Sunday, 15 November 2026

කැලණි නදිය ගලා බසී (නවකතාව) : හත්වෙනි කොටස - එච්. එම්. පියතිලක හල්පෙ



මෙතෙක් කතාව: පළමුවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස,
හතරවෙනි කොටස, පස්වෙනි කොටස,

දින දෙකකට පසු, රංකිරි රාළ තම පියා සමඟ ගම් බලා එද්දී තවත් අඳුරු දසුනක් ඔවුගේ නෙත ගැටුණි. මාවතේ ගමන්කරමින් සිටි ඒ ජන සන්නිපාතය මරණයේ පෙර නිමිත්තක් වැනි විය.

“අප්පච්චි, අර බලන්න... අර සිරකරුවෝ!” රංකිරි රාළ බියෙන් විමතියට පත්ව සිටියේය. ඔහු දුටු දසුනින් ඔහුගේ හදවත කම්පා විය. ඒ දෑත් පිටුපසට කර තදින් බැඳ, ගෙල වටා දැමූ රළු ලණුවකින් එකට ඈඳා සිටි සිරකරුවන් දෙදෙනෙකි. ඔවුන්ව රැගෙන යන මුරකරුවන්ගේ සිතෙහි කිසිදු දයාවක අංශු මාත්‍රයක්වත් නොවීය.

“පලයව්! තොපි වගේ උන්ට කිසි සමාවක් නෑ!” ඔවුහු ගර්ජනා කරමින්, කටු සැමිටෙන් සිරකරුවන්ට තැලූහ. සිරකරුවන්ගේ සම ඉරී ගොස් ලේ ගලමින් තිබිණි. ඔවුන්ගේ ඇඳුම් මඩින් සහ ලෙයින් තෙත් වී තිබුණි. ඒ දුක්ඛිත දර්ශනය දෙස බලා සිටි රංකිරි රාළට වැටහුණේ, යුද්ධය සහ දේශපාලනය යනු තේරුම් ගත නොහැකි රළු සෙල්ලමක් බවයි.

මේ සිරකරුවන් දක්කාගෙන යන වධක පෙරහැරේ දරුවන්ගේ සිට මහල්ලන් දක්වා සැම වයසේම පසු වූ කාන්තාවන් සහ පිරිමින් විශාල පිරිසක් සිටියහ. ඔවුන්ගේ දෑස්වලින් ගිලිහුණු කඳුළු වැස්ස මාවතේ වැලි, බොරලු අස්සේ සැඟවී ගියේය. ඒ පෙරහැර මරණය දෙසට යන ගමනක් බව රංකිරි රාළට හැඟුණි.

“අප්පච්චි... අර සිරකරුවන් ගෙනියන්නේ ගඟ අයිනේ තියෙන වධක භූමියට නේද? මටත් ආසයි ඒ දඬුවම් දෙන හැටි දෑසින් දැකගන්න. අපි යමු ද අප්පච්චි?” රංකිරි රාළ තම පියාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය. පියා රංකිරි රාළ ගේ උරහිස මත අත තබා, ඔහුගේ දෑස් දෙස ගැඹුරින් බැලුවේය. පියාගේ මුවින් පිටවූයේ දැඩි අනතුරු ඇඟවීමකි.

“පුතා, ඕක සෙල්ලමක් නෙවෙයි. ඕක දිවැස් උල හිඳුවා මරන්න රජතුමා නියම කරපු දඬුවමක්. ඒක බොහොම දරුණු, හිත කම්පා කරවන දර්ශනයක්. මට නම් බෑ ඒ වගේ දෙයක් දෙස බලා ඉන්න. මිනිස්සු මරණ හැටි බලා ඉන්න උඹට පුළුවන් ද පුතා?” රංකිරි රාළ මඳ වේලාවක් නිහඬව සිටියේය. නමුත් ඔහුගේ කුතුහලය භීතිය පරදවා මතුවිය.

“අප්පච්චි... මම දන්නවා ඒක වේදනාකාරී බව. ඒත් මේ වගේ දුර්ලභ සිදුවීමක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. මේ සිදුවීම් පස්සේ දවසක අපේ රටේ ඉරණම ගැන ලියැවෙන කොට අපිටත් යම් වැටහීමක් තියෙන්න ඕනේ නේද? මට ඒක දකින්න දෙන්න.” රංකිරි රාළ ගේ අධිෂ්ඨානය දුටු පියා සුසුමක් හෙලුවේය.

"පුතාගේ හිතේ තියෙන්නේ නපුරුකමක් නෙවෙයි, දුර්ලභ දේ දකින කුතුලයක්...." පියා සිතුවේය.

රංකිරි රාළ ගේ දෑස් තුළ වූ නොනිමෙන කුතුහලය දුටු ගුරුහාමි තවදුරටත් ඔහුව වැළැක්වීමට උත්සාහ කළේ නැත. ඔහු සුසුමක් හෙළා, තවලමේ සිටි විශ්වාසවන්ත සේවකයෙකු වූ උණ්ඩියා දෙසට හැරුණේය.

“පුතා, එහෙනම් උණ්ඩියා එක්ක ගිහින් ඉක්මනින්ම එන්න. අපි මේ තවලමත් එක්ක සුදුහුම්පොළ වාඩියට වෙලා ලැගුම් ගන්නවා,” ගුරුහාමි තම පුතුට යාමට අවසර දෙමින්, ඔහුගේ ආරක්ෂාව උණ්ඩියාට පැවරුවේය. ඉන්පසු ඔහු උණ්ඩියාගේ උරහිසට සෙමෙන් තට්ටු කළේය.

“උණ්ඩියා, මගේ පුංචි නිළමෙව ප්‍රවේශමෙන් බලාගනින්. වැඩි වෙලාවක් එතන ගත කරන්න එපා. ප්‍රමාද වුණොත් අපි තවලමත් එක්කම පිටත් වෙනවා, තේරුණා ද?”

“එහෙයි ලොකු නිළමේ, මං පුංචි නිළමේව ඇහැක් වගේ බලාගන්නම්,” උණ්ඩියා හිස නමා පොරොන්දු විය. තවලමේ ආ තවත් ගැමියන් කිහිපදෙනෙකු ද සිරකරුවන් පසුපස යන මේ බියකරු පෙරහැර සමඟ එකතු වූහ.

රංකිරි රාළ සහ උණ්ඩියා ඇතුළු පිරිස සිරකරුවන් පසුපස ඇදී ගියහ. වැසි බර අහස යට, මාවත් දිගේ ඇදුණු ඒ මරණීය පෙරහැරේ ඉදිරියෙන්ම ගිය බෙරකරුවා, ජනාකීර්ණ හතරමං හන්දියක් හමුවූ සැණින් තම ගමන නතර කරයි. එතෙක් වේලා වැයුණු ශෝකී බෙර හඬ නතර වෙයි. මුළු පරිසරයම බියකරු නිශ්ශබ්දතාවයකින් වෙලීයයි.

“ඩොං... ඩොං... ඩොං...” දැන් වාතය සිසාරා පැතිර යන්නේ රළු, තේජවන්ත අණ බෙර හඬකි. එසැණින්, රාජකීය විදානේ තැන ඉදිරියට පැමිණෙයි. ඔහු තම ඉනේ ගසා තිබෙන, රජුගේ රාජකීය මුද්‍රාව තැබූ පුස්කොළ ලියවිල්ල අතට ගෙන දිගහරියි. අවට සිටින සියල්ලන්ගේම හුස්ම වැටෙන හඬ පවා ඇසෙන තරමට නිශ්ශබ්දතාවයක් පැතිර යන අතර, විදානේ තැන තම ගම්භීර හඬ අවදි කරමින්, සෙනගට ඇසෙන සේ රාජ ආඥාව කියවයි.

“නෛකශ්‍රීයෙන් විරාජමාන රාසිං දෙවියන්ට විරුද්ධව අවි එසවූ මේ අපරාධකරුවන් දෙදෙනා, රාජකීය අධිකරණයෙන් වරදකරුවන් කොට, වධක භූමියේ දී දිවැස් උල හිඳුවා මරා දමන්නට තීන්දු කළ බව රටවැසියන් සියලු දෙනාට මෙයින් දැනුම් දෙනු ලැබේ.” නිවේදනය කියවීමෙන් පසු වරදකරුවන්ට කෙවිටෙන් තලා නැවත ගමන ආරම්භ කරනු ලැබේ. වධක භූමිය වෙත ළඟාවන තුරුම සෙනග ගැවසෙන මංසන්ධිවල දී මේ ආකාරයෙන් දඬුවම් කරන අයුරු රංකිරි රාළ දුටුවේය.

වධක භූමියට ඇතුළු වූ විට එම භූමිය අද්දර දිවැස් උල හිඳුවන ස්ථානය සකස්කර තිබෙනු දක්නට ලැබිණ. රංකිරි රාළ උණ්ඩියා ද සමග එම ස්ථානය නරඹන්නට ගියේය.

"පෙර දිනක වධකයන් විසින් උල තැබූ සිරකරුවන් දෙදෙනෙක්..." උන්ඩියා සිය දබරැඟිල්ල දිගු කළේය. ඔහුගේ හඬෙහි තිබුණේ වෙව්ලීමකි.

"අර බලන්න පුංචි නිලමේ... අර ඈතින්ම පෙනෙන උල මත හිඳුවා ඉන්න මිනිසාගේ කොන්ද පසාරු කරගෙන ගොස් උල් උඩට මතුවෙලා. මේ මැද තියෙන උල උඩ ඉන්න සිරකරුවාගේ නම් හිස් මුදුනෙන්මයි උල් තුඩ එළියට ඇවිත් තියෙන්නේ..." පෙර දිනක දිවස් උල තැබූ ඒ අවාසනාවන්ත මිනිසුන් දෙදෙනා දෙස බලමින් උන්ඩියා එම බිහිසුණු දසුන රංකිරි රාළට විස්තර කළේය. මළානික හිරු එළිය ඒ ලේ වැකුණු උල් මත පතිත වෙමින් තිබිණි.

රංකිරි රාළ මඳ වෙලාවක් ඒ දෙස බලා සිටියේ දැඩි කම්පනයකිනි. ඉන්පසු ඔහු බරැති ස්වරයකින් උන්ඩියාට කරුණු පැහැදිලි කළේය.

"හිස පසාරු කරගෙන ගිය මිනිසා නම් ලොකු වෙලාවක් දුක් විඳින්නේ නැතුව ඉක්මනින්ම මියැදෙන්න ඇති උන්ඩියා. හැබැයි, අර උල් තුඩ කොන්දෙන් මතු වෙලා තියෙන සිරකරුවා... එයා නම් දවසක් දෙකක් තිස්සේ මරණීය වේදනාවෙන් විලාප තිය තියා ඉඳලයි පණ හැරලා තියෙන්නේ..." හදවතට හෝ මොළයට බරපතළ හානියක් සිදු වූ විට මිනිසෙකු ඉතා ඉක්මනින් මරණය වැළඳගන්නා බව රංකිරි රාළ මීට පෙර අසා තිබිණි. හිස පසාරු වූ මිනිසාට ක්ෂණික මරණයක් හිමි වුව ද, අනෙකා පැය ගණනාවක් තිස්සේ සිය ශරීරයේ බරින්ම උල පහළට කිඳා බසිද්දී වින්දාවූ ඒ අමානුෂික, දීර්ඝ වේදනාව සිතන විටත් ඔහුගේ ගත සලිත වී ගියේය.

මරණයේ මහා ඝෝෂාව පතුරා ලූ වධක බෙර හඬ එක්වරම නැවතුණේය. ඒ වෙනුවට වාතයට මුසු වූයේ රාජකීය අණ බෙරයේ බියකරු හඬයි. සෙනඟ අතරින් රිංගා ගිය රංකිරි රාළ සහ උන්ඩියා, දඬුවම ක්‍රියාත්මක වන ඒ ලේ වැකුණු බිම්කඩ අසලටම ළඟා වූහ. අණ බෙර හඬ නිහඬ වෙද්දීම, විදානේ විසින් ගිගුරුම් දෙන ස්වරයෙන් කියවනු ලැබූ අවසාන රාජාඥාව ඔවුන්ගේ කන්වල වැදුණේය.

රාජාඥාව කියවා අවසන් වූවා පමණි. වධක බෙරයේ ශෝකී, බිහිසුණු නාදය අවට කඳු වළල්ලේ වැදී දෝංකාර දෙන්නට වූයේ මුළු පරිසරයම මරණයේ සෙවණැල්ලෙන් වෙලාගනිමිනි.

එක් වධකයෙක් ඉදිරියට පැමිණියේය. ඔහු සිරකරුවාගේ ගෙලෙහි තිබූ, මරණයේ සලකුණ වූ රතු වදමල් මාලය ඇද ගලවා බිම දැමුවේය. ඒ සමඟම අනෙක් වධකයින් දෙදෙනා බියපත්ව විලාප දෙන සිරකරුවා දෙස කිසිදු තෙතමනයක් නැති දෙනෙතින් බලා සිටියහ. ඔවුහු සිරකරුවාගේ අත් සහ පාද එකට තබා, රළු වැල් පටකින් සිරවන්නට ගැට ගැසූහ.

"එපා... මාව මරන්න එපා යකුනේ...!" සිරකරුවා මුළු ශරීරයම අඹරවමින්, මරණ බියෙන් කෑගසමින් සිය විරෝධය පළ කළද, වධකයින් තිදෙනාට එහි වගක් නොවීය. ඔව්හූ යකඩ වැනි සිය දෑත්වලින් ඔහුගේ සිරුර එකවරම ඉහළට එසවූහ.

ඊළඟ මොහොතේ මුළු වධක භූමියම සලිත කරමින් අහස පොළොව නුහුලන විලාපයක් වාතයට මුසු විය. වධකයින් විසින් සිරකරුවාගේ බරැති සිරුර උල් තුඩ මත හිඳුවා, එය පහළට තද කරගෙන සිටියහ. තියුණු උල් තුඩ සම් මස්, නහර සහ ඇටකටු පලාගෙන, ශරීරය විනිවිද යමින් හිස් මුදුනෙන් මතු වන තුරු ඔවුහු සිරුර අල්ලාගෙන සිටියහ.

සියල්ල අවසන් විය. රුධිරයෙන් තෙත් වූ සිරුර උල මත නිසල වෙද්දී, වධකයින් සෙමින් ඔහුගේ අත් පා බැඳ තිබූ වැල්පට කපා දැමූහ. ඉන්පසු කිසිවක් සිදු නොවූ ආකාරයට, තමන්ගේ ලේ තැවරුණු දෑත් පිසදමමින් ඔවුහු ආපසු හැරීයන්නට වූහ. රංකිරි රාළ සහ උන්ඩියා ගල් ගැසී ඒ දෙස බලා සිටියහ.

වධක බෙරයේ අවසාන හඬ දෝංකාරදෙමින් වාතලයේ දියවී යන්නටත් මත්තෙන්, මුළු වධක භූමියම කන් බිහිරි කරවන මහා ඝෝෂාවකින් දෙදරුම් කෑවේය. තත්පර කිහිපයක් ඇතුළත සියල්ල උඩුයටිකුරු විය.

එතෙක් වෙලාවක් සාමාන්‍ය ගැමියන් මෙන් සෙනඟ අතර සැඟවී සිටි සන්නද්ධ පිරිසක්, එකිනෙකාට සංඥා කරමින් අකුණු වේගයෙන් ඉදිරියට කඩා වැදුණහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ විදානේ ඇතුළු රාජකීය ආරක්ෂකයින්ය. කිසිවෙකුත් මෙවැනි ප්‍රහාරයක් බලාපොරොත්තු වූයේ නැත. මාරාන්තික ආයුධ අතැතිව පැමිණි කැරලිකරුවන් ආරක්ෂකයින්ව වටකරමින් දරුණු ලෙස පහර දෙන්නට වූහ. රාජකීය භටයන් සතු වූ ආයුධ ක්ෂණිකව උදුරාගත් ඔවුහු, අත් පා බැඳ උල තබන්නට සූදානම්කර සිටි තම නායකයා දැඩි පරිශ්‍රමයකින් මුදාගත්තහ.

"පැනපියව්... කැලේට වැදියව්...!" කැරලිකරුවන් තම සගයාද සමග, අඳුරු වනාන්තරය දෙසට පලා ගියහ.

මුළු පරිසරයම මළ කඳවුරක් බඳු විය. රාජකීය ආරක්ෂකයින් තිදෙනෙකු පණ අතහැර ලේ විලක් මත වැතිර සිටි අතර, මඳ වේලාවකට පෙර රාජාඥාව කියවූ විදානේ, සිය දකුණු අත අහිමිව දැඩි වේදනාවෙන් බිම පෙරළෙමින් විලාප තැබුවේය. ඔහුගේ කපා දැමූ අතින් ගලාගිය රුධිරයෙන් වධක භූමියේ පස රත් පැහැ ගැන්විණ.

දිවස් උල තැබීමේ බිහිසුණු ඓතිහාසික අවස්ථාවත්, ඉන් නොනැවතී ඇස් පනාපිට සිදුවූ කැරලිකරුවන්ගේ ඒ ක්ෂණික ප්‍රහාරයත් දෙස රංකිරි රාළ බලා සිටියේ ගල් ගැසීගෙනය. ඔහුගේ සිත පුරා දිවගියේ විස්තර කළ නොහැකි චිත්තවේග සමුදායකි. සෙමින් සෙමින් මහා ජනකාය විසිර යනු ඔහු දුටුවේය.

තවදුරටත් එහි රැඳී සිටීම අනතුරුදායක බව වටහාගත් රංකිරි රාළ, උන්ඩියාට ද සංඥා කරමින් ඔහුත් සමග තවලම නවතා තිබෙන සුදුහුම්පොළ දෙසට පියනඟන්නට විය.

- පියතිලක හල්පෙ
thisaraherath742@gmail.com



නවකතාවේ අටවෙනි කොටස: ලබන ඉරිදා ලංකාවේ වේලාවෙන් දහවල් 12:00 ට පළ වේ.

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්