
වෙලාව දොළහට කාලය. නිමන්ත තවමත් නැත. බැල්කනියට වී පාර බලා හිඳීම දැන් මගේ දෛනික රාජකාරියක් පමණටම පත් වී ඇත. පාරේ ගමන්ගන්නා වාහන පෙරහැර ද තුනී වී ගොස් ය. පාළු පාර දෙස බලාහිඳීම ඇස් රිදවන්නකි. එයටත් වඩා හදවත අවුලවන්නකි. ඈතින් ලයිට් එළියක් මතුවන හැම විටකම හිතෙන්නේ ඒ නිමන්ත කියා ය. එහෙත් ඒ ලයිට් එළි ගේට්ටුව පසුකර ඉවත යන්නේ මගේ නිගමනය වැරදි බව පෙන්වමිනි.
සතියේ දිනවල කොහොමත් නිමන්ත නිවසට පැමිණෙන විට නවය පසුවේ. අද සිකුරාදා ය. සිකුරාදා දිනවලට තවත් රෑ වේ. මට නම් දැන් මේ බලා හිඳීම ඇතිවෙලා ය. තනිවම රෑ එළිකරගන්න නම් කසාදයක් මොටදැයි සිතෙන වාර අනන්ත ය.
"දරු පැටියෙක් හිටියනම් ඔය පාළුව නැහැ. දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. අනික නිමන්ත වුණත් ගෙදර දුවගෙන එයි රෑ වෙන්න කලින්. කොහෙද? අපි කියන එකක් අහනව යැ. පවුලක් රැකෙන්න නම් දරුවෙක් ඉන්න ඕනෑ," දවස් දෙක තුනක් නැවතී යන්නට පැමිණි අම්මා, ආපහු ගෙදර ගියේ නිමන්තගේ ක්‍රියාකලාපයෙන් හිත රිදවාගෙන ය.
ඒත් විවාහයට පෙර අපි තීරණය කෙරුවේ දරුවෙකු හැදීම අවුරුදු තුන හතරකට කල් දමන්නට ය.
"ටිකක් නිදහසේ ඉමු. ඇවිදලා කරලා, ෆිල්ම් එකක්, ඩ්‍රාමා එකක් බලලා ලයිෆ් එක එන්ජෝයි කරමු," ඒ නිමන්තගේ වචනය.
ඒත් ගමනක් බිමනක් යනවා තබා බොහෝවිට මා නිමන්තව දකින්නේ සඳ එළියෙන් ය. හිතේ හැටියට කතාකරමින් එළියට ගොස් කෑම වේලක් ගත් කාලයක් මගේ මතකයේ නැත.
උයා පිහාගෙන බලා සිටියාට බොහෝවිට නිමන්ත එන්නේ පිටින් කෑම කාලා ය. නැතිනම් උත්සවයකට සහභාගී වීමට ඇත්නම් කලින්ම දන්වයි. එදාට මම රෑට කන්නේ නැත. ඒ බඩගිනි නැති නිසා නොව තනි මට උයාගැනීමට ඇති කම්මැලිකම නිසා ය.
නිමන්ත ජනප්‍රිය පුද්ගලික රූපවාහිනී ආයතනයක වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකි. කැප වී වැඩ කිරීම නිසාම නිමන්ත කෙටි කාලයකින් ම රාජකාරියේ ඉහළට ගියේය. ඒත් ඒ එක්කම ඔහුට පැවරුණුනු රාජකාරි ද වැඩි වූයෙන් මා සමග ගතකරන කාලය ශීඝ්‍රයෙන් අඩුවිය.
මේ යැයි පැවසීමට කිසිදු වරදක් නිමන්තගේ නැත. එනමුත් දවස පුරාම තනිව නිවසේ ගතකරන මට ඇතිවන සැක සංකා අපමණ ය. ඔහුගේ සේවා ස්ථානයේ ද වැඩිපුර ගැවසෙන්නේ තරණියන් ද. ඔවුන් ද සුරූපිනියන් ය. ඔවුන් මා ද හොඳින් හඳුනනා නමුත් මට දැනෙන්නේ ඔවුන් සියල්ලන්ම නිමන්ත දෙස ඇස ගසාගෙන සිටිනා ලෙස ය.
හවස් අතේ මදක් නිදාගත් නිසා නිදිමතක් නම් නැත. නිමන්ත හැමදාමත් පවසන්නේ ඔහු එනතුරු බලා නොසිට කෑම කා නිදාගන්නා ලෙස ය. නිමන්ත වැඩිපුර යතුරක් ද අරගෙන යන්නේ මට පහසු කරවනු පිණිස ය. එහෙත් කීයට හෝ නිමන්ත ඇඳට පැමිණෙන තුරු මට නින්ද යන්නේ නැත.
"හොඳ වැඩක් කරනවා අද. දොරවල් වහලා ලයිට් ඕෆ් කරලා මම නිදාගන්නවා. හැමදාම මග බලාගෙන ඉන්න නිසා අගයක් නැහැ. කොහේ හරි ගෑනු පිරිවරාගෙන ඉන්නවා ඇති. මම මෙතන නිදිමරන්නේ මොකටද?" මේසය මත ඇති කෑම එහෙම ම තියෙන්නට හැර ඉස්සරහා දොර අගුළු ලා සාලයේ ලයිට් නිවා පැමිණි මම ඇඳේ ඇලවුනත් නින්ද නම් අහලකටවත් ආවේ නැත. මගේ හදවත තිබුණේ ක්‍රෝධයෙන් හා සැකයෙන් ගිනි ගනිමින්ය.
ගේට්ටුව විවරවණුත්, රථයක් මිදුලේ නවතනුත් ඇසෙන විට වෙලාව පන්දර එකට ආසන්න ය. ඉදිරි දොරේ යතුර කරකැවෙනු ඇසුනත් නැගිට පහළට යාමට හිත ඉඩ දුන්නේ නැත. පඩි පෙළ නැග ආ නිමන්ත ලයිට් එක නොදමා ම ඇඳුම් මාරු කර තුවායත් රැගෙන බාත්රූම් එකට යනු අඩවන් දෑසින් බලා සිටියා මිසක ඇඳෙන් නැගිට ඔහු හා දබරයකට සැරසෙන්නටවත් හිත ඉඩ දුන්නේ නැත. ඒ වනවිට මා සිටියේ සුපුරුදු සිද්ධි දාමයෙන් හෙම්බත්ව ය.
වතුර මලෙහි වතුර විසිරෙනුත් නිමන්ත හෙමින් ගීයක් මුමුණමින් කාමරයට එනුත් ඒ පසුපසම මෘදු සබන් සුවඳක් පැතිරෙනුත් මා දරා සිටියේ අබ පුපුරනවා වැනි හදවතිනි.
"මේ මිනිහට ගානක්වත් නැති හැටි," මා තොල් හපාගත්තේ ඒ වදන් පිටවීම වළකාගැනීමට ය.
ලයිට් එක ඕෆ් කළ නිමන්ත හීන් සීරුවේ ඇඳට ආවේ මගේ නින්දට බාධාවක් නොවන පරිදිය. එහා මෙහා වී තිබුණු පොරවන රෙද්ද සකසා නළලට හාද්දක් දුන් නිමන්ත "ආදරෙයි," යනුවෙන් මිමිණුවේ මා තද නින්දේ පසුවෙතැයි සිතාගෙන ය.
මගේ හදවත නිවීගියේ ගිනි ගත් ගල් තලාවක් මතට සිසිල් දිය දහරාවක් ඇදහැලුනාක් මෙන් ය. සියලු තරහ-මරහ දුරු වී මා සැනසුණේ නිමන්තගේ උණුසුමට තුරුළු වෙමින් ය.
- ෂර්මිලා බංදුනී දංවත්ත
sharmiladanwatte@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.