
පළමුවෙනි කොටස මෙතැනින් කියවන්න: https://sisilamagazine.blogspot.com/2026/11/blog-post_272.html
ලිප ළඟ බිම වාඩිවී ගිනිදැල් දෙස බලාගෙන සිටිද්දී පූජනීට ජීවිතය ගැන ඇතිවුණේ කලකිරීමක් බඳු හැඟීමකි. ඒ මොහොතේ ඇගේ දෑසින් කඳුළක් රූරා වැටුණේ ඇයටත් නොදැනී ම ය. උපන් දා සිට අත් විඳින මේ කටුක ජීවිතයට තමන් හුරු වුණත් නංගිලා මල්ලිලා මේ ජීවිතය තුළ සැපතක් සොයනවා නොඅනුමාන ය. එහෙත් ඔවුන් පතන ලෝකය ඔවුන්ට දුරස්තර බව ඔව්හූ නොදන්නෝ ය. පූජනීට අවැසි වන්නේ මේ දුක්ඛිත ජීවිතයෙන් මිදී සහෝදර සහෝදරියන්වත් මෙයින් ගලවා ගන්නට ය. එහෙත් කුණු ගඳ ගහන මේ නරකාදීයෙන් ගොඩ ඒමට හැකියාවක් තමන් වෙත නොමැති බව ඇයට සක් සුදක් සේ පැහැදිලි ය.
පූජනී කල්පනාවේ නිරත වෙමින් ගිනිදැල් නිවී යන්නට ආසන්න ලිපට පිඹින්නට වූවා ය. දේවේන්ද්‍ර නිවසට ගොඩ වූවේ මේ අතර ය. ලිප ළඟ හිඳගෙන එයට පිඹිමින් සිටි පූජනී ඔහු පැමිණි බව නොදුටුවා ය. ඔහු සෙමින් සෙමින් සිය අඩි තබා පූජනී අසලට පැමිණ ඇය දෙස බලා සිටියේ ය. ගිනිදැල් නිසා රක්ත වර්ණයෙන් දිලිසෙන ඇගේ මුහුණේ දුක්බර ශෝකී බවක් සටහන්ව තිබෙනු ඒ මොහොතේ දේවේන්ද්‍ර දුටුවේ ය.
කෙසඟ සිරුරකට හිමකම් කීව ද පූජනී රුවැත්තියකි. තවම අවුරුදු දහතුනක් වුවත් ඈ තුළින් ළමා පෙනුම කෙමෙන් කෙමෙන් දුරස් වී යමින් සුන්දර යෞවනියකගේ පෙනුමට පරිවර්තය වෙමින් පවතින ඇගේ රුව තුළ අමුතු ම සුන්දරත්වයක් වෙතැයි දේවේන්ද්‍රට සිතුණි. අඳුන් නොගැල්ලුවත් ඇගේ නෙත් සඟළ ලස්සන ය. මෑතක සිට දේවේන්ද්‍ර ගේ සිත පූජනී කෙරෙහි ආසක්ත වීම ඔහුට වළකා ගත නොහැකි වීය. ඇය නෙත ගැටෙන වාරයක් පාසා ඔහුගේ හදවත සතුටින් පිම්බෙනුයේ ඔහුටත් නොදැනීම ය. සිතට හොරා තමා ඇයට ආදරය කරන බව දැන්නම් දේවේන්ද්‍රට නොරහසකි. මේ වත්ත තුළ තරුණියන් කොතරම් ඔහු දැක තිබුණත් පූජනී ළඟ වූ මේ අපූරූ සුන්දරත්වය එම තරුණියන් තුළ දේවේන්ද්‍ර මෙතෙක් දැක නොතිබුණි. කොතරම් අඟහිඟ කම් පැවතිය ද පූජනී තමා සතු ඇඳුම් කිහිපය වුවත් නිතිපතා සෝදා පිරිසිදු කර හැඳ පිළිවෙළකට නා පිරිසිදුව සිටීමට කැමැත්තක් දැක්වූවා ය. පූජනී නම් මේ සුන්දර මල කෙදිනක හෝ තමා සතු කර ගත යුතු වස්තුවක් බව දෙවේන්ද්‍ර සිතුවේ ය.
වතුර උතුරන බැවින් පූජනී වාඩි ගෙන සිටි අයුරින්ම කේතලය ළිපෙන් බා තේ කුඩු ස්වල්පයක් ගෙන බෙලෙක් කෝප්පයකට දමා උණු වතුර ටිකක් එයට වත් කළා ය. ඇගේ උකුලට වී වතුර බොමින් සිටි නංගි ඒ මොහොතේ සිය සොහොයුරා දැක කෑ ගසන්නට වූ බැවින් පූජනී තිගැස්සී මෙන් හිස හරවා දේවේන්ද්‍ර දෙස බැලුවා ය.
"අයියා කොයි වෙලාවේද ආවේ?"
"මම මෙතැනට ඇවිත් ටිකක් වෙලා වෙනවා."
"මං අයියා එනවා දැක්කෙවත් නැහැ."
"මං එනකොට උඹ හිටියේ මේ ලෝකයේ නෙමෙයිනේ බං!"
පූජනී ඔහු කී දෙය පිළිබඳ නොසිතා තේ කහට ටික කෝප්පවලට දමන්නට වූවා ය.
"අයියටත් තේ කහට ටිකක් දෙන්න ද?"
"මට නැතුවට කමක් නැහැ, ඕන නම් පූජනී බොන එකෙන් බාගයක් මට දෙන්න."
මෙවැනි ඉල්ලීම් දේවේන්ද්‍ර නිතරම කරන බැවින් පූජනීට එහි අමුත්තක් නොවී ය. දන්න දා පටන් ඔහු ඇයට හිතවත් බැවින් කන බොන දෑ දෙදෙනා සමඟ බෙදාගැනීම ඔවුන් සතු සිරිතක් විය. ළමා වයසට සමු දී යොවුන් වියට පා තැබූ දවසේ පටන් පූජනී ගේ සිත ද දේවේන්ද්‍ර හමුවේ සැලෙන්නට වූවේ ය. ඒ හැම විටම ඇය සිත මේච්චල් කරගන්නේ දේවේන්ද්‍ර තම සෙහොයුරෙකු බව මතකයට නඟා ගනිමින් ය.
"අර මොකද ලොකු නංගිලා අඬන්නේ?" දේවේන්ද්‍ර ඇසුවේ ඒ ගැන කල්පනා වූවේ දැන් බැවින් ය.
"උන්ට ඉස්කොලේ යන්න බැරි ලු."
"ඒ මොකද ඒ?"
"ටීචර්ලා බනිනවා ලු, ඉගෙන ගන්න බැරිනම් ගෙදර හිටපල්ලා කියලා," පූජනී නොසන්සුන් ස්වරයෙන් කීවා ය.
දේවේන්ද්‍රට ඒ මොහොතේ කියා ගත නොහැකි වේදනාවක් උපන්නේ ය. ඉගෙනීමට හපන්කමක් දැක්වූ තමාට අඟහිගකම් හේතුවෙන් පාසලට සමු දීමට සිදුවීම අදටත් ඔහුගේ සිත පාරවන්නකි. අටේ පන්තියට වෙනතුරු පාසලට ගිය ඔහුට පාසලෙන් නතර වන්නට සිදුවූවේ පියාගේ මරණයෙන් පසු ය. පියාගේ මරණයෙන් පසු තනිව ජීවත් වීමට නොහැකි නිසාත්, ගමේ තමන්ගේ යැයි කීමට කාත් කවුරුත් නොමැති නිසාත්, මව තමාත් කැටුව ලොකු අම්මා සොයාගෙන පැමිණි අයුරු දේවේන්ද්‍රට මතක ය.
දේවේන්ද්‍රට මෙහි පාසලකට ඇතුළු වී ඉගෙන ගන්නට නොතිත් ආසාවක් පැවතිය ද මවට ඒ ගැන උනන්දුවක් නොවුණි. දේවේන්ද්‍රලා පැමිණෙන විටත් පූජනී පාසල් ගමනට සමු දී තිබුණ බැවින් ලොකු අම්මලාට තමාව පාසලකට ඇතුලත් කර දෙන මෙන් ඉල්ලන්නට අම්මාට හැකියාවක් නොතිබෙන්නට ඇතැයි දේවේන්ද්‍රට සිතුණු වාර අනත්ත ය. එදා පටන් ඔහු අතන මෙතැන රස්තියාදු වෙමින් කල් ගත කරන්නේ නිකමට නොව අතට කීයක් හෝ හොයා ගන්නට කුලී වැඩක්වත් හොයා ගන්න අරමුණ ඇතිව ය.
"ඔය ඇඬිල්ල නවත්තලා ඇවිත් මේ තේ කහට බීපල්ලා," පූජනී නංගිලාට කෑ ගසන්නට වූවා ය. නංගිලා හඬමින් ම පැමිණ කහට කෝප්ප අතට ගනිද්දී දේවේන්ද්‍ර ඔවුන් ඇමතුවේ ය.
"මොකක්ද මේ අක්කා කියන්නේ උඹලා ඉස්කෝලේ යන්න බැහැ කියනවා කියලා?"
"ඉස්කොලේ ගියයි කියලා මොනවද දේවේන්ද්‍ර අයියා අපිට හම්බවෙන්නේ? කවදා හරි මෙයාට වගේ ගෙදර වැඩ කර කර ඉන්න තමයි අපිටත් වෙන්නේ," කටකාරියක වුණ ලොකු නංගී පූජනීව පෙන්වමින් කීවා ය.
"හොඳට ඉගෙන ගත්තොත් එහෙම වෙන්නේ නැහැ නංගි. එතකොට ඔයාලට පුළුවන් සාරියක් ඇඳගෙන ලොකු නෝනලා වගේ රස්සාවකට යන්න."
"දවල් හීන තමයි," ලොකු නංගි සමච්චල් සහගත සිනාවක් පාන ගමන් කීවා ය.
"දැන් මොක ද උඹලා ඉස්කොලේ යන්න බැහැ කියන්නේ?"
"අපිට ඉගෙන ගන්න ඕන නැහැ." දෙදෙනාම එක හඬින් කෑ ගැසූහ.
"එහෙම නම් උඹලට කරන්න ඕන මොනවද?" දේවේන්ද්‍ර කෝපයෙන් දත් මිටි කමින් ඇසුවේ තමන්ට යන්නට බැරි දිගු ගමන සහෝදර සහෝදරියන්වත් යතැයි තැබූ බලාපොරොත්තු සුන් වී යනු දැකීමෙන් ඇතිවුණ තරහවෙනි.
"අපිට ඕන අම්මල වගේ කුලී වැඩකට හරි යන්න අයියේ. එහෙම කළොත් අපේ අතටත් සල්ලි ලැබෙනවනේ. එතකොට මෙහෙම බඩගින්නේ ඉන්න ඕන වෙන එකක් නැහැ."
එවදන් ඇසුණ දේවේන්ද්‍ර සහ පූජනී එකිනෙකාගේ මුහුණ බලා ගත්තේ සංතාපයෙන් යුතුව ය. ලොව ඇති හැම ගින්නකටම වඩා කුසගින්න ප්‍රබල නොවන්නේ දැයි කල්පනා කර දේවේන්ද්‍ර පූජනී දෙස බැලුවේ සානුකම්පිත දෑසින් ය.
"අදත් ගෙදර කන්න මුකුත් නැද්ද පූජනී නංගි?" පූජනී දෑසට නැඟුණ කඳුළු අතරින් හිස සැලුවා ය. ඇගේ දෑස දෙස මොහොතක් බලා සිටි දේවේන්ද්‍ර පෙරදා ටවුමේ සොහොන් පිටියේ කුලියට මිනීවළක් කපා දීමෙන් ලැබුණ සුළු මුදල කමිස සාක්කුවෙන් එළියට ගණන් කර කමිසය ඇඟලා ගෙන එළියට බැස්සේ උදේ කෑමට පාන් සහ දවල්ට උයන්නට දෙයක් රැගෙන ඒම පිණිස ය.
ලොකු අම්මා සහ ඇගේ සැමියා සෝමදාස මහප්පා සහ තම මව සොයන සොච්චම් මුදලින් කටවල් හය හතකට කෑම සැපයීමට අපහසු බව දේවේන්ද්‍ර නොදන්නා දෙයක් නොවුණි. එහෙත් ඒ උපයන මුදලින් හරි අඩක්ම තැබෑරුමට යන හැටි මතකයට නැගෙත්ම දේවේන්ද්‍රට කනගාටුවක් ඇතිවුණි. සිතුවිලි අතර සැරිසරමින් නිවෙස් පේළි අතර වූ කෙටි මාවතේ ඔහු ඇවිද ගියේ කඩය වෙත ය.
ඔවුන්ගේ නිවාස පේළියටම වූවේ එකම එක කුඩා කඩයකි. එයත් මේ නිවාසවලම ජීවත් වූ රත්නපාලට අයත් වූවකි. එහි විච්චූර්ණ දෑ මිලට ගැනීමට නොතිබුණි. රත්නපාල ගේ කඩයෙහි තිබුණේ එදිනෙදා අවශ්‍ය කරන බඩු පමණක් වීම විශේෂත්වයකි. අමතර දෙයක් තිබුණානම් ඒ ටොෆියක් හෝ රුපියල් පහේ චොක්ලට් පෙති පමණකි. දේවේන්ද්‍ර කඩයට ගොඩ වන විට එහි කිසිවෙකු නොවී ය. මෙවන් වෙලාවට කඩය පාළුවට යාම සාමාන්‍ය දෙයකි.
"මේ දේවේන්ද්‍ර නේ! මං ඒත් බැලුවා මේ අවේලාවේ කවුද කියලා," රත්නපාල මුදලාලි දේවේන්ද්‍ර දැක පැවසීය. රත්නපාල දේවේන්ද්‍රට වඩා අවුරුදු විස්සකින් පමණ වැඩිමහළු අයෙකු වූ අතර ඔහු තළෙළු පැහයෙන් යුතු මිටි තරබාරු තැනැත්තෙකු වූවේ ය.
"මං මේ ගෙදරට ඕන කරන බඩු වගයක් අරගෙන යන්න ආවා."
"සෝමදාසලා ගත්ත බඩුවල ණය තාම තියෙනවා මේ වත්තේ ඉන්න හැම එකාම මට ණය තමා දේවේන්ද්‍ර."
"මට දෙනවා ද අයියේ, පාන් ගෙඩියකුයි, හාල් කිලෝ එකකුයි පරිප්පු දෙසීය පනහකුයි, පොල් ගෙඩියකුයි තව චොක්ලට් පෙති හතරකුයි," දේවේන්ද්‍ර කඩයේ ඇති බඩු දෙස බලමින් ඉල්ලුවේ ය. රත්නපාල එම බඩු දේවේන්ද්‍ර අතට දෙන ගමන් ගෙවිය යුතු ගාණ පැවසූවේ ය. දේවේන්ද්‍ර මුදල් දී බඩු ද රැගෙන කඩයෙන් පිටවූවේ මහත් සතුටිනි.
එක අතකින් බඩු බෑගය එල්ලා ගෙන පැමිණෙන අතර දේවේන්ද්‍ර සිතුවේ කෙදිනක හෝ පූජනී සමඟ සුන්දර ජීවිතයක් ගත කරන අයුරු ය. තම සිත තුළ ඈ නමින් විකසිත වූ ප්‍රේමය ඇය වෙත ප්‍රකාශ කරන්නේ කෙලෙසදැයි දේවේන්ද්‍ර එමින් ගමන් කල්පනා කරන අතර ඔහුට සිහිපත් වූවේ මෙම වත්තේ ම ජීවත්වන මීනා ය. ඇය සැමියා අතහැර ගිය දරු දෙදෙනෙකුගේ මවක වූවා ය. තවමත් අඩු වයසේ පසුවන ඇය එතරම් ලස්සන රූ සපුවකට හිමිකම් නොකීව ද මීනා ගේ අඟපසඟ පිරිමින් වශී කරන්නක් වූවේ ය. වාත්තු කළාක් මෙන් වූ ඇගේ අත පයත්, සිරුරත් හමුුවේ තවුසන්ගේ වූවත් දැහැන් නොබිඳුනොහොත් පුදුමයකි.
දිනක් අහඹු ලෙස දේවේන්ද්‍ර ද මීනා ගේ ගැහැනු මායමෙහි පැටලුණි. එහෙත් දේවේන්ද්‍ර ගේ සිිත තුළ කිසිිම දිනක ඇය කෙරෙහි ආදර හැඟුමක් ඇති නොවුණ බව සහතික ය. ගැහැනු ශරීරය කෙරෙහිි කුතුහලයෙන් සෙවුම් බැලුම් කරන යුගයක සිටි ඔහුට මීනා විසින් ගැහැනු ශරීරය පිළිබඳ යම් දැනුමක් දෙන ලදී. දැනුත් ඔහු ඉඳහිට දවසක ඇය සොයා යන්නේ කායික අවශ්‍යතාව මුදුන් පමුණුවා ගන්නට පමණි. මීනාට ද ඔහු ඇය සොයා පැමිණෙන තවත් එක් පිරිමියෙකු පමණකිි.
දේවේන්ද්‍ර නිවෙස වෙත සමීප වන විට දුටුවේ පූජනී මල්ලීව වඩාගෙන දොරකඩට වී සිටින අයුරු ය. දේවේන්ද්රව දුරදීම හඳුනාගත් ඈ සුන්දර සිනාවක් පෑවා ය. කුඩා මල්ලීව වඩාගෙන මහ ගැහැනියක විලස සිටියත් ඇයත් තවම සෙල්ලම් වයසේ පසුවන කුඩා දැරියක නොවේදැයි දේවේන්ද්‍රට ඒ මොහොතේ කල්පනාවිය. එවන් වයසේ පසුවන ඇගෙන් ප්‍රේමයක් පැතීම කොතරම් දුරට නිවරැදිදැයි සිතමින් නිවස අසලට පැමිණි ඔහු තම අත රැඳි මල්ල ඈ වෙත පෑවා ය.
"මොනවද මේ දේවේන්ද්‍ර අයියේ?"
"පොඩි උන්ට උදේට කන්න දෙන්න පාන් ගෙනාවා," පූජනී බෑගය ඇර ඒ තුළවූ අනික් බඩු පිරික්සා බැලුවා ය.
"දේවේන්ද්‍ර අයියට ලොකු වියදමක් යන්න ඇති. ඉන්න මං පාන් කන්න පරිප්පු හොද්දක් ඉක්මනට හදලා ගන්නම්," පූජනී එලෙස පැවසුවේ මේ වෙලාවේ පරිප්පු හොද්ද සෑදුවොත් ඇයට ඇත්තේ දවල්ට බතක් පමණක් උයා ගැනීමට පමණක් නොවේදැයි කල්පනා කරමින් ය.
"පූජනී කැමති විදියක් කරන්න. කෝ මේ නංගිලා එහෙම ඉස්කෝලේ ගියාද?"
"මොන ඉස්කොලේ යාමක්ද අන්න තුන් දෙනා සෙල්ලමට වැටිලා," පූජනී කෝල බවක් ඔහු වෙත පාමින් කීවා ය. දේවේන්ද්‍ර ඔවුන් සොයා යන විටත් තුන් දෙනා සෙල්ලම් කරමින් සිටියහ.
"මෙන්න මම උඹලට චොක්ලට් පෙති ගෙනාවා," පැවසූ ඔහු චොක්ලට් පෙති ඔවුන් අතර බෙදුවේ ය.
"අපිට චොක්ලට් පෙත්තක් නැහැ?" පූජනී සුරතල් ලෙස අසද්දී දේවේන්ද්‍ර ඇය දෙස බැලුවේ හොරැහින් ය.
"උඹ පොඩි එකෙක් ද?" දේවේන්ද්‍ර ඇසුවේ සිනාසෙමිනි.
"ඔව් අපි තවම පොඩි තමයි."
"ඔය ඇත්තම ද? මට පේන්නේ උඹ මහ ගෑනියෙක් වගේ බං!"
"ඔයා නම් හරි නරකයි දේවේන්ද්‍ර අයියා," පූජනී කෝල ලෙස පවසා ගස්සාගෙන ඉවතට ගියා ය. ඔහු ද සිනාසෙමින් ඇය පසුපස ගියේ ය.
- සශිකා නිරෝෂි මහලියනගේ
sashikamahaliyanage@gmail.com

නවකතාවේ තුන්වෙනි කොටස: ලබන සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.