
කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ මා සමග හතරවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවන් අතරින් මට දැන් දශක කිහිපයකට පසුව සිහිවෙන්නේ කිහිප දෙනෙකු ගේ නම් පමණි. ඉංගිරිසි භාෂා ගුරුවරයෙකු වූ විතානගේ ආනන්ද ජයතිලක, පසුව කුමන ජීවනෝපායක යෙදුනේදැයි මා නොදන්නා අක්මීමනගේ දොන් සිසිර ප්‍රේමකුමාර මෙන්ම හෘදරෝග විශේෂඥ වෛද්‍යවරියක වන රාජිකා පොද්දල්ගොඩ ද මේ පන්තියේ සිටි බව මගේ මතකයේ ඇත. ලයනල්, සුගත් සහ නිමල් ගුණරත්න යන නම් ද ඒ සමගම සිහියට නැගේ.
හතරවෙනි ශ්‍රේණියේ දී අපේ පන්තිය භාර ගුරුවරිය වූයේ මැ. පෙ. රූපසිංහ යි. කොණ්ඩය කළු නොකළ ඇය ඒ දිනවල විශ්‍රාම වයසට ළංවී සිටින්නට ඇති ය කියා මට සිතේ. ඇගේ නමේ සිංහල මුලකුරුවලින් අදහස් කෙරුණේ මැගිලින් පෙරේරා යැයි අපේ තාත්තා කී බවක් ද මගේ මතකයේ ඇත. නිවැරදිව නොදනිමි.
කණිෂ්ඨ විද්‍යාලයේ වැඩි වශයෙන්ම සේවය කළේ ගුරුවරියන් ය. අප ඔවුන් ඇමතුවේ ටීචර් යන වදනින් ය. පිරිමි ගුරුවරුන් සිටියේ දෙතුන් දෙනෙකි. ඔවුන් අතරින් කලිසම් අඳින අයට සර් කියා අමතන ලද අතර (වෙනත් පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කළ) මගේ පියා මෙන් ජාතික ඇඳුම ඇඳි ගුරුවරුන් අමතනු ලැබුවේ මහත්තයා යනුවෙනි.
එක් දිනක් මැ.පෙ. රූපසිංහ ටීචර් අප අමතා, එදින සිට මසකට වරක් පන්තියේ සමිතියක් පැවැත්වෙන බව අපට දැනුම් දුන්නා ය. මෙය සමහර විට ඊට කලින් වසරේ පාසලට පත්ව ආ නව මුල් ගුරුවරයා වූ ව. අ. දයාරත්න (විදුහල්පති ලා සිටියේ ඉහළ පාසල්වල ය. කණිෂ්ඨ පාඨශාලාවල ලොක්කන් හැඳින්වුණේ මුල් ගුරු හෝ ලොකු මහත්තයා හෝ කියා ය) ගේ නියෝගයක් අනුව වූ දෙයක් විය හැක.
සමිතියක් යනු කුමක්දැයි මා නම් දැන ගත්තේ එදා ය. අපේ ටීචර් අපට විස්තර කර දුන් ආකාරයට, එය පන්තියේ සිසු සිසුවියන් ගේ රැස්වීමකි. මෙහිදී සිසුන් විසින් කවි, ගීත ගැයීම සහ කතා පැවැත්වීම යනාදිය කළ යුතුය.
සමිතියේ මූලාසනය හෙවත් සභාපති තනතුර නිල බලයෙන් හිමිවූයේ පන්තිය භාර ටීචර්ට යි. සමිතිය සඳහා ලේකම්වරයෙකු සිසු-සිසුවියන් අතරින් පත් කර ගත යුතු යැයි ද ටීචර් අපට සැළ කර සිටියා ය.
පන්ති කාමරයේ පිරිමි ළමුන් ගේ පැත්තේ ඉදිරිපස ආසනවල සිටියේ ආනන්ද, සිසිර සහ මා බව මට මතක ය. ලේකම්වරයෙකු ගැන ටීචර් කියූ සැණින් තම මුව විවර කළ දෙවෙනි පේළියේ සිටි ලයනල් රසික හොඳයි! යැයි පවසා එලෙසින් මගේ නම මේ තනතුර සඳහා යෝජනා කළේය. වෙනත් යෝජනා නොමැති වූයෙන් මා ඒ තනතුරට නිතරගයෙන් පත් වුණෙමි.
පන්තියේ සමිතියේ ලේකම් ලෙස මගේ කාර්යභාරය කුමක් දැයි මැ. පෙ. රූපසිංහ ටීචර් මට විස්තර කර දෙන්නට ඇත.
ඊළඟට පන්තියේ සිසුන් ඇමතූ අපේ ටීචර් ඉල්ලා සිටියේ අද සමිතිවාරයේ දී කවි, ගී ගායනා කරන්නට, කතා පවත්වන්නට කැමති සිසුන්ට ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන ලෙසත්, ඊළඟ සතියේ එසේ කරන්නට කැමැත්තේ නම්, තමන් ගේ නම් සහ විස්තර අපේ පන්තියේ සමිතියේ අභිනව ලේකම් රසිකට පවසන ලෙසත් ය.
ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් කිහිප දෙනෙකු ම එදා කවි ගායනා කළ බව සහ සමිතියේ විස්තර සහ ඊළඟ මාසය සඳහා ඉදිරිපත් වූවන් ගේ තොරතුරු ද මා වෙනත් විෂයයක් සඳහා වූ අභ්‍යාස පොතට අග පිටුවේ සඳහන් කර ගත් බව ද මට මතක ය.
නිවසට ගිය පසු මා කියූ මේ විස්තරය ඇසූ අම්මා ද කියා සිටියේ මා ලේකම් ලෙස සමිතියේ වාර්තාවක් ඊළඟ සභා වාරයට ඉදිරිපත් කළ යුතු බවයි.
එකී වාර්තාව ලිවිය යුතු ආකාරය පිළිබඳව තාත්තා මට උපදෙස් දුන්නේය.
"වර්ෂ එක්දහස් නමසිය හැත්තෑ හතරේ පෙබරවා මස අටවෙනිදා (සිකුරාදා), කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ හතරවෙනි ශ්‍රේණිය ඒ පන්තියේ දී පවත්වන්නට යෙදුණු ශිෂ්‍ය සමිතියේ වාර්තාවයි මේ."
"මෙදින රැස්වීමේ මුලසුන උසුලන ලද්දේ මැ.පෙ. රූපසිංහ ගුරුතුමිය විසිනි. ශිෂ්‍ය සමිතිය ආරම්භ කිරීමේ වැදගත්කම ගැන සිසුන්ට කියා දුන් ඇය, සෑම මාසයකටම වරක් සමිතිය පැවැත්වෙන බවත්, මෙහිදී කවි, ගීත ගායනා කිරීමට හෝ කතන්දර කීමට හෝ විවිධ මාතෘකා යටතේ කතා පැවැත්වීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බවත් පැවසූවා ය."
"සමිතියේ ලේකම් තනතුරට, රසික හරිශ්චන්ද්‍ර ගේ නම ලයනල් (රණසිංහ) විසින් යෝජනා කරන ලද අතර ආනන්ද ජයතිලක විසින් ස්ථිර කරන ලදී. වෙනත් නාම යෝජනා නොවූයෙන් හතරවෙනි ශ්‍රේණියේ ඒ පන්තියේ ශිෂ්‍ය සමිතියේ ලේකම් තනතුරට රසික හරිශ්චන්ද්‍ර නිතරඟයෙන් තේරී පත්විය."
"දැන් ඔය විදියට එදා සමිතියේ දී වුණු සේරම විස්තර ලියපං විස්තර එක්ක. අන්තිමට වාර්තා කළේ උඹය කියලා උඹේ නම එකතු කරපං!" තාත්තා කිව්වේ ය.
මේ වාර්තාව ලිවීම අකුරු, වචන, වාක්‍ය සහ භාෂාව සලකන කළ මට මහා ලොකු දෙයක් නොවීය. අලුත් අභ්‍යාස පොතක් ගත් මම, පෙර කී මුල් විස්තරයට අමතරව තවත් වාක්‍ය කිහිපයකින් එතැන් සිට සමිතියේ අවසානය දක්වා සිදුවුණු දේ, කවි, ගීත ගායනා කළ, කතන්දර කියූ සිසු සිසුවියන් ගේ නම් සහ විස්තර ද සහිතව ගලපා ලියූවෙමි.
මාසයක් ගෙවී අපේ සමිතියේ දෙවන සභා වාරය උදාවිය.
"අපේ සමිතියේ ලේකම්, රසික නේද? දැන් එහෙනම්, රසික ඉස්සරහට ඇවිත් ඒ ලියපු වාර්තාව කියවන්න," මැ.පෙ. රූපසිංහ ගුරුවරිය එදා සිකුරාදා අපරභාගයේ දී අපේ සමිතිය ආරම්භ කරමින් කීවා ය.
මට කිසිසේත් ම, හිඳගෙන සිටි ආසනයෙන් නැගිට පන්තියේ ඉදිරියට යාමට සිත හදා ගත නොහැකි විය.
මා ලියූ වාර්තාවේ අඩුපාඩුවක් තිබේද? මා එය ලියා අවසාන කළා මිස පන්ති භාර ගුරුවරියට හෝ අඩු වශයෙන් තාත්තාට හෝ පෙන්නුවේ නැත. මා මේ වාර්තාව පන්තියේ ඉදිරියට ගොස් කියවන්නේ කෙසේද?
මා පැකිළෙනු දුටු මැ.පෙ. රූපසිංහ ගුරුවරිය "ඇයි රසික වාර්තාව ලිව්වේ නැද්ද?" කියා මගෙන් විමසූවා ය.
සිතේ පිරි සබකෝලය, බිඳ වැටුණු ආත්ම විශ්වාසය, ලැජ්ජාව, බිය, බඩේ සමනල්ලු, නළලේ දා බිඳු යනාදී සියලු අකලංචි මැදින් ම මට මගේ ගැලවුම් මාර්ගය ඒ වචන තුළින් පෙනුණි.
"ඔව් ටීචර්! ලියන්න බැරි වුණා!" මම මුමුණා කීවෙමි.
"හොඳයි, අද මුල් දවස නේ, කමක් නෑ, අද සමිතියේ වෙන දේවල්වල විස්තර හොඳින් ලියා ගෙන අද ම වාර්තාව ලියන්න," කියා ඇය මා බේරා ගත්තා ය.
මේ සිද්ධිය හා සම්බන්ධව මගේ මතකයේ හොඳින් රැඳී ඇත්තේ තව එක දර්ශනයක් පමණි.
ඒ, පිටුපස පේළියේ සිටි ලයනල් (රණසිංහ) දෙසට හැරුණු ආනන්ද ජයතිලක සහ සිසිර ප්‍රේමකුමාර දෙදෙනා, මගේ ඒ අසමත් වීම තමන්ට වූ මහා ලජ්ජාවක් සේ සිතා දෝ "මේ ලයියා තමයි සේරම කළේ!" යැයි ලයියාට දෝෂාරෝපණය කරන්නට පටන් ගැනීමයි.
සමිතියේ ලේකම් වීම විශාල ගෞරවණීය කාරණයක් බවත්, මා ඒ ගෞරවය කෙලෙසූ බව සහ එය ඉතා කනගාටුදායක කරුණක් බවත් මගේ මිතුරන් වූ ආනන්ද ජයතිලක සහ සිසිර ප්‍රේමකුමාර දෙදෙනා සිතන බව මට එවෙලේ සිතුණි.
මම එදිනම සවස් වරුවේ, මුල් වර කළාටත් වඩා හොඳින්, අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ ගැන දන්නා තරමින් සැලකිලිමත් වෙමින් දෙවෙනි සමිතියේ වාර්තාව ලියූවෙමි. තුන්වෙනි සභා වාරයේ දී මම ඒ වාර්තාව වැඩි අපහසුවකින් තොරව කියවීමි.
මගේ ඒ සබකෝලය ටික දිනකින් අඩු වී ගිය ද, තව අවුරුදු දෙක තුනකට පසු ගැටවර වයසට පා තැබූ කාලයේ දී වෙනත් ආකාරයක කෝලයක් වැළඳී, එය සෑහෙන කාලයක් තිස්සේ ජීවිතයට වද දුන්නේ ය. මේ දෙවන කෝලය නම්, සම වයසේ කෙල්ලෙකු සමග වචනයක් හෝ කතා කිරීමට ඇතිවෙන බියයි, ලජ්ජාවයි, අපහසුවයි.
මෙය සාමාන්‍යයෙන් ගැටවර වයසට එළැඹෙන බොහෝ පිරිමි ළමුන්ට වැළඳෙන සුවිශේෂී රෝගී තත්වයකි. මේ සංකීර්ණය ලේඛක ලියනගේ අමරකීර්ති විසින් තම අටවක පුත්තු නම් රාජ්‍ය සම්මානලාභී නවකතාවේ දී හඳුන්වා දී ඇත්තේ මනමාල බිය යනුවෙනි.
ඔබට මනමාල බිය වැළඳුණු විට එය දැන ගත හැකි මූලික රෝග ලක්ෂණ වෙන්නේ ගැහැණු ළමයෙකු දුටු විට, මුව ගොළුවීම, පිපාසයක් දැනීම, මදක් දහඩිය දැමීම, කකුල් වෙව්ලීම, හදවත සැලෙන නාදය කනට ඇසීම යනාදියයි.
එසේම, ඕනෑම ගැහැණු ළමයෙකු සමග කතා කිරීමට අදාළව මනමාල බිය බලපාන්නේ නැත. එහි බලපෑමේ තීව්‍රතාවය අදාළ ගැහැණු ළමයා කෙරෙහි ඔබේ සිතේ ඇති මනමාලකමට සමානුපාතිකව අඩු වැඩි වේ.
ඒ සමගම, මේ මනමාල බිය නමැති රෝගී තත්වය වැළදෙන්නේ පිරිමි ළමයින්ට පමණක් බව ද කිව යුතුය. මේ සම්බන්ධයෙන් ලෙ මිසරාබ්ල නම් ලෝ ප්‍රකට නවකතාවෙහි එහි රචක වික්ටර් හියුගෝ මෙසේ පවසයි.
සැබෑ ආලයෙන් පෙළෙන පිරිමියෙකු ගේ ප්‍රථම රෝග ලක්ෂණය වෙන්නේ බියගුලුබවමුත් තරුණ කාන්තාවක ගේ නම් එය එඩිතරබව වේ. මෙය පුදුමයක් වුව ද ඉතා සරල කරුණකි. මේ එකිනෙකා කෙරෙහි යොමුවන විරුද්ධ ලිංගිකයින් අනෙකා ගේ ගතිගුණ ආරූඪ කරගන්නා ආකාරයයි.
මගේ ඒ සබකෝලය හතරවෙනි ශ්‍රේණියේ දී ම පහව ගිය ද, ගැටවර වියේ දී වැළඳුණු මගේ මනමාල බිය නම් විශ්වවිද්‍යාලයේ දෙවන වසර මැද දක්වා ම පැවතුණි.
රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.