Tuesday, 6 October 2026

“වැසී ගිය දොරෙන් එපිට ඇති කතාව” - මලී දිසානායක



නිහාල් රූපසිංහ ගේ "හිතක් පපුවක් ඇති ගැහැනියක් සහ තවත් ඔසී කතා" කෙටිකතා සංග්‍රහය පිළිබඳව විචාරයකි.

"හිතක් පපුවක් ඇති ගැහැනියක් සහ තවත් ඔසී කතා" කෙටිකතා සංග්‍රහයේ පිටකවරය ද බැලූ බැල්මට සරල රූපයකට වඩා ගැඹුරු අරුතක් දනවන්නකි. කෙටිකතා පහළොවකින් සමන්විත, පිටු එකසිය හැටකින් යුත් මේ පොතේ අළු සහ කළු පැහැයෙන් සැදුම්ලත් පසුබිම මත, කළු පැහැයේ ඉහළින් ගැහැනියකගේ හිසක අඩක් පමණක් දිස් වේ. එක් අතකින් දොරක් යාන්තමට අල්ලාගෙන, ඉන් ඉවතට පැමිණීමට ඇය දරන උත්සාහයක් මෙන් එය පෙනේ. එය හුදෙක් ගැහැනියකගේ රූපයක් නොව, තම ජීවිතය වසාගෙන ඇති දොරටුවක් විවර කරගෙන, නොපෙනෙන සීමාවක් ඉක්මවා එළියට පැමිණීමට වෙර දරන මිනිස් ජීවිතයක රූපකයක් සේ ද හැඟේ. කළු සහ අළු පැහැයන් තුළ සැඟවුණු වේදනාව, අවිනිශ්චිතභාවය හා ජීවිතයේ අඳුරු පැතිකඩත්, දොරෙන් ඔබ්බෙහි ඇති එළිය පිළිබඳ අපැහැදිලි බලාපොරොත්තුවත් එකවර එහි සටහන් වෙයි. ඒ අර්ථයෙන් බලන විට, මේ පිටකවරය පොතේ නමට පමණක් නොව, එහි කෙටිකතාවලින් අප හමුවන මිනිසුන්ගේ ඇතුළාන්ත ජීවිතයට ද නිහඬ පෙරවදනක් සපයයි.

කතුවරයා දෙස් විදෙස්හි සුප්‍රකට ලේඛකයන්ගේ කෙටිකතා මෙන්ම පුවත්පත් තීරු ලිපි ද කියවීමෙන් ලිවීමට පන්නරය ලැබූ බව පෙරවදනෙහි සඳහන් කරයි. එම ආභාෂය පිළිගත්ත ද, මේ කෘතිය තුළ ඔහු අනුගාමිකයකු ලෙස නොව, තමන්ටම අනන්‍ය වූ ලේඛන ශෛලියක් ගොඩනඟාගත් ලේඛකයකු ලෙස හඳුනාගත හැකිය. වෙනත් ලේඛකයන්ගෙන් ආභාසය ලබමින් ද තමන්ගේම හඬක් සොයා ගැනීම, සහජ ලේඛන කුසලතාවක් ඇති ලේඛකයකුගේ ලක්ෂණයක් ලෙස මම දකිමි.

නූතන කෙටිකතාවේ පුරෝගාමියකු ලෙස සැලකෙන ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් පෝ කෙටිකතාවක සාර්ථකත්වයට සංක්ෂිප්ත බව, එක් මූලික සිදුවීමක් වටා කතාව ගොඩනැඟීම, බාහිර හෝ අභ්‍යන්තර ගැටුමක්, කතාවේ අභිමතය මතු කරන අවස්ථාවක් සහ සාර්ථක අවසානයක් වැනි ලක්ෂණ වැදගත් බව පෙන්වා දී තිබේ. එහෙත් කෙටිකතාවක් යනු එම සීමා තුළම රඳවා තැබිය හැකි නිර්මාණයක් නොවේ. විශිෂ්ට කෙටිකතා අතර පැහැදිලි ආරම්භයක්, මැදක් හෝ අවසානයක් නොමැති නිර්මාණ ද අපට හමුවෙයි. ඒවායේ සාර්ථකත්වය ඇත්තේ සිදුවීම් සියල්ල පැහැදිලිව කියා අවසන් කිරීම තුළ නොව, කතාව අවසන් වූ පසුත් පාඨකයා තුළ යම් දෙයක් ඉතිරි කිරීම තුළ ය. එය කඳුළක් විය හැකිය, කම්පනයක් විය හැකිය, ප්‍රශ්නයක් හෝ අලුත් අවබෝධයක් විය හැකිය. නැතහොත් කිසිදා අමතක නොවන චරිතයක මතකයක් විය හැකිය.

නිහාල්ගේ කෙටිකතා කියවන විට පෙනී යන්නේ, ඔහු කෙටිකතාවේ මෙම මූලික ගුණාංග පිළිබඳ අවබෝධයකින් යුතුව, ඒවා තමන්ගේ නිර්මාණාත්මක අවශ්‍යතාව අනුව භාවිත කරන බවයි. ලංකාවත්, ඕස්ට්‍රේලියාවත් පසුබිම් කරගත් මෙම කෙටිකතා එකතුව තුළින් පරිසර දෙකක ජීවිත හමුවුව ද, ඒවායේ මූලික මිනිස් අත්දැකීම් බොහෝ විට අපට හුරුපුරුදු ය.

විශේෂයෙන් ඕස්ට්‍රේලියාව පසුබිම් කරගත් කතා කියවන ලංකාවේ පාඨකයාට, මෙරටට සංක්‍රමණය වූ මිනිසුන් මුහුණ දෙන ඇතැම් ගැටලු මෙන්ම අපට පහසුවෙන් නොපෙනෙන සමාජ ජීවිතයේ පැතිකඩ ද හඳුනාගැනීමට අවස්ථාව ලැබෙයි. එහෙත් කතුවරයා ඒවා පිළිබඳ දේශනා කරන්නේ නැත. දීර්ඝ විස්තරවලට නොගොස්, ඉතා සුළු සිදුවීමක් තෝරාගෙන එය පාඨකයාගේ සිතෙහි තබයි. සිතීමේ කාර්යය ඔහු පාඨකයාට බාරදෙයි.

"අළු බඳුන" කතාව එයට කදිම උදාහරණයකි. නිවසක් ඉදිරිපිට නවතා ඇති වාහනයක ජීවත් වන මිනිසකුගේ ජීවිතය ඔස්සේ කතුවරයා හෙළි කරන්නේ එක් මිනිසකුගේ අනුවේදනීය කතාවක් පමණක් නොවේ. නිවස තුළ නිදන මිනිසුන් සහ නිවසෙන් පිටත වාහනයක නිදන පියා අතර ඇති දුර ඔස්සේ, එකම පවුලක මිනිසුන් අතර ඇති විය හැකි මානසික දුරත්, ඇතැම් විට මිනිස්කමේ දුරත් ඔහු අප ඉදිරියේ තබයි. කුඩා සිදුවීමක් තුළින් විශාල මිනිස් කතාවක් දැකීමට ඔහුගේ ලේඛක ඇස සමත් වන්නේ එතැන දී ය.

නිහාල්ගේ කතා කියවන විට මට පෙනෙන තවත් සුවිශේෂී කරුණක් වන්නේ ඔහු අසාමාන්‍ය වීරයන් සොයා යන ලේඛකයකු නොවීමයි. ඔහු සොයා යන්නේ අප වටාම ජීවත් වන සාමාන්‍ය මිනිසුන් ය. එහෙත් ඔහුගේ ලේඛක ඇසට ඒ සාමාන්‍ය ජීවිත තුළ සැඟවී ඇති අසාමාන්‍ය මනුෂ්‍ය කතාව පෙනේ. එම කතාව පාඨකයාට පෙන්වා දීමේදී ඔහු චරිත විනිශ්චය කිරීමට වඩා, ඔවුන්ගේ ජීවිතය අප ඉදිරියේ තබයි. එතැනින් පසු තීරණය කිරීම පාඨකයාට භාර ය.

"හිතක් පපුවක් ඇති ගැහැනියක්" නම් කෙටිකතාව ඒ ලක්ෂණය පැහැදිලිව පෙන්වන නිර්මාණයකි. අඹුසැමි යුවලක් නොගැලපීම් හේතුවෙන් වෙන්ව ජීවත්වෙති. සැමියා නවගුණ වැල අතැතිව තම ජීවිතය ගත කරන අතර, බිරිඳ වෙනත් පුරුෂයකු සමඟ ජීවත් වෙයි. එහෙත් ඔවුන් අතර, අවශ්‍ය අවස්ථාවක හමු වී සාකච්ඡා කර තීරණ ගැනීමට තරම් වූ සම්බන්ධයක් තවමත් පවතී. විදෙස් සරසවියක අධ්‍යාපනය ලැබූ දියණිය නැවත නිවසට පැමිණීමත් සමඟ ඇය පිළිගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ඔවුහු අවන්හලක දී හමුවෙති. එම හමුවීම ඔස්සේ ඔවුන්ගේ බිඳී ගිය සම්බන්ධයේ යටිපෙළ ක්‍රමයෙන් පාඨකයා ඉදිරියේ විවෘත වෙයි.

මෙහි නිර්මාණාත්මක දක්ෂතාව ඇත්තේ සිදුවීම් පෙළ තුළ පමණක් නොවේ. කතාවේ නම "හිතක් පපුවක් ඇති ගැහැනියක්" වුව ද, සැමියා නගන චෝදනාව “ඔයා නම් හිතක් පපුවක් නැති ගැහැනියක්” යන්නයි. සැමියාගේ චෝදනාව අපට අසන්නට සලස්වා, කතාවේ සිදුවීම් ඔස්සේ ඇය තුළ ඇති මනුෂ්‍යත්වය අපටම දැකගැනීමට ඉඩ සලසයි. දියණිය වෙනුවෙන් ඇය තුළ ඇති ආදරය, බැඳීම සහ වගකීම හෙළිවන විට, මුලින් ඇසුණු එම චෝදනාවම පාඨකයා ඉදිරියේ වෙනත් අරුතක් ගනී. එබැවින් කතාව අවසානයේ දී අපට ඉතිරි වන්නේ ඇය නැවත පළමු සැමියා වෙත පැමිණේ ද, නැද්ද යන ප්‍රශ්නය පමණක් නොවේ. ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් අප ඉදිරියේ ඉතිරි වේ. ඒ, "මිනිසකු පිළිබඳ අපේ තීරණය ගොඩනැඟෙන්නේ ඔහු හෝ ඇය පිළිබඳ අපට ඇසෙන චෝදනා මත ද, නැතහොත් ඔහුගේ හෝ ඇගේ ක්‍රියා තුළින් අප දකින මනුෂ්‍යත්වය මත ද?" යන්නයි. මාතෘකාව එහි සම්පූර්ණ අරුත ලබා ගන්නේ කතාව අවසන් වූ පසුව ය.

නිහාල් ගේ කතා කියවන විට මට හමුවන තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සංකේත භාවිතයයි. ඔහු ඇතැම් විට කුඩා වස්තුවක් හෝ සිදුවීමක් තුළින් විශාල කතාවක් අපට කියයි. "හිතක් පපුවක් ඇති ගැහැනියක්" කතාවේ නවගුණවැල එවැනි සංකේතයකි. එය සැමියාගේ බාහිර ආගමික හැසිරීම පමණක් නොව, එම බාහිර ස්වරූපය හා ඔහුගේ අභ්‍යන්තර මනුෂ්‍ය ස්වභාවය අතර ඇති පරස්පරතාව ද පාඨකයාට දැනෙන්නට සලස්වයි. "අළු බඳුන" සහ වැසිකිළි බිත්තියේ දිස්වන ලේ පැල්ලම වැනි සංකේත ද කතාවේ සෘජුව නොකියන අරුත් තවදුරටත් පුළුල් කරයි.

ඔහුගේ භාෂා භාවිතය ද මේ නිර්මාණවල සාර්ථකත්වයට බලපාන වැදගත් කරුණකි. ගතානුගතිකත්වයත්, නූතනත්වයත් අතර දෝලනය වන ඔහුගේ භාෂා රටාව සරල වුවත් රසවත් ය. වැල්වටාරම්වලට නොගොස්, අවශ්‍ය තැන අවශ්‍ය වචනය පමණක් තබා, ඉතිරි අවකාශය පාඨකයාගේ සිතට භාරදීම ඔහුගේ ලිවීමේ සුවිශේෂී ගුණයකි. ඒ නිසා ඔහුගේ කතාවක් කියවා අවසන් කළ විට කතාව අවසන් වුවත්, අපේ සිතීම අවසන් වන්නේ නැත.

සාර්ථක කෙටිකතාවක් කියවා අවසන් වූ පසු එය ලියැවුණු පිටු වසා තැබිය හැකි වුවත්, එහි අරුත වසා තැබිය නොහැකි ය. යම් චරිතයක්, සිදුවීමක්, ප්‍රශ්නයක් හෝ නිහඬ වේදනාවක් පාඨකයා සමඟ තවදුරටත් ගමන් කරයි. නිහාල්ගේ කෙටිකතා කියවා අවසන් කළ පසු මට ඉතිරි වූයේ ද එවැනි සිතුවිලි ය.

අප වටා ජීවත් වන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත තුළ සැඟ වී ඇති අසාමාන්‍ය මනුෂ්‍ය කතා දැකීමටත්, අප නොසිතූ මිනිසකු දෙස වෙනත් ඇසකින් බැලීමටත්, ඇතැම් විට අපෙන්ම ප්‍රශ්න කිරීමටත් මේ කෙටිකතා අපට ඉඩ සලසයි. ඒ අර්ථයෙන් ‘හිතක් පපුවක් ඇති ගැහැනියක්’ යනු කෙටිකතා පහළොවක් එකතු කළ පොතක් පමණක් නොව, කතාවක් කියවා අවසන් වූ පසුත් පාඨකයාගේ සිත තුළ තවදුරටත් විවෘතව පවතින දොරක් වැනි ය.



- මලී දිසානායක
samanmalee7@hotmail.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි