
කොළොන්නාවේ අහස රන්වන් පාටින් එකලූ කරමින් අලූත් දවසකට හිරු පායද්දී අවදි වූ පූජනී නිදිගැට කඩා දෑස් පිසදමමින් අවට බැලූවා ය. නංගිලා තිදෙනා තමා අසල තවමත් නින්දේ පසුවන අතර කුඩා මලණුවන් ටකරන් වහලයේ එල්ලා ඇති රෙදි තොටිල්ලේ නින්දේ ය. කුකුල් කුඩූවකට සම වූ මෙම ලෑලි නිවසේ තම පවුලට අමතරව මවගේ නැඟණිය සහ ඇගේ දරුවන් ද වූහ. පුංචි අම්මාගේ වැඩිමහල් පුතු දේවේන්ද්‍ර වූ අතර ඔහුගේ බාල නැඟණිය තවමත් කුඩා අත දරුවෙකි. දේවේන්ද්‍ර පුංචිගේ පළමු සැමියාගේ පුතෙකු වූ අතර කුඩා දැරිය පූජනී ගේ පියාගේ දරුවෙකි. පූජනීලා ගේ සමාජය තුළ එකගෙයි පවුල් කෑම මෙන්ම අසම්මත පෙම් කතා ද බොහෝ ය.
මේ සමාජ වටපිටාවේ ජීවත් වන්නන්ට එවන් දේ අරුමයක් නෙවන බව සිතමින් පූජනී නැඟිට තමන් බිම නිදාගෙන සිටි රෙදි කඩමාල්ල හකුළා දමා ලෑලි දොර වෙත ගොස් එය හැර අවට බලන්නට වූවා ය. ගම්මානය පුරා ජීවත්වන වැසියන්ගේ එකිනෙකට ළංව කුඩාරම් මෙන් පැවති නිවෙස්වල අතරින් පතර දුමාරයක් පැතිර යනු ඇයට දක්නට ලැබුණි. උදෑසනම අවදි වන ගැහැනුන් මිනිසුන් බඩ ගින්දර නිවා ගන්නට රොටියක් පුළුස්සා ගෙන කඩිමුඩියේ කා සූදානම් වන්නේ තම රැකියා සඳහා පිටත් වීමට ය. ඇතැම් විට ඔවුන් උදෑසනට කෑමට ගන්නා එම රොටිය ඔවුන් දවසටම ගන්නා එකම ආහාර වේල වෙයි. මේ නිවාසවල වෙසෙන දුප්පත් ජනතාවගේ ජීවිත ගත වන්නේ එලෙස ය. සමහර ගෙවල් ලෑලි වලින් තනා තිබුණු අතර ඇතැම් බොහෝ නිවෙස්වලට බිත්ති වී ඇත්තේ තහඩු ය. වහලයට ඉටිරෙදි සහ තහඩු යොදා ගැනීම මේ වෙද්දී සුලබ වුවත් ඇතැම් නිවෙස්වල වහල සඳහා පොල් අතු ද යොදාගෙන තිබුණි.
මෙම නිවැසියන්ගෙන් වැඩි දෙනෙකු සිංහල ජාතිකයින් වූහ. අතරින් පතර දෙමළ පවුල් කිහිපයක් ද සිටියහ. බොහෝ විට එවැනි දෙමළ පවුල් ලෙස හඳුන්වන පිරිස් ජාති ආගම් සම්මිශ්‍රණයකින් සෑදුණකි. පූජනී ගේ පවුල ද එවන් සම්මිශ්‍රණයකි. ඇගේ අම්මා දෙමළ ගැහැනියක වූ අතර පියා සිංහල ජාතිකයෙකි. ඔවුන් කලක් යාපනයේ ජීවත් වූ අතර යුද කලබල නිසා මෙහි පදිංචියට පැමිණ ඇත. පූජනී ගේ දෙමව්පියෝ නූගතුන් බැවින් දන්න දා පටන් ලැබෙන කුමක් හෝ රැකියාවක් කිරීමට පුරුදු වී සිටිති. ඔවුන් ගත කරන දුක්ඛිත ජීවිත පිළිබඳ සිතද්දී මහත් අපුලක් දැනීම පූජනීට වළක්වා ගත නොහැකි ය. ඇය සිතාගෙන සිටින්නේ කවර කවමදාකවත් තමන් එවන් අගතියකට පත් නොවන්නට ය.
එහෙත් මෙම කුණු කාණු පල්ලේ ජීවත් වන ඇය වැනි එකියකට ඉන් එපිට ලොවක් දැකීම සිහිනයක් පමණකි. වඩා හොඳ ජීවිතයක් ගෙවීමට නම් හොඳින් ඉගෙන ගත යුතු ය. තවමත් දහතුන් වියේ පසුවන පූජනීට මීට වසර දෙකකට පමණ ඉහත දී පාසල් ගමන අකමැත්තෙන් වුවත් නතර කරන්නට වූවේ බාල සොහොයුරියන්ට ඒ අවස්ථාව ලබා දිය යුතු බැවින් මෙන්ම තුන් වේල ගැට ගසා ගන්නට නොහැකිව වෙහෙසෙන මව්පියන්ට සහනයක් වනු ද පිණිස ය.
"පූජනී උඹ මොකද ඔතැත ගල් ගෙඩියක් වගේ බලාන ඉන්නේ?" එහි පැමිණි මංජරී ඇසුවේ තම වැඩිමහල් දියණිය දෙස බලමිනි. හරිහමන් කෑමක් නොමැති බැවින් කෝටු කෑල්ලක් වැනි ඇඟපතකට හිමිකම් කීවත් රූප සොබාවෙන් අඩුවක් නොමැති දියණිය දෙස බැලූ ඕ සුසුමක් හෙළුවා ය. මීට මාස කිහිපයකට පෙර පූජනී කොටහළු වූවත් ඇගේ දෙකන් පෙති අදටත් පාළු ය. මංජරී ඒ ගැන සිය සැමියාට පැවසුවත් ඔහු එය කනකට නොගත්තේ ය. එහෙත් එයට සෝමදාසට දොස් පැවරිය නොහැකි බව මංජරී දනී. ඔහුගේ සිතේ ද දියණියට රත්තරනින් නැතත් තොරොම්බල් කරාඹු දෙකක් හෝ ගෙන දීමට ආශාවක් පවතින බව මංජරීට නොරහසකි.
"මුකුත් නැහැ අම්මා," පූජනී උත්තර බඳින ගමන් මව දෙස බැලුවා ය.
"අද නම් මට නංගිලා ඇහරෙනකම් ඉන්න බැරි වෙයි කෙල්ලේ, ඉස්කොලේ ලොකු මහත්තයා කතා කළා වැඩ වගයකට."
"අම්මා වැඩට යන්න මම නංගිලා දෙන්න කූද්දලා ඉස්කෝලේ යවන්නම්."
"පුංචිත් උදේම බංගලාවට ගියා," මංජරී කීවේ සන්තාපය මුසු හඬකිනි. පූජනීට එය ඇසුණ විට දොම්නසක් ඇතිවුණි. වෙනදාට පුංචි මෙතරම් පාන්දර බංගලාවට නොයන නිසා උදය වරුවේ පැය කිහිපයක් හෝ මල්ලීව පමණක් බලා කියා ගැනීමට ඇයට සිදුවන අතර අද උදෑසන පටන් අත දරුවන් දෙදෙනෙකු සමඟ මහත් යුද්ධයකට මුහුණ දීමට සිදුවන බව මතකයට නැගෙත්ම ඇගේ මුහුණ හැකිලී ගියේ නොදැනුවත්වම ය.
"දේවේන්ද්‍ර අයියා කෝ අම්මේ?"
"කොල්ලා මූණ කට හෝදගෙන එන්න ගියා මගෙ හිතේ," මංජරී කියද්දී සෝමදාස උගුර පාදමින් පැමිණියේ ය.
"උඹලා තවම මෙතැන ද?" ඔහු බිරිඳ දෙස බලමින් ඇසුවේ ය.
"පූජනියෝ අදත් මුකුත් උදේට කරන්න බැරිවුණා. දවල්ට බතක් උයලා ලූණු කෑල්ලක් එක්ක හරි පොඩි උන්ට දීපන්. එහෙම නම් මම යනවා."
මංජරී එළියට බැස වේගවත් පියවර තබමින් දිව ගියා ය. ඇය යන දෙස බලා සිටි පූජනී හිස හරවා පියා දෙස බලද්දීම මල්ලී හඬන්නට වූ අතර ඒ හඬට අවදි වූ අත දැරිය ද හඬන්නට වූවා ය. පූජනී මල්ලීව තොටිල්ලෙන් රැගෙන නළවාගන්නට උත්සාහ කරන ගමන්ම කුඩා දැරිය ද අනික් අතින් රැගෙන නළවන්නට වූවා ය. එබැවින් තාත්තා නිවසින් පිටවී යනු ඇය නොදුටුවා ය.
"ලොකු නංගි ඔයාලා ගිහින් මූණ කට හෝදගෙන ලෑස්ති වෙන්න ඉස්කොලේ යන්න."
"මටනම් බැහැ ඉස්කොලේ යන්න." ඇගේ දෙවෙනි නැඟණිය හඬන්නට වූවා ය.
"ඇයි ඉස්කොලේ යන්න බැරි?"
"අපිට ඉගෙන ගන්න බැරිනම් ගෙදර හිටපල්ලා කියලා ටීචර් කෑගහනවා අක්කේ," නංගි කී වදනින් පූජනී ගේ මුව මඳකට ගොලුව ගියේ ය.
"ගණන් පොත ඉවර වෙලා දවස් ගාණක් වෙනවා."
"පොතක් ගන්න විදියක් නැහැ," ලොකු නංගි ද එවර කන්කෙඳිරි ගාන්නට වූවා ය.
"ගණන් පොත ඉවර නම් උඹ කියන්න එපැයි ඇයි නොකිව්වේ."
"අම්මාට කිව්වා ඉතින්. අම්මා කියනවා පස්සේ අරන් දෙන්නම් කියලා."
පූජනීට උපතින් රැගෙන පැමිණි දිළිදු බව පිළිබඳ මහත් වේදනාවක් දැනෙන්නට වුණි. ඒ අසරණකමින් දෑස් කඳුළෙන් තෙත් වූවේ නිමේෂයකිනි. මේ වත්තේ ජීවිත ගත කරන දරුවන්ගෙන් වැඩි පිරිසක් පාසල් නොයති. වැඩිමනක් පිරිස පාසල් ගමන අතරමඟ නතර කරන්නේ දුප්පත්කම නිසාවෙනි. තමාට නොලැබුණු අධ්‍යාපනය දරුවන්ටවත් ලබා දිය යුතුයැයි සිතන්නට තරම් උගත්කමක් මෙහි වෙසෙන එකදු වැඩිහිටියෙකු තුළවත් නොවී ය.
අහම්බෙන් මෙන් ඉගෙනගෙන මේ අපාගත ජීවිතයෙන් මිදීමට සිතන දරුවන් කිහිප දෙනෙක්ද මේ අතර වූහ. පූජනී ද එම කාණ්ඩයට වැටුණත් ඇගේ ඉගෙනීමට ද දුප්පත් බව හරස් කැපුවේ ය. එහෙත් ඇය සිතුවේ තම බාල සහෝදර සහෝදරියන්ට කෙලෙස හෝ ඉගෙන ගැනීමට මග පාදා දිය යුතු බව ය. එහෙත් ඒ සඳහා මාර්ගයක් පූජනීට ද මෙතුවක් සොයා ගැනීමට හැකි වී නැත.
තමන්ට මෙන් ඉගෙනීමට හැකියාවක් නැඟණියන් දෙදෙනාට නොමැති බව ඇය හොඳින් දැන සිටි කරුණකි. නැඟණියන් හැම විටම බලන්නේ සෙල්ලමට යන්නට හෝ කුසගින්නට යමක් කෑමට සොයා ගැනීමට ය. එක අතකින් බලන විට ඔවුන්ගේ හැසිරීමේ වරදක් ද පූජනීට දැකිය නොහැකි ය. වේලක් කුස පුරවාගන්නට යමක් ලැබුණොත් වේල් ගණනක් කුස ගින්නේ සිටීමට සිදුවීම ඔවුන්ට සදාතන දහමක් වී ඇත්තේ ය. ලබා උපන් හැටියයි සිතා සිත සනසා ගැනීම හැර වෙනකක් කිරීමට ද ඔවුන්ට නොහැකි ය.

"අක්කේ, බඩගිනියෝ, මුකුත් කන්න නැතිදෝ?" පොඩි නංගි කෑගසන්නට වූ අතර මෙතෙක් වෙලා පූජනී සිටි කල්පනාවෙන් මිදී ඇය දෙස බැලූවා ය.
"අද කන්න මුකුත් නැහැ උඹලා තේ කහට ටිකක් බීලා ලෑස්ති වෙලා ඉස්කොලේ පලයන්. අඩු ගානේ ඉස්කොලේදී ඉන්ටවල් එකට බනිසක්වත් ලැබෙයි නේ." එය ඇසුණ පොඩි නංගි එහෙම්ම නැවතත් බිම පෙරළී කෑ ගසන්නට වූවා ය.
"උඹ කෑ ගහන්නේ මොකද ඔහොම? කියපන් බලන්න උඹේ අම්මා අප්පා මැරිලද ඔහොම ලතෝනි ගහන්නේ?" පූජනී කෝපයෙන් කෑගසුවා ය.
"උඹ ඉතින් කොයි වෙලෙත් ඉස්කොලේ පලයන් කියයි. ඉස්කොලේ ගිහින් ටීචර්ලාගෙන් බැණුම් අහන්න, ගුටි කන්න ඕන අපි නෙ."
"අනේ අම්මපා මේකිගේ කට නම් තරමට නෙමෙයි. ඉස්කොලේ යන්න බැරිනම් නිකන් හිටහන් මට කාරි නැහැ." අක්කාගේ වදන්වලින් තවත් ශෝකයටත් වේදනාවටත් පත් වූ සහෝදරියන් දෙදෙනා හැඬුම නවතා වැඩිමහල් සොහොයුරිය දෙස ද්වේෂ සහගත බැල්මක් හෙළන්නට වූහ.
පූජනී කුඩා කුස්සි කෑල්ල වෙත ගොස් කළ ගෙඩිය නවා වතුර ටිකක් කේතලය පුරවා ලිප මත තබා ලිපට ගිනි අවුළුවන්නට වූවා ය. ඒ ගමන් කුඩා ප්ලාස්ටික් බීම බෝතල් දෙකක් ගෙන වතුර පුරවා කුඩා උන් දෙදෙනාගේ මුවට ළං කළා ය. ඔවුන් දෙදෙනා ද කුසගින්නේ සිටි බැවින් මහත් අභිරුචියෙන් වතුර බොන්නට වූවේ මහඟු සම්පතක් ලද උන් පරිද්දෙනි.
- සශිකා නිරෝෂි මහලියනගේ
sashikamahaliyanage@gmail.com
නවකතාවේ දෙවෙනි පරිච්ඡේදය: ලබන සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.