
කැඩවත්තේ මහගෙදරට එනකොට නැවතත් ජීවයෙන් පිරි පරණ රූපිකාගේ ගති ලක්ෂණ ටිකෙන් ටික එළියට එන්නට පටන් ගත්තේ හාස්කමකින් වගේ. විජිත සහ ඔහුගේ මිතුරා සමන් පුදුමයට පත්කරවමින් මහගෙදර දී රූපිකාගේ ළමා කාලයේ මතක අවදි වුණේ අසුරු සැණෙකින්.
මල්ලිලා සමඟ හැංගිමුත්තම් සෙල්ලම් කළ'යුරු, කට්ටියත් එක්ක වනහාමිගේ ගල් ගෙය බලන්න ගිය'යුරු, ඇල්ල පල්ලෙහා වතුර පීල්ලේ නාන්න ගිය'යුරු ඇතුළු එකී මෙකී නොකී විස්තර රූපී කියවන්න ගත්තේ සමහර සිදුවීම් අද ඊයේ වුණා වගේ විස්තර කරමින්. ඒ පරණ විස්තර කන වැකුණාම විජිතගේ හිතේ පුංචි ඉරිසියාවක් මෝදුවෙන්න ගත්තා.
"මාව තමයි මතක නැත්තේ. අම්මා, තාත්තගේ මල්ලිලාගේ විස්තර ඔය අපූරුවට මතක තියෙන්නේ දින වකවානුත් එක්කම," විජිතට සමන් එක්ක කියවුණේ හිතාමතාම නෙමේ. ඒක ඉබේටම කියවුණා.
"ඕවා ඔච්චර ගණන් ගන්න එපා විජී. මුලින්ම අමතක වෙන්නේ ළඟ මතක තමා. පරණ ඒවා හොඳට මතකයි."
"දැක්කනේ කෙසෙල් ගන්න නැවත්තුව තැන අර කොල්ලගෙන් ගම කොහේද කියලා දහ පාරක් විතර ඇහුවා," සමන් මිතුරාගේ හිත සැහැල්ලු කරන්නට උත්සාහ කළා.
ඔවුන් මේ කාලෙකින් මහගෙදර ආවෙ ඔත්පලව ඉන්න රූපිගේ පොඩි මල්ලිව බලලා කියලා යන්නයි. අංශභාගේ හැදිලා ඇඳටම වැටිලා හිටි පොඩි මල්ලිගේ සේරම පහිඳි පත්කම් කළේ රූපිගේ නෑනා. විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ඔවුන්ගේ දරුවන් දෙදෙනා ගෙදර ආවෙ ගියේ නිවාඩු කාලවලට විතරක් නිසා ගෙදර හිටියේ ඒ දෙපළ පමණයි.
පොඩි මල්ලිව හොඳට මතක තිබුණාට මොකද රූපිට නෑනාව නම් වෙලාවකට නිච්චි නෑ වගේ කියලා විජිතට හිතුණා. එක අතකට ඒකත් හොඳයි කියලා ඔහු කල්පනා කළා. "ලොකු අයියෙ," කියාගෙන නෑනා ඕන ප්‍රශ්නයක් දැන් කියන්නේ විජිතට තමයි. මුලින් මුලින් මල්ලිගේ ලෙඩේ, දොස්තරලා, බේත් හේත් ගැන වෙච්ච ඒ කතා බහ මේ වෙන කොට එකිනෙකාගේ දුක් අඳෝනා කියා ගන්න ගාණට ඇවිත් තිබුණා. ඇත්තටම කියන්න සමන්වත් කතා කරගෙන රූපිවත් කැමති කරන් මහගෙදර ආවේ පොඩි මල්ලි බලන්න ම ද කියලා විජිතටත් හිතුණා.
ගෙදර දොරේ වැඩටයි, සැමියාගේ වැඩවලටයි දවසම දිය කර හරින රූපිගේ නෑනාට, විජිතත් එක්ක කෙරෙන දුරකථන සංවාද දැනුණේ සිහිල් දිය බිඳක් වගේ. යාන්තම් ඔළුව වනලා, "ගොග් ගොග්," ගාලා, තමන්ට අවශ්‍ය දෙයක් ගැන කිව්වාට මොකද සැමියා එක්ක ඒ වන විට සංවාදයක් තිබුණේම නැති තරම්. දරුවො කතා කළෙත් ඒ ගොල්ලන්ගේ වැඩ ඉවරවෙලා රෑට රෑවෙලා. දවල් දවසෙම ගොළුවෙක්, බීරෙක් වගේ කැඩවත්තේ මහගෙදර කල් යවන ඇය විජිතගේ ඇමතුම් එනකම් මඟ බලා හිටියා. ඔහුගෙන් ඇමතුමක් නොලද දිනෙක ඇයට මහා පාළුවක් දැනුණා. ජංගම දුරකථනය ඔස්සේ ඇදී එන කට හඬට ඇයගේ සිතත් ඇදී ගියේ නිරායාසයෙන්. ඒ කටහඬේ වත්, වෙලාවකට උස්හඬින් හිනැහෙන ඔහුගේ සිනාවේ වත් වියපත් බවක ලකුණු පෙනෙන්නට තිබුණේ නෑ.
මල්ලිගේ වැඩ කොච්චරක් තිබුණත්, මහගෙදරට යන කොට රූපිගේ නෑනා කිසි කම්මැලිකමක් නැතිව යස අපූරු කෑම මේසයක් ඔවුන් වෙනුවෙන් පිළියෙල කරලා තිබුණා. සිංහල හාලේ බතට කොස් උයලා, කරවල තෙල්දාලා, මෑ කරල් හිඳෙන්න උයලා, කොළ පාට ජපන් බටු මැල්ලුමක් එක්ක නෑනා හදලා තිබුණු ගමේ කෑම වේල දැකලා විජිතගේ කටට කෙළ ඉනුවා.
ඔවුන්ගේ පාමංකඩ ගෙදර දැන් වළඳක් රත් වුණේ ම නැති තරම්. ළඟ පාත අත පොවන මානයේ ඕනෑ තරම් කෑම කඩ තිබුණ නිසා තුන් වේල පිරිමැහිලා ගියා. උදේට පාන් හරි, ඉඳිආප්ප හරි. දවාලට බත්. රෑට පරාටා හරි, රොටි හරි, නුඩ්ල්ස් හරි. ඔය ඕන එකක් අත පොවන මානේ තිබුණට ගෙදර හදන කෑමක රස, උණුසුම, සුවඳ විජිතට මගහැරුණා. රූපිගේ අමතක වීමේ ලෙඩේ හින්දා දෙතුන්සැරේ ලුණු දාන වැඩේ, එහෙම නැතිනම් නොදාම ඉන්න එක, කටේ තියන්න බැරි ගානට දුරු මිරිස් වැඩි වෙන එක නිතර නිතර වෙන්න ගත්තාම, ටික ටික ගෙදර ඉවිල්ල අත ඇරිලාම ගියා. බිරිඳ නැතිවුණාට පස්සේ සමන්ගේ බඩට වැටුණෙත් කඩකෑම විතරයි.
ලෙඩා බලන්න එන අක්කටයි, මස්සිනාටයි කටට රහට කෑම ටිකක් හදන්න ඕන කියලා රූපිගේ නෑනට හිතුණේ ටෙලිෆෝන් කෝල් එක ආව දවසෙම යි. "කඩ කෑම කාල එපා වෙලා ඇති දෙයියනේ, ඇරත් මනුස්සයෙක්ට බත් කටක් දෙන එක දානයක් දෙනවා වගේ වැඩක් නේ?" කියලා ඇය කල්පනා කළා.
විජිතගේ ඇගැයීමට ලක්වීමට, "කෑම රසයි," කියලා අසා ගැනීමට රූපිගේ නෑනා තුළ තවමත් සැඟව සිටිනා යුවතියට උපන්නේ නොසංසිඳුනු දොළක්. ඇය විජිතගේත්, රූපිගේත් ආගමනය බලාපොරොත්තු වුණේ නොතිත් ආශාවෙන්.
"අක්කා නම් හිටියත් නොහිටියා ගානයි. ලොකු අයියා මොකට තව යාළුවෙකුත් උස්සා ගෙන ආවද මන්දා?" විජිත සමඟ මොහොතක් තනිව දොඩමළුවීමට තිබුණු සියලු අවස්ථා අහුරා ලූ සමන් ගැන ඇයට කිසිම පැහැදීමක් තිබුණේ නෑ.
කෑම මේසේට වාඩිවුණේ රූපියි, විජිතයි, සමනුයි විතරයි. ඒ වෙන කොට කාමරේටම ගිහින් සැමියාට කවලා පොවලා ඉවර වෙලා තිබුණ නිසා රූපිගේ නෑනා මේසේ ළඟ ඉඳන් අඩුපාඩු බැලුවා.
"මොනවද මේ මැල්ලුම නංගි?" රූපී නෑනාගෙන් ඇහුවෙ හතරවෙනි පාරට.
"මේ ජපන් බටු කොළ නේ අක්කේ," නෑනා හතරවෙනි පාරටත් කිව්වා.
සමන්ට පුදුම හිතුණා. "අපි ළඟ නොහිටියා නම් නෑනට ඔච්චර ඉවසීමක් තියේවි ද එකම දේ හතර පාරක් කියන්න?" කියලා ඔහුට හිතුණා. තමන්ගේ ම බිරිඳ වෙත්දීත් රූපී සමහර වෙලාවට එකම දේ තුන් හතර සැරේ අහන කොට විජීගේ මුහුණේ ඇඳෙන නොරිස්සුම සමන්ට රහසක් වුණේ නෑ. ඒ වෙලාවට විජීගේ ගිරා නාස් කොන හීනියට නටනවා, දෙබැම ඉහළට එසවෙනවා සමන් දැකලා තියෙනවා. විජිත ගෙදර දී කව්රුවත් නැති වෙලාවට නම් දමලා අරිනවා ඇති කියලා ඔහුට හිතුණා. "කාට පේන්නද, කව්රු දකින්නද, අනෙක රූපි මොනවා කිව්වත් කරත් ඒ සියල්ලම බැර වෙන්නේ ඇගේ ඩිමෙන්ෂියා ගිණුමට නේ?" කියලා සමන් කල්පනා කළා.
නෑනත් එල්ලි එල්ලී බලෙන්ම කෑම බෙදුවේ විජීට විතරක් බව සමන්ටත් පෙනුණා. රූපීට බෙදන්න එහෙම උනන්දුවක් නෑනට තිබ්බෙ නෑ. අතීතකාමයේ ප්‍රහර්ෂයෙන් මත් වී සිටි රූපිටත් නෑනාගේ හුරතලේවත්, ඊට උල්පන්දම් දෙන සැමියාවත් පෙනුණේ නෑ. ඇගේ නොගෑවී කෑම බෙදන්නට ඕනේ හැටියෙ හැකියාව තිබෙද්දී නෑනා විජිත ගේ පිටුපසින් හිටගෙන ඔහුගේ ඇඟට තෙරපෙමින් ඔහුට හොදි මාළුපිනි බෙදනු සමන් බලාගෙන හිටියා.
"බත් ඇති තැනටමයි ලු කොස්," ඔහු තමන්ටම කියා ගත්තේ මීට අවුරුදු දෙකකට විතර පෙර මිය පරලොව ගිය තමන්ගේ බිරිඳ ගැන හිතමින්.
අමුත්තන් කෑම වේල රස විඳින'යුරු දුටු නෑනාගේ සිතටත් සතුටක් දැනුණා. කටට දාන ඕනෑම යමක් ඔහේ ගිල දමන සැමියා ඇයට මතක්වුණා. තමන් මහන්සි වී පිළියෙල කරන කෑමේ රසයක් ඔහුට දැනෙනවා ද? එසේ නොමැති නම් කතාව පැටලෙන නිසා වෙනදා මෙන් ඒ බව ප්‍රකාශ කිරීමට නොහැකි ද? ඇගේ සිතේ බොහෝ විට කුකුසක් හට ගත්තා. උයා පිහාගත් දෙයක් තව කෙනෙක් රසවිඳිනු දැකීමත් මොන තරම් සතුටක් ද කියලා ඇය කල්පනා කළා. ඇයට දැනුණේ නිවාඩුවට ගෙදර එන දරුවන්ට කෑම පිළියෙල කළා වැනි හැඟීමක්.
"මගේ ෆෝන් එක කෝ?" බත් කන එක පැත්තකින් කියලා රූපි ඇහුවා.
"ඇයි ඔයාගේ බෑග් එකේ තියෙන්නේ," විජිත උත්තර දුන්නා.
"පුතා කතා කරයිද දන්නෑ. ඒකයි," රූපි හිනාවුණා. "මේ වෙලාවට පර්ත්වල වෙලාව කීයද?"
"පුතා කතා කළොත් ගන්න බැරියැ. දැන් කාලා ඉන්නකෝ."
කෑම පිඟානේ ඇති දේවල්වලට රූපිගේ අවධානය යොමු වුණේ ඊට පස්සෙද කොහෙද?
"මේ කොස් මාළුව හරි රහයි නංගි. හරියට අපේ අම්මා හදන ඒවා වගේමයි," ඇය සතුටින් පැවසුවා.
ඒ ගමන නෑනා රූපිටත් කොස් ටිකක් බෙදුවා.
"කොස් වැඩියම නොකෑවට කමක් නෑ. දියවැඩියාවට කොස් අගුණයි." විජිත කිව්වා.
"ඔය බොරු නංගි. මට දියවැඩියාව නෑ. මෙයා ඔහොමමයි. මෙයාගේ හිතේ මං ලෙඩෙක් කියලා. හැම තිස්සේම කෑමවල ගුණ අගුණයි, බෙහෙත් ගැනයි කියවනවා," රූපී සැමියාට නෝක්කාඩු කිව්වා.
කන ගමන් ඇය තමන් ළඟ තිබූ හිස් පුටුව දෙසත්, පිටුපස පැන්ට්‍රි කබඩ් තට්ටුව දෙසත් නැවත වරක් විමසිල්ලෙන් බැලුවේ මොනවා හරි හොයනවා වගේ.
විජිත ඇගේ සිතැඟි ඇඳුරුවත් ඔහුට සිතුණා ඇය නිරාවරණය කර තමන් කෙතරම් හොඳ සැමියෙක්දැයි අනෙත් දෙදෙනාට පෙන්වීමට.
"මොනවද හොයන්නේ?"
"මගේ ෆෝන් එක."
නෑනා විජිත දෙස බලමින් මඳ සිනාවක් පෑවා. ඒක නිකම් හරියට මට තේරෙනවා කියන්න වගේ.
"ඔන්න ඕක තමයි වැඩේ," විජිත පැහැදිලි කරන්නට පටන්ගත්තා.
නෑනත් ඔළුව වැනුවේ, "අනේ මට ඔයා ගැන හරි දුකයි අයියේ. ඔයා හරි පව්," කියන්නා වගේ.
මේ සේරම දිහා බලන් ඉන්න සමන්ගේ හිතට ආවේ හරිම කලකිරීමක්.
"ගෑනිගේ මිනිහ අරහෙ ඔත්පලේට වැටිලා ඉන්නවා නැගිටගන්න බෑ. මිනිහගේ ගෑනිට මෙලෝ සංසාරයක් මතක නෑ. මේ දෙන්නාට ම ඒ වගක් ගානකුත් නෑ!"
"අයියලාට මං උඩ කාමර දෙක ලෑස්ති කෙරුවා. ටිකක් විවේක ගන්න. අක්කාට පඩි නගින්න බැරි නිසා පල්ලෙහා කාමරේක ඉන්න බැරි යැ?" කෑම කාලා ඉවරවෙලා ගහේම ඉඳුනු ඇම්බුං කෙසෙල් ගෙඩියකුත් කාලා, සාලේ පුටුවකට බරවුණු විජිතට නෑනා උඩුමහලට යන්න ආරාධනා කළා.
* * *
"කෝ අක්කා?" විජිත ඇහුවේ රූපි පෙනෙන්න නැති නිසයි.
"අක්කට නම් අද හරි සතුටුයි. ආං, ගබඩා කාමරේ පරණ බඩු අදිනවා," නෑනා කිව්වා.
තාමත් කෙල්ල වගේ පඩිපෙළ නඟින නෑනා දිහා විජිත බැලුවෙ ආශාවෙන්.
සැමියාගේ වැඩයි, දරුවන්ගේ වැඩයි, ගෙදර දොර වැඩයි අනලස්ව ඉටු කරන ඇය ගැන විජිතට තිබුණේ පහන් හැඟුමක්. ආතරයිටිස් නිසා දුවල පැනල ඇවිදින්න බැරි, මතකයත් අවුල් වුණු, සුළු සුළු වැඩටත් තමන් මතම යැපෙන රූපිට කවදා හරි තමන් නැති කාලෙක මොනවා වේවිදැයි පඩිපෙළ නඟින අතරේ විජිත කල්පනා කළා. යොවුන් වියේ දුව පැන ඇවිදි කෙළිලොල් රූපිගේ මතක විජිත තුළ ඇති කළේ සොවක්.
"එයා කොයි තත්වෙකට වැටුණත් මම එයාව අත හරින්නේ නෑ. පණ තියෙනකම් මට පුළුවන් විදිහකට එයාව බලා ගන්නවා." විජිත තමන්ටම කියා ගත්තා.
"අයියා හාන්සි වෙන්න. මං අර දෙන්නව බලන්නම්," නෑනා පැවසුවේ කුඩා දරුවන් සදිසි වැඩිහිටියන් දෙදෙනෙකුගේ වගකීම අතට ගනිමින්.
පුංචි නින්දක් දාලා වෙහෙස නිවා ගත්තට පස්සේ හවස් යාමයේ රූපිගේ මහගෙදර උඩුමහලේ බැල්කනියේ අසුන්ගෙන ඈත ඇල්ල කන්ද දෙස බලාගෙන හිටියේ වියපත් වැඩිහිටි පිරිමි දෙදෙනෙකු විතරක්ම නෙමෙයි. ආත්මානුකම්පාව මිශ්‍ර හැඟුමන් සිතේ විසිරුණු තරුණයන් දෙදෙනෙක්. බිරිඳ මිය ගොස් තනිව ජීවත්වුණු සමන්, බිරිඳගේ මතක සමඟ අතරමංව සිටියා. එතරම් කැප කිරීමෙන්, ප්‍රහර්ෂයෙන් අත්පත් කරගත් සොඳුරිය කාලයාගේ ඇවෑමෙන් අත්විඳින මේ වෙනස්කම් කෙලෙසක දරා ගන්නදැයි විජිත කල්පනා කළා.
ඒත් ඒ දෙදෙනාටම වියපත් වුවත් කාන්තා ලාලිත්‍යයෙන් තවමත් අනුන නෑනාගේ දසුන අමන්දානන්දයක් වුණා.
තමන්ගේ බෑගයෙන් සිංගල් මෝල්ට් විස්කි බෝතලයයි, රෝස්ට් කරපු කජු පැකට්ටුවයි එළියට ගත් සමන්, රූපිගේ නෑනන්ඩිය ඇමතුවා.
"නංගී, අපට වීදුරු දෙකක් ගෙනත් දෙන්න."
"අදවත් ටිකක් අරන් බලපන්. නැත්නම් උඹ යම ලෝකෙට ගියාම යම රජ්ජුරුවෝ අහයි මෙච්චර කල් මොනවා කළා ද කියලා," සමන් සැහැල්ලුවෙන් කිව්වා.
මොහොතකට පෙර දිය නා, මුදා හළ කෙස් වැටියෙන් තවමත් දිය බිඳු බේරෙද්දී නෑනා උඩුමහලට ආවේ වීදුරු දෙකකුත් අරගෙන. අත තිබූ වීදුරු දෙක කුඩා කනප්පුව මත තබා නික්ම ගියා වූ නෑනා වෙතින් හමා ආ නැවුම් සුවඳ පිරිමි දෙදෙනාගේම සිත්වල පැරණි මතක යළි අවදි කළා.
අවට පරිසරයේ චමත්කාරයත්, අතට පයට හැම දේම ලැබෙන ආගන්තුක සත්කාරයත් එක්ක විජීගේ සිතත් මොකක්දෝ අපූරු මිහිරකින් පිරිලා තිබුණා. ඈතින් තැනින් තැන එක එක පත්තු වෙන විදුලි එළියි, කඳුවැටියයි දිහා බලාගෙන ඔහු හෙමින් කටහඬ අවදි කළා.
"රමණීය රමණයකට අපූරුම හැන්දැවක්."
"ඒක හරි," සමනුත් කොක්හඬ ලා සිනාසෙමින් මිතුරාගේ වදන් අනුමත කළා.
වැඩිහිටි පිරිමි දෙන්නාගේ සිතුවිලි ගැන හාංකවිසියක්වත් නොදත් රූපි මේ අතරේ ගබඩා කාමරයේ පරණ පෙට්ටගමකින් සොයාගත් ඇගේ පරණ රෙදි බෝනික්කාගේ දූවිලි පිහිදාන්නට පටන් ගත්තේ නිධානයක් ලද සතුටකින්.
ඔත්පළ සැමියාගේ ඇඟ පත සෝදා ඔහු ඇඳේ නිදිකරවා නෑනා ආපසු මුළුතැන්ගෙට ගියේ තමන්ගේ ආගන්තුකයින්ට රෑටත් රසවත් යමක් සාදා දෙන අදහසින්.
දිවි මගේ මේ පිරිස පසු කර ආ ඇතැම් සුවිශේෂි කඩ ඉම් දෑසින් දුටු ඇල්ල කන්ද, පුංචි පුංචි හේතු කාරණා ආනන්දයක් කරගත් වැඩිහිටි පිරිස දෙස උපේක්ෂාවෙන් බලා සිටියා.
- ඉන්දිකා තිලකුමාර
ithilakumara@yahoo.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.