
පළමුවෙනි කොටස: https://sisilamagazine.blogspot.com/2026/10/blog-post_04.html
දෙවෙනි කොටස:
තුන්වෙනි කොටස:
සිව්වෙනි කොටස:
"අප්පච්චී, මටත් ආසයි කන්දේනුවර බලන්න යන්න. මේ අවුරුද්දේ දැකුම් පුදන්න යද්දී මාවත් එක්කන් යන්නකෝ අප්පච්චී සෙංකඩගල පුරවරයට," රන්කිරි රාළ ඒ ඉල්ලීම කළේ හුදෙක් ආශාවකට වඩා දැඩි පෙරැත්තයකිනි.
රන්කිරි රාළ රංවල වී අටුවේ පත්තායමේ ලේකම් ධුරය දරන, ගම්මුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ගුරුහාමි නිලමේගේ එකම පුත් රුවනයි. දොළොස් හැවිරිදි වියේ පසු වූ රන්කිරි රාළ කඩිසර, නුවණක්කාර ළමයෙකි. සිහින් උස සිරුරකට හිමිකම් කී ඔහුගේ මුහුණෙන් දිස් වූයේ ප්‍රාංශු දේහධාරී පෙනුමකට වඩා පණ්ඩිතමානී පාටකි. ඔහු ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවේ රංවල පිරිවෙනේ වැඩ විසූ මහ පණ්ඩිත හාමුදුරුවන් වෙතිනි. රාත්‍රී ආහාරයෙන් පසු අප්පච්චි පවසන කන්දේනුවර රාජධානියේ තොරතුරු අසා සිටීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය විය. ඒ මනරම් විස්තර සිතේ මවාගන්නා ළාබාල රන්කිරි රාළගේ සිත තුළ ශ්‍රී විභූතියෙන් බැබළුණු සෙංකඩ ශෛලාභිධාන පුරවරය දෑසින් දැකගැනීමේ නොතිත් ආශාවක් ලියලා වැඩෙන්නට විය.
රංවල යනු එවකට මහනුවර රාජධානියේ දෙවැනි රාජසිංහ රජුට අයත් ව තිබූ සරුසාර ‘ගබඩාගමකි’. මුළු මහත් රාජධානියටම බත සැපයූ මේ පින්බිමේ, වී අටු සහ පත්තායම් භාරව කටයුතු කිරීමේ රාජකාරිය පැවරී තිබුණේ ගුරුහාමි නිලමේටය. ඔහු තනතුරෙන් ‘පත්තායමේ ලේකම්’ විය.
නිලමේතුමා යටතේ මුත්තෙට්ටු කුඹුරු පාලනය කිරීම සඳහා දක්ෂ ‘වෙල් විදානේලා’ පත් කර සිටියහ. සැම කන්නයකදීම වෙල් විදානේලාගේ මෙහෙයවීමෙන් බත්ගම්වාසී ගොවි ජනතාව කුඹුරට බැස්සේ මංගල උත්සවයකට සූදානම් වන්නාක් මෙනි.
ගොවීහු මහ පොළොව සමඟ ඔට්ටු වෙමින්, පුරන් කොටා, සී සා, කැට තලා කුඹුරු සකස් කර මනා කොට මා වී වපුරති. වියළි කලාපයේ මෙන් උඩරට කඳුකරයේ ජලය රැඳවීමට මහා වැව් නොතිබුණි. එහෙත් සොබාදහම ඔවුන්ට හිතවත් විය. කඳු පාමුල උල්පත්වලින් නිල්වන්ව ගලා හැලෙන දිය දහරාවන්, ඇළ මාර්ග ඔස්සේ තමන්ගේ කුඹුරුවලට හරවා ගැනීමට ගොවියා ශූර විය. අහස් දියෙන් සහ මේ ස්වාභාවික වාරි ක්‍රමයෙන් කෙත්යායවල් නිරන්තරයෙන් සරුසාරවත් විය.
කාලය කෙමෙන් ගෙවී යද්දී, නිල්වන් ගොයම පීදී, කරල් කිරි බර වෙයි. මේ කාලයෙහි වෙල්යායට මැස්සන්ගෙන් සහ පළිබෝධකයින්ගෙන් එල්ල වන උවදුරු අපමණය. ගොවීහු ඒ උවදුරු දුරු කරනු වස් වෙල් යායේ කුඹුරු වටා ගොක් රැහැන් ඇද ‘කෙම් පහන්’ කරති. දැඩිමුණ්ඩ දෙවියන්ට හා ගම්බාර උන්නැහේට බාරහාර වෙති.
කරල් පැසුණු පසු උදාවන්නේ අස්වනු නෙළීමේ මංගල්‍යයයි. ගමේ ගැහැනු, මිනිස්සු එකා වන්ව කුඹුරට බැස, සීපද සහ කවි ගායනාකරමින් ගොයම් කපති. ඒ හඬ නිම්නය පුරා දෝංකාර දෙයි. කපාගත් ගොයම් උප්පිඩි ලියැද්දේම වේලෙන්නට හැර, පසුව ඒවා මනා කොට මාප්පිඩි කරන්නේ ගෙවිලියන් විසිනි.
මේ අතරතුර, ගොවීහු එකතු වී කමත් උදලුගා, මැටි දමා තලා සකස් කරති. අහසේ එකදු වලාකුලක්වත් නැති, රන්වන් හිරු රැස් හොඳින් වැටෙන දිනයක් බලා ගොයම් කමතට ගෙන ඒම හෙවත් ‘කොළ ඇදීම’ ඇරඹෙයි. ශක්තිමත් පිරිමින් විසින් කුඹුරේ සිට කමතට ගෙන එන ඒ ගොයම් මිටි, ලිහා කමත වටේ කොළ ගොඩ ගසන්නේ පළපුරුදු වැඩිහිටි ගොවියන් විසිනි.
මේ ආකාරයට කුඹුරු අස්කරගත් පසු ගොවියන්ට කෙටි විවේක කාලයක් ලැබේ. මේ සමයට පන්සල්වල පිංකම් පුරන අතර ගැමියෝ අඳුර වැටී සඳ පායා එනවිට තම දූදරුවන් ද සමග පන්සල් යති. ඔවුහු පෙරහැරේ නැටුම්, ගැයුම්, වැයුම් බලා විනෝද වෙති. ධර්ම දේශනාවලට සවන් දෙති. මල් වට්ටි වෙන්දේසියට සමාදන් වෙති. මනමේ නාඩගම, සඳ කිඳුරු කතාව ආදිය නරඹා සතුටට පත්වෙති.
ගමේ කුඹුරු අස්කරගත් පසු, වෙල් ඉපනැල්ල තරුණයන්ගේත්, දරුවන්ගේත් සතුටේත්, එකමුතුකමේත් කේන්ද්‍රස්ථානය බවට පත්වේ. රන්කිරි රාළ සහ ඔහුගේ කුඩා මිතුරු කැල වෙල් ඉපනැල්ලේ දුවන පනින ක්‍රීඩා කළහ. සරුංගල් උඩ යැවූහ. රන්කිරි රාළ සරුංගලය යැවීමට නූල් පන්දුවක් මිලට ගත්තේ සංචාරක මුස්ලිම් වෙළෙන්දෙකුගෙනි. "පුංචි නිලමේ මේක ඉන්දියාවෙන් ගෙනා වටිනා නූල් පන්දුවක්. මම අරගත්තේ කොළොම්තොට ලන්දේසි කඩයකින්." වෙළෙන්දා භාණ්ඩය අගය කළ සැටි ළමා කැල අසා සිටියහ.
රන්කිරි රාළගේ නැගනිය සම වයසේ කෙල්ලන් සමග කමත අද්දර රෑස්ස අඹ ගස යට සෙවණේ වැලි බත් පිසුවාය; කොම්පිට්ටු සෑදුවාය. කමතේ වී කරල් පෑගෙන විට නැගෙන රිද්මය ඔවුන්ගේ සෙල්ලමට තාලයක් එක් කළේය.
කෙත් යායෙන් අස්වැන්න නෙලා කමතේ ගොඩගැසීමන් පසු ඊළඟට එළඹෙන්නේ අටුකොටු පුරවන මහා මංගල්‍යයේ දෙවැනි අදියරයි. ඒ වෙනුවෙන් පත්තායමේ ලේකම්වරයා සහ විදානේවරුන් එක්ව මුලින්ම සාකච්ඡා කරති. ඒ, අස්වැන්න පෑගීම හෙවත් 'කොළ මැඩීම' සඳහා සුදුසු සුබ නැකත් දිනයක් තීරණය කිරීමටය.
කොළ මැඩීමේ නැකත තීන්දුකරගත් පසු විදානේවරුන්ගෙන් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වන ගොවි ජනතාව, මහත් ගෞරවයෙන් යුතුව කමත් උදලු ගා, පිරිසිදු කරති. නැකත් දින උදේ වරුවේ කමතට එන ගොවියෝ කමත මැද අටමගල පිහිටුවා නැකත් චාරිත්‍ර ඉටුකරති. ඒ අතර වැඩිහිටි ගම් දෙටුවෙක් ගොයම් කොළයක් පැදකුණුකර එයින් මාප්පිඩක් ඇද කතිරාකාරව තබන ලද දැති ගොයියන් දෙකක් මතට ගෙන හිස මත තබාගෙන අටමගල වටා තුන්වරක් පැදකුණු කොට එය මත තැන්පත් කරයි. මෙම චාරිත්‍ර අවසන්වෙත්ම සෙසු ගොවීහු ගොයම් කොළ පෙරළා කොළ එලීම සිදුකරති. ඉන් පසු අම්බරුවන් කැරලි දෙකක් යොදා කොළ පෑගීම ආරම්භ කරනු ලැබේ.
කොළ පාගා අවසානයේ බැත රාහිකර කන්දක් ලෙස ගොඩගසා වසා තබනු ලැබේ. ඒවා හුළංකර, කුල්ලෙන් පොලා බොල් ඉවත්කරන්නේ ගැමි කාන්තාවන් විසිනි. මෙසේ පිරිසුදුකරගත් වී මලුවල අසුරා කට බැඳ ගොන් කරත්තවල, තවලම් ගොනුන් පිට හෝ මිනිසුන්ගේ කර පිටින් රජයේ වී අටුව වෙත රැගෙන ගොස් භාරදීම විදානේවරුන් සතු ප්‍රධාන රාජකාරි වගකීම වේ.
අටුව වෙත ළඟා වන වී මලු එකින් එක නිවැරදිව ගණන් කර, තමන් සතු 'ලේකම් මිටියේ' නිල වශයෙන් වාර්තා තබා ගැනීම පත්තායමේ ලේකම්වරයා විසින් සිදු කරනු ලබයි. ඉන්පසුව එම වී තොග ක්‍රමානුකූලව අටුවෙහි තැන්පත් කෙරේ. මෙලෙස රැස් කරගන්නා මහඟු අස්වැන්න සොර සතුරන්ගෙන් හෝ වෙනත් උවදුරුවලින් ආරක්ෂා කරනු වස්, පත්තායමේ ලේකම්වරයාගේ මුරකරුවෝ දිවා රාත්‍රී දෙකෙහිම දැඩි රැකවල් ලා සිටිති.
"අප්පච්චි, මේ අවුරුද්දෙ දැකුම් පුදන්නට යන්න කාලෙ ළඟයි නේද? මේ ගමන නම් මම කන්දේ නුවර යන්න එනවාමයි, අප්පච්චිත් එක්ක," අස්වැන්න ගබඩා කර නිවෙසට පැමිණි දා රාත්‍රී ආහාර ගනිමින් සිටියදී, රන්කිරි රාළ නැවතත් තම පියාට මතක් කළේය.
"පුතාට පුළුවන්ද කඳු හෙල් තරණය කරමින් ඔය තරම් දුරක් තවලම් ගොනුන් පස්සෙන් යන්න? ඔය ගමන හිතන තරම් ලේසි නැහැ පුතා. බලන දුර්ගය තරණය කරන්ඩත් වෙනවා," ගුරුහාමි තම පුතා වළක්වන්නට උත්සාහ කළේය.
"මට පුළුවන් අප්පච්චි. බලන දුර්ගයේදී නේද උඩරට සේනාව විසින් පෘතුගීසීන් සමූලඝාතනය කෙරුවෙ? දෝන කතිරිනා කුමරිය විමලධර්මසූරිය රජ්ජුරුවන්ට අහුවුණෙත් එතැනදී නේද? මට ආසයි ඒ සටන් සිදුවුණු ස්ථාන දැකබලා ගන්න යන්න," රන්කිරි රාළ ලෙහෙසියෙන් පසුබසින දරුවෙකු නොවීය. ඔහු තම මතයෙහි දැඩිව එල්බගෙන සිටියේය. පියාට ඔහුගේ ඉල්ලීමට අවනත වන්නට සිදුවිය.
"පුතාගෙ ධෛර්යය ගැන මට හරිම සතුටුයි. එහෙනම් මේ අවුරුද්දේ මම පුතත් එක්ක යනවා කන්දෙ නුවර. යනවිට අඳින්න ඇඳුම් ටිකක් සූදානම් කරගන්න. ආහාර පාන, බෙහෙත් ඖෂධ, ගිනි පන්දම් ආදිය නම් අපි කවදත් තවලමේ යනවිට සූදානම් කරගන්නවා නොවැ," ගුරුහාමි නිලමේගේ වචනවලින් පුතුගේ සිත උද්දාමයට පත්විය.
හිරු බැසයමින් තිබුණේ රත්පැහැ ගිනි බෝලයක් ලෙසිනි. මුළු මහත් ගම්මානයම සිංහල අලුත් අවුරුදු අසිරියෙන් පීදෙන්නට සති දෙකක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබිණි. ගුරුහාමිගේ සිතේ තිබුණේ සැහැල්ලුවකි. මෙවරද මුත්තෙට්ටුව භාර විදානේවරුන් සහ ගම්වැසි කතුන්ගේ අප්‍රතිහත කැපවීම නිසා, රජු වෙත ගෙනයා යුතු වී, සහල් කිරිම නියමිත කාලයටම නිම කරගත හැකි විය. නැලියෙන් මැන, නැලි දහය බැගින් වනසේ සුරැකිව ඇසිරූ සහල් මලු පත්තායම් අටුව තුළ සුරක්ෂිතව තැන්පත් කෙරිණි.
එදින සන්ධ්‍යා භාගයේ ගුරුහාමිගේ වත්තට ළඟා වූයේ මොහොමඩ් හන්සර්ගේ තවලම් ගව පට්ටියයි. කන්ද උඩරට දුෂ්කර මංමාවත් ඔස්සේ මහනුවර රජ වාසල වෙත මේ රාජකීය බද්ද රැගෙන යාමේ භාරදූර කාර්යය පැවරුණේ හන්සර්ගේ විශ්වාසවන්ත තවලමටයි.
"නිලමේ, මෙවරත් අතපසුවීමක් නැතිව නියමිත වේලාවටම බඩු ලෑස්ති කරලා වගේ," හන්සර් තම සුපුරුදු සිනහවෙන් යුතුව ගවයන් ගාල් කරමින් පැවසීය.
"ඔව් හන්සර්, අපේ මිනිස්සු දිවා රෑ නොබලා කොටපු සහල් මේ තියෙන්නේ. රජතුමාට දැකුම් පිණිස ගෙනයන සහල් නැලියක්වත් අඩු වෙන්න බැහැ," ගුරුහාමි ආඩම්බරයෙන් උත්තර දුන්නේය.
පසුදින පාන්දර කුකුළන් හඬලන්නට පෙර මුළු ගම ම අවදි විය. පත්තායමේ ලේකම්ගේ සේවකයන් සහ තවලම්කරුවන් එක්ව, ඉතාමත් පරීක්ෂාවෙන් සහල් මලු ගොනුන්ගේ පිට මත පටවන්නට පටන් ගත්හ. සෑම සහල් මල්ලක්ම නැලි දහයේ නියමිත බරින් යුක්ත බව ගුරුහාමි තවදුරටත් තහවුරු කරගත්තේය.
"තාත්තේ, මමත් අද තවලම එක්ක මහනුවර යනවා නේද?" ගුරුහාමිගේ තරුණ පුත් රන්කිරි රාළ දෑස් දිදුලවමින් ඇසීය. ඔහු රජ වාසල දැක බලා ගැනීමට මහත් නොඉවසිල්ලකින් පසුවිය.
"ඔව් පුතේ, අද උඹට රජුට දකුම් පූජා කරන හැටි විතරක් නෙවෙයි, මේ රාජකාරියේ තියෙන වගකීමත් ඉගෙන ගන්න පුළුවන්," ගුරුහාමි පුතුගේ උරහිසට තට්ටුකරමින් පැවසීය.
තවලම සූදානම් කෙරිණ. ගොනුන්ගේ ගෙජ්ජි හා සොකඩ හඬ පරයා නැගෙන තවලම්කරුවන්ගේ ඝෝෂාව නිහඬ ගම්මානය සිසාරා රැව් පිළිරැව් දුන්නේය. හන්සර් ඉදිරියෙන්ම ගමන් කළ අතර, තවලම පිටත් වූ පසු ගුරුහාමි, ඔහුගේ පුත් රන්කිරි රාළ සහ විශ්වාසවන්ත සේවකයන් කිහිපදෙනෙක් තම ගමන් බඩු දැමූ ඔලගු කර එල්ලාගෙන, සැරයටි අතින් ගෙන තවලමට සමග ගමන් කළහ.

කඳුකර වනාන්තර මැදින් වැටී තිබූ පටු මාර්ගය අතිශය දුෂ්කර විය. දහවල් වන විට දැඩි සූර්ය රශ්මිය සහ වෙහෙස නිසා ගමන ද මන්දගාමී විය. එක් තැනකදී කුඩා දිය පහරක් තරණය කිරීමට සිදුවූ අතර, එහිදී සහල් මලු පටවා සිටි එක් ස්ථුල ගොනෙකු ලිස්සා ඇද වැටෙන්නට ගියේය.
"පරෙස්සමෙන්! සහල් මලු වතුරේ තෙමුණොත් ඔක්කොම ඉවරයි!" හන්සර් කෑගැසුවේය.
ක්ෂණයකින් ක්‍රියාත්මක වූ රන්කිරි රාළ සහ සේවකයෝ දියට පැන, ගොනා කෙළින් කර සහල් මලු තෙමෙන්නට නොදී බේරා ගත්හ. සියල්ලන්ගේම කැපවීම නිසා එකදු සහල් ඇටයක්වත් අපතේ ගියේ නැත.
හිරු මුදුන් වී දැඩි ගිනියම් අව් රශ්මියක් පොළොවට පතිත වන විට, තවලම් නායකයාගේ නියෝගයෙන් සියල්ලෝම නතර වූහ. ඔවුන් නතර වූයේ සිසිල් දිය දහරක් ගලා බසින, සෙවණ ඇති මනරම් නිම්නයක ය.
"හරි... ගොනුන්ගේ පිට තියෙන බර බාපල්ලා! උන්ට වතුර ටිකක් බීලා, නිදහසේ තණකොළ ටිකක් කන්න ඉඩ දීපල්ලා," තවලම් නායක හන්සාර් හඬගෑවේය.
ලැබුණු කෙටි විවේකයෙන් තවලම්කරුවෝ දිය පාරට පැන නා කියා ගනිමින් ගතේ වෙහෙස නිවා ගත්හ. මේ අතර, කණ්ඩායමේ සිටි පිසිනරාළ ඇතුළු සේවක පිරිස ඉතා කඩිසරව ක්‍රියාත්මක වූහ. ඔවුහු ගල් තුනක් සොයා ලිපක් සාදා, සහල් සෝදා බත ලිප තැබූහ.
ගමන එන අතරමගදී තවලමේ සිටි දුනුකාරයෙකු විසින් විද මරාගත් මුවෙකුගේ දඩමස් දහවල් ආහාරයට එකතු විය. සුවඳැල් හාලේ බත් සමග ගමෙන් එනවිට ගෙනා කරවල හා එළවළු ද, කැලයෙන් නෙලාගත් නැවුම් පලා හා දඩමස් ද දිවා ආහාරය සඳහා සූදානම්කර තිබිණ. සියල්ලෝම කෙසෙල් කොළවලට බෙදාගත් උණු බත් පතේ රස බැලූහ. බඩකට පිරුණු පසු, ඔවුහු අවට වූ සුවිශාල ගස් සෙවණෙහි වැතිරී කෙටි නින්දක් ලැබූහ.
හිරු අවරට හැරුණු පසු දැඩි අව් රශ්මිය අඩු වෙමින් සිසිල් සුළඟක් හමා එන්නට විය.
"දැන් ඉතින් ලෑස්ති වෙයල්ලා! අඳුර වැටෙන්න ඉස්සර වෙලා අපිට තව ගව් ගාණක් යන්න තියෙනවා," තවලම් නායකයාගේ අණ ඇසුණි.
සේවකයෝ වහා අවදි වී, ගිමන් හැර සිටි ගොනුන් ළඟට ගෙන නැවතත් සහල් මලු උන්ගේ පිට මත පැටවූහ. නායක ගොනාගේ බෙල්ලේ බැඳි සොකඩය නැවතත් නාද වන්නට විය. ඌ තබන සෑම පියවරක් පාසාම නැඟුණු "ටොක්... ටොක්..." හඬ මුළු තවලමටම මඟ පෙන්වීය. ඒ නාදය පස්සෙන් වැටී, අනෙක් ගවයන් සියල්ලන්ම ඉතා හික්මීමෙන් යුතුව පෙළ ගැසී ඉදිරියට ඇදුණාහ. මාර්ගය පටු තැන්වලදී උන් එකා පිටුපස එකා බැගින් දිගු පේළියකටත්, මඟ දෙපස ඉඩකඩ ඇති තැන්වලදී එක පොකුරට රොක් වෙමිනුත් ඉදිරියට ඇදෙන අයුරු පිටුපසින් යන රන්කිරි රාළ මහත් ආසාවෙන් බලා සිටියේය.
රන්කිරි රාළ තමන්ගේ ඇඳුම් පැළඳුම් දැමූ රෙදි ඔලගුව වම් උරහිසේ එල්ලාගෙන, දකුණු අතින් සැරයටිය වාරු කරමින් අවට සිරි නරඹමින් ඉදිරියට පියවර තැබුවේය. තවලම කෙමෙන් කෙමෙන් සුප්‍රකට කඩුගන්නාව කන්ද නැගීමට පටන් ගත්තේය. කන්ද ඉහළට යද්දී ඈතින් පෙනෙන මහා කඳු පන්තිවල සුන්දරත්වය කොතරම්ද යත්, රන්කිරි රාළට තම ගමනේ වෙහෙස අමතක වී මොහොතකට එතැනම නතර විය.
"අප්පච්චි, මම මේ බැලුවේ අපිට මෙතෙන්ට සමනල කන්ද පෙනෙනවා ද?" තමන් පසුපසින් ආ ආදරණීය පියා දුටු රන්කිරි රාළ, කඳු මුදුන් දෙසට අත දිගු කරමින් පැවසීය.
ගුරුහාමි තම පුතු අසලට පැමිණ, ඔහුගේ උරහිසට අතක් තබා ඈත ක්ෂිතිජය දෙස බලා සිනාසුණේය.
"පුතා, මෙතෙන්ට සමනල කන්ද පෙනෙන්නේ නැහැ. සමනල කන්ද පෙනෙන්නේ සබරගමුවේ, රත්නපුර පැත්තේ යනකොට නේ? මතකද, එදා අපි පිළිමතලාවේ මාමන්ඩිලාගේ දිහාවට යනකොට මම පුතාට සමනල කන්ද පෙන්වූවා?" ගුරුහාමි අත දිගු කර ඈතින් මීදුම අතරින් මතුවන තේජවන්ත කඳු මුදුනක් පෙන්වීය.
"අර ඈතින් පෙනෙන්නේ උතුවන්කන්ද. තව ටිකක් දුර යනකොට, කඩුගන්නාව කිට්ටු වෙද්දී අපිට බතලේගල කන්දත් දැකගන්න පුළුවන් වේවි. හොඳට බලාගෙන යන්නකෝ... මුදුන පැතලිවට තියෙන ලස්සන කන්දක් ඔය අතරින් පෙනේවි."
පියාගේ වදන්වලින් සොබාදහමේ රහස් ඉගෙන ගත් රන්කිරි රාළ, බතලේගල කන්ද දැක ගැනීමේ නොඉවසිල්ලෙන් යුතුව, සොකඩ නාදයට මුසු වෙමින් නැවතත් තම පියවර ඉදිරියට තැබුවේය. සෙංකඩගල පුරවරය දැන් තවත් සිතිජය අද්දරට ළං වී ඇත.
"අප්පච්චි, පෘතුගීසීන් කන්දේ නුවරට පහර දෙන්න ගියෙත් මේ පාරෙන් ම ද?" රන්කිරි රාළගෙන් තවත් පැනයක් නැඟුණි.
තාරුණ්‍යයේ පසුවූ ඔහු, පන්සලේ පිරිවෙනින් අධ්‍යාපනය ලබන අවදියේ උඩරට රාජධානිය ආක්‍රමණය කරන්නට පැමිණි පරංගි සේනාවන් ගැනත්, අපේ සිංහලේ වීරයන් ඔවුන් පරාජය කළ අයුරුත් උනන්දුවෙන් ඉගෙන ගෙන තිබිණි. ගුරුහාමි පුතු දෙස බලා සන්සුන්ව හිස වැනුවේය.
"ඔව් පුතා, මේ අපි යන පාර විතරයි සතර කෝරළය හරහා කන්දේ නුවරට යන්න තියෙන එකම රාජකීය මාවත. ඉතින් පහත රට ඉඳන් උඩරටට එන, යන කවුරුත් මේ දුෂ්කර මාර්ගයෙන්මයි යා යුතු වෙන්නේ. පෘතුගීසීන් විතරක් නෙවෙයි, මේ පස්සේ කාලේ ආපු ලන්දේසිනුත්, නුවර අල්ලන්න ආවේ ඔය කඩුගන්නාව කන්ද පාමුලින් තියෙන පටු මංමාවත් දිගේ තමයි. හැබැයි අපේ කඳුකරයේ පිහිටීමයි, කපොලුවල රැක සිටි සිංහල සෙබළුන්ගේ වීරකමයි හින්දා පරංගින්ට හැමදාම සිද්ධ වුණේ දණ නමලා පරාජය වෙලා හැරිලා යන්න."
පියා සහ පුතු අතර මෙවැනි ඓතිහාසික කතාබහෙන් ගමනේ විඩාව බොහෝ දුරට මඟහැරී ගියේය.
- පියතිලක හල්පෙ
thisaraherath742@gmail.com
නවකතාවේ හයවෙනි කොටස: ලබන ඉරිදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.