
මෙතෙක් කතාව: පළමුවෙනි කොටස, දෙවෙනි කොටස
අද තුන්වෙනි කොටස: පූජනී කුඩා කුස්සි කෑල්ල වෙත ගොස් බඩු මල්ල කුස්සියේ බිම තබමින් කුස්සියේම පසෙකට වන්නට බැඳ තිබුණ වැලෙන් අම්මාගේ චීත්තයක් ගෙන ඉණට ඇද ගත්තා ය. පසුව බෑගය තුළ තිබූ පරිප්පු මල්ල ගෙන ඉන් දෙමිටක් ගෙන නෑඹිලියට දමා සෝදන්නට වූවා ය. ඇය පසුපස කුස්සියට පැමිණි දේවේන්ද්‍ර ඉක්මනින් වැඩෙහි නිරත වන ඇය දෙස බලාගෙන සිටියේ නිහඬව ය. ඔහු හෙමිහිට මෙතෙක් වෙලා සාක්කුවේ තිබුණ ඇය වෙනුවෙන් රැගෙන ආ චොක්ලට් පෙත්ත ඈ වෙත දිගු කළේ ය. ඇය එක්වරක් එදෙස බලා ඉවත බලා ගත්තා ය.
"මට එපා ඔයාම කන එකයි ඇත්තේ," ඇය කෝපයෙන් ඉවත බලාගෙන පැවසුවා ය.
"මම විහිළුවක් කළේ ඔච්චර කේන්ති ගන්න එපා."
පූජනී උපහාසයෙන් යුතුව සිනාසුණා ය. "අපි මහ ගෑනු හින්දා චොක්ලට් කන්න තහංචිනේ?"
"කවුද එහෙම කිව්වේ?" දේවේන්ද්‍ර ඇසුවේ ඇගේ දිගු දෑස දෙස බලාගෙන ය.
"ටිකකට කලින් කෙනෙක් කිව්වේ එහෙමනේ? තවම පොඩි ළමයෙක් වෙච්චි ඔයා ඔය චොක්ලට් පෙත්ත කන්න."
"පූජනී ඔයා හොඳටම දන්නවා මම ඔයාට නොදී යමක් නොකන බව," ඔහු ඇගේ දෑස් දෙස එක එල්ලේ බලන ගමන් පැවසුවේ ය. ඒ මොහොතේ ඇය ද ඔහු දෙස බැලූවා ය.
මොහොතකට ඔවුන් දෙදෙනාගේ සිව් නෙත් එකට හමු වුණි. ඔහුගේ දෑස් මේ මෑතක සිට අමුතුම කතාවක් පවසන බව හඳුනාගෙන සිටි දෑස් වහා ඒ දෑස්වලින් මුදවා ගත් ඕ වළඳකට පරිප්පු ටික දමා හොද්දට අවශ්‍ය පහේ ටික කපන්නට බිම ඇන තියා ගත්තා ය. ඒ අතර ඔහු චොක්ලට් පෙත්ත ගෙන ඇගේ මුව වෙත ළං කළේ ය. ඔහුගේ ක්‍රියාවෙන් මඳක් අන්දමන්ද වූ පූජනී ඔහු කෙරෙහි අනුකම්පාවක් ඉපදුණ බැවින් චොක්ලට් පෙත්තෙන් හරි අඩක් මුවට ගෙන ඔහු දෙස බැලුවා ය.
"ඉතුරු බාගෙ දේවේන්ද්‍ර අයියා කන්න."
"මට චොක්ලට් පෙත්තක් තියෙනවා. මේක ඔයාම කන්න."
ඔහු චොක්ලට් පෙති අඩ ඇය අත තබා සාක්කුවෙන් ඔහුගේ චොක්ලට් පෙත්ත ගෙන එහි ඇසුරම ඉවත් කර කටට දමා ගත්තේ සිනාසෙමින් ය. පූජනී ද මොහොතක් ඔහු දෙස බලමින් සිනාසුණා ය. කම්කටොලු පිරි ජීවිතයකට ලැබෙන මෙවන් වූ සැනසුමත් ඔවුන්ට මහමෙරක් නොවේදැයි පූජනී සිතන්නට වූවා ය.
දේවේන්ද්‍ර ද ලද සුළු මොහොතින් ඇය දෙස බලාගෙන සිටියේ සිතෙහි දළු ලා නැඟෙන ප්‍රේමයෙන් සිත පුරවාගෙන ය. පූජනී කඩිනමින් පරිප්පු හොද්ද සූදානම් කර අවසානයේ පාන් පෙති කපන අතර නංගිලා සතුටින් සෙල්ලම් කරන හඬ නිවෙස දෙසින් ඇසෙන්නට වූවේ ය. ඔවුන් මෙතරම් සතුටට පත්ව ඇත්තේ අද දවස දෙවේලක් කුස පුරවා ගත හැකි බැවින් නොවේදැයි සිතත් ම ඇගේ මුවින් සුසුමක් පිට වූවේ නොදැනුවත්වම ය. ඇගේ සුසුම් හඬින් එතැන රැඳි සිටි දේවේන්ද්‍ර හැරී ඇය දෙස බැලූවේ ය.
"නංගිලා පව්," ඇය හෙමින් ඔහු දෙස බලමින් මිමුණුවා ය.
"නංගිලා විතරද පව්?" ඔහු ඇය දෙස බලමින් විමසුවේ ය. ඔහු ඇසූ පැනය කුමක්ද යන්න වැටහුණ බැවින් පූජනීට තමා ගැනම මහත් කනගාටුවක් ඉපදුණේ නිරායාසයෙන් ය.
"එහෙම බැලුවොත් අපි ඔක්කොම පව් පූජනී," දේවේන්ද්‍ර සුසුමක් වාතලයට එක් කරමින් මිමුණුවේ ය.
"ඔව් දේවේන්ද්‍ර අයියේ. අපි ඔක්කොම පව්!" ඇය ද ඔහු කී වදනම නැවත පුනරුච්චාරණය කළා ය. දෙදෙනාම ටික වෙලාවක් නිසොල්මනේ සිටියේ ඔවුන්ගේ සිත් අසරණව ගිලන් වූ බැවින් ය. පූජනී ගේ නෙත් කෙවෙනි තුළින් පිටතට පනින්නට බලා හිඳින කඳුළු ඇය නෙත් තුළ ගබ්සා කර ගත්තේ ඔවුන්ගේ ජීවන ගැටලුවලට කඳුළින් පිළිතුරු සොයා ගැනීම අපහසු බව දත් බැවින් ය. ඇය ඉක්මනින් ප්ලාස්ටික් පිඟන් දෙකක් රැගෙන පරිප්පු හොඳි බෙදා කැපූ පාන් පෙති දෙකක් රැගෙන නංගිලා සොයාගෙන ගියා ය.
"ආ... දැන් ඔය නැටිල්ල පස්සට දාලා කාලා ඉඳහල්ලා."
අක්කා අත රැඳි කෑම පිඟන් දුටු සැණින් කුඩා දැරියන් සතුටින් අත්පොළසන් දෙන්නට වූහ. ඔවුන් තිදෙනාම දිවගෙන ඇවිත් පිඟන් දෙකට පොර කන්නට වූහ.
"මොකද මේ දැඟලිල්ල පොඩ්ඩක් හිටපල්ලා මම දෙනකම්." පැවසූ පූජනී පිඟන් දෙක ලොකු දැරියන් දෙදෙනා අතට දී කුඩා දැරිය ඔසවා ගන්නා ගමන් තොටිල්ල දෙසට කර පොවා බැලූවා ය. කුඩා මල්ලී කුස පිරුණා නැතා සුව නින්දක පසුවෙමින් සිටියේ ය. පූජනී මඳ වෙලාවක් ඔහු දෙස බලා හිඳ කුස්සිය වෙත ගියා ය. දේවේන්ද්‍ර ඒ වනවිටත් ලොකු කල්පනාවක සිටියේ ය. පූජනී තවත් පිඟානක් ගෙන එයට හොඳි බෙදා පාන් පෙත්තක් සමඟ ඔහුට දුන්නේ ය. ඔහු එය අතට ගෙන පූජනී අතට වී හිඳින සිය සොහොයුරිය දෙස බැලූවේ ය. ඇය එක කුස උපන් තමන්ගේ එකම නැඟණිය බව සැබෑ ය. එහෙත් ඇගේ පියා සෝමදාස මහප්පා ය. එබැවින් ඇයත් තමාත් අතර යම් බැඳීමක් වෙත්නම් ඒ මව හා ඇති බැඳීම පමණක් නොවේදැයි දේවේන්ද්‍රට සිතුණි. තමන්ට නොලැබුණ අධ්‍යාපනය නැඟණියටවත් ලබා දිය හැකිනම් කොතරම් අගනේදැයි දේවේන්ද්‍ර සිතුවේ පාන් කෑල්ලක් හොඳිවල පොඟවා එය කුඩා නැඟණියගේ මුවට ළං කරන අතර ය.
"මගේ චූටි නංගිත් පාන් කෑල්ලක් කමු." දැරිය ද සිය සොහොයුරා අතින් පාන් කෑල්ල කටට ගත්තේ පුංචි කුරුලු පැටියෙකු විලස ය.
"මම මෙයාට පාන් කවන්නම්. අයියා කන්න." පූජනී ඔහු දෙස බලමින් පැවසුවා ය.
"අයියා අතින් කන්න මගේ නංගි ආසයි නේද පැටියෝ?" දේවේන්ද්‍ර දැරිය සුරතල් කරමින් අසන විට කුඩා දැරිය පාන් ඉල්ලන්නට මෙන් සිඟති මුව ඇරියා ය. දේවේන්ද්‍ර තවත් පාන් කැබැල්ලක් ගෙන හොඳිවල තවරා ඇගේ මුවෙහි තැබුවේ ය.
"මම මේ කල්පනා කරන්නේ පූජනී අපිට ඉගෙන ගන්න බැරිවුණ එකේ මේ තුන් හතර දෙනාටවත් උගන්වගන්න පුළුවන්නම් කියලා."
"මමත් හැම වෙලාවෙම හිතන්නේ ඔය ගැන තමයි අයියේ. ඒත් උන්ටත් කවදා හරි යන්න වෙන්නේ අපි ගිය බෝට්ටුවෙම තමයි."
"ඒකනම් එහෙම තමයි අපිට ඉගෙනීමේ අගය වැටහුණාට අපේ නූගත් වැඩිහිටියන්ට ඒ ගැන තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඇරත් ඒගොල්ලො ඒ දේවල් තේරුම් ගත්තත් ළමයින්ට උගන්වන්න තරම් ආර්ථිකමය තත්තවයක් ඒ අය ළඟ නැහැ."
"ඒකනම් එහෙම තමයි අයියේ." පූජනී කම්පිත ලෙස පවසමින් ඔහු දෙස බැලූවා ය. දේවේන්ද්‍ර ද ඇය දෙස බැලූවේ කම්පිතව ය. ඒ බැල්ම තුළ වූවේ කියා ගත නොහැකි වේදනාවකි.
"මම කල්පනා කරන්නේ මේගොල්ලන්ව හරියට අකුරක් ගලපාගෙන ලියන්න කියවන්න පුළුවන් වෙනකම්වත් ඉස්කෝලේ යවන්න පුළුවන්නම් කියලා." පූජනී කීවේ වචන බර කරමින් ය.
"ඔව් එහෙම හරි යවා ගන්න පුළුවන්නම් වටිනවා තමයි."
"ඒත් එයාලට ඕන ඉගෙන ගන්න නෙමෙයි දැන්මම හම්බ කරන්නනේ අයියේ," පූජනී කීවේ ශෝකාකූලව ය.
"මේ අය පව් පූජනී. එයාලට දැනෙන හැඟෙන දේ තමයි ඔය කියන්නේ. ඒගොල්ලන්ට ලොකුවටම දැනෙන එකම දේ බඩගින්න. ඔය අද පාන් කෑල්ලක් හරියට කන්න හම්බ වුණේ වේල් කීයකටද පස්සේද කියලා ඔයාම හිතලා බලන්න."
පූජනී බර සුසුමක් අතහැරියේ ඈත ආකාශය දෙස බලාගෙන ය. දේවේන්ද්‍ර පවසන පරිදි පෙරදා උදෑසන බිව් හාල් කැඳ කෝප්පයෙන් පසු මේ ඔවුන්ට කෑමක් ලැබුණා ම ය. තමන්ගේ පවුල පමණක් නොව මෙහි ජීවත් වන්නන්ගේ ජීවිත ද මීට වඩා වෙනස් නොවේ.
"අපිට මේ නරකාදියෙන් ගැලවීමක් ඇත්තෙම නැද්ද අයියේ?"
"ඒකම තමයි මමත් මේ හැම වෙලාවෙම හිතන්නේ. අපි එක්කෙනෙක්ට හරි මෙතැනින් ගැලවෙන්න පුළුවන්නම් අනික් අයවත් ගලවගන්න බැරි වෙන එකක් නැහැ. ඒත් කොහාමද එහෙම කරන්නේ කියලා හිතා ගන්න බැහැ පූජනී."
"මටනම් වෙලාවකට හිතයි අම්මලා වගේ ගෙයක වැඩකාරකමකට හරි යන්න." පූජනී කීවා නොව තමාටම කියා ගත්තා ය.
"උඹට පිස්සු ද බං?" දේවේන්ද්‍ර ඇසුවේ තැති ගත් විලසිනි.
"ඔව් වෙලාවකට මට පිස්සුත් ඇති." පූජනී කෝපයෙන් කීවා ය.
"ගෙවල්වල වැඩකාරකමටවත් උඹලා අපි වගේ වයසින් අඩු පොඩි උන් ගන්නේ නැහැ පූජනී."
"මෙයා දන්න දේවල් අප්පා," පූජනී කීවේ පාන් කෑල්ලක් කන ගමන් ය.
"මේ රටේ නීතියට අනුව පොඩි වයසේ ළමයි මෙහෙකාරකමට ගන්නේ නැහැ," පැවසූ දේවේන්ද්‍ර මඳක් කල්පනා කරන්නට වූවේ ය.
"අද අයියා වැඩක්පලක් හොයා ගන්න යන්නේ නැතෙයි?" පූජනී හදිසියේ යමක් සිහිවූ පරිදි ඇසුවා ය.
"යන්න නම් ඕන." දේවෙන්ද්‍ර පිළිතුරු දුන්නේ පෙර හුන් කල්පනාවෙන්ම ය.
"මම මේ කල්පනා කෙරුවේ පූජනී. සල්ලි ටිකක් හොයාගෙන නිකවැරටියේ බාප්පා ළඟට යන්න කියලා." ඔහු කී වදන් ඇසුණ පූජනී තිගැස්සී මෙන් ඔහු දෙස බැලූවා ය.
"ඒ මක්කටද දේවේන්ද්‍ර අයියා නිකවැරටි යන්න හිතුවේ හදිසියේ?"
"බාප්පාගේ හේනේ කුඹුරේ වැඩට හරි උදව් වෙලා කීයක් හරි හොයා ගන්න පුළුවන් නේ."
ඇය එයට කිසිත් නොකීවා ය. ඇගේ නිහඬබව ඔහුට ගෙන දුන්නේ සන්තාපයකි. ඇය තමා නිකවැරටි යාම ගැන සිතා දුකට පත්ව ඇතැයි සිතු දේවේන්ද්‍ර හඬ අවදි කළේ ය.
"මම නිකවැරටි යනව කිව්වාම පූජනීට දුකයි නේද?"
"ඔව්," පූජනී කෙටියෙන් උත්තර දුන්නා ය.
"මම එහෙම ගියත් අද හෙටම යන්නේ නැහැ බං. උඹ හිත සංකා කර නොගෙන හිටපන්. හැබැයි ගියාට පස්සේ දෙතුන් මාසයකට සැරයක් තමයි එන්න වෙන්නේ." දේවේන්ද්‍ර එවදන් පවසා නිම වන්නට පෙර නිවස දෙසින් ඇසුණේ පූජනී ගේ මලණුවන් හඬන ශබ්දය යි.
පූජනී පිඟාන පසෙකලා නැඟණියත් රැගෙන එදෙසට දිව ගියා ය.

නවකතාවේ හතරවෙනි කොටස: ලබන සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.
- සශිකා නිරෝෂි මහලියනගේ
sashikamahaliyanage@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.