
එකට ආ ගමනක
කඩඉම පෙනෙන මානෙක
කරති සැලසුම්
එන බව කියන
හෙට දිනයකට
බොහෝ කලකට පෙර
නෑ වගේ පෙනුණ දේවල්
පැමිණ ඇත
පැන වැට මායිම
ගෙමිදුලට
යා යුතුය මා පළමුව
බැරිය තනිවන්නට
හොල්මන් ගෙදරක
පසිඳමි ඇගෙ කියමනේ
හර බැර
ඇත්තමයි ඇයට බැහැ
තනි වෙන්න
මගෙන් තොර ලෝකයක
සිටිය යුතුවෙමි
ඇහෙනා පමාවට
දිව එන්න හැකි
අත පොවන මානෙක
ඒ වුණත් හොයනවා
දුක සැප
කලකින් නොදුටු අතකර තැන්පතු
සොර සතුරු ගත නොහෙන
බැංකුවේ ලොකර් තුළ
මේ කලින් යන ගමනක
පෙරහුරුවකට ද
මඟ වියදමට ද
කලින් යන ගමන ලේසියි
යන කෙනකුට
ඉන්න කෙනෙකුට තමයි
හිතේ බර, දුක, ශෝක
තනිකම!
හිතින් ගොස් බලමි
ඇගෙන් තොර හෙට දිනයට
කාට දෙන්න ද මං
උදේ හදනා තේ එක
කවුරුන් කියන්න ද දැන්
තෙමෙන්නට එපා
ලෙඩ හදා ගන්නට
උදේ සක්මනට යන මට
ඉල්ලන නොඉල්ලන දේ
ගෙනෙන්නට
කඩේ යන මම
දැන් කාට කඩේ යන්න ද
හීනයක් වැනි
සොඳුරු යෞවනයක
හමු වුණේ අපි සරසවියක
ඉරණමේ තිබුණ විදියට
ජීවන ගඟ ගැලුවේ
එයට ඕනෑ තාලෙට
ගල් මුල් මල් යාය පසුකර
මටනං තේරෙනව දැන්
යෞවනේ ප්‍රේමය
නොවන බව ජීවිතය
මේ සංසාරෙ යන ගමනක
කටු පඳුරුවල පිපි මල්
සුවඳ විඳිමින් නෙලමින්
කටුත් ඇණ ගනිමින්
රිදුම් තෙල් ගාමින්
යන ගමනක
සැණෙන් පෙනි නොපෙනී ගිය
හීනයක් විතරයි
ප්‍රේමය!
යා යුතු ම වෙනවා දවසක
එකෙක් තනිකර අනෙකාව
ඒත්,
හැකි වෙයි ද මට
හිත හදාගෙන
මුහුණ දෙන්නට
ඇය කියන
මේ හෙට දවසට
- චන්ද්‍රවංශ ඥානසේකර
cguoc.gnana@yahoo.co.uk
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.