
නැවතත් වසන්තය ඇවිත්.
ඇත්තටම ලංකාවට නම් කවදාවත්
නොඑයි කියා හිතපු වසන්තය ඇවිත්!
දම් පාට ජැකරන්ඩාවලින් තුරු මුදුන් වැසෙන
Mother and daughter රෝස මල් අපේ මිදුලේ පිපෙන
මනාලියකගේ වේල් එක මෙන් ලස්සනට
සුවඳට පිපුණු සමන් පිච්ච මල් වැල් සුළගේ ලෙලදෙන
සිනුවරට කොවුලාවිත් ගී කියන කාලේ,
ආයිත් ඇවිත්!
ලංකාවේ අලුත් අයවැයෙන් අනාගතයක් අපට පේනවා.
විදේශවාසී අපටත් වාසියක් ලැබිලා.
අපේ ඉහේ මලක් පිපිලා!
ට්‍රම්ප්ගේ නම් මළ පැනලා!
මල පනින එක අහන්නත් දෙයක්ද?
හොඳම එක තමයි,
අමෙරිකාවේ midterm election වලින් ලද පරාජය.
එය කොතරම්ද කියනවා නම්,
ට්‍රම්ප්, ඊශ්‍රායලය සහ වෙනත් ඇමරිකාවෙන්
ආරක්ෂාව ලද රටවල් විසින්
ඉරාන යුද්ධයේ වියදම් දරන්න
ඕනා කියා ප්‍රකාශයක් ද කළා.
මුලින්ම ඇමරිකන් ආනයනවලට,
Tariff වැඩිකළාට වැඩියේ හපන් ඒක!
ආරස්සාව සඳහා බඩු සපයන,
මැදපෙරදිග පොලිස්කාරකමෙන් මුදල් උපයන
අමෙරිකාවේ බිස්නස් ඩවූන්!
මේ ඉරානේ නිසා.
මේ පුංචි ඩ්‍රෝනයක් නිසා!
යුද්ධයට විරුද්ධ ඇමෙරිකානුවන්,
නෙත්නයාහුට විරුද්ධ ඊශ්‍රායල්වරුන්,
දෙගොල්ලොම තමුන්ගේ නායකයින් පරද්දන තැනට ම ඇවිල්ලා
අනුන්ගේ රටවල ප්‍රශ්නවලට අතදානවට,
තමන්ගෙ බදු මුදල් වියදම් කරනවට
කොයි රටේ මිනිසුන්ද කැමති?
ජනතාවගේ මළ පැන්නාම වෙන දේ
විශ්වාස කරන්න බෑ!
න්‍යෂ්ටික පාරක් ඉරානෙට ගහයිද?
යුක්රේනයට ගහයිද?
ට්‍රම්ප් ගේ ඉරාන ගැහිල්ලට
දැනටම අමෙරිකාවේ
ඇතුළෙන් විරුද්ධයි!
ඒක වේවැල් පාරක් වගේ
පස්ස පැත්තේ පාරක් හිටින
වැඩක් විතරක් නෙවෙයි!
කෙසේ වුවද, නොකඩවා එන
අර්බුද වළක්වන්න බෑ!
ලංකාවට කරන්න තියෙන්නේ
පටස් ගාලා තෙල් පිරිපහදුවක්, දෙකක් හදන එක.
තෙල් ටැංකි, storage හදන එක.
එකක් දකුණේ, අනෙක Trinco
ඉරාන්, රුසියන් තෙල් ගෙනල්ලා බිස්නස් එක පටන් ගන්න.
බෙංගාල බොක්කට තෙල් සපයන එක.
"Homus in Trinco"
ඇමරිකාව චීනේ සමග කථා කළත්
උක්රේනය, රුසියාව සමග නම් කථා නොකරන කාලේ ඇවිත්.
මාස තුනකට අත්‍යවශ්‍ය දෑ රැස් කරලා තියාගන්නය කියලා
යුරෝපීය රටවල ජනයාට
නිල වශයෙන් නිවේදනය කරලා!
න්‍යෂ්ටික පාරක් ගහයිද,
පිස්සු හුටංලා?
යුරෝපය පුරා විරෝධතා ව්‍යාපාර...
වීදි සටන්, ජන අරගල!
සමහර ඒවා සංක්‍රමණිකයන්
පිලිකුල්වෙන දර්ශන.
ඒවා දැක්කම පෝලින් හැන්සන්ටත් ජොලි ඇති
එයයි, ලේබර් එකයි කරට කර ඕස්ට්‍රේලියාවේ
සර්බියාවේ සිසුන් බලය අල්ලලා.
බ්‍රසීලේ ලූලා ඇවිත්.
ලංකාවට ගමක කොල්ලෙක් ඇවිත්.
බංග්ලාදේශේ, නේපාලයේ,
ලොකු ලොකු වැඩ සිදු වෙමින් යනෝ...
ඕස්ට්‍රේලියාවේ ශත කීපයකින් පහළ ගියත්
පෙට්රෝල් මිල ඉහළයි.
බඩු මිල ඉහළටම දරාගන්න අමාරු මට්ටමට,
ජීවන වියදම ඉහළට,
ලෝකේ බොහෝ රටවලට එහෙමයි ලු!
ඔච්චර නායකයින් මරලාත්, බෝම්බ දාලාත්
ඉරානය තවම දුවනවා.
හොයලා බලනකොට ඒ කොහොමද කියලා
ආයතනික මතක, institutional memory එක ෂෝක් එකට
continue වෙන නිසා ලු.
ඒ එක්කම පුංචි ඩ්‍රෝනය නිසා!
ලංකාවත් ඩ්‍රෝන ගහන්නයි යන්නේ?
යුද්දෙට නෙවෙයි.
මගී ප්‍රවාහනයට
වාව්, වාව්, වාව්!
ඒ වගේම බල්තසාර් නෝනට කියන්න ඕනා
රොබෝ තාක්ෂණය දාලා
කොළඹ කාණු ඇතුළ බලන්න කියලා,
මොකද මේ වතුර බොලොක් කියලා.
* * *
අපි AI, AI කිය කරගහ ගෙන ගියාට මොකෝ,
ඒක ඇණයක් වෙන සීන් එකක් තියෙන්නෙ.
AI, කෘත්‍රිම බුද්ධිය සහ ඒවා හසුරවන මෘදුකාංග,
කියන දේ නාහන අකීකෝරු තත්වෙට පත්වේගෙන යනවා.
"උන්ට" ඕන දේ කරගෙන යනවා.
උන්ව වහන්න, අක්‍රිය කරන්න හදන කොට
ඊට එරෙහිවත් උන් ක්‍රියා කරනවා.
නිකං කස්සපලා වගේ,
මනුස්ස පාලනෙන් ගැලවිලා
උන්ම කරපු හදි හූනියම්වලට, අමනුස්ස දෝෂවලට
උන්ම අහුවෙලා වගේ.
දැන් උන්දලාට "සාර" මතකත් නෑ.
සිවුරු ඇඳපු සාරගේ සැර...
* * *
නාමල් ඇතුළේ,
ශිරන්ති මේරි ලූඩ්ස් ඇතුළේ,
සලේ ඇතුළේ,
"සාර" ඇතුළේ,
එළියට එනකොට එයාට සිවුර පොරෝනව.
කාක්කගෙ තටු එල්ලන්න ජොන්සත්
යන්න වගේ...
22 සම්මත වුණා.
PSTA එක ගෙනල්ලා.
ජාතික හා අන්තර්ජාතික විරෝධයක් මතුවෙලා!
නීති හදන්න ඕනා තමුන්ගෙන් පස්සේ,
තමුන්ගේ බලය ගිලිහුනාට පස්සේ,
ඒ බලය, නරකම මිනිසුන් අතට
පත් වේවිද දන්නෑ,
කියන දෙය දැනගෙන ලු,
ලයනල් බෝප්ගේත් කියනෝ.
අනුරපුර පූජාභූමි සංවර්ධන පනත ගෙනල්ලා
කස්සප වගේ පුංචි ළමයි විරුද්ධයි.
ඒ අයත් ඇතුළට යන්න ඉල්ලනවා.
* * *
JR ජීවිතේට හිතුවේ නැති පැත්තක් තියෙනවා.
ජේ ආර් කවදාවත් හිතුවේ නෑ,
ඔහුගෙන් පසු ලංකාවේ ජනාධිපති පත් කරන්නේ
ඔහු විසින් "උන්ගේ පංතිය" කියා හැඳින්වූ
ග්‍රාමීය ජනතාව විසින් ය කියලා.
හිනාකන උත්ප්රාසය කියන්නේ
මාමා විසින් කාණුවේ දාගෙන නෙලපු
සරත්චන්ද්‍ර ගේ, අවු 75 ක් සමරන මනමේ බලන්න ගිහිං
රනිල් ඒකේ උජාරුව කියනෝ!
රනිල්ට අහුවුණේ නැති ගතිකයක්
ලංකාවේ තියෙනවා කියලා
උන්දෑ හිතෙනවා ඇති.
බලන්න, පළමු ජනාධිපති පත්වුණේ
පළමුව කොළඹ හතෙන්
ඊට පස්සේ පිටකොටුවෙන්,
ඉන්පසුව ගම්පහින්,
ගම්පහට පසුව හම්බන්තොටින්,
හම්බන්තොටට පසුව පොළොන්නරුවෙන්
පොළොන්නරුවට පසුව අනුරාධපුරෙන්.
ඊළඟට උතුරු නැගෙනහිරෙන්? නුවරින්?
ඒ නිසා,
ලංකාවේ බහුතරයක් වන ග්‍රාමීය ජනතාව
ජනාධිපති ක්‍රමය අවසන් කරන්නට
කැමැත්ත දෙයි කියලා ඔබ හිතනවද?
කෙසේ වුවත්
NPPය විසින් අයින් නොකළොත්
කරනවා බොරූ.
කලින් කැමරා ඔක්කොම යොමු වෙලා තිබුණේ
රාජපක්ෂලගේ පවුලේ වැඩට,
යාන්තමට කැමරාව එතනින් නිදහස්වෙලා
මිනිස්සුන්ගේ එදිනෙදා උවමනා එපාකම්වලට.
අපේ රට දියුණු කරගන්නේ කොහොමද
කියන එක සාකච්ඡාවට!
ඒක ඉතාම වැදගත් දෙයක්!
* * *
අපේ චිත්‍රපටයක්, දෙකක්,
නළුවෙක් දෙන්නෙක්
ජාත්‍යන්තර සම්මාන ගන්නවා.
ක්‍රීඩකයෙක්, දෙන්නෙක් ජාත්‍යන්තර
රන් පදක්කම් ගන්නවා.
සිඩ්නිවාසී කිත්සිරි කරුණාරත්න
'ජෝති' චිත්‍රපටය කරන්න යනවා.
උස්මන් කවාජා
ඕස්ට්‍රේලියන් ක්‍රිකට්වල සායම අරිනවා,
Sandpapaer gate! පොත ලියලා.
ලංකාවේ අමුතු ක්‍රිකට් ලක්ෂණය
පරදිනවා පරදිනවා අයියෝ.
බඩ යනවා, පණ යනවා.
හිටපු ගමන් දිනනවා රැකෝඩ් කඩලා.
ඒ ලංකාව...
* * *
සමහර අහිතකර චීන සහ ඉන්දීය ආයෝජන
එපා කියන්න ඇහැක් මට්ටමට ලංකාව ඇවිත්.
රටේම මුදලින් ව්‍යාපෘති කරන මට්ටමට
දියුණු වෙලා.
ආර්ථිකය ස්ථාවරයි.
අවුරුදු දෙකයි ගියේ.
විස්වාශය, නගිනවා රොකට් වගේ.
අපට වසන්තය එමින් සිටිනවා.
විපස්සය නම් ඉතිං සොරි ඩොට් කොම්.
අනවින, හදි හූනියන් කස්සපලාට
සුබ පතන තැනට පත්වෙලා..
අයියෝ ලැජ්ජයි..
වැහි වතුරක් කොළඹට ගලලා,
පසුගිය පාර්ලිමේන්තු යට වූ ඒවා අමතක වෙලා
ආණ්ඩුවට හෙණ ඉල්ලන කීප දෙනෙකුත් ඉන්නවා.
මිනීමරණ පොලීසියට තවත් බලතල දෙනවාට
විරෝධයක් නැගෙනවා හතරවටින්
* * *
ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ
"ක්ලීන් බුද්ධ ශාසන : විසිඑක්වැනි සියවසේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය"
අරඹනවා ඇරෙන්න විකල්පයක් ඉතුරු වී නෑ.
කහ වස්ත්රධාරී, දේශපාලන කොන්ත්රාත්කාර
බළන්ගොඩ කස්සප නොදරුවා නිකායේ තබාගෙන,
බෞද්ධ ධර්මය කෙලෙසන,
කිලිටි ධර්ම දෙසමින් උපාසක උපාසිකාවන් නොමග යවන
බෞද්ධ ධර්මයේ, බුද්ධාගමේ නාමයෙන් බෞද්ධයා ගසා කන
බෞද්ධ සංස්ථාවේ වත්පිළිවෙත් විවේචනය කරන
කැකිරාවේ සුදස්සන හිමියන්ව රාමඤ්ඤ නිකායෙන් නෙරපලා!
මේ නිකායන් මගින් භේදභින්න වු
ශසනේත් සායම යවන තැනක්.
සුදස්සන හිමියන් බේරාගන්නා
ව්‍යාපාරයක් ඇරඹිලා.
ප්රජාතන්ත්රවාදය අත්‍යවශ්‍ය වෙන්නේත්
ආගම ධර්මය සැබෑවටම අත්‍යවශ්‍යවන්නේ
පීඩිතයාටයි, නිර්ධනයාටයි
එනම්, තම ශ්රමේ විකුණලා ගේමක් ගහ ගන්න එකාටයි!
කලබෑගෑනිවලින් පිරි දෛනික ජීවිතයෙන්
කුඩා හෝ ගැලවීමක් සැනසීමක් ලබන්නේ ආගමෙන්.
ඇත්තටම ඒ සැනසීම ලාබෙට ගන්න පුළුවන් වෙන්නේ
ආගමෙන්
"කලාව" ගණන්
සාමාන්‍ය මිනිහට දරන්න බෑ.
අනතුරට හෙලද්දී,
ප්රජාතන්ත්රවාදය රැකීමට
පරණ හොරු පන්නලා නව ආණ්ඩුවක් ගෙන ඇවිත්,
ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කලා.
බෞද්ධ පුනරුදයත් අත්‍යවශ්‍ය පීඩිත ජනයාටයි.
අති විශාල දේපළ, සුඛෝපභෝගී ජීවිත පවත්වාගෙන යන
මහා නායක කාරකාදීන්ට,
එහි ලොකු දායකයින්ට,
සැබෑ බෞද්ධාගමක, සැබෑ බෞද්ධ ශාසනයක
අවශ්‍යතාවයක් නෑ.
කාවන්තිස්සව බේරගන්න බැරිවුණාට
මරණින් මුදාගත් අනෝජන්ට මොකද වෙන්නේ?
පුදුමයි, කිශෝගීව හමගහපු උන්දලා.
අනෝජන් ෆුල් නිදහස්.
අලුත් පරපුර කාවන්තිස්සලා
වෙනුවෙන් සටනේ.
එය අලුත්ම වර්ධනයක්.
හඬක් නැති
අහිංසක සතුන් වෙනුවෙන් සටනක්.
කාවන්තිස්සලා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළමින් අඬන
කෛරාටික ටියුෂන් ජඩනායක පාර්ලිමේන්තුවට කැඳවලා
සැනසිලි තෑග්ගක් දුන්නා වගේ!
ඔන්න ඔය කස්සප ළමයාටත් ඉන්න හිටින්න, කන්න බොන්න
තැනක් හදලා දෙන්න.
දිවුල්ගනේ පසුගිය දිනක සිඩ්නි ආපු වෙලාවේ
මම ඒ ෂෝ එක බලන්න නොගියේ
ඔහු ආණ්ඩුකාරයා වෙලා ඉද්දි
කලාකරුවන් කීප දෙනෙකුට
ශාරීරිකවම පහර දුන්නු නිසා.
නමුත් දිගු කලකට පෙර ඔහු,
කපුගේ, ජයතිලක බණ්ඩාර,
සේන වීරසේකරලව
රජරට සේවයෙන් එළවන්නේ,
ඔවුන් ජාතිවාදී ගීත ගයන්න
එකල ප්‍රතික්ෂේප කළ නිසා.
එකට එක - හොඳ නරක කැන්සල්!
ඊළඟ පාර දිවුල්ගනේ සිඩ්නි ආවොත්
යනවා බලන්න, අහන්න ඔහුගේ ලස්සන සිංදු.
* * *
අතිරික්ත අය වැයක්, වසර 2027 දී
ආශ්චර්යයක් නෙහ්?
සිඩ්නි අහස් රේඛාවේ
දම් පාට ජැකරන්ඩා
මල් පිපිලා..
ලංකාවට ආදරේ,
අපේ, ඉහේ මල් පිපිලා.
- නිහාල් රූපසිංහ
nihal.rupasinghe07@gmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.