
පාසල් බස් රථය නිවස ඉදිරිපිට නතර වූ වහාම රථයෙන් බැස ගත් මිනිබිරිය නිවසට ඇතුළු වූයේ නොක්කඩුවක් කියාගෙන ය.
"අම්මේ මගේ සපත්තු දෙකේ ගාංචු දෙකම ගැලවුනා...," යැයි ඇය පැවසුවේ කඳුළු පිරි දෙනෙතින් යුතුව ය.
"ඕකට අඬන්න දෙයක් යැ, තාත්තා ආවම මම සපත්තු දෙක හදලා දෙන්නම්, නැතිනම් අළුත් දෙකක් අරගෙන දෙන්නම්."
"සපත්තු අලුතෙන් ගන්න ඕනෑ නැහැ, ඔය ගාංචු මහන්න පුළුවන්," මම කිවෙමි.
"තාත්තේ එහෙනම් හන්දිය පැත්තට යන වේලාවක දුවගේ සපත්තු දෙක මහලා ගෙනත් දෙන්න," යැයි දුව කීවා ය.
* * *
රැකියාව ලැබුණ දින සිට වසර ගණනාවක් ගමෙන් පිට වී සිටීම නිසා, ළඟම නෑයින් හැර ගමේ මිනිසුන් සමඟ ඇසුරු කිරීමට කාල වේලාවක් නොවීය. නන්නාඳුනන පිටස්තරයෙකු ලෙස ජීවත්වීමට සිදුවීම ගැන මගේ සිතට දැනුණේ මහත් කනගාටුවකි.
රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නැවත මහගෙදර ජීවත් වෙන්න හැකිවීම සතුටක් වූ නමුත් බිරිඳගේ වියෝවෙන් පසුව ඒ සතුට ද පෑළදොරෙන් පලා ගියේය.
බිරිඳගේ වියෝවෙන් පසු දුවගේ පවුල නැවත මහගෙදරට පැමිණීම, මට මහත් සැනසිල්ලක් විය. මිනිබිරිය පාසලට ද දුව හා ඇගේ සැමියා ද රැකියාවට ද ගිය පසු නිවසේ ඉතිරිවන්නේ මා පමණි. කළයුතු වැඩක් නොමැති විට මා කාලය ගත කළේ පොත්පත් කියවමිනි.
නිවසේ තනියෙන් සිටීමට වඩා දිනකට කිලෝමීටරයක් දෙකක් පමණ ඇවිදින්නට යෑම හොඳයැයි මට සිතුණි. එවිට ගමේ පැරණි මිතුරන් හා අසල්වැසියන් හමුවෙන අතර ඔවුන් හා කථා බහ කිරීමට ලැබීම සතුට දනවන්නකි.
* * *
පසුදින සෙනසුරාදාවකි. මම මිණිබිරියගේ සපත්තු කුට්ටම රැගෙන හන්දියට ගියෙමි. දෙමළ ජාතික සපත්තු අලුත්වැඩියාකරන්නෙකු රවුම් කඩේ අසල සිටිනා බව මට ආරංචි වී තිබුණි. දුම්රියපොළට යන පාරටත්, ප්‍රධාන පාරටත් මුහුණලා පිහිටි නිසා එම කඩය, "රවුම් කඩේ" ලෙස හැඳින්විණි.
දැඩි හිරු රශ්මිය ද නොතකා, රවුම් කඩේ අසලට යන විට සපත්තු අලුත්වැඩියාකරන්නා එහි සිටින බව මට දුරතියා පෙනුණි. ඔහු කුඩයක් දිග හැර හිටවන ලද ලීයක එය ගැට ගසා, කුඩය යටට වී සිටියේ දැඩි හිරු රශ්මියෙන් බේරීමට ය.
පත්තර පිටුවක දවටා ගෙන ආ සපත්තු කුට්ටම ඔහු වෙත දිගුකරමින්, "මේ සපත්තු දෙකේ ගාංචු ගැලවිලා. ඒවා හදලා දෙන්න," යයි මම කීවෙමි. ඔහු ගාස්තුව ලෙස කොපමණ මුදලක් අය කරන්නේ දැයි මම නොඇසුවෙමි.
ඔහු මසමින් සිටි සපත්තුව පැත්තකින් තබා මා දෙස බැලුවේ ඇඟිලි දෙක මුව මත තබා බුලත් කෙළ පාරක් කාණුවට විදීමෙන් පසුව ය.
ඉනික්බිත් ඔහු අසල තිබූ වතුර බෝතලයෙන් උගුරක් බී, මා දුන් සපත්තු දෙක මැසීමට පටන් ගත්තේ ය. මම පසෙකට වී ඔහු දෙස බලා සිටියෙමි.
මා කුඩා කල ඉගෙනුම ලැබුවේ රජයේ පාසලකට ය. ඇතැමුන් එය පිරිමි ඉස්කෝලේ ලෙස ද හැඳින්වූහ. එහි ඉගෙනගත් සිසුන් වැඩි පිරිසක් සිංහල ළමයින් වූ අතර දෙමළ ළමයින් කිහිප දෙනෙක් ද සිටියහ.
පාසල අවසන් වූ විට ළමයි කැටුව යාමට දෙමව්පියෝ ගේට්ටුව අසල රැඳී සිටියහ. ඒ අය සිංහල ළමයින්ගේ දෙමව්පියන් වූහ. කිසි දිනක දෙමළ ජාතික ළමයින්ගේ දෙමව්පියන් කිසිවෙකු තම දරුවන් කැටුව යාමට පාසල අසලට පැමිණ සිටි බවක් මට මතක නැත.
දුම්රිය පොළ පාරේ මගේ තාත්තාට අයිති දෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ තාත්තාගේ සිල්ලර කඩය තිබිණි. දෙමව්පියන් සමඟ මා වාසය කළේ ඉහළ මහලේ ය. කඩය පිටුපස නගර සභාවට අයිති නිවාස පෙළක, නගර සභාවේ සේවය කරන සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් පදිංචි වී සිටියහ. දිනපතා වැඩ අවසන් කර පැමිණි ඔවුන් මත්පැන් පානය කර කෑකෝගැසීමත්, අඬදබරකිරීමත් නිසා ප්‍රදේශවාසීහූ ඔවුන් කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවූහ.
එම කම්කරු පිරිසේ දරුවෝ ද රජයේ පිරිමි පාසලේ ඉගෙන ගත්හ. මා සමඟ ඉගෙන ගත් කරුපයියා, මාඩසාමි, සහ පලනි යන නම් තවමත් මගේ මතකයේ පවති.
තාත්තා මා රජයේ පිරිමි පාසලෙන් අස් කර නගරයේ වෙනත් පාසලකට යැව්වේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ය.
නගරයේ උසස් පාසලේ ඉගෙන ගැනීමට ලැබීම මගේ සිතට මහත් ආඩම්බරයක් ගෙන දුන්නේය. කලින් පාසලේ ළමුන් මෙන් නොව මේ පාසලේ සිසුන් සියලු දෙනාම පාසලට පැමිණියේ නියමිත පරිදි කලිසම් කමිස ඇඳ, සපත්තු හා මේස් පැළඳගෙන ය.
නගරයේ පාසලේ ඉගෙනුම ලබන සමයේ මට ගමේ පාසලේ සිටි එක් අයෙකු දෙන්නෙකු හැර කිසිවෙකු මුණ නොගැසුණි. ඉන්පසු රැකියාව නිසා ගමෙන් හා මිතුරන්ගෙන් දුරස්වීමි.
සපත්තු අලුත්වැඩියාකරන්නා අසළ සිටගෙන සිටි වසර ගණනාවක් පැරණි අතීත මතක අතරේ සැරිසරමින් සිටි මා ඉන් මිදුණේ කාන්තා කටහඬක් සවනත වැටීම නිසා ය.
"මේ සපත්තුව හදාගන්න ඕනෑ. කීයක් ගන්නවා ද?"
"මේක හදන්න පන්සියයක් දෙන්න," කාන්තාව දිගු කළ සපත්තුව පරීක්ෂා කළ සපතේරුවා කීවේය.
ඒ කාන්තාවට කියූ ගාස්තුව අනුව මම සපතේරුවා මා දුන් සපත්තු කුට්ටම සඳහා අය කරන කුලිය කොපමණවේ දැයි සිතන්නට වීමි. ඒ සපත්තුවට පන්සියයක් අය කරනවා නම්, මගෙන් හත් අට සියයක් හෝ සමහරවිට රුපියල් දාහක් අය කරනු ඇතැයි මම අනුමාන කළෙමි.
"ඒත් කමක් නැහැ. අපි මේ වගේ මිනිස්සු එක්ක තමයි කේවල් කරන්නේ. වායුසමනය කළ විශාල මන්දිර වැනි සාප්පුවකින් බඩුගන්න ගියාම ඒ සේවකයන් එක්ක අපි කේවල් කරනවාද? නැහැ නේද?" මම මට ම කියාගත්තෙමි.
නැවතත් මට අතීතය මතක්විය. "මේ මිනිසාගේ පෙර පරම්පරාවේ වැඩිහිටියන් මෙන් ඔහුත් සවස වන විට අරක්කු බී රණ්ඩුසරුවල් කරනවාද දන්නේ නැහැ!"
"හම්බ කරන මුදලක් පරිස්සමෙන් වියදම් කළහොත් මේ මිනිසුන්ටත් හිස ඔසවා ජීවත්වීමට පුළුවන්. එහෙත් ඔවුන්ට යහමග කියා දෙන්නේ කවුද?" මට සිතුණි.
තව මද වේලාවක් ගතවිය. සපතේරුවා සපත්තු කුට්ටම මසා අවසන් කළේය. ඔහු ඒ වනතුරුම මා සමඟ එකදු වචනක් හෝ කතා කළේ නැත.
ඉන්පසු කඩදාසියකින් සපත්තු දෙක එතූ ඔහු පාර්සලය මා වෙත දිගු කළේය.
සාක්කුවට අත දමා නෝට්ටු කිහිපයක් එළියට ගත් මම "කීය ද ගාස්තුව?" යැයි විමසුවෙමි.
කාණුවට බුලත් කෙළපාරක් ගැසූ ඔහු මගේ මුහුණ දෙස බැලුවේය.
"සල්ලි එපා මහත්තයා."
"ආ?" මම විමතියට පත්වුනෙමි.
"මාත්තයා සිල්වා මුදලාලිගේ පුතා නේ?"
"ඔව්..." මම කුතුහලයෙන් යුතුව පිළිතුරු දුනිමි.
"ඔහේ කවුද?"
"මම... මුනියණ්ඩි..."
"මාත්තයාගේ අම්මා උගන්නපු ඉස්කෝලේ තමයි මාත් ඉගෙන ගත්තේ..."
මගේ මතකය එකවරම අතීතයට දිවගියේ ය. අපේ පන්තියේ පිටුපස පෙළේ දෙමළ ළමයින් අතර සිටි, මුහුණ පුරා තෙල් බේරෙන, අපිළිවෙළට ඇඳ පැළඳ සිටි ළමයකුගේ රුව මට මතක් විය.
නැවත සපත්තුව මැසීමේ ගාස්තුව ඔහුට දෙන්න උත්සහ කළෙමි.
"එපා මහත්තයා... එපා."
අවුරුදු ගණනාවකට පසු හෝ නැවත හමු වූ පැරණි මිතුරකුගේ සෙනෙහස ඒ වචන දෙක තුළ සැඟවී තිබුණාක් මෙන් මට දැනුණි.
"අවුරුදු ගණනාවකට පස්සේ හරි මාත්තයාව දකින්න ලැබීම ගැන මට සතුටුයි," යැයි දෙමළ උච්චාරණයෙන් යුතු සිංහලෙන් ඔහු කීවේය.
මම ඔහුගේ මුහුණ දෙස මොහොතක් බලා සිටියෙමි. වසර ගණනාවක් කාලයේ වැලි තලාවෙන් වැසී තිබූ අතීතයේ බොඳ වූ රූපයක් මගේ මතකයේ සෙමින් පැහැදිලි වෙමින් තිබුණි.
එදා අපේ පන්තියේ පිටුපස පෙළේ සිටි මුනියණ්ඩිත්, අද මේ දැඩි හිරු රශ්මිය යට සපත්තු මසමින් සිටින මුනියණ්ඩිත් අතර ගෙවී ගිය කාලය කොතරම් දිගු ද?
මම ඔහුට මුදල් දීමට ගත් අත සෙමින් පහත දැමුවෙමි.
"බොහොම ස්තුතියි මුනියණ්ඩි..." මම සෙමින් කීවෙමි.
ඔහු මඳ සිනහවක් පෑවේය.
සපත්තු දෙක අතට ගත් මම ආපසු හැරී නිවස කරා ගමන් කිරීම ඇරඹුවෙමි.
දැඩි හිරු එළියෙන් දුම්රියපොළ පාර දිලිසෙමින් තිබුණි. එහෙත්, ඒ මොහොතේ මා සිත තුළට උණුසුමක් දැනුණේ ඒ හිරු රශ්මියෙන් නොවන බව මට විශ්වාස ය.
- ඩබ්ලිව්.ජේ.වීරසිරි ද සිල්වා
desilva.weerasiri@gmail.com
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.