Saturday, 17 October 2026

මගහැරීම - ජයන්තා පී. මිහිඳුකුලසූරිය



"අම්මේ බත් උයල තියෙන්නෙ, දවාලට හොදි මොනව හරි හදාගන්න," සුරංගි අත් බෑගය තුළට කෑම පෙට්ටිය රුවාගනිමින් මිදුලට බහින ගමන් කීවාය.

"අම්මෙ අපි යනවා පරිස්සමින් ඉන්න!" සුජානිගේ දෙපා වඳිමින් කියූ රුවීන් ද සුරංගිත් සමග ගමනට පිටත්විය.

ඔවුන් ගේ මෝටර් රථය නොපෙනී යනතෙක් බලා සිටි සුජානි දිග සුසුමකින් ළය සැහැල්ලු කර ගනිමින් ගේට්ටුව වසා දැමුවාය.

උදයේ සිට තේ කෝප්පයක් හෝ නොබිව් බව ඇයට සිහිවුණේ කුස තුල මතු වූ සිහින් දැවිල්ලත් සමග ය. කුස්සියට ගිය සුජානි තේ කෝප්පයක් පිළියෙල කරගෙන ආපසු සාලෙට ගොස් වාඩි වූයේ නිවී සැනසිල්ලේ එය බීමටය. පුරුදු පරිදිම ඇයගේ සිත අතීතය කරා දිව ගියේ ඇයටත් හොරා ය.

සුජානිත්, සැමියා වූ සේනකත් දෙදෙනා දිගු කාලයක් තිස්සේ ගුරුවරුන් වශයෙන් සේවය කළේ ගමේ පාසලේ ය. සැමියා විශ්‍රාමගනිද්දී වැඩිමහල් දරුවන් දෙදෙනාම සේවය කළේ විදේශයන් හි ය. ඉංජිනේරුවෙකු වූ බාල පුත් රුවීන් පදිංචි වී සිටියේ අගනුවර ය.

සුජානි සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දෙදෙනා සැහැල්ලුවෙන් සතුටින් කල් ගෙවූහ. දෙදෙනා එක්ව වන්දනා ගමන් යාමටත් අමතක කළේ නැත. පුතුගේ නිවසේ සතියක් දෙකක් විවේකයෙන් ගෙවන පුතු ඇවිටිලි කළත් දිගට නතර නොවී ඔවුන් සැමවිටම හැකි විගස ගම්බලා යන්නේ වත්ත පිටිය පාළුවන බව පවසමිනි.

සතුටින් සැනසුමින් විශ්‍රාම දිවිය ගතකළ දෙදෙනාගේ ජීවිතයට කණකොකා හැඬුවේ කිසිවෙකු නොසිතූ පරිද්දෙනි. හදිසි හෘදයාබාධයක් වැළඳී සේනක මියගියේ හිටි හැටියේ ම ය. කාහටත් උදව් පදවි කරමින්, කා සමගත් සුහදව ජීවිතය ගෙවූ ඔහුගේ අවසන් කටයුතු සඳහා මුළු ගමේම අය සහභාගී වූහ. සැමියා මිය යාමෙන් පසු සුජානි මහ ගෙදර තනිවූවාය. ලොකු දුවත්, පුතාත් ඔවුන් සමග අම්මා කැටුව යන්නට කෙතෙක් ඇවිටිලි කළත් සුජානි සේනකගේ මතකයන් රැඳුණු මහගෙදර හැරයාමට කැමති වූයේ නැත. සේනක සමග අවුරුදු ගණනක් ගෙවූ මහගෙදර ඇයගේ ජීවිතයට බද්ධවූවාක් සේ ඇයට හැඟිණි.

තුන් මාසේ පිංකමට පැමිණි පුතු රවීන් අම්මාට තමන් සමග යාමට ඇවිටිලි කළේය. අම්මා මහගෙදර තනිකර යාමට ඔහු කිසිසේත්ම අකමැති විය.

"අම්මෙ! තාත්ත නැති වුණෙත් මෙහෙ තනියම හිටපු හින්දනෙ. අපි එක්ක හිටිය නම් වේලාසන දොස්තරකෙනෙක් ළඟට යන්න තිබුණා. එහෙම නං තාත්ත තවමත් අපි ළඟ ඉන්නවා නෙ!" රවීන් නිතර නිතරම අම්මාට මතක් කළේය.

අවසානයේ දී සුජානි පුතාගෙ බසට අවනතව ඔවුන් සමග ගමනට පිටත්වූවාය. එහෙත් ඇයගේ සිත තිබුණේ ම මහගෙදර මතක අතර ය. සේනකත් සමග අවුරුදු ගණනක් ගෙවූ මහගෙදර, තමන්ගේ පොඩි එවුන් කෙළිදෙලෙන් විසූ මහගෙදර ඇගේ සිතින් අත්හැර දැමීමට සුජානිට කෙසේවත් හැකිවූයේ නැත.

පුතා සමග කොළඹ ජීවත්වුවත්, පුතුගේ ගෙදර වාසය සුජානිට ප්‍රිය වූයේ නැත. ගමේ පුරුදු පරිසරයෙන් ඈත් වී ගෙවන ජීවිතයේ ඇයට සුවයක් නොදැනුණි. තාප්පවලින් කොටු වී ගෙවන ජීවිතයකට සුජානි හුරු වූයේ අසීරුවෙනි. අසල්වැසියන් කවුරුන් ද කියාවත් සුජානි දන්නේ නැත. රුවීනිලා අහල පහළ අය සමග කිසිම ආශ්‍රයක් තිබුණේ නැත. පාන්දර රැකියාවට පිටවයන දෙදෙනා ම ආපසු ගෙදර එන්නේ අඳුර වැටුණු පසුවයි. මුණුපුරෙක් හෝ හිටියා නම් තමන්ට පාළුවක් නැතිව ඉන්නට තිබුණා නේදැයි සුජානි බොහෝ විට සිතුවාය. විවාහ වී වසර තුනක් ගත වී තිබුණත් දරුවෙකු පිළිබඳව ඕනෑකමක් පුතාටත් ලේලියටත් නැති බව සුජානි තේරුම් ගත්තේ දැඩි ශෝකයෙනි.

දිනපතාම වාගේ රෑ කෑම සඳහා මොනවා හරි කඩකෑමක් ගෙන එන ඔව්හු රෑ කෑමෙන් පසුවත් තම තමන්ගේ ලෝකවල තනිවෙනවා මිස සුජානි සමග සල්ලාපයකට එක් නොවෙති. සුරංගී බොහෝවිට දුරකථනයේ ය. පුතා බොහෝ රෑ වන තුරු පරිගණකයේ ය. නැතහොත් දෙදෙනාම රූපවාහිනී තිරයේ සිනමාපටයක් මහ රෑ වනතුරු නරඹති.

දවල් දවසම කාන්සියෙන් ඉන්නා සුජානි පුතු එන පෙර මග බලා ඉන්නේ ඔහුත් සමග සුහද කතාබහක යෙදෙන්නටයි.

"අම්ම නෑව ද? බෙහෙත් බීව ද? කාල ද ඉන්නෙ?" දවසට ම පුතු අම්මා සමග දොඩන්නේ එපමණකි.

සුජානි පුතාගේ කාමරයේ පුටුවක වාඩි වී පුතා දෙසම බලා හිඳියි.

හදිසියේ හිස ඔසවා බලන පුතා, "අම්ම නිදාගන්න!" කියයි.

කිසිවක් නොකියා තම කාමරයට යන සුජානි කුඩා රේඩියෝව ක්‍රියාත්මක කර පිරිත් ශ්‍රවණය කරමින් නින්දට යන්නීය.

දවල් දවසම පාළුවේ, කාන්සියෙන් ගෙවන ඇය දහම් පොත්පත් කියවීමෙන් හිත හදා ගන්නට වෙහෙසුණාය. ඇයට ගමේ ගෙවූ ජීවිතයත්, සේනකත් සිහි නොවෙන දවසක් නැත. විදේශයේ වෙසෙන දරුවන්ගෙන් ඇමතුමක් සුජානිට ලැබෙන්නේ ඉඳහිට ය. පොඩි පුතා රුවින් මහගෙදර විකිණීම නිසා ලොකුදුව හා පුතා තමන් සමග අමනාපව සිටින බව සුජානිට දැනුණි.

"අම්මේ මහගෙදර නිකං තියාගෙන ඉඳලා වැඩක් නෑ නෙ? අපි ඒක විකුණලා මෙහෙ ගේ ලොකු කරලා හදමු!" රුවීන් නිතර දෙවේලේ කියන්නට වූයේ සුරංගිගේ බලකිරීම නිසා බව සුජානි වරක් දෙවරක් සුරංගි කී කතා අනුව තේරුම් ගත්තාය.

සුජානි මහගෙදර ගිහින් එන්නට කතා කළ හැම විටම සුරංගි කතා කළේ එයට එරෙහිවයි.

"අනේ අම්මෙ! ඔය කැලේට ආයෙ යන්නෙ මොකට ද? තාත්තත් අනීවාරතේ මැරුණෙ මහගෙදර හිටපු හින්ද නෙ. අහල පහළ දොස්තර කෙනෙක් ඉන්නව කියල ද? ඉස්පිරිතාලෙටම කොච්චර දුරක් ද? කිසි වැඩක් නැති ඉඩම්!" ඇය කීවේ වරක් දෙවරක් නොවේ.

සුජානි කිසිවක් නොකියා නිහඬව සිටියේ කතා කිරීමෙන් පළක් නොවන හෙයිනි. මහගෙදර ගැන කතා බහේ දී පුතාත්, සුරංගීට විරුද්ධව වචනයක්වත් නොකියන බව සුජානි තේරුම් ගත්තාය. අන්තිමේදී හිතට විරුද්ධවවුවත් රුවීන්ගේ කීමට එකඟ වීමට සුජානිට සිදුවිය.

"අම්මට අපේ ගෙදරම වෙනම කාමර දෙකක් හදලා දෙනවා අම්මා. එතකොට අම්මට නිදහසේ බණ භාවනාකරගෙන ඉන්න පුළුවනි!" කියා රුවින් කීවේ මහගෙදර විකුණූ දා ය.

සුජානි සැනසුණේ ඇයට නිදහසේ බණ භාවනාවක් කරගෙන එහි සිටිය හැකි යැයි සිතූ හෙයිනි. එහෙත් කාමර හදන කතාව ඉන්පසු ඇසුණේ නැත. මුළු මුදලම සුරංගිගේ අදහසට අනුව සුරංගිගේ අයියාගේ වුවමනාවකට යට කළ බව සුජානි දෙදෙනාගේ කතා බහෙන් තේරුම් ගත්තාය. ඇය ඒ ගැන කිසිත් විමසන්නට ගියේ නැත. මහගෙදර විකිණීමෙන් පසුව පුතාත් තමන් සමග වැඩි කතාවකට නොඑන බව සුජානිට වැටහිණි. දවසම පාළුවෙන් සිටින ඇය පුතු එනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. පුතා සමග අතීත තොරතුරු කතා කරන්නට සුජානිගේ හිත තුළ ඇත්තේ නොතිත් ආශාවකි. පුතු ළඟින් හිඳගෙන ඔහුගේ හිස අත ගාන්නට, ආගිය කතා පවසන්නට, සුජානිට අවශ්‍ය ය. දරුවන්ගේ පුංචි කාලෙ සිදුවීම් මතක්කර කර ඒ දවස්වල තමාත් සැමියාත් සැනසුන හැටි ඇයට මතකය. ඒ අතීතය මොනතරම් සැනසිලිදායක ද?

එහෙත් අද රුවීන්ට අම්මා සමග සාමීචි කතා කරන්නට විවේකයක් ඇත්තේම නැත. කාර්යාලයේ දී නිම කරගන්නට නොහැකි වූ ලිපි කටයුතු ගෙදරදී රෑ වනතුරු කිරීම බොහෝ දවස්වල ඔහුගේ සිරිතයි.

"අම්ම කෑව ද? බෙහෙත් බිව්වා ද? ඇයි නිදාගන්නෙ නැත්තෙ?" හැමදාම රුවීන් ගෙන් අසන්නට ලැබෙන්නේ ඒ වදන් පමණි.

ඔහුත් සමග කතා කිරීමට ඇති ආශාවෙන් සුජානිගෙ හදවත කකියයි. තමන්ගේ අසනීප අමාරුකම් ඔහුට කියා සැනසිල්ලක් ලබාගන්නට ඇය පුල පුලා බලා සිටියාය. පුතා ගෙදර එනතෙක් බොහෝ විට ඇය මිදුලේ සිමෙන්ති බංකුවේ වාඩි වී සිටියි. පුතු ගෙට ගොඩවන විට ඔහු පසු පසින්ම ගෙට එන සුජානි ඔහුටත්, සුරංගිටත් තේ පිළියෙල කරන්නීය. ඇඟපත සෝදාගෙන එන රුවීන් තේ කෝප්පයක් රැගෙන කෙළින්ම යන්නේ කම්පියුටරය අසලට ය.

"අම්මා රෑට කෑම ඉව්ව ද? මොනව හරි ගෙන්නමු ද?" අසමින් කුස්සියට එන සුරංගනී තේ කෝප්පය තොල ගාන්නේ ජංගම දුරකතනයේ තිරයට එබෙමිනි.

දින ගණනක් සිටම තම වම් අතේ වේදනාවක් සුජානිට දැනුනත් ඇය ඒ ගැන රුවීන්ට නොකීවේ ඔහුට කරදර කිරීමට ඇති අකමැත්ත නිසා ම ය. ඇය අත් පුරා තෙල් ගා ගත්තේ තනිවමයි. පුතා පුංචි කාලයේ දවසක් සුජානිට තද හිසේ කැක්කුමක් හැදී ඇය ඇඳේ වැතිරී සිටිනු දුටු පුංචි රුවීන් ඇඳට ගොඩවී ඔහුගේ සිඟිති අත්වලින් තමන්ට නින්ද යනතුරු හිස අතගෑ හැටි සුජානිට මතක් වෙයි. එවැනි ආදරයක් තවමත් ඇයගේ යටිහිත බලාපොරොත්තු වුවත් රුවීන්ට දැන් අම්මා ගැන සෙවීමට තරම් වෙලාවක් නැත. ඔහු ගෙදර ආ පසුත් සිටින්නේ අවිවේකයෙනි. දවල් දවසම පාළුවෙන් සිටින සුජානී හවස්වරුවේ පුතු සමග කතාවකට ඉඩක් ලැබේවි යයි බලාපොරොත්තුවෙන් ඔහුගේ ඇස් ගැටෙන මානයේ ගැසුනත් පුතු සමග කතාවකට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි.

"පුතේ මං ගමේ ගිහින් එන්න ද? මේ පෝයට පන්සලෙන් අනුරාධපුරේ වන්දනාවක් යනව කියල ලොකු නැන්දා ලියල එවල තිබුණ," ඇය රාත්‍රියේ කෑම කන වෙලාවේදී පුතාට කිව්වා ය.

"අනේ අම්මේ මේ වයසට අම්මට දුර ගමන් යන්න පුළුවන්ද? අපි සැරයක් අනුරාධපුරේ ගියා නෙ?" රුවීන් කියද්දී ඇයගේ මහලු හදවත හඬාවැටිණි.

"මට යන්න පුළුවන් පුතා! නැන්දත් යනව නෙ. ආයෙමත් මහසෑය වඳින්න මට ආසයි," සුජානි කීවේ දෑසට නැගෙන කඳුළු හංගාගන්නට තැත් කරමිනි.

මෙතෙක් වෙලා නිහඬව සිටි සුරංගී, "අම්ම ඕවයෙ ගිහින් මොනා හරි වුණොත් රුවීන්ම එපායැ බලන්න. වෙන කවුරුවත් බලනව කියල ද?" කියද්දී ආත්මානුකම්පාවෙන් දෙනෙතට ඉනූ කඳුළු සුජානිගේ කම්මුල් දිගේ ගලා යනු ඇයට දැනුණි.

වචනයක් වත් කතා කරගත නොහැකිව හුන් තැනින් නැගිට සුජානි කාමරයට ගියාය.

"බලන්නකො අනේ! කරදර නැතුවාට තව කරදර! කාල බීලා නිදහසේ වැටිලා ඉන්නෙ නැතුව තව ගමනුත් යන්න හදන්නෙ වයස ගැනවත් හිතල ද?" සුරංගනී හෙමින් පවසනු කාමරයට යද්දී ඇයට ඇසුණි.

කාත් කවුරුත් නැතිව තමන් තනි වී ඇතැයි යන හැඟීම නිසා ඇයගේ නෙතින් නොකඩවා ගැලූ කඳුළු කොට්ටය තෙමමින් ගලා ගියේය.

ඒ සති අන්තයේ රුවීන්, සුරංගනී කැටුව කාර්යාලයෙන් යන වාර්ෂික චාරිකාවට එක්විය.

"අම්මා පරිස්සමින් ඉන්න. ඔෆිස් එකේ වැඩක් හින්ද මේ ගමන නොගොහින් බැහැ. අපි දවස් දෙකකින් එනවා. වුවමනාවක් වුණොත් එහා ගෙදර සුමනා ආන්ටිට කතා කරන්න. මං එහෙට කියල යන්නම්!" රුවින් ගමනට පිටත් වෙද්දී කීවේය.

සුජානි කතා නැතිව බලා සිටිද්දී, "අම්මෙ ගේට්ටුව වහගන්න. කව්රු කතා කෙරුවත් අරින්න එපා!" කියමින් රුවින් සුරංගී සමග කාරයට නැග්ගේය.

දිගු සුසුමකින් ළය සැහැල්ලු කර ගත් සුජානී පුතු පිටත්ව යන තුරු ඇසිපිය නොසලා බලා සිටියේ නැගී එන කඳුළු අමාරුවෙන් වළකා ගනිමිනි.

රුවීන් ලා ආපසු ආවේ සතියකට පසුව ය. ගේට්ටුව ළඟ රිය නැවතූ ඔහු රියෙන් බැස ගේට්ටුවට තට්ටු කළේය. කිහිපවරක් තට්ටු කරද්දී එහා ගෙදර ගේට්ටුව විවෘත විය.

"ආන්ටි අම්ම කෝ?" රුවීන් සුමනාගෙන් විමසුවේ කැළඹුණු සිතිණි.

"දැන් දවස් දෙකකට විතර කලින් අම්මා කොහෙ හරි ගියා පුතා! මට කිව්වෙත් නෑ. පුතේ මේක ඔයා ආවම අම්මා දෙන්න කිව්වා!" කියමින් ඇය යතුරුකැරැල්ලත් සමග ලියුම්කවරයක් රුවීන්ට දුන්නාය.

"අම්ම කොහෙද ගියේ ආන්ටි?" අසමින් රුවීන් ලියුම ගත්තේ ගැහෙන හදවතිනි.

නිවසට ඇතුළු වූ වහාම ඔහු ලියුම විවෘතකර කියවන්නට පටන්ගත්තේය.

"මගෙ පුතේ!

මාව හොයන්න එපා! ගමේ නිදහසේ හිටපු මට මෙහෙදි දැනුණේ කූඩුවක හිරවෙලා ඉන්නව වගෙයි. මගෙ පුතා ළඟට මං ආවෙ සතුටින් ඉන්න ලැබෙයි කියලයි. ඒත් ඔයාගෙ අවිවේකය නිසා ඔයාට මගෙ එක්ක කතාකරන්නවත් වෙලාවක් ලැබුණෙ නෑ.

තාත්තා නැතිව තනිවුණු මං හිත හදා ගත්තෙ ඔයා ගැන හිතලා. පුංචිකාලෙ වගේ ඔයා මගෙ එක්ක ඔයාගෙ දවසේ විස්තර කතා කරයි කියලයි මං හිතුවෙ.

ඒත් පුතේ! ඔයාට මාව දැනුණෙ නෑ. ඒ දුක මට දරාගන්න අමාරුයි. මගේ අන්තිම දවස් ටික හිතට සැනසිල්ලක් දැනෙන තැනක ගෙවන්නයි මට ඕනි.

මගෙ පුතාට මං ආදරෙයි. ඒත් මාව හොයන්න එපා පුතා!

පුතාට බුදු සරණයි!

මේ ඔයාගෙ අම්මා!"

ලියුම කියවූ රුවීන් අම්මාගේ කාමරයට දුව ගොස් ඇගේ ඇඳ පාමුල වැටී හඬන්නට වූයේ කුඩා දරුවෙක් මෙනි.

- ජයන්තා පී. මිහිඳුකුලසූරිය
jayanthamihindu@gmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්