
රිදුම් දෙන පාදයේ වේදනාව අමතක කරමින් වෙරළට ආ නාලනී දිරාගිය බෝට්ටු කඳකට හේත්තු වූවාය. වෙනදාටත් වැඩියෙන් අද ඇයගේ පාදයේ වේදනාව උග්‍රව දැනෙයි. පැය කිහිපයක ගමනක් නිමා කර ගමනාත්තය වූ කොරළවැල්ලේ ජීවත් වූ ඇගේ පරණ මිතුරියක සොයා ඇගේ පැමිණිම සිදුවූයේ පැය කිහිපයකට පෙර ය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඈත ගමක සිට බොහෝ දුරක් ගමන් කිරීම ද බර බෑගයක් උසුලාගෙන ඇවිදීම ද නිසා ඇගේ පාදයේ වේදනාව අලුත් වී තිබිණි. අද ඇගේ පැමිණිමට සතියකට පෙර ඇය පැමිණෙන බවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් යෙහෙළියව දැනුවත් කර තිබිණි. නාලනී ගේ ඉතිහාස කතාවම දන්නා මිතුරිය ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කළේ නැත. යෙහෙළියගේ කුඩා මිනිපිරිය දුටු නාලනීගේ දැස් කඳුලු පටලයකින් වැසී ගියේ තමාගේ කුඩා මුණුපුරා සිහිවීමෙන් ඇති වූ වේදනාවෙනි. අදින් පසු ඇයට ආපසු ඒ සුරතල් දරුපැටියා දකින්නට නොලැබෙනු ඇත. දශක පහක් ගෙවා ඇති තම ජීවිත කතාවේ වූ සිදු වූ අහිමිවීම් ගැන මෙනෙහි කළ නාලනී බර සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තාය. ගමන් වෙහෙස දුරුවිමෙන් පසු කුඩා දැරිය ද සමග කොරළවැල්ල වෙරළ තීරයට ආ නාලනී සයුරේ ගිලීයන රක්ත වර්ණ හිරු දෙස බලා සිටියේ සාංකාවෙනි.
වසර ගණනක් ජීවත් වූ ඇගේ දහඩිය මහන්සියෙන් සාදා ගත් නිවසෙන් අද උදෑසන නාලනී පිටව පැමිණියාය. පාන් කරුවලේම ඇය සන්තක වූ සියලු දේ අසුරාගත් ගමන් මල්ල ද ගෙන පෙරදා මිල දී ගත් බැටරි කැබලි දෙක දමා සකස් කර තිබු විදුලි පන්දම ද අතට ගත් නාලනී හඬ නොනැගෙන සේ නිවසින් පිටව හේන් යාය පසු කර තාරපාරට ආවේ මේ තනියාගේ හෝරාව බැවින් සිත් සෝදිසියෙනි. හන්දියේ කඩපිලේ කිසිවකු ද නැත. එය ඇයට සහනයක් ගෙන දුන්නේය. ඇයට අවශ්‍ය වූයේද හොර රහසේම පිටව යන්නටය. ඇය නිවසින් පිටත් වූයේ පාන්දර 4.30 වන විට හන්දියට පැමිණෙන කොළඹ යන බසය අල්ලා ගැනීමට ය. එය වැරදුනහොත් නැවත බසයක් පැමිණෙන්නේ 6.30 ට පමණය. එවිට එකා දෙන්නා කඩපොළට එන වේලාව බැවින් ඇගේ ගමන රහසක් වන්නේ නැත. තනියා මුණගැසේයැයි දැනුණු බිය ද නොසලකා ඇය පැමිණියේ ද එබැවිනි.
මේ සියල්ලේ ආරම්භය සිදුවූයේ ඇගේ අල්මාරියේ සුරැකිව තබා තිබූ මහ රෝහලේ සමාජ රෝග ඒකකයෙන් ඇය වෙත ලබා දී තිබූ කාඩ්පතයි. එය අත පත් වු දා සිටම ලේලිය නාලනී පිළිකෙව් කළාය. ඇයට වැළඳී තිබූ අසනීපය දැන් සම්පූර්ණයෙන් සුව වී තිබීමත්, එයට වසර ගණනාවක් ගෙවී තිබීමත් ලේලියට වැදගත් වූයේ නැත. එහෙම ලෙඩක් ඇයට වැළඳී තිබීම ම ඇයට ප්‍රමාණවත් විය. තමාගේ දුක් මහන්සියෙන් හරි හම්බකර සෑදූ නිවසේ පිටස්තරියක වු නාලනී දවසේ චාරිත්‍රය මෙන් ඇසෙන ලේලියගේ ඇනුම්පද ද මාස තුනහතරකට පසු නිවසට එන එකම පුතා ගේ වෙනස්වීම නිසා ද තව දුරටත් නිවසේ ජිවත්වීම දුෂ්කර බව තේරුම් ගත්තාය. තව දුරටත් ලේලිය හා දඹර කරගනිමින්, තමාගේ ම නිවසේ නන්නාදුන්නෙකු මෙන් ජීවත්වනවාට වඩා ඉතිරිව ඇති කාලය කුටුම්බයෙන් ඈත්ව දිවි ගෙවීම ඇයගේ අවසන් තීරණය විය. ඇය ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු ඇයගේ යෙහෙළියගේ මාර්ගයෙන් සිදුකර ගත්තාය. මතක ඇති දා පටන් ජීවිතය සමග හරඹ කළ නාලනීට සතුට ගෙනා කුඩා මුණුබුරාගෙන් වෙන්වීමේ වේදනාව පමණක් ඇයව පීඩාවට පත් කළ එකම කරුණ විය.
ඔරු කඳට පිට දි එකම ඉරියව්වෙන් සිටි බැවින් නාලනීගේ පාදයේ වේදනාව තීව්‍ර විය. වෙරළේ එක් පසෙක මා දැලක් අදිනු පෙනේ. වෙරළ පුරා විසිරී සිටි කපුටෝ කරව් කරමින් එදෙසට ඉගිළී යති. පාදයේ වේදනාව සමනය කරගැනීමේ අදහසින් මඳක් එදෙසට ගමන් කළ ද තමා ඉදිරියට එන පුරුදු රුවක් දැකීමෙන් නාලනී තිගැස්සුණාය. ඇගේ තොල කට වියළී යනු ද කාලය එකතැන නතර වෙනු මෙන්ද ඇයට දැණුනි. මෙය විය හැක්කක් නොවේ. ඔහු අතුරුදන්ව ගොස් දැනට වසර ගණනාවක් ගත වී තිබේ. මේ ඔහු විය නොහැකිය. ඇය නැවතුණාය. ඔහු දෙසට අයා ගත් නෙතින් බලා සිටියාය. ඇය ගැන කිසිදු අවධානයක් නොදැක්වූ ඔහු ඇයව පසු කර ගියේය. පිටතට පනින තරම් වේගයෙන් ගැහෙන පපුව මත අත තබා ගත් නාලනී ලය පුරා හුස්මක් ගෙන සන්සුන් වෙන්නට උත්සහ දැරුවාය. මේ ඔහු නොවේ. ඇයට ඔහු මුණ ගැසී හා ඔහුගේ අතුරුදන්වීම සිදු වී ද දැන් වසර විස්සකට ආසන්න ය. ඉතින් ඔහු ජීවත්ව සිටිය ද මෙතරම් ඔහු ද තමා මෙන්ම ජීවිතයේ සැඳෑවියට පා තබා තිබෙනු ඇත. ඔද්දල් වූ සිත සන්සුන් කරගැනීමට උත්සහයක යෙදෙමින් නාලනී පෙරළී ගිය ගසක කඳ මත වාඩි වූවාය.
ලංකා සිතියමකවත් සොයනු නොහැකි හම්බන්තොට හද්දා පිටිසර ගමක උපන් නාලනීට උපන් ගමින් පිටව එන්නට සිදුවු කරුණු කාරණා සිතුවම් පටයක් මෙන් මැවී පෙනෙන්නට විය. යන්තම් දහසය වැනි විය පසුකරනාත් සමග පියසිරි සමග දීග ගිය ඇය එතැන් පටන් ජිවන අරගලයට හරි හරියට මුහුණ දුන්නාය. වියළි කර්කශක පරිසරයක හේන් කෙරුවාවේ නිරතවන ගම්මුගේ ජීවිත කටුක ය. ගොවියන්ගේ මාස ගණනක මහන්සිය එක රැයකින් විනාශ කරන්නට ගම් වදින අලි රංචුවට බොහෝ විට ගතවන්නේ සුළු වෙලාවකි. මේ සියලු අලකලංචිවලට නාලනී හා පියසිරි ද අඩුවැඩි වශයෙන් මුහුණ දෙමින් ජීවන අරගලයට උර දුන්නෝය.
එක් මූසල උදයක නිවසට ඉහළින් හඬමින් යන කෑරලාගේ අහිමිරි හඬින් නාලනී තිගැස්සි ගිය නාලනී වහා නිවසින් පිටතට හිස යොමා බැලුවාය. කෑරලුන් උළමුන් මේ වනගත ගංකරයට නුපුදුරු සතුන් නොවුණ ද, උන්ගේ හඬ අසනා ගැමියන්ගේ ඇඟ හිරිගඩු පිපෙයි. පෙරදා හේනට ගිය තම සැමියා හා පියා තවමත් නිවසට පැමිණ නැත. රැයක් නිදි වරා වෙහෙසින් නිවසට එන පියාට හා සැමියාට කුරහන් රොටි සාදමින් උන් නාලනි පිටුපස මිදුලට බැස කුඩා පුතු ගැන විපරම් කර බලා නැවතත් තමාගේ කාර්යයට අත ගැසුවාය. ඒ වන විටද නැවත දෙමස් ගැබිණියක් වූ නාලනීගේ ලෝකය උඩුයටිකුරු කරමින් ඒ අසුබ ආරංචිය එන විට ඇය සිටියේ දෑ අවුරුද්දක් වයසැති පුතු ද සමග තම සැමියා හා පියා එනතුරු මග බලමිනි.
"නාලනී අක්කේ, නාලනී අක්කේ...," කෑ ගසමින් පියසිරිගේ සොයුරා පා පැදිය පැදගෙන ආවේ අසිහියෙන් මෙනි.
"මොකද බං බෙරිහන් දෙන්නේ, මොකද වෙලා තියෙන්නේ?"
මුලින් කිසිවක් නොපැවසූ ඔහු පා පැදිය අතහැර දමා නාලනී වෙත ආවේය. සොයුරාගේ මුහුණ පුරා ගලන දහඩිය සමග එක්වු කඳුලු වැල්, අවුල් වූ හිසකෙස්, රක්තවර්ණ වු දෑස් දුටු නාලනී කෑරලාගේ කරව්ව මතක් වී වෙව්ලා ගියාය.
"අක්කේ, අයියා, අයියයි මාමණ්ඩියි..."
"මොකද බං කියපං මොකද වුණේ?"
"තනියා ඇවිල්ලා බං අක්කේ..."
"එතනමයි බුදු අක්කේ, එතනමයි!"
තව දුරටත් ඇයට කිසිවක් ඇසුණේ නැත. ඇය හේන් යායට වැටුණු අඩි පාර දිගේ දිව ගියාය. තෙමස් ගැබිණියක වූ ඇයට දිවීම පහසු කටයුත්තක් වූයේ නැත.
දරුවා ද එක් අතක එල්ලාගත් ඇගේ අම්මා ද ඇය පසුපසින් වැටුණේ අඳෝනා තියමිණි.
"අක්කේ හිටපං මං බයිසිකලෙන් අරං යන්නම්, හිටපං දුවන්න එපා."
කිසිවක් මායිම් නොකළ නාලනී එක හුස්මට හේන් යායට දිව්වාය. හේන් යායේ පියසිරිගේ හා තම පියාගේ හේන අසල රැස්වී සිටින පිරිස දුටු නාලනීගේ ගමන් වේගය බාල විණි. ඇයගෙ දෙපා අතරින් රුධිරය ගැලුවේය. යටි බඩ වේදනාව නිසා කොර වී තිබිණ. තවදුරටත් දිවීමට ශක්තියක් නොවුණු ඇය පා අද්දමින් ඒ අසලට ළගා වූවාය. කම්මුලේ, නිකටේ අත් කබාගෙන කම්පා වෙමින් සිටි පිරිස මැදින් ගිය ඇය බිම වැතිර තිබූ පියසිරි යැයි හඳුනාගත නොහැකි ලෙස විකෘති වී තිබු සිරුර දුටු විට අසිහියෙන් ඇද වැටුණාය.
තනියාගේ පහර කෑමෙන් පියසිරි දිවිය හැර ගියේ කුඩා වියේ පසු වූ දරුවකු, හා මරණයෙන් බේරුණත් සදහටම ආබාධිත වූ පියා ද, මව ද සමග ඇයව තනි කරමිනි. ගංකරයේ සියල්ලෝ ද තම තමන්ගේ කටයුතුවල නිරත වූහ. අලියා ගසා මියගිය පියසිරිගේ පවුල ජිවත්වන්නේ කෙසේදැයි සොයා බලන්නට කිසිවකුට වෙලාවක් හෝ කාලයක් තිබුණේ නැත. අත්හැරුණු හේන නැවත වගා කරන්නට නාලනීට හයියක් නැත. මාස කිහිපයක් යනතුරු වල් වැදෙන හේනේ තිබූ කුරහන්, වට්ටක්කා වැනි කටුසර බෝගවලින් නාලනීගේ පවුල කුස පුරවා ගත්තෝය. අලින් සමගම ගැටෙමින් හේන් කොටනවා හැර මේ කර්කශ බිමේ කරන්නට කිසිවක් ද ඉතිරිව නැත. අන්තීමේ දී ගමේ හුන් කොළඹ රැකියාවකට යන එකම ගැහැණිය වූ සාරදා සමග නාලනී කොළඹ ආවාය.
ඇය පැමිණියේ අගුලාන ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ය. දුෂ්කර කර්කශ ජීවිතයට හුරු වී සිටි නාලනීට වැඩකිරීම නුහුරු වූයේ නැත. කුඩා නවාතැන්පොළක් සොයා ගත් ඇය භූමිතෙල් ලිපක් තබා ගත්තාය. නවාතැන ප්‍රමාණවත් වූයේ යන්තම් ඇයට හැරෙන්නට පමණි. කුඩා ඇඳක් හා ලිපක් පමණක් තබා ගත හැකි එම ප්‍රමාණය ගමේ ගෙදර වැසිකිළියට වඩා ලොකු නැතැයි ඇයට සිතිණි. කොළඹ ජීවිතය ලෙහෙසි නැත. අල්ලක් තරම් වූ බෝඩියමට ගෙවන්නට, එක හොද්දක් සමග බත්කටක් කන්නට, ගෙදරට මුදල් යැවීමට ඇයගේ වැටුප සෑහුණේ නැත. ජීවත් වන්නට මුදල් අවශ්‍ය ය. දිනක ඇයට අල්ලපු බෝඩිමේ ඉන්නා මේනකා ඇය වෙත ගෙනා යෝජනාව එදින අවඥාවෙන් බැහැර කළ ද ඒ හැර වෙන විකල්පයක් නොමැති බව අන්තීමේ දී නාලනී වටහාගත්තාය.
"නාලනී මොකද මැෂින් එක උඩ නිදි?" වැඩ පරික්‍ෂකවරියගේ හඬින් නාලනී තිගැස්සෙයි.
"ඔයාගේ වැඩවලින් අපිට වැඩක් නෑ. වැඩ කරනවා මෙතන නිදි කිරන්නේ."
රාත්‍රියේ නිිදි මැරීම නිසා ම සමහර අවස්ථාවල දී ඇයට නොදැනීම නින්ද යයි. මෙය සතියකට කිහිප වතාවක් සිදු වෙයි. ටිකෙන් ටික ඇය සමග එකට වැඩ කරන සේවිකාවන් ඇයව මගහරින බව ඇයට වැටහී තිබිණි. එහෙත් ඇය ඒ පිළිබඳ වැඩිදුර සිතන්නට නොගියාය. ඇයට තරමක් හෝ හිතවත්ව සිටියේ සුරංගි පමණි.
"නාලනී උඹ දන්නව ද උඹ ගැන මේකේ එවුන් කියන කතා?" දිනක ඇය ඇසුවාය.
"ඔව් බං... මං දන්නවා," ඉදිකටුවට නුල අමුනමින්ම නාලනී පිළිතුරු දුන්නාය.
"ඉතින් උඹ මොකද සද්ද නැතිව ඉන්නේ, කතාකරපං උන්ගේ කටවල් වැහෙන්න."
"නැත්තං මේකේ වසන්න හම්බවෙන්නේ නෑ උඹට, දන්නවනේ සුපර්වයිසර් ගෑනිගෙ හැටි."
"මොනා කතා කරන්න ද බං, ඔය කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ටිකක් තියෙනවා?"
"මොකක්ද බං ඒ හරුපෙ?"
එයට නාලනී පිළිතුරු නුදුන්නාය. පසුගිය දිනෙක කර්මාන්ත ශාලාවේ වෙනත් වැඩපරික්‍ෂකවරයකු සමග පැයට කුලියට දෙන ලැගුම්හලක ඇය සිටිනු දුටු බව ඇය සුරංගීට පැවසුවේ නැත.
මේ ජීවිතය ඇයට සුන්දර වූයේ නැත. හද්දා පිටිසර, අලි ගැහැටවලින් පිරි ගමක වෙසෙන මව, ආබාධිත පියා හා හයහතර නොදන්නා දරුවා ගැන සිතන නාලනී හිත දැඩිකරගන්නීය. රාත්‍රියට ඇගේ පහස සොයා ඇදෙන සල්ලාල මිනිසුන්ට ඇයට තවත් එක් මුදලට විකිණෙන ගැහැණියක් පමණක් වූවාය. සමහර පිරිමින් ඇය සොයා ආවේ ඔවුන්ගේ විකෘති ආශාවන් සංසිඳවා ගැනීමට ය. තමන්ගේ ගෙදර ගැහැණිය සමග කළ නොහැකි දේ නාලනීගෙන් සපුරාගැනීමට ඔවුන් උත්සුක වූහ. එවැනි දිනවලට ඇය විඳින්නේ සුලුපටු වේදනාවක් නොවේ. වේදනාව දරාගත නොහැකිව සිහිසුන් වූ අවස්ථාව ද ඇත. මේ ජීවිතය ඇයට තිත්ත වුවද වෙන කරන්න දෙයක් ද ඇයට නොවීය.
ඇගේ පහස සොයා එන එක් ගුවන් හමුදා සෙබළෙකු පමණක් ඇයට අනුකම්පා කළේය. ඇත්තටම එය අනුකම්පාව මුසු වූ ආදරයක් විය. ඔහු ඇයට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමහල් වන්නට ඇත. රැකියාවට එහා ගිය මානුෂිය බැඳීමක් ඔහු හා ඇයට විය. ඔහු පැමිණෙන බව දන්වන දිනට බඩේ සමනලුන් දඟලන හැඟීමක් ඇයට දැනිණ. නාලනී ඔහු හා ගෙවන කාලය ඇය උපරිමයෙන් විඳින්නීය. ඔහු තුල ද තිබුණේ මුදලට ගැහැණියක ළඟට ආ හැඟීමක් නොවීය. ඔහු හා ගතකරන කාලසීමාව උපරිමයෙන් විඳින්නට, ආනන්දයෙන් උත්කර්ෂයට යන්නට ඇයට හැකිවිය. ඔහු හා ඇය අතර කොන්දේසි විරහිත ආදරයක් ගොඩනැගී තිබිණි. ඔහු නමින් සුනන්ද ය. ඔහු එන විට කුඩා චොකලට් එකක්, රටකජු ගොට්ටක් ඇය වෙත රැගෙන ආවේය.
එවකට ඔහු රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙකු විය. ඒ උතුරේ යුද්ධය දරුණුවට ඇවිලී යමින් තිබුණු අවධිය යි. මෙතෙක් කිසිවකට නොකී කිසිවකු නෑසු ඇගේ කතාව දිනෙක සන්සුන් ව අසා සිටියේ ඔහු පමණි.
"මමත් මහවිලච්චියෙ හේන් කොටපු පවුලක කොල්ලෙක් තමයි. කොටි කටේ, ගෙදර අම්මා අප්පලා හැමදාම හිටියේ කොටින්ට බයේ හැංගිලා, කැලෑවල තමයි වැඩිපුර දවස ගෙවුණෙ. හේන් කෙටිල්ලයි, කොටින්ට බයේ කැලේ වැදිල්ලයි එපා වෙලා තමයි මං හමුදාට බැඳුණෙත්," බෝඩිං කාමරයේ ඉස්සර පුටුවක වාඩි වී දුම්වැටියක් ඇඟිලි මත තෙරපමින් දිනෙක ඔහු කීවේය.
නාලනී බෝඩිං කාමරයේ උලුඅස්ස මත වාඩි වී අසා සිටියාය.
"මං එයාෆෝස් ඇවිත් ට්‍රේනින් ඉන්න කළේ කොටි ගමට පැනලා මුලු ගමම මරලා දැම්මා. අම්මයි අප්පයි මගේ නංගියි ඔක්කොම එකට මැරිලා ගියා. මගේ නංගි ගොළුයි. ඒ ගොළු කෙල්ල මරලා දාලා තිබුණෙ විනාශම කරලා."
සිගරට්ටුව අතැගිලි මත පොඩි පට්ටම් වී යනු නාලනී බලා සිටියාය. ගතේ නහරවැලි ඉලිප්පී තිබිණි. රක්ත වර්ණ වූ දෑස්වල ඇත්තේ වේදනාවක්ද වෛරයක්දැයි නාලනීට හඳුනාගත නොහැකිවිය. ඇය ඔහු වෙත ළංව උරහිස බදා ඔහු සන්සුන් කරන්නට වෙර දැරුවා ඇයට මතක ය. එදා ඒ බෝඩිං කාමරයේ එළිපත්ත මත සිටියේ එකම රටේ වෙනස් වූ ඉරණම් දෙකකට ගොදුරු වී තනි වුණු ගැහැණියක හා පිරිමියෙකු පමණි.
"ඔයාට පුළුවන් නම් මේ රස්සාවෙන් අයින් වෙන්න."
එදින ඔහු පැවසුවේ එපමණකි. ඊට දින කිහිපයකට පසු ඇය වැඩ නිමවන වේලාවට කර්මාන්ත ශාලාව අසලට ඔහු පැමිණ තිබිණි. අතින් කටින් බඩු මල්ලක් ද එල්ලාගෙන පැමිණ සිටි ඔහු ඇයට සමාන්තරව ඇවිදමින් බෝඩිං කාමරයට යද්දි අත්හැරී තිබූ පවුලක මිහිරි හැඟුමින් ඇය වෙලී ගියාය. ගෙනත් තිබූ බඩු මල්ලෙන් රාත්‍රියට ඇය පිළියෙල කළ ඇය බෝඩිං පෙළටම ඇති එකම පයිප්පය වෙත ගොස් නාගෙන ආවාය. එදින නාලනීට සැනසීමෙන් නින්ද ගිය රාත්‍රියක් විය. ආදරයෙන් වෙලී දෙතුන් හෝරාවකට පසු ඔහුගේ උරහිසට හිස තබාම ඇය නිදා ගත්තාය. ඇයට නින්ද යනතුරු ඔහු ඇගේ හිස අතගෑවා ඇයට මතක ය.
"ඔයාට පුළුවන් නම් මේ රස්සාවෙන් අයින් වෙන්න. මට මුකුත් හරියට කියන්න බෑ. හමුදාවට අපි එන්නේ අපේ ජීවිත උකස් කරලා. අපිට අපේ ජීවිත අයිති නෑ. ටික කාලෙකට මට එන්න වෙන එකක් නෑ. මාව උතුරට මාරු කරලා."
මෙවදන් ඇසු නාලනී වේදනාවෙන් දැවුනාය. දෙවන වරටත් ඇයට ඇගේ ආදරය අහිමිවෙමින් තිබේ. ඇය ඔහුට ආදරය කරමින් සිටියාය. වචනයෙන් නොකීවද ඔහු තමාට ආදරේ බව නාලනී දන්නීය.
"මම එනකන් ඉන්න ඔයාට පුළුවන්ද කියලා මම අහන්නේ නෑ. මොකද මට එන්න බැරි වුණොත් මං ඒක ඔයාට කරන වැරැද්දක්."
"ඔයාට පුළුවන් නම් මේ රස්සාවෙන් අයින් වෙන්න. මට ආපහු එන්න පුළුවන් වුණොත් එනවා."
නාලනීට කිසිවක් පැවසිය නොහැකි විය. ඇය සිටියේ ගල්ගැසී ය. නැවතත් එකම දේ වෙමින් පවතී. පියසිරි ඇය හැර ගියේය. දැන් සමන්ත, ඔහුට ද තමන්ව හැර යළි එතැයි සිතිය නොහැකි යුද්ධයට ඉදිරියට යාමට සිදුව ඇත. යළි ඔහුගේ ඒමක් ගැන යන්න විශ්වාස නැත. නහර වැල් පුපුරා ගලා එන වේදනාව ඇස් කෙවෙනි තෙමිමින් පිට පනින්ට තතනන කඳුළු ද වළකාගන්නට බලවත් පරිශ්‍රමයක් දැරූ නාලනී මුවට මඳ සිනාවක් නගා ගත්තාය. එය සිනාවකට වඩා විරිත්තීමකට සමාන වන්නට ඇතැයි දැන් ඇයට සිතෙයි. නිශ්ශබ්දව ගෙවී ගිය මුහුණට මුහුණ බලා සිටි විනාඩි ගණනක වේලාව අවසානයේ නාලනීව තුරුලට ගත් ඔහු ඇගේ නළලත සිප ගමන් බෑගයද ගෙන පිටව ගියේ නැවත පසුපස නොබලමිනි. බෝඩිං පේළියෙන් ඉවත්ව පාරට වැටී ඔහු නොපෙනී යනු තුරු බලා සිටි නාලනී බෝඩිං කාමරයේ දොරවසා ඇඳ මතට වැටී මහ හඬින් හඬා වැටුණාය. වේදනාවෙන් ඔද්දල් වී හඬා වැටී හෙම්බත් වී සිටි ඇයට නින්ද ගොස් තිබිණි. වේලාවක් අවේලාවක් නිනව් නැතිව අවදි වූ ඈ හැඩිව තිබූ ඇඳ ඇතිරිල්ල සකස් කර කොට්ටය නියමිත තැන තබන්නට අතට ගත් විට එහි උරයෙන් මෙපිටට වැටී තිබූ කවරය අතට ගත්තේ කුතුහලයෙනි. එයා ඇර බැලූ ඇය දුටුවේ එතුළ තිබූ කුඩා ලිපියක් හා රන් මුදුවකි. මුදුව පසෙක තැබූ ඇය ලිපිය කියවා බැලුවාය.
"නාලනී අතට දුන්නම් ඔයා මේක නොගන්න නිසා මම මෙහෙම කළේ. මේක මගේ ගෙදර මතක්වෙන්න මට තිබුණ එකම සිහිවටනයයි. මම මේක ඔයාට දීලා යනවා. ආපසු එන්න පුළුවන් වුණොත් මම ඔයාව හොයාගෙන එනවා."
ලිපියේ තිබුණේ එපමණකි. රන් මුදුව හා ලිපිය පපුවට තදකරගත් නාලනී දෑස් තෙමමින් ගලන කඳුළට නිදහසේ ගලන්නට ඉඩ දුන්නාය.
උතුරට ගිය සමන්තගෙන් ඉඳහිට ලිපියක් ලැබිණ. ඇයගේ ගිණුමට මසකට වරක් ඔහු යම්කිසි මුදලක් බැර කළේය. ඇගේ දිවිය යම්තාක් දුරට ස්ථාරව වන්නට පටන්ගෙන තිබුණත් එයට වැඩි ආයුෂ තිබුණේ නැත. උතුරේ යුද්ධය අසාමාන්‍ය ලෙස වර්ධනය වෙමින් පැවතිණි. දකුණේ ජනයා ද මර බියෙන් සිටි සමයකි. හමුදා සෙබළුන් මෙන්ම ත්‍රස්තවාදීන් ද එක හා සමාන ව මිය යන්නටවිය. ජනමාධ්‍ය යුධ පුවත්වලින් පිරී ඉතිරීගොස් මුළු රටම යුධ මානසිකත්වයෙන් වෙලී ගියේය. නාලනීට සමන්ත සම්බන්ධ කරගත හැකි කිසිදු ක්‍රමයක් නොවීය. ඔහුගේ කිසිදු ආරංචියක් ද නැතිව ගියේය. ඇය දන්නා තරමින් ඔහු ගැන සොයා බැලුවත් ඒ කිසිවක් සාර්ථක නොවීය. ඔහු ඈ වෙනුවෙන් මසකට වරක් ගිණුම්ගත කළ මුදල ද ඇණ හිටියේය. මේ යුධ සමයේ මොනවා විය නොහැකි ද?
ඔහු ජීවතුන් අතර ද, නැතිනම් මියගිහින් ද ඇයට සොයාගන්නට නොහැකි විය.
මාස ගණනක් ඒ වෙනුවෙන් වෙහෙස වූ ඇය තවත් ඔහු සොයාගන්නට නොහැකි බව දැක උත්සාහය අත්හැර දැමුවාය.
නැවතත් බිංදුවට වැටුණ නාලනී පැරණි ක්‍රමයටම ජීවිතය ඇහිඳින්නට වූවාය. ආබාධිතව සිටි පියා මිය ගියේ ඒ අතර ය. දරුවා ද දැන් කරදඩු උස්මහත් වන තරමට වැඩී තිබිණි. අම්මා වයසට වඩා හෙම්බත්ව වැහැරී ගොස් සිටියාය. සැහැල්ලුවකට තිබුණේ ඇයගේ කටුමැටි නිවස යම් ප්‍රමාණයකට ගොඩනගා ගැනීමට හැකිව තිබීම පමණි. ටික දිනක සිට නාලනී ද රෝගී තත්ත්වයකින් පෙළුණාය. ප්‍රතිකාර ලබා ගැනීමට ගල්කිස්ස මහ රෝහල වෙත ගිය ඇයගෙන් ලබාගත් රුධිර සාම්පල පරීක්‍ෂාවෙන් පසු ඇයට ලැබුණු පිළිතුරෙන් ඇයට මරණ බිය දැණින. ඇයට සමාජ රෝගයක් වැළඳී තිබිණ. කොහේ හෝ අහුමුල්ලක ඉතිරි වූ වාසනාවකට ඇයට වැළඳී තිබුණේ සුවකළ හැකි ගණයේ රෝගයකි. මාස් පතා සමාජ රෝග සායනයට සහභාගී වන්නට ඇයට සිදුවිය. අවුරුද්දකට වැඩි කාලයක් නිවැරදිව ප්‍රතිකාර ලබාගත් ඇය එම රෝගී තත්ත්වයෙන් මිදුණාය.
කෙටිකාලීන මුදල් සෙවීමේ රැකියාවට ඇය සදහටම තිත තැබු ඇය නැවත ගමට යන්නට තීරණය කළාය. සමන්ත ඇය වෙත එවා තිබූ මුදලින් සැලකිය යුතු මුදලක් හා ඇය විසින් හරිහම්බ කරගත් මුදලක් මේ වන විට ඇය සතුව තිබිණි. කෙතරම් අපහසු අවස්ථාවකදී වුවද සමන්ත ඇය වෙත ලබා දුන් රන් මුදුව මුදල් කිරිමට ඇයට නොසිතුණි. තවදුරටත් සමන්තගේ පැමිණිමක් බලාපොරොත්තු විය නොහැකි යන සත්‍යය වේදනාවෙන් වුව ද බාරගත් ඇය කොළඹ හැරදමා නැවත ගමට ආවාය.
කාලය ගෙවී ගියේය. ඇතැති මුදලින් කුඩා සිල්ලර කඩයක් දමාගත් නාලනී දරුවාගේ හා අම්මාගේ වැඩකටයුතු අතර සිරව ගියේය. දහස් ගණන් උතුරේ හා දකුණේ දරුවන්ගේ රුධිරය ගලා යුද්ධය නිමාවිය. යුද්ධය අවසන් වූ සතුටට දකුණ කිරිබත් කෑවේය. ත්‍රස්තවාදීන් හා හමුදා අතරට මැදි වූ උතුරේ ජනයා සරණාගත කඳවුරුවලට ගාල් විය. දේශපාලන යුධ පුරසාරම් රට පුරාම ඇසිණ. ඇත්තටම මේ යුද්ධයෙන් උතුරේ හා දකුණේ සාමාන්‍ය ජනයා පැරදී දේශපාලකයින් දිනා තිබිණි.
රට යම් තරමකට සාමකාමී විය. සමන්ත පිළිබඳ කිසිදු ආරංචියක් ඇයට සොයාගත නොහැකි විය. ඔහුව මතකට නැගෙන සෑම අවස්ථාවකදීම නාලනී ඇය කර රැඳි මාලයට අමුණා ඇති රන් මුදුව සිප ගත්තාය. රැකියාවක් කළ හැකි වයසට පැමිණි පුතා ද කිසිදු බලපෑමකින් හෝ මැදිහත්වීමකින් තොරව හමුදාවට බැඳුණේය. ඔහුගේ පුහුණු කාලය අවසන්ව විසිර යන දිනයේදී ඇයට දස දහස් වතාවක් සමන්ත මැවී පෙනිණ. දැස බොඳව බරව ගියේ ඔහුගේ කෙටි කාලීන වුවත් මහමෙරක් වූ ආදරය සිහිවීමෙනි. කාලය ඇවෑමෙන් සොබාදහමට අවනත වු නාලනී ද කෙමෙන් වියපත් වෙමින් සිටියාය. ආදරයෙන් බැඳී ගිය පුතා ද විවාහ විය. ලේලිය හා නැන්දම්මා අතර ඉඳහිට නොහොඳ නෝක්කඩුකම් තිබුණි. නමුත් නාලනී ගේ ජීවිතයට නැවතත් කණකොකා හඬන්නට පටන් ගත්තේ ඇය අසනීප වූ දිනෙක අල්මාරියේ සුරැකිව තිබූ සමාජ රෝග සායනයෙන් ලබා දුන් කාඩ්පත ලේලිය අතට පත් වූ දින සිට ය.
"ආච්චි මේ බලන්න ලස්සන සිප්පි කටු ටිකක්, ඔයාට ඕන ද?" මිතුරියගේ කුඩා මිනිපිරියගේ හඬින් පියවි සිහියට පත් නාලනී ඇය අත තිබූ සිප්පි කටු අතට ගත්තාය.
"ලස්සනයි මැණිකෙ මේවා, මං ඔයාව මතක් වෙන්න ළඟ තියාගන්නම්."
"ආච්චි අපි හෙටත් එමු මුහුද බලන්න? ඔයා හැමදාම ඉන්නවා නේද අපේ ගෙදර?"
දැරියගේ සුරතල් වදන් ඇගේ සිතට දැනුනේ වේදනාවකි. සෙහෙහසින් ඇගේ හිස සිප ගත් නාලනී, "ඔයා එන්නකෝ ඔයාගේ ආච්චි අම්මත් එක්ක මාව බලන්න," යැයි කීවාය.
තද රතු පැහැයෙන් දිදුල හිරු සිතිජයෙන් ගිලෙමින් තිබුණේ සයුර පුරා හා සැඳෑ අහසේ ද රතු පැහැති රටා මවමිනි. රිදුම් දෙන පාදයට වේදනාවක් නොදැනෙන්ට නැගිටින්න උත්සහ කරන අතරතුර ඇගේ කරේ තිබූ රන් දම්වැලේ එල්ලෙමින් තිබු කුඩා මුදුව හැට්ට කරින් මෑත්විය. අපහසුවෙන් නැගිටගත් නාලනී කුඩා මුදුව දෝතින් ගෙන දෙතොල මත තබාගත්තාය. අවසන් වරට ඔහු වෙන්ව යන මොහොතේ දැනුණු පිරිමි විලවුන් සුවඳ කරදිය සුළගේ මුසුව ඇයට දැනෙන්නට විය. ඇයට තනිකමක් නොදැනිණ. සුන්බුන් වූ ජීවිතයේ ඇය ලද එකම ආදරය හා එකම සතුට පපුවට තුරුලුකරගත් නාලනී බැසයන හිරුට පිටුපා ඇවිද ගියාය.
- නිශානි අන්ද්‍රාදි
nishanisithija@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.