Friday, 2 October 2026

හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමූ - කරුණාසේන කහටපිටිය



පද රචනය: කුලරත්න ආරියවංශ
සංගීත නිර්මාණය සහ ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන

හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමූ
සඳුගේ රැයේ දී යළි හමුවෙමූ, යළි හමුවෙමූ

සැකයේ වෙලීලා උදයේ හවා
වැටවල් නැඟේ අප වටා
ගොළු වී, මුවා වී ඉමූ

අඳුරේ වෙළීලා රැය සීතලේ
සිහිනේ උදා වූ ලොවේ
මුමුණා සිනා සී (හිනා වී) ඉමූ



ගත වූ වසර පහකට අධික කාලයක් තුළ සිසිල සඟරාවෙන් මා ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළේ පෙරදිග සංගීත කලාව මුල් කරගෙන නිර්මාණය වූ ගී රසවිඳීම පිළිබඳ මගේ අදහස් ය. ලාංකික සංගීත සම්ප්‍රදාය තුළ බටහිර සංගීත සම්ප්‍රදාය පදනම් කරගෙන ගීත නිර්මාණය සුප්‍රසිද්ධ ගායක ක්ලැරන්ස් විජේවර්ධන විසින් සංගීත නිර්මාණය කර ගායනය කරන ලද "හිරු ගේ ලොවේ දී අපි වෙන් වෙමු," ගීතයේ රස වින්දනය පිළිබඳ සාකච්ඡා කිරීම මෙවර ලිපියේ අරමුණ යි.

උසස් ගීතයක පදමාලාවෙන් කරන්නේ පද රචකයා විසින් තෝරා ගත් මනෝරම්‍ය අවස්ථාවක්, වචනයෙන් විස්තර කිරීමක් නොවේ. ගීතයට සවන් දෙන ශ්‍රාවක මනස තුල චමත්කාර හැඟීම් ධ්වනිත වන පරිදි අවස්ථාව, තීක්‍ෂණ පරිකල්පනය යොදා, ඒ සඳහා තෝරාගත් උචිත පද මාලාවකින් රමණීය අවස්ථාවක් මැවීමකි. ගී රස වින්දනයේ දී ශ්‍රාවක රසිකයා විසින් කරනු ලබන්නේ ගීතයෙහි කාව්‍යයෝක්ති තුළ සැඟව ඇති සංකීර්ණ රසවත් හැඟීම් විචක්ෂණ ලෙස වටහා ගැනීමයි. ගීතයේ පදමාලාවෙන් ධ්වනිත වන සංකීර්ණ හැඟීම් හොඳින් වැටහුණු සඳ, ශ්‍රාවක මනස ළිඳක් කපා උල්පත දුටුවා සේ; පුන් පොහෝ දින කඳු අතරින් එබී බලන පුන් සඳ දුටුවා සේ; විස්මිත හැඟීමෙන් ප්‍රබෝධමත් වෙයි. ශ්‍රාවක මනස ගී රස වින්දනයෙන් චමත්කාරයට පත්වෙයි.

සඳ පායන්නේ රාත්‍රි කාලයේ දී ය. පෙම්වතුන් දෙදෙනා හමු වී ප්‍රේමයෙහි ආශ්වාදය විඳින්නේ රාත්‍රි කාලයේ දී පමණක් බැව් "හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමූ සඳුගේ රැයේ දී යළි හමුවෙමූ, යළි හමුවෙමූ," යන කාව්‍යයෝක්තියෙන් රමණීය අන්දමකින් ධ්වනිත වේ. "යළි හමුවෙමූ,"දෙවරක් ගායනාවීමෙන් එහි අර්ථය තීව්‍ර වී අවධාරණය වේ. මුළු ගීතයෙන් ම ධ්වනිත වන්නේ රාත්‍රි කාලයට පමණක් රහසේ හමු වී පෙම් සුව විඳින පෙම්වතුන් දෙදෙනාගේ රමණීය හැඟීම් සමුදාය පමණි.

"සැකයේ වෙලීලා උදයේ හවා වැටවල් නැඟේ අප වටා, ගොළු වී, මුවා වී ඉමූ," පෙම්වතුන්ගේ දෙමව්පියන් සහ ගමේ වෙසෙන නෑදෑ හිත මිතුරන් මේ දෙදෙනාගේ ප්‍රේමය ගැන දැන ගතහොත් පිදුරු ගොඩට ගිනි තැබුවාක් මෙන් කට කතා පැතිරෙනු ඇත. එවිට පෙම් යුවළ ගේ දෙමව්පියෝ උදේ සවස යන එන තැන් විමසනු ඇත. ඔවුන්ගේ ගමන් බිමන් සීමා කරනු ඇත. එනිසා එය වැළකීමට දෙදෙනා දහවල් කාලයෙහි දී කතාබහ නොකර ගොළුවන් සේ සිටිය යුතු බව ද ඒ වෙනුවට "අඳුරේ වෙළීලා රැය සීතලේ සිහිනේ උදා වූ ලොවේ, මුමුණා සිනා සී (හිනා වී) ඉමූ," යැයි ද පෙම්වතා යෝජනා කරයි.

විශේෂයෙන් නව යොවුන් විය පෙම් සුව විඳීමේ මනෝ ලෝකයේ පසුවන කාලයයි. ගුරු දෙගුරු වැඩිහිටි සියලු දෙනාගේ නෙත් වසා, රහසේ පෙම් කිරීම නව යොවුන් වියෙහි පසුවන සියලු දෙනා දකින සිහිනයයි. එය මනුෂ්‍ය සමාජයේ දක්නට ඇති පොදු ලක්‍ෂණයකි. ඒ මානුෂික හැසිරීම වස්තු විෂය කර ගත් රමණීය පද රචනයකින් යුතු, රමණීය ආකාරයකින් නව යොවුන් වියේ මනසේ යථා ස්වභාවය ධ්වනිත කරන උසස් ගීතයකි "හිරු ගේ ලොවෙහි දී අපි වෙන්වෙමූ," ගීතය. ගීතය හොඳින් රස විඳින සෑම හදවතක් ම විචිත්‍ර චමත්කාරයට පත් වේ.

ගී පද රචනය සඳහා යොදා ගෙන ඇත්තේ එදිනෙදා ව්‍යවහාර කරන භාෂා ප්‍රයෝගවලින් අලංකාර කරන ලද කාව්‍යයෝක්ති වේ. "වැටවල් නැඟේ අප වටා," ඒ සඳහා හොඳ උදාහරණයකි. පිටිසර ගම්මානවල ගැමියන්ගේ හැසිරීම රමණීය ලෙස රසික මනසට සිහිපත් කරන උසස් භාෂා ප්‍රයෝගයකි.

විශේෂයෙන් නව යොවුන් වියේහි ප්‍රේම සම්බන්ධතා, නොරිස්සීම ගැමි සමාජයෙහි බහුලව දක්නට ඇති සමාජීය ස්වභාවයකි. ගීතයෙන් ධ්වනිත වන්නේ පොදු සමාජ ලක්ෂණයක් නිසා යොදා ගෙන ඇති ගැමි ව්‍යවහාර භාෂාව, අවස්ථාවට ඉතා උචිත හැඟීම් රමණීය ලෙස ධ්වනිත වේ.

- කරුණාසේන කහටපිටිය
karunasena_k@yahoo.com.au

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි