Monday, 16 November 2026

කෑගල්ල - නිමල් සේදර



අපේ රටේ බොහෝ ගම්වලට නම් හැදී තිබෙන්නේ ප්‍රධාන හේතුන් දෙකක් පදනම් කරගෙනයි. ඉන් පළමුවැන්න අපේ භූමියේ පිහිටීම නිසා හෙවත් භූගෝලීය හේතුන් නිසයි. ගම්වලට නම් ඇතිවීමට දෙවැනිවට බලපා ඇති කරුණු බහුතරයක් අපේ ඉතිහාසයේ සිටි රජදරුවන් හා සම්බන්ධ ය.

කෑගල්ලට නම ලැබීමත් පසුපස ඇත්තේ ද සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික රජතුමෙකු වටා ගෙතුනා වූ සිද්ධියක් ආශ්‍රිත කතාවකි.

සබරගමු පළාතේ පිහිටි දිස්ත්‍රික්කයක් ලෙස කෑගල්ල හඳුන්වන අතර කෑගල්ලේ ප්‍රධාන නගරය හඳුන්වන්නේ ද කෑගල්ල යනුවෙනි. ත්‍රී සිංහලය තුළ කෑගල්ල අයත් වූයේ මායා රටටයි.

කොළඹ මහනුවර පාරේ කොළඹ සිට සැතපුම් හතළිස් අටක් පමණ දුරින් පිහිටා ඇති කෑගල්ල නගරය සහ මහනුවර අතර පරතරය සැතපුම් 25 ක් පමණ වේ.

කෑගල්ල නගර සභාවක්ද වන අතර ඒ තුළ ජනගහනය විසි දහසක් තරම්වේ. මේ නගරයේ සිට කිලෝ මීටර් දහයක් පමණ ඈතින් පිහිටි පින්නවල අලි අනාථාගාරය කෑගල්ලට සමීප ආකර්ෂණීය ස්ථානයයි. බෙලිගල රජමහා විහාරය ද,කුරුලු කැලේ වන රක්ෂිතයද කෑගල්ලේ වටිනාකම වර්ධනය කර ඇත.

මහනුවර නගරයට පිවිසෙන දොරටුව වශයෙන් හඳුන්වන්නේ ද කෑගල්ලයි. සෞන්දර්යාත්මකින් පොහොසත් කෑගල්ල ,ලංකාවේ දිගම නගරය වශයෙන්ද නමක් දිනාගෙනන තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කය වී ගොවිතැනට අමතරව ,පොල් ගම්බිරිස් කොකෝවා යනාදී මිශ්‍ර භෝග වගාවේ කේන්ද්‍රස්ථානයකි.

වළගම්බා රජතුමාගේ බුලත් මල්ලෙන් මතු වූ කතාව මෙසේ ය.

මේ නම හා සම්බන්ධ වන්නේ සුප්‍රසිද්ධ වළගම්බා රජතුමාය. හෙළබිම නිදහස් කර ගැනීමේ සටන වෙනුවෙන් එතුමා රටේ බොහෝ තැන්වල සංචාරය කරමින් අවශ්‍ය සංග්‍රාම බලය ගොඩනගාගෙන තිබේ.ඒ නිසා රටේ බොහෝ ස්ථානවල වළගම්බා රජතුමා හේතුවෙන් ගම් දනව් නම් කිරීම සිදු වීතිබේ.

ක්‍රිස්තු පූර්ව අසූ නවයේ දී (89) වළගම්බා රජු මෙරට ඉන්දීය ආක්‍රමණිකයින් පලවා හැරීම සඳහා රට පුරා සේනා සංවිධානය කරද්දී රජු දඹුල්ලේ සිට දනගිරිගල, ඇකිරියගල හරහා සල්ගලට යන අතරතුර රජතුමා සිත් ගත් ගල්තලාවක විඩා නිවාගෙන දිවා ආහාර ගෙන ඇති බව වාර්තාවේ. මේ අනුව පරිවාර සේනාව ද මේ ගල්තලාව සමීපයේම ආහාරය භුක්ති විඳින්නට ඇත.

එදා පැවැති දේශීය චාරිත්‍ර අනුව දිවා ආහාරයෙන් පසු රජතුමාට බුලත් විටක් කෑමට අවශ්‍ය විය. ඒ අවශ්‍යතාවයට බුලත් මල්ල අතට ගත් විට පුවක් කපන ගිරය එහි නොමැති බව රජතුමාට වැටහුණි. ඒ සමගම එය සිදු වූයේ කෙසේදැයි රජතුමාට සිහිපත් වී ඇත.

මෙතන විවේක ගන්නට පෙර, අවසානයට රජතුමා සහ පිරිස විවේකයක් ගත් මෙවැනිම සුන්දර ස්ථානයේ දී තමන්ගේ බුලත් මල්ලේ තිබුණු ගිරය අමතක වී ඇති බව රජතුමාට සිහිපත් විය. ජනප්‍රවාදයේ ඇත්තේ එය රත්තරන් ගිරයක් බවයි. "ගිරය මං අන්තිමට "බුලත් කෑ ගල" උඩ අමතක වෙලා" රජතුමා තමන්ගේ පරිවාර සේනාවට අවසා ඇත.

රජතුමා විසින් සඳහන් කළ බුලත් "කෑ ගල" යන වදනින් කෑගල්ල යන නම ඇතිවූ බවට ජනප්‍රවාදයේ එන කතාවයි. කාලයාගේ ඇවෑමෙන් "කෑගල,"කෑගල්ල "බවට පත් වී ඇති බව විශ්වාස කෙරේ.

කෑගල්ලේ නම සැදුණු ආකාරය පිළිබඳව වෙනත් ප්‍රධාන මතයක් ජනප්‍රවාදයේ නොමැති බවද සඳහන් කළ යුතුය.

- නිමල් සේදර
nimalsedera@yahoo.com



මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්