Wednesday, 2 September 2026

(අ)මතක - ශක්තික සත්කුමාර



මතක දවසෙ ඉඳලා ඉබ්බෙක් නොදාපු ගේට්ටුවට ඉබ්බා දාපු දවසෙ මට තේරුණේ අපි ඒක කළේ ගෙයක් ආරක්ෂා කරන්න නෙවෙයි කියලා. අපි ආරක්ෂා කළේ මතකයක්. එහෙත් ගේට්ටුව කියන්නේ පිටත ලෝකයට යන මාර්ගයක්. ඒ දවසෙ ඉඳලා ඒක ඇතුළට එන්න හදන අතීතයට එරෙහිව දාපු යකඩ තීන්දුවක්. අම්මා ඒක කවදාවත් පිළිගන්න කැමති වුණේ නැහැ. ඇය හැම උදෑසනකම සුදු පාට හැට්ටයක් ඇඳලා කළු පාටට හුරු ලුංගියක් පටලවාගෙන, කොණ්ඩය පිළිවෙළට පීරලා, බෑගයක් හොයනවා. ඊට පස්සෙ ගේට්ටුව ළඟට ගිහින් පාර දිහා බලාගෙන ඉන්නවා. අපි නොදන්න කව්දෝ එනකම්.

"පුතා... අද ඉස්කෝලෙට පරක්කු වෙයි. ඉක්මනට එන්න."

ඒ වචන ඇහෙද්දි මගේ වයස අවුරුදු හතළිහක් කියලා මට හිතාගන්න බැරිව යනවා. මම ආයෙත් හයේ පන්තියට ගිහින් නතර වෙනවා. අම්මගේ මතකය, කාලය ආපස්සට ඇදගෙන යනවා. අපි ජීවත් වෙන්නේ වර්ෂ දෙකක. එකක් දින දර්ශනයේ. අනිත් එක අම්මගෙ හිතේ. ඒ දෙක කවදාවත් එකට හමුවුණේ නැහැ.

* * * "දර්ශන, අම්මගේ තත්වයත් එක්ක පහුගිය සති කීපයට අපේ දරුවො දෙන්නගෙ ඉස්කෝලෙයි, පන්තිවලයි වැඩ ටික අතපහුවුණා."

ඇඳට වෙලා අරමුණක් නැතිව මුහුණු පොතේ සැරිසරමින් හිටපු මම ජංගම දුරකථනය ඇඳ අසල වූ ටීපෝව මතින් තියනවා. රාත්‍රී ඇඳුමෙන් සැරසුණු උදුම්බරා කාමරයේ විදුලි බුබුල නිවා දමලා මා අසලින් වැතිරෙනවා. ඇය අසලින් මිහිරි සුවඳක් වහනය වෙනවා. සාලයේ දල්වා තිබෙන රාත්‍රී විදුලි බුබුලේ සහන් එළිය අප නිදන කාමරය පුරා මද වශයෙන් පැතිරිලා. මම උදුම්බරාගේ මුහුණට එබෙනවා. ඇගේ මුහුණෙහි ප්‍රශ්න පත්‍රයක්.

"පොඩි දෙන්න නිදි ද?" හෙමිහිට ඇගෙන් අසන මම නැවත උඩුබෙලි අතට හැරෙනවා. සිවිලිමෙහි වූ විදුලි පංකාව ඉතා සෙමෙන් කරකැවෙනවා.

"ඔව්. හෙට පොඩි පුතාගේ පන්ති රැස්වීමක් දාලා," උදුම්බරා දිගු සුසුමක් හෙලනවා.

"පහුගිය දවස් ටිකේ අම්ම නිසා නිවාඩු ගත්ත නේ? මට ඔෆිස් එකේ වැඩ ටිකක් වැඩියි. ඔයාට බැරිද වරුවක නිවාඩුවක් දාලා ඉස්කෝලෙට යන්න?" මම වමතින් ඇගේ හිසකෙස් පිරිමදින්න පටන් ගන්නවා.

"මම හෙට යන්නම්. තාත්තට පුළුවන්නෙ අම්මව බලාගන්න. උයන්න-පිහන්න අපි ගෑනු කෙනෙක් කුලියට ගමු. අම්මට හොඳ වෙනකම් අපි අපේ ගෙදර යමු ද දර්ශන?" උදුම්බරා තීරණාත්මක හඬින් කතා කරනවා.

"ඔයාට පිස්සු ද?" මම ඇඳේ ඉඳගන්නවා.

"ඔයා අපේ ගෙදර යන්න අකමැතිනම් අපි ගෙයක් කුලියට ගමු," උදුම්බරා මගේ වම් අත දෝතින්ම අල්ලා ගන්නවා. ඇගේ අත ගසා දමන මම ඇඳෙන් නැගිටලා කාමරයෙන් එළියට එන්නේ ලොකු කලකිරීමකින්.

* * * අම්මා මගේ නම වැරදියට කියන්න පටන් ගත්තා. ඊළඟට තාත්තගේ නම. ඊට පස්සෙ අපි කවුරුත් නැහැ. ගෙදර පිරුණෙ අමුත්තෝ. තාත්තයි, මායි ඇයට කෑම කවද්දි අම්මා අපි දිහා සැකයෙන් බලනවා.

"ඔයාලා කවුද?" අම්මා දෑස් ලොකු කරගෙන අහනවා. ඒ ප්‍රශ්නයේ පිළිතුරු අපි දැනගෙන හිටියා. ඒත් ඇය පිළිගත්තෙ නැහැ.

මිනිහෙකුගේ නම නැතිවුණාම ඔහු නැති වෙනව ද? නැත්නම් ඔහු නැතිවෙන්නෙ ඔහුව මතක තියාගෙන ඉන්න අය නැතිවුණා ම ද? මම ඒ ප්‍රශ්නයට අදටත් උත්තර හොයනවා. තවම හම්බවෙලා නැහැ.

අම්මට දේවල් හංගන්න පුරුද්දක් ඇතිවුණා. මුලින්ම හැංගුවේ සල්ලි. ඊට පස්සෙ හැඳි, යතුරු. ඊටත් පස්සෙ මගේ දත් බුරුසුව. තාත්තගේ ඔරලෝසුව. අපි හැමදාම ගෙදර පුරා දේවල් හොයනවා. අම්මත් අපිත් එක්ක හොයනවා එයා හංගපු දේවල්. මට හිතුණා "ඩිමෙන්ෂියා" කියන්නෙ හොරෙක් කියලා. ඒක කිසිම දෙයක් හොරකම් කරන්නෙ එක පාරට නෙවෙයි. ටිකෙන් ටික. අද නමක්. හෙට මතකයක්. අනිද්දා පුතෙක්. ඊට පස්සෙ මුළු ජීවිතයක්.

උදේ හයට අම්ම නැගිටිනවා. ඇඳ හදනවා. කොණ්ඩය පීරනවා. ඉස්සරහ දොර අරිනවා.

"අද ගුරු විභාගය තියෙනවා," ගෙදර හැමෝටම ඇහෙන්න ඇය කියනවා. අපි දන්නවා ඒ විභාගය අවුරුදු පනහකට කලින් ඉවර වෙලා කියලා. ඒත් ඇය අදත් ඒකට යන්න ලෑස්ති වෙනවා.

"හරි අම්මේ. තව ටිකකින් යමු!" ඇයත් එක්ක අපි බොරුවෙන් ජීවත් වෙනවා. ඇය හිනාවෙනවා.

"අද ඉස්කෝලෙ නැද්ද?" විනාඩි පහකට පස්සෙ අම්මා අහනවා. කාලය ඇගේ හිසේ රවුමක්, අපේ හිසේ රේඛාවක්. රවුමකට රේඛාවක් තේරෙන්නේ නැහැ. තාත්තා කවදාවත් අඬනවා මම දැකල නෑ. එයා අම්මව නාවනවා. ඇඳුම් මාරු කරනවා. කවනවා. රෑ දෙකට, තුනට ඇය නැගිටලා ගේට්ටුව ළඟ ඉන්නව නම් ආයෙත් ඇඳට එක්කගෙන එනවා.

"හරි, ඔයාගේ අම්මා උදේ එයි," තාත්තා එහෙම කියලා ඇයව සන්සුන් කරනවා. වචනයක් වචනයක් පාසා තාත්තා තමන්ගේ බිරියට බොරු කියනවා. ඒත් ඒ බොරුව තමයි තියෙන ලොකුම කරුණාව. සමහර සත්‍යවලට වඩා ඇතැම් බොරුවල මනුස්සකම වැඩියි.

* * * "තාත්ති අපිව බලන්න කවදද එන්නෙ?" පොඩි පුතාගේ කටහඬ ජංගම දුරකථනයෙන් කණට රිංගලා හිත පහුරු ගානවා. ඉස්තෝප්පුවේ ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටින මම අඩ අඳුරේම මිදුලට බහිනවා. උදුම්බරා දරුවෝ දෙන්නත් අරන් මහ ගෙදරට ගිහින් තිබ්බේ තාත්තයි, මමයි අම්මව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නන්න ගියපු දවසක. එදා සෙනසුරාදාවක්. මට ඇය පිළිබඳ ආවේ ලොකු කේන්තියක්.

"පුතා කලබල වෙන්න එපා. ඒ දරුවගේ වරදක් නෑ," හැමදේම තේරුම් අරන් තිබුණු තාත්තා එදා මගේ පිටට හෙමින් තට්ටුවක් දැම්මා.

"තාත්ති... ඇයි ඔයා කතා කරන්නෙ නැත්තේ? තාත්තී..." දුරකථනයෙන් නැවත ගලා ආ පුතාගේ හඬින් මම අඩ අඳුරේම මිදුලේ කොහොඹ ගහ යට නවතිනවා.

"පුතේ... කිරි අම්මයි, කිරි අත්තයි නිදි.. මම මේ මිදුලට ආවා. අයියයි, අම්මයි කෝ? පුතා රෑට කෑම කෑව ද? චූටි මාමා තාම ආවේ නැද්ද?" මම වමතින් පපුව පිරිමදිමින් කතා කරනවා.

"අයියා ඉස්කෝලේ වැඩ කරනවා. අම්මා, ආච්චි අම්මත් එක්ක මොන මොනවාදෝ කිය කියා අඬනවා. චූටි මාමා වැඩ ඇරිලා ආවෙ නෑ තාම!" පුතාගේ හඬ ශෝකී ස්වභාවයකට පෙරළෙනවා.

"පුතා අම්මවයි, අයියවයි බලාගන්න. මම ඉක්මනටම එන්නම්කෝ පුතාලා බලන්න," පපුවෙන් පටන්ගත් වේදනාව ඇස් පුළුස්සාගෙන එළියට එනවා. එතනින් එහාට මට පුතත් එක්ක කතා කරන්න ශක්තියක් නැතිව යනවා. මට හයියෙන් කෑ ගහලා අඬන්න ඕන වෙනවා. ඒත් මම නිහඬ වෙනවා.

* * * "අනේ! කවුරුහරි එන්නකෝ... මාව මගේ අම්මයි, තාත්තයි ළඟට එක්ක යන්න. මේ අය මාව හිර කරගෙන ඉන්නවා," අම්මා ගේට්ටුව අල්ලගෙන කෑ ගැහුවා. පාරේ ගිය මිනිස්සු නැවතුණා. වැඩට යන්න ලෑස්ති වෙමින් හිටපු මම දුවගෙන එළියට ආවා. ඒත් ගේට්ටුවෙන් එළියේ එකතුවෙලා හිටපු සෙනඟ දැකලා මිදුල මැද ගල්වුණා. තාත්තා හෙමින් ගිහින් අම්මගේ අත අල්ලගත්තා.

"එන්න!" ඔහු කිව්වේ එච්චරයි. ඒ වචනය ඇතුළේ ඔවුන්ගේ විවාහ ජීවිතේ අවුරුදු හතළිහම තිබුණා. ආදරය තිබුණා. පරාජය තිබුණා. බලාපොරොත්තු තිබුණා. ඒත් අම්මා ඔහුගේ අත ගසා දැම්මා.

"ඔයාව මම දන්නේ නැහැ!" ඇය කෑ ගැහුවා. තාත්තගේ මුහුණේ කිසිම හැඟීමක් තිබුණේ නෑ. සමහර වෙලාවට වේදනාව වැඩිවුණා ම මූණට හැඟීම් එන්නේ නෑ. එදා රෑ මම නිදාගත්තේ නැහැ. අම්මා නිදාගෙන හිටියා. තාත්තා පුටුවක ඉඳගෙන ඇය දිහා බලාගෙන හිටියා. මට හිතුණා ඩිමෙන්ෂියා කියන්නේ මිනිසෙක්ගේ මතකය මැරෙන රෝගයක් නෙවෙයි, අනිත් අයගේ මතක පණපිටින් වළලන රෝගයක් කියලා.

ගෙදර බිත්ති නිහඬයි. ඔරලෝසුවේ කටු කරකැවෙනවා. ඒත් ඒ ගෙදර කාලය ගෙවන්නේ නැහැ. ඒක එකම දවසක්. නැවත නැවතත්. අම්මා දේවල් හංගන එක තව තවත් වැඩිවුණා. ඇය හිතුවේ හැමෝම හොරකම් කරන්න එනවා කියලා. ඒ නිසා ලෝකය ඇයගෙන් හොරකම් කරන්න කලින් ඇය ලෝකයට හංගන්න පටන් ගත්තා. අම්මා තමන්ගේ පැන්ෂන් එක එන බැංකු පොතයි, ඒටීඑම් කාඩ් එකයි හැංගුවා. මුළු ගේම පෙරළලා තාත්තයි, මායි ඒවා හෙව්වා. ඒත් වැඩක් වුණේ නෑ. අපි අවසානයේ පරාජය භාරගත්තා.

"තාත්තා, සුගත් මල්ලිගෙ ත්‍රීවිල් එකේ හෙට දවල්ට අම්මව බැංකුවට එක්ක එන්න. මම වරුවක් නිවාඩු දාලා එන්නම්."

* * * "දර්ශන මහත්තයට සර් කතා කරනවා. ගලගෙදර වෝටර් ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එක අරගෙන ඉක්මනට එන්න ලු." මේසය මත වූ ෆයිල් ගොන්න මත එහාටත්, මෙහාටත් දෑස් යවමින් සිටි මගේ කණ ළඟ සුනිල්ගේ හඬ නතරවුණා.

මම ඔහු දෙස බැලුවා. "මං දැක්කා මන්ත්‍රීතුමාත් ඇවිත් ඉන්නවා," බුලත් කහට බැඳි දත් දෙපළ පෙන්වමින් සුනිල් යටහත් පහත්ව කිව්වා.

"මා ළඟ කොයින්ද ගලගෙදර ෆයිල් එක?" මම නැගිටලා ලොක්කගෙ කාමරේ ළඟට කිට්ටු කළා. ලොක්කා මට අතින් සංඥා කළා. මම කාමරයට ඇතුළුවුණා.

"දර්ශන, කෝ ෆයිල් එක ගෙනාව ද? මේ අපේ මන්ත්‍රීතුමා ඇවිත් ඉන්නේ ගලගෙදර වෝටර් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරගන්න."

මම ලොක්කගේ දෑස් දෙස බැලුවා. ඒ බොර පාට ඇස් මගේ මුහුණේ නතර වෙලා.

"සර් මට ඒ ෆයිල් එක ලැබුණේ නෑ," මම හෙමින් කිව්වා.

"මොනවා? ආ... හරි... සුනිල්ට එන්න කියන්න කෝ." ලොක්කගෙ නොරිස්සුම් සහගත මුහුණෙන් දෑස් මුදවා ගත්ත මම ආපහු හැරුණා. මන්ත්‍රීවරයා ඔහුගේ ජංගම දුරකථන තිරයේ දෑස් අලවාගෙන සිටියා.

සුනිල්ට පණිවිඩය කියපු මම ආපනශාලාවට ඇතුළුවුණා. වඩයක් සහ තේ කෝප්පයක් සමඟ ආපනශාලාවේ කෙළවර කිසිවකුත් නැති මේසයක් ළඟට මම කිට්ටු කළා. සති අන්තයේ උදුම්බරාගේ මහගෙදර යා යුතු යැයි මට කල්පනාවුණා. තේ කෝප්පයේ අවසන් උගුර බීපු මම කැෂියර් එක ළඟට ගියෙ වඩයේ සහ තේ කෝප්පයේ බිල ගෙවන්න. ඒත් මගේ කලිසමේ පිටුපස සාක්කු දෙකම හිස්ව තිබුණා.

"පර්ස් එක මේස ලාච්චුවෙ ද කොහෙද? මම සල්ලි අරන් එන්නම්." මම ආපහු හැරුණා.

"හවසට ගමු සර්..," ආපනශාලාවේ හිමිකරුගේ හඬ මගේ කණ ළඟින් ගලා ගියා. මම ඉක්මනින් මගේ මේසය වෙත ආවා. ඒ වන විට ලොක්කත් තවත් මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකුත් මගේ මේසය වටකරගෙන සිටියා. හැමෝම මා දිහා බැලුවේ හොරෙක් දිහා බලන බැල්මක්.

"තමුසෙට ලැබුණේ නෑ කියපු වෝටර් ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එක තමුසෙගෙ ලාච්චුවට ආවේ කොහොම ද?" ලොක්කා ගිනි පිඹිමින් මා වෙත කඩා පැන්නා. කිසිවක් සිතාගත නොහැකි වූ මම උඩ බිම බැලුවා.

* * * බැංකුවකට අත්සනක් කියන්නේ හඳුනාගැනීමක්. ඒක නීතියක්. අම්මට අලුතින් ඒටීඑම් කාඩ් එකක් ගන්න ඇයව එක්කගෙන බැංකුවට ගියපු දවසේ මට තේරුණේ මනුස්සයෙකුගේ අත්සන කියන්නේ ඔහු ජීවිත කාලයක් පුරා ලියපු "මම" කියන වචනෙම විතරක් නොවන බව. කවුන්ටරයේ වීදුරුවෙන් එහා පැත්තේ හිඳගෙන හිටපු නිලධාරිනිය ෆෝම් එකක් අම්මා ඉස්සරහට තල්ලු කළා.

"මෙතන අත්සන් කරන්න," නිලධාරිනිය අම්මාට හිස් කොටුවක් පෙන්නුවා. අම්මා පෑන අතට ගත්තා. පෑන දිහා බැලුවා. ෆෝම් එක දිහා බැලුවා. ඊට පස්සෙ තමන්ගෙ අත දිහා බැලුවා. ඒ අතත් හරියට වෙන කෙනෙකුගේ වගේ.

"මගේ අත්සන...?" ඇය තාත්තාගෙන් ඇහුවා. ඒ ප්‍රශ්නයට පිළිතුරක් තිබුණෙ නැහැ. තාත්තා නිහඬව හිටියා. මම කවුන්ටරය අසල බිත්තියේ එල්ලලා තිබුණු ඔරලෝසුව දිහා බලා හිටියා. කටු දෙක ඉදිරියට යනවා. ඒත් අපේ ජීවිතය පස්සට යනවා. අම්මා පෑන් තුඩ හිස්කොටුව මත තැබුවා. ඇය තමන්ගේ නම ලියන්නට උත්සාහ කළා. මුලින්ම අකුරක්. ඊට පස්සේ ඉරක්. අනතුරුව වටයක්. අන්තිමේ දී පෑන නතරවුණා. අපි බැංකුවෙන් පලා ආවා.

ඊළඟ සති කිහිපයේම අපි අම්මට අත්සන ඉගැන්නුවා. පුංචි ළමයෙකුට අකුරු උගන්වනවා වගේ. හිස් කොළයක් උඩ නැවතත්, නැවතත්, නැවතත් ඇය ලියනවා. මිනිත්තුවකින් අමතක වෙනවා. ආයෙත් ලියනවා. ආයෙත් අමතක වෙනවා. එක දවසක් ඇය හරියටම අත්සන් කළා. අපි හැමෝම සතුටුවුණා. ඊළඟ දවසේ ඇයට පෑන අල්ලන විධිය අමතක වෙලා. එදා මට තේරුණා ඩිමෙන්ෂියා එක්ක සටන් කරන මිනිස්සු දිනන යුද්ධ නෑ. තියෙන්නෙ ආදරයෙන් ප්‍රමාද කරන පරාජයන් විතරයි.

* * * මම ඉක්මනින්ම ස්ථාන මාරුවක් ඉල්ලුවා. තවදුරටත් මට ඒ කාර්යාලයේ ඉන්න හිත දුන්නෙ නෑ. ගෙදර උයන-පිහන වැඩවලටයි, අම්මව බලා ගන්නයි සුදුසු කාන්තාවක් මා සොයා ගත්තා. ඒ වෙද්දි උදුම්බරා දරුවො දෙන්නත් එක්ක නැවත ගෙදර එන්න කැමති වෙලා හිටියා. ඒ ගැන ගොඩක්ම සතුටු වුණේ තාත්තා.

"මුනුබුරෝ දෙන්නා නැතිව ගෙදර හරිම පාළුයි," තාත්තා නිතරම කීවා. ගෙදර කිසිම කෙනෙක් ඇහැරෙන්න කලින් සෙනසුරාදා උදේම මම උදුම්බරාගේ මහගෙදර යන්න පිටත්වුණා. බිරියත්, දරු දෙදෙනාත් නැතිව ගතවුණු මාස කිහිපය මට කල්පාන්තරයක් වගේ දැනිලා තිබුණා. හන්දියෙන් බැහැලා දරු දෙදෙනාට චොක්ලට් දෙකකුයි, කේක් ගෙඩියකුයි, කෙසෙල් ඇවරියකුයි ගත්ත මම උදුම්බරාගේ මහ ගෙදරට ගියේ ත්‍රිරෝද රථයකින්. උදුම්බරාගේ නිවස ඉදිරිපිට ත්‍රිරෝද රථය නැවැත්තුවා. මම වෙනදා පුරුද්දට රුපියල් 200 ක් ත්‍රිරෝද මල්ලී අත තැබුවා.

"සර් මෙතන තියෙන්නෙ සීයෙ කොළ දෙකක්. දාහෙ කොළ දෙකක් නෙවෙයි."

"මෙතෙන්ට දෙදාහක්?" මගේ දෑස් උඩ ගියා.

නිවස තුළින් මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් පැමිණ ත්‍රිරෝද රථ රියදුරා අත රුපියල් දාහේ කොළ දෙකක් තබා රියැදුරු අත තිබූ සීයේ කොළ දෙක ඒ පුද්ගලයා අතට ගත්තා.

"අයියා ගෙදර අය නිදි අතරෙම ඇවිල්ලා. අක්කයි, දරුවො දෙන්නයි හොඳටම කලබල වෙලා..." මැදිවිය ඉක්මවූ පුද්ගලයා තව මොන මොනවදෝ කියමින් නිවස තුළට යන්නටවුණා. මා අවට බැලුවේ ඔහු කවුරුන් සමඟ කතා කරනව දැයි දැනගැනීමට. මිදුලේත්, ආලින්දයේත් මම හැර වෙන කිසිවෙකුත් සිටියේ නෑ.

"ලොකු උන්නැහේ මේ උදුම්බරා නෝනගේ ගෙදර නේද? ඒ නෝනයි, පොඩි ළමයි දෙන්නයි කෝ? මම උදුම්බරා නෝනගෙ මහත්තයා. දරු දෙන්නගෙ තාත්තා. ඔහේව මං මීට කලින් දැකල නෑ නේ? මං ආවෙ මගේ නෝනවයි, දරුවො දෙන්නවයි එක්කගෙන යන්න..." නිවස තුළට ගිය පුද්ගලයාට ඇහෙන්න මම උස් හඬින් කතා කළා. ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් නෑ.

පපුවේ හතියක් නැග එන්න පටන් ගත්තා. මම ආලින්දයේ වූ පුටුවකට බරවුණා. හැර දමා තිබූ ගේට්ටුවෙන් පිම්මේ පැමිණි සුදු පාට වෑන් රථයක් හඬ නගමින් මිදුලේ නතර කළා. එයින් බැසගත් තරුණයින් දෙදෙනෙක් කඩිමුඩියේ මා වෙත පැමිණියා.

"තාත්තිට කොච්චරවත් කියනවා තනියෙම කොහෙවත් යන්න එපා කියලා. චූටි මාමා කෝල් එක දෙද්දි අපි එන්න පිටත්වෙලා හිටියේ," එක තරුණයෙක් මා වෙත නැඹුරුවුණා.

"ඔය මල්ලිලා කවුද? කෝ උදුම්බරා? එතකොට මගේ කොලු පැටව් දෙන්නා? ඒ දෙන්නා එනකන් ඒගොල්ලන්ගෙ කිරි අත්තා බලාගෙන ඉන්නවා."

"කිරි අත්තා නැතිවෙලා දැන් අවුරුදු විසිපහක්. කිරි අම්මා නැතිවෙලා දැන් අවුරුදු තිහක්. අපි යමු තාත්ති. අම්මා හොඳටම බය වෙලා ඇති," තරුණයන් දෙදෙනා මම හිඳ සිටි පුටුව දෙපසට පැමිණ මා නැගිට්ටවා ගැනීමට තැත්කළා.

කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වූ මම තදින් දෑස් පියා ගත්තා.

- ශක්තික සත්කුමාර
shakthikasathkumara@gmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි