
කොළඹ විශ්ව විද්‍යාලයේ කලමණාකාර පීඨයේ අධිපති පැතුම් ඒකනායක මහතා අළුත් කළු කලිසමක් හා සුදු කමිසක් ඇඳ කන්නාඩි අල්මාරිය අබියස සිට ගත්තේය. අනුෂා ඒකනායක මහත්මිය රූපලාවණ්‍ය උපකරණ මේසය ලඟ වාඩිවී දෙතොලෙහි ලිප්ස්ටික් තවරමින් සිටියාය.
"ඔයා ඔය තරම් හැඩවෙන්නෙ ගමේ ඉස්කෝලෙ උත්සවයට යන්ඩ ද? නැත්නම් බීඑම්අයිසීඑච් එකේ තියෙන මල් ප්‍රදර්ශණයට එන්න ද?" අනුෂා පැතුම් දෙස හැරී නොබලාම විමසුවාය.
"ඔව් අනේ, ඔයා නිපුනිලත් එක්ක බීඑම්අයිසීඑච් යන්න. මම ගමේ යනවා. මම ඉගෙනගත් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ආරාධනා කරල තියෙද්දි නො ගොහින් කොහොම ද?" පැතුම් කරවටා දමාගත් රතු ටයිපටියේ ගැටය හිරකරන ගමන් පැවසුවේය. ඔහු තම නිදන ඇඳ මත වූ ට්‍රැවලින් බෑගය දකුණතින් ගෙන පඩි පෙළ බැස විසිත්ත කාමරයට පිවිසුණේය.
"අප්පච්චි ගමේ යන බව කලින් කීවානම් මමත් එනවා. මට හරි ආසයි වැවේ බැහැල පීනන්න. අප්පච්චි එනවිට ගුණේ අංකල්ගෙ මිදුලෙ තියෙන කටු අනෝද ගහෙන් ගෙඩියකුත් කඩාගෙන එන්න," සැටියේ වාඩිවී මොබයිල් ෆෝනයේ බොත්තම් ඔබමින් සිටි දොළොස් හැවිරිදි රෝචන කීවේය.
"අනෝද හැම කාලෙකම හැදෙන්නෙ නෑ, පුතා. තිබුණොත් මම කඩාගෙන එන්නම්." පැතුම් ගරාජයේ දොර ඇර එය තුළ නවතා තිබූ ටොයෝටා විට්ස් වර්ගයේ සුදු පැහැති මෝටර් රථය ළඟට ගොස් සාක්කුවට අත දමා යතුරු කැරැල්ල ගෙන රිමෝට් කොන්ට්‍රෝලයේ බොත්තම තද කළේය. විස්ල් හඬක් සමග රතු ලයිට් දෙවරක් දැල්විණ. ඔහු දොර ඇර රියැදුරු අසුනේ වාඩිවිය. ඉන් පසු ආරක්ෂක පටිය පැළඳ රථය පණගන්වා එය සෙමෙන් පිටුපසට ධාවනයකර ගේට්ටුව දෙසට හරවා පාරට ගත්තේය.
මහාචාර්ය පැතුම් ඒකනායක කොළඹින් පිටත් වූයේ තමා මූලික අධ්‍යාපනය ලැබූ පාසලේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගිවීමට ය. උත්සවයට ආරාධනා ලැබුණු අවස්ථාවේ ඔහු ඒ බව දැන්වූ විට බිරිඳ දැක් වූ ප්‍රතිචාරයෙන් ඔහුගේ සිත පෑරී තිබිණ.
"අනූ, මට මා ඉගෙනගත් පාසලෙන් ආරාධනාවක් ලැබුණා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට සහභාගිවෙන්න. අපි දෙන්නාම යමු, ගොඩාක් කාලයකින් ගමේ යන්නත් බැරිවුණා නේ?"
"කවදා ද උත්සවය තියෙන්නෙ?" ඇය කියවමින් සිටි පොතෙන් දෑස ඉවතට නොගෙනම විමසුවාය.
"ලබන සඳුදා."
"ලබන සඳුදා?" ඇය එයම ප්‍රතිරාවය කළාය.
"ලබන සඳුදා නේද බියුටි කන්ටෙස්ට් එක තියෙන්නෙ. අනේ මට බෑ ඔය ගොඩේ ඉස්කෝවල යන්න. ඔයා තනියෙන් ගිහින් එන්න." අනුෂා එක්වරම එයට විරුද්ධ වූ අන්දම ඔහුට මතක් විය. එහෙත් ඇය ඉගෙනුම ලැබූ කොළඹ විශාකා විද්‍යාලයේ පැවැත්වුණු උත්සවවලට ඔහුට ද ඇය සමග යන්නට සිදුවිය. එක් අවස්ථාවක භාරගෙන තිබූ ආරාධිත දේශනයක් නිසා ඔහුට ඇගේ ළමා නිවාසයේ උත්සවයකට යන්නට නොහැකි විය. ඇය සතියක් පමණ කාලයක් ඔහු සමග කථා නොකර එයට පලිගත්තාය.
බම්බලපිටියේ සිට පෑලියගොඩ දක්වා රථය ධාවනය කරන්නට සිදුවූයේ ඉබි ගමනිනි. ඔහු ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මකකර ශ‍්‍රී එෆ්එම් චැනලයට සවන් යොමු කළේය. එයින් මවුගුණ ගීතයක් ගුවනට මුසුවෙමින් තිබිණ. එයට සවන් යොමාගෙන යනවිට පැතුම්ගේ සිත අතීතය කරා ඇදී යන්නට විය.
පැතුම් අනුෂා සමග විවාහවූයේ අවුරුදු දෙකක පේ‍්‍රම සම්බන්ධතාවයකින් පසුව ය. විවාහ උත්සවය කොළඹ සුපිරි හෝටලයක පැවැත්වූ හෙයින් ඔහුගේ මව හෝ ඥාතීන් කිසිවෙකු එයට සහභාගිකරවා නොගැනිණ. අනුෂාගේ දෙමාපියන්, ඥාතීන් හා මිත‍්‍රයින් හැරණුවිට ආරාධනා ලැබ සිටියේ පැතුම්ගේ විශ්වවිද්‍යාල සගයන් ටික දෙනෙකු පමණි.
"අනුෂා, ඔයාගෙ හස්බන්ගෙ පැත්තෙ රිලේෂන්ස්ලා කවුරුවත්ම වෙඩින් එකේ දි දැක්කෙ නැහැනේ?" මධුසමයෙන් ටික දිනෙකට පසු කාර්යාලයේ විවේකාගාරයේ දී මුණගැසුණු රෝෂිනී විමසුවාය. ඇය අනුෂා සමග විශාකා විද්‍යාලයේ එකට උසස්පෙළ හැදෑරූ මිතුරියකි.
"පැතුම්ගේ රිලේෂන්ස්ලා ඉන්නේ ගොඩාක් ඈත පිටිසර ගමක. එයාලාට මේ කොළඹ සමාජය හුරු නෑ. ඒකයි මම කීවේ ඒ අය ඔන්නෑ, කොළඹ ඉන්න මගේ නෑයින් විතරක් ගෙන්වමු කියලා."
"ඉතින් පැතුම් ඒ යෝජනාවට කැමතිවුණා ද?"
"කැමති නොවී කොහොම ද? පැතුම් හිතන් ඉන්නෙ ගමේ ගෙදරට නෑදෑයින් කැඳවලා ඩිනර් එකක් දෙන්න. මට නම් ඕවයෙ යන්න බෑ. එයා කේටරිං සර්විස් එකකට ඕඩර්කරල සංග්‍රහය සූදානම් කරයි."
විවාහයෙන් දෙසතියකට පමණ පසු ගමේ ඥාතීන් වෙනුවෙන් සංග්‍රහයක් පැවැත්වූ අන්දම ද, එයට අනුෂා කැඳවාගෙන යන්නට තමා ගත් වෙහෙස ද මතක්වනවිට පැතුම්ට දැනුණේ දැඩි සිත් වේදනාවකි.
විවාහවී වසර හතරක් යනතුරු අනුෂා දරු උපතක් අපේක්ෂා නොකළාය. ඇය වෛද්‍ය උපදෙස් මත මසකට දෙසතියක කාලයක් සැමියා ඇසුරෙන් ඉවත්ව සිටියාය. පසුව එම වෘතය අතහැර උපත්පාලන පෙති ගත්තාය. තවත් කාලයක් බෙහෙත් විද ගත්තාය. මේ නිසා දරුවකු පිළිසිඳගන්නා විට ඇය දෙතිස්වන විය ද ඉක්මවා සිටියාය.
"පැතුම්, ලබන මාසයේ සිට මට වැඩට යන්න තියෙනවා. බබා බලාගන්න ආයම්මා කෙනෙකු සොයාගන්න වෙයි. ඔයාට පුළුවන්නේද ගමේ ගිහින් ගෑණුනු කෙනෙක් එක්කගෙන එන්න," පැතුම් සවස වැඩ ඇරී ගෙදර අවුත් දරුවා සුරතල්කරමින් සිටි අවස්ථාවක අනුෂා පැවසුවාය.
"ගෑණු කෙනෙක් නම් සොයාගන්න පුළුවන්වෙයි. හැබැයි විශ්වාසවන්න කෙනෙක් සොයාගන්න එක තමා අමාරු."
"ඇයි ඔයාගේ අම්මා ගෙදර නිකන්නෙ ඉන්නෙ. එයා අඬගහගන්න පුළුවන්නෙ. එහෙම උනොත් පඩියක් ගෙවන්න වෙන්නෙත් නෑ. පුතාගෙ දරුව නිසා ආදරයෙන් බලාගනීවි."
ඊළඟ සති අන්තයේ පැතුම් ගමේ ගියේ දරුවා බලාගැනීම පිණිස මව කැඳවාගෙන ඒමට ය. සැමියා රිය අනතුරකට ලක්ව මිය ගිය පසු සුමනා පැතුම් පුතා ද සමග ජීවත්වූයේ ඔහු විසින් කුලියාපිටිය නගර සීමාවෙන් මිලට ගත් ඉඩම් කැබැල්ලක ඉදිකරන ලද කුඩා නිවසේ ය. පැතුම් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් මධ්‍ය විද්‍යාලයට ඇතුළු වූ පසු ද, උසස් අධ්‍යාපනය ලබන කාලයේ ද ඇය මෙම නිවසේ හුදකලාව වාසය කළාය. "අම්මෙ, අම්මට පුළුවන්නේද ටික දවසකට කොළඹ එන්න. අනුෂා ලබන සතිියේ සිට ආයෙත් වැඩට යනවා. දරුවා බලාගන්න විදියක් නෑ. ගෙදර වැඩට ගෑණු කෙනෙක් ඉන්නවා වුණත් එයා පිට කෙනෙක්නෙ. අනුෂාත් කියන්නෙ විශ්වාසවන්ත කෙනෙක් ලඟ මිස දරුවා තියන්න බෑ කියල." පැතුම් ගමේ අවුත් මව කොළඹ එක්කගෙන යාමට කතා කළේය.
අකමැත්තෙන් වුවත් සුමනා පුතාගේ ඉල්ලීමට එකඟ වූවාය. පැතුම් පදිංචි කොළඹ නිවස අනුෂාගේ පියා විසින් ඇයට දෑවැද්දට දුන් එකකි. ඔවුන් එම නිවසේ පදිංචියට ආ අලුත ගෙදර වැඩපල කරවා ගැනීමට කෙනෙකුගේ අවශ්‍යතාව මතු විය. ඒ අවස්ථාවේ ද පැතුම් මව කැඳවාගෙන ගිය නමුත් අනුෂා ඇයට සැළකුවේ නැන්දණිය ලෙසට නොව වැඩකාරියක ලෙසින් බව මතක්වීමෙන් ඔහුගේ සිත ශෝකාකූල විය.
පැතුම් නව කැලණි පාලම පසුකර කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට රථය ඇතුල් කළේය. ගැස්සීම් හා බාධාවලින් තොරව පැයට කිලෝමීටර් සියයක ඒකාකාරී වේගයෙන් එය ඉදිරියට ධාවනය විය. ගුවන්විදුලියේ දේශපාලන සාකඡාවක් විකාශනය වෙන්නට වූයෙන් පැතුම් එය වසා දමා තැටි ධාවන යන්ත්‍රය ක්‍රියාත්මක කළේය.
"මිහිමඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා..."
එයින් නිකුත්වූයේ අරුත්බර මවුගුණ ගීතයකි. ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ නන්දා මාලිනී ගායනා කරන එම මියුරු ගී පද මාලාව ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ ගේ කාව්‍ය සංකල්පනාවක් බව පැතුම් දැනසිටියේය. එය නිතර ශ‍්‍රවණය කරන්නට තමා පොළවන්නේ අනුෂා විසින් තලා පෙළා දමන ලද තම අධ්‍යාත්මය නොවේ දැයි ඔහුට සිතිණ.
මව කොළඹ නිවසට පැමිණ දරුවා බලා ගැනීම නිසා පැතුම්ට සහ අනුෂාට කරදරයකින් තොරව තම රාජකාරි කටයුතු කරගෙන යා හැකි විය. එහෙත් මව දරුවාගේ කාමරයේ හා ගෙය පිටුපස මිදුලේ ගැවසෙනු හැර එළියට පහළියට එනවාට අනුෂා කැමති නොවූවාය. දිනක් දරුවා නොනවත්වා හඬන්නට වූයෙන් ඇය ඔහු වඩාගෙන අනුෂා සිටි විසිත්ත කාමරය දෙසට ආවාය.
"ඔයාට මං කියල තියෙනව නේද මේ පැත්තට එන්න එපා කියල. කවුරු හරි විසිටර් කෙනෙක් ඇවිත් හිටිය නම් ඔයාගෙ මූණ දැකල බයවේවි. දෙන්න දරුව, මම පරක්කරගන්නම්." අනුෂා දරුවා උදුරා ගත්තාය. මේ සිද්ධිය පුතාට නොකිව් සුමනා එදින සවස ම ගමේ යා යුතු බව කියා බස් නැවතුම්පළට ගියාය. මව ගෙදරින් පිටව ගිය බව කියන අනූෂාගේ දුරකථන ඇමතුම ලද විගස පැතුම් ද බස් නැවතුම්පළට ගියේය. එහි දී නිකවැරටි බසය පිටත්වූ බව ඔහුට ආරංචි විය. ඒ අවස්ථාවේ හටගත් සිත්තැවුලෙන් තමා සති කිහිපයක් යනතුරු වේදනා විඳි අන්දම පැතුම්ට සිහිපත්විය.
මහාචාර්ය පැතුම් ඒකනායක කුලියාපිටිය නගරයට ළඟාවනවිට දහවල් කෑම වේලාව පසුවෙමින් තිබිණ. ඔහු මීගහකොටුවේ පිහිටි පැරණි තානායමට ගොස් දිවා ආහාර ගෙන ටික වේලාවක් ගිමන් නිවාගත්තේය. ඔහු තමා මූලික අධ්‍යාපනය ලැබූ ඇඹව කණිෂ්ඨ විද්‍යාලයට ළඟාවනවිට උත්සවය සඳහා සියලු කටයුතු සූදානම්ව පැවතිණ. ආරාධිත අමුත්තා වේදිකාව කරා කැඳවාගෙන යන ලද්දේ පාසල් දරුවන්ගේ නැටුම් ගැයුම් සහිත පෙරහරකිනි. පිළිගැනීමේ කතාව පැවැත් වූ විදුහල්පති හල්පෙ මහතා අතීතය සිහිපත් කරනවිට ඔහුගේ නෙතට සතුටු කඳුළක් ගලා ආවේය. විහාරාධිපති පියරතන හිමියන් පාසලට සරණංකර නාහිමියනගේ නම තබන ලෙස අනුශාසනා කරනවිට ඔහුට තමා ගමේ දහම් පාසලේ ඉගෙනගත් කාලය සිහිවිය.
උත්සවය අවසන් වූ පසු පැතුම් තම ඥාති සොහොයුරාවන ගුණරත්න අයියාගේ නිවසට ගොඩවැදුණේය. එහිදී ඔහුට තම මවගේ වැඩිමහලු සොහොයුරාවන සුමනදාස මාමා හමුවිය.
"මහත්තයා අම්මාගේ ඉලව් ගෙදර දී දැක්කාට පස්සේ අදයි මට හමුවුණේ. අම්මා පදිංචිව හිටි ගෙයයි, ඉඩමයි පංසලට දුන්නා කියා ආරංචි වුණා," පැවසූ සුමනදාස මාමා මිදුලට බුලත් කෙළ පාරක් ගැසුවේය.
"ඔව් මාමේ, ගේ හොඳටම අබලන්වුණා. ඉඩමත් කැලේ වැවුණා. කුඩුකාරයන්ගෙන් කරදරේ කියල අවට ගෙවල්වල අය පැමිණිලි කරන්ඩ පටන් ගත්තා. අම්මටයි තාත්තටයි පිං පිණිස මම ඉඩම අස්වැද්දුමේ පංසලට පූජා කෙරුවා. දැන් එහි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යනවා," පැතුම් පැවසුවේය.
"ඒක හොඳයි. ගුණසිරි මස්සිනා මැරුණට පස්සෙ මං සුමනා නංගිට දරුවත් එක්ක ඇවිත් මහගෙදර නවතින්න කීවා. දරුවාට උගන්වන්න තියෙනවා කියල එයා ටවුමෙ ඔය ගෙදර අත්ඇරල එන්න කැමතිවුණේ නැහැ. පුතා කොළඹ පදිංචියට ගියාට පස්සෙයි ගේ කුලියට දීල ගමේ ආවෙ," සුමනදාස මාමා පැවසුවේය.
"මාමෙ, අපේ අම්මගෙ ඇහැක් පෙනෙන්නෙ නැති නිසා එයා කොළඹ ගෙදර ඉන්න කැමතිවුණේ නැහැ. ගෙදරට නිතර අමුත්තො එනව නෙ. ඒක නිසා මමත් හිතුවා අම්මා ගමේ ඉන්න එක හොඳයි කියලා," පැතුම් තම බිරිඳ හා මව අතර පැවති නොහොඳ නෝක්කාඩුකම් සඟවන්නට උත්සාහ කළේය.
"මහත්තයා දන්නෙ නැතුව ඇති අම්මාගේ ඇහැ කනවුනේ කොහොමද කියලා?" සුමනදාස මාමා හදිසියේ මාතෘකාව වෙනස් කළේය.
"නෑ මාමෙ, අම්ම කියල තියෙන්නේ උපතින්ම එයාගෙ එක ඇහැක් අන්ධවෙලා තිබුණා කියලා."
"ඒක වැරදියි. අම්ම පුතාට ඇත්ත කියලා නැහැ. ඔයා මොන්ටිසෝරියට එක්කගෙන යද්දි මෝටර් සයිකලය ඇක්සිඩන්ට් වෙලා තාත්ත නැතිවුණා. ඔයාගෙ වම් ඇසට බරපතල ලෙස හානිවෙලා තිබුණා. වෛද්‍යවරු කිව්වෙ ඇසක් බද්ධකරන්න සිද්ධවෙනවා කියලා. සුමනා නංගි එයාගෙ වම් ඇස ඔයාට පරිත්‍යාග කෙරුවා. ඒ ඇසෙන් තමයි මහත්තයා අද ලෝකය දකින්නෙ," සුමනදාස මාමා ඒ දවස්වල ගමේ පැතිර ගොස් තිබූ සංවේදී කතාවක් පැතුම් ඉදිරියේ ප‍්‍රකාශ කළේය.
එහෙත් සත්‍යවශයෙන් සිදුවූයේ එදා මෝටර් සයිකලය පැදවූ ගුණසිරි මහතා මිය යාමත්, පිටු පස ගමන් කළ සුමනාගේ ඇසක් අනතුරට ලක්වීමත්, කුඩා පුතු සුළු තුවාල ලබා බේරීමත් බව සුමනදාස මාමා දැන සිටියේය.
"අම්මා ඇස අන්ධවීම නිසා සමාජයෙන් කොන්වෙලා හරියට පීඩා වින්දා. කවුරුවත් ඇය මුලිච්චි වෙන්න කැමති වුනේ නැහැ. එහෙනම් අම්මාට ඒ පීඩාව විඳින්න සිදුවුනේ මා නිසා?" පැතුම් බිඳුණු හඬින් පැවසුවේය. ඔහු ලේන්සුවෙන් දෙනත් පිස කඳුලූ සඟවන්නට උත්සාහ කළේය.
උගතෙකු හැටියට සමාජයෙන් කොතරම් ගරු බුහුමන් ලැබූවත් ඒ බුහුමන් ලබාදීමට අම්මා කර තිබෙන පරිත්‍යාගය සිහිපත් වනවිට ඔහුට මහත් චිත්ත සංතාපයක් ඇති විය. එයටත් වඩා ඔහුට දරාගන්නට නොහැකි වූයේ තම බිරිඳගෙන් හා ඇගේ ඉහළ සමාජයෙන් මවට එල්ල වූ කෙනහිලිිකම් හමුවේ තමා අන්ධයෙකු සේ සිටීම ය.
- එච්.එම්. පියතිලක හල්පෙ
piyathilakehalpe742@gmail.com
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.