
මැක්ඩොනල්ඩ් මහත්මිය තම අනාගත ලේලියගේ චරිතය ඒතරම් හොඳ නැති බව දැනගත්තේ නිවසේ ඉදිරි දොර විවර කළ සැණිනි.
ජෝන් ඇගේ කැහැටු උරහිස් මතින් අතක් දවටා ඈ තුරුළු කරගෙන සිටියේය. ඇගේ කොණ්ඩය රත්‍රන් පාටින් පෙනුණේ එය ඒකාන්තයෙන්ම වර්ණ ගන්වා තිබුණු බැවින් බව මැක්ඩොනල්ඩ් මහත්මිය කල්පනා කළාය. දසත හැමූ සීත වෙලිංටන් සුළඟ ඇගේ කොණ්ඩය විසිරුවා, සායම් උලන ලද ඇගේ මුහුණේ නැවත වතාවක් අලවා දැමුවේය. කෙල්ල සිනාසුණාය.
"අම්මේ, මේ සෑම්," ජෝන් ඈ ඉස්සරහට තල්ලු කරමින් කීවේය.
"මුණගැහුණු එක ඇත්තටම සතුටක්," පිරිමි නමක් තිබුණු ඒ කෙල්ල පැවසුවේ නැවත වතාවක් සිනාසෙමිනි.
"ඇතුළට ආවොත් හොඳයි," මැක්ඩොනල්ඩ් මහත්මිය ආපිට හැරී ඔවුන් දෙදෙනාට ඉදිරියෙන් සාලයට ගමන් කළාය.
ඇයට තම පසුපසින් කෙල්ලගේ මෝඩ හිනාවක් ඇසුණි. ඒ දෙදෙනා මඳ වෙලාවක් ගිනි උදුන අසල නුහුරු ලෙස සිටගෙන සිටි අතර ඉනික්බිති "වාඩිවෙන්න පැටියෝ," කී ජෝන්, කෙල්ල හාන්සි පුටුවට තල්ලු කෙළේය. ඊට වසර දොළහකට පෙර මැක්ඩොනල්ඩ් මහතා මියගිය පසු මේ දක්වා කිසිවකු ඒ පුටුවේ අසුන්ගෙන තිබුණේ නැත.
"අර පුටුව ඊට වඩා සැපපහසු වෙයි," ඝණකම් මෙට්ට ඇති දුඹුරු පැහැති සෝපාව පෙන්වා මැක්ඩොනල්ඩ් මහත්මිය පැවසූ විට කෙල්ල අසතුටු මුහුණෙන් යුතුව නැගිට ගොස් එතැනින් අසුන් ගත්තාය.
"එහෙනම් මේ තමයි ඔයාගේ යාළුවා?" මැක්ඩොනල්ඩ් මහත්මිය ඇසුවාය.
"අම්මේ අපි විවාහ ගිවිසගෙන ඉන්නේ, තව මාසෙකින් මංගල්ලය ගන්නවා. අගෝස්තු අටවෙනිදාට දිනේත් දාගෙන තියෙන්නේ. ඇයි මම කළින් කීවේ?" ජෝන් කිසිම ගෞරවයක් නැතිව කියා සුසුමක් හෙලුවේය.
"රොනුයි මායි හිතුවා අම්මා කැමති වෙයි කියලා අපට මඟුල් ගෙදර සැලසුම් කරන්න උදවු වෙන්න," සෑම් කීවාය.
"රොන්? කවුද රොන්? මගේ පුතාගේ නම ජෝන්. එයාගේ නැතිවුණු තාත්තාගේ නමත් ඒකමයි," මැක්ඩොනල්ඩ් මහත්මිය කීවේ නොසතුටිනි.
"ඒක පොඩි විහිළුවක්," කෙල්ල තමන්ගේ අවලස්සන කොණ්ඩය හදමින්, ජෝන් දිහා බලමින් කීවාය.
"රොනල්ඩ් මැක්ඩොනල්ඩ් දන්නවාද? අර මැක්ඩොනල්ඩ් කඩවල ඉන්නේ. ඒවගේ මම මෙයාට හැමතිස්සෙම කියන්නේ රොන් කියලා, විහිළුවට!"
"මට නම් එතැන කිසිම විහිළුවක් පේන්නේ නැහැ," මැක්ඩොනල්ඩ් මහත්මිය කිසිම අනුකම්පාවක් නැතිව කීවාය. "ජෝන් ගේ තාත්තා දන්නවා නම් මිනී වලෙනුත් නැගිටලා ඒවි!"
අහල පහළ පිළිවෙළකට තිබුණු හැම කඩ පේළියක්ම අලුතින් අත්පත්කරගත් අප්‍රසන්න මැක්ඩොනල්ඩ් කෑම කඩ මතක් වී මැක්ඩොනල්ඩ් මහත්මියගේ ගත කිලිපොලනු ඇයට දැනුණි. ඒවායේ විකිණීමට ඇති හැම්බර්ගර් සහ චිප්ස් වල අප්‍රසන්න ගඳ නිතරම මහා පාරටත් දැනෙන හැටි ඇයට සිහි විය. දිනක් ඒ මැක්ඩොනල්ඩ් කඩයක ජනේලයකින් එබී බලද්දී එය යටිඋගුරෙන් කෑගහන ළමයින්ගෙන් පිරී තිබුණු බව ඇය දුටුවාය. ඒ ළමයි තම කෑම ලැබුණු සැණින් ඒවා බිමට විසිකර අසල වූ අවලස්සන පැහැයන් ගැල්වූ අට්ටාල මත නඟින්නට දිව ගියෝය.
රොනල්ඩ් මැක්ඩොනල්ඩ් කියන්නේ කවරෙක්දැයි මැක්ඩොනල්ඩ් මහත්මිය දැන නොසිටියත් ඇයට ඒ ගැනත් හොඳ හැඟීමක් තිබුණේ නැත. ඈ දෑස් අඩවන් කර නැවත වතාවක් කෙල්ල දෙස බැලුවාය.
"මේ මහා බාල, ජරා, අයාලේ යන එකියක්! මේකිට මගේ ජෝන් ව බඳින්න දෙන්න බැහැ! කොහොමවත්ම බැහැ!" ඇයට සිතුණි.
"අම්මේ තේ එකක් බොමු ද?" සමන්තා තුරුළු කරගනිමින් ජෝන් ඇසුවේය. "මට වගේම සෑම්ටත් තේ කෝප්පයක් ඕනවෙලා ඇත්තේ දැන් නම්!"
"අනේ ඔව් මටත් එකක්, මිසිස් එම්," හැතිරිය කීවාය.
මිසිස් එම්. හැබෑටම!
"ජෝන් මම ඔයා කැමතිම ජාතියේ කප්කේක් හැදුවා," සෝපාව මත සිදුවන ආලවන්තකම් නොපෙනෙන්නට ඊට ඉහළින් ඇති බිත්තිය දෙස බලාගත්වනම ජෝන්ගේ මව කීවාය.
"නියමයි අම්මා! ඒත් අමතක කරන්න එපා, මට අයිසිං නොදාපු එකක්!" යැයි ජෝන් පවසද්දී සමන්තා කිසි හේතුවක් රහිතව නැවත වතාවක් ඇගේ මෝඩ සිනාව පාන්නට විය.
"මම නම් හරි ආසයි අයිසිං දැම්ම ඒවාට," ඈ කීවාය. "පාට පාට සීනි කුඩු දැම්ම ඒවාටත් ආසයි."
"මම නම් කැමති අරුමෝසම් නැතිව," ජෝන් කීවේය. "හැබැයි ගෑනු ගැන මගේ කැමැත්ත නම් ඒකෙ අනිත් පැත්ත!"
මැක්ඩොනල්ඩ් මහත්මිය සිය අකමැත්ත පෙන්වීමට වැරෙන් හුස්මක් පිඹ මුළුතැන්ගෙයට ගියාය. එසේ යද්දී තමන්ගේ රෝස පැහැති සෙරෙප්පු තුළ තම දෙපා බෙහෙවින් බර බවක් ඇයට දැනුණි.
අඳුරු මුළුතැන්ගෙය එළිය කිරීමට තරමට දිස්නය දෙමින් තිබුණු කප්කේක් ටික ඈට බොඳ වී පෙනුණි. ඈ ජෝන් වෙනුවෙන් සැකසූ අයිසිං නොදමන ලද කප්කේක් හැකි තරම් අනෙත් ඒවායින් ඈතට වෙන් කළාය. කුස්සියේ කරාමය යට රාක්කයේ වූ මී පාසානම් අසුරණය ඇගේ අතට ඉබේම එන අයුරු ඈ බලා සිටියේ රොබෝ කෙනෙකු ලෙසිනි.
ඈ යාන්ත්‍රිකව, කප්කේක්වල රෝස පැහැති අයිසිං මතින් මී පාසානම් විසිරවූවාය. අසුරනයේ තිබුණු කැට වර්ගයත් අයිසිංවල දීප්තිමත් රෝස පාටම බව දකිද්දී ඇයට දැනුණේ පුදුමයකි. ඇගේ මනසේ අමුතු සැහැල්ලුවක්, හිස් බවක් දැනෙන්නට විය. අයිසිං නොදැමූ කප්කේක් ද අනෙත් ඒවාට එකතු කළ ඈ, තැටිල්ල සාලයට රැගෙන ගියාය. ඒ ගමනේ දී ඇගේ දෑත වෙවුලුවේ වත් නැත.
"හැමෝටම කප්කේක් ගෙනාවා!" කියද්දී ඇගේ මුවින් පිටවූයේ ඇගේ කටහඬ නොවේ. "අපට අයිසිං දැම්ම ඒවා, ජෝන්ට මුකුත් නොදාපු ඒවා."
"අපි බැන්දාට පස්සේ නම් මම කැමති දේවල් ඔයාටත් කන්න කියලා බල කරන්න මට සිද්ධ වෙනවා," කෙල්ල කීවාය.
"බලාගෙන ඉන්නේ මොකටද? ඔයා වෙනුවෙන් මම දැන් වුණත් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි!" ජෝන් අයිසිං කළ කප්කේක් එකක් අතට ගෙන හැකි තරම් තම මුව විවර කර එය එතුළට රුවා ගත්තේය.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
helmalie999@yahoo.com
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.