
ගමට නමක් නිර්මාණය වූ පසුබිම පිළිබඳව අද අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නගරයක් වූ මොරටුව වෙතයි.
මොරටුව මුහුද අද්දරම පිහිටි ස්ථානයක් වෙතත් මෙය මුහුදු මට්ටමෙන් තරමක් ඉහළින් පිහිටි නගරයක් ලෙසයි භූගෝලීයව සැලකිල්ලට පාත්‍ර වී තිබෙන්නේ.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි මොරටුව මහ මුහුදේ සිට මීටර් විසිඅටක් ඉහළින් පවතින බව සඳහන් ය. මොරටුව නගර සභාවක් ද වේ.
බ්‍රිතාන්‍ය ජාතිකයින්ට විරුද්ධව මාතලේ සිට උඩරට කැරැල්ල මෙහෙය වූ පුරන් අප්පු මොරටු පුත්‍රයකි. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ දානපතියකු වන චාල්ස් හෙන්රි ද සොයිසාත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ අමරණිය නාමයක් ලබාගත් අමරදේව ද සුවිශේෂී මොරටු පුත්‍රයින් ය.
ලී බඩු කර්මාන්තය හේතු කොටගෙන ලංකාවේ වනපෙතේ අරටු එන තැනක් බවටද මොරටුව පත් වී තිබේ. මොරටුව නමත් සමග මොරටු විශ්ව විද්‍යාලය ද අපේ මතකයට නැගේ.
ඓතිහාසික තොරතුරු අනුව මොරටුව නම බිහිවීමට තුඩු දුන් කරුණ ද මේ බිම මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් පිහිටීම ම හේතු වී ඇති බව පෙනේ.
මොරටුව යනු බටහිරින් ඉන්දියන් සාගරයෙන් ද, නැගෙනහිරින් බොල්ගොඩ ගඟෙන් (විලෙන්) ද, දකුණෙන් මොරටු ගඟෙන් ද වටවී ඇති ආරක්ෂිත අර්ධද්වීපයක හැඩය ගත් ප්‍රදේශයකි.
විදේශීය ආක්‍රමණිකයන්ගේ හෝ වාණිජ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළට පිවිසෙන මුහුදු යාත්‍රා නිරීක්ෂණය රාජ්‍යය මැදිහත් වීමෙන් සිදුකරන ලද බවට වැදගත් තොරතුරක් අපට එකතු වෙන්නේ මොරටුවට නම ගෙතුණු පසුබිම හරහා ය.
මොරටුව මුහුදට උසින් පිහිටීම නිසාම සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහා මුරපොළවල් පිහිටුවීමට මේ ප්‍රදේශය යොදා ගන්නා ලද බව ඉතිහාසයේ කියවේ.
එකල උස අට්ටාල ඉදිකොට මුහුද නිරීක්‍ෂණය කරන ලදී. මේ ඉදිකිරීම් හඳුන්වා ඇත්තේ "මුර අටු" යනුවෙනි. මෙවැනි ඉදිකිරීම්වලට අට්ටාලය යන වචනය භාවිත වේ. වී ආරක්ෂාවට ගබඩා කරන තැන "වී අටුව"ලෙස හඳුන්වා ඇත.
"මුර අටු" බහුලව අටවා තිබුණු වෙරළ භූමිය හේතු කොටගෙන කාලයාගේ ඇවෑමෙන් මුර අටු ඉදි වූ බිම "මොරටුව" වූ බව පිළිගත් මතයයි.
- නිමල් සේදර
nimalsedera@yahoo.com
මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.