
"සර්, මම රංවල දෙවියන් පිළිබඳ තොරතුරු සොයාගන්න පුස්තකාල කිහිපයකටම ගියා. ඒත් ඒ දෙවියන් ගැන ලියවුණු පොත් නම් කිසිවක් ම හමුවුණේ නැහැ. 'නැවතිලා' එක දිගටම හෙව්වට පස්සේ 'නවයුගය' සඟරාවේ පළවුණු එකම එක ලිපියක් විතරයි කියවන්න ලැබුණේ...," කණ්ඩායම් වැඩමුළුව මැදින් නැඟුණු නිලිනිගේ හඬෙහි වූයේ යම් පසුබෑමකි. රංවල දෙවියන් පිළිබඳ මූලාශ්‍ර තොරතුරු ලබාගැනීමට ඇති අසීරුතාව ඇය මුළු කණ්ඩායම ඉදිරියේම දිග හැරියාය.
නිලිනි පෙරේරා යනු කැලණිය මණ්ඩපයේ නාට්‍ය හා රංග කලාව හදාරන අවසාන වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. ඇගේ උපාධි නිබන්ධනය සඳහා ඇයට ලැබී තිබුණේ සුවිශේෂී වූත්, එහෙත් දුෂ්කර වූත් මාතෘකාවකි; ඒ, "කැලණි මිටියාවතේ රංවල දේව වන්දනාවේ වත්මන් තත්ත්වය විමසීම," යන්නයි. ඇය මහත් උනන්දුවකින් යුතුව පුස්තකාලවල රාක්ක පීරමින් දේව ඇදහිලි සහ ඒ හා බැඳුණු ජන විශ්වාසයන් ගැන ලියැවුණු පොත්පත් සෙව්වාය. එහෙත්, රංවල දෙවිඳුන්ගේ ඉතිහාසය හෝ ජනශ්‍රැති අඩංගු එකදු ශාස්ත්‍රීය ග්‍රන්ථයක්වත් සොයාගන්නට ඇයට නොහැකි විය.
ඇගේ පර්යේෂණ උපදේශකවරයා ඇය දෙස බලා සන්සුන්ව සිනාසුණේය. ඔහු ඇගේ මේ අසීරුතාව කලින්ම අපේක්ෂා කළාක් වැනිය.
"මූලාශ්‍ර තොරතුරු අඩුවීම කියන්නේ ඇත්තටම විද්‍යාර්ථියෙකුට ලැබෙන ලොකු අභියෝගයක්, ඒ වගේම හොඳ අවස්ථාවක් නිලිනි...," උපදේශකවරයා ඇයට ධෛර්යයක් දෙමින් පැවසීය.
"පොත්පත්වලින් සොයාගන්නා ද්විතීයික තොරතුරුවලට වඩා මේ වගේ පර්යේෂණයකදී වැදගත් වෙන්නේ ප්‍රස්තුතයට අදාළ මූලික තොරතුරු ක්ෂේත්‍රයෙන්ම සොයාගැනීමයි. ඒකට ඔයාට සිද්ධ වෙනවා ඒ ඒ ස්ථානවලටම ගිහින් 'ක්ෂේත්‍ර පරීක්ෂණ' කරන්න," ඔහු සිතියමක් මවා පෙන්වන්නාක් මෙන් දෑත් මෙහෙයවමින් විස්තර කරන්නට විය.
"නිලිනිට පුළුවන් කැලණි ගඟ මිටියාවතේ රංවල දේව ඇදහිල්ල තදින්ම පවතින ගම්මානවලට යන්න. එහේ ගිහින් ප්‍රදේශවාසීන්, කපු මහත්වරු වගේ සැබෑ සම්පත් දායකයින්ව හඳුනාගෙන, ඔවුන් එක්ක සම්මුඛ සාකච්ඡා පවත්වලා ඔයාගේම සටහන් එකතු කරගන්න. ද්විතීයික මූලාශ්‍ර පස්සේ විතරක් යන්නේ නැතුව, ක්ෂේත්‍රයට බැහැලා වැඩ කරන එකේ වටිනාකම තියෙන්නේ එතකොටයි," උපදේශකවරයාගේ එම මඟපෙන්වීම නිලිනිගේ සිතට අලුත් ආලෝකයක් ගෙන ආවේය. පුස්තකාලයේ පරණ පොත්පත් අතරින් යන්තමින් හෝ කියවන්නට ලැබුණු, රංවල දේව වන්දනාව තවමත් ජීවමානව පවතින ඒ කුඩා ගම්මාන කිහිපයක නම් ඇය ඒ වන විටත් තමාගේ සටහන් පොතේ ලියාගෙන තිබුණි.
දැන් ඇයට ඇත්තේ පොත් අතරින් මිදී, කැලණි නිම්නයේ ඒ ඉපැරණි ජනප්‍රවාද සැඟවුණු ගම්දොර කරා පියනැඟීම පමණකි.
"දංගොල්ල, හිඟුරල, වග, පහත්ගම, කළුඅග්ගල, නිකවල, කපුගොඩ, රග්ගහවත්ත... ඔය හැම ගමකම වගේ රංවල දෙවියන් වෙනුවෙන් කරවපු දේවාල, එහෙමත් නැත්නම් දේව ප්‍රතිමා පිහිටුවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔය ගම්වල තියෙන බෞද්ධ ගෙවල්වල පවා රංවල දෙවියන් වෙනුවෙන් දේව පහනක් පත්තු කරන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. පන්සල්වල වගේම පාරවල් දෙපැත්තෙත් පුහුල් පහන් පත්තු කරනවා ලු...," එදින රාත්‍රියේ නිලිනි තමන් පුස්තකාල පොත්පත්වලින් සටහන් කරගත් ඒ අපූර්ව තොරතුරු ටික දුරකථනයෙන් දිග හැරියේ ඇගේ ළඟම හිතවතා වූ සෙනරත් වෙතය. ඒ තොරතුරු පවසන ගමන්ම, මේ කියන නොදන්නා ගම්මාන කරා යන්නට තමා හා එක්වන ලෙස ඇය ඔහුට ආරාධනා කළාය.
දුරකථනයේ අනෙක් කෙළවරින් ඇසුණේ සෙනරත්ගේ විශ්වාසවන්ත හඬයි.
"නිලිනි, ඔය කියන රංවල දෙවියන් ගැන ඇත්තම තොරතුරු හොයන්න නම් අපිට කැලණි මිටියාවතේ තියෙන ගම් සහ නගර පුරාම සෑහෙන දුරක් ඇවිදින්න වෙයි. හැබැයි බය වෙන්න එපා, ඔය ඔයා කියපු ගම්වලින් බොහොමයකට මම මගේ බිස්නස් වැඩවලට, අපේ ගනුදෙනුකරුවන් හම්බවෙන්න ගිහින් තියෙනවා. මම නොගිය තැනක් තිබුණොත් අපිට 'ගූගල් මැප්' එකෙන් පාර හොයාගන්න පුළුවන්නේ. හැබැයි එන ලබන වීකෙන්ඩ් එකේ නම් මට කලින් දාගත්ත වැඩක් තියෙනවා. ඒ නිසා අපි ඊළඟ ඉරිදට ගමන ලෑස්ති කරගමු," නිලිනිට උදව් කිරීමට ඉදිරිපත් වූ සෙනරත් ජයවර්ධන, නුගේගොඩ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි. පෞද්ගලික මූල්‍ය ආයතනයක ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස සේවය කරන ඔහු, රැකියා කටයුතු නිසාම කැලණි මිටියාවතේ කෙළවරක ඇති දුර බැහැර ගම්මාන පවා හොඳින් හඳුනන, රටතොට ගැන මනා වැටහීමක් ඇති අයෙකි.
ඉරිදා හිරු උදාවී පැය කිහිපයක් ගතවිය. සෙනරත් තමාගේ යතුරුපැදියෙන් ඓතිහාසික කැලණි විහාරය අසලට ළඟා වන විටත්, නිලිනි ගමනට සූදානම් ව බස් නැවතුමේ රැඳී සිටියාය. ඇය හැඳ සිටියේ නිල් පැහැති ජීන්ස් කලිසමක් සහ සුදු පැහැති බ්ලවුස් එකකිනි. වෙනදා මෙන්ම ඇගේ අත්බෑගය වම් උරහිසේ එල්ලී තිබුණි.
"ගුඩ් මෝනින් නිලිනි! මම ගොඩක් පරක්කු වුණා ද?" සෙනරත් යතුරුපැදිය නතර කර සුහදශීලීව විමසුවේය.
"නැහැ... ටිකක් විතර!" නිලිනි මුවඟට නඟාගත් උපහාසාත්මක සිනහවකින් යුතුව කීවාය.
"ටිකක් විතර නම් කමක් නැහැ. වෙනදා වගේ ගොඩක් ප්‍රමාද නැහැනේ... එහෙනම් මෙන්න, හෙල්මට් එක දාගෙන බයික් එකට නඟින්න. අපිට අද සෑහෙන දුරක් යන්න තියෙනවා!" සෙනරත් ආරක්ෂිත හිස්වැසුම ඇය අතට දෙමින් පැවසුවේ, කැලණි නිම්නයේ සැඟවුණු ජනප්‍රවාද සොයා යන ඒ පර්යේෂණ චාරිකාවට ආරම්භ කරමිනි.

නිලිනි හිස්වැස්ම දමාගෙන මෝටර් සයිකලයේ පසුපස අසුනෙන් වාඩි වූවා පමණි. සෙනරත් සයිකලය සෙමින් ඉදිරියට ධාවනය කළේය. මඟ දෙපස සුපුරුදු රථවාහන තදබදය නොතිබූ බැවින්, වේගයෙන් ඉදිරියට ඇදෙන්නට ඔවුනට බාධාවක් නොවීය. බියගම පසුකර හංවැල්ල නගරයට ළඟාවන විට ගතවී තිබුණේ පැයකටත් අඩු කාලයකි. දීර්ඝ ගමනක විඩාව නිවාගනු වස්, නගරයේ කෙළවරක වූ කුඩා අවන්හලක් අසල සයිකලය නතර කළ ඔවුහු, එතැනින් උදෑසන ආහාරය ගත්හ.
"තව කිලෝමීටර් හතරයි යන්න තියෙන්නේ, රංවල ශ්‍රී මහා දේවාලයට. අපිට විනාඩි දහයකින් විතර එතනට යන්න පුළුවන්," අවන්හලෙන් පිටතට පැමිණි නිලිනි, තම ජංගම දුරකථනයේ දිගහැරුණු ගූගල් සිතියම දෙස දෑස් යොමුකරමින් පැවසුවාය. සෙනරත් මෝටර් සයිකලය පණගන්වනවාත් සමඟම ඇය සැහැල්ලුවෙන් එහි පසුපස අසුනට ගොඩවූවාය.
මෝටර්සයිකලය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට හැරවූ සෙනරත්, ඉන්පසු ධාවනය කළේ ගම්බද සිරිය රැගත් අතුරු පාරක් ඔස්සේය. මඟ දෙපස වූ කුඩා කඩසාප්පු, වනලැහැබ මෙන්ම සරුසාර ගොවිබිම් ද පසුකරමින් සයිකලය ඉදිරියටම ඇදුනි. 'රංවල ශ්‍රී මහා දේවාලය - රංවල, පූගොඩ' ලෙස සඳහන් නාමපුවරුව නෙත ගැටෙත්ම සෙනරත් සයිකලයේ වේගය බාල කළේය. අලංකාර වාහල්කඩින් දේවාල භූමියට ඇතුළු වූ ඔහු, රථගාලේ සයිකලය නතර කළේය.
දේවාලය පිහිටා තිබුණේ මනස්කාන්ත පරිසරයකය. මන්දගාමීව වංගුගසමින් ගලාබසින කැලණි ගඟ දේවාල භූමියට එක් කළේ අපූර්ව ශාන්තියකි. ගංදියට බැසීම සඳහා තනා තිබූ දිගු පියගැටපෙළ දුටු නිලිනි, එහි පඩියක් මත හිඳගත්තාය. සිහිල් මුදු සුළඟ දිය රැළි සිපගෙනවිත් ඇගේ මුහුණේ දැවටෙද්දී දැනුණේ අපූර්ව සුවයකි. ඇය වහාම තම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කර, ගඟේ සුන්දරත්වය වීඩියෝ පටයකට නඟා ගත්තාය.
ඇගේ පර්යේෂණයේ තේමාව 'කැලණි නිම්නයේ ජන ඇදහිලි' වුවද, ඇගේ සැබෑ කුතුහලය සහ උනන්දුව තිබුණේ වෙනත් තැනකය. ඒ, මීට සියවස් කිහිපයකට පෙර මේ නිම්නයේ සැරිසැරූ 'රංවල රාළ' නම් වූ ඒ අද්භූත, වීරෝදාර පුරුෂයා කෙරෙහිය.
එවෙලේ උඩුගං බලා පදවන ලද පාරුවක සිටි බැතිමතෙකු, දැඩි භක්තියෙන් යුතුව ගඟට පඬුරක් දමනු ඇය බලා සිටියාය. ඇය ඉදිරියේ නිහඬව ගලායන කැලණි නදිය ඇයට හුදෙක් ජල කඳක් පමණක් නොවීය. එය මීට වසර හාරසියයකට පෙර, උඩරටින් පලාඇවිත් මේ පසට මුසුවූ අභිමානවත් මිනිසෙකුගේ ජීවන සලකුණු සඟවාගත් නිහඬ සාක්ෂිකරුවකු වැනියැයි ඇයට සිතුණි.
ඇය පියගැටපෙළින් නැගිට සෙනරත් සමඟ නැවතත් දේවාල මළුව දෙසට පියනැඟුවාය. දේවාලයට ඇතුළු වන ද්වාරය අසල මල්, පහන් සහ පූජා වට්ටි අලෙවි කරන කුඩා වෙළඳ සැල් පෙළක් විය. ඔවුන් ඇතුළු වන විටත් දේවාල භූමියේ විශාල බැතිමතුන් පිරිසක් රැස්ව සිටියහ.
සුදු පැහැති වේට්ටියක් හැඳ, ඉණෙහි රතු රෙදිකඩක් බැඳගත් කපු මහතා දැඩි ආවේශයකින් යුතුව රංවල දෙවියන්ගේ 'මල් යහන් කවි' ගායනා කරමින් සිටියේය. දේවාල ගර්භයෙන් නික්මුණු, දැවෙන හඳුන්කූරුවල සහ පොල්තෙල් පහන්වල සුගන්ධය මුළු පරිසරයම වෙලාගෙන තිබුණි. ඒ සුවඳ සහ අවට වූ පරිසරය බැතිමතුන්ගේ සිත් තුළ කිව නොහැකි ගුප්ත, ආත්මීය හැඟීමක් ජනිත කරවන්නට සමත් විය.
නිලිනි තම ස්මාර්ට් ජංගම දුරකථනය සුරතට ගෙන, කපුරාළගේ ඒ ගැඹුරු කවි ගායනාව ඉතා සුපරික්ෂාකාරීව පටිගත කරගත්තාය. ඇයට දැනුණේ ඒ ස්වරය තුළ ඇය සෙවූ අතීතයේ රහස් සැඟව තිබෙන්නාක් මෙනි.
ගතට සුදු සළු පලඳමින් මුණ්ඩාසනය සිරසේ දරා
සුරත සැරයටි දරන සුරිදූ දෑලෙ දෙනමක් පිරිවරා
නෙතට දිව ඔබෙ පෙනෙන විලසට මෙලෙස පවසමි නම් තරා
තෙදැති රංවල දෙවිඳු මෙ ආතුර රකිනු මැන දොස දුරුකරා
බාරවෙලා මල් අස්නක් මේ දෙවිඳුට ඔප්පු දෙන්න
නෑරම එන යක්ෂ පිසස් බය දුරුකරවා හරින්න
නෑරම එන බූත පිසස් ඔල්මාද ද දුරු දමන්න
තෝරා මල් පිදු යහනට රංවල දෙවි වැඩමවන්න
මල් යහන් කවි ගායනයෙන් පසු කපුමහතා හක්ගෙඩිය පිඹ, සීනුව ද නාදකර මොනර පිල් අවාන අතට ගත්තේ ය. ඔහු දේව ප්‍රතිමාව ඉදිරියේ සිටගෙන ස්තෝත්‍රයක් ගායනා කරනු දක්නට ලැබිණ. නිලිනි එය ද පටිගත කරගත්තාය.
සාදූ! සාදූ!! සාදූ!!!
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස///
මම සිරස මුනීන්ද්‍රම්
බුද්ධරාජාව ක්‍රේටන්
මම තිලක ලලාටේ
ධර්මරාජං නිරෝධං
නිලිනි දේවාල භූමිය පුරා සෙමින් ඇවිද යමින්, එහි සිදුවන විවිධ පූජා වත්පිළිවෙත් දෙස දැඩි අවධානයකින් යුතුව බලා සිටියාය. සැදැහැවත් බැතිමත්හු සුවඳැති මල් වට්ටි සහ විසිතුරු පලතුරු වට්ටි දෝතින් ගෙන, භක්තිමත් ලීලාවෙන් දේවාල මළුව පුරා එහා මෙහා යනු ඇයට පෙනුණි. ඒ අතරතුර ඇගේ නෙත ගැටුණේ සුවිශේෂී දසුනකි. දේවාලයේ ආවතේව කටයුතුවල නිරත වන බවක් පෙනෙන, වයසක තැනැත්තෙකු එහි වූ ඇවරි කණුවක් මත තැබූ කෙසෙල් කොළයක් මත වූ අන්න පූජාවක් දෙවියන් උදෙසා තැන්පත් කරමින් සිටියේය. ඔහු තම කාර්යය අවසන් කරන තෙක් ඉවසිලිවන්තව බලා සිටි නිලිනි, ඉන්පසු සෙමින් ඔහු වෙත ළඟා වූවාය.
"මාමේ... මං විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න ළමයෙක්. අපිට මේ රංවල දෙවියන් වෙනුවෙන් කරන පූජා සහ වත්පිළිවෙත් ගැන ටිකක් දැනගන්න පුළුවන්ද?" ඇය ඉතා ගෞරවයෙන් හා හිතවත්කමෙන් යුතුව ආවතේවකරුගෙන් විමසුවාය. ඔහු මොහොතක් නිලිනි දෙස බලා හිතකර සිනහවක් පෑවේය.
"මේ වෙලාවේ නම් හැමෝම කලබලෙන්, ඒ හින්දා ටිකක් කරදරයි නෝනා... පූජා කටයුතු ඔක්කොම ඉවර වුණාට පස්සේ නම් මට පුළුවන් දේව පූජා සිද්ධවෙන හැටි ගැන විස්තර කියන්න. හැබැයි, ඔය නෝනාට රංවල දෙවියන්ගේ ඇත්තම විස්තරේ දැනගන්න ඕනෙ නම්, අපේ පන්සලේ පොඩි හාමුදුරුවන්ව හම්බවුණොත් තමා හොඳ," ඔහු හඬ බාල කර රහසක් පවසන්නාක් මෙන් කීවේය.
"උන්වහන්සේත් විශ්වවිද්‍යාලයේ තමයි ඉගෙනගන්න යන්නේ. අද මං දැක්කා උන්වහන්සේ පන්සලේ ඉන්නවා. ගිහින් හම්බවෙලා බලන්න."
ආවතේවකරු දුන් ඉඟියෙන් නිලිනිගේ සිත තුළ අලුත් බලාපොරොත්තුවක් දැල්වුනි. ඇය වහාම සෙනරත් සමඟ දේවාලයට යාබදව පිහිටි විහාරස්ථානයේ ආවාස ගෙය දෙසට පියනැඟුවාය.
- පියතිලක හල්පෙ
thisaraherath742@gmail.com
දෙවෙනි කොටස: ලබන ඉරිදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.