Tuesday, 3 November 2026

මිහායිල් ලෙර්මන්තව්: යාචකයා - අනුවර්තනය: විජයසිරි තිලකුමාර



රුසියානු සාහිත්‍යයට ආදරය කරන බොහෝ සිංහල පාඨකයන් වඩා හොඳින් දන්නේ පුෂ්කින්, ගෝර්කි හා තොල්ස්තෝයි වැනි ලේඛකයන් ගැන ය. ඔවුන් මෙන්ම, මිහායිල් ලෙර්මන්තව් යනු දහනමවෙනි සියවසේ රුසියානු සාහිත්‍යයේ රොමැන්ටික් යුගය නියෝජනය කල කවියෙකු, නවකතාකරුවෙකු සහ චිත්‍ර ශිල්පියෙකි. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ අභාවයෙන් පසු රුසියාවේ පහළවූ විශිෂ්ටතම කවියා ලෙස සැලකෙන්නේ මිහායිල් ලෙර්මන්තව් ය.

වර්ෂ 1814 ඔක්තෝම්බර් 15 දා මොස්කව් නුවර දී උපත ලැබූ මිහායිල් ලෙර්මන්තව්, 1841 ජූලි 27 දා කොකේසස් කලාපයේ ප්‍යාතිගෝර්ස්ක් දී මිය ගියේය. රුසියානු බසින් ප්‍යාතිගෝරස් යනු කඳු මුදුන් පහ යන්නයි. කොකෙසස් කඳුකරයේ කඳු මුදුන් පහකට නුදුරින් මෙම පෙදෙස පිහිටා ඇති බැවින් එම නම ලැබී ඇත.

මිහායිල් ලෙර්මන්තව් විසින් 1840 දී රචිත ලොව පතළ නවකතාව වන්නේ “අපේ කාලයේ වීරයෙක්” යන්න ය. මෙය රුසියානු සාහිත්‍යයේ පළමු මනෝවිද්‍යාත්මක නවකතාව ලෙසඳ හැඳින්වේ. “කවියාගේ මරණය”, “දෙවොල” සහ “මත්සිරි” ඔහුගේ ජනප්‍රිය සහ දිගු කාව්‍ය නිර්මාණ වේ.

පුෂ්කින් මෙන්ම, ලෙර්මන්තව් ද තම හමුදා සගයෙකු සමඟ ඇතිවූ ද්වන්ධ සටනකින් වෙඩි වැදී අකාලයේ මිය ගියේය. ඔහුගේ නිර්මාණ තුළ කොකේසස් කලාපයේ ස්වභාවික හැඩරුව සහ හුදෙකලා මිනිස් මනස පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීම් ඇතුළත්ව ඇත.

සිංහල කියවන්නන් අතර එතරම්ම පතල නොවූ, රුසියානු ජාතික මිහයිල් ලර්මොන්තව් විසින් 1830 වසරේදී රචිත “යාචකයා” නැමති ලොව පසිඳු කවි පන්තිය අනුවර්තනය කිරීමට මා දැරූ වෑයමකි මේ.

යාචකයා

පල්ලියේ දොර අසල කෙසඟ සිරුරක් දරන්
සා දුකින් තෙරපෙමින් නිහඬවම වැලපෙමින්
යදින්නේ ඔහු සෙමින් පාන් පෙත්තක් පමණි
දුක් වැලක කැඩපතකි රැඳුණු ඔහු දෙනෙත් යුග
ඔහුව පසු කර යමින් එක් නරුම හදවතක්
තැබුවාය ඔහු දෑත රළුම රළු කලු ගලක්!

සිත් තැවුල් මුසු කෙරුණ වේදනා කඳුළු මැද
මගේ හද පිලිසිඳුන පිවිතුරුම හැඟුම් කැල
පිදුව මුත් මා නුඹට අහිංසක යදින්නෙකු
ලෙසින් මගෙ හැඟුම්ගෙන රැවටුවේ ඇයි මෙලෙස?

- විජයසිරි තිලකුමාර
wijaytilakumara@icloud.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්