කියුබානු ජාතික වීරයෙකු සහ කවියෙකු වූ ජෝස් මාර්ටි (José Martí) 1891 වසරේ දී ප්‍රකාශයට පත් කළ “Versos Sencillos” (“වෙර්සෝස් සෙන්සිල්ලෝස්” - සරල කවි) නම් කවි එකතුවේ දී, ඔහු තම පෞද්ගලික සංවේදී හැඟීම්, ස්වභාව සෞන්දර්යයට ඇති ආදරය, සහ නිදහස සඳහා ඇති කැපවීම ආදී සියලුම හැඟීම් සරල භාෂාවෙන් කවියට නගා ඇත.
මෙම කවි එකතුව ආරම්භ කර ඇත්තේ ස්පාඤ්ඤ භාෂාවේ “Yo soy un hombre sincero / de donde crece la palma” ( I am a sincere man from where the palm trees grow - මම පොල් ගස් වැඩෙන භූමියෙන් පැමිණි සත්‍යවාදී මිනිසෙක් මි) යන පාඨයෙනි.
මෙම සිත්ගන්නා පාඨය, කියුබානු ජාතික ජොසෙටෝ ෆර්නිනැන්ඩස් (Joseíto Fernández) නම් සංගීතවේදියා 1920-30 කාලය තුල කියුබාවේ අගනුවර වන හවානා ගුවන් විදුලිය හරහා සතිපතා විකාශය කළ පුවත් වැඩසටහනක තේමාව කරගත්තේය. පසුව 1960 දශකයේ දී ම කියුබානු ජාතික සංගීතවේ දී ජූලියන් ඕර්බෝන් (Julián Orbón de Soto), ෆර්නිනැන්ඩස් ගේ තාලයත්, ජෝස් මාර්ටි ගේ මුල් කවි පදත් මුසු කොට ගීතයක් බවට පත් කළේය. එයට ටික කලකට පසු කියුබානු ජාතික සිසුවෙකු මෙම ගීතය ගායනා කරන අයුරු අසා සිටි ඇමෙරිකානු ජාතික ජන ගී ගායකයෙකු වූ පීට් සේගාර් (Pete Seeger) “සාමයේ සහ සහයෝගීතාවයේ” ජය ගීයක් ලෙස මෙම ගීතය ලෝ පතල කළේය.
“ගවන්තනමෙරා” ගීතයට පදනම කරගෙන ඇත්තේ කියුබාවේ ගිනිකොණ දෙස පිහිටි ගවන්තනමෝ නම් ගම්බද පෙදෙසින් නගරයට සංක්‍රමණය වූ ගැමි තරුණියක අමතන තරුණයෙකු ගේ අදහසක් මෙනි. මේ වන විට අපකීර්තිමත් ඇමෙරිකානු නාවික කඳවුර (Guantanamo Bay Naval Base) පිහිටා ඇත්තේ මෙම පෙදෙසේ ය.
ඒ ගීතයේ පදමාලාව සිංහලට අනුවර්තනය කිරීමට මා ගත් උත්සාහයයි මේ.
පොල් රුප්පාව මැද ගත සිත පිනායන
ඉපදී මා හදෙහි මුදු බව පුරාගෙන
හදවත පිරී මගෙ හැඟුමන් ගලායන
හෙළිකර ලොවට මගෙ දෙනෙතම වසාගෙන
සමුගන්නට සිතේ සතුටින් නුදුරු දින
වරෙකදි වදන් මෙන් ගත සිත පිනායන
තව මොහොතක දි හද සැනසුම සොයායන
හද වේදනා සමකර ගන්නට තනන
මුව පැටවෙකු ලෙසින් කැලයට පැන-දුවන
හැඟුමන් තිබේ මගෙ ගීතය පුරා ගෙන
කාලයෙ තාලයට තරමක් එරෙහි වෙන
පොසොන් සමය තුළ පිබිදෙන්නට තනන
සෙනෙහස පොහොර කරගෙන සතුටින් වවන
රෝස මලක් මෙන් සුදු පාටින් දිලෙන
දෑත ම දිගු කරමි ඔබහට හද රැඳුන
ගායනීය බව රැක ගැනීම සඳහා මෙහි මුල් කවි දෙක සමුද්‍රඝෝෂ තාලයට අනුගත කිරීමට තැත් කල අතර සාමාන්‍යයෙන් එම තාලයේ එන සිව්පද උරුවෙන් වෙනස්ව පස් පද කවි ලෙස සකස් කළේ පැරණි තුන් සරණේ කවි, යති වන්දනා සහ ඇතැම් ප්‍රශස්ති ගී උදාහරණයට ගනිමින් ය.
අවසාන කවියේ මාත්‍රා සැකස්ම පදයෙන් පදයට මාරුවෙන් මාරුවට ගලා යන අයුරු මාත්‍රා 18 සහ 17 යොදමින් සකස් කළෙමි. විශේෂයෙන් මාත්‍රා 17 ක් ඇති 2 වන සහ 4 වන පද ගායනා කිරීමේ දී අවසාන අක්ෂරය තරමක් ඇද දීර්ඝ කර ගැයීම මඟින් මාත්‍රා 18 ක රිද්මයට සමාන කර ගත හැකි යයි අදහස් කළෙමි.
කෙසේ වෙතත් සඳැස් පිළිබඳ දැනුමක් ඇති පාඨකයන්ගේ උපදෙස් ලැබෙන්නේ නම් අගය කරමි.
- විජයසිරි තිලකුමාර
wijaytilakumara@icloud.com
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.