Tuesday, 24 November 2026

ලියන මහත්තයා - ඩබ්ලිව්. ජේ. වීරසිරි ද සිල්වා



"කොළඹ කෝච්චිය ළඟයි, ඉක්මනට යන්න," දුම්රිය ස්ථානයට පා ගමනින් යන මිතුරන් තිදෙනාට ඉදිරියට හමු වූ අසල්වාසියෙක් කිව්වේ ය. මිතුරන් තිදෙනා ගමන ඉක්මන් කළෝය. ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔවුන් තිදෙනා ම අගනුවර එකිනෙකට වෙනස් කාර්යාලවල සේවය කරති.

කොළඹ රැකියා සඳහා ගම්පියසින් දිනපතා දුම්රියට පියනගන මිතුරන් තිදෙනා අතරින් කරුණාදාස විශේෂ ය. ඔහු පුවත්පත් කාර්යාලයක සේවය කළ ලේඛකයෙකි. ගම්වැසියන් ඔහු හඳුන්වන්නේ “ලියන මහත්තයා” ලෙස ය. කාලවර්ණ, එතරම් උස නොමැති, නිතර මුහුණේ සිනාවක් රැඳි ඔහු රටේ සුපතල පුවත්පතක ලේඛකයෙකු ලෙස සේවය කළ අතර ඔහුගේ ලිපි පුවත්පතේ පළ වූයේ නම ඉදිරියෙන් ගමේ නම ද සමඟ ය. කරුණාදාස ගම්වැසියන් සමඟ කුළුපගව ඇසුරු කළ අතර ඔහු හමුවන කාටත් නෑකමක් කියා කතා කළේ ය.

අඹ යාළුවෝ තිදෙනා, එක මග ගමන් කළ ද, විවිධ ගතිපැවතුම් ඇති පුද්ගලයෝ වූහ. වික්‍රමපාල රජයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළේ ය. රැලි වුණු කොණ්ඩය පිටුපසට පීරා ඇති මිල්ටන් රාජ්‍ය සංස්ථාවක ලිපිකරුවෙකි. නිතර කියවීමට හුරුවූ කරුණාදාස අතේ කුමන විෂයකට හෝ අදාළ පොතක් රැඳී තිබුණි. නිවසේ ද පොත් රැසක් ගොඩගසා ඇත. ඔහු සම්මාන ලබාගත් අවස්ථාවල ඡායාරූප නිවසේ බිත්තිවල එල්ලා තිබේ.

ඇතැම්හු දුටු පමණින් ඔහුගෙන් පොත් ඉල්ලති. ඒ කියවීමට ම දැයි කිව නොහැක. දුටු දුටු තැන පොත් ඉල්ලන අයට නම් කරුණාදාසගෙන් පොතක් ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ ය.

"මහා කුණු ලෝබයා... කවදාවත් පොතක් නම් ඉල්ල ගන්න බැහැ. හරියට ඇඟෙන් ඇටයක් දෙන්න වෙනවා වාගෙයි," ඇතමෙක් මුවින් නොබැණ හිතින් බැණ බැණ යති. පොත් කියවන අයට නම් පොත් ඉල්ලා ගන්න අමාරුවක් නැත.

ඔහු පදිංචි බංගලාවත්ත නිවසේ සිට බස් පාරට යන පටු වැලි පාර අමුතු සිරියාවක් ගෙන දෙයි. එම පාරෙහි දෙවැටේ මිදෙල්ල ගස්වලින් වැටුණු රතුවන් මල් පෙති නිසා රතු පලසක් එළන ලද සේ ඇතැම් දිනෙක දිස්වේ. එතැන් සිට ප්‍රධාන පාර හරහා වෙරළාසන්නයේ ඇති දුම්රියපළට යා යුතුය.

කරුණාදාස හා වික්‍රමපාල ඔවුනොවුන්ට කතා කිරීමේ පහසුවට හා ලෙන්ගතුකමට කෙටි නමින් ඇමතුවත් මිල්ටන්ට එම්. එස්. යැයි කිව්වෝ ය.

"කරු... ඔයාට එම්. එස්. ගේ වෙඩින් එක කිව්වා ද?" වික්‍රමපාල ඇසුවේය. "ඔව්... වික්‍රම ඔයාට කිව්වේ නැද්ද?"

"මටත් කාඩ් එකක් දුන්නා..."

විවාහ උත්සවයේ දී මනමාලයාව කැපී පෙනුණේ ඔහු මෙතෙක් ඇඳි ජාතික ඇඳුම අතහැර දිගු කලිසමට මාරුවීම නිසා ය. උත්සවයේ දී වික්‍රමපාල ඇඳ සිටියේ ද දිගු කලිසමකි. ඒ ඔහු ද තව ටික දිනකින් විවාහ වන නිසා බව ඔහු කරූට පැවසුවේය.

මිතුරන් තිදෙනාම ජාතික ඇඳුම ඇඳ ගත් ඡායාරූපයක් තම නිවසේ බිත්තියේ එල්ලා තිබූ බව කරුණාදාසට මතක ය. යාළුවන් තිදෙනාම ඉගෙනුම ලැබුවේ ද ගමේ පාසලේ ය. වික්‍රමපාල හා මිල්ටන් දෙදෙනා ද පොතපත කියවීමට මහත් ආශාවක් දැක්වූහ.

හිටිවන කවි කීමට රුසියකු වුව ද මිල්ටන් තම හැකියාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත්තේ ය. ඇතැම් විට අනෙක් මිතුරාගෙන් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් සිදුවුවහොත් මිල්ටන් හිටිවන කවියකින් ඇනුම්පදයක් කියයි. එම කවිය ඇසූ අනෙක් මිතුරෝ කොක්හඬලා සිනාසෙති. කිසි දිනක ඔවුනොවුන් අතර පුද්ගලික අමනාපකම් නොවිය. ඔවුන් තිදෙනා නොයෙක් ශාස්ත්‍රීය දේ ගැන කතා කළහ. එම කතාබහ අවසන් වන්නේ සාහිත්‍යමය හා විනෝදකාමී රසගුලාවකින් ය. මේ විනෝදකාමී එකතුවීම වික්‍රමපාලගේ හා මිල්ටන්ගේ විවාහයෙන් පසු ටිකෙන් ටික අඩුවී ගියේ ය.

කරුණාදාසගේ ජීවිතයේ ප්‍රධාන ශක්තිය වූයේ අම්මා ය. විවාහයට උනන්දුවක් නොදක්වා මවගේ දුක්-සැප බැලීම ඔහුගේ ප්‍රථම කාර්යය විය. උදෑසන සිට රාත්‍රිය දක්වා වැඩ අතරතුර ද මවට ආහාර පිළියෙල කිරීම, ඖෂධ සූදානම් කිරීම, ඇයගේ පහසුව සැලසීම ඔහුගේ දිනචරියාව විය.

"පුතේ දැන් උඹේ කල දවසත් පහුවෙලා, කසාදයක් කර ගනින්. මමනං තව ටික කලකින් මැරිලා යයි. එතකොට උඹ තනිවෙනවානේ බං," කරුණාදාසගේ අම්මා නිතර කිව්වා ය. හැරමිටියේ ආධාරයෙන් ගේ තුළ ඇවිද ගියත් ඇය මිදුලේ ඇවිදීමට නොයයි. ඇය ගේ ඇතුළේ බිත්තිය අල්ලා ගෙන ඇවිදීමේ දී බිත්තියේ ඇඳුණු ඇඟිලි පාරවල් බිත්ති පිරිසිදු කිරීමේදීවත් මකා දැමීමට කරුණාදාස අකමැති විය.

රැකියාවට යාමට පෙර කරුණාදාස උදෙන්ම අම්මාගේ මුවදෝවා, උදේට හා දහවලට කෑම සකස් කර, ඒවා වෙන්වෙන්ව තබා, වතුර පවා ගැනීමට පහසු වන සේ පිළියෙල කර තබා යයි. ඔහු සවස වැඩ අවසන්ව එනතෙක් අසල නිවසක ඥාති කාන්තාවක අම්මාගේ දුක සැප බැලීම කරුණාදාසට මහත් සැනසීමක් ගෙන දුන්නේ ය.

කෝච්චිය ප්‍රමාද වූ දිනක කරුණාදාස නිවසට එනවිට පළාතම කළුවර වෙලා ය. අම්මා විතරක් තනියම ගෙදර සිටියා ය. ළඟ ගෙදරක ඥාති දුවෙකු පැමිණ චිමිනි ලාම්පුව පත්තු කර දී තිබුණි. කලාතුරකින් ගෙදරක තමයි ඒ දිනවල පැට්‍රෝමැක්ස් ලාම්පුවක් තිබුණේ.

"මල්ලීයේ අපේ පැට්‍රෝමැක්ස් එකේ මැන්ටලය කැඩිලා, නිපල් එක ළඟින් ගින්දර පිටවෙනවා. සවස් වරුවක ඇවිත් හදලා දෙන්න කෝ," කරුණාදාස අසල්වැසි පිරිමි ළමයෙකුට කිව්වේ ලෙන්ගතුකමිනි. කියවීමට ආශාවක් දැක්වූ ඒ තරුණයා නිරන්තරයෙන් කරුණාදාසගෙන් පොත් ඉල්ලාගෙන ගොස් කියවීමට පුරුදුව සිටි අයෙකි.

කාර්යාලයේ වැඩ අවසන් වී ගෙදරට පැමිණි මොහොතේ සිට කරුණාදාස ගෙදර වැඩ පටන්ගනී. ඒ තමාට හා අම්මාට රාත්‍රී කෑම සකස් කිරීම හා ඊළඟ දින වැඩට යාමට පෙර අම්මාට උදේ හා දවල් කෑම සකස් කිරීමට අවශ්‍ය කළමනා සූදානම් කිරීමයි. රාත්‍රී කෑමෙන් පසු අම්මා නිදාගැනීමෙන් අනතුරුව මැද සාලයේ පැට්‍රෝමැක්ස් ලාම්පුව නිවා දමන අතර තම කාමරයේ චිමිනි ලාම්පුව දල්වා තම ලිවීමේ කටයුතුවල නිරතවීම සිරිත ය. ඒ බව අසල්වාසීන් ද දන්නා කරුණකි.

"ලියන මහත්තයා... ඊයේ රෑ නිදා ගත්තේ නැද්ද... දෙගොඩ යාමේ බල්ලෝ බුරන සද්දේට මම එළියට ආවා... කාමරයේ ලාම්පුව පත්තුවුණා ඒ වෙලාවෙත්..."

"ඔව්... මම ඊයේ රෑ වැඩ කළා."

ලේඛන කලාවේ නිරත හිතවත් මිතුරන්ගේ පොතක් දොරට වැඩිමේ උත්සවයක් වේ නම් කරුණාදාස එයට නොවරදවාම සහභාගි විය.

මිල්ටන් විවාහයෙන් පසු ඔහු කරුණාදාස සමඟ තිබූ හිතවත්කම හා මිත්‍රත්වය පළුදුවීමට හේතුවක් වූයේ සුරාවට ඇබ්බැහිවීම නිසාවෙනි. තමාට ලැබෙන වැටුපෙන් වැඩි කොටසක් මත්පැන්වලට වියදම් කිරීම නිසා මිල්ටන්ගේ පවුලේ අගහිඟකම් වැඩි වූ අතර බිරිඳ සමඟ අඬදබර ද වැඩිවිය. ඔහු ඇතැම් දිනෙක වෙරිමතින් නිවසට පැමිණ බිරිඳට හා ළමයින්ට පහරදීම නිසා ළමයි රැකවරණය පතා කරුණාදාසගේ නිවසේ හැංගී සිටියෝය. එවිට මිල්ටන් කරුණාදාසගේ නිවසට පැමිණ ඔහුට බැණවදියි. ඒ තම බිරිඳව කරුණාදාසට පවාදෙමිනි. "වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා," යැයි සිතූ කරුණාදාස කිසිත් නොකියා සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්තේ ය.

දැඩි ලෙස ගිලන් වූ කරුණාදාසගේ මව බැලීමට වික්‍රමපාල පැමිණිය ද, මිල්ටන් නොආවේ ය. කවුරු ආවත්, නැතත් කරුණාදාස කිසිවෙකු සමඟ අමනාප නොවී සිටීමට වගබලා ගත්තේ ය.

අම්මාගේ සියලු ඕනෑ-එපාකම් ගැන සොයාබැලීම නිසා "පුතේ උඹට වරදින්නේ නැහැ, උඹට දෙවියන්ගේම පිහිටයි," යනුවෙන් අම්මා කරුණාදාසට නිතර ආශිර්වාද කළාය.

පත්තර කන්තෝරුවේ වැඩ කරන අතරතුර ඔහු අම්මාගේ සෙනෙහස ගැන අනන්තවත් කවි ලිව්වේ ය. කෙටිකතා, නවකතා ලිව්වේ ය. එහෙත් එම කවි, කතා කියවීමට අම්මාට නොහැකි ය. ඒ ඇය අකුරු නොදන්නා නිසා ය. එහෙත් ඇය පුතාගේ පොත් අතගා එහි පිටකවරයේ ලස්සන දුටුවා ය. ඔහු පුවත්පත්වලට ලියූ කෙටිකතා එකතු කර කෙටිකතා සංග්‍රහයක් නිකුත් කළේය. එය ඉතා රසවත්ය. එහි නිර්මාණවල චරිත නිර්ව්‍යාජ ය.

"මහත්තයාගේ පොත ලස්සනයි," පොත කියවූ අයෙකු කරුණාදාසට පැවසූ විට ඔහුගේ මුහුණ සතුටින් පිරී අහිංසක ලෙස හිස පහත් කොට සිනාසුණේ ය.

වසර ගණනාවක් කළ සේවයෙන් පසුව පත්තර කන්තෝරුවෙන් විශ්‍රාම ගිය ද ඔහු ඇබ්බැහි වී සිටි පොත්පත් කියවීමේ හා ලිවීමේ කාර්යය අවසන් කළේ නැත. විශ්‍රාම සුවයෙන් පසුවුව ද කරුණාදාසගේ ලිපියක් හෝ කවියක් ඉරිදා පුවත්පත්වල පළවීම අරුමයක් නොවිය.

කරුණාදාසගේ අම්මා ඉතා දරුණු ලෙස අසනීපවී නිවසට ආසන්න නගරයේ මහා රෝහලේ නවත්වන ලදි. අම්මා ළඟ සිටි ඥාති දියණිය උයා දෙන කෑම ටික රැගෙන ඔහු දිනපතා ම අම්මා බලන්නට රෝහලට ගියේය. කරුණාදාසගේ අම්මා රෝහලේදී මිය ගියා ය.

"ලියන මහත්තයලාගේ අම්මාගේ මළගෙදරට ආව කාර් පාර දිගේ නවත්වලා."

"ලියන මහත්තයාව සලකා ගෙන කන්තෝරුවල මිනිස්සු එනවනේ," තව අයෙකු කිව්වේය.

අම්මා ගැන නොදත් අය පවා කරුණාදාසගේ යහපත් ගුණ ගැන සිතා අම්මාත් එසේ ගුණ යහපත් මාතාවක්යැයි අනුමානයෙන් ඇගේ ගුණ කිව්වෝ ය.

විශාල ජන සමුහයක සහභාගිත්වයෙන් කරුණාදාසගේ අම්මාගේ අවසන් කටයුතු පොදු සුසාන භූමියේදී සිදුකරන ලදි. අනතුරුව කරුණාදාස හා ඥාති දියණිය නිවසේ තනිවූහ.

අම්මා බිත්තිය අල්ලා ගෙන ඇවිදීමේදී ඇඳුණු ඇඟිලි පාරවල් තවමත් ජීවමාන ය. ඒවා ඔහු අතගා බැලී ය. එය බිත්තියේ ඇඳි සිහිවටනයක් සේ තබා ගැනීමට ඔහු ඉටා ගත්තේ ය.

විශ්‍රාම ගත් පසු කරුණාදාස පෙරට වඩා පොත් කියවන්නටත් පොත් ලියන්නටත් පටන් ගත්තේ ය. ඔහුට ලැබෙන කතෘභාග සහ විශ්‍රාම වැටුප හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නොවි ය. එම මුදල් ප්‍රමාණවත් නොවුවත් එය ඔවුහු අපහසුවෙන් පිරිමසා ගත්හ.

කලාතුරකින් ඉරිදා දිනවල පැරණි මිතුරන් ඔහු හමුවීමට පැමිණෙන විට ඔහු ඉතා ප්‍රීතියෙන් එම දවස ගෙවා දැමුවේ ය.

එදා ජව වේගයෙන් කොළඹ යාමට දුම්රිය ස්ථානයට පිය නැඟූ මිතුරන් තිදෙනාගෙන් දැන් ජීවත්ව සිටින්නේ කරුණාදාස පමණි. අවශ්‍යතාවයකට පොත් ප්‍රකාශකයින් හමුවීමට කොළඹ යාමට හැර ඔහු දුම්රියෙන් ගමන් නොකරයි.

කරුණාදාස තම අම්මාට බොහෝ ආදරයෙන් සැලකුවේ ය. අම්මාගේ වියෝව හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට මෙන්ම කායික පීඩාවකට ද පත්විය. ඒ හේතුවෙන් කරුණාදාස වරින් වර රෝගී විය. ඒ සඳහා ප්‍රතිකාර ගත්තද එතරම් සුවයක් නොවීය. තමාට ඇවිදීමට නොහැකි මෙන්ම ශබ්ද නඟා කතා කිරීමට ද නොහැකිවීම ගැන බෙහෙවින් දුක්විය. බෙහෙත් සඳහා වැඩි මුදලක් වැයවීම නිසා මුදල් අගහිඟ ඇතිවුවද ඔහුගේ දුක සැප බැලීමට හා ප්‍රතිකාර කිරීමට ඥාති දියණිය සිටීම විශාල පහසුවකි. නිවසේ ඇතුළත වැඩක යෙදමින් සිටි ඇය පිටතින් ඇසූ කටහඬ නිසා පාර දෙසට ආවා ය.

"බෝතල්... පත්තර... ප්ලාස්ටික් පරණ කඩදාසි... පරණ යකඩ..., බෝතල්... පත්තර... ප්ලාස්ටික්... පරණ කඩදාසි... පරණ යකඩ..."

"නවතින්න... නවතින්න..., කීයද ගන්නේ," කරුණාදාසගේ ඥාති දියණිය පරණ බඩු එකතු කරන මිනිසාගෙන් ඇසුවේ කරුණාදාසගෙන් ද නොවිමසා ය.

පරණ පත්තර හා කඩදාසිවලට ගත හැකි පොත් විශාල ප්‍රමාණයක් මිදුලේ ගොඩගැසුවේ, මිනිසා එක් අතකින් එල්ලා ගෙන සිටින බැලන්සයේ කටුව දෙස බලමින්ය. එහි බර ප්‍රමාණය ළඟ කටුව නතර වී ඇත. පරණ පත්තර හා පොත් විකිණීමෙන් ලද මුදල අතෙහි ගුලි කර ගනිමින් ඇය නිවසට ඇතුළු වූවා ය.

විවර වූ දෙනතින් යුතුව කරුණාදාස ඇය දෙස බැලුවේ විමතියෙනි. කුමක් හෝ පැවසීමට ඔහු උත්සාහ කරන බව වටහා ගතහැකි වූ නමුදු ඔහුගෙන් ශබ්දය පිට නොවූ නිසා නිශ්චිත යමක් තේරුම් ගැනීමට අපහසුවිය.

සෙලවෙන දෙතොලින් "පොත්... පොත්..." යැයි කියනු ඇතැයි වටහාගත හැකිවූ නමුදු පියවුණු දෙනෙතින් එය ද නිශ්චය නොවීය.

- ඩබ්ලිව්. ජේ. වීරසිරි ද සිල්වා
desilva.weerasiri@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්