
අම්මා අවදිවන විට උදෑසන හත පමණ වේ. ඒ වන විටත් මදාරා අවදිව දහවලටත් සමගම බතක් හා වෑංජන දෙකක් හෝ තුනක් පිස දරු දෙදෙනා ද පාසලට යැවීමට සූදානම්කර ඇය ද පාසලට යාමට සූදානම්ව අවසන් ය.
දරුවන්ගේ පාසැල් වෑන් රථය හරියටම හතට ගේ දොරකඩ ය. දරු දෙදෙනා පිටව ගොස් තවත් විනාඩි පහ හයකින්ය ඈ නිවසින් පිටව යන්නේ.
ඈ පිටව යන්නට ඉදිරි දොර වෙත පිවිසෙන විටම දුටු දසුනින් පුදුමයට පත්වූවාය.
"හානේ ගිහාන් ඔයා! අද කුකුළත් අතිං අරංම. මං බයේ ගැහි ගැහි හිටියෙ. කොහොමවුණත් ඔයා ආ එක කොච්ර දෙයක් ද?" ඇය හිතට ආ සතුටට ම කියාගෙන, කියාගෙන ගියාය. අනතුරුව වැළඳගෙන සිප ගත්තාය.
"ඇඟ සීතලයි. පාන්දර තිස්සෙ ආ නිසා වෙන්නැති. ඉන්න මං ඔයාට කෝපි එකක් හදාගෙන එන්නම්!"
ගිහාන්ට යමක් කතා කරන්නට නොදීම ඈ මුළුතැන් ගෙය වෙත දිව ගියාය. මොහොතකින් උණු උණුවේ දුම් දමන කෝපි කෝප්පයක් රැගෙන සාලයට පැමිණියාය.
"කෝ ගිහාන් ඔයා කොහේද?"
වොෂ් රූම් එක ඇතුළෙන් ශබ්දයක් නැගුණේය.
"ආ ඔයා වොෂ්රූම් එකේද? ඇවිත් මේ කෝපිඑක බොන්න ආ."
"ගිහාන් අද ළමයින්ගෙ ටර්ම් ටෙස්ට් පටං ගන්නව. දැනටමත් මං පරක්කුයි. මං යනව, ඔයා චේන්ජ් එකක් දාගෙන කෑම බෙදාගෙන කන්න. හොඳද?"නැවතත් ශබ්ද නගා පවසමින්ම ඇය යන්නට ගියාය.
ඇයට ගිහාන් හමුවූයේ උසස්පෙළ පංතියේ දී ය. ඒ කාලයේ ඉමිහිරි මතකයන් නිතර ඇගේ සිතට ගලා ආවේය. අද ද එලෙස ම ය. ඇය සරවියට වරම් ලැබුව ද ගිහාන්ට ඒ වරම අහිමි විය. ඒ කාලයේ ගිහාන් ඈ දෙස බැලුවේ සැකයෙනි. එහෙත් මදාරා විශ්වාසය පළුදු කරගත්තේ නැත.
ගිහාන් දක්ෂ මලල ක්‍රීඩකයෙකි. පාසලින් ඇරඹි ඒ ක්‍රීඩා කෞශල්‍යය ජයග්‍රහණය නොකළ ද ඔහුව සමස්ත ලංකා මට්ටමට ම ඔසවා තැබුවේය. උසස්පෙළ සමත් වීමත්, ක්‍රීඩා සහතිකත් ඔහුට යුද හමුදාවට බැඳීමට පහසුවක් විය. ඔහු හමුදා සේවයට ගියේ බොහෝ රැකියාවන්ට අයදුම්කර ඒවා නොලැබීම හේතුවෙනි.
මදාරා ගේ අකමැත්ත පිට ය ඔහු හමුදා සේවයට බැඳුණේ. එහෙත් පසුව දෙදෙනා විවාපත් වූහ. හමුදා නිල ඇඳුම ඇඟලා ගත් මගුල් පින්තූරය සාලයේ විරාජමානව ඇත.
ඔහු හමුදා සේවයට බැඳී වසර පහළොවක් ගතව ඇත. දැන් ඔහු කැප්ටන් කෙනෙකි.
"ඒයි මදාරා ඊයෙ? මුලතිව් හමුදා කෑම්ප් එකට ගහල. හමුදාවෙ කවුරුත් ඉතුරුවෙලා නෑ ලු. ගිහාන් හිටියෙ මුලතිව් නේද?" මදාරා පාසලට ගොඩවන විටම ශෙහානි විමසුවාය.
"ගිහාන් උදේ ගෙදර ආව බං. ඒකනං පුදුම හාස්කමක්. මට කතා කරන්නවත් වුණේ නෑ. ආව ගමන් වොෂ් රූම් එකට ගියා මං යන්තම් කෝපි එකක් හදා තියල මං යනවයි කියාගෙන ආව. ගිහින් තමයි කතාකරන්න වෙන්නෙ."
"අනේ ලොකු දෙයක් බං."
තවත් ගුරුවර ගුරුවරියන් දෙතුන් දෙනෙකු ම මේ ගැන යන්තමින් විමසමින් විභාග බැලීමේ කටයුතුවල නිරතවීමට ගියහ. මදාරා ද තමන්ට හිමි ශාලාවට ගියාය.
මදාරා හැකි විගස ගෙදර ආවාය. ඒ එනවිට ගිහාන් සිටියේ නැත. කාමරයට ගොස් බැලුව ද එහි ද නොසිටියේය.
"කෝ අම්මෙ ගිහාන්? කොහෙටවත් යනව කියල ගියා ද?"
"මට නං කියල ගියෙ නෑ. ඔය දෙතුන් විඩක් දැක්ක, අවතාරෙ වගේ. කතාවත් කළේ නෑ මා එක්ක. මොන යකා ගහලද මන්ද?"
මදාරා මේසයට කෑම ඇරියා ය. අනතුරුව නැවත ඔහු ගැන සොයා බැලුවාය. ඔහු නිවස තුළට එමින් සිටියේය.
"කොහෙද අනේ ගියේ?"
ඔහු කතා නොකර ම තම අත වූ සිගරට් පැකට්ටුව කෑම මේසය මතට අත හැරියේය.
"කමු, කමු, මං බිත්තරේකුත් ඔම්ලට් දැම්ම. තව ටිකකිං පුතාල දෙන්නත් එයි."
ගිහාන් මේසයට වාඩි වී කෑම කන්නට පටන් ගත්තේය. වෙනදා ඔහු මදාරාට ද කෑමට කතා කළ ද අද ඇයට කතා නොකළේය. කතා බහක් ද නොකර ඔහු වේගයෙන් කෑම කා අවසන් කළේය. ඔහුගේ මේ වෙනස කඳවුරට වූ ප්‍රහාරය නිසා ඇතිව තිබූ කම්පනය නිසා යැයි මදාරා සිතුවාය. එනිසා ඒ ගැන නොවිමසීම වඩා මැනවැයි ඈ සිතුවාය.
එකට සිටි එක්දාස් පන්සියයක් පමණ මෙසේ මියගොස් තමන් පමණක් ජීවත්ව සිටීම කෙනෙකුට දරාගත නොහැකි වීම පුදුමයක් නොවේ.
"පුතාල ආහම එයාලත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න," මදාරා පැවසුවේ ඔහුට අතැයි ඇය සිතූ පීඩනය ගැන නොපවසාය.
"හවස්වෙලා අපි දෙන්න ෆුඩ්සිටි ගිහිල්ල කෑම බීම ටිකක් ගේමු. මස් මාළු මොකුත්ම නෑ ගෙදර."
"ඔයා දවල් නිව්ස් අහැව්ව ද?"
ඔහු නෑසුණා ගාණට සිටියේය.
මදාරා කතාව වෙනතකට හැරෙව්වාය. "ඔයාට මතක නේද අපි කොලේජ් ගිය කාලෙ? ඒකාලෙ හරි ස්වීට් අනේ."
"ඔයා කාටවත් මා දිහා බලන්නවත් දුන්නෑ. හරි චන්ඩිය ඒකාලෙ."
"මතකද මට වල් කතාවක් කීව කියල ජගත්ගෙ දත් කැඩෙන්න ගැහැව්ව?"
ගිහාන් බලාගත් අතේ බලාගෙන නිහඬවම සිටියි.
"අන්න පුතාල ආව."
ගෙතුළට වන් දරු දෙදෙනා තාත්තාගේ දෑතේ එල්ලූනහ.
"ආපෝ තාත්තගෙ අත්වල සීතල."
"පුතාල වොෂ් දාගෙන කෑම කාල ඇවිත් තාත්තත් එක්ක කැරම් සෙල්ලම් කරන්න කො."
කැරම් සෙල්ලම් කළේ දෙපසට බෙදී දරු දෙදෙනා ය. ගිහාන් වදනක්වත් නොදොඩා එදෙස බලා සිටියා පමණකි.
වෙනදා ගෙදර පැමිණිවිට දරු දෙදෙනා සමගම ය.
"ගිහාන් අපි ෆුඩ්සිටි යං," පහට පමණ මදාරා කතා කළාය.
මදාරා පාසලට යන ස්කූටියෙන් ඔවුන් ෆුඩ්සිටි යාමට පිටත් වූහ. ගිහාන්ගේ දෙවුරට දෑත් තබා මදාරා නැගගත්තේ පිටුපසට ය. ස්කූටිය පැද්දේ ගිහාන් ය.
"මොකද අනේ ඔයාගෙ ඇඟ අයිස් වගේ සීතල නෙ."
ගිහාන් පිළිතුරක් නුදුන්නේය.
එදා රාත්‍රී කෑම සොසේජස් බැද කුකුල්මස් උයා මදාරා සරුවට සැකසුවාය.
වෙනදා මෙන් ටෙලිනාට්‍ය නැරඹුවේ නැති මදාරා ඒ වෙනුවට නාලිකා කීපයකින් ම ප්රවෘත්ති නැරඹුවාය. කලින්දා රාත්‍රියේ මුලතිව් ප්‍රහාරය ගැන විස්තර කියවුණි. කඳවුරේ කලින් තිබූ තත්වය රූප මගින් පෙන්වුව ද වත්මන් තත්වය පෙන්වූයේ නැත.
කඳවුර අසලකටවත් බිමින් තබා, ගුවනින්වත් ළඟාවිය නොහැකිව ඇත. කඳවුරේ කිසිවෙකුටවත් පැන යාමට හෝ ඉඩක් නොතබා කඳවුර වටෙන්ම වටකර පහර දී ඇත. කිසිදු තොරතුරක් ලබාගත හැකිව නැත.
ගිහාන් ප්රවෘත්ති නැරඹුවේවත් නැත. මදාරා ඔහු ඉන්වා ද කියා සොයා බැලූවේද නැත. ප්රවෘත්ති පුරාම තිබුණේ ශෝකී බවකැයි ඇයට සිතිණ.
රූපවාහිනිය බලා එය නිවා දැමූ පසු ය ඇය ගිහාන් ඉන්නවාදැයි බලන්නට වට පිට බැලූවේ. ඔහු සිටියේ නැත. කාමරයේ බැලූවද එහි සිටියේද නැත. වොෂ්රූම්එක තුළින් ශබ්දයක් නිකුත් විය. ඔහු එහි ඇතැයි ඇය සිතුවාය.
ඉදිරිපස දොර වසන්නට පැමිණි ඇය ගිහාන් එළියේ සිට ගෙට ගොඩවනු දුටුවාය.
"කොහෙද අනේ ගියෙ කතා නොකරම."
ඔහු සිගරට් කොටය ඇඟිලි තුඩු දෙකින් මිදුලට විද්දේය. මදාරා ඉන් එහාට කතා නොකළාය.
"වොෂ් එකක් දාගෙන නිදාගන්න එන්න," කියමින් ඇය කාමරයට වැදුණාය.
වයස අවුරුදු හතළිහකට ආසන්න වුවද ඇය තවම වැහැරී නැත. ගිහාන් පැමිණි වහාම ඇය ඔහු තමා වෙත ඇද ගත්තාය.
"මොකද අනේ ඇඟ මෙච්චර සීතල. ඇඟ හේදුවද?"
ගිහාන් කතා කළේ නැත. ඇය ඔහුව තුරුළුකර ගත්තාය. ඇයට දැනුණේ තමන් තවමත් නාඹර වියේ ගැටිස්සියක මෙන්ය. විවාහ වූ දා රැයේ මෙන් රස සාගරයක් පැතුවාය. ගිහාන්ගේ කඳවුරේ ඊයේ රැයේ සිදුව ඇති දෙයින් කම්පනයට පත්ව සිටින තම සැමියාව සතුටු කරන්නට සිතුවාය. එහෙත් ගිහාන්ගෙන් කිසිදු ආකාරයක අනුබලයක් ලැබුණේ නැත.
"හරි ඔයාට තෙහෙට්ටු නම් ඔයා නිදාගන්න. මාත් නිදා ගන්නම්," පැවසූ මදාරා අනෙක් ඇලයට හැරුණාය.
මදාරා අලුයම පිබිදෙන විට ඔහු ඇඳේ සිටියේ නැත. වොෂ් රූම්එකේ කොමඩ්එක ෆ්ලෂ්වන ශබ්දය ඇසුණි. මදාරා මුළුතැන්ගෙට ගොස් තේ හදා ගෙනැවිත් කෑම මේසය මත තබා, "ගිහාන් තේ බොන්න," යැයි ශබ්ද නගා පවසා නැවත මුළුතැන්ගෙට වැදුණාය.
දරුවන් පාසල් වෑන් රථයට නංවා තමන් පාසල් යන බව පවසන්නට ගිහාන් අසලක සිටිත්දැයි බැලූවද ඔහු නොසිටියේය.
"ගිහාන්.. ගිහාන්... ඔයා කොහේද?" ඒත් පිළිතුරක් නොවූයෙන්, "මට පරක්කුවෙනව මං යනව ගිහාන්. ඔයා බත් බෙදාගෙන කන්න," කියමින් ඈ පිටව ගියාය.
දහවල් පාසල ඇරී නිවසට පැමිණි ඈ ගිහාන්ව සෙව්වාය.
"ඔය මහ ලොකු බෑග් දෙකකට ඇඳුම් පටවගෙන වාහනේක කැගිල ගියෙ හමුදාවෙන් හදිස්සියෙ එන්න කිව්ව කියල," අම්මා පැවසුවාය.
ඊටත් පසුදා හවස හයට පමණ ගේට්ටුව ඉදිරියේ හමුදා වාහනයක් නතරවිය. ඉන් බැසගත් නිලධාරීන් දෙදෙනෙකු නිවසට පැමිණියහ.
"මේ කැප්ටන් ගිහාන් සමරදිවාකරගෙ මිසිස් නේද? මැඩම් දන්නවනෙ මුලතිව් විනාශය. කවුරුවත් ඉතුරුවුණේ නෑ. මේ හමුදාපතිතුමාගෙ ශෝක ප්‍රකාශය. ඒ එක්කම අපෙත් කනගාටුව."
මදාරා ගේ ඇඟ සීතල වී ගියේය. දෙපා පණ නැති විය.
"නෑ, නෑ, ඔෆිසර් ඔයාලට වැරදිලා. මහත්තය පෙරෙයිදා උදේ ගෙදර ආව."
"ගෙදර ආව! කෝ ඉන්නවද?"
"දැන්නම් නෑ. ඊයෙ දවාලේ ආපහු ගිහිං ඩියුටි රිපෝට් කරන්න කියල."
නිලධාරීන් සිනා නොවුනේ තම හමුදා විනය හේතුවෙනි.
"මැඩම් බය වෙන්නවත්, කලබල වෙන්නවත් එපා. මේ වගේ සිද්ධි කීපයක්ම වාර්තා වෙලා තියෙනව!"
- රුවන් ඩී අළුබෝමුල්ලගේ
ruwand7@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.