
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙකක මෑතක දී ඇති වූ කැරලි නිසා ඉන්ටර්නෙට් ලිපි ලේඛන ඔස්සේ ලෝකයේ සිය වසරක බන්ධනාගාර ඉතිහාසය තුළ සිදු වූ කැරලි පිළිබඳ කෙටි අධ්‍යයනයක නිරතවීමි. මේ එහි සංක්ෂිප්තයකි.
අන්තර්ජාලයේ සඳහන් වන්නේ බන්ධනාගාර කැරලි නිතර සිදුවන සුලභ කරුණක් නොවන බවයි. වසර සියයක ඉතිහාසය තුළ බන්ධනාගාර කැරලි සිදු වූ අවස්ථා අසූවක් පමණ වාර්තා වී ඇත.
ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඊශ්‍රායලය, මෙක්සිකෝව, ස්ලෝවැකියාව, බ්‍රසීලය, ශ්‍රී ලංකාව, චිලී, ඉක්වදෝරය, ඇෆ්ගනිස්ථානය, එල්සැල්වදෝරය, ඉරාකය, පිලිපීනය, ගුවාතමාලා, එංගලන්තය, වෙනෙසියුලාව, බොලීවියාව, නිව් ගිනියාව, ටජිකිස්තානය, කැමරූන්, ඉතාලිය, කොලොම්බියාව, සිරියාව, තුර්කිය, දකුණු අප්‍රිකාව ඒ රටවල් වේ. මේ අනුව ලෝකයේ රටවල් එකසිය අනූපහකින් බන්ධනාගාර කැරලි සිදු වී ඇත්තේ රටවල් විසි හතක පමණක් බව පෙනේ.
සියවසක් තුළ සිදු වූ කැරලි අසූවෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ බන්ධනාගාර තුළ ය. එය සංඛ්‍යාවෙන් දාහතරකි.
දෙවනි ස්ථානය හිමිකර ගන්නේ සියවසක් තුළ කැරලි දොළහක් සිදු වූ මෙක්සිකෝව ය. තුන්වෙනි ස්ථානය මේ කාලය තුළ කැරලි අටක් සිදු වී ඇති බ්‍රසීලයට ලැබේ.
හතරවෙනි ස්ථානය හිමිවන්නේ 1983 වැලිකඩ, 1997 කළුතර සහ බිඳුණුවැව, 2012 වැලිකඩ, 2026 මීගමුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ කැරලි හේතුවෙන් ශ්‍රී ලංකාවට ය.
පස්වෙනි ස්ථානය හිමිවන්නේ බන්ධනාගාර තුළ කැරලි තුනක් ඇති වූ ඉරානයට ය. පිලිපියේ ද බන්ධනාගාර කැරලි දෙකක් හටගෙන ඇත.
මෙය අනුව සියවසක් තුළ සිදු වී ඇති කැරලි අසූව අතරින් හතළිහක් සිදුවී ඇත්තේ රටවල් හයක වීම විශේෂ සිද්ධියකි.
බන්ධනාගාර කැරලි ඇතිවීමට හේතු ඉතා ගැඹුරින් අධ්‍යයනය කර තිබේ.
1. බන්ධනාගාර තදබදය: තදබදය හේතුවෙන් අපහසුකම් ඇතිවීමත් සමඟ විවිධාකාර මට්ටමේ අසහන තත්ව ගොඩනැගෙන්නට පටන් ගැනීම සහ සිරකරුවන් ඒවාට ප්‍රතිචාර දැක්වීමට නිසා මේ පිපිරීම් සිදුවෙන බව මූලික අනාවරණයයි.
2. දැඩි නීති සහ නීති නිතර වෙනස් කිරීම: දැඩි නීති පැනවීම සහ ඒ නීති නිතර නිතර වෙනස් කිරීම ද කැරලිවලට හේතු වී ඇත. මානව හිමිකම් සංවිධාන මගින් "හිරකරුවන් ද මිනිස්සුන් ය" යන තේමාවක් යෝජනා කොට ඇත්තේ මෙවන් පසුබිමක ය.
3. නිලධාරීන් සමඟ ඇතිවන ගැටුම් දුරදිගයෑම ද කැරලිවලට තුඩු දී ඇත.
4. බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය පිවිසීම: මේ නිසා විවිධාකාරයේ ප්‍රශ්න පැන නගින අතර මත්ද්‍රව්‍ය වැඩිවීම නිසා ද, ඒවා මැඩලීම නිසා ද මෙම ගැටුම් ඇතිවීම සහ උත්සන්න වීම සිදුවේ.
- නිමල් සේදර
nimalsedera@yahoo.com
මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.