
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්
සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා හද තනි වෙනා මොහොතින්
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් ඔබ මැකී යනු මතකෙන්

මේ ගීතය ගායනා කරනු ලබන්නේ පරාජිත පෙම්වතෙකු විසිනි. පෙම්වතිය විසින් ඔහු හුදකලා කර වෙන් වී යාමේ විරහා වේදනා හැඟීම් ධ්වනිත කරන වියෝ ගීතයකි.
"මගේ හදවත තුළ කොතැනක හෝ නිදා නො නිදා මෙන් නිහඬව ඔබ පසුවන බව මට දැනෙයි. මා පෙළීම සඳහා හොඳ ම වෙලාව උදාවන තෙක් කල්යල් බල බලා නුඹ සිටී. නිසි වෙලාව උදා වූ විගස නුඹගේ මායම් සිනහව පා, සැනසිලි සුවවිඳිමින් පසු වූ මගේ සන්සුන් හදවත අවුල් කරමින් මගේ මනස පීඩාවට පත් කරනු ඇත" ඔහු කියයි.
"වෙලා හස රැහැනින්” රමණීය හැඟීම් ධ්වනිත කරනා කාව්‍යෝක්තියකි. ඇගේ සිනහව නමැති රැහැන් පොටින් ඔහුගේ හදවත දැඩිව වෙලා වද දෙන විලාසයෙහි මනෝරූප මවයි. ඒ කාව්‍යය චින්තනය ගීතයෙහි භාෂාවෙහි කලාත්මක අගය විදහා පායි.
ඉහත සඳහන් රමණීය කාව්‍යෝක්ති තුනෙන් ධ්වනිත වන පරිදි ඔහුගේ හදවත තුළ පෙම්වතිය සැඟවී සිටින්නී ය. එහෙත් ජීවමාන පෙම්වතියට ඔහුගේ හදවත තුළ සැඟව සිටිය නො හැක. එය පැහැදිලි සත්‍යයකි. එසේ නම් ගීතයෙන් ධ්වනිත වන ව්‍යංග්‍යාර්ථය කුමක් ද? පෙම්වතිය තමාගෙන් වෙන්ව යාම ගීතය ගයන පෙම්වතාට ඉවසා දරා ගත නොහැකි වියෝගයකි. ගීතයෙන් ධ්වනිත වන්නේ ඈ පිළිබඳ මතකය ඔහුගේ මනස තුළ තවමත් ඉතා ප්‍රබල ලෙස පවතින විලාසයෙහි රමණීයත්වයයි.
දිවා කාලයෙහි රැකියා ව්‍යාපාර කටයුතු හා වෙනත් ජීවන කටයුතු අතර පෙම්වතා කාර්ය බහුලව නියුක්ත වීම ජීවිතයෙහි ස්වභාවයකි. සැන්දෑව නිවස බලා පැමිණ තනි යහනෙහි සැතපී විවේක සුව විඳිනා මොහොතයි. "බලා අවසර සොයා කල් දැන" හදවතේ වෙසෙන පෙම්වතිය බල බලා සිටින අවස්ථාව එයයි. නිරායාසයෙන් ම පෙම්වතාගේ මනසට පෙම්වතිය සමඟ ගෙවූ ප්‍රේමණීය ජීවිතයේ අතීත සුන්දර මතක සටහන් පෙළට මතකයට නැගෙයි. ඒ සොඳුරු අතීතය සිහිපත් වීම පෙම්වතාට දැන් දරා ගත නො හැකි හිරිහැරයකි. ප්‍රබල මානසික පීඩාවකි.
"බැස යන හිරු සැන්දෑවට මුහුදුබත් වන්නේ එකවර නොවේ. අහසත්, සාගරයත් අතර ඇති රත් පැහැ සිතිජ රේඛාවෙහි ගිලෙමින් නැවත මතු වෙමින් රත් පැහැ හිරු මුහුදු බත් වන්නේ ක්‍රම ක්‍රමයෙනි. එලෙස නුඹත් මගෙන් වෙන් ගියේ මට දස වද දිදී මගේ හදවත කාලයක් තිස්සේ වරින්වර පාරවා රිදවීමෙන් පසුවයි,” යන අරුත් දෙන පදවැලෙන් පෙම්වතාගේ අසරණභාවය පිළිබඳ දැඩි සානුකම්පිත හැඟීම් ගීතය රස විඳින ශ්‍රාවක මනස තුළ පහළ කරයි.
ප්‍රේමය, ආදරය උතුම් මානුෂික හැඟීම් වේ. එහෙත් මේ ගීතය ගයන පරාජිත පෙම්වතාට එය රුදුරු ජීවන වද හිංසාවකි. "දස දහස් ගණනින් යුත් ප්‍රාර්ථනා බල මහිමයෙන්, මගේ දෑසෙහි ඉනූ කඳුළ මිදෙන්නට පෙර නුඹ පිළිබඳ මගේ මනස තුළ ඇති සියලු මතක සටහන් මැකී යත්වා!" යැයි පෙම්වතා ප්‍රබල අන්දමින් ප්‍රාර්ථනා කරයි.
පෙම්වතාගේ හදවත මෙතරම් ආවේගී සංවේදනවලින් පෙළෙන්නේ ඇයගෙන් වෙන් වීමේ දුක ඔහුට දරා ගත නො හැකි නිසයි. ඒ තුළින් රමණීය ලෙස ධ්වනිත වන්නේ ගීතය ගයන පෙම්වතාගේ මනස තුළ එම පෙම්වතිය පිළිබඳ තවමත් කෙතරම් ප්‍රේමයක් ආදරයක් සැඟවී පවතින්නේ ද යන විස්මිත හැඟීමයි.
ගීතයෙහි භාෂාව: "හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්", "බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින්", "සයුර ඉම රත් සිතිජ රේඛාවේ, මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ", "පෙළයි මා මුදා සුව දැහැනින්" යන කාව්‍යයෝක්ති නිර්මාණය කර ඇති භාෂාව රමණීය හැඟීම් ධ්වනිත කරයි. රසික මනස තුළ අවස්ථාවෙහි මනෝරූප මැවීමට සමත් උසස් භාෂාව, විචිත්‍ර සෞන්දර්යාත්මක ගුණයෙන් අලංකාර වේ.
ගී තනුව හා සංගීත නිර්මාණය: පෙම්වතාගේ මනස තුළ ඇති ප්‍රබල විරහා වේදනා, වඩා රමණීය ලෙස ධ්වනිත කිරීම සඳහා ගී තනුව හා සංගීත නිර්මාණය සමත් වේ, ඉතා ආශාවෙන් ගීතයට සවන් දීම සඳහා ශ්‍රාවකයා පොළඹවයි.
ගායනය: සුනිල් එදිරි සිංහයන්ගේ උචිත ගායනය, දුක්බර හැඟීම් තීව්‍ර ලෙස ශ්‍රාවක සවන වෙත යොමු කරයි. "හදේ කොතැනක හෝ” විචිත්‍ර සෞන්දර්යාත්මක ගුණයෙන් පිරි විරහ ගීතයකි.
- කරු කහටපිටිය
karunasena_k@yahoo.com.au
මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.