Friday, 9 October 2026

මමාස් බෝයි - ශක්තික සත්කුමාර



උදෑසන හිරු එළිය තවමත් ළපටි යි. ගෙමිදුලේ තණකොළ කොළ පාටට දිලිසෙන්නේ පිනි බිංදු එක්ක. මිදුලෙ තියෙන අඹ ගහ උඩින් කුරුල්ලන්ගේ හඬ නොකඩවා ඇහෙනවා. වත්තේ පිටුපස වැවුණු මල්වල සුවඳ හිමිදිරි සුළඟට එකතුවෙලා මිදුල පුරා විසිරෙනවා. ඒ තරම් ලස්සන උදෑසනක්.

මහගෙදර ඇතුළෙ තිබුණෙ වෙනම ම ලෝකයක්. කුස්සියේ ගෑස් ලිප උඩ කේතලය හෙමිහිට නටනවා. කේතලයෙන් නැගෙන වාෂ්ප ජනේලය ළඟ, වීදුරුව මත සුදු පැහැති මීදුමක් ඇඳලා. උණු තේ සුවඳත්, බටර් දාලා පුළුස්සන පාන් සුවඳත් මුළු ගෙදර පුරාම යනවා.

"අම්මේ... මගෙ කැප් එක කොහෙද?" මිදුලෙ ඉඳන් පොඩි පුතා අහනවා සෞම්‍යාට ඇසුණා.

"මේ තියෙන්නේ පුතේ," ඇය බොහොම සෙනෙහසින් උත්තර දුන්නා. හිනාවක් ඇගේ තොල් මත තිබුණට ඇස්වලට ළඟාවුණේ නෑ. ගෙදර හැමෝම කාර්යබහුලයි. වෙනදට මේ වගේ නිවාඩු දවසක ටිකක් එළිවෙනකල් නිදාගන්න ගෙදර අය, අද වේලාසම ඇහැරිලා.

නැන්දම්මා කෑම බඳුන් පිළිවෙළට බෑගයක අසුරනවා. නෑනා හිනාවෙවී ජංගම දුරකථනයෙන් කාටදෝ පණිවිඩ යවනවා. මාමණ්ඩි වාහනයේ යතුර අතේ තියාගෙන අත් ඔරලෝසුවට මුහුණ දානවා. සෞම්‍යා තමන්ගේ සැමියා දෙස බැලුවා. ඔහු ඇය දිහා නොබලා ම වැඩ.

"අම්මේ... මේ දෙන්නව ලෑස්ති කරන්නකෝ. පරක්කු වෙනවනෙ," සහන්ගේ වචන සෞම්‍යාගේ හිතේ ගින්න වැඩිකළා.

"මං ඉන්නකොට ඇයි අම්මට කියන්නේ දරුවො ලෑස්ති කරන්න කියලා?"

ඇය දරු දෙදෙනා ලැස්ති කරලා දෙන්නගෙ ම බෝතල්වලට වතුර පිරෙව්වා. උදේ හදපු සැන්ඩ්විච් ටික බොහොම පරිස්සමට ළමයි දෙන්නගෙ බෑග්වලට දැම්මා. ලොකු පුතා කන්න කැමැතිම ජෑම් එකත් බෑග් එකේ පැත්තකින් තියන්න ඇය අමතක කළේ නෑ.

දරු දෙන්නා අලුත් ඇඳුම් ඇඳගෙන සතුටින් මිදුලට දිව්වා. සෞම්‍යා ඊළඟ මොහොතේ නිදන කාමරයට ගියේ ඉක්මනට ලෑස්ති වෙන්න හිතාගෙන. ඒත්, ඒ බලාපොරොත්තුව ජීවත්වුණේ තත්පර කීපයක් විතරයි. නිදන කාමරයේ දොරකඩට ආපු ඔහු ඈ දිහාවත් නොබලා ඉතා සාමාන්‍ය විදිහට කාමරේ බිත්ති පුරා ඇහැයැව්වා.

"ඔයා තියන වැඩක් කරගෙන ගෙදර ඉන්න. අපි ගිහින් එන්නම්..."

ඉතා පහසුවෙන් මුදා හැරපු වචන කීපයක්. හැබැයි, ඒ වචනවල බර ගල් කන්දක් වගේ සෞම්‍යාගේ පපුවට දැනුණා. ඇයට "ඇයි?" කියලා අහන්නවත් කාලයක් තිබුණෙ නෑ. එහෙම අහලා ඇයට පුරුද්දක් නෑ. "එතකොට මම?" ඇයට කියවුණා. ඒත්, එතකොටත් ඇය පරක්කුයි. වාහනය ස්ටාර්ට් වෙන හඬ ඇසුණා. "අම්මා... අම්මා..." පුංචි පුතා කෑ ගහනවා ඇහුණා.

ඇය විදුලි වේගයෙන් දොරකඩට දුවගෙන ගියා. ආච්චි අම්මගෙ ඔඩොක්කුවේ ඉඳගත්ත පුංචි පුතා සෞම්‍යාට අත වැනුවා.

"බායි අම්මී..."

සෞම්‍යා රූකඩයක් වගේ අත ඉහළට ඉස්සුවා. ආයාසයෙන් හිනාවක් මවා ගත්තා. ඒත් ඒ හිනාව ඇතුළෙ කාටවත් නොපෙනෙන, කාටවත් නොඇසෙන දුක් සුසුම් දහසක් හිරවෙලා තිබුණා.

"අම්මි... අපි ඉක්මනට එන්නම්," දුව ජනේලයෙන් එළියට ඔළුව දැම්මා. පහන් සෞම්‍යා දිහා ඔළුව හරවලා බැලුවා විතරයි. ඊට පස්සේ තමන්ගේ අක්කා එක්ක කතාවට වැටුණා. වාහනය හෙමින් හෙමින් ගේට්ටුවෙන් එළියට ගියා. මුළු පරිසරය ම එක පාරට ම නිහඬ වුණා කියලයි ඇයට හිතුණෙ. එහෙත් ඇය තුළ මහා නිශ්ශබ්දතාවයක් ගොඩ නැගුණා. ඇය ආපහු ඇතුළට ආවා. කෑම මේසය මත පිළිවෙළට තියෙන ඉතිරි සැන්ඞ්විච් පිඟාන දිහා මොහොතක් බලාගෙන හිටියා. ඇගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා.

වාහනයේ හඬ ඇහෙන්නෙ නැති තරම් ඈතට ගිහින් තිබුණා. නිහඬතාවය පරිසරය පුරාම පැතිරිලා තිබුණා. සුළඟට පාවී ආ අඹ කොළ කිහිපයක් බිමට වැටුණා. ඒ සද්දෙ පවා ගේ ඇතුළෙ තිබුණු නිහඬතාවය බිඳින්න තරම් ලොකුවට සෞම්‍යාට දැනුණා. ඇය කෑම මේසය උඩ තිබුණු සැන්ඩ්විච් බන්දේසිය අතට ගත්තා. දැන් ඒවා කන්න කවුරුවත් නෑ. ඇය ඒක වහලා ශීතකරණයට දැම්මා. ඒත්, හිතේ තිබුණු හිස්කම වහන්න කිසිම දොරක් තිබුණෙ නෑ.

"නංගී... නංගී...," අසල්වැසි නිවසේ පාරමී අක්කා වැට ළගට ඇවිත් කතා කළා. සෞම්‍යා ඔළුව පීරගෙන ඉක්මනට මිදුලට බැස්සා. හිනාවක් මූණේ තවරගන්නත් ඇය අමත කළේ නෑ.

"වාහනේ ගිය සද්දෙ ඇහුණා. ඒත් දොර ඇරලා තිබුණු හින්දයි කතා කළේ," පාරමී තම පුදුමය පළකළා.

"අනේ ඔව්, මට අද කරගන්න වැඩ ටිකක් තියෙනවා," සෞම්‍යා උදේ පාන්දර බොරුවක් කීවා.

"එහෙම ද? මං හිතුවා ඔයත් ගියා කියලා."

"නෑ අක්කේ, මට ඉතින් කොයි වෙලේ යන්න බැරි ද?" සෞම්‍යා ආයෙත් බොරුවට හිනාවුණා.

පාරමී වැට ළගින් මෑත්වුණාට පස්සේ සෞම්‍යා දොර වහලා ඇවිත් සෝෆාව උඩ වාඩිවුණා. බොරුවට හිනාවෙන්න ඇය ඉගෙන ගත්තේ මේ ගෙදරට ආවට පස්සේ. ඒත්, සතුටින් ජීවත් වෙන්න ඇය ඉගෙනගෙන තිබුණේ නෑ.

"අම්මේ.. මේ බලන්නකෝ තාත්ති මට මේ ටෙඩියෙක් අරන් දුන්නා," සවස ගෙදර ආව ගමන් මිනුලි දුව සෞම්‍යා ළගට දුවගෙන ආවා. ඒ රෝස පාට ටෙඩි බෙයාර් කෙනෙක්.

"අනේ! හරි ලස්සනයිනේ... ඔයා වගේමයි," ඇය දියණියගේ නහය අතගෑවා. ඒ වෙලාවෙ මනුල පුතා ඇය ළගට ආවේ බෙරිවෙච්ච මුහුණෙන්. ඔහුගේ අත හිස්. ඇය තමන්ගේ පුතා ළඟ දණ ගහලා වාඩිවුණා.

"මයෙ පුතාට මොනව ද ගත්තේ?" ඔහු හිමීට හිස බිමට පහත් කළා. ඇස්වලින් වැටුණු කඳුළු සෞම්‍යාගේ ඔඩොක්කුව තෙත් කළා.

"තාත්තා මට මුකුත් අරන් දුන්නෙ නෑ!"

පුතාගේ වචන ටික හරිම සාමාන්‍ය විදිහට ඇයට ඇසුණා. හරියට ඒක ඔහුට හුරුපුරුදු දෙයක් වගේ. ඇගේ පපුව කඩා වැටෙන්න වගේ ඇයට දැනුණා. ඒත්, ඒ වේදනාවත් සුපුරුදු විදිහට හිනාව ඇතුළේ සඟවගත්තා.

"ආ, ඒකට කමක් නෑ පුතේ. මං හෙට පුතාට ලස්සන සෙල්ලම් බඩුවක් අරගෙන දෙන්නම් කෝ..."

අම්මගෙ වචනවලට පුතා හිනාවුණා. ඒ හිනාව තිබුණෙ සතුටට වඩා "අම්මා දුක් වෙන්න එපා!" කියනවා වගේ පුංචි ඉඟියක්. සෞම්‍යාට ඒක දැනුණා. ඇය තම පුතා පපුවට තුරුළු කරගත්තේ ඉතාමත් ආදරයෙන්. හරියට කිව්වොත් පුතා ඉපදුණු වෙලාවේ තුරුළු කර ගත්තා වගේම අලුත් බවකින්. මනුල ටික වෙලාවක් එහෙම ම අම්මගෙ පපුවට තුරුළු වෙලා හිටියා.

මේ දේ සිද්ධ වුණේ පළමුවෙනි වතාවට නෙමේ. දරුවන්ටත් ඒක තේරෙනවා. මේ වගේ ම හිත රිදුනු දවස් ජීවිතේ ඇතුළෙ අනන්තයි, අප්‍රමාණයි කියලා සෞම්‍යාට හිතුණා. ඒවා කියන්න කෙනෙක් නෑ. අහන් ඉන්න කෙනෙක් නෑ. ඒ හින්දම දුක හිතෙන වෙලාවට අඬලා අඬලා කඳුළුවලින් ම ඒ දුක හෝදලා දාන්න සෞම්‍යා පුරුදුවුණා.

විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ මහත්තයයි, දරුවොයි එක්ක නිදහසේ විනෝද ගමනක් යන්න, රෑ කෑමකට එළියට යන්න, මුහුදු වෙරළට යන්න, පුංචි එවුන් දෙන්නත් එක්ක වෙරළෙ වැලි මාළිගා හදන්න, ඒවා රැල්ලට දියවෙලා කැඩිලා යන හැටි බලන්න සෞම්‍යාට ආශාවක් තිබුණා. ඒත් ඒ වෙනුවට තමා වෙහෙස මහන්සියෙන් හදාගත්ත පුංචි කූඩුව දිනෙන් දින කැඩිලා, බිදිලා ගියේ වැලි මාළිගාවලටත් වඩා වේගයෙන්.

"නිදහසේ දවසක ගමනක් යමු," කියලා සෞම්‍යා පහන්ට කියපු ගමන් එයාගේ උත්තරේ එකම විදිහයි, "අම්මගෙන් අහමු, අම්මවත් එක්ක යං!"

කන්න බොන්න ගියත්, ගමනක් යන්න ගියත්, මොන දේ කරන්න ගියත් "අම්මගෙන් අහමු", "අම්මා කියන විදිහට කරමු", "අම්මා බනී ද දන් නෑ", "අම්මා තමයි දුන්නේ", ඔන්න ඔය වගේ එකම විදිහෙ උත්තර. සෞම්‍යාට ඒ වෙලාවට පුදුම කේන්තියක් දැනෙනවා.

"ජීවිතේ හැමදේම අම්මගෙන් අහ අහ කරන්න මේ යකාට පිස්සු ද?" කියලා සෞම්‍යා හිතනවා. "අම්මගෙන් තොරව කිසිම තීරණයක් ගන්න බැරුව දගලන උඹ පිරිමියෙක් ද?" කියලා අහන්න කට ගාවට ආවත් ඇය එය නොකියා ම ඉවසන්නේ පහන්ට කේන්ති යයි කියලා. පහන් රජයේ වැදගත් තනතුරක් දරන කෙනෙක්. සෞම්‍යාත් එහෙමයි.

පසුගිය අවුරුදු පහ තුළ හිතට ආපු කේන්තියයි, කටට ආපු වචනයි පිටකළා නම් මෙලහකට මේ විවාහය උසාවියකින් කෙළවර වෙලා බව සෞම්‍යා දන්නවා. ඒක එහෙම වුණත්, පහන්ට ගාණක් නෑ. එයාට අම්මා ඉන්නව නෙ. ඒත් තමන්ට? සෞම්‍යා නිතරම කල්පනා කළේ ඒක.

දරු දෙන්නට තාත්තා නැති වෙනවා. මිනිහගෙන් වෙන් වෙලා කියලා දැනගත්ත ගමන් මිනිස්සු උදව් කරන්න පොරකනවා. තමන්ගේ ඕනෑ එපාකම් ඉටු නොවුනහම උදව්වට එන හැමෝම ඒ ගැහැනිය වේසියක් කරනවා. ඔක්කෝටමත් වඩා තමන්ගෙ දෙමව්පියන්ට ඇතිවන හිත් වේදනාව ගැන ඇය කල්පනා කළා. හදවත් රෝගියෙක් වෙච්ච තාත්තයි, අම්මයි, තවමත් විවාහ නොවුණු නංගිටයි මොන වගේ තත්ත්වයක් ඇතිවෙයි ද කියලා ඇය හිතුවා. ඒ නිසාම මේ දේවල් ඉවසගන්න ඇය පුරුදුවුණා.

ඉර හැන්දෑව බෝ කළේ තැඹිලි පාට මුළු ගෙමිදුල පුරාම තවරන ගමන්. හෙන්දිරික්කා මල් ගහ ළඟ හිටගෙන හිටපු පහන්ගේ අක්කා මේනකා පාර පැත්තේ ඇහුණු මොකක් දෝ දේකට කන්දිහාගෙන හිටියා. ඉස්තෝප්පුවේ වේවැල් පුටුවට බර දීලා හිටපු පහන්ගෙ තාත්තා පත්තරේ බලන ගමන් ඔළුව උස්සලා කීප වරක් ම තමන්ගෙ දුව දිහා බැලුවෙ මල් නොකඩා, මල් වට්ටිය අතේ තියාගෙන ඇය කරන දේ මොකක් ද කියලා තේරුම්ගන්න වගේ.

මිනුලි දුව අලුතින් ගෙනාපු රෝස පාට ටෙඩිබෙයාර් ව තුරුළු කරගෙන ගේ පුරාම දුවනවා. මනුල පුතා අක්කා පස්සේ දුවනවා. ඒත් ඔහුගෙ ඇස්වල තිබුණෙ සෙල්ලම් කරන්න තියෙන උනන්දුවට වඩා තාත්තා තමන් දිහා එක සැරයක්වත් බලයි ද කියන බලාපොරොත්තුව.

මේ වෙලාවේ සෞම්‍යා හිටියේ පහුවදා දරුවො ඉස්කෝලෙ අදින ඇඳුම්, වැඩට අදින ඇඳුම් අයන් කරන ගමන්.

"දුවේ... තේ එකක් හදලා ගේන්නකෝ...," පහන්ගෙ අම්මගෙ සද්දෙ ඉස්සරහා කාමරේ පැත්තෙන් ඇහුණා. අයන් කරන එක ඕෆ් කරන්න බැරිකමට සෞම්‍යා ඒක නෑහුණා වගේ දිගටම රෙදි අයන් කළා. ටික වෙලාවක් ගෙවිලා ගියා. පහන් කාමරේට එබුණා.

"සෞම්‍යා, ඇහුණෙ නැද්ද අම්මා කියපු දේ?" ඇයට කේන්ති ගියා. ඒත්, අම්මා කියපු දේ ඇහුණෙ නැති බව අඟවන්න ඇයට වුවමනා වුණා.

"කෝ... මොකක් ද?"

"තේ ටිකක් වක්කරන්නකෝ.. දැන් හතරත් පහු වෙලා.."

"මං මේ ටික අයන් කරලා ඉවර වෙලා හදන්න තමයි හිටියේ. ඇයි අක්කා නැද්ද ගෙයි?" ඇය වෙනසක් නොපෙන්වා ම කිව්වා.

"අම්මා කිව්වේ ඔයාට හදන්න කියලනෙ. ඔයා හදන්න." එහෙම කියලා පහන් ආපහු යන්න හැරුණා.

"එහෙනම්, මේ දූගෙ ගවුම අයන් කරන්නකෝ... ඒක විතරයි තියෙන්නේ."

එවෙලේ පහන්ගේ මූණේ කෝපයක් සටහන් වෙන හැටි ඇය දැක්කා. ඔහු ඇය කිව්ව දේ නෑහුණා වගේ එතනින් පිට වෙලා ගියා. සෞම්‍යා කිසිම ප්‍රතිචාරයක් නොපෙන්වා කුස්සියට ගියා. ගෙදර හැමෝටම තේ හදලා බන්දේසියකට තිබ්බා. ඊට පස්සේ ඇගේ කෝප්පය අතට අරගෙන ඒකටත් තේ වත් කළා.

"ඔයා පස්සෙ බොන්න. ඉස්සෙල්ලා ගිහින් මේ ටික දීලා එන්න." පහන්ගෙ වචන ඇගේ හදවත කෑලි කෑලිවලට ඉරලා දැම්මා. ඇය නිහඬවම හිස වැනුවා. තේ කෝප්ප ටික මේසෙ උඩින් තියද්දි පහන්ගේ අම්මා හිනාවෙලා තමන්ගෙ තේ කෝප්පය අතට ගත්තා. සෞම්‍යා කිසි දෙයක් නොකියා ආපහු කුස්සියට ගියා.

"පුතේ..., හෙට ඔයාට ලන්ච් ටයිම් එකේ පොඩ්ඩක් එළියට එන්න පුළුවන් වෙයි නේ ද?" පහන්ගෙයි, අම්මගෙයි හඬ කුස්සියේ ඉන්න සෞම්‍යයට ඇහුණා. ඇය පුංචි එවුන් දෙන්නගෙ තේ කෝප්ප දෙක හෝදන ගමන් ඒකට කන් දුන්නා.

"ඒ මොකට ද අම්මේ?"

"අක්කට තනියම ගිහින් ඔය බැංකුවෙ වැඩේ කරගන්න බෑ. පුතා එයාව ගිහින් දාලා එනව ද?" පහන්ගෙ අම්මා ඇහුවා.

"ආ... හරි අම්මේ."

"එතකොට අනිද්දා හවස පන්සලේ පූජාවක් තියෙනවා. එන අයට කොත්තමල්ලි දන්සලක් දෙන්න මං බාරගත්තා. පුතා එදාට වේලාසන එන්න. නැත්නම් නිවාඩුවක්වත් දාන්න."

"හරි අම්මේ."

සෞම්‍යාගේ හිත කෑ ගහනවා. එකම හඬ, එකම පිළිතුර, එකම යටහත්පහත් භාවය, "මොන විකාරයක් ද මේ?"

ඇයට මීට සතියකට කළින් වෙච්ච සිදුවීමක් මතක්වුණා. දරුවො දෙන්නා දොස්තර ළගට එක්ක යන්න වාහනය ඉල්ලද්දි ඔහු කියපු වචන ඇගේ සිහියට ආවා. "බෑ... අම්මට වැඩක් තියෙනවා."

අම්මා කියන හැමදේට ම ඔහුට වෙලාව තිබුණා. තමන්ගේ හරි, දරුවන්ගෙ හරි දෙයක් කිව්වොත් ඒවා ඔක්කොම වෙන දවසකට කල්යනවා. අන්තිමට සෞම්‍යා ම තනියම ඒ දේවල් කරගන්නවා. ඇය පුංචි දරුවො දෙන්නට බිස්කට් එකක් එක්ක තේ දීලා ආපහු කුස්සියට ආවා. තේ කෝප්පය අතට ගත්තත් ඒක හොඳටම නිවිලා තිබුණා. හරියට ඇගේ ජිවිතය වගේ.

දුවගෙ පාසලේ පළමුවෙනි දෙමාපිය හමුව තියෙන බවට ගුරුතුමිය වට්ස්ඇප් පණිවිඩයක් දාලා තිබුණා. පණිවිඬේ කළින් ම දාලා තිබුණු හින්දා සෞම්‍යා හෙට දවසේ නිවාඩුව අනුමත කරගෙනම තමයි එදා ගෙදර ආවේ? කෑමෙන් පස්සේ මනුල පුතා නින්දට වැටෙනවා. මිනුලි අම්මා ළඟ දැවටි දැවටි ඉන්නෙ නිදිමත නැති නිසා.

"පුළුවන් නම් ඔයත් පැයකට විතර හරි ඇවිත් යන්න එන්න. දූ බලාගෙන ඉන්නවනෙ," සෞම්‍යා පහන්ට කිව්වේ දුවගෙ ඔළුව අතගාන ගමන්. ඔහු කිසිවක් කිව්වේ නෑ.

"තාත්තා එනවා නේ ද? සිනෙතිගෙ නම් අම්මයි, තාත්තයි දෙන්නම එනවා කිව්වා!"

පහන් ටී.වී. එක දිහා බලාගෙනම හිටියා මිසක් මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ ටී.වී. එක දිහා බලාගෙන හිටපු පහන්ගෙ අම්මා කතාවට මැදිහත්වුණා.

"පුතාට හෙට ඉස්කෝලෙට යන්න වෙලාවක් නැති වෙයි. මාව හොස්පිටල් එක්කන් යන්න තියෙනවා."

සෞම්‍යගෙ හිතේ නොසන්සුන්තාව ටිකෙන් ටික වැඩි වෙනවා.

"අම්මේ, හොස්පිටල් යන එක අනිද්දට දා ගන්න පුළුවන් නේ ද? දුවට මේක ගොඩාක් වැදගත්. අනෙක මේ එයාගෙ පළමුවෙනි පේරන්ට්ස් මීටින් එක!"

අම්මගෙ මූණේ මස්පිඩු නළියන හැටි ඇයට පේනවා.

"දැන් එතකොට මේ ගෙදර දේවල් සිද්ධ වෙන්න ඕනේ ඔය ළමයට ඕනෙ විදිහට ද? මං පුතාගෙන් අවසර අරගෙන ද දැන් වැඩ කරන්න ඕනෙ?"

සෞම්‍යා ගැස්සෙනවා. ඒත් එක්කම පහන් කේන්තියෙන් වගේ ඇය දෙසට හැරෙනවා.

"ඇයි ඔයා හැමදේට ම අම්මත් එක්ක තර්ක කරන්නේ?"

"මං තර්ක කළේ නෑ. දුව ගැන කිව්වේ."

"දුව ගැන මමත් හිතනවා. ඔයා විතරක් නෙමේ."

"එහෙනම් ඉතින් ඔයා හෙට එන්න..." ඇය එකට එක කිව්වා. අම්මා පුදුමයෙන් වගේ ඔවුන් දිහා බලාගෙන හිටියා.

"මං මොනවද කරන්න ඕනෙ, මොනවද කරන්න ඕන නැත්තෙ කියලා ඔයා මට උපදෙස් දෙන්න එපා," පහන් කේන්තියෙන් නැගිට්ටා. මිනුලි බයවෙලා අම්මට තුරුළුවුණා.

"පේනවා නේද පුතේ? මේ ගෙදරට ආපු දවසෙ ඉඳන් මේ කෙල්ල ඔයාව අපෙන් ඈත් කරන්න හදනවා."

පහන්ගෙ අම්මගෙ වචන සෞම්‍යාගේ හදවත රිදෙව්වා. ඇයට දුක හිතුණෙ දුවගෙ හිත රිදෙන එකටයි. ඒත්, පහන් දැක්කෙ සෞම්‍යා අම්මට අගෞරව කළා වගෙයි. ඔහු බිරියට නැතුව අම්මට පක්ෂව කතා කළේ ඒකයි. ලේලි තමන්ගේ බලයට, නිවසේ ආධිපත්‍යයට අභියෝගයක් විදිහට අම්මට දැනුණා. පුතා තමන්ගේ කීම පිළිගත් එක ඇයට සතුටක්. සෞම්‍යා නිදිමතේ ඉන්න දුවත් වඩාගෙන කාමරේට යන දිහා පහන්ගේ අම්මා බලාගෙන ඉන්නේ කිසියම් ජයග්‍රාහී විලාසයකින්.

* * *

හවස් වෙද්දි අහස අඳුරු වුණේ කාටවත් හිතාගන්න බැරි විදිහට. දවස පුරාම තිබුණු උණුසුම මකා දමමින් වැහි බිංදු එකින් එක වහලයට වැටෙන්න පටන් ගත්තා. මිනිත්තු කිහිපයකින් ඒ හඬ තද වැස්සක් එකම රිද්මයක් බවට පත් වුණා. ගේ ඉදිරිපස තිබූ ගස්වල කොළ හමාගෙන ගිය සුළඟට වේගයෙන් හෙලවෙන්න පටන් ගත්තා. සෞම්‍යා ගේට්ටුව ඇරගෙන ගෙට ඇතුළු වුණේ තෙමුණු කුඩය අතේ තියාගෙන. ඇගේ මුහුණ දවස පුරාම වැඩ කරලා ලැබුණු වෙහෙසටත් වඩා කිසියම් දුකක් තැවරිලා තිබුණා.

පහන්ගේ අම්මා සාලයේ පුටුවක වාඩි වෙලා ටී.වී. බලමින් හිටියා. සෞම්‍යාගේ හිතට නොයෙක් අඳුරු සිතුවිලි එන්න පටන් ගත්තා.

"අම්මේ.. කෝ දරුවො...," ඇය සපත්තු දෙකවත් ගලවන්නේ නැතුව ගෙට ආවා.

"කාමරේ..."

පහන්ගේ අම්මා කියද්දි ඇගේ හදවත එකවර ගැස්සුණා. ඇය කාමරේ දිහාට යන්න හැරුණා.

"දවල් ඉඳලා පුතාගේ ඇඟ රත් වෙලා."

සෞම්‍යා ඉක්මනින් කාමරයට ගියා. ඇඳ මත වැතිර සිටි පුංචි පුතාගේ නළලෙන් රස්නයක් දැනුණා. දරුවා අම්මා දිහා බැලුවෙ ඇස් ඇරගන්නවත් බැරි තරම් අමාරුවෙන්.

"පුතේ..."

"අම්මා ආව ද?" පුතාගේ වේදනාබර හඬ ඇයට දවසේ සියලු වෙහෙස මොහොතකට අමතක කළා.

"අම්මා ඉන්නවනෙ... පුතා බයවෙන්න එපා..." ඇය දරුවා ළඟට ගත්තේ ආදරයෙන්. එතකොට ම වගේ පහන්ගේ අම්මා ඇවිත් කාමරේට එබුණා.

"ඔයාට දරුවා ගැන මීට වඩා බලන්න තිබුණා..," නැන්දම්මාගේ වචන සෞම්‍යාගේ කන්වල දෝංකාර දුන්නා.

"ඉතින් අම්මේ... මං අද උදේ යද්දි දරුවට කිසිම අමාරුවක් තිබුණෙ නෑ නේ?"

"ඒක තමයි, ඔයාට වැඩට යන එක තමයි ලොකු. දරුවො බලන්න කෙනෙක් මේ ගෙදර ඉන්නව ද නැද්ද කියලා හොයලා බලන්න කෙනෙක් නෑ!"

තවමත් පෙර පාසල්වත් යන්නෙ නැති දරුවා බලාගන්නේ පහන්ගේ අම්මා. සෞම්‍යා උදේ ගෙදරින් යද්දි දරුවා හොඳට සෙල්ලම් කර කර හිටියේ. කිසි අසනීපයක් තිබුණෙ නෑ. නැන්දම්මා මේ මොනව ද කියන්නෙ කියලා ඇයට තේරුණේ නෑ. සෞම්‍යා මොකුත් කියන්න ගියේ නෑ. ඇය දරුවාගෙ හිස මත අත තියාගෙන හිටියා. පහන්ගේ මෝටර් රථය පෝටිකෝව යට නතර කරන හඬ ඇහුණා. හවස පන්තියෙන් දුවව අරගෙනම ඔහු එන්න ඇති කියලා ඇයට හිතුණා.

පහන් කාමරයට ඇතුළු වෙච්ච ගමන් බැලුවෙ සෞම්‍යා දිහාවත්, දරුවා දිහාවත් නෙමෙයි. තමන්ගේ අම්මා දිහා.

"මොකද අම්මේ?" අම්මා දිග හුස්මක් හෙලලා ඉවත බලා ගත්තේ පහන්ට කේන්තිය පෙන්නන්න වගේ.

"දරුවට උණ. මම කියන දේවල් මේ ගෙදර කවුරුත් අහන්නෙ නෑ නේ.."

පහන් සෞම්‍යා දිහා බැලුවා. ඇයත් ඔහු දිහා බැලුවෙ උදව් ඉල්ලන්න වගේ.

"පහන්... පුතා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු. දවල් ඉඳලා උණ ලු. තව ම අඩුවක් නෑ!"

පහන් අම්මා දිහා බැලුවේ "මොකද කරන්නේ?" කියලා අහනව වගේ.

"ඇඟ රත් වෙච්ච හැටියෙ දොස්තර ගාවට උස්සන් දුවන්න ඕන නෑ. අපිත් දරුවො හැදුව නෙ. ළමයට මම පැරසිටමෝල් දීලා තියෙන්නේ!" පහන්ගේ අම්මා කතා කළේ සැරෙන්.

"ඒ වුණාට උණ අඩු නෑ නේ," සෞම්‍යා කිව්වා.

"අම්මා කියනවා නම් ටිකක් බලමු සෞම්‍යා. ලොකු රස්නයක් නෑ නේ," පහන් දරුවගෙ නළලට අත තියලා කිව්වා.

ඒ වචන වැස්සෙ හඬ අතරෙ වුණත් ඇයට පැහැදිලිව ඇහුණා. ඇය කිසිවක් කිව්වෙ නෑ. දරුවව තවත් තදින් පපුවට තුරුළු කර ගත්තා. දුව කාමරේට ඇතුළු වෙලා සෞම්‍යා ළගට දුවගෙන ආවා.

"මල්ලි ළඟට කිට්ටු වෙන්න එපා දුව. මල්ලිට උණ," ඇය දුවට කිව්වා.

"මට අම්මි ඕන..."

"අපි යමුකො මුලින් ම වොෂ් එකක් දාගෙන එන්න. යං...," පහන් දුවව වඩාගත්තා. පහන් සහ දුව පහන්ගේ අම්මගෙ පස්සෙන් ගියා.

වැස්ස තවමත් තදින් පොළොවට වැටෙමින් තිබුණා. සෞම්‍යාගේ හිතේ වේදනාව, බය කියන හැඟීම් එකිනෙක පරයා නැගී හිටියේ හරියට තරග කරන්න වගේ. වැස්ස වැටෙන්නේ ගෙදර වහලය උඩට විතරක් නෙමේ කියලා ඇයට හිතුණා. ඇගේ විවාහය මතත් කිසියම් වැස්සක් ඇද හැලෙමින් තියෙන බව ඇයට දැනුණෙ අද ඊයෙක නෙමෙයි. ඒ වැස්ස කෙතරම් වේලාවක් පවතී ද කියලා ඇයවත් දැනගෙන හිටියෙ නෑ.

* * *

සවස් යාමයේ වැවේ නිසල දිය මත හිරු රත් පැහැති රේඛා ඇඳ තිබුණා. කුඩා බෝට්ටුව පදවමින් සිටියේ පහන්. මිනුලි සහ මනුල සෞම්‍යාගේ දෙපස හිටගෙන සිටියේ සතුටත්, බියත් මුසු වූ මුහුණු දෙක දෙපසට හරෝගෙන. පහන් ගේ අම්මා පහන් අසල ඉඳගෙන සිටියා. වැව් ඉවුරේ ගස්වල සෙවනැලි දිය මතට වැටී තිබුණා. පහන් බෝට්ටුව ඉවුරෙන් ඈතට පදවමින් සිටියා. වැව මැදට බෝට්ටුව ගියාට පස්සේ වැව් ඉවුරු නොපෙනෙන තරම් අඳුර ඉවුරුවල ලැඟුම්ගෙන තිබුණා.

"පහන් දැන් ඇති. අපි ආපහු යමු නේ ද?" සෞම්‍යා කතා කළේ බියමුසු හඬකින්.

"නෑ, නෑ. එහා ඉවුරට ගිහින් එමු," පහන්ගේ අම්මා සෞම්‍යා දෙස රවා බැලුවා.

එවිට ම බෝට්ටුවේ එන්ජිම හදිසියේ නතරවුණා. වැව මැද නිහඬතාවය රජයන්නට වුණා. ඒ නිහඬතාවය අතරින් වැව මැදින් කුඩා "ටක්..., ටක්..." හඬක් ඇසෙන්නට වුණා. දිය මත කුඩා රවුම් මතුවෙන්නට පටන් ගත්තා. එක් රවුමක්... ඊළඟට තවත් එකක්. ඊළඟට බෝට්ටුව වටාම. සෞම්‍යාගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා.

"කවුරු හරි අපි ළඟ ඉන්නවා..." ඇය සෙමෙන් කීවා.

ඒ සමඟම බෝට්ටුවේ පිටුපසින් කිසිවෙකු එයට අත තැබූ බවක් ඇයට දැනුණා. සෞම්‍යා දරුවන් දෙදෙනාගේ අත් තදින් අල්ලාගෙන හැරී බැලුවා. කිසිවෙකුත් නෑ. ඒ සමඟම බෝට්ටුව පෙරළුණා. සෞම්‍යා කෑ ගැසුවා. ඒත් හඬ පිටවුණේ නෑ. ඇය ගිලෙන්නට පෙර දරුවන් දෙදෙනාගේ දෑත් පහන් ගේ අතේ දැවටුවා. පහන් දරුවන්ගේ දෑත් ගසලා දාලා තමන්ගේ අම්මව කර උඩ තියාගෙන පීනන්නට වුණා.

"පුතේ... උඹ කවදා හරි බුදු වෙනවා..." පහන්ගේ කර මතින් යන ගමන් අම්මා විවරණ දුන්නා.

සෞම්‍යා දරුවෝ දෙන්නා දෑතට අරගෙන පීනන්න දැඟලුවා. ඒ සමඟම ඇය යටිගිරියෙන් කෑ ගැසුවා.

"මොකද... මොකද මේ බෙරිහන් දෙන්නේ?" පහන්ගේ අම්මාගේ හඬින් ඇය දෑස් විවර කළා. අම්මාගේ අතේ එල්ලුණු පහන්ගේ මුහුණුවර තියෙන දරුවෙක් සෞම්‍යාගේ දෑස්වලට එබුණා.

සෞම්‍යා ඇඳේ වම්පස බැලුවා. මිනුලි සහ මනුල වගේ වගක් නැතිව නිදාගෙන හිටියා.

- ශක්තික සත්කුමාර
shakthikasathkumara@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි