Showing posts with label නයෝමි අමරසිංහ. Show all posts
Showing posts with label නයෝමි අමරසිංහ. Show all posts

Wednesday, 14 October 2026

කවියක් ලියන්නට ගියෙමි - නයෝමි අමරසිංහ



කවියක් ලියන්නට ගියෙමි
කුඹුරට
වේගයෙන් වැඩ කරන මිනිසුන් දුටිමි
නැත ඉඩක්
ප්‍රිය වදනක් බෙදාගන්නට

කවියක් ලියන්නට ගියෙමි
බස් නැවතුමට
මලු ඔසොවාගත්
දරුවන් කිහිලි ගන්වාගත්
මගී දන විඩාවෙනි
දෑස් ඉවතට පා කරමින

කවියක් ලියන්නට ගියෙමි
රෝහලට
පෝලිම්වල කේඩෑරි මුහුණු ය
කෑ කෝ ගහන නිල ඇඳුම් ය
තැන තැන
කවියක් ලියන්නට ගියෙමි
පාසැලට
මැලවුණු මල් කැකුළු ය
උදා හමුවක
නිදිබර ගුරුවරු ය

කවියක් ලියන්නට ගියෙමි
නගරයට
වාහන තදබදය තදටම
නළා හූ හඬ කරදර
එල්ලා බුම්මා ගත් මුහුණු ය

පියවර සෙමෙන් ඔසොවමි ආපසු
මා නිවසන ගම් පියසට
තණකොළ මල් හිස වනමිනි
සුළං දැලක් නිදැල්ලේ නටමිනි
ඇහිඳ යමි
අඩුව පුරවන්නට සඳ එළිය...

-නයෝමි අමරසිංහ
namarasinghe78@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Tuesday, 1 September 2026

වැසි - නයෝමි අමරසිංහ



තැන තැන වැටී
පොළොවට ඇලුණු
තුරු පත් මුණින්තලාව ය
මියැදුණු මිතුරු ගොළුබෙලි
නිවහනක නටඹුන් ය
බිඳී විසිරී ගිය
විහඟ බිජුවටක
විසිරුණු කැබලිති ය
අසල නිවෙස්නෙක ළදරු කෑ ගෑමකි

වැසි වට වීදි දිග
මිනිස් ජීවිත කැබලි රැඳී ය
බොර වතුර නැවතුණු
කඩින් කඩ වළවල් ය
නොනවතින ගෙඹි ගීත තනුවට
තෙමුණු ගස් පොළොවට හෙළන
බර වැහි බිඳිති එක් වෙමිනි...

"අයං වස්සාන කාලෝ
ඍතු නියාමය මෙය වේ"
වස් පිංකමට ගිය උවැසි සවතත වැකේ...
කුරුලු කූජන නිහඬ ය
ලේන් අඬහැර නිසල ය
අම්මා තෙමෙන කුඩයට යටින් තෙමෙමිනි

උළු බිඳී ගිය ජීවිත
සෙවෙල කන මේ කාලය
නොයෙක් ලෙස අපි වරනගා ගෙන

ළතෙත් හදවත තාන ය
වැස්සකට අඩමානය
වැසි නොදත් ඒ මානය
කොටසකට අසමාන ය

- නයෝමි අමරසිංහ
namarasinghe78@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්