISPR/Cas9 ජීනොම සංස්කරණ තාක්ෂණය සොයාගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කළ Jennifer Doudna විද්‍යාඥවරිය විසින් ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයෙහි පිහිටුවා ඇති, "ජීනෝමික නවොත්පාදන ආයතනය" (Innovative Genomics Institute - IGI) මගින් මෙම ක්‍රමවේදය තවදුරටත් සංවර්ධනය කර, විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍ර වල පර්යේෂණ කිරීම සඳහා සැලසුම් කර තිබේ. විද්‍යා පර්යේෂණ සඳහාද මුල්‍ය දායකත්වය ලබාදෙන, ඇමෙරිකාවේ "Chan Zuckerberg Initiative" සංසදය මගින් වසර කිහිපයකට පෙර මෙම ආයතනයට ජීනෝම සංස්කරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 11 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබා දී ඇත. ආයතනයේ ශාක ජනක විද්‍යාඥයින්, පාංශු විද්‍යාඥයින් සහ ක්ෂුද්‍රජීවී පරිසර විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින්, CRISPR/Cas9 ක්‍රමවේදය භාවිතයෙන් අධිකතර ප්‍රභාසංස්ලේෂණ විභවයක් මෙන්ම පසෙහි ගැඹුරට වැඩෙන මුල් පද්ධතියක් සහිත භෝග විශේෂ නිපදවා එම ශාක ප්‍රභේදවල බීජ ලොව පුරා ජනප්‍රිය කිරීම සඳහා සැලසුම් කර තිබේ.

මේ බීජ ගොවිබිම්වල වගාකර, CO2 ඉතා වැඩි ප්‍රතිශතයක් පසෙහි තිර කිරීමට ද බලාපොරොත්තු වේ. නුදුරු අනාගතයේ දී මේ ශාක ලොව පුරා ප්‍රචලිත කර ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ මහා පෙරළියක් කළ හැකිවන බවට ලකුණු පහළ වෙමින් තිබේ. ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන විට එම ප්‍රයත්නය මගින් ලබාගන්නා ජාන සංස්කරණය කරන ලද තිරිඟු, බඩ ඉරිඟු, ඉදල් ඉරිඟු, වී වැනි මිනිසාගේ ප්‍රියතම ආහාර සපයන කෘෂිභෝගවල බීජ මහා පරිමාණයෙන් ලබාගෙන ලොවපුරා බෙදාහැරීමට පියවර ගැනීමට ද මෙම ආයතනය බලාපොරොත්තු වේ.

මෙසේ සැලසුම් කර ඇති ආකාරයට ලොව පුර මෙම සංස්කරණය කරන ලද බීජ වලින් ලැබෙන ධාන්‍ය ශාක මගින්, වසරකට අමතර CO2 ටොන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත් කර පසෙහි තිරකර තැබීමට හැකිවනු ඇතැයිද අපේක්‍ෂා කෙරේ. මේ නව පිවිසුම මගින් ආහාර සුරක්ෂිතතාවය සඳහා එක්සත් ජාතීන් විසින් හඳුන්වා දී ඇති චතුර්විධ මාන (dimensions) ලෙස සැලකෙන, උපයෝජ්‍යතාව (availability), පහසු ප්‍රවේශය (access), භාවිතය (utilisation) සහ ස්ථාවර භාවය (stability) යන සියලුම අවශ්‍යතා සපුරා ගතහැකි වන බව ද පෙරැයීම් කර තිබේ.

මේ තාක්ෂණ ක්‍රමවේදය මගින් සංස්කරණය කරන ලද කෘෂිභෝගවලින් වැඩි පලදාවක් ලැබී ගොවියා ප්‍රබෝධමත් වීම, තම ප්‍රධාන ධාන්‍ය ආහාර අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකිවන බැවින් පාරිභෝගිකයා තෘප්තිමත් වීම සහ වර්තමාන මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ එක්රැස්වන CO2 සැලකියයුතු ප්‍රතිශතයක් ග්‍රහණය කර භුමියෙහි තිරකිරිම මගින් ගෝලීය උණුසුම්වීම තරමක් දුරට හෝ අඩුකර ගැනීමට ද හැකිවීම නිසා, මෙය ඉතාමත් ජනතා හිතවාදී ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය.

- දයාරත්න වීරසේකර
dayawee2@yahoo.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි