
ෆෝන් එක වෙව්ල වෙව්ලා හඬ තලන්නට වූ නිසා අසිහියෙන් වගේ කොට්ටය යටට අත යැවූ කල්ප එය නිහඬ කළා. නැවත නිදාගන්නට සැරසුනත් යළිත් වරක් ෆෝන් එක නාදවුණා. ඔහේ වැදෙන්න ඇරපු කල්ප පොරවන රෙද්ද අරගෙන ඔළුවේ ඉඳන් පොරවගත්තා. ඒත් ටික වෙලාවකින් කල්පනා වුණා මේ වදින්නේ එලාම් එක වග. වහා නැගිට ඇඳ උඩ වාඩිවුණු කල්ප වෙලාව බැලුවේ වැඩට යන්න පරක්කු ද බලන්නයි. ඒ එක්කම ෆෝන් එක තුන්වෙනි වරටත් නාදවුණා. ඒනම් එලාම් එක නොවෙන බව කල්පට තේරුණා.
තිරයට එබී බලද්දී හොඳට හුරු අංකයක්. වසරකට වඩා වැඩි කාලයක් ගොලුව සිටි අංකයක්. කොළ පාට බොත්තම ඔබලා කල්ප ෆෝන් එක කනේ තියාගත්තා.
"කල්ප, ඔයා තවම නිදි ද? දැන් නවයත් පහුවෙලා."
කල්පගේ හදවත නැවතුණා වගේ දැනුණා. නිර්මාණි කතාකරන්නේ ඊයේ කතාකරලා නවත්තපු තැනින් අද පටන්ගත්තා වගෙයි. ඒ හඬ තවමත් එහෙම ම යි. හිත ගාව ඉඳගෙන කතාකරනවා වගෙයි.
"නෑ, නෑ, මම නැගිටලයි හිටියේ. වැඩට යන්න හදනවා."
"ඔයා අද උදෙන්ම බිව්ව ද? අද මොන වැඩ ද ළමයෝ. අද ඉරිදා."
එහා පැත්තෙන් ඇහුණේ හදවත අවුලන නිර්මාණිගේ ඒ පුරුදු හිනා හඬ. කල්පට ඇතිවුණේ ලැජ්ජාවක්. ඒ නිසා තවත් ඒ ගැන කතාකරන්න ගියේ නැහැ.
"ඒක නෙවෙයි. මම අද ඔය පැත්තේ එනවා. ඔෆීස් එකේ පාටියක් තියෙනවා ඔය පැත්තේ හොටේල් එකක. ඒක ඉවරවුණු ගමන්ම ඔයා බලන්න එනවා."
"හා," කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් ඒ කලබලයට කල්පට හිතාගන්න බැරිවුණා.
නිර්මාණි ෆෝන් එක තිබ්බා.
කුඩා හතරැස් කාමරය මැද හිටගෙන කල්ප වටේට ම ඇහැ යැව්වා. කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැහැ. එකම අවුල් ජාලයක්!
බිත්තියේ මුල්ලක හේත්තු කරලා තියෙන කොස්ස අතට ගත්ත කල්ප මුලින්ම කළේ කළු පාටට වියනක් බැඳලා වගේ තියෙන මකූළු දැල් කඩන එක. කලබල වුණු මකුළුවෝ කොස්ස ඉදිරියේ පසුබැස ආරක්ෂිත ස්ථාන හොයාගෙන ගියා. අද රෑ ඉඳලම නැවත වැඩ පටන්ගන්න පුළුවන් කියන අදහසක් කල්ප ගැන හොඳින් දන්නා මකුළුවන්ටත් තියනවා ඇති.
මේසය ගසලා තැන තැන දාලා තියෙන පොත් ටික පිහදාලා පිළිවෙළකට තිබ්බා. කාලෙකින් පත්තරේකටවත් කවියක් නොලියපු බව කල්පට සිහිවුණා. දැන් ඉස්සර වගේ කවි සිතුවිලි පහළවෙන්නේ නැහැ. වෙන කෙනෙකුගේ කවියක් කියවන්න හිතෙන්නෙත් නැහැ. ෆේස්බුක් ගියපු කාලයක් මතකත් නැහැ. තමන් සමගම තනිවෙනවා මිසක මිතුරු සමාගමක් අතරට යන්න හිතෙන්නෙත් නැහැ. නිර්මාණිත් එක්කම කල්පගේ නිර්මාණත් අවතැන්වෙලා. කිසිම දෙයක ගොනුවක් නැහැ.
කල්පට එක පාරටම කිඹුහුම් දෙක තුනක් ගියා.
"නිර්මාණි ද? අම්ම ද?" කල්ප කල්පනා කළා.
"අම්මා වෙන්න ඇති!" මාස හත අටකින් ගමේ නොගියත් "පුතේ, කෑව ද? වැඩට ගියා ද? ළඟදි මේ පැත්තේ එනවා ද?" හැමදාමත් මේ වෙලාවට මේ ප්‍රශ්න ටික මේ විදියටම අහන්නේ අම්මා. ඒත් අද වන්දනාවක යන බව ඊයේ අම්මා කියපු බව කල්පට කල්පනා වුණා. ඒ නිසා ඒ ප්‍රශ්න ටික අම්මා හිතෙන් හිතනවා ඇති.
"ලබන සතියේවත් අම්මව බලන්න යන්න ඕන," කල්ප තමන්ටම කියාගත්තා.
නිර්මාණිට පේන්නම බැරි දේ තමයි සිගරට් බොන එක. කල්ප කාලයක්ම සිගරට් බොන එක නවත්වලා හිටියා. ඒ නිර්මාණිගේ ආදරණීය තරවටු නිසා. ඒත් මොන මිනිහට ද මේ මළ පාළුව ඉවසන්න පුළුවන්. නැවතත් ටිකෙන් ටික කල්ප සිගරට්වලට ඇබ්බැහි වුණා. ඇත්තටම ඒ නරක පුරුද්ද කල්පගේ සාක්කුවටත් තදින්ම දැනුණා. කලිසමක්, කමිසයක් ගත්ත කාලයක් මතක නැහැ. නිර්මාණි ඇවිත් කිව්වත් දැන්නම් සිගරට් බීම නවත්වනවා බොරු. ඒත් කොස්සට එකතුවෙන සිගරට් කොට දැකලා කල්පගේ ඇඟ හිරිවැටුණා. තමන් වගේ ම සල්ලි දීලා හදවත පුච්චගන්න මිනිස්සු තව කොච්චර නම් ඇද්ද කියලා කල්පට මතක්වුණා.
"ඒ ඔක්කොම මං වගේම හදවත මැරුණු මිනිස්සු වෙන්න ඇති. දැන් තියෙන්නේ ආදාහනය කරන එක විතරයි." කල්පට හිනාවක් ගියා.
මකුළු දැල් කඩලා, ගසලා, අතුගෑවාට පස්සේ තව ප්‍රශ්නයක්. "කාලේ බෝතල් ටිකට මොකද කරන්නේ?"
කල්ප බොන්න ඒතරම් කැමැත්තක් තිබුණු කෙනෙක් නෙවෙයි. පාටියකට ගියොත් පොඩ්ඩක් බිව්වට පුරුද්දට බොන කෙනෙක් නෙවෙයි. ඒත් ළඟදි ඉඳලා කාලක්වත් බිව්වේ නැත්නම් රෑට නින්ද යන්නේ නැහැ. බාර් ගානේ, හෝටල් ගානේ ගිහින් බොන්න හිතුනෙත් නැහැ. කාමරේටම ගෙනල්ලා කන්න ඉස්සරවෙලා කාලක් හිස්කලා තනියම. කොළයක නොලිව්වට කවි සිතුවිලි පහලවෙනවා ඒ වෙලාවට. අහස දිහා බලාගෙන තරු අතර කවි ලියවෙනවා. සමහර දවසට එහෙමම නින්ද යනවා. අතවත් නොතියපු කෑම එක දකින්නේ පහුවදා උදේට.
ලොකු ෂොපින් බෑග් එකක් හොයාගත්ත කල්ප කාලේ බෝතල් ටික ඒකට දාලා කට ගැටගහලා ඇඳ යටට මුල්ලකට තල්ලු කළා. "පස්සේ බෝතල් කාරයාට දෙනවා."
තැන තැන දාලා තිබුණු කිලුටු ඇඳුම් ටික බාල්දියට ඔබලා පෙඟෙන්න කරාමය ළඟින් තියලා ආවා. කාමරය මැද හිටගෙන නැවතත් කාමරය පුරා ඇහැ යවපු කල්ප සෑහීමට පත්වුණා.
"ඔය මදැයි. අනික මීට ඉස්සර එයා නාපු තැනක් ද?"
තුවායයි, සබන් පෙට්ටියයි අරගෙන එළියේ නාන කෑල්ලට ගිය කල්ප රෙදි ටික හෝදලා වැලට දාලා හිතේ හැටියට නාගත්තා. ඇඟේ කෙඩෙත්තුවයි, හිතේ කෙඩෙත්තුවයි දෙකම වතුරත් එක්කම හේදිලා ගියා.
"පුසුඹේ බෑ," නාලා කොට කලිසමත් ඇඳගෙන එනකොට පිටිපස්සේ මිදුලෙ දි හම්බවුණු බෝඩිමේ අක්කා කිව්වේ තාලෙට.
ළඟදී ඉඳලා එයා අමුතු පොටකට එන බව කල්පට දැනිලයි තිබුණේ. කල්ප ගාණකට ගන්නේ නැතිව කාමරයට ආවා. අනිත් බෝඩින් කාමර තවමත් වහලා. සමහරු ගමේ යන්න ඇති. සමහරු තවම නිදි ඇති. ඊයේ රෑටත් නොකාපු බව සිහිවුණේ නෑවට පස්සේ බඩ දනවා වගේ දැනුණාමයි.
"දැන් ඉතින් දවල්ටම කනවා," කල්ප කොට කලිසමට උඩින් කමිසයක් දාගත්තේ හංදියේ වයලට් නැන්දාගේ කඩයට යන්න.
"නිර්මාණි ආවහම මොනවාද දෙන්නේ?" තවත් ප්‍රශ්නයක්.
කල්ප වයලට්ගේ කඩයට එනකොට කවුරුවත් හිටියේ නැහැ. ඉරිදා නිසා වෙන්න ඇති. ඒත් බත් පාර්සල් නම් ඉවර වෙන්න ගිහින්. වයලට් නැන්දා කල්පට එකක් අරගෙන තියලා තිබුණා. ෂෝකේස් එකේ ගන්න තරම් දෙයක් තිබුණෙත් නැහැ. හැලප දෙකකුයි, වැලි තලප කෑලි දෙකකුයි ගත්ත කල්ප ඇඹුල් ඇවරියකුත් ගත්තා. මේවත් එක්ක හොඳ ඉඟුරු ප්ලේන් ටී එකක් කියලා හිතුණත් තේ දාගෙන යන්න එකක් තිබුණේ නැහැ. ඒ නිසා බීම බෝතලයකින් සෑහෙන්න සිද්ධවුණා.
ආපහු එනකොට හම්බවුණු වඩේ කරත්තෙන් කඩදාසි උරයක් පිරෙන්න වඩේ ගත්තේ නිර්මාණි වඩේ කන්න ආස නිසයි. ඉස්සර වඩේ ගොට්ටක් කකා පාළු පාරවල්වල නිර්මාණිත් එක්ක ඇවිදපු හැන්දෑ වරු මතක් වුණා. ඒ වෙලාවට අහස මොන තරම් ලස්සන ද? රාස්සිගෙ අව්ව වැටුණහම තඹ පාට කරපු නිර්මාණි ගේ කොණ්ඩය රත්තරන් පාටින් බැබළුණු හැටි කල්පට මතකයි.
කල්පට නිර්මාණි හම්බවුණේ කල්පගේ චිත්‍ර ප්‍රදර්ශනයක දී. කල්ප වැඩියෙන්ම ආස සිතුවමක් ළඟ භාවනායෝගීව ඉන්න ලස්සන ගෑනු ළමයා දැකලා කල්පමයි කතා කළේ. ඒ කතාව අවුරුදු දෙක තුනක් දුර ඇදී ගියා. නිර්මාණි හිටියේ බැංකුවක ලොකු පුටුවක. කල්ප වැඩකළේ පත්තර කන්තෝරුවක. පත්තරෙයි, බැංකුවයි මුළ ඉඳලම පෑහුණේ නෑ තමයි. ඒත් සතුටින් හිටපු වෙලාවල් නැතුවම නෙවෙයි.
නිර්මාණි කිව්වේ වෙන රස්සාවක් හොයාගන්න කියලා. ඒත් කලා උපාධියකට කියන තරම් ලේසියෙන් රස්සාවල් හොයන්න බැහැ. ඒ නැතත් වෙන රස්සාවකට යන්න කල්පට හිතදුන්නෙත් නැහැ. පත්තර රස්සාවට මොකක්දෝ නොදන්න ඇලීමක්, බැඳීමක් කල්පගේ තිබුණා. අන්තිමට කියලා කියලම නිර්මාණිට එපා වුණා. විකල්පයක් හොයාගත්තා.
නිර්මාණිට ඉස්සර වගේ ආවාට ගියාට සංග්‍රහ කරන්න බැහැ කියලා කල්පට හිතුණා. ඉස්සර නිර්මාණි ගේන දෙයක් දෙන්නා එක්ක බෙදාගෙන කෑවා මිසක නිර්මාණිට දෙන්න කියලා දෙයක් කවදාවත්ම කල්ප ගෙනත් තියාගෙන ඉඳලා නැහැ. අකමැත්තෙන් වුණත් ට්‍රේ එකකුයි, වීදුරුවයි බෝඩිමේ අක්කාගෙන් ඉල්ලගෙන ආවා.
"මොකෝ, මනමාලියෙක්වත් එනව ද?" බෝඩිමේ අක්කා ඇහුවේ ඔලොක්කුවට වගෙයි. කල්ප ඒවාට උත්තර දෙන්න ගියේ නැහැ. ගෙනාපු බත් එක කාලා පොඩ්ඩක් ඇලවුණා. එහෙම ම නින්ද ගිහින් ඇහැරෙනකොට තුනයි. මූණ හෝදගෙන හෝදපු ෂර්ට් එකක් ඇඳගත්තා. ඇඳගත්තාට පස්සෙයි මතක් වුණේ ඒ ෂර්ට් එකත් නිර්මාණි ගෙනත් දුන්නු එකක් විත්තිය.
නිර්මාණි එනකොට හතරට විතර ඇති. එයා ආවේ ඊයෙත් ඇවිත් ගියා වගේ ගතියකින්. ඇඳගෙන හිටපු රෝස පාට සාරියට මූණත් එක්කම රෝස පාට වෙලා. ඉස්සර වගේම දැනෙන නොදැනෙන ගානට කල්පගේ කම්මුලට ඉක්මන් හාද්දක් දුන්න නිර්මාණි කාමරයේ තියෙන එකම පුටුවේ ඉඳගත්තා. මුළු කාමරයම මොකක්දෝ සතුටු හැඟීමකින් පිරිලා යනවා වගේ කල්පට දැනුණා.
දෙන්නා කතා කළා. කල්ප අලුතින් ඇඳපු සිතුවම් ගැන, පත්තර කන්තෝරුව ගැන, කාලගුණය ගැන, දේශපාලනය ගැන. ඒත් හිතාමතාම සමහර මාතෘකා අමතක කළා. කතාකරන අතරේ කල්ප බලාගෙන හිටියේ නිර්මාණි දිහා. නිර්මාණි සුදු වෙලා. ටිකක් මහත්වෙලා. එදාට වැඩිය ලස්සනත් වෙලා. හරියට අමුත්තියක් වගෙයි. ඉස්සර වගේ ඒ රෝස පාට කම්මුලක් ඉඹින්න කල්පට ඕනෑවුණා. ඒත් වම් අතේ ඇඟිල්ලක දාගෙන ඉන්න හීන් පටි මුද්ද දැක්කම ඒ වුවමනාව නැතිව ගියා.
ඇඳිරි වැටීගෙන ආවා. නිර්මාණි යන්න නැගිට්ටා. ආයෙ එනව ද අහන්න හිතුණත් ඇහුවේ නැහැ. සියුම් රිදුමක් ඇතිවෙලා නැතිවෙලා ගියා.
"ආයෙ නාවත් කමක් නැහැ," නිර්මාණිගේ කාර් එක නොපෙනී යනතුරු බලා ඉඳපු කල්ප අඳුරට මිමිනුවා.
- ෂර්මිලා බංදුනී දංවත්ත
sharmiladanwatte@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.