
යසසි මල්මීවල ගේ "Coming of Age" කෘතිය කවි හා ගද්‍ය මනාව මුසු වූ සුන්දර නිර්මාණයකි.
මේ කෘතිය තුළ ඇය තම ඇතුළාන්තයේ සිටින කුඩා දැරිය සමග හෘදයාංගමව දොඩමළු වීමට උත්සාහ දරයි. තම අතීත අත්දැකීම් අමතමින් ඇය ගොඩ නගන කතන්දරය තුළ, කිවිඳියගේ ජීවිත අත්දැකීම් සමුදාය හා තම ජීවිතය සසඳා බලන්නට පාඨකයා නිරායාසයෙන් ම පොළඹවයි.
පොත පුරා ගැහැණු දරුවෙකුගේ ස්ත්‍රීත්වය, අව්‍යාජත්වය හා බැඳුණු - ජීවිතයේ විවිධ අවධීන් වලදී දැනෙන හැඟීම්, හැලහැප්පීම්, සබඳතා සහ තවත් බොහෝ දේ අන්තර්ගත ය. එය අතීතය, වර්තමානය සහ වෙනස් වන ලෝකය තුළින් අනාගතය දකින්නට මනාව වියන ලද පොහොසත් වියමනකි.
යසසි, තම ළමා වියත්, සිය තාරුණ්‍යයත් අතර සැරිසරමින්, සිතිවිලි දෝලනය කරමින් - අතීත අත්දැකීම්, නිරීක්ෂණ, අකුරු කරමින්, තම ළබැඳි සබැඳියාවන්ට එබී බලමින්, ඉංග්‍රීසි බස වියත් ලෙස හසුරුවමින් කවි හා ගද්‍ය නිර්මාණය කොට ඇති අයුරු ප්‍රශංසනීයයි.
උදාහරණයක් ලෙස, ඇගේ "Clementine" නම් කවියේ, ඇය Clementine නම් පැඟිරි ඵලය රූපකයක් ලෙස භාවිතා කර එහි මිහිරි පැණිරස සහ ඇඹුල් රසය ජීවිතය හා සැසඳීමට සාර්ථක ප්‍රයත්නයක යෙදෙයි.
"Coming of Age" කෘතියේ දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වැනි දින සවස සිඩ්නි නුවර තදාසන්නයේ සෙවන්හිල්ස් හි පිහිටි, සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී සිදුවිය.
වසන්ත උදාවත් සමඟ එළැඹි සංස්කෘතික මාසයේ ඇරඹුම ලෙස මෙම උත්සවය සඳහා පූර්ණ අනුග්‍රහය සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය වෙතින් ලබා දුන් අතර, ‘අමෝදා ඩිසයින්ස් සහයෝගීතාවයෙන් සහ සම්බන්ධීකරණයෙන් සාහිත්‍යට හිතැති පිරිසක් සමඟින් ග්‍රන්ථය උත්සවාකාරයෙන් ජනගත කෙරිණි.
සිය ආරාධිත දේශනයේ දී ආචාර්ය පාලිත ගනේවත්ත මහතා කිවිඳිය තම කෘතිය හරහා ජීවිතයේ එක් අවධියකින් තවත් අවධියකට වන සංක්‍රාන්තිය කොතරම් සංවේදීව ග්‍රහණය කරගෙන ඇත්ද යන්න පැහැදිලි කළේය.
ඕස්ට්‍රේලියාවේ, යාය පොත් සමාගමේ පහත සබැඳිය මගින් පිටපතක් ඔබට ද වෙන් කර ගත හැක.
https://yaaya.com.au/products/detail/coming-of-age-english-poetry
යසසි මල්මීවල කිවිඳියගේ ඉදිරි ගමනට හද පිරි සුබ පැතුම් පිරිනමමි.

- සුභාෂිණී ජයතිලක
subhagoonaratne@gmail.com
මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.