Monday, 31 August 2026

​පරිත්‍යාගය - රුවන් ඩී අළුබෝමුල්ලගේ

Ruwan.jpeg
"ඒගොල්ලගෙ ෆැමිලි එක බොහොම සතුටෙන් සමාදානයෙන් හිටියෙ. හයියෙන් කතාකරනවවත් ඇහිල නෑ. කිසිම දවසක ආරෝවක් ඇතිකරගන්නව අපිට නං දැනිල ම නෑ. අපි දෙගොල්ල අතර ළඟම බැඳීමක් නොතිබුණාට මිත්‍රශීලිවයි හිටියෙ," යාබද නිවසේ ශාන්ත හා ශාන්ති යුවළ පැවසූහ.

"අනේ ඒ නංගිත් හරි හොඳයි," ශාන්තගේ දියණිය පැවසුවේ රවීන්ද්‍රගේ දියණිය ගැනය.

"රවීන්ද්‍ර මහත්තය නැතිවෙලා ලොකු හාමුදුරුවනේ," හීල රැගෙන පන්සලට පැමිණි ජයනි ඉස්කෝලෙ හාමිනේ ගමේ සිදුව ඇති අලුත් ම සිදුවීම ලොකු හාමුදුරුවන්ගේ කනේ තැබුවාය.

"මහත්තය වසර ගාණක් තිස්සෙ අසනීපෙන්නෙ හිටියෙ!"

"එහෙමයි හාමුදුරුවනේ, නෝන උදේ තේ එක දෙන්න ගියාම තමයි දැනගෙන තියෙන්නෙ. නින්දෙන්ම නැතිවෙලා තියෙන්නෙ."

"ඒක වාසනාවන්ත මරණයක්. සෑහෙන කාලයක් දුක් වින්දනෙ." හාමුදුරුවන් නැවත ද පැවසූහ.

"ඒ වුණාට හාමුදුරුවනේ වයසත් තාම පනස්අට ලු. මැරෙන්නත් වයසක් ද?"

"මරණෙට වයස අදාළ නෑ කියල ඉස්කෝලෙ හාමිනේට අමුතුවෙන් කියන්නත් දෙයක්ද?"

රවීන්ද්‍ර මහත්තයාගේ දියණිය ප්‍රථම පන්තියේ ව්‍යාපාර කළමනාකරණ විශේෂ උපාධියෙන් පසු ප්‍රමුඛ පෙළේ සමාගමක සහකාර අලෙවිකරණ කළමනාකාරිණියක ලෙස සේවය කරයි. ඒ වසර දෙකක පරිවාස සේවා කාලයකට යටත්වය. මේ ඒ පරිවාස කාලයේ අවසාන මාස කීපයයි. සැලකියයුතු ඉහළ තලයක වැටුපක් ලබන ඇයට සමාගම මගින් ප්‍රවාහන පහසුකම් ද සපයයි.

විශ්වවිද්‍යාලයේ දී හොඳ කොල්ලෙක් එක්ක යාළු වෙන්නැයි කීප වතාවක් රවීන්ද්‍ර ඇයට පැවසුව ද ඇය එසේ නොකළාය.

"අපෝ ඔය යාළුවෙලා ඉන්න සමහරුන්ට තියෙන කරදර අපිට පේනවනෙ. ඔක්කොම නෙමෙයි සමහරු රෑට ඇවිත් උන් යාළුවෙලා ඉන්න කෙල්ලන්ව තැන් තැන්වල අහුමුළුවලට ඇදන් යනව බලෙන්ම..."

දැන් උදා වී ඇත්තේ දියණියට විවාහයක් කරදීමේ කාල වකවානුවයි.

රවීන්ද්‍රත් බිරිඳත් ඒ ගැන යුහුසුළු වෙන්නේ වසරක පටන් ය. නෑයන්ගෙනුත් යාළු මිත්‍රයන්ගෙනුත් උදව් පැතුව ද ඔවුන්ගේ උදව් කතාවට පමණක් සීමාවන බව දෙදෙනා කල්යත්ම වටහා ගත්හ.

ආරණ්‍යා නිළියක් තරම් ලස්සන නැතුව ද පියකරු රූමත් දියණියකි. එමෙන් ඇය සමාජශීලී තරුණියකි. පළමුවෙනි සම්මූඛ පරීක්‍ෂණයෙන්ම ඇයට මේ රැකියාව ලැබුණේ ද ඇගේ දැනුම, දක්‍ෂතාව හා පෞරෂය නිසාවෙනි.

"අපේ නෑදෑයො යාළුවො ළමයට ප්‍රොපෝසල් එකක් කතා නොකරන්නෙ මං ඉන්න තත්වය නිසා ඉන්දු. ඒ ගොල්ලට දොසක් කියන්නත් බෑ. ඒ ගොල්ලටත් බෑනෙ කටක් ඇරල මං ඉන්න තත්ත්වය කියන්න," රවීන්ද්‍ර බිරිඳ සමඟ පැවසුවේ වරක් දෙවරක් නොවේ.

"ඒක හරි වැඩක්නෙ මිනිස්සුන්ට අසනීප වෙන්නැත්ද?" ඒ හැම වරකම බිරිඳ ද කීවාය.

"අපි ඇත්ත කතාකරමු. ඔයා කැමතිද ඔයාගෙ පුතෙකුට මං වගේ තාත්ත කෙනෙක් ඉන්න දරුවෙක් කසාද බන්දල දෙන්න?"

එවැනි විටෙක ඇය මගහැර යන්නට යන්නීය. රවීන්ද්‍ර හැඟුම්බරව තනිවන්නේය. දියණිය පිළිබඳව අප්‍රමාණ බියක් සිත වෙළා ගන්නේය.

"රවී, කෙල්ලට කියපන් ඔෆීස් එකේ හරි මගතොටක හරි හම්බවෙන හොඳ කොල්ලෙක් එක්ක යාළු වෙන්න කියල. උඹ ඉන්න තත්වෙට ප්‍රොපෝසල් ගෙනැල්ලනං හරියන් නෑ," නිවසට පැමිණි මිතුරකු රවීන්ද්‍රට පැවසුවේ ඔහුගේ සිත තවත් කඩා වට්ටමින්ය.

"මග තොටක හම්බවෙන්නෙ කොහොමද බං කෙල්ලට යන්න එන්න ට්‍රාන්ස්පෝට් තියෙනවනෙ."

"රවීද්‍ර මහත්තය මේ ගමේ හිටිය ගුණයහපත්ම මනුස්සයෙක්. උසස් පෙළ ඉගෙනගන්න කාලෙ දායක සභාවෙ ලේකම්. ඒ මහත්තය තමයි දවසක්දා කතාකර කර ඉත්දි අපේ ලොකු හාමුදුරුවන්ට යෝජනා කළේ පන්සලේ දහම් පාසලක් පටන්ගන්න කියල. මමත් ඒ කාලෙ සාමණේර. කියල නිකං හිටියෙ නෑ. දායක සභාව රැස්කරල යෝජනා සම්මත කරල ඉක්මනින්ම වැඩේ පටන්ගත්ත. දහම් පාසලේ ඉගැන්නුව. අද වෙනකනුත් මේ තියෙන්නෙ ඒ දහම් පාසැල. පටන් ගත්තොත් වැඩක් අත අරින්නැතිව කරල ඉවරම කරනව," ලොකු හාමුදුරුවන් පැවසූහ.

"අපි පත්තරෙන් මංගලයෝජනා බලමු," ඉන්දු කීවාය. පත්තර ගෙනැවිත් ඇයම මනාලයන් තේරුවාය. රවීන්ද්‍ර ලව්වා කතා කෙරෙව්වාය. විද්‍යුත් ලිපිනයන්ට විද්‍යුත් ලිපි ලියෙව්වාය. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ රැකියාවන් කරන කීප දෙනෙකුම ඒ අතර සිටියහ. හඳහන් බැලෙව්වේය. ඡායාරූප ද වට්ස්ඇප් මගින් හුවමාර කර ගත්හ.

එයින් පසුව හඳහන් ගැලපෙන අය සමග තොරතුරු හුවමාරු කරගත්හ. රවීන්ද්‍රගේ තත්ත්වය ද දැනුවත් කෙරිණ. ඔහුගේ තත්ත්වය පැවසීමත් සමග හැම යෝජනාවක්ම එතෙකින් නතරවුණේය. මෙලෙස මේ වනවිට යෝජනා පහ හයක්ම කඩාකප්පල් වී තිබිණ.

රවීන්ද්‍ර රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකි. මීට වසර දහයකට පෙර දිනක සේවය අවසන්කර නිවසට පැමිණෙමින් සිටිය දී ය රිය අනතුරට ලක්ව සුසුම්නාවට හානි වීමෙන් මේ අබැද්දිය සිදුවුණේ. ඒ කාලයේ ආරණ්‍යා නමවන ශ්‍රෙණියේ ය. එදා පටන් රැකියාවට යාමට ද ඔහුට නොහැකි විය. නිවසේම කාලය ගෙවී ගියේය.

ව්‍යායාම කිරීමෙන් අනතුරුව ඔහු පොත් කියෙව්වේය. කියවීමට පොත්පත් ගෙනැවිත් දෙන මිතුරන් දෙතුන්දෙනෙකුම ඔහුට සිටියේය. ඔහුු කවි, කතා ලිව්වේය. ඒවා පුවත්පත්වල ද පළවිය. ඔහු ඉන් අපමණ තෘප්තියක් ලැබුවේය.

"රවීන්ද්‍ර මහත්තයට ගෑනියි, දුවයි එකතුවෙලා වහ දීල," ගමේ ඉන්නා කුඩුකේඩු කේලාම්කාරියක් තැන තැන කියෙව්වාය. ඇගේ කතාව කවුරුත් පිළිගත්තේ නැත. එහෙත් අනුන්ගේ දියුණුවට පැවැත්මට ඉරිසියාකරන දෙතුන් දෙනෙකුට ඒ කතාව අල්ලල ගියේය.

රවීන්ද්‍ර දිගු කාලයක සිට රුධිරයේ සීනි මට්ටම පාලනයට ඖෂධ ගනී. මෙට්ෆොමින්, රෙක්ලයිඩ්, එම්පොවික්. මාසයක් ගානේ රුධිරයේ සීනි පරීක්‍ෂාවක් කරගන්නා ඔහුගේ මේ මාසයේ රුධිර පරීක්‍ෂාවේදී සීනි මට්ටම අනූහත මට්ටමට වැටී තිබිණ. ඒ රෝගය වැළදීමෙන් පසු පළමු වතාවටය.

"මං නිසා කෙල්ලට කසාදයක් හරි නොයන තත්ත්වයක් නම් තියෙන්නෙ තව ටික කාලයක් බලල මං සුසයිඩ් කරගන්නව. මගේ සීනි පෙති අහුරක් කටේ හලාගෙන ඇඳේ ඇල වෙනව. ඒ පරිත්‍යාගය මං කරනව," පවුලේ ළඟම හිතවතුන් වූ නිතර දුක සැප සොයා බලන විදුහල්පතිනියක වූ මැණික් හා ඇයගේ ස්වාමියා සමග රවීන්ද්‍ර වරෙක පැවසුවේය.

රවීන්ද්‍රගේ සිරුර පියුනරල් පාලර් එකට රැගෙන යාමට සූදානම් වන විටම පොලීසිය කඩා වැදුණහ.
දේහය මරණ පරීක්‍ෂණය සඳහා ආරෝග්‍ය ශාලාව වෙත යොමු කෙරිණි. සෝදිසි වරෙන්තු රහිතව ම ගෙදර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කෙරිණි.

ටිනර් කෑන් එකක ටිනර් ටිකක්, භූමිතෙල් බෝතලයක භූමිතෙල් ටිකක් හැර වෙන කිසිවක් සොයාගත නොහැකි විය.

රවීන්ද්‍ර මහතා පාවිච්චි කරන බෙහෙත් පෙතිවල ද අඩුපාඩුවක් දැකගත හැකි නොවිණ.

"මිස්ටර් රවින්ද්‍රගෙ නෝනත්, දුවත් පොලීසියට අරං ගිහින් ප්‍රශ්න කරන්න වෙනව. කරුණාකරල දෙන්නම අපිත් එක්ක යමු." පොලිස් පරීක්‍ෂකවරයා පැරවසුවේය.

ඉන්දුගේත්, ආරණ්‍යාගේත් දෑස්වලින් කඳුළු පැන්නේය. මෙහොතක් ඔවුන් ගල්ගැහී උන්හ. අනතුරුව ගෙදර සියලුම දොර ජනෙල් වසා යතුරු අතටගත් මවත් දියණියත් කඳුළු පිරි දෑස්වලින් යුතුව නිහඬව ම ගොස් පොලිස් ජීප් රථයට ගොඩ වූහ.

"රවීන්ද්‍ර මහත්තයගෙ මරණෙ සැකකටයුතුයි කියල අපිට පැමිණිල්ලත් ලැබිල තියෙනව," ඔවුන් පොලිස් බංකුවේ පැය දෙකකටත් වඩා කාලයක් ඉඳගෙන සිටීමෙන් පසු පරීක්‍ෂණය ආරම්භ කරමින් පරීක්‍ෂක පැවසුවේය.

"අම්ම ටිකක් එළියෙ බංකුවෙන් ම වාඩිවෙලා ඉන්න. දුවගෙන් ප්‍රශ්න කරල ඉවරවෙලා අම්මට කතා කරන්නම්."

"කවුද සර් පැමිණිලි කරල තියෙන්නෙ?" ආරණ්‍යා කඳුළු මැදින්ම විමසා සිටියාය.

"කවුරු පැමිණිලි කළත් අපි විභාග කරන්න එපැයි."

"පැමිණිලිකාරය නැතුව විත්තිය විතරක් ප්‍රශ්න කරන්නෙ ඇයි?" ආරණ්‍යාගේ හිතට නැගුණත් නොවිමසා ඉවසා සිටියාය.

"තාත්ත ආබාධිත නිසා මිස් එක්ක විවාහ වෙන්න කවුරුත් කැමතිවුන් නෑ. එහෙම නේද?"

"ප්‍රොපෝසල් හතරක් පහක් එහෙම වුණා." ආරණ්‍යා කඳුළු කඩා හැලෙන දෑසින් පැවසුවාය.

"ඒ නිසා තාත්ත නැති වුණොත්, ඒ කියන්නෙ තාත්ත මළා නම් විවාහයක් හරියයි කියල හිතුව?"
ආරණ්‍යා එක එල්ලේ පරීක්‍ෂකයා දෙස බැලුවාය.

"ඒ නිසා තාත්තව මරන්න ඕන කියල තීරණය කළා?" ආරණ්‍යාගේ දෑසේ කඳුළු සැනින් මැකී ගිනි පිටවන්නට විය.

"හැමදාම කසාද නොබැඳ හිටියත් මං මගේ තාත්තව මරන්නෑ. මං එහෙම දුවෙක් නෙමේ. මම ඉගෙනගත්ත කෙල්ලෙක්. මට ඉගැන්නුවෙ මගේ තාත්ත," ඇය කෝපයෙන් ද ආවේගයෙන් ද කියාගෙන ගියාය. අනතුරුව දෑතින් දෑස් වසාගෙන හිස මේසයේ හොවාගෙන හඬා වැටුණාය.

"ඒක ඔයාගෙ අදහසක්ද? අම්ම ද යෝජනා කළේ?" පරීක්‍ෂක තම පොලිස් ප්‍රශ්නයක් නැවත ද ඇසුවේය.

ආරණ්‍යා දිගටම හඬා වැටුණාය. දහවල් දහයට පමණ පොලිසියට පැමිණි අම්මටත් දුවටත් හවස හයවන තුරුත් පොලිසියේ ලගින්නට සිදුවිය.

පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලැබුණේ හවස පහෙනුත් පසුව ය.

හෘද පේශී වෙත රුධිර ප්‍රවාහය අවහිර වී හුස්ම හිරවීමෙන් මරණය සිදුව ඇත. කලක සිට ක්‍රමයෙන් වර්ධනය වූ රුධිර නාළ අවහිරවීමකි.

- රුවන් ඩී අළුබෝමුල්ලගේ

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි