Wednesday, 30 September 2026

යසසි මල්මීවල විසින් රචිත "Coming of Age” කාව්‍ය නිර්මාණ සංග්‍රහයේ දොරට වැඩුම - සුභාෂිණී ජයතිලක



යසසි මල්මීවල ගේ "Coming of Age" කෘතිය කවි හා ගද්‍ය මනාව මුසු වූ සුන්දර නිර්මාණයකි.

මේ කෘතිය තුළ ඇය තම ඇතුළාන්තයේ සිටින කුඩා දැරිය සමග හෘදයාංගමව දොඩමළු වීමට උත්සාහ දරයි. තම අතීත අත්දැකීම් අමතමින් ඇය ගොඩ නගන කතන්දරය තුළ, කිවිඳියගේ ජීවිත අත්දැකීම් සමුදාය හා තම ජීවිතය සසඳා බලන්නට පාඨකයා නිරායාසයෙන් ම පොළඹවයි.

පොත පුරා ගැහැණු දරුවෙකුගේ ස්ත්‍රීත්වය, අව්‍යාජත්වය හා බැඳුණු - ජීවිතයේ විවිධ අවධීන් වලදී දැනෙන හැඟීම්, හැලහැප්පීම්, සබඳතා සහ තවත් බොහෝ දේ අන්තර්ගත ය. එය අතීතය, වර්තමානය සහ වෙනස් වන ලෝකය තුළින් අනාගතය දකින්නට මනාව වියන ලද පොහොසත් වියමනකි.

යසසි, තම ළමා වියත්, සිය තාරුණ්‍යයත් අතර සැරිසරමින්, සිතිවිලි දෝලනය කරමින් - අතීත අත්දැකීම්, නිරීක්ෂණ, අකුරු කරමින්, තම ළබැඳි සබැඳියාවන්ට එබී බලමින්, ඉංග්‍රීසි බස වියත් ලෙස හසුරුවමින් කවි හා ගද්‍ය නිර්මාණය කොට ඇති අයුරු ප්‍රශංසනීයයි.

උදාහරණයක් ලෙස, ඇගේ "Clementine" නම් කවියේ, ඇය Clementine නම් පැඟිරි ඵලය රූපකයක් ලෙස භාවිතා කර එහි මිහිරි පැණිරස සහ ඇඹුල් රසය ජීවිතය හා සැසඳීමට සාර්ථක ප්‍රයත්නයක යෙදෙයි.

"Coming of Age" කෘතියේ දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වැනි දින සවස සිඩ්නි නුවර තදාසන්නයේ සෙවන්හිල්ස් හි පිහිටි, සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී සිදුවිය.

වසන්ත උදාවත් සමඟ එළැඹි සංස්කෘතික මාසයේ ඇරඹුම ලෙස මෙම උත්සවය සඳහා පූර්ණ අනුග්‍රහය සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය වෙතින් ලබා දුන් අතර, ‘අමෝදා ඩිසයින්ස් සහයෝගීතාවයෙන් සහ සම්බන්ධීකරණයෙන් සාහිත්‍යට හිතැති පිරිසක් සමඟින් ග්‍රන්ථය උත්සවාකාරයෙන් ජනගත කෙරිණි.

සිය ආරාධිත දේශනයේ දී ආචාර්ය පාලිත ගනේවත්ත මහතා කිවිඳිය තම කෘතිය හරහා ජීවිතයේ එක් අවධියකින් තවත් අවධියකට වන සංක්‍රාන්තිය කොතරම් සංවේදීව ග්‍රහණය කරගෙන ඇත්ද යන්න පැහැදිලි කළේය.

ඕස්ට්‍රේලියාවේ, යාය පොත් සමාගමේ පහත සබැඳිය මගින් පිටපතක් ඔබට ද වෙන් කර ගත හැක.

https://yaaya.com.au/products/detail/coming-of-age-english-poetry

යසසි මල්මීවල කිවිඳියගේ ඉදිරි ගමනට හද පිරි සුබ පැතුම් පිරිනමමි.



- සුභාෂිණී ජයතිලක
subhagoonaratne@gmail.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Tuesday, 29 September 2026

රසකැවිලි වෙළෙන්දා - R K Narayan ගේ The vendor of sweets නවකතාවේ පළමුවෙනි පරිච්ඡේදය - පරිවර්තනය: හෙල්මලී ගුණතිලක



“කෙනෙක් රසයට ඇති තමන්ගේ කැමැත්ත පාලනය කරගන්නවා කියන්නේ තමන්ගේ ආත්මය පාලනය කර ගත්තා වගේ තමයි,” ජගන් කීවේය.

“ඒ මොකටද ආත්මය පාලනය කරන්නේ?” ඔහුගේ කතාවට සවන් දෙමින් සිටි ඥාතියා පෙරළා ප්‍රශ්න කළේය.

“මන්දා, එහෙම නේ අපේ ශාස්තෘවරුන් කියලා තියෙන්නේ,” ජගන් කීය.

ඔහුගේ සවන් දෙන්නාට මේ ප්‍රශ්නය කෙරෙහි වූ උනන්දුව නැති විය. ජගන්ගේ පුටුව අසල වූ නූස් ලී බංකුවක හිඳ සිටි ඔහු, ප්‍රශ්න ඇසුවේ කතාබහ ඉදිරියට රැගෙන යාමට පමණකි. ජගන්ගේ පුටුවට ඉහළින් බිත්තියේ ලක්ෂ්මි දෙවඟනගේ රාමු කළ පින්තූරයක් ගසා තිබිණි. සෑම දිනකම දවසේ පළමු කාර්යය ලෙස බොහෝ භක්තියෙන් මෙහි පිච්ච මල් මාලයක් දවටා යාඥා කිරීමත්, දැල් වූ හඳුන් කූරක් බිත්තියේ සිදුරක රැඳවීමත් ජගන් නොවරදවාම සිදු කළේය. මෙහි අවට වාතය පිච්ච මල් සුවඳින්, හඳුන් කූරු සුවඳින් සහ මුළුතැන්ගෙහි ගිතෙලෙන් බැදෙන රසකැවිලිවල සුවඳින් පිරී පැවතිණි.

මේ සවන්දෙන්නා ජගන්ගේ ඥාති සහෝදරයෙකු වූවත් ඒ නෑකම එක එල්ලේ පැහැදිලි කළ හැකි එකක් නොවූයේ ඔහු නගර වැසියන්ගෙන් වැඩි ප්‍රමාණයක් සමඟ මෙවැනි නෑකම් කී නිසාය. (මින් සමහරක් කෙසේවත් විය නොහැකි ඒවාය) නමුත් මේ ගැන අභියෝගයට ලක් කරනු ලැබුවහොත් ප්‍රශ්න කරන්නා හෙම්බත් කරවන වංශාවලියක විස්තර ඉදිරිපත් කරන්නට ඔහුට හැකියාව තිබිණි. මහත් සේ සමාජශීලී අයෙකු වූ ඔහු උදෑසන සිට රාත්‍රිය වන තුරුම විවිධ නිවෙස් වෙත යමින් කාලය ගත කළේය. හැම දිනකම නොවරදවාම හවස හතරහමාරට පමණ ඔහු ජගන්ගේ නිවසට පැමිණියේය.

මෙදිනත් සුපුරුදු වෙලාවටම එහි පැමිණි ඔහු, ජගන් වෙත යන්තම් බැල්මක් හෙළා, හිස සන්කර කෙළින්ම මුළුතැන්ගෙයට ගියේය. විනාඩි දහයකට පසු ඔහු ඉන් නික්මුණේ උරෙහි රැඳි සාලුවේ කෙළවරකින් මුව පිසිමිනි.

“සීනි පාවිච්චිය ගැන ටිකක් බලන්න වෙනවා, මට ආරංචියි ආණ්ඩුව සීනි මිල වැඩිකරන්න යනවා කියලා. තිරිඟු පිටි නම් අද වරදක් නැහැ. ඊයේ ගොඩ්වුන් පාරේ යද්දී තොග වෙළෙන්දා මුණගැහිලා මම ඌට හොඳවැයින් දෙකක් කතා කළා. ඒ පාරේ මම මොනවා කළා ද කියලා අහන්න එපා ඉතින්, මට මේ නගරේ පුරාම යාළුවොයි, නෑයොයි ඉන්නවා. එයාලා හැම තිසේම මට අරකට මේකට මට කතාකරනවා. අපි එකිනෙකාට උදවු නොකරනවා නම් මේ ජීවිතෙන් වැඩක් තියෙනව ද?”

“කෝකියා අත්හදා බලන්න හැදුව රසකැවිල්ල කාලා බැලුව ද?” ජගන් ඔහුගෙන් ඇසීය.

“ඔව්, නැතුව නැතුව... ඒක රසයි.”

“හැබැයි මට නම් හිතෙන්නේ ඒක අලුත් මුහුණුවරක් දුන්නු පරණ රසකැවිල්ලක් කියලා. අන්තිමේදී ඔය කෝකත් එකයි, නැද්ද හොඳයි?”

“නෑ මහත්තයෝ,” ඥාතියා කීවේය. “මට නම් තාම හැම රසකැවිල්ලක් අතරේ ම ලොකු වෙනසක් පේනවා. කවදා හරි දවසක මං යෝගියෙක් වෙලා කෑමවල රස නොදැනෙන තැනට වැටෙන්නේ නැතිවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.”

යමෙකු රසයට ඇති තමන්ගේ කැමැත්ත පාලනය කරගැනීම ගැන තමන්ගේ දර්ශනය ජගන් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ මේ වෙලාවේදීය. මෙලෙස තවත් පැය භාගයක් ගතවන තුරු ඔවුහු සල්ලාපයේ යෙදුනහ. ඉනික්බිති ජගන් මෙසේ ඇසුවේය.

“උඹ දන්නවද මම මේ දවස්වල කන්නේ මොනවද කියලා?”

“මොනවා හරි අලුත් දෙයක්ද?” ඥාතියා ඇසුවේය.

“අද උදේ ඉඳන් මම ලුණු පාවිච්චිය අතඇරියා,” ජගන් ආඩම්බරයෙන් දිලිසෙමින් කීවේය. ඔහුගේ මේ නිවේදනය නිසා අසන්නා තුළ ඇතිවුණු කම්පනය දැක සතුටු වූ ඔහු තවදුරටත් තම න්‍යාය ඉදිරිපත් කරන්නට විය. “අපි හරි නම් කන්න ඕන ස්වභාවික ලුණු විතරයි.”

“මොනවද ස්වභාවික ලුණු කියන්නේ?” ඥාතියා විමසුවේය. “කෙනෙක් අව්වේ හැතප්මක් දුවලා දාඩිය දාලා වේලුනාම පිටේ ඉතිරිවෙන ලුණු ටික ද?”

මේ ග්‍රාම්‍ය උදාහරණය අසා ජගන් මුහුණ ඇඹුල් කරගත්තේය. ඔහුගෙන් දිස්වූයේ මේ කිලුටු ලෝකයේ නොගැටී පාවෙන ආත්මයක ස්වරූපයකි. වයස පනස් පහක් වූවත් ඔහුට තිබුණේ කුඩා සිහින් සිරුරකි. ඔහුගේ දුඹුරු සම විනිවිද පෙනෙනසුළු වූ අතර පුළුල් නළල කෙළවරින් ඇරඹුණු, තැන තැන සුදු වූ ඔහුගේ කෙහෙ රැළි ගෙල තෙක් දිගු තිබිණි. ඔහුගේ නිකට සුදු රැවුල් කොටවලින් වැසී තිබුණේ ඔහු රැවුල බෑවේ කලාතුරකින් බැවිනි. මීට හේතුව දිනපතා තමන්ගේ පිළිබිඹුව දෙස කැඩපතකින් බැලීම නරක යුරෝපීය පුරුද්දක් ලෙස ඔහු සැලකීමයි.

ජගන් තම දෝතියට උඩින් හැඳ සිටි බුරුල් කබාය ඔහු විසින් ම වියන ලද රෙද්දකින් මැසූ එකක් විය. හැම දවසකම ඔහු පැයක කාලයක් රෙදි විවීමෙහි යෙදුණි. එක් වරකට ඇඳුම් කට්ටල දෙකකට වඩා පාවිච්චි නොකළ ඔහු ඒ සඳහා රෙදි ප්‍රමාණයක් ඉතිරි කරගෙන ඉතිරිය මනා සේ මිටි බැඳ, ප්‍රදේශයේ අත් යන්ත්‍ර රෙදි කමිටුව වෙත විකිණුවේය. ඔහු මෙසේ ඉපයූ මුදල මසකට රුපියල් පහකට වඩා අඩු වූව ද ඔහු ඉන් භාවාතිශය සතුටක් ලැබුවේය. ජගන්ගේ මේ පුරුද්ද ඇති වූයේ ඊට වසර විස්සකට පමණ පෙර ගාන්ධි තුමා ඔවුන්ගේ නගරයේ සංචාරය කළ අවස්ථාවේ මේ කාර්යය වෙනුවෙන් ඔහු පැසසුම් ලැබූ පසුය.

ජගන් පැළඳ සිටි ආමන්ඩ් ඇටයක හැඩති, කහ පැහැති රාමුවෙන් යුතු වූ උපැස් යුවලට ඉහළින් ලොව දෙස එබිකම් කළේය. ලොකු අලංකාරයක් රහිත කහ පැහැති මෝස්තරයකින් යුතු වූ කදාර් සාළුවක් උර වටා පෙරවා සිටි ඔහු, දෙපයේ ලා සිටියේ වයස්ගතව මිය ගිය හරකෙකුගේ හමින් සැකසුණු පටි සහිත ගනකම් පාවහන් ජෝඩුවකි. ගාන්ධිගේ අනුගාමිකයෙකු වූ ඔහු, මේ ක්‍රියාවන් පැහැදිලි කළේ “මගේ දෙපයේ සුවපහසුව වෙනුවෙන් පණ තියෙන සතෙක්ගේ බෙල්ල කපන්න අවශ්‍ය නැහැ කියලා මම විශ්වාස කරනවා,” යනුවෙනි. මේ නිසා හරකෙකු හෝ පැටියෙකු මිය යමින් ඇතැයි යන ආරංචි ඔස්සේ ඔහු ඉඳ හිට ඈත ගම් වෙත සංචාරය කළේය. මෙසේ ගොස් ඒ සතාගේ හම ලබාගත් පසු ඔහු ප්‍රථමයෙන් එය යම් ද්‍රාවණයක ගිල්වා තබා, ඉනික්බිති එය ඇල්බර්ට් මිෂන් වත්තේ ගසක් යට කුඩා කඩයක් කළ ඔහුගේ හිතවත් සපත්තු මසන්නෙකු වෙත ලබා දුන්නේය.

ජගන්ගේ පුතා හය හැවිරිදි වියේදී පමණ පසු වෙද්දී තම පියා නිවසේ පසුපස බරාඳයේ සිදු කළ මේ හම් පදම් කටයුතු ආදියට සතුටින් එකතු වූයේය. නමුත් ඔහු වයසින් වැඩෙද්දී ජගන් සත්ත්ව හමක් නිවසට ගෙන ආ විට එහි ගඳ ගැන නෝක්කාඩු කියන්නට විය. ජගන්ගේ බිරිඳ පුතා තරම්වත් එය නොරිස්සූ අතර හම් පදම් කිරීමේ කාර්යය අවසන් වන තුරු ඈ තම කාමරයෙන් පිටතට ඒම ප්‍රතික්ෂේප කළාය. මෙය දවස් කිහිපයක් ගත වූ ක්‍රියාවලියක් බැවින් ජගන් තම පාවහන් අලුත් කිරීමට උත්සාහ කළ හැම වතාවකදීම ඔහුගේ නිවසේ සිදු වූ වියවුල සුළු පටු නොවේ. මේ පදම් කිරීමේ ක්‍රියාවලියේ මුල් අවධියේදී සම් කැබැල්ල බිරිඳට හසු නොවන සේ දර මඩුවේ සැඟවිය යුතු නමුත් එහිදී එය මීයන් කෑමට ඉඩ තිබිණි. ජගන්ගේ බිරිඳ මරණාසන්නව හිඳිද්දී වරක් ඔහුට කිට්ටුවට එන්නට සන්කර යමක් කීවාය. ඈ කී දේ ඔහුට හරි හැටි වැටහුණේ නැතත් ඈ කීවේ “හම් කැබැල්ල වීසි කර දමන්න” යැයි අනුමාන කිරීම නිසා ඔහුගේ සිත රිදිණි. ඇයගේ අවසාන කැමැත්ත විය හැකිව තිබුණු ඒ ඉල්ලීමට හිස නවමින් ඔහු නිවසේ තිබුණු අවසාන හම් කැබැල්ල පුණ්‍යායතනයකට දුන්නේ කෘර බැවින් තොර පාවහන් ලබාගැනීමට තවත් කෙනෙකුට අවස්ථාව ලබා දීම ගැන සතුටු වෙමිනි. ඉනික්බිති ඔහු තමන්ගේ සංකීර්ණ පාවහන් අවශ්‍යතාව සපුරාලීමට ඇල්බර්ට් මිෂන් හි සපත්තු තනන්නා මත යැපුණේය.

දැන් ස්වභාවික ලුණු ගැන තම ඥාතියා කී කතාව අසා ව්‍යාකූල වූ ඔහුගේ මුහුණ රත් පැහැ ගැන්විණි. තම වදනින් ජගන් තුළ ඇතිවූ කම්පනය ගැන සතුටට පත් ඥාතියා එහි කළින් පැවති සතුටු සාමීචිය නැවත ඇතිකරගැනීමේ අටියෙන් මෙසේ කීවේය.

“ඔබ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම සරල කරගෙන, මම ළඟදී සමූපකාරයේ ලොක්කාටත් කීවේ ඒකයි.”

මේ වැකියෙන් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණි.

“මම සීනි පාවිච්චියත් නවත්තලා තියෙන්නේ. දන්නවාද උණු වතුර වීදුරුවක මී පැණි බින්දු විස්සක් දිය කරලා බිව්වාම අපේ ස්වභාවික සීනි අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා?”

“ඔබ අල්පේච්ඡ ජීවිතය හොඳින් ප්‍රගුණ කරලා,” ඥාතියා කීවේය.

මින් දිරිමත් වූ ජගන් තම ප්‍රකාශයට තවත් තතු එකතු කළේය. “මම බත් කන එකත් අත ඇරියා. මම දැන් එළවළුවක්, මී පැණි ටිකක් එක්ක කන්නේ ගලේ ඇඹරුව තිරිඟු ටිකක්.”

“එහෙම තියෙද්දීත් මට හිතාගන්න බැහැ ඔබ වැඩකරමින්, සල්ලි උපයන්න කරදර වෙමින් මේතරම් මහන්සි වෙන්නේ ඇයි කියලා!” ඥාතියා වීදුරු කවුළුවේ ප්‍රදර්ශනයට තබා ඇති රසකැවිලි වෙත අත දිගුකරමින් කීවේය.

තමන් පැණිරස නොකමින් අන් අය තමන්ගේ ලාභය වෙනුවෙන් පැණිරස කෑ යුතු යැයි ඔහු බලාපොරොත්තු වන්නේ ඇයිදැයි ඇසීමෙන් ඔහු වැළකුණි. තමන් කී දේවල් ප්‍රමාණවත් යැයි සිතුණු බැවින් ඔහු නැගිට යන්නට සූදානම් වන ලකුණු පෙන්වන්නට විය. ජගන් මුදල් ගණන් කරන වෙලාව එළඹෙමින් තිබුණු අතර ඒ කාර්යය අන් අය නැරඹීම ඔහුගේ අකැමැත්තට හේතු විය. වෙලාව හවස හය වී තිබිණි. ඒ, දවසේ ප්‍රධාන වෙළඳ කටයුතු අවසන්ව ඉදිරිපස වෙළඳසැලේ සේවක කොලුවා විසින් දවසේ එකතු වූ මුදල් ගණන් කිරීම සඳහා ගෙන එනු ලබන වේලාවයි. මේ වෙලාවට ජගන්ට දැනුණේ ඔහු සිහසුනට වී තම රාජධානිය පාලනය කරන, තම යටත් වැසියන්ගෙන් (මීට කෝකියන් හතර දෙනෙක් සහ කඩේ කොලුවා ඇතුළත් විය) පඬුරු ලබන රජ කෙනෙකු බවයි. මෙහිදී සිහසුන ලෙස සැලකුණේ තමන්ගේ රසකැවිලි රාජධානියේ හතර අතම පෙනෙන ලෙස උපායශීලිව කුඩා වේදිකාවක් මත තබන ලද, තුනී කොට්ටයක් දමා තිබුණු ලී පුටුවයි. මේ පුටුව ශතවර්ෂයක් තරම් පමණ පැරණි එකක් විය. එහි අත් වාරු දෙක, පසුපස කොටස සහ කැටයම් කළ කකුල් දිලිසෙන පිත්තල තීරුවලින් අලංකාර කර තිබිණි. මේ පුටුව, ලෝව්ලි පිළිමය පසුපස මේ නිවස තනද්දී ජගන්ගේ පියා විසින් විශේෂයෙන්ම තනවන ලද්දකි. සාමාන්‍යයෙන් තම පවුලේ උදවිය නිවසේ ඔප දමන ලද බිම මත අසුන් ගන්නා බැවින් පුටුවක් තනවන්නට අවශ්‍යතාවයක් නොතිබුණත් ඉංග්‍රීසි ජාතික බදු එකතු කරන්නෙකු වූ නෝබල් මහතා නක්ෂත්‍රය ඉගෙනුමට නිතර මේ නිවසට ආ ගිය නිසාත්, පාඩම් වේලාවට ඔහුට බිම හිඳ ගන්නටත්, බිම හිඳ සිට නැගිටින්නත් වේදනාකාරී වූ නිසාත් පුටුවක් සඳහා අවශ්‍යතාවයක් ඇතිවිය. එකල ඉතා වටිනා ත්‍යාගයක් ලෙස සැලකුන නෝබල් මහතාගේ අත්සන සහිත පින්තූරයක් කාලයාගේ ඇවෑමෙන් දුර්වර්ණ වී සොල්දරයේ සුන්බුන් අතර තිබී සොයාගන්නා ලදී. පසු කලෙක එය සොල්දරෙයන් රැගෙන විත් දරුවන්ගේ කෙළි බඩුවක් ලෙස තැන තැන විසි කරමින් තියෙද්දී පින්තූරය රාමුවෙන් ඉවත් කර ඒ රාමුවේ දෙවියන්ගේ පින්තූරයක් බහා බිත්තියේ එල්ලා තිබිණි. නෝබල් මහතාගේ රාමුවක් රහිත පින්තූරය තව දුරටත් දරුවන් විසින් සෙල්ලමට ගනු ලද අතර ඔහුගේ කොපුල් හි වූ විසිලු සහගත රැවුල ඔවුන්ට හවස් වරු පුරාවටම සිනා ගෙන ආවේය. ග්‍රීෂ්ම ගිම්හාන සමයේදී පවන් ගැසීමටත් මේ පින්තුරය යොදා ගන්නා ලදී. අන්තිමේදී එය නැවතත් පැරණි ගිණුම් ජර්නල සහ අනෙකුත් පවුලේ සුන්බුන් සමඟ නැවතත් සොල්දරයටම යවා තිබිණි.

මෙතැන අසුන්ගෙන සිටිද්දී ජගන්ට මහත් තෘප්තියක් දැනුණි. එක් පසෙකින් ඔහුට මුළුතැන්ගෙහි සිදුවන හැම දෙයක්ම දකින්නත්, අහන්නත්, සුවඳ විඳින්නත් හැකි විය. එහි සිට නිරතුරුවම වෙළඳ සැල වෙත වෛවර්ණ රසකැවිලි පිරවුණු තැටි යැවිණි. මුළුතැන්ගෙහි රසකැවිලි බැදෙන හඬ ඇසෙන තාක් ජගන් ඒ වෙත අවධානය යොමු කළේ නැත. ඒ වෙනුවට ඔහු රත් පැහැති බැම්මෙන් යුතු වූ භගවත් ගීතා පොතේ සංස්කෘත පද වෙත නොසැලෙන බැල්මකින් බලා සිටියේය. නමුත් මුළුතැන්ගෙහි කැවිලි බැදෙන හඬේ කුඩා හෝ විරාමයක් ඇති වුවහොත් ශුද්ධ වූ පාඨයෙන් දෑස් ඉවතට නොගෙනම “මොකද ඔතැන වෙන්නේ?” යැයි ඔහු අසයි. එවිට ප්‍රධාන කෝකියා “මුකුත් නැහැ,” කියා තම සුපුරුදු පිළිතුර දෙනු ලබන අතර මෙය ජගන්ගේ මනස සන්සුන් කර නැවතත් දේව වාක්‍ය වෙත යොමු කිරීමට සමත් වේ. නමුත් ඒ ඉදිරිපස වෙළඳ සැලේ යම් පමාවක් ඔහුගේ අවධානයට ලක්වන තුරු පමණි. එවිට ජගන් නැවතත් කෑ ගසන්නට ගනී.

“කැප්ටන්, ඔය කහ පාට සායක් ඇඳගෙන ඉන්න පොඩි කෙල්ලගෙන් අහන්න මොනවාද ඕන කියලා, දැන් එයා සෑහෙන්න වෙලා ඔතැන බලාගෙන හිටියා.”

ඔහුගේ හඬින් වෙළඳ සැලේ කොලුවා මෙන්ම දොර ළඟ සිටින මුරකරු ද යුහුසුළු ව තම රාජකාරි වෙත යොමු වූහ. මේ මුරකරු අතීතයේදී යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටි අයෙකි. කාකි ඇඳුමින් සැරසී සිටින ඔහු නිරතුරුව තම ලී පුටුවේ අසුන්ගෙනම නිදා වැටීමේ සම්භාවිතාවක් තිබිණි. ඇතැම් විට ජගන් “කැප්ටන්, අර මොකද අර හිඟන්නෙක් ඇවිත්? සිකුරාදාට විතරයි හිඟන්නන්ට එන්න පුළුවන්, මේක දන්සලක් නෙමෙයි නේ” යනුවෙන් කෑ ගසනු අසන්නට ලැබිණි.

ඉදිරිපස වෙළඳ සැලේ කොලුවා විසින් හාම්පුතා වෙත දවසේ ආදායම ගෙන එනු ලබන විට වටපිටාවේ නිහැඬියාවක් පැතිරිණි. කොලුවා ගනුදෙනුවලින් මුදල් ලබාගත්තත් ඔහු එහි මුළු එකතුව දැන සිටී යයි අපේක්ෂා කෙරුණේ නැත. ඔහු අතට ලැබුණු හැම පයිසයක්ම දිගු ගෙලක් සහිත වූ පිත්තල ජෝගුවකට දමනු ලැබූ අතර හැම දිනකම හවස හයට ඒ ජෝගුව ජගන් වෙත ගෙන යන ලදී. ඉන් අනතුරුව නැවත තම අසුන වෙත යන ඔහු රාත්‍රී හතට කඩයේ දොර පලු වසද්දී ඒ පැයේ එකතු වූ මුදල් සහිත වෙනත් කුඩා බඳුනක් ගෙතුලට ගෙන යයි. මේ වෙද්දීත් මුදල් ගණන් කිරීම අරඹා නැති ජගන් තව දුරටත් දේව වාක්‍ය සහිත පොත කියවමින් සිටින්නේය. හිස ඔසවන්නේ නැතිවම වුවත් මුළුතැන්ගෙහි රසකැවිලි බැදීම නැවතුණු බව, උදුනේ ගින්දර නිවද්දී ඇසෙන හඬ, තැටි සහ හැඳි හේදෙන හඬ ඔහුගේ අවධානයට ලක් වේ. ඉනික්බිති කුස්සියේ සිට පාද ජෝඩු හතරකුත්, දවසේ අවසාන ක්‍රියාව ලෙස වෙළඳසැලේ සිට ඉතිරි වූ රසකැවිලි රැගෙන එන එක පාද ජෝඩුවකුත් පැමිණෙන අයුරු ඔහුට ඇසේ.

ඔවුන් සියලුම දෙනා තමන්ගේ මේසය අසල රැස් වී ඇති බව දැනුණු විට ජගන් ඔවුන්ගෙන් සුපුරුදු ප්‍රශ්නය අසන්නේය.

“කොච්චර ඉතුරු ද?”

“වැඩිය නැහැ.”

“හරියටම කියන්න.”

“මයිසොර් පැක්වලින් සියර් දෙකක් විතර.”

“ඒවා හෙට විකුණන්න පුළුවන්.”

“ජිලෙබි සියර් භාගයයි.”

“ඒක හෙටට වැඩක් නැහැ. හරි දැන් යන්න.”

කඩයේ කොලුවා ඉතිරි රසකැවිලි තැටි ගෙතුළට ගෙනැවිත් තබා හෙමින් සීරුවේ පිටව ගියේය. එහෙත් කෝකියෝ තවමත් යාමට අවසර ලැබෙන තුරු බලා සිටියහ.

“ජනෙල් ඔක්කොම වහලා ද?” ජගන් ඇසුවේය.

“ඔව්.”

“හෙට ජිලෙබි හදන්න එපා. මොකද්ද ඒකෙ ප්‍රශ්නේ?”

රසකැවිලි ඉතිරි වීම ඔහුගේ සිතට වද දෙන කාරණයක් වූ අතර එය හිස් කබල යට ඇනුණු කටුවක් සේ එය ඔහුට කරදරකාරී විය. දවස අවසානයේදී දිලිසෙන හිස් තැටි මුළුතැන්ගෙය වෙත එනු දකින්න ඔහු ප්‍රිය කළේය. ඉනික්බිති මේ ගැන විවිධ අදහස් දැක්වීමක් සිදුවිය.

“දැන් මේ ඉතුරු වුණ ටිකට මොකද කරන්නේ?” ජගන් විමසුවේය.

“මහත්තයා අවසර දෙනවා නම් අපි හෙට අලුත් රසකැවිල්ලක් අත්හදා බලන්නම්. එතකොට ඔය ඉතුරුවා ගැන ප්‍රශ්නයක් නැහැනේ. ඔක්කොම පොඩි කරලා වෙන හැඩයකින් හෙට බදින්න පුළුවන්.” ප්‍රධාන කෝකියා සුපුරුදු ලෙස නිවුණු හඬින් කීවේය.

“ඔව් ඉතින් අන්තිමේදී හැම දෙයක්ම හදලා තියෙන්නේ පිටියි, සීනියි, රස කාරකවලිනුයි නේ...” ජගන් දාර්ශනික ලෙස කීවේ මෙතෙක් වේලා තමන් නොගෙන සිටීමට තැත් කළ තීරණයට අවසානයේදී එළඹෙමිනි. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යමින් තිබුණු බැවින් ප්‍රායෝගිකව බලද්දී මෙය ගත යුතු වූ තීරණයක් විය.

තම සේවකයන් නික්ම ගිය පසු ජගන් තම දේව වාක්‍ය පොත පසෙකින් තබා තම මේසයේ ලාච්චුව ඇරියේය. පිත්තල ජෝගුවෙන් ලාච්චුවට කාසි හලද්දී හඬ නොනැඟෙන සේ ඒ තුළ තුවායක් අතුරා තිබිණි. සියුම් කලාවෙහි දක්ෂයෙක් පියානෝවක යතුරු පුවරුව මතින් තම අතැඟිලි ගෙනයන ශෝභාවෙන් ඔහු ඉක්මනින් මේ කාසි ඒවායේ වටිනාකම් අනුව වෙන් කළේය. එකතු වූ මුදල් ප්‍රමාණය වෙත තම බැල්ම රැඳවූ ඔහු පැය කාලක් ඇතුළතදී එහි මුළු වටිනාකම ගණනය කර අවසන් කළේය. සටහන් පොතක සටහනක් යෙදු ඔහු, ඉන් අනතුරුව ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැකි ලේජරයේ වඩාත් සංකීර්ණ සටහන් කීපයක් යෙදුවේය. ජගන් සිය කුඩා සටහන් පොතේ යෙදුවේ හවස හයෙන් පසුව ලැබී කුඩා ජෝගුවේ තිබුණු ආදායම පමණි. මේ මුදල අන් ආදායමෙන් වියුක්තව, නිදහස්ව පවතින ලෙස ඔහු සැලකුවේය. මෙය එක්තරා ආකාරයකින් ස්වයං ජනිත බවත්, ඒවා බදු ආදියෙන් මුක්තව පැවතීමට සුදුසුකම් ඇති බවත් ඔහු සැලකුවේය. ඉඩ ලැබුණු වහාම මේ කාසි නැවුම් මුදල් නෝට්ටු බවට හරවා, මිටියක් බැඳ සොල්දරයේ නෝබල් මහතාගේ පින්තූරයට පාලු කැපීමට එහි තැන්පත් කෙරෙනු ඇත.

ලාච්චුවේ ඇති කාසි දෙස අවසන් වතාවට බැල්මක් හෙළූ ජගන්, ප්‍රවේසමෙන් ලාච්චුව වසා දැමුවේය. ඉනික්බිති ලාච්චුවේ අල්ලුව හතර වතාවක් ඇද, එය ඇරේවිදැයි පරීක්ෂා කර, ශබ්ද නංවමින් තම පුටුව පසුපසට තල්ලු කළේය. ඉන් අනතුරුව ඔහු දොරට විශාල පිත්තල ඉබ්බෙකු දමා, යතුර කරකවා තම සාක්කුවේ රුවාගත්තේය.

“කැප්ටන් ! මේ ඉබ්බා හරියට වැටිලා ද බලනවා,” ජගන් කී විට කැප්ටන් එය අත් බෝම්බයක් විලසින් දෑතට මැදි කර තදින් අල්ලා ගත්තේ රණකාමී ස්වරූපයෙනි.

“මේක හොඳ හයිය ඉබ්බෙක් සර්, මේ වගේ ඒවා දැන් හොයාගන්න නැහැ. මම ඉබි යතුරු ගැන හොඳට දන්නවා. මේක ගමක කම්මලක හදන්න ඇත්තේ,” මෙලෙස ඉබි යතුරු සහ කම්මල් ආදිය ගැන ඔහු බොහෝ විස්තර කියන්නට ගත් විට ඔහුට බාධා කළ ජගන්, “හරි, වටපිට ගැන කල්පනාවෙන් ඉන්නවා,” කීවේය.

කැප්ටන් ඔහුට යුධ හමුදාමය සැලියුට් ආචාරයක් දුන් පසු ඒ දවස එලෙසින් නිමාවිය.

- පරිවර්තනය: හෙල්මලී ගුණතිලක
helmalie999@yahoo.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Monday, 28 September 2026

මොරටුව - නිමල් සේදර



ගමට නමක් නිර්මාණය වූ පසුබිම පිළිබඳව අද අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නගරයක් වූ මොරටුව වෙතයි.

මොරටුව මුහුද අද්දරම පිහිටි ස්ථානයක් වෙතත් මෙය මුහුදු මට්ටමෙන් තරමක් ඉහළින් පිහිටි නගරයක් ලෙසයි භූගෝලීයව සැලකිල්ලට පාත්‍ර වී තිබෙන්නේ.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි මොරටුව මහ මුහුදේ සිට මීටර් විසිඅටක් ඉහළින් පවතින බව සඳහන් ය. මොරටුව නගර සභාවක් ද වේ.

බ්‍රිතාන්‍ය ජාතිකයින්ට විරුද්ධව මාතලේ සිට උඩරට කැරැල්ල මෙහෙය වූ පුරන් අප්පු මොරටු පුත්‍රයකි. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ දානපතියකු වන චාල්ස් හෙන්රි ද සොයිසාත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ අමරණිය නාමයක් ලබාගත් අමරදේව ද සුවිශේෂී මොරටු පුත්‍රයින් ය.

ලී බඩු කර්මාන්තය හේතු කොටගෙන ලංකාවේ වනපෙතේ අරටු එන තැනක් බවටද මොරටුව පත් වී තිබේ. මොරටුව නමත් සමග මොරටු විශ්ව විද්‍යාලය ද අපේ මතකයට නැගේ.

ඓතිහාසික තොරතුරු අනුව මොරටුව නම බිහිවීමට තුඩු දුන් කරුණ ද මේ බිම මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් පිහිටීම ම හේතු වී ඇති බව පෙනේ.

මොරටුව යනු බටහිරින් ඉන්දියන් සාගරයෙන් ද, නැගෙනහිරින් බොල්ගොඩ ගඟෙන් (විලෙන්) ද, දකුණෙන් මොරටු ගඟෙන් ද වටවී ඇති ආරක්ෂිත අර්ධද්වීපයක හැඩය ගත් ප්‍රදේශයකි.

විදේශීය ආක්‍රමණිකයන්ගේ හෝ වාණිජ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළට පිවිසෙන මුහුදු යාත්‍රා නිරීක්ෂණය රාජ්‍යය මැදිහත් වීමෙන් සිදුකරන ලද බවට වැදගත් තොරතුරක් අපට එකතු වෙන්නේ මොරටුවට නම ගෙතුණු පසුබිම හරහා ය.

මොරටුව මුහුදට උසින් පිහිටීම නිසාම සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහා මුරපොළවල් පිහිටුවීමට මේ ප්‍රදේශය යොදා ගන්නා ලද බව ඉතිහාසයේ කියවේ.

එකල උස අට්ටාල ඉදිකොට මුහුද නිරීක්‍ෂණය කරන ලදී. මේ ඉදිකිරීම් හඳුන්වා ඇත්තේ "මුර අටු" යනුවෙනි. මෙවැනි ඉදිකිරීම්වලට අට්ටාලය යන වචනය භාවිත වේ. වී ආරක්ෂාවට ගබඩා කරන තැන "වී අටුව"ලෙස හඳුන්වා ඇත.

"මුර අටු" බහුලව අටවා තිබුණු වෙරළ භූමිය හේතු කොටගෙන කාලයාගේ ඇවෑමෙන් මුර අටු ඉදි වූ බිම "මොරටුව" වූ බව පිළිගත් මතයයි.

- නිමල් සේදර
nimalsedera@yahoo.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Sunday, 27 September 2026

වීණොපම සුතුර - ලලිත් මල්ලවාරච්චි



අසා වීණාවක හඬ
මුසපත් වූ රජ තෙමේ
අන කොට සිටියේය
තම සේවකයිනට
වහා රැගෙන එන ලෙස
එම හඬ තමා වෙත

සේවකයින් වහා ගොස්
වීණාවක් ගෙන විත් රජු වෙත
පිළිගන්වා කියා සිටියේ
මෙයයි රජතුමනි
වීනාව ඔබ ඉල්ලා සිටි
එම හඬ නිපදවන

කිමෙක්ද මේ
ගෙන එව ඒ හඬ මා වෙත
අණ කළේය රජු නැවත

හඬ නිකුත් වන්නේ රජතුමනි
වාදනය කල විට ය
යමෙක් දණ්ඩකින් වීණාව

කිම එයින් ඇති පල
වහා කඩා බිඳ දමව එය
කුඩා කැබලිවලට
පුළුස්සා එම කැබලිති
පාකොට හරිනු සුළඟේ
හෝ ගංගාවක එහි අළු

වීනාව නම් ලාමක ය
ඒ ලෙස වූ සියල්ල ලාමක ය
මේ කෙරෙහි ම මුළා වී
ජනයා බොහෝ සේ ප්‍රමාද වෙති,
සැබවින් ම ඒ සියල්ල,
හිස් බවින් ම යුක්ත වන්නේ ය.
(සංයුත්ත නිකාය)

- ලලිත් මල්ලවාරච්චි
lmallawa@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Saturday, 26 September 2026

තකුම් ජිංත - අචිනි අනෝමා දසනායක



නාද නූ පා...
හේවිසි තම්මැට්ටම්
හොරණෑ පපු'තුරේ
සිය දහසක් නෙත් පියවර

වළා බැම්ම පාමුල මා
රැජින හෝටලේ උඩුමංතල
දඟකරනා නෙත්
දෙව්පුර ඇතුන් රාජ ගමනේ

සිත් තුල තානම "තානා දම්... තාන"
දෑලෙහි කිංකිණි නද
තහංචිය ළඟින් ඉන්න
තේජස් ගඡිදුන්ගේ

රන්දෝලිය වම් උරේ
දෝලාවට බර වැඩි ද?
ආලත්ති අම්මාව
බැදුණු වරිග තහංචිය

මඟ හැරුණු නුඹ
නුවර මහ සෙනඟ මැද
යළිත් හමුවන්න පුරන්නම්
පාරමී...
තදොම් ජිංත...

- අචිනි අනෝමා දසනායක
anukadasa@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Friday, 25 September 2026

ප්‍රේමයේ අතුරු කතාවක් - ෂර්මිලා බංදුනී දංවත්ත



"අද එනවද?" මම ඇමතුම ගත්තේ දෙගිඩියාවෙන්.

"එනවා. හැබැයි අට විතර වෙයි."

"කෑමට ඉන්නවා නේද?"

"බලමු."

"බලමු නෙවෙයි. ඔන්න මම කෑම හදනවා."

"එහෙනම් පොඩි දෙයක් හදන්න."

වෙලාව පහයි. මම ඉක්මනට පැන්ට්‍රියට ගියේ මොනවා හරි හදන්න හිතාගෙන.

"හදන්න පුළුවන් පොඩි දෙය මොකක්ද? චීස් දාලා චිකන් පැස්ටා හදනවා. එතකොට ඩෙසට්. කැරමල් පුඩිමක් හදනවා. අන්තිමට කළු කෝපි එකක්. එක කෝප්පයක් ඇති."

සෙනසුරාදා නිසා දවල් වෙනකම් නිදාගත්තා. මුළු සිරුරෙම තියෙන්නේ පියාසලන හැඟීමක්.

"පුඩිම හදලා තැම්බෙන්න තියලා පැස්ටා හදන්න කළමනා ලෑස්ති කරලා තියනවා. හතට විතර හදනවා. එතකොට උණුවෙන් කන්න පුළුවන්."

හතහමාර වෙනකොට ඔක්කොම වැඩ ඉවරයි. ඉක්මනින්ම බාත්රූම් එකට පැනගත්තේ නාගන්න. එයා කැමතිම ලා දම් පාට ගවුම හොයලා ඇඳ උඩින් තිබ්බා.

"එයා අද ඉන්න පුළුවන්," මගේ හිත කිව්වා.

"කාලෙකින් නැවතුණේ නැහැ. අදත් යයි," හිත පස්සට ඇද්දා.

බාත්රූම් එකෙන් එළියට එනකොට අටට පහයි. ඉක්මනට ඇඟ පිහදාගෙන ගවුම ඇඳගත්තා. එයා කැමති තෙත කොණ්ඩෙට. කෙස් අගින් පුංචි පිනි කැට වගේ දිය බිංදු බේරෙනවට. මම කොණ්ඩය නොපීරා කඩලා දැම්මා. පොඩියට මේකප් එකකුත් දාගත්තා. එයාම ගෙනත් දුන්න මිල අධික සෙන්ට් එකෙන් ඩිංගක් හලාගත්තා. දඩි බිඩියේ ඇඳ රෙද්දත් මාරු කළා.

ඇනෙක්ස් එකේ බැල්කනියට හොඳට අහස පේනවා. හඳ පලුවකුත් එක්ක තරු විසිරිලා.

"අද කෑම බැල්කනියේ ලෑස්ති කරනවා."

මම ඉටිපන්දම් රඳවනය අරගෙන ඉටිපන්දම් තුනක් පත්තු කරලා බැල්කනි මේසය උඩින් තිබ්බා.

එයා එනකොට අටහමාරයි. කාර් එකේ සද්දයට පහළට දුවලා ගිය මම දොර ඇරියා. එයා පඩිපෙළ ළඟදිම මාව තුරුල් කරගත්තා. ඒත් වෙනදා තරම් උණුසුමක් නැහැ වගේ දැනුණා.

මම හිටියේ කිරිල්ලියක් වගේ සතුටින්. එයා හිටියේ මම කියන හැම දෙයටම "හ්ම්" කියන බකමූණෙක් වගේ. මම කතාකරන අතර එයා කීප වරක්ම හොරෙන් ඔරලෝසුව දිහා බලනවත් මම දැක්කා.

"කන්නත් බැහැ වගේ," මම ඉක්මනට ටේබල් එක ලෑස්ති කරනකොට එයා කිව්වා.

"අනේ ඔයා කැමති නිසා මම කැරමල් පුඩින් හැදුවා," මම තොඳොල් වුණා.

"අද ඉඳලා යන්න," පුඩින් කන අතරේ මම කිව්වා.

"අද නම් බැරි වෙයි ප්‍රියා."

"ප්‍රියා... ප්‍රියා කියන්නේ එයා. මම දියා," මම නෝක්කාඩුවෙන් කිව්වා.

එයාගේ මූණ මැලවුණා.

"sorry," හෙමින් කිව්වා.

එතකොටමයි එයාගේ ෆෝන් එක රින්ග් වුණේ.

"ෂ්" කියපු එයා මගේ තොල් මත ඇඟිල්ල තියලා මාව නිහඬ කළා.

"ප්‍රියා, මම මේ මග. ඔයා තවම කෑම කෑවේ නැද්ද? ඉන්න. තව ටිකකින් මම ගෙදර."

"මට අමතක වුණා. අද අපේ අටවෙනි වෙඩින් ඇනිවසරි එක," එයා මගේ නලලට ඉක්මන් හාද්දක් දෙන ගමන් පඩිපෙළ බැස්සා.

මම බැල්කනිය මැද තනියම හිටගෙන හිටියා. මලානික ඉටිපන්දම් එළිය තවත් මලානික වෙලා පෙනුණා.

එයාගේ කාර් එක ගේට්ටුවෙන් පිටවෙලා යනවා නොපෙනෙන්න මම අහස දිහා බැලුවා. හඳ පලුව මං දිහා බලාගෙන ඉන්නවා. ඒ හඳෙන් ගිලිහුණු කඳුළු බිංදුවක් පහළ තණ පලස මත වැටෙනවා වගේ මම දැක්කා.

කළු කෝපි කෝප්පය මේසය උඩ නිවුණා.

- ෂර්මිලා බංදුනී දංවත්ත
sharmiladanwatte@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Thursday, 24 September 2026

හඳුනාගතිමි "මම" - කළණ දිසානායක



පෙරුම් පුරමින් කලක්
සිටිමි මම විමසමින්
අරුත කිම අරුත කිම
ගැබ්ව ඇති දහම තුළ

පසක් විය මා සිතට
කරා යන ගමන් මග
පිළිබඳව තේරුමක්

ඇත කයක් "මම" නමින්
ජීවයක් ලබා දෙන
සිතක් ඇත කය සමග

නැගේ සිතුවිලි නිතොර
කරනු ලෙස නෙක ක්‍රියා
දොඩනු ලෙස නෙක වදන්
ඇති වෙමින් නැති වෙමින්
කිමිදෙමින් ඉපිලෙමින්

පාලනය කළ හැකිව
තමා සතු නැත කිසිත්
නොනවතින පැතුම් රැස
ඇතිව නැතිවන බවක්
දැනේ මට හැඟේ මට

වෙනස්වන කයක් හා
වෙනස්වන සිත් ගොන්න
තුළ කෙනෙකු නොමැති බව
දැනේ මට හැඟේ මට

හැඳින්නෙමි එලෙස "මම"
කිසිලෙසින් නොමැති බව
සත්වයකු "මම" නමින්!
මිනිසෙකු ද "මම" නමින්!

- කළණ දිසානායක
kalanadsl@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Wednesday, 23 September 2026

උපත - එස්. එම්. ජයසූරිය



නුඹෙ අම්මා නුඹ දාලා කොහේ ගියා
තන පුඩුවට කිරි අරගෙන එන්න ගියා

ආය කට්ට අත ඇනුණා කුමක් වැනී
ඉඩෝරයට මල් වැස්සක් වැටුණු වැනී
වැල්ලේ බඹරේ කර කැවුණා කුමක් වැනී
කිල්ල වටේ බඹරුන් රැස්වුණා වැනී

අල්ල, අල්ල පදයට නැටුවේ කුමටා
දෙන්න හදන උප්පැන්නෙට නම නැතුවා!

- එස්. එම්. ජයසූරිය
smjayasuriyalaw@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Tuesday, 22 September 2026

Beyond Self: Insights into Buddhist liberation by Lalith Mallawarachchi - ලලිත් මල්ලවාරච්චි ගේ බියොන්ඩ් සෙල්ෆ් කෘතිය දොරට වැඩුම



"සිසිල" සඟරාවට ලේඛන සහ නිර්මාණ දායකත්වය සපයන සිනුවර ලේඛක ලලිත් මල්ලවාරච්චි රචනා කළ Beyond Self: Insights into Buddhist liberation කෘතිය 2026 සැප්තැම්බර් මස 27 දින සවස 4:00 ට සිනුවර තදාසන්නයේ සෙවන් හිල්හි පිහිටි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී එළි දැක්වෙනු ඇත.



වැඩි විස්තර සඳහා: ලලිත් මල්ලවාරච්චි: lmallawa@gmail.com

මේ සටහන ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න.

Monday, 21 September 2026

පියඹා ගියා ඔබ - මාලිනී ගනේවත්ත



නොවැඩුණු තටු හෙමි හෙමින් පිරිමැද
වනපස පල නෙලා ගෙනැවිත් සොඳ
බිඳෙන් බිඳ ගෙන තුඩින් තුඩ කවමින
බලා සිටියා නුඹ පියාපත් වැඩෙන තුරු මම

දිස්නෙ දෙන යුග නෙත් යොමා ඈතට
තොස්ව අත්තටු ගසා මද සුළං මැද
ඉගිලී ගියා මා දමා නුඹ ඈත අහසට
තිතක් විය, එයත් තිබුණේ අසුරු සැණකට

අද අද ඒවි යන පැතුම් පොදි මැද
අද නැතත් හෙට ඒවි යන සිතුම් තුළ වැද
කඳුළු පිරි දෙනෙත් අතින් පිරි මැද මැද
දවස් මේ ගෙවී යයි මා කළ වරද කවරද

එන මග අමතකව ගියේ කොහොමද
මතක පොතේ මිහිරි පිටු අමතක වී ද
සීතල ද, වෙන උණුසුමක් අතරමග හමු වී ද
මගෙන් ලද සෙනෙහස රැකවරණ මදි වී ද

- මාලිනී ගනේවත්ත
mganewatta@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Sunday, 20 September 2026

චතුර් ධාරා - ස්වර්ණා කාන්ති පෙරේරා



"සිසිල" සඟරාවට සහ වෙබ් අඩවියට ගදය, පද්‍ය නිර්මාණ දායක්තවය සපයන ලේඛිකා ස්වර්ණා කාන්ති පෙරේරා ගේ නවතම කෘතිය "චතුර් ධාරා" දැන් නිකුත් වී ඇත.

සූරිය ප්‍රකාශනයක් වන "චතුර් ධාරා" නවකතාව විද්‍යා ප්‍රභන්ධයකි.



කතුවරියගේ වෙනත් කෘති මෙසේය.

නවකතා: පබාවතියක් නොපැතුවෙමි මම, චෛතසික නෑයෝ, බිම්බා, නිසංසලා, වංශ රාජිණී, ධවල කුසුම, අභිනන්දනය, වරිගමාන, ඉසියුම්, My ගෝඩ්, හෝපලු කුසුම, විභව

කෙටිකතා: කේතුමතී රජදහන, සොඳුරු සැරිසර, අසංග සහ ජෝෂු, සරාගී කමතහන් (2020 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රහණය)

යොවුන් නවකතා: රජුන් සදිසි පුතුන්, බුදු පුතෙක්, තටු සලන සමනල්ලු (2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානයට සහ සිත් පහන් එළි ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත), සුනාමියේ දරුවා (2019 රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ අවසන් වටයට නිර්දේශිත), රාවණා දරුවෝ, සිත් පහන් එළි

බෞද්ධ සාහිත්‍යය: පිරිනිවන් ගීතය, දෙව්දත් සිහින, ලොව්තුරු රිදුම්, මහා වීර (2010 බෞද්ධ සාහිත්‍ය සම්මානය), නිරාමිසාවලෝකන, පතිපූජා, බුද්ධරාජ, ශ්‍රී සිදුහත් යසෝදරා, සංසාර තීර්ථ, විශාඛා තොමෝ

පද්‍ය: උපේක්ෂා

විද්‍යා ප්‍රබන්ධ: සහශ්‍රා

වැඩි විස්තර සඳහා: ස්වර්ණ කාන්ති පෙරේරා
pereramsk552@gmail.com



මේ සටහන ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Saturday, 19 September 2026

උදෑසන ගීතය - හෙක්ටර් ජයවර්ධන



තෙතබරි කැදැල්ලෙන්
නික්මී තුලිකාවා
පිනි බැඳි පියාපත්
ගසමින් පියෑඹුවා
ඉඳුරු දිගින්
මේ කවුළුව දිස්වූවා
ආලෝකයක් යැද
කන්කලු ගී ගැයුවා.

අවදිවන්න! අවදිවන්න!
අරුණෝදයක් යලි
උදා නොවනු ඇත
ඇගෙ රුසිරෙන්
සරසා මිස ඔබ නෙත.

නැවියාගේ තරුව
වෙළෙන්දගේ ගමන් මඟයි
හාන්නට සුදුසු සෘතුව
සොයාගන්නේ හිරුගෙනුයි

එවැනි විශ්ව සාධක
මොනවද කියාවත් නොදැනී
තවමත් මවිතවන පෙම්වතෙක්
නැඟිටීමට පෙර තම පෙම්වතිය
සොයමින් සිටී නව දවසක්

අවදිවන්න! අවදිවන්න!
ගලවා ඉවත්කර
තණතිල්ලේ වේලය
කඩතුරාව් මෑත්කර
නරඹන්න අරුණෝදය

- හෙක්ටර් ජයවර්ධන
hectorjayawardhana@gmail.com
(ඉංග්‍රීසි කිවිවර හා නාට්‍ය රචක ශ්‍රීමත් විලියම් ඩැවනන්ට් (1606-1668) විසින් "Morning Song " මැයෙන් නිබන්ධිත පුනරුද ගීතිකාවේ අනුවර්තනයකි.)

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Friday, 18 September 2026

දින දසුනේ පිටුවක් - ශ්‍රීමතී ගනේවත්ත



සැම මසකම පළවෙනිදා
අලුතින් පිටුවක් පෙරළා
සිහින් සිනහවක් පාලා
පරණ පිටුව ඉවත් කලා

රැකියාවෙන් ඉසුඹු ලබා
කල් ගෙවනා අප්පච්චී
පඩිය ලැබෙන දින සොයලා
රතු පාටින් රවුම් කළා

ටියුෂන් යන පොඩි නංගී
පංති පැවත්වෙන දිනයන්
සොයා බලා කල් ඇතිවම
දින දහයක් ලකුණු කළා

සායනයට රෝහල වෙත
යන බව අමතක වේ යයි
බියවුන අම්මා සැණෙකින්
එම දිනය ද ලකුණු කළා

කඨින පිංකමේ වැඩ ගැන
රැස්වෙන දිනය සොයා
ලොකු අයියා පොඩි අකුරින්
මොනවද ලියලා තිබුණා

මතකයන්ට මුවා වෙලා
කුරුටු ගෑව මගේ මුහුණ
අවලස්සන වෙලා කියා
මටම හිතෙනවා දැන්නම්

මාසය නිමවූ දිනයේ
මේ සියල්ල අමතක කර
මාව දමා කුණු කූඩෙට
නව පිටුවක් පෙරළනු ඇත

- ශ්‍රීමතී ගනේවත්ත
life1949313@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Thursday, 17 September 2026

නිහාල් රූපසිංහ ගේ "හිතක් පපුවක් ඇති ගැහැනියක් සහ තවත් ඔසී කතා" කෙටිකතා සංග්‍රහය



"සිසිල" සඟරාව සහ "සිසිල" වෙබ් අඩවිය සඳහා "බංකුව" තීරු ලිපිය රචනා කරන ලේඛක නිහාල් රූපසිංහ රචනා කළ ඔහුගේ කුළුඳුල් කෙටිකතා සංග්‍රහය "හිතක් පපුවක් ඇති ගැහැනියක් සහ තවත් ඔසී කතා" 2026 සැප්තැම්බර් මස 20 දින සවස 5:30 ට සිනුවර තදාසන්නයේ සෙවන් හිල්හි පිහිටි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී එළි දැක්වෙනු ඇත.



නිහාල් රූපසිංහ කවියෙකු මෙන්ම නාට්‍යකරුවෙකු ද වේ. ඔහු "ආදරය අගය කරන්න නැතිනම් හිරුත් අහක බලාවි" නමින් කාව්‍ය සංග්‍රහයක් පළ කර ඇති අතර නොම්-පෙන් ගේම්ස්, වික්ටර් චාහ්, කසාදේ ඉවර නෑ, කෲර, අපි තවම ඉන්නවා, වියත් මග, නෑ මොකුත් නෑ සහ සෙන්ට් බටලන්ඩ්ස් නමින් කෙටි නාට්‍ය අටක් රචනා කර නිෂ්පාදනය කර ඇත. ඔහු "ළමා කතා සහ නාට්‍ය එකතුව" නමින් දරුවන් සඳහා කෘතියක් ද සම්පාදනය කර ඇත.

වැඩි විස්තර සඳහා: නිහාල් රූපසිංහ nihal.rupasinghe07@gmail.com

මේ සටහන ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න.

Wednesday, 16 September 2026

Coming of age by Yasasi Malmeewala - යසසි මල්මීවල ගේ Coming of age කාව්‍ය සංග්‍රහය



ඕස්ට්‍රේලියානුවාසී තරුණ කිවිඳියක වන යසසි මල්මීවල රචනා කළ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එකතුව Coming of age කාව්‍ය සංග්‍රහය පසුගිය සැප්තැම්බර් මස 13 දින සිනුවර තදාසන්නයේ සෙවන් හිල්හි පිහිටි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී එළි දැක්වුණි.



මේ සටහන ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න.

මම කලින් යන්නම් - රුවන් ඩී අළුබෝමුල්ලගේ



නෙතඟ කැළුම් මදහස මන වසඟ කළ
විහඟ වියේ හිරිපොද වැහි වැටෙන සඳ
පන්තියෙ උසස්පෙළ විදුහල් මවුන් කුස
මතකද නුඹට අපි හමුවුණු මුල්ම දින?

ළමැදට තුරුළු කරගත් පොත් මිටිය තුළ
දුටුවා මම මගේ හදවත තියෙන වග
පරතර භේද තිබුණත් අපෙ පවුල්වල
වැටවල් බැඳුනෙ නෑ යන මග හරස්කර

කොතරම් දුෂ්කර ද, මිහිරි ද ආව මග
ඉහ නිකටත් පැහිල දරු මුණුපුරන් මැද
දවසක යා යුතුයි අතහැර සියලු දෙය
යන්නම් මම කලින් නැති නම් දුකකි මට

- රුවන් ඩී අළුබෝමුල්ලගේ
ruwand7@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Tuesday, 15 September 2026

ගාන්ධාරී - ඉන්දිකා තිලකුමාර



උඩ මළුවේ බෝ සිහිලේ පැතු පැතුමේ
අලුත් සහල් බතකින් සැදි කිරි සිහිනේ
සමනල් තටු සෙමෙර සැලූ ගැබ් යහනේ
කවඩි සිනා ඇයි කලියෙන් මැකී ගියේ?

රැකුමට පුතුන් ලෙහෙනිය සේ දැරූ වීරී
පුතුන් නිසා මව් හදවත් ඇවිලි ගිනී
සියක් පුතුන් වෙනුවෙන් හැඬූ ගාන්ධාරී
සන්සිත් නිවේවා පැතු බෝධියකින් සැනැහී

- ඉන්දිකා තිලකුමාර
ithilakumara@yahoo.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Monday, 14 September 2026

ඒ ප්‍රේමය - ෂර්මිලා බංදුනී දංවත්ත



හිඳිමි ඉඳහිට තවම
මැයි ගහ යට
පරණ බස් නැවතුමේ
වැඩ ඇරී පහට
ඔබ එතැයි

සාරි පොට ගෙල වටා ඔතාගෙන
දුරින් දුර අඩි තිය තිය
ඔබ ආවා ඒ දවස්වල
හරියටම වෙලාවට
නවත්තන බස් මගහැර
අපි ගියේ සෙනග අඩු බස්වල
එක ළඟින් ඉඳගෙන
කනට කර
කොඳුර කොඳුර

මම ආසයි අර වගේ සාරියකට
දවසක් ඔබ පෙන්නුවා
පෑල දිග අහස
සාරි කඩ පීර පීර
හෙව්වා අපි දෙන්නම
හමුවුණේ නැතුවට

ඔබට මාරුව
ගමටම ලැබෙනකොට
සතියයි තිබුණේ
මගේ මංගල්ලෙට

ඔන්න ඔහොමයි කන්තෝරු ප්‍රේමය
මතක්කර විටින් විට
හදවත රිද්දවන

- ෂර්මිලා බංදුනී දංවත්ත
sharmiladanwatte@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Sunday, 13 September 2026

ආගන්තුක වැස්ස - පියදාස එදිරිසුරිය



අගෝස්තු මාසයේ හිමිදිරියේ තවමත් නුවර පාර අයිනේ තිබූ තේක්ක ගස් අතරින් මීදුම් පටලයක් පා වී යමින් තිබුණි. කවීන් තමන්ගේ අලුත් පාසල් නිල ඇඳුමේ බොත්තම් එකින් එක දමමින් කන්නාඩිය ඉදිරියේ මොහොතක් නතර විය. සුදු පැහැති කමිසයත්, තද නිල් පැහැති ටයි පටියත් ඔහුට ගෙන දුන්නේ යම් නුහුරු බවකි. පියාගේ රැකියාවේ හදිසි ස්ථාන මාරුව නිසා මහනුවර ප්‍රසිද්ධ විද්‍යාලයක සිට කොළඹ ආසන්නයේ පිහිටි මෙම මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට සිදුවීම කවීන්ගේ සිතට මහත් බරක් වී තිබුණි.

"කවීන් පුතා, ඉක්මන් කරන්න, අද පළමුවෙනි දවස නේ?" මව පහළ මාලයේ සිට කෑගැසුවාය.

කවීන් තමන්ගේ චිත්‍ර පොත සහ පැන්සල් කට්ටලය බෑගයට දමාගෙන පහළට බැස්සේය.

පාසල් ගේට්ටුව අසල විශාල නාගසක් තිබුණි. නාමල් සුවඳ මුසු වූ මඳ පවනක් හැමූ අතර, දහස් ගණනක් සිසු සිසුවියෝ විවිධ කතාබහින් යුතුව ගේට්ටුවෙන් ඇතුළු වූහ. ඒ කිසිවෙකුත් කවීන්ව හඳුනන්නේ නැත.

"12-A පන්තිය තියෙන්නේ අර අලුත් තට්ටු තුනේ ගොඩනැගිල්ලේ දෙවෙනි තට්ටුවේ," විද්‍යාලයේ විනය භාර ගුරුතුමා පැවසීය.

කවීන් පඩිපෙළ නැග 12-A පන්ති කාමරය දොරකඩ නතර විය. පන්තිය ඇතුළේ තිබුණේ මහත් ඝෝෂාවකි. පන්ති භාර අමරසේකර සර් සමඟ කවීන් පන්තියට ඇතුළු විය.

"ළමයි, පොඩ්ඩක් නිහඬ වෙන්න! මෙයා අද ඉඳන් අපේ පන්තියට එකතු වෙන අලුත් යහළුවා. කවීන් ශ්‍රීනාත්. මහනුවර ඉඳන් එන්නේ."

සමස්ත පන්තියේම දෑස් කවීන් දෙසට යොමු විය. කවීන් බිම බලාගත්තේය.

"සෙනුරි, පන්ති නායිකාව විදියට කවීන්ට අපේ පන්තියේ විෂය සටහන් සහ අනිත් වැඩපිළිවෙළවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. කවීන්, අර අන්තිම ඩෙස්ක් එකේ හිස් තැනින් වාඩිවෙන්න."

කවීන් අන්තිම ඩෙස්ක් එක දෙසට පියනැගුවේය. ඒ යන අතරතුර, ඉදිරිපස දෙවන පේළියේ සිටි කෙල්ලෙක් ඔහු දෙස බලා සිනාසුණාය. ඇගේ කොණ්ඩය ගොතා තිබූ අතර, දෑස්වල තිබුණේ අමුතුම දීප්තියකි. ඇගේ නිල ඇඳුමේ පන්ති නායිකා පදක්කම දිලිසෙමින් තිබුණි.

"මම සෙනුරි," ඇය පහත් හඬින් පැවසුවාය. ඒ සිනහව කවීන්ගේ සිතේ තිබූ නොසන්සුන්කම එකවරම දිය කර හැරීමට සමත්විය.

සති දෙකක් ගෙවී ගියේ ඉතා ඉක්මනිනි. කවීන් පන්තියට තරමක් හුරු විය. අන්තිම ඩෙස්ක් එකේ ඔහු ළඟින් වාඩි වූ තාරක දැන් ඔහුගේ හොඳම මිතුරාය. තාරක යනු පන්තියේ සිටින කටකාර කොල්ලා ය.

එක් අඟහරුවාදා දිනයක පන්ති භාර සර් පන්තියට ආවේ විශේෂ ආරංචියක් අරගෙන ය.
"ළමයි, ලබන මාසේ පාසල් සාහිත්‍ය මාසය. හැම පන්තියකින්ම බිත්ති පුවත්පතක් නිර්මාණය කරන්න ඕනේ. අපේ පන්තියේ බිත්ති පුවත්පතේ ප්‍රධාන සංස්කාරකකම සෙනුරිට භාර දෙනවා."

සෙනුරි නැගිට සිනාසුණාය. "සර්, මට චිත්‍ර පැත්ත සහ සැකසුම් පැත්ත කරන්න කවුරු හරි දක්ෂ එක්කෙනෙක් ඕනේ."

"කවීන් හොඳට චිත්‍ර අඳිනවා සර්!" එකපාරටම තාරක කෑගැසුවේය.

"එහෙමද? හොඳයිනේ. කවීන්, ඔයා සෙනුරි එක්ක එකතු වෙලා බිත්ති පුවත්පතේ සැකසුම් වැඩේ කරන්න," සර් නියෝග කළේය.

එදින පන්ති අවසන් වූ පසු සෙනුරි සහ කවීන් පන්තියේ නතර වී වැඩ පටන් ගත්හ. සෙනුරි ලිපි සහ කවි තෝරා දුන් අතර, කවීන් ඒ සඳහා සුදුසු පසුබිම් රූප සහ වර්ණ රටා මවන ලදී.

"කවීන්, ඔයා සංවේදී කෙනෙක්. මං ආසයි ඔයා හිතන විදියට," දිනක් පාට තවමින් සිටි සෙනුරි කවීන්ගේ දෑස් දෙස කෙලින්ම බලමින් පැවසුවාය.

කවීන්ගේ අතේ තිබූ වර්ණ පින්සල මොහොතකට නතර විය. ඔවුන් දෙදෙනා අතර වචන නොමැතිව ගොඩනැගෙමින් තිබුණේ ප්‍රේමයේ පූර්විකාව බව දෙදෙනාටම තේරෙමින් තිබුණි.

එදින සවස පාසල අවසන් වන විට මහ වැස්සක් කඩා වැටුණි. බිත්ති පුවත්පතේ වැඩ අවසන් කර කවීන් සහ සෙනුරි ප්‍රධාන ගේට්ටුව දෙසට ආවේ එකම කුඩයක් යටිනි. කුඩය කුඩා වූ බැවින් කවීන්ගේ දකුණු උරහිස වැස්සෙන් තෙමී ගියේය. එහෙත් සෙනුරි තෙමෙයි යන බියෙන් ඔහු කුඩය ඇය දෙසටම නැඹුරු කරගෙන සිටියේය.

බස් නැවතුම් පොළේ පියස්ස යට නතර වූ දෙදෙනා අනාගත සිහින ගැන කතා කරන්නට වූහ.

"අනාගතයේදී ඔයා කවුරු වෙන්නද ආස කවීන්?" සෙනුරි ඇසුවාය.

"මං ආසයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගිහින් චිත්‍ර පැත්තෙන් ඉදිරියට යන්න. මිනිසුන්ගේ හිත් නිවන විදියේ චිත්‍ර අඳින්න. ඔයා?"

"මම ආසයි පොත් ලියන්න, සින්දු ලියන්න, අපේම කියලා ලස්සන ලෝකයක් ඇතුළේ නිදහසේ ජීවත් වෙන්න," සෙනුරි පැවසුවාය.

"ඔයාගේ ලෝකේ මටත් පුංචි ඉඩක් තියෙයි ද සෙනුරි?" කවීන් නොසිතූ මොහොතක ඇසීය.

සෙනුරි හැරී කවීන්ගේ දෑස් දෙස බැලුවාය. "ඉඩක් හදන්න දෙයක් නෑ කවීන්, ඔයා දැනටමත් ඒ ලෝකෙම නවාතැන් අරන් ඉවරයි." ඇය සිතුවාය. ඒත් කියන්නට තරම් හයියක් ඇගේ සිතට තිබුණේ නැත.

එක මොහොතකට වැස්සේ ශබ්දය පවා නැවතුණාක් මෙන් දෙදෙනාටම දැනුණි.

සාහිත්‍ය උත්සව දිනය උදාවිය. දොළහ-ඒ පන්තියේ බිත්ති පුවත්පත ප්‍රථම ස්ථානය දිනාගත්තේය. සෙනුරිගේ ලස්සන ගීත ගායනයට මුළු ශාලාවම අත්පොළසන් දුන්නේය. උත්සවය අතරතුර කවීන් සෙනුරිට ඇගේම පැන්සල් සිතුවමක් තෑගි කළේය. සෙනුරි එය හදවතින්ම අගය කළාය.

නමුත් උත්සවය අවසන් වූ පසු සිදුවූයේ කවීන් නොසිතූ දෙයකි.

ඉහළ පන්තියක ඉගෙන ගන්නා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වූ ධනුෂ්ක සෙනුරි අසලට ආවේය. ඔහු ශිෂ්‍ය නායක මණ්ඩලයේ කැපී පෙනෙන සංගීතයට දක්ෂ සිසුවෙකි.

"සෙනුරි, අද ඔයාගේ සින්දුව නම් නියමයි! මාත් එක්ක සින්දුවක් කියන්න කැමති ද ඊළඟ සංගීත ප්‍රසංගයේ දී?" ධනුෂ්ක සිනාමුසුව ඇසීය. ඔහු සෙනුරිට රතු නාමලක් ද තෑගි කළේය.

සෙනුරි එය සිනහසෙමින් භාරගත්තාය. "ගොඩක් ස්තූතියි ධනුෂ්ක අයියේ, අපි බලමු."

ඈත සිට මේ දෙස බලා සිටි කවීන්ගේ සිත තුළ දැඩි ඊර්ෂ්‍යාවක් සහ රිදවීමක් ඇති විය. තමන් දුන් චිත්‍රයට වඩා ධනුෂ්ක දුන් නාමලට සෙනුරි වටිනාකමක් දුන් බව කවීන් වටහා ගත්තේය.

පසුදා උදෑසන සෙනුරි සිනාසෙමින් කවීන් අසලට ආවාය. "කවීන්, ඊයේ රෑ මං අර චිත්‍රය කාමරේ එල්ලුවා..."

"එහෙමද, ධනුෂ්ක දුන්න නාමලත් එක්ක එල්ලුවා නම් තවත් ලස්සන වෙයි," කවීන් රළු හඬින් පවසා අනිත් පස හැරුණේය.

සෙනුරි පුදුමයෙන් කවීන් දෙස බැලුවාය. "කවීන්, ඔයා මොනාද මේ කියන්නේ?"

"මුකුත් නෑ සෙනුරි. ඔයාට මට වඩා ගැලපෙන අය ඉන්නවා. මං නිකන් අන්තිම ඩෙස්ක් එකේ ඉන්න ආගන්තුකයෙක් විතරයි," කවීන් බෑගයද අතට ගෙන පන්තියෙන් පිටව ගියේය.

සෙනුරිගේ දෑසට කඳුළු පිරුණි. කවීන්ගේ අනවශ්‍ය සැකය සහ රළු වචන ඇගේ සිතට මහත් වේදනාවක් ගෙන දුන්නේය. දෙදෙනා අතර පළමු අමනාපකම ආරම්භ විය.

ඊළඟ දින කිහිපයේදී දෙදෙනා එකිනෙකාට කතා කළේ නැත. කවීන් පන්තියේ අන්තිම ඩෙස්ක් එකට වී තනිවම චිත්‍ර ඇන්දේය. සෙනුරිද කවීන් දෙස නොබලා තමන්ගේ වැඩවල නිරත වූවාය.

මේ අතරතුර පන්තියේ ළමුන් අතර කටකතා පැතිරෙන්නට විය. "සෙනුරි දැන් කවීන්ව අතහැරලා ධනුෂ්ක අයියා එක්ක යාළු වෙන්න හදන්නේ," යයි තාරක ද කවීන්ට කීවේය. මෙය කවීන්ගේ සිත තවත් රිදවීය.

අනෙක් පසින්, ශිෂ්‍ය නායක උපදේශක ගුරුතුමිය සෙනුරිට අවවාද කළාය. "සෙනුරි, ඔයා ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක්. විභාගය ළඟයි, ඔය ළමයි එක්ක රවුම් ගහන එක නතර කරන්න."

සෙනුරිට මුළු ලෝකයම එපා විය. ඇයට කවීන්ගේ අඩුව තදින්ම දැනුණි. තමන් ධනුෂ්ක සමඟ කතා කළේ සාමාන්‍ය මිතුරෙකු ලෙස බව කවීන්ට පැහැදිලි කිරීමට ඇයට ඕනෑ විය. නමුත් කවීන්ගේ මුරණ්ඩු බව නිසා ඇයට කතා කිරීමට නොහැකි විය.

දිනක් වැසි සහිත සවසක සෙනුරි බස් නැවතුමේ තනිවම සිටියාය. කවීන් ඈතින් එනවා දැක ඇය ඔහු දෙස බැලුවාය. නමුත් කවීන් තමන්ගේ කුඩය ඉහළගෙන සෙනුරි දෙස නොබලාම ඉදිරියට ඇදී ගියේය.

සෙනුරි බස් නැවතුම් පොළේ බංකුව මත වාඩි වී මහ හඬින් හැඬුවාය. ඇගේ කඳුළු වැසි වතුරට මුසුවිය.

ඊළඟ දින දෙකේ සෙනුරි පාසල් ආවේ නැත. ඇයට තද උණ වැළඳී ඇති බව නෙත්මි පන්තියට කීවාය.

"එදා වැස්සේ තෙමිලා බස් එකේ ගිහින් සෙනුරිට හොඳටම උණ. එයා හිතෙන් ගොඩක් විඳවනවා කවීන්, ඔයා එයාට බැන්න නිසා," නෙත්මි විවේක කාලයේදී කවීන් ළඟට ඇවිත් පැවසුවාය.

"ධනුෂ්ක දුන්න නාමල නිසා එයා මාව අමතක කළා නේ?" කවීන් ඇසීය.

"අනේ මොන පිස්සුද කවීන්! ධනුෂ්ක අයියා දුන්න මල එදාම එයා බස් නැවතුමේ දාලා ආවා. එයා අරන් ගියේ ඔයා දීපු චිත්‍රය විතරයි. එයා ඔයාට කොච්චර ආදරෙයිද කියලා ඔයාට තේරෙන්නේ නැද්ද?" නෙත්මි කෝපයෙන් කීවාය.

කවීන්ගේ සිතට මහා ලැජ්ජාවක් සහ පසුතැවීමක් දැනුණි. තමන්ගේ නොමේරූ සැකය නිසා තමන් ආදරය කරන කෙල්ල රෝගී වී ඇත.

එදින සවස කවීන් සෙනුරිගේ ගෙදර සොයාගෙන ගියේය. ඇගේ මව කවීන්ව ඇගේ කාමරයට යැවූවාය.

සෙනුරි ඇඳ මත වැතිර සිටියාය. ඇගේ මුහුණ සුදුමැලි වී තිබුණි. කවීන් දැක ඇය අනිත් පස හැරුණාය.

කවීන් සෙමින් ඇගේ ඇඳ අසලින් වාඩි විය. ඔහු තමන් ඇඳි අලුත් චිත්‍රයක් ඇගේ අත මත තැබුවේය. එහි තිබුණේ එකම කුඩයක් යටින් යන කොල්ලෙකු සහ කෙල්ලෙකි. කොල්ලාගේ කුඩය කෙල්ලගේ පැත්තට නැඹුරු වී තිබූ අතර, කොල්ලා වැස්සෙන් තෙමෙමින් සිටියේය. යටින් ලියා තිබුණි:

"උරහිස තෙමුණට කමක් නෑ,
ඔයා ආරක්ෂිත නම්.
මට සමාවෙන්න සෙනුරි..."

සෙනුරි චිත්‍රය දෙස බලා කඳුළු සැලුවාය. ඇය හැරී කවීන්ගේ අත තදින් අල්ලා ගත්තාය.

"ඔයා මහා මුරණ්ඩු කොල්ලෙක් කවීන්, මං ගැන පොඩ්ඩක්වත් හිතුවේ නෑ නේද?" ඇය හැඬුම්බරව ඇසුවාය.

"මං බය වුණා සෙනුරි, ඔයාව මට අහිමි වෙයි කියලා. මං ඔයාට ගොඩක් ආදරෙයි. මට සමාවෙන්න," කවීන් ඇගේ නළලට තදින් තද වූ ඇඟිලිවලින් හිස අතගෑවේය.

"ආයේ කවදාවත් මාව සැක කරන්න එපා, මගේ හදවතේ ඉන්නේ ඔයා විතරයි," සෙනුරි කීවාය.

දෙදෙනා අතර තිබූ සියලු නොපැහැදිලි තත්ත්වයන් දිය වී ගියේය. ඔවුන්ගේ ප්‍රේමය පෙරටත් වඩා පවිත්‍රව සහ ශක්තිමත්ව යළි තහවුරු විය.

යළි යහළු වූ පසු දෙදෙනා වඩාත් පරිණාමශීලී ලෙස හැසිරුණහ. අන් අයගේ කටකතා ගැන නොසිතා තමන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීමට දෙදෙනා තීරණය කළහ.

උසස් පෙළ විභාගයට තව තිබුණේ මාස දෙකක් පමණි. දෙදෙනා පාසල් පුස්තකාලයේදී එකට වාඩි වී පාඩම් කළහ. කවීන් සෙනුරිට අමාරු විෂය කොටස් සටහන් කර දුන් අතර, සෙනුරි කවීන්ගේ ලේඛන හැකියාවන් දියුණු කිරීමට උපකාර කළාය.

"බලන්නකෝ, දෙන්නා අතර අමනාපයක් ආවට පස්සේ දෙන්නට දෙන්නා තවත් තේරුම් අරන්," තාරක නෙත්මිට කීවේය.

ඔවුන්ගේ වෙනස් වීම සහ අධ්‍යාපනයට දක්වන උනන්දුව දුටු ශිෂ්‍ය නායක උපදේශක ගුරුතුමිය පවා පසුව සෙනුරිට පැසසූවාය.

දෙදෙනා අතර කුඩා කුඩා සණ්ඩුවීම් නැවත ආවත්, කවීන් වෙලාවට කෑවේ නැති විට සෙනුරි කේන්ති ගැනීමත්, සෙනුරි වැඩිපුර මහන්සි වන විට කවීන් දොස් නැගීමත්, ඒ සෑම පුංචි රණ්ඩුවක් අවසානයේදීම ඔවුන් අතර තිබූ ආදරය තවත් වැඩි විය.

උසස් පෙළ විභාගයේ අවසන් දිනය එළඹුණි. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් වූ පසු සිසුහු එකිනෙකාගේ නිල ඇඳුම්වල මතක සටහන් ලියමින් ප්‍රීති වූහ.

කවීන් සහ සෙනුරි පාසල් ගේට්ටුව අසල තිබූ විශාල නාගස යටට ආහ.

සෙනුරි තමන්ගේ පෑන ගෙන කවීන්ගේ සුදු කමිසයේ ඍජුවම හෘද වස්තුව පිහිටි දෙසින් මෙසේ ලිව්වාය:

"හැම රණ්ඩුවකටම පස්සේ,
තවත් වැඩිවුණු ආදරයෙන්,
මගේ සෙනෙහසක තැවරුණු එකම නවාතැන්න, කවීන්."

කවීන් සෙනුරිගේ සුදු සාරි පටයේ කෙළවරක කුඩා නාමලක රූපයක් ඇඳ එහි යටින් මෙසේ ලිව්වේය:

"තවත් කවදාවත් මං ඔයාව සැක කරන්නේ නෑ,
මගේ මුළු ජීවිතයම ඔයා."

"දැන් අපේ පාසල් කාලේ ඉවරයි නේද කවීන්?" සෙනුරි නාගස දෙස බලමින් ඇසුවාය.

"පාසල් කාලේ ඉවර වුණාට අපේ ලෝකය පටන් ගත්තා විතරයි සෙනුරි," කවීන් ඇගේ අත තදින් අල්ලා ගනිමින් පැවසීය. "අපි දෙන්නා විශ්වවිද්‍යාලයට ගිහින්, ඔයාගේ පොත් ලියද්දී, මගේ චිත්‍ර ප්‍රදර්ශන තියද්දී, අපි හැමදාම එකට ඉඳිමු."

සෙනුරි කවීන්ගේ උරහිසට හිස තබා ගත්තාය. නාගසින් ගිලිහුණු නාමල් පෙති කිහිපයක් දෙදෙනාගේ පාමුලට පතිත විය. වැස්සකට පසු පායන අලුත් ඉර එළියක් මෙන් ඔවුන්ගේ අනාගතය අතිශය සුන්දරව ඔවුන් ඉදිරියේ දිගහැරෙමින් තිබුණි.

- පියදාස එදිරිසුරිය
pedirisuriya@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

කල් පමා වී ආ වසන්තය - පත්මසිරි ප්‍රනාන්දු



ඔබ මා හමුවූ පෙර භවයම
පසක් කළ'මුත් කුමරියේ
කෙලෙස එක්තැන් වෙමු ද අප
උනුනුන් දෙඋයනක දෙවිධියේ?

අසත්‍යයේ මායා පටල බිඳ
මිලානව ගිය ඔබේ දෙනෙත් යුග
මා හා දෙඩුවා මටත් හොරෙන්
පසක් නොවුණි මට එදා ඔබේ රුව
මහද දිනු ඒ ඔබමැයි කියා

ස්නේහය මියගිය අවසන් දිනයේ
විසිරවනු මැන කුමරියේ
ඒ ගිගුම් හඬ පසක් කරවයි
මහද දිනු ඒ ඔබමැයි කියා...

- පත්මසිරි ප්‍රනාන්දු
pathmafdo@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Saturday, 12 September 2026

ප්‍රේමයේ නාමයෙන් - තේජා රාජපක්ෂ



පව් සෝදා දුක් දියකර හරින
අරුම පුදුම පැන්හල කෙළවරක හිඳ
කරගැට අතරින් මැවූ
කඩල ගොටුවක් පාමින් සිටියි ඇය

පසුම්බිය ගිගිරි හඬ දෙත්දී
චණ්ඩියෙකු හඬවයි සළඹ
ඇඟිලි එහෙ මෙහේ දුවයි ඇගේ
සොයන්නට ශේෂ වූ
මාරු කාසි කිහිපය

හතට ඇරඹෙන හයට නිමවෙන
මැෂිමක අඬහැරය කැඳවයි හඬ නගා ඇයව

උයන්පල්ලකු නැතුව
ගිම් රැස් වැදී වියළෙයි
කැකුළු මල් දහවලට
අගුළු දා සිරකර දෙසවන පියනගයි ඈ
තබා කෙටි පියවර

හෙන්දිරික්කා මල් පුදින සැඳෑවක
සුභ නැකැත ලියන්නට
එළි බහින මලානික තාරකා එළි මැද
ඉර ගිලෙන අහසෙ
අපැහැදිලි සායම් වර්ණ
අඳී ඈ වත
සරාගී දේදුණු රටා

ඇණ හිටියි විදුලිය සැණෙකින්
පියවයි ගනුදෙනු එසැණින්
පසුම්බිය නංවන කිකිණි හඬ
දල්වයි ඇගේ මිලාන නෙත් යුග

කඩුල්ල පාමුල
නිදිබර මොල කැටි කිරි හිනා දැක
කඩා හැලුනා ඇගේ
බොර පාට දෑස් දිය කර
ප්‍රේමයේ නාමයෙන් ලියවුණු
මහා කවි, පැදි, ගී
අතෝරක් නැතිව...

- තේජා රාජපක්ෂ
thejarajapakse@yahoo.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Friday, 11 September 2026

නිමිත්තකට පමණක් - ඉන්දිකා තිලකුමාර

වටහා ගත නොහී
නව නළු රස
පිරික්සන පරීක්ෂක
නව ඉසව් සොයනා
විදු නැණ!

පිරික්සිය හැකිද
මේ මනුසත් හැඟුම?

ශෘංගාරය දන්නා සිත
නොදන්නේද?
විප්‍රලම්භ ශෘංගාරය
නිමිත්තකට පමණක් ද එය?

මේ සේරම
දමා කවියකට
පිරික්සන කල
දැනෙනවාද අඬන'යුරු
මේ මනුසත් හැඟුම?

- ඉන්දිකා තිලකුමාර
ithilakumara@yahoo.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

Thursday, 10 September 2026

පරාර්ථය - මාලතී රූපිකා පුංචිහේවා



එළිය දී
ඉටිපන්දමට...
සැනින් නිවුණා
ගිනිකූර!

- මාලතී රූපිකා පුංචිහේවා
malirupi17@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්